..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, December 16, 2014

ඇළේ පැන්න ළමයි............

ඇළේ පැන්න ළමයි



" ටීචර් , පියුමාල් ඇළේ බැහැලා "

සතියකට දෙතුන් දවසක් අසන්නට වෙන පැමිණිල්ල සුපුරුදු පරිදි අසන්නට ලැබුනේ පාසල් විවේක වේලාවේ දිය. කමින් සිටි බත් පතද පසෙකලා කෝපයෙන් නැගී සිටි ගුරුතුමිය පසුපසින් වැටුනු පණිවිඩය ගෙනා ළමයින් ද සිනාසෙමින් යුහුසුළුව යන්නට වූයේ " අද ඕකට දෙන්නම් වැඩේ " යැයි සිතමිනි.

ප්‍රාථමික පාසලේ පිට්ටනිය ඇත්තේ පාසලේ පහත්ම බිම් තීරුවේය. එය එක් පසකින් දෙකේ පන්ති සහිත ශාලාව පිහිටි කණ්ඩියට ද අනෙක් පසින් අතැහැර දමන ලද ඉඩමකට ද දෙපසකින් ඇළකට ද මායිම ව ඇත. ඇළෙන් එහා පැත්තේ ඇත්‍ තේ වෙල් යාය යි. 

එක දිගට වර්ෂාව ලැබී කාලගුණය සමහන්ව තිබූ කාලය නිසා ඇළ පිරී ඉතිරී නිල් කැටයට වතුර පිරී තිබුනි.ගුරුවරිය එතනට යන විටද කොල්ලන්ට වගේ වගක් නැතිය. සිත් සේ ඇළේ පැන නටයි.දිය කබරයන් මෙන් සුදු ඇඳුම් ඇගට ඇලී ඇත. නිල් කොට කලිසම් වලින් දිය බේරේ.

මදක් බලා සිටි ගුරුවරියගේ කෝපය එන්න එන්නම වැඩී ආවේන් නොයිවසිලිමත් වූ ගුරුවරිය මහ හඩින් කොල්ලන්ට බනින්නට වූයෙන් නොසිතූ වේලාවක සිදු වූ නොසිතූ සිදුවීමෙන් කම්පනයට ද බියට ද පත් කොලු නඩය ඇළේම සිටගෙන කටවල් හැරපියා බලා සිටින්නට විය.

"
නැගපල්ලා උඩට. මං කියල තියෙනව නේද ඇළට බහින්න එපා කියල තොපිට " 


"
බෝලෙ ගියා ටීචර් ඇළට " ඒ කණ්ඩායම් නායකයාය. කණෟඩායම් හැඟීම සහ නායකත්ව ගුණාංග ඔහුට කවුරු නම් උගන්වා ඇද්ද.


"
බොරු කියන්නෙපා , අද නම් මට්ටු කරනවා මේක හරියන වැඩක් නෙමේ.කොච්චර කීවත් අහන්නෑනේ. ‍බොලැයි අම්මල තාත්තලට වග කියන්නේ කවුද? ලේස්ති වෙනව සේරම ප්‍රින්සිපල් ගාවට යන්න "


කරබාගත් වනම ඇළෙන් ගොඩවූ නඩය , දිය බේරෙන නිල් කොට කලිසම් මිරිකමින් ,එකා පිටුපස එකා සංසුන්ව පේළි ගැසී ගුරුවරිය පිටු පසින් වේවැල් කසාය ගන්නට ඇදෙන්නට විය.

විදුහල්පති කාමරය හා පුංචි කාර්යාලය පිහිටා ඇත්තේ ප්‍රාථමික පාසලට තරමක් දුරිනි. කොටින්ම මහ පාර පැන කන් ද නැගිය යුතුවේ. 

පාසල පිහිටා ඇත්තේ ප්‍රධාන පාරෙන් දෙපස සිටින ලෙසිනි.එබැවින් පාසලේ කන්ද මුදුනේම වූ පන්තියක උගන්වා ප්‍රාථිමික පන්තියක කාලච්ඡේදයට ගුරුවරයා පැමිණෙන විට කාලච්ඡේදයෙන් සැලකිය යුතු කාලයක් ගමනටම ගෙවී ගොසිනි. 

කෙතරම් නම් වේවැල් පහර රස බැලූව ද එය දරුවන්ට ඇළේ පැන නැටිම එපා කරවන තරම් සැර නොවූ නිසා දෝ සතියකට දෙකකට වරක් කොල්ලෝ ඇළට බැසිම සාමාන්‍ය දෙයක් බවටත් නොවැලැක්විය හැකි දෙයක් බවටත් පත්වීම නිසා දෙමාපිය හමුවක් කැදවා ඇළ සහ පිට්ටනිය වෙන් කරමින් වැටක් ගැසීමට ද සිදු විය. 

ප්‍රාථිමික පන්තියකට ඉගැන්වීම නොව පැයක් දෙයක් එම පන්තියක රැදී සිටීමම ඉතා වෙහෙසකර කටයුත්තකි. නමුත් , පාසලක ජීවය වන්නේ ත් පාසලක් සුන්දර වන්නේත් ප්‍රාථමික පන්ති නිසාය.

කෙසේ හෝ මා උගන්වන පාසල ද්විතියක පාසලක් බවට පත් කිරීම නිසා ක්‍රමයෙන් පළමු ශ්‍රේණිය ද ඉන් පසු වසරේ දෙවන ශ්‍රේණිය ද වන ලෙස පන්ති ඉවත්ව යමින් පැවති නිසා මේ වන විට ඉතිරිව ඇත්තේ 4 සහ 5 ශ්‍රේණි පමණි. 2015 නව වසර වන විට ඉන්ද ඉතිරි වන්නේ 5 ශ්‍රේණිය පමණි. 2015 වසර අවසන් වූ පසු පාසල 6-13 ශ්‍රේණි සහිත ද්විතියික පාසලක් බවට සම්පූර්ණයෙන්ම පත් වේ. 


නමුත් ඇළේ පනිනා දඩබ්බර කොල්ලන් නොමැති ව ඇළට පාළුවක් නොදැනේ යැයි කාට නම් කිව හැකි ද?

ලිවිල්ල සහ පින්තූරය 

෴ සොඳුරු සිත - වත්සලා ගෙන් ෴



පසුව ලියමි - පින්තූරය සැබැවින්ම ඉහත ලියන ලද පාසලේ ප්‍රාථමික පන්තියකට උගන්වන අවස්ථාවක මා ගන්නා ලද පින්තූරයකි. එහි ගුරුවරිය පිටු පා සිටන්නේ ඇළටයි. එය ඇළේ පටු ස්ථානයකි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...