..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, November 6, 2014

කම්මැලි මිනිස්සු

කම්මැලි මිනිස්සු


නමය ශ්‍රේණිය යනු පිරිමි ළමෝ, ළමා කාලයෙන් යොවින් වියේ එළිපත්තට පයින්න බලා ඉන්නා කාලයකි. පාසල් දිවියේ නිල් පාට කලිසම අදිනා අන්තිම පන්තිය ද නමයයි. දගකාරකම් වල කෙළවරක් නැති ,විනාඩියක් එක විදිහට ඉන්නට බැරි කාලයකි.

එහෙව් පන්තියේ කොල්ලෙක් උඩකින් වැටී වමත බිදී ගියේ පාසල් වේලාවේය. තත්වය දරුණු බැවින් වහාම ළමයා රෝහල් ගත කළ අතර , මේ පණිවිඩය දරුවාගේ නිවසට දැන්වීම  සිදු කිරීම ද පාසලේ වගකීමක් වූයෙන් , හිත හොද ගුරුමහතෙකු යතුරු පැදියෙන් දරුවා කියූ මං ඔස්සේ නිවස සොයා යන්නට විය. බොහෝ අතුරු පාරවල් පසුකල , ගමන අවසන් වූයේ ලෑලි ගැසූ කුඩා නිවසකිනි. 

පෙනෙන්නට කිසිවකු නොවූව ද යතුරු පැදියේ හඩ ඇසීම නිසා දෝ නිවස පිටු පස සිට ඉදිරියට පැමිණියේ කසඩ සරමක් ඇද ගත් කෙසග තරුණයෙකි. ඔහු කකුලේ කලවා පෙනෙන තරමට ම සරම කැහැපොට ගන්වා ගෙන සිටි අතර දත් පේළි දෙක අතරට සිරවූ දත් බුරුසුවකි. වේලාව උදෑසන එකොලහත් පසු වී මද්දහනට ආසන්නව තිබුණි. 


“ මේ . . . සඳරුවන්ගේ ගෙදර ද?“

“ ඔව්“

පිළිතුරු ලැබෙනවාත් සමගින්ම නිවසින් එළියට පැමිණියේ මාස තුනක විතර බිළිදෙකු වඩා ගත් කෙසග තරුණියකි. ඇගේ ලැම කිරිබර වී තිබුණි.

“ මම මෙආවේ.සදරුවන් ස්කෝලෙ දි වැටිලා අත පැනල.අපි හොස්පිටල් එකට ගෙනිච්චා. ගෙදර කවුරු හරි ගියොත් හොදයි. ටිකක් අමාරුයි ළමයට“

කැහැපොට ගහ ගත් සරම කඩා දිග හැර ගත් ඔහු, දකුණතින් ඔළුව කසන්නට විය. තරම වේලාවකට පසුව ඔහු ,

“ ගෙදරත් කවුරුත් නැහැ. අම්මයි තාත්තත් දළු කඩන්න ගිහින් “



ඔහු නිවස දොරකඩ සිටිනා තරුණියදෙස බලාන ම පවසන්නට විය.

“ ඒ උනාට මේ වෙලාවේ ගෙදර කවුරු හරි හිටියොත් හොඳයි. ළමයට වරින්  වර සිහිනැතිවෙනවා “

“ කමක් නැහැ එහෙනම් මං හරි එන්නම් “ යැයි පවසමින් තරුණයා වහ වහා නිවස පිටුපසට ගියේ ය. ඒ පස්සෙන් වැටුනු බිළිදා වඩා ගත් තරුණිය ද සෙමින් කුමක්දෝ මුමුණමින් යන්නට විය.

“ ඉක්මනටම ආවොත් මා එක්කම යතෑකි “ ගුරුවරයා උස් හඩින් පැවසීය.

“සර් වාඩි වෙලා ඉන්න මං ටක් ගාලා එන්නම් “

වාඩි වීම කෙසේ වෙතත් ඒ කුඩා නිවසට එඹුනු ගුරුවරයා ට දැකිය හැකි වුයේ. කුඩා කාමරයක් තරමේ නිවසකි. එහි කාමර කිසිවක්ම නොවීය. මැදින් අදින ලද ලණුවක දැවටූ සාරි සහ රෙදි වලින් කාමරය තාවකාලිකව දෙකට වෙන් කර තිබුනි. තැන තැන විසිරුනු අනම් මනම් දේ පෙන්වූයේ එහි මේ දැන් ටිකකට කලින් කලකෝලාහලයක් ඇති වූ තැනක් මෙනි.

රෝහලේ දී සිසුවාගෙන් ඇසූ පැනත් ඒවාට ලැබුනු පිළිතුරුත් සමගින් දැන් තමා දකින නිවස ඔහු සසදන්නට විය.

“ ගෙදර කවුද ඉන්නේ “

“ අම්මයි තාත්තයි නම් මේ වෙලාවෙ නැතිවැති. අයිය ඇති “

“ අයිය වැඩට යන්නැද්ද? “

“ නෑ “

පාසලේ සිසුන් තම යහළුවා ගැන පැවසූ කරුණු ද ගුරු සිටත් මතකයට නැගෙන්නට විය.

“සඳරුවන්ගේ අයියා අක්කා ගෙනෙක් ගෙනාවා කියල අපිට කීවා “

“ තව තව දේවල් කීවා . . . . “ ඔවුන් දෑතින් කට වසා ගනිමින් හිකි හිකි ගාන්නට විය.

සඳරුන්ගේ, බැදපු අලුතම පියෙකු වූ වැඩි වයස් නැති  අයියා ද යතුරු පැදියේ පිටුපස වාඩි කර ගත් ගුරුවරයා රෝහල බලා යන්නට විය.

මිනිසුන් දුප්පත් වන්නේ කාගේ වරදින් ද යන්න නැවත සිතා බැලිය යුතු කාලය එළැඹ ඇත.

එදවස දුප්පතුන් නැති ලෝකය කියවා සතුටු වූ 

මම
෴ සොඳුරු සිත ෴



Blogroll

Related Posts Plugin for WordPress, Blogger...