..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, April 27, 2014

සමණළයාගේ මළ ගම

සමණළයාගේ මළගම


වැලි ගෑවුනු දෑත් ගවුම් වාටියෙන් පිසදා ගත් කුඩා කෙල්ල ,දණහිස ගෑවි සියුමැලි සමේ ලෝබකමින් මෙන් ඇලී සිටි සිහින් වැලි කැට ද පිසදා ශරීරය කෙළින් කර ගත්තී , බෙල්ල උස්සා එතකුදු නොව පා ඇඟිලි වලින්ද එසවී දුර ඈත වැලි පාර දෙස බැලුවාය. 

බලාපොරොත්තු සුන් වී ගිය මුහුණින් යලිදු තම දෑත් ඇඳ වුන් මල් ගවුමෙන්ම පිස ගත්තේ නොනැවීය. කලවා තෙක් එසවුනු ගවුම තුලින් ඇගේ මොලකැටි කලවා නිරාවරණය වූව ද කුඩා ඇයට එය එතරම් දෙයක් නොවිනි.

දෙතුන් වරක්ම හොඳින් පිස දෑමු දෑත වෙත දෑස් ගෙන ගිය ඇය වැලි කැටයක් වත් දුවීලි පොඳක් වත් නැති බව සැකහැර දැන ගත්තී නිල් මල් ගවුමේ ලා නිල් පාට රිබන් පටියකින් හැඩ දමා තිබූ පුංචි සාක්කුවට එකතක් යවා බොහොම පරිස්සමට යමක් එළියට ගන්නවාත් සමඟින්ම පසුපසින් එකවරම ඇසුණු මහ හඬින් තැති ගත්තී ගවුම් සාක්කුවෙන් ගත් යමක් විසි වී ගොස් අසල තිබු තණකොළ ගොල්ල මත වැටී සැඟවී ගියේ ය.

“ හරි නරකයි ඔයා. මම හොඳටම බය වුනා. “ 

පිටුපසින් විත් ඇය බිය ගන්වා ඇගේ කෑගැසීමෙන් උදම් වී සිනා සෙන කොලු ගැටයා තල්ලු කර දමමින් ඇය බනින්නට වූවා ය.

සාක්කුවේ තිබූ දෙයට වූ දෙය නොදත් ඇය යළිත් සිය ගවුම් සාක්කුව වෙතට දකුණත යවා එහි කිසිවක් ම නොමැති බව වටහා ගත්තී , පුදුමයෙන් හා ශෝකයෙන් යුතුව විසල් දෑසින් කොලු ගැටයා දෙස බැලුවාය.


දෙකට නැමෙමින් ද උරහිස් ගස්සමින්ද සිනාසෙමින් සිටි කොලු ගැටයාගේ සිනහව නතර වූයේ ඇගේ ඒ බැල්මෙනි.

“ ඇයි . . . . ? ඒක නෑ ද?“
“ නෑනේ . . . .  මේ දැන් තිබුනා “
“ කෝ බලන්න . . . .“ 


ඔහු ද ඇගේ ගවොමේ වූ කුඩා නමුත් අපූරු සාක්කුවට අත දා බලා එහි කිසිවක් නැති විත්තිය වටහා ගත් සැණින් ඔහුගේ මුහුණද සැලී හැකිලී යන්නට විය.

“ මොක ද වුනේ ඒකට ?“
“ මං හිතන්නේ ඔයා බය වෙලා යක්ෂණී වගේ කෑගහද්දි ඒක විසිවෙලා යන්නැති බයටම“
“ මේ දෙනව එකක් හරිද . ඔයාගේ වර ද. දැන් ඉතින් මොකද කරන්නේ “


ඇගේ කුඩා රවුම් සුදු මුහුණ බලා ඉද්දී රෝස පාට වන්නට වූයෙන් ඇය හැඬුමට ආසන්න බව වටහා ගත් කොලු ගැටයා ඇගේ අතින් ඇද ගෙන ඇගේ දෙපා මුල වූ පස් ගොඩේ දණ ඔබා ගත්තේ එතැන හෝ එය තිබේවායි සිතින් පතමිනි.

“ ඔයා හොඳට වැඩේ කරලා.ඒත් අපි තව ටිකක් හාරමු “
“ හා . . .මගෙ ඇඟිලි රිදෙන නිසා මම නැවැත්තුවා “
“ ඒත් කෝ අපිට . . . ? එන්න අපි රෑ වෙන්න කලින් ඒක හොයමු. මේ ටික ඔයා තියා ගන්න “
එතෙක් වෙලා ඔහු අත රැඳී තිබුනු කුඩා රතු රෝස මල් පොකුර ඇය දුටුවේ එවිටය.


“ අනේ හරිම ලස්සනයි. “

 සියලු දොම්නස් අමතකව ගිය ඇය මල් දෝත නැහැයට ලං කර ගනිමින් සිනාසුනාය.

“ එන්න එන්න අපි හොයමු. . . .“

ඉන් පසු දැකිය හැකි වූයේ කුඩා කොල්ලාත් කෙල්ලත් වැලි පිටිය ද ආසන්නව තිබූ තණ බිස්ස ද පීරමින් යමක් සොයනා ආකාරයයි. ඔවුන් සෙවූ දෙය කුමක් වුව ද ඔවුන් නොසෙවූ දෑ බොහොමයකින් ඔවුන්ගේ ඇදුම් සාක්කු පිරී ඉතිරී යද්දී , රාස්සිගේ අව්ව ඔවුන්ගේ මුහුණු මත රටා අදිද්දී ද, සෙවීම අතෑර දෑමීමට සිතූ අවසන් මොහොතේ දී කොලුවාගේ දෑසට ඒ අපූරු අලියා ගිනි පෙට්ටිය හමුවිය.


“ මෙන්න තියෙනවා . . . .මෙන්න තියෙනවා..... මේ බලන්න මෙන්න මෙන්න “

ඔහු සතුටින් උඩ පනිමින් කෑගසන්නට විය.


“ කෝ බලන්න. . . .  “

ඔහු වෙත ළං වූ ඇය ඔහු අතේ වූ ගිනිපෙට්ටිය පරිස්සමට ගෙන හැර බැලුවාය.


එතුල වූ දෙය දැක නැවතත් මුහුණ සෝබර කර ගත් ඇයව දුටු ඔහු....

“ අපි දැන් පීටර්ව වළදාමු “ යැයි පවසමින් ඇගේ අතින් අල්ලා ගෙන ගොස් ඇය ඇගේ දෑතින් හාරා තිබු පුංචි වල වෙත ගොස් දණ ඔබා ගත්තේ ය.


“ දැන් තියන්න “

වල තුල තැබූ ගිනි පෙට්ටිය යළිත් අතට ගත් ඇය  . . .

“ අපි හෙට මේක කරමු ද?“ දැයි හිස හරවා සෝබර දෑස් දල්වා කොල්ලාගෙන් ඇසුවා ය.


“ ඔයා හැමදාම ඔහොම්මයි... හැබැයි මට ආයෙ රෝස මල් ගේන්න වෙන්නෑ . අපෙ අම්ම අද රෝස පාත්තිය කප්පාදු කරා.ආයෙ ඒකෙ මල් පිපෙන්න ගොඩාක් කල් යාවි කීවා

“ එහෙ ම ද . . . . “

සොවින් වත බර කර ගත් ඇය ගිනි පෙට්ටිය වලතුලට දැමීමට සැරසෙත් ම ඇයව වැලකූ කොලු ගැටයා.

“ ඔහොම ඉන්න ,“ යැයි පවසා සාක්කුවට අත දමා යමක් එළියට ගෙන පිළිවලට කුඩා වල තුල අසුරන්නට විය.


සුදු පැහැති නමුත් මදක් අව පැහැ වෙමින් තිබුනු පුලුන් වලින් වල පතුල සම්පූර්ණයෙන් වැසීමට ඔහුට හැකි විය. එය ඔහුගේ සිත සතුටට පත්කරවී ය.


“ දැන් එයාට කවදාවත් රිදෙන එකක් නෑ “
කෙල්ලගේ මුහුණ බැලූ ඔහු ඇගේ දෑතේ වූ මදක් විවරව තිබූ ගිනිපෙට්ටිය තුලින් තටු ඉරී යමින් ද පාට ගිලිහී යමින්ද තිබූ සමණළයාගේ පියාපතක් දුටුවේ තව දින කිහිපයකින් එයට සිදු වන දේ දුටුව හොත් කෙල්ලගේ සිතට දැනෙන වේදනාව දැන එය ඇයට නොදැනෙන්නට අද වත් මෙය අවසන් කර යුතු බව වටහා ගත්තේය.

“ අපි දෙන්නම මේක ඉවර කරමු. හැමදාම ඇවිත් අපි පීටර්ව බලල යමු “
අවසානයේ ඔහුට අවනත වූ ඇය , පීටර් නම් සමණළයාගේ දේහය රැගත් කුඩා ගිනිපෙට්ටිය පුලුන් ඇතිරූ වල තුල දමා සෙමින් වැලි කැට දමන්නට වූයේ පීටර්ට රිදෙන්නට හැකි බව ඔහුට මතක් කර දෙමිනි.


ඇගේ දෑසේ වූ තෙතමනය දරා ගත නොහැකි වූ කොලු ගැටයා ඇයට තවත් සමණළයකු සොයා දීමට සපථ වෙමින් ඇගේ අතින් අල්වා ගෙන බැස යන හිරු ට යටින් රබර් මණ්ඩිය අතරින් පිය නගන්නට විය.




----------------------------------------------


නමුදු කුඩා ඔහු කිසිදිනෙක මෙසේ සිතන්නට නැතිවා වන්නට විය හැකිය . . . . 



මහ ගොළුවගේ කාටත් ඉඩ ඇති ඉඩම

ඇයටත් ලබා දුනු සිවුරියනක උරුම
තෙරපෙන්නට එපා ඔය හැටි වල උඩම
ඇගෙ ලැම රිදෙයි ඇහුන ද සුදු මල් වඩම
(සේකර)

----------------------




මගේ ආයුෂත් අරගෙන
නුඹ ජීවත් වෙන්නයි
මා පැතුවේ සොඳුරු දිනක
යළී අපි හමුවෙන්නයි
මම
සොඳුරු

Sunday, April 20, 2014

මා මත්තෙම ඉන්න මගේම කෙනෙක්...................




ඔයා හිතන්න ඔයාට පුලුවන් ද කිසිකෙනෙක් ගේ අවධානයක් ,ඇල්මක් බැල්මක් නැතිව ජීවත් වෙන්න. ඔවු දැන් ඔයාට හිතේවි “කිසිකෙනෙක් ගේ ඇල්ම බැල්ම නැතිනම් කොච්චර ෂෝක් ද, මේ කි මේ පිස්සු කියනව “ කියලා. එහෙනම්  අනිවාර්යෙන්ම ඔබ කසාඳ බැඳපු කෙනෙක් වෙන්නැති.

ඒත් කසාඳ බැඳපු කෙනෙක්ට උනත් යම් අස්ථාවක දි තේරෙනව ඒ බැදීම් නැතිව ඉන්නෙක ජොලියක් නෙමෙයි හිස්කමක් කියලා.


ඒකනේ “ කලේ පැන් ඇත නැවුම් රහ නැත, මොකද මන්දා ළිඳට වූයේ “ කියල සින්දුවකුත් ලියවුනේ. 




පවුල් ජීවිතේ කරදර වැඩි වෙලා බන්ධන වැඩි වෙලා වගකීම් වලින් විතරක්ම බැදුනම ඇල්ම බැල්ම ලබන්න කියලා හිතලා බොහෝමයක් අය පිටස්තර සම්බන්ධකම් වලට යොමු වෙන එක දැන් දැන් බහුලව දකින්න ලැබෙනවා.  ඒවා ආශ්වාදජනකයි නමුත් ඒ වගේම ත්‍රාසජනකයි. ඒ අතර සැබෑ ඇල්ම බැල්ම ලැබෙන බැදීම් නැත්තෙමත් නැහැ.


මේ දොකොටසමට නැති ඇතැම් අය ඉන්නවා, එයාල තමන්ට අවශ්‍ය ඇල්ම බැල්ම ආසක්තබව ලබා ගන්නෙ මිනිසුන්ගෙන් නෙමෙයි. සතුන්ගෙන්. ඔන්න තිං දැන් වැරදියට හිතන්නෙපා. ඔයාල දන්නව ඇති වැන්දඹු හෝ තනිකඩ හෝ තනිවුනු මිනිස්සු සුරතල් සතුන් දුසිම් ගණන් ඇති කරනවා. බල්ලෝ ,බළල් ලු. ඔවුන්ට සැලකීමත් ඔවුන් හා කාලය ගත කිරීමත් ඔවුන්ගේ අවධානය ලබා ගැනීමත් ඒ අයගේ හිතට සතුට ගේනවා.


මට මතකයි වරක් විශ්‍රාම වැටුප් නිළධාරියෙකුට ආපු පෙත්සමක තිබ්බා , එක් පුද්ගලයෙක් තමන්ගේ මනුස්සය ආරක්ෂක අංශයේ සේවයේ දී මිය ගියපු නිසා ඇයට ලැබෙන විශ්‍රාම වැටුපත් , ඇගේ ස්වාමියාගේ වැටුපත් , විශ්‍රාම වැටුපත් යන සියල්ල ලොකු දඩෝරි බල්ලන් හතර දෙනෙක්ට වියදම් කරනවා ඒක තහනම් කරන්න කියලා ආපු පෙත්සම. ගිහින් බැලුවම කතාව ඇත්ත වුනත් , එහෙමෙයි කියලා ඒ විශ්‍රාම වැටුප් තහනම් කරන්න බෑ. අදාළ නිළධාරියා නම් කීවේ “ අපරාදේ සල්ලි “ කියලා.ඒත් ඒ මුදලින් ඇය ලබන්නේ සතුටක් නෙමෙයි ද. 




ඒ වගේම මම මේ ලගදි දැක්කා “හර් " "HER" කියල චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක දැන්වීමක්. ඒකෙ හැටියට ඒ පුද්ගලයා දැඩිව යම් තාක්ෂණික මෙවලමක් හා බැදෙනවා. අදහස් හුවමාරු කර ගන්නවා. මානසිකව සතුටක් ලබනවා. සතුටින් ජීවත් වෙනවා. 


ඔයාලට මතකද අර මිස්ටර් බීන් ගේ රෙදි බෝණීක්කා. ඒකාට දෙන දස වද.ඒත් ඒ බිස්ටර් බීන්ගේ තනිකම නැති කරපු වස්තුව.එයාගේ ආදරය.එයාගේ සතුට.



වර්තමානයේ දී තරුණ පරපුරත් භෞතික වස්තූන් එක්ක අදරෙන් බැදිල ද කියල මට හිතෙනවා. සමහර විට සජීවී වස්තුවක් එක්ක බැදෙන බැදීමට වඩා නිදහස් හා කරදර වලින් තොර නිසා වෙන්නැති.


කූඩුවක දාලා තමන් ආදරය කරන යමක් පරිස්සමින් අරන් යනවා වගේ තමන්ගේ ජංගම දුරකතනය දිහා ,ටැබ් එක දිහා , කිසිම හේතුවක් නැතිව බලන අය මම දැකල තියෙනවා. ඒක බොහෝ වේලාව නද දුන්නෙ නැති නම් , මැසේජ් එකක් වත් ආවේ නැති නම් හිත මහ මූසල පාලුවකින් වෙලිලා මූණු ඇදවෙලා යනවා මම දැකල තියෙනවා. අමතන්නෙ හරි මැසේජ් කරන්නෙ හරි සජීවි කෙනෙක් වෙන්න පුලුවන්.ඒත් ඔහු බැදිල ඉන්නෙ අජීවි වස්තුවක් එක්ක.

අද භාවිතා වෙන ෆේස් බුක් වගේ සමාජ ජාලත් මිනිසාගේ තනිකම නැති කරන්න සෑහෙන දායක වෙනව කියල හිතුනත් ඒ දායකවීම භයානක වෙන්නේ සජීවී මිනිස් හිත් වල තියෙන කුහක තිරිසන් කම් පාලනට කරන්න තාක්ෂණයට බැරි නිසාමයි.

මම දන්න සමහර යුවලවල් ඉන්නවා.එක ගෙදර එක ඇඳේ එක වහල යට ජීවත් වෙද්දි නොතිබුනු තරම් උණුසුම් ආදර සම්බන්ධකම් දුරස් වෙලා ගියාට පස්සෙ ඇතිවුන. ඒකට තාක්ෂණය හේතු වෙලා තියෙනවා. ලඟින් නොයිද දුරස් වුනාම සෙවිලි බැලිලි වැඩි කරන්න ඒවාට හැකි වෙලා තියෙනවා. “කෑව ද? “ බීවද?“ “ ඔයා නිදිද?“ “දැන් සනීපද? “ කියල අහල යවන මැසේජ් නිකම් පුස් බොළඳ  දෙයක් කියල අයින් කරන්න බෑ.

ගෙදර ඉද්දි මූණ නොබල කතා  කරන අය. “ කෑමෙක මෙසෙ උජ අරන් යන්න “ “ මම යනවා “ “හරි යනව නම් දොර වහගෙන යන්න “ කියන අය, දුරස් වුනාම කාලා බීලා වෙලාවට රෙඩි වෙලා ඉන්නේ ස්කයිප් එකෙන් මූණ බලල කතා කරන්න.හිනා වෙන්න. 


සෙවිලි බැලලි හිතට වදයක් වුනාට , සෙවිලි බැලලි නැති වෙලාවට දැනෙන මහ මූසලකමට ඔබට මුහුණ දෙන්නට වෙන්නෙපා කියල මම පතනවා. 


සරලම සිදුවීමක් විදිහට ගත්තොත් , මහන්සිලො වැඩ කරල ගෙදර එද්දි , ගේ දොරකඩ ලගට වෙලා හරි මිදුලට ගේට්ටුව ලගට වෙලා හරි බලා ඉන්න “ මම බැලුවා මොකද පරක්කු කියලා “ කියන වචනයක තියෙන ආදරය දැනෙන්නට නම් එහෙම බලා ඉන්න කෙනා ඔයාට නැති වෙන්න ඕනි.


සමහර විට එහෙම බලා ඉන්නේ, හොදටම ඔබ කිසි කරදරයක් නැතිව ගෙදර එන බව දැන දැන. හරියට “කෑවද “ කියල මැසේජ් කරන්නේ ,නොකෑවනම් කෑම අරන් දෙන්න තරම් ලගක ඉදල නෙමෙයි වගේ...............


බැදීම් නැතිව ජීවත් වෙන්න මේ ලෝකේ කිසි කෙනෙක්ට බෑ. එහෙමනම් එයා නිවන් දැකපු කෙනෙක් වෙන්නැති.



නිවන් දකින්නට පිං මදි 

මම

෴ සොඳුරු෴


Pls Lsn 







I'm lying on the moon
My dear, I'll be there soon
It's a quiet and starry place
Time's we're swallowed up
In space we're here a million miles away

Friday, April 18, 2014

෴ ආදරය ෴

ආදරය









කිසිදා කිසිවෙකු කිසිවෙකුටවත් අයිතිකර ගත නොහැකි බව සත්‍යයක් වූව ද , අයිතිකර ගැනීමට නොහැකි වීමටත් වඩා අන්සතු වීම සිත පාරවයි.

ආදරය හිමි කර ගත යුතුම නොවන බවත් , ආදරය යනු පිදිය යුත්තක් බවත් කොයිකවුරු පැවසූවත් , දැඩි ආදරයකින් වෙන් වීමේ දුක විඳවූවන් එය කොතරම් නම් වේදනාවක් ද යන්න දනී. එම වේදනාව විටෙක දරුණු ලෙස සිත පෑරූවද තවත් විටක ඒ වේදනාවම නිරාමිස සුවයක් සිතට ගෙන එයි.

තමා පැතූ අයුරු ආදරයක් හමුවන්නේ එහෙමත් කෙනෙකුටය. බොහෝ විට එය නොසිතූ නොපැතූ බොහොමතක විය හැක. ඇතැම් විටක විවාහ වී දරුවන් ද ලැබූ පසු වුවහොත් ? 

සැබෑ ආදරය කරනා දෙදෙනකු විවාහය වී දරුවන් වැදුව යුතු යයි නියමයක් නැත. නමුත් එකිනෙකා කෙරෙහි වූ සෙනෙහස ලෙංගතුකම සිතින් මෙන්ම කයින් ද බෙදා හදා ගැනීමට නම් එක්ව විසිය යුතු ය. නැතහොත් අවම වශයෙන් හමුවිය යුතු ය. එසේ නොමැතිව වුවු ද කලක් තමා පැතූ ආදරයේ උණුසුම සිතින් විඳිමින් තනිකඩව හෝ තනිව ජීවත් වන්නන් නැත්තේම නැත.

අද ලංකාවේ බොහෝ විට විවාහයක් සිදු වන්නේ තමාගේ අනාගත සුරක්ෂිතතාව පතා ය. විශේෂයෙන් ගැහැණියකට එය ඉතාම අත්‍යාවශ්‍ය වේ. තමා ආදරය කරන්නා සමඟින් සියල්ල බෙදා හදා ගනිමින් එකට ජීවත් වීමට හැකි පරිසරයක් සදා ගැනීමට නම් ඔහු හෝ ඇය සමඟින් විවාහ වීම ලංකාවේ හැදියාව ඇති (යැයි සැලකෙන ) දරුවන්ගේ සිරිතයි.

නමුත් මගේ පුද්ගලික මතය නම් ආදරයෙන් තොර ව කරනා විවාහය යාන්ත්‍රික බවක් උසුලයි.සියල්ල පිළිවලට ගලා ගිය ද , සොඳුරු තැන් මඟ හැරී යයි. මම කවදත් පිළිවලට නොකැමැත්තෙමි. අපිළිවලේ සුන්දරත්වය අගයමි.

විවාහයෙන් පසු ආදරය කරන්නට සිදු වේ. නමුත් එය බොහෝ දුරට ඇති කර ගන්නා වූ බැඳීම් මිසක සිතක ගැඹුරින් ඇති වූ බැදීම් නොවේ. දරුවන් සාදා සමාජ වගකීම් ඉටු කර ගැනීමත් සුරක්ෂිතතාවයත් සඳහා ඇති වූ කුටුම්බයක් පමණි.

ආදර විවාහ දෙදරා යන අවස්ථා ද විරල නොවේ. සාපේක්ෂව යෝජනා විවාහ වලට වඩා වැඩියෙන් ආදර විවාහ දෙදරා යන අවස්ථා තිබේ. එයට හේතුව ආදර විවාහ වලදි පෙර ආදරය බලාපොරොත්තු වීමත් යෝජනා විවාහ වල දී වගකීම් යන්න මූලික තැනක් ඉසිලීමත් විය හැකිය.

ගැහැණිකට හෝ පිරිමියෙකුට තමා සොයනා ආදරය ලැබෙන්නේ ජීවිතයේ බොහෝ විට එක් වරකි. එය සතු කර ගැනීමට ද බොහෝ දුරට නොහැකි වේ. ඒ නිසාමදෝ ඒ ආදරය විරහ වේදනාව මුසු සියුම් මතකයෙන් සිත පුරවා ලයි.

එවන් වූ ආදරයක් මැරනෙ මොහොතක වුව ලග ඉන්නවා නම් සිතසැනසී යයි. සිහිනයෙන් විත් සිප වැළඳ සිත සනසවා ලයි. දූ දරුවන් ලැබ , මහළු වියට ගිය ද අත් පා වාරු නැති වුව ද සිත තුල සරමින් සිතුවිලි දල්වයි. යොවුන් වියේ හැඟීමට වඩා වෙනස් වූ හැඟීමක් මහළු වියේ දී දැනේ දයි මා නොදැන සිටියත් , ආදර විරහව උපේක්ෂාවෙන් දකින්නට වයසින් මුහුකුරා යත්ම අපට පුලුවන් වනවා වන්නට ඇත. . . . . .


පුද්ගලිකව මා දීපිකා ගේ ගීත වලට නොකැමැත්තෙමි.ඒ ගීත සිතේ සියුම් තැන් රිදවා පාරවයි. අමතක කල මතක නැවත මතුපිටට ගෙන විත් දෑස් ඉදිරිපිට මවා ලයි. නමුත් කොතරම් සැඟවූවත් මේ කාර්යය බහුල ලෝකයේ හැඟීම් දැනීම් ඇති සංවේදි මිනිසකු බව එම ගීත මඟින් අපට වටහා දේ.


අවසානයේ දී හිත හදා ගැනීමට , සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ගීතයක පද මෙලෙසින් ඉදිරිපත් කරමි. ආදරයට ලෝබකමින් මිරිකෙන සිත හදන්නට මේ පද ප්‍රමාණවත් ද?


ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි

රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි

ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි
ආල වඩන යන තේරුම බෝසත් කම සකි



----------------------------------------
නුඹව මතකයෙන් හැර පියා ලීමට නම්

මම මෙලොව හැර පියා යා යුතු ය


එදින එන තෙක් නුඹ ගැන මතක



මා ළඟ සුරැකිව උණුසුම් තැනක ඇත

මම

෴ සොඳුරු෴

Sunday, April 13, 2014

මගේ අවුරුදු පැතුම

මගේ අවුරුදු පැතුම

හිනා වෙලා සතුටින් ඉන්න පුලුවන්, 
හිත රිදවන හැමදේම හිතින් අයින් කරන්න පුලුවන් ,
උණක් හෙම්බිරිසාවක් වත් නොසෑදෙන ,
අතමිට මුදල් යහමින් ගැවසෙන 
ජාතිවාදී ලේ නොකකියන,
සැර පරුෂ වදන් නොතෙපලන
එකිනෙකා කෙරේ සෙනෙහස නැතත් 
වෛරය ඇති නොවන
කැලෑ එළි නොවන
වන සතුන්ගේ බිම් නැති නොම වන
මිනිස්සුන්ටත් ඉන්න හිටින්න තැනක් හමුවන
කිසිම ආගමක් නැතිවෙන
දහම රජයන
ඉසුරුබර මෙ සිරිලකටත්
එහි වාසී සැමටත් (මිනිසා සතා සීපා සෑමදෙනාටම)
සුබම සුබ නව වසරක් වේවා යන්න
මගේ අවුරුදු පැතුමයි



මම
සැඟවුනු අමුත්තිය
෴ වත්෴

Wednesday, April 9, 2014

සිංහල අවුරුදු උත්සවය සහ බ්ලොග්කරුවෝ ..........................

සිංහල අවුරුදු උත්සවය සහ බ්ලොග්කරුවෝ


සිංහල අවුරුද්ද එන්නේ පුංචි ඈයොන්ටයි , පිරිමින්ටයි කියලා  ගෙවල් දොරවල් අස්කරල ,හෝදල කොන්ද අමාරුව හැදුනු අම්ම කෙනෙක් කියනව මට ඇහුනා.

ඒත් මට හිතුනා ඒක මේ විදිහට වෙනස් වුනා නම් හොඳයි කියලා.

“ සිංහල අවුරුදු එන්නේ , පුංචි ඈයොන්ටයි, පිරිමින්ටයි, සිංහල බ්ලොග්කරුවන්ටයි “ කියලා. 


ඒ මොකද කියනව නම් සිංහල බ්ලොග් අවකාශය පුරා විසිරී සිටන නොයෙක් ආකාරයේ අය එකතු වෙලා ලස්සන සිංහල අලුත් අවුරුද්දක් සමරන්න ගත්තෙ අද ඊයෙක නෙමෙයි.


ඉතින් ඔන්න මේ අවුරුද්දෙත් එයාල “සිංහල අවුරුදු උත්සවයක් “ ගන්නයි ලෑස්තිය. මේ නාකි මට නම් යන්න වෙන්නේ නැති වුනත් බ්ලොග් අවකාශයට අලුතින් එකතු වුනු තරුණ පහේ සහ නව යොවුන් හාදයෝ හාදියෝ එකතු වුනාම මැවෙන ලෝකය ,සයිබර් ලෝකයට වඩා ලස්සනයි.

ලස්සන අදහස් වලින් සයිබර් ලෝකය පිරුණට ඒ අදහස් තියෙන අය යථා ලෝකයේ දී මුහු ගැහීම කියන හැඟීමම හිතට මොකක් ද මෙවුවෙකක් ගේනවා.

ඉතින්  . . . . . . . මේ ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සතුටින් සමරන්න ඒ සුන්දර අවස්ථාව මඟෑර ගන්නෙපා.................

දිනය -  අප්‍රේල් 20

 ස්ථානය - බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනය


වේලාව - උදෑසන 9 සිට දවස පුරා


තව සිංහල බ්ලොග් ලියන අයට පුලුවන් මේ මගේ බ්ලොග් එකේ තියෙනව වගේ බැනර් එකක් ඔයාලගේ බ්ලොග් එකෙත් ප්‍රදර්ශණය කරලා පුංචි උදව්වක් කරන්න...............


එහෙනම් එදාට හමුවෙමු නේද ............... 

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...