..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, March 25, 2014

෴ නිශායාමය ෴ ( පළමු කොටස)


නිශායාමය ( 1 - කොටස )




රැය මැදියමට ආසන්න වූවද ඇගේ නෙත් නොපිය වෙයි.ඇය දෙතුන් වතාවකටත් වඩා වාරයක් කාමරයේ දොර වසා ඇත්දැයි සැක හැර දැන ගත්ත ද, නැවතත් ඇඳෙන් බැස දොර වෙත පිය නඟන්නට ඇයට සිතුනේ දොරේ අගුල පවා ඇයට එරෙහිව ක්‍රියා කරන වාතාවරණයක් ඇය වටා නිර්මාණය වී ඇති නිසාය. ඇය තම උණුසුමට තුරුළු වී නිදන පුතුට නොඇහැරෙන ලෙසින් සෙමින් යහනෙන් නැගිට්ටා ය. 

ඇය තම උණුසුමට තුරුළු වී නිදන පුතුට නොඇහැරෙන ලෙසින් සෙමින් යහනෙන් නැගිට්ටා ය. ඇගෙන් හිස් වුනු ඇඳ මෙට්ටයේ වල ගැසුණු උණුසුම් තැනට ගුලි වූ පුතාගේ නිරාවරණය වූ පුංචි දෙපා වැසෙන සේ පොරෝනය සැකසූ ඇය දොර අසලට යෑමට සැරසුනා පමණි. තද අඳුරේ වුව ද දොරට යටින් හිඩැසින් කාමරයට එපිටින් එහා මෙහා යන අයකුගේ සෙවනැල්ල ඇයට හඳුනා ගැනීමට අපහසු නොවීය. ඇගේ හද ගැස්ම වේගවත් විය . යහනේ සැපට නිදන දරුවා දෙසත් දොර හිඩැසින් පෙනෙනා සක්මන් කරන සෙවනැල්ල දෙසත් බැලූ ඇය ගතේ සිහින් දා බිඳු මතුවන්නට විය.

ඇය සෙමින් දොර අසලටම යත්ම එහා මෙහා ගමන් කළ ඡායාව ද ඇයට සම්මුඛව ප්‍රතිවිරුද්ධ දෙසින් නතර විය.ඇය වෙව්ලන දකුණත දොර පලුවට තබා අප්‍රාණිකව යමින් තිබුණ සිරුර වාරු කර ගත්තීය.
දොර පලුවට එහා පසින් ඇසුනේ සිහින් ඇයැදුමකි.



නිශා . . . . මම දන්නවා ඔයා ඔතන ඉන්නවා කියලා. නිශා .....
යන්න මෙතනින් පුතා ඇහැරෙයි අමාරුවෙන් එක්කාසු කර ගත් වචන කිහිපය ඇය මිමිණුවේ සිහිනයෙන් මෙනි.
නිශා ....මම කියපු දේ ගැන හිතල බලන්න නිශා.මේක අපි දෙන්නටම හොඳයි
මම කැමැති නෑ

එහෙනම් මොකද ඔයා දොර ලඟ ඉන්නේ 

යන්න ....අම්මල ඇහැරෙයි

අම්මල දන්නවා. මට ඕනි ඔයාගෙ කැමැත්ත විතරයි නිශා

මම කීවනේ බෑ කියලා.

එහෙනම් එහෙම ද? හොඳයි බලමු , ලේස්ති වෙයන් වෙන තැනක් හොයා ගන්න බැල්ලී
තමුසෙට ඕනි දෙයක් කරනවා. මම කැමැති නෑ කීවොත් නෑමයි ඇය එවර මදක් හඬ නඟා පැවසුවේ , නිදිපුතු ඇහැරවන්නට මෙනි.............

(
එක් සත්‍ය කතාවක් ඇසුරිණි )

Thursday, March 20, 2014

තත්ත්වය මොකක් ද?

තත්ත්වය මොකක් ද ?



අන්තර්ජාලය භාවිතා කරන ගොඩාක් අය නිරන්තරයෙන්ම යනෙන තැනක් තමයි “වත් පොත“ නොහොත් “ෆේස් බුක් “ . ඔන්න මේ දවස් වල ඒ පැත්තෙ ගියොත් ඔයාලට දකින්න පුළුවන් “වත් පොත “ සිංහල වලට පෙරලෙනවා. ඒ සඳහා අපූරු කොල්ලො කෙල්ලො සෙට් එකක් මොකක් දෝ මන්දා කරනවා. මේ තියෙන්නේ අන්න ඒ ගෘප් එක.



එතන දි මට තේරෙන විදිහට කරන්නේ “වත්පොතේ “ භාවිතා කරන ඉංග්‍රීසි වදන් වලට හරියන සිංහල වදන් එකතු කරනෙක. ඒත් ලස්සනම වැඩේ කියන්නේ ඒ සමහර වචන දැක්කම සිංහල අපිටම හිනා යනවා. ඒ වෙලාවට තමා හිතෙන්නේ අපි කොයි තරම් නම් ඉංග්‍රීසි වචන වලට හුරු වෙලාද කියලා. විශේෂයෙන්ම පරිගණකය සම්බන්ධව ගත්තම අපිට අපේම කියලා සිංහල වචන නැහැ.


ඉතින් , ෆේස් බුක් හෙවත් වත් පොතේ නිතරම දකින්න පුළුවන් Status කියන වචනය සිංහලට හරවද්දි “තත්ත්වය“ කියලා දාලා තියෙනව දැකලා මට මතක් වුනු පරණ කතාවක් තමා මේ.

පොඩක්ක් විතර අසැබැයි.ඒක ඉතින් බ්ලොග් අවකාශයට මහ ලොකු දෙයක් වෙනේකක් නම් නැහැ.


මෙන්න කතාව . . . . . . . 


ඔන්න දවසක් රජයේ සේවකයෙක් ගමේ තොරතුරු වගයක් රැස් කරන්න ගමේ ගෙයින් ගෙට යනවලු. ඒ ගම ගොඩක් දුෂ්කර පළාතක ගමක්. ලියන්න කියන්න දන්න අයත් බොහොම අඩුයි.ඒ නිසා පුරවන්න තියෙන විස්තර කොළයේ තියෙන ප්‍රශ්ණ එකින් එක අහමින් ඒක පුරවන්නෙත් අර නිළධාරියමයි. ඉතින් ඔහොම යද්දි තවත් කටු මැටි ගෙදරකට ගොඩ වුනා ලු. ගෙදර ප්‍රධානියා නිළධාරියට දුන්න ගෙදර සන්තකේටම තිබ්බ කැඩිච්ච වැල් පුටුවෙ වාඩි වෙලා විස්තර පත්‍රිකාව හරව ගත්තලු.

කවුද ගෙදර ගෘහ හිමියා
ඒ කීවේ මහත්තයෝ
මං ඇහුවෙ ගෙදර ලොක්කා කවුද ?
අපේ ගෑණි තමා ඉතින් ගෙදර වැඩ ඔක්කම කරන්නේ
හරි හරි ඒකට කමක් නෑ තමුන්ගේ නම මොකක් ද? ඔන්න තිං නම කීවලු.වයස, එහෙමත් උපන් දිනේ එහෙමත් දන්න විදිහට පුරව ගත්තලු. ගෙදර හිටිපු ඇච්චො බැච්චො ටිකත් තරුණ පහේ බොහොම වයස අඩු උන්දැගෙ හාමිනෙත් දැන් මෙතනට ඇවිත් සිද්ධිය දිහා බලාන තමා ඉන්නේ.ඔන්නදැන් තමා ගැටළුව.
දැන් කියන්න බලන්න තමුන්ගේ තත්ත්වෙ කොහොම ද කියලා
සිද්ධිය දිහා ඇස් කණ් අයාගෙන බලා හිටි උන්දැගෙ හාමිනේ දැන් ඇඹරෙනවලු. ගෙදර මනුස්සයත් බිම බලාන එහාට මෙහාට ඇඹරෙනවලු..... 
කියන්න කියන්න තත්ත්වෙ මොකක් ද ?
නිළධාරියටත් දැන් හොඳ ගණන්.....
මෙතන හුරතල් වෙන්න වෙලාවක් නෑ මනුස්සයෝ.කියන්න තමුන්ගෙ තත්ත්වෙ මොකක් ද කියලා
පොඩ්ඩක් සැර දාලා අහපු පාර ,ලැජ්ජාව පැත්තක තියපු ගෙදර මනුස්සය කීවලු.
අනේ මහත්තයෝ ඇඹුල් කෙසෙල් ගෙඩියක් විතර ඇති කියලා.
අර නිළධාරියා අත ඔළුවෙ ගහ ගත්තලු.
මනුස්සයෝ තත්ත්වෙ කීවේ, තමා කසාඳ බැදල ද නැද්ද කියලා

Monday, March 17, 2014

දේශපාලනය නොවේ............



                දේශපාලනය නොවේ............





බඩු මිල වැඩි යැයි නිතර මැසිවිලි කියන, බස් ගාස්තු කිරිපිටි මිල ගැන දෙස් දෙවොල් තබන, ජිනීවා ගැටළුව පිළිබඳව විදුලි පුටුවට යවන්නට හරබර කතා කියන සියල්ලෝම දාඩි මුගුරු වක්කරමින් පාර දෙපස ය. 

දරුවන් එකා දෙන්නා ක්ලාන්තවී වැටෙයි. නමුත් වතුර බෝතලයක් එක හුස්මට බොන ඔවුන් කලින් සිටි තැන සොයා දිව එයි. අතේ පුංචි ජාතික කොඩිය සිය වරක් පමණ සොලවා බලා එය හොඳින් ලෙද දෙන බව සැක හැර බලයි. විනාඩි දහයකටත් අඩු කුඩා කාලයක ට දකින මුහුණක් වෙනුවෙන් මඟ බලා සිටින බහුතරය සෑම දිනකම පාහේ කුමක් හෝ දෙයකට ආණ්ඩුවට මැසිවිලි නඟන බව නම් නොරහසකි. 

පවතින රජය හමයැවූ සහෝදර ගුරුභවතුන් නිවාඩු දමා ගෙදර සිටියේ නැත. උපරිම වැඩ කොටසක් සිදු වූයේ ඔවුන් අතින් යැයි මට සිතේ. නිවෙස් වල සිටි මහල්ලන් පවා පාර දෙපස මඟ බලයි.ඔහු සම්ප්‍රාත්තවෙයි.සියල්ලෝම කලබලයෙනි. උද්යෝගයෙනි , ඉන් එකෙකු වත් ඔහු හා සුළු අමනාපයක්වත් නැත. මූණු වල කිසිදා නොදුටු අපූරු සිනාවකි.දරුවන් සිටින විද්‍යාගාරයට ඔහු කෙළින්ම පැමිණෙයි. ආයුබෝවන් දරුවනේ, කොහොමද විස්තර ඔහු අසයි. එක් දැරියක් සමීපයට ගොස් හිතවත්කමින් යමක් විමසයි. ඇගේ දෑසේ තෙතමනය මට පෙනේ. මට ඇඬෙන්න ආවා ටීචර් ඇය පසුව මාහා කීවා ය. 

පිටත සිටින්නන් පොරකමින් ඔහුට අතවනයි.ඔහු ළඟට යන්නට , ඔහුට මුහුණ පෙන්වන්නට , ඔහුගේ අත අල්ලන්නට ඇත්තේ උන්මාදයකි.කුඩා දැරියක ඔසවා සුරතල් කරාදැයි මට මතක නැත.හේතුව ඔහු සිටින ඉසව්ව මට නොපෙනන තරමට පිරී ඉතිරී ගොස් ඇති නිසා ය.සියල්ලෝම ඔහු සොයා ඇදෙයි. තද බල බාධා අවහිර නැත. සුළු උත්සාහයකින් ඔහු වෙත ලඟා වීමට හැකි ය. රටේ ලොක්ක, අපි බලන්නට අපේ ළඟටම ආවා ඔවුන් සිතයි.....නමුත් ඔට්ටුයි.....හෙට ද ඔවුන් බඩු මිල ගැන , බස් ගාස්තු ගැන , දරුවන්ගේ පාසල් වියදම් ගැන , කොතරම් හම්බකරත් මදි බව පවසමින් මැසිවිලි නඟනු ඇත....එහෙත් ඔහු මෙවරත් දිනනු ඇත. මෙය කුමක් දැයි මට නොතේරේ.සැබැවින්ම කුමක් දෝ ආකර්ශණයක් ඔහු ලඟ ඇති බව නම් මට ද නොකියාම බැරි ය............................

Saturday, March 1, 2014

( මළ )ඡන්දදායකුගේ සිතුවිලි --------------------------

(මළ) ඡන්දදායකුගේ සිතුවිලි

--------------------------



පින්තූරය - ශෙහාන් ගුණසේකර 

පිහිපාරවල් වගේ ,අපිට අපි ගැනම දුක හිතෙන පින්තූර බලන්න ඕනි ද ? මෙන්න පාර 


“අපි ගැන හිතන අය“

“ඔබගේ සඳයි මේ මම“

“මනුසත්කමේ උරුමය“

“ගුරු පඬුරු පුද දෙන්න කාලය“

“රටට කෙරුවට යුද්ධය“

බිත්ති වල එල්ලෙන

සැණෙන් දවසින් ගැලවෙන

ලස්සන වදන් වල

සැඟවී විදියි ඊතල

මෙන්න මගෙ අංකය

ඔබෙ යුතුකම “මනාපය“

දෙන්න මට එය හෙට

මම කරනවා ඔබට හොඳටම

රට රැකපු විරුවන්

සොදුරු ගුරුවරයන්

දැන උගත් මිතුරන්

මඬේ ලඟිමින් කරයි සරදම්

උතුරටත් බෑ මට

දකුණටත් බෑ මට

බටහිර නැගෙනහිරි

කිසිම දෙසක ට දෙන්න බෑ මට

කට ඇරන් උඩ බලන්

මළා මෙන් ඉන්නම්

නොදැක නොඅසා නොමදැන

කෙනෙක් මෙන් ඉන්නම්

මා ළඟ තුනක් ඇති

උදුර ගෙන යනු සබඳිනි

එයින් සුබ පලයක්

නුඹට මිස

අපහට ලැබී නම් නැතී...........


මෙයට
(මළ )ඡන්දදායකයා 

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...