..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, February 16, 2014

හිස්


හිස් 





හැමදාම නිකම් දුක් විඳින්නෙ මොකටද කියලා ,මාත් දුක දෙන දේවල් වලින් අයින් වුනා.අයිති කියන්න බැරි දේවල් අයින් කරා. 

අයිති නැති වුනත් හිතින් අයිති කරන් ඉන්න දේවල් අතාරින්න මුලදි බොහොම අමාරුයි.ඒත් අතාරින්න බැරිත් නැහැ. කරන්න තියෙන එකම දේ අතාරින්න ඕනි දේවල් වල නරක පැත්ත දිහා විතරක් බලනෙක විතරයි.

හොඳයි ,ඔන්න කොහොම හරි  ඒ දේවල් අතෑරිය කියමු. මුලදි ගොඩාක් දුකයි . . .ටික ටික දුක අඩු වුනත් ,අන්තිමට ම දැනෙනවා මහම මහ හිස් බවක්. හරිම කාලකණ්නි ඒ හැඟීම.


වෙනද වගේම ඉර පෑයුවත් ඉර බැස්සත් , වෙනදටත් වඩා ගොඩාක් වැඩ කරත් , හිතෙට දැනෙනවා මහා හිස් බවක්. හරියට කිසිම වැඩක් පලක් නොකර ඔහේ හිටියා වගේ.ඒත් ඇත්තටම නම් වෙනදටත් වඩා ගොඩාක් වැඩ කරල.ඒත් හිස්

කොහෙ බැලුවත් හිස් ..................

රෑ අහස බැලුවත් තරු කොච්චර පිරිල තිබ්බත් අහස හිස්
පොළව බැලුවත් කොච්චර කුණු ගොඩවල් ගහ කොළ සතා සරුපය මිනිස්සු හිටියත් පොළවත් හිස්
ගස් කොළන් වල මල් කොළ ගෙඩි පිරිල  තිබ්බත් ගහ කොළත් හිස්
රූපවාහිනියේ කොච්චර කතා දැන්වීම් ප්‍රවෘත්ති ගියත් ,ඇස් කැඩෙනකම් කණ් ගොඩ වෙනකම් ඒ දිහා බලා හිටියත් ඒකත් හිස්

වටේ පිටේ හැමදේම තිබිලත් , කරන්න ඕනි වැඩ ගොඩවල් කරලත් මේ දැනෙන හිස් බව කියන්න වචන නැහැ.ඒක තනිකම නම් නෙමෙයි.



මිනිස්සුන්ට ජීවත් වෙන්න , ජීවත් වෙනව කියල දැනෙන්න ,ආදරය අත්‍යාවශ්‍යම නැහැ.

හැබැයි අඩුම තරමේ , වෛරයක් , වේදනාවක් , දුක්බර මතකයක් හරි තියෙන්නම ඕනි. ඔය දේවල් හැමේකම අයින්කරාම අතෑරියම ජීවත් වෙනව කියල දැනෙන්නෙ නැහැ. 


අතෑරීම තමයි පරම සතුට කියල හිතුවට හැමදේම අතාරින එක සතුටක් තියා කිසිම හැඟීමක් නැති මහ මූසල කාලකණ්නි හිස් කමක්.............





හිස් කමේ ගිලිල ,මැරෙන්න ළඟ 
මම
සොඳුරු



ප.ලි:- එහෙම ලීවම හිතන්නෙපා “සියදිවි නසා ගන්න “ හදනව කියලා.මටත් සාරි ගොඩාක් තියෙනව තමා.ඒත් එහෙම මැරෙන්නවත් හිතෙන්නෑ.හරිම හිස්.....

ඇත්තටම මේ හිස් කමට කරන්න පුලුවන් එකම දෙයයි තියෙන්නේ. හොඳ අඩියක් ගහනෙක.සිහිපත නැති වෙනකම්ම...... 

Friday, February 14, 2014

෴ ආදර හසුන ෴

෴ ආදර හසුන ෴




අඳුරු කාමරයට , විවෘත කර ඇති කුඩා ජනේලයෙන් ලැබෙන ආලෝකය මදි නිසා දෝ දහවල් කාලයේ දී වුව ද කහ පැහැති දුරුවල ආලෝකයක් විහිදෙන කුඩා විදුලි බල්බයක් දල්වා ඇත. කිසිදු පිළිවළක් නොමැති කාමරය පුරා ඇත්තේ අපිළිවලට ගොඩ ගසා ඇති නොයෙක් ආකාරයේ ආම්පන්න සහ උපකරණයි. 

දිරාගිය රාක්ක වල ගොඩ ගසා ඇති නොයෙක් ප්‍රමාණයේ  පොත් දුහිවිලි බැදී දුර්වරණ වී ඇත්තේ කිසිවකුගේ පහසට කලෙකින් ලක් වී නොමැති බව කියා පාමිනි.

එම කාමරය තුල කිසිවකුත් සිටිනා බවක් බැලූ බැල්මට නොපෙනුන ද විදුලි පහන් ආලෝකය දල්වා ඇති නිසා යමෙකු එතුල සිටිය යුතු බැව් හැඟේ.



හොඳින් නිරීක්ෂය කළ හොත් පමණක් ඔබට දැක ගත හැකි වන්නේ අඳුරු කාමරයේ එක් මුල්ලක දෙපා දෙපසට විහිදා වාඩි වී සිටන ගැහැණියකි.තරමක් එහා මෙහා ගිය ඇගේ කෙටි සාය නිසා ඇගේ සුන්දර කලවා නිරාවරණය වී තිබුන ද ඒ ගැන ඇගේ කිසිදු අවධානයක් නොමැති බැව් හැඟෙන්නේ ඇගේ මුළු අවධානයම යමකට යොමු වී ඇති නිසා ය.

දෙපසට විහි දූ පා අතර ඇත්තේ තරමක විශාල නමුත් දිරා ගිය කාඩ්බෝඩ් පෙට්ටියකි. ඇය එහි ඇති දෑ වරින් වර පිටතට ගන්නට ඇතැයි සිතෙන්නේ ඇය වටා විසිරී ඇති පැරණි ලට්ට ලොට්ට දැකිය හැකි නිසාය. පැරණි සමරු පොත්, වෙසක් කාඩ් , තැන්ක්යූ කාඩ් , වියළි ගිය මල් , නැමූ තැන් වලින් බාගෙට ඉරී ගිය පත්තර පිටු, මළ කෑ කොණ්ඩ කටු , ඇගේ කෙටි සාය ද වසා ගෙන ඇය වටා රොද බැද ඇත.

ඉතා ම පැරණි වූවද ඇය ඒවා එකින් එක ගෙන බොහෙම පරිස්සමට බිමින් තබයි. ඇතැම් විටක ඇය පෙට්ටියේ ඇති දෑ ගැනීමට සැලකිය යුතු වේලාවක් ගනියි. දැන් බොහෝ වේලාවක සිට ඇය කිසිවක් දෙස ඉතාම උවමනාවෙන් බලා සිටිනා බැව් පමණක් මඳ ආලෝකයෙන් දැකිය හැකි වේ. ඇය සිටින්නේ මේ මොහොත තුළ නොවන බැව් නම් වඩාත් හොඳින් ළංවී ඇය ගේ මුහුණට එඹී බැලුවොත් ඔයට දැක ගත හැකි වනු ඇත.


----------------------- ---------------- ------------------------------


“ කෝ ඉතිං අගේ නොකර ඕක ගනින් බන් “ 

“ බෑ බෑ බෑමයි . . . .මං කීවනේ එක සැරයක්. මේක මගේ “
“ ඕකනෙ කියන්නේ.අපි එහෙම නෑනේ. අපි නම් ලැබෙන හැමේකම බෙදා ගෙන බලනවා. උඹ මහ  . . . . .  මෙහෙට දියන් ඕක  . . . .“


පන්ති කාමරයක් මුල්ලක පොඩි රණ්ඩුවකි. වාඩි වී සිටන කෙල්ලක් වටා රොද බැදගත් තවත් කෙල්ලන් තිදෙනකු වාඩි  වී සිටන කෙල්ලගෙන් යමක් ඉල්ලා සිටියි. ඩෙස්කය මත ඇති පොත මත දෑත තබා දැඩි  ලෙස එය බදා ගෙන සිටින වාඩි වූ කෙල්ලගෙන් පොත උදුරා ගැනීමට අනිත් තිදෙනා වෙහෙසේ.

ඉන් එකියක අනික් උන් පරදා ජය ගන්නේ උදුරා ගත් පොත ද රැගෙන පන්තියේ අනිත් කෙළවරට දිව යයි. අනික් උන් ඇය පස්සේ පන්නමින් ගොස් ඇගේ අතේ ඇති පොත නැවත ලබා ගැනීමට තැත් කල ද පළමුව දිව ගිය කෙල්ල පොත තුල ඇති යමක් ගෙන සඟවා ගනියි.


“ අනේ මගෙ  . . . . ඕක මගේ . . .  බලන්නෙපා “

“ අනේ පලයන් යන්න. අපි මේක ඔක්කටම ඇහෙන්න කියවනවා. “

“ එපා එපා . . .  “

“ මගේම ආදරණිය එස් . . . . . .  “

“ ආව් .... ආව්  . . . . “



එක කෙල්ලක ලියමනේ ඇති දෑ කියවද්දි අනිත් එවුන් දෙදෙනා අත්වැල් අල්ලන්ට වූයේ, මුහුණ බෙරි කර ගෙන ඔවුන් තිදෙනා දෙසම බලා සිටින්නිය දෙස බලමින් බබලන දෑසිනි.

“ රාහුල විදුමව් තුරුළේ සිට ලියමි “


“ යකෝ මේක නම් හරියන එකක් නෙමේ.බැරි වෙලාවත් අහුවුනොත් ගස් නේ.“


“ ඔවු බන් , ස්කෝලෙ නම දාන්නෙපා කියල අනිත් දවසෙ කියපන් “


“ මගේ ලැමැද සුව යහනක් “


“ඔබට තනා දෙන්න කියා “ අනිත් කෙල්ලන් දෙදෙනා තාලයට සින්දුව  කියන්නට වූයේ අභිනයෙන්  ද ගීතයේ අරුත කියාපාමිනි.


“ නවත්තපල්ලා නවත්තපල්ලා.උඹලගෙ කණ්නාඩි කෑලි පනා කෑලි ලියුම් චොකලට් තියනම් හංගපල්ලා. “




වේගයෙන් පන්තිය තුළ ට දිව ආ කෙල්ලක් හති දමමින් කියන්නට විය. 

“ ඒ මොක ද ඒ? “

“ මොකද තමා. ඔන්න පන්ති චෙක් කරන්න එනවා. දැන් එකොළහෙ පන්ති වල.බෑග් හිටන් ඇදල බලනවා .“


සතුටින් සිටි කෙල්ලන්ගේ මුහුණු වෙනස් වන්නට වැඩි වෙලාවක් ගත නොවීය. මෙතෙක් මුහුණ බෙරි කරන් සිටි කෙල්ල වහා පැන අනිකාගේ අතේ වූ ලිපිය උදුරා ගත්තී එය ඉතා කුඩා වන සේ  නමා අතේ ගුලි කර ගත්තාය.

“ඕක අතේ ගුලිකරන් ඉදල හරියන්නෑ සඳෝ. හංගන්න තැනක් හිතපන් “

“ ගණිතය පොතේ පිට කවරේ ඇතුලට දාමු “ එකියක් යෝජනා කරයි.

“ හරියන්නෑ බන්.සැක හිතුනොත් පිට කවරේත් ගලවාවි “

“ සපත්තුව අස්සෙ දාගනින් “

“ මොන විකාරයක් ද. ගිය සැරේ සපත්තු අස්සෙ හංගපුවා කවුද ගල් ඉබ්බියෙක් ගිහින් කියලා.දැන් සපත්තු අස්සෙත් බලනව “

“ අනේ දැන් මොකද කරන්නේ  . . . .? “

මස ගණනක් පෙරුම් පුරා යන්තම් විද්‍යාව පන්තියේ දී පොතක් තුල රදවා බොහොම ප්‍රෙව්ශමෙන් දුන් ලියමන ඇයට රටක් රාජ්ජයක් සේ ය. මාස ගණනක් දෙනෙතින් පමණක් හුවමාරු වූ දෙහිතක සිතුවිලි අකුරු වී අතට ලැබීම ද මෙය ඇගේ පළමු ලිපිය වීම ද නිසා කිසිසේත්ම මෙය නම් අන්සතු වීමට ඉඩ දිය නොහැක. පන්තියේ දී මෙන්ම නිවසේ දීද ඇය මෙය පණ සේ රැක ගත්තාය. මෙහි අකුරක් අකුරක් පාසා ඇයට කඩපාඩමින් ලිපිය කියවිය හැකි වුව ද, සොඳුරු සිහිනයක් මෙන් මැකීයාමට ඉඩ දිය නොහැකි බැව ඇයට සිතේ.

“ ඕක අහුවුනොත් මේ සැරේ අලුත් ෆිෆ්‍රෙක්ට්ස්ලගෙ නම් ලිස්ට් එකේ තියෙන උඹෙ නමත් කැපේ වි “

“ඇයි බන් ගෙදෙරට කීවම සඳාව පන්ති එවනේකුත් නැහැ “

“ඕක ඉරල ටොයිලට් එකට විසි කරමු “

“ බෑ බෑ . . . . ඒක නම් කරන්න බෑ “

“ඇයි බන් අදම පන්ති චෙක් කරන්නේ ?“

“ අද වැලන්ටයින් දවස නේ. කෙල්ලොන්ට හම්බුනු චොකලට් ටික එකතු කරන් ගිහින් කන්නයි උන්ට ඕනි “

“ දැන් මොකක් ද බන් මේකට කරන්නේ ? “

සියල්ලෝම කල්පනාවට වැටුනු අතර. ලියමන තව තවත් අතටම ගුලි වන්නට විය.

“ හරි මං දන්නව කරන්නෝනි දේ. ඕක දෙන්න මෙහාට. “

ඇගේ අතින් පියමන උදුරා ගත් චාන්දනී ඉගිල ගියේ එහා පත්තියටයි. එහි සිටි තරමක් උස මහත “හැටේ වත්තේ පවිත්‍රා ට “ කිට්ටු කළ ඇය සෙමින් මොනවාද මුමුණනුත් , ඇගේ අතේ ලියමන ගුලිකරනුත් පමණක් දැකිය හැකි විය.

“ දැන් බයවෙන්නෙපා.එයා ඔක්කම බලා ගනිවී “

හැටේ වත්තේ පවිත්‍රා තරමක් අමුතු ගතිපැවතුම් ඇත්තියක විය. පිළිවලට නාදින  ඇය සමඟින් හාද වීමට කිසිදු පිරිමි ළමයෙකු නොඑන බැව් සමවයස් ගැහැණු ළමුන් පමණක් නොව ගුරුවරුන් පවා සිතන්නට ඇත.

ඉගෙනීම ටද වැඩි උනන්දුවක් නොමැති ඇය ට සමවයස් පන්ති වල පමණක් නොව ඉහළ පන්ති වල ගැහැණු ළමුන් ද දැක්වූයේ අප්‍රසන්නතාව සහිත බිය මුසු හැඟීමකි.


කීවා සේම සඳා ගේ පොත් බෑගය ද සපත්තු මේස් ද ගලවා පෙන්වීමට ඇයට සිදු විය. කවුදෝ ඔපදූපකාරියක් පන්තියේ සිදුවන සියල්ල ගොස් ශිෂ්‍යනායකයන්ගේ කණේ තබන බැව් පවසමින් සතියක් පුරා චාන්දනී මුළු පන්තියම සමඟින් රණ්ඩු විය.

එකදු වචනයකුදු නොදොඩා පවිත්‍රා විසින් ලියමන නැවත සඳාගේ දෝතට ලැබෙන්නට සැලැස්වුව ද කළ උපකාරය වෙනුවෙන් මාසයක් පුරා ඇයට ආපනශාලාවෙන් විවේක වේලාවට යමක් රැගෙන දීමට සඳාට සිදු විය.


ඉන් පසු ලියුම් නම් කීයක් , පුංචි තෑගි බෝග නම් කීයක් හුවමාරු වන්නට ඇද්ද. එවා ඉතා සුරක්ෂිතව අදද සඳා වටේ ට වී සිටියි. ලියමන ඇගේ සුරතේය. එකම වෙනස නම් ඇය තරමක් වැඩී පිරී සිටීමයි. අනිකුත් පාසල් යෙහෙළියන් ද ඉද හිට මුණ ගැසුනද ඇතැමෙකු හඳුනා ගැනීමට පවා නොහැකි තරමට වෙනස් වී ඇත. පවිත්‍රා නම් පාසල් කාලයෙන් පසු ඇයට මුණ ගැසීම නොමැත. චාන්දනී තවමත් තනිකඩය. 



‍අඳුරු කාමර මුල්ලෙ සිටින සඳා ඇය වටා විසිරී තිබූ මතක එකිනෙක ගෙන නැවතත් පෙට්ටිය දමන්නට වූයේ , ගෙයි ඉදිරි පසින් ඇසුණු යතුරු පැදියේ හඩට කලබල වී වන්නට ඇත.


පාසල් යන සොලොස්වියැති කෙල්ලක වී අඳුරු කාමර මුල්ලේ සිටි සඳා , සියළු මතක පෙට්ටියට බහා දෙදරු විවාහක මවක වී හුන්තැනින් නැගිට්ටා ය.

ඇයට එදා ලියමන දුන් කොලු ගැටයා ද කොහේ හෝ පියෙකු වී සැපෙන් සිටිනු ඇත.



අඳුරු අහුමුළු අතර සරන සිත
මම
සොඳුරු සිත

Tuesday, February 11, 2014

මගේ තරුවට

 මගේ තරුවට 





තරු වලට පුන් සඳට

සම කරන් නුඹ

කවි ලිවුවා හැම රෑම

තනි නොවී මං


තරු උනත් හඳ උනත්

මෙය දන්නෙ නෑ

නුඹෙ ආදරේ තවත්

උහුලන්න බෑ

Wednesday, February 5, 2014

සමණල සිහිනය A Story of a Little Butterfly


සමණල  සිහිනය 


A Story of a Little Butterfly 






ඇය හරිම ලස්සනයි. පුංචි සුරංගනාවියක් වගේ. ඒ තොල් පෙති ඒ තරම් රෝස පාට වුනේ කොහොම ද කියලා හිතා ගන්නවත් බැරි වුනා.


ඇය මා ඉදිරියේ හිටගෙන හිටියෙ හරි සීරුවට. තෙල් ගාලා ගොතපු කොණ්ඩ කැරලි දෙක දික් වුනේ යන්තම් උරහිස ගාවට විතරයි. 

“ ළඟ දි ද කොණ්ඩෙ වැව් වේ ? “

ඇගෙ දිලිසෙන ඇස් දිහා බලාන මම ඇහුවෙ කතාව පටන් ගන්න කොණ්ඩ ගසත් හොඳ ඇරඹුමක් වේවි කියල හිතලා.


“ ඔවු ටීච... !!! “

ඉදිරියට වැටිල තිබ්බ කොණ්ඩ කැරුල්ලක් පසුපසට කරන්නට ගතපු අසාර්ථක උත්සාහයක් එක්කම ඇය කියා සිටියා.


“ දූ.... බියුටි සැලුන් යනව ද ? “ ඇගේ ලස්සන දෙබැම දැකපු මට උත්තර ඕනි නැති වුනත් , ඒ බව මම දන්න විත්තිය හඟවන්න මට ඕනි වුනා.


එකවරම බිල බලා ගත්ත ඇය , හිස ඔසවන පාටක් නැති වෙද්දි , මම අහපු ප්‍රශ්ණය ඉල්ලා අස්කර ගත යුත්තක් විත්තිය මට තේරුනා.

“ දූ ට මොකට ද අමුතුවෙන් ලස්සනක් . . . . දු ඉපදිලා තියෙන්නම ලස්සන දෝතින්ම අරගෙන. . . .ම් ම් ම් . . . වාඩිවෙන්න “


එකවරම එසවුනු ඒ මුහුණෙ තිබ්බ හැඟීම් මොහොතින් මොහොත වෙනස් වුනේ හිතා ගන්නවත් බැරි විදිහට.


“ සඳුනි කීවෙ බොරු ටීච.... මගේ එහෙම සම්බන්ධයක් නැහැ. ඒ කොල්ලට සඳුනි කැමැති ටීචර්.ඒකයි මෙහෙම බොරු කියන්නේ “


ඇගේ මුහුණ ඇගේ අතපය ,ඇගේ ඇගිලි , ඇගේ ඉරියවු මේ සියල්ල හදිසියෙන් වගේ පවසන්නේ ඇගේ වචන බොරු විත්තිය බව තේරුම් ගන්න වැඩි වෙලාවක් ගත වුනේ නෑ.

සුපුරුදු පරිදි ඇයට මගෙන් ලැබුනෙ උපදේශ ගොඩාරියක් වෙනුවට , පුංචි රසවත් ආදර කතාවක්.. හරියට මුනින් නවපු කලයක් පුරෝනව වගේ උපදෙස් දීම ට වගේම ඒ උපදෙස් අහන්න ඉන්නත් මං කෙල්ල කාලේ කැමැති නැති වුනා වගේම මේ දරුවනුත් නොකැමැති විත්තිය මම දැනන් සිටියා. .

ඒ තරම් ලස්සන කෙල්ලකට ආදරය නොකරන්නෙ කවු ද? ධම්මි සුගත්ට ආදරය කරා නම් , හේෂානිට ඒ ආදරය තහනම් කරන්න මං කවු ද? 

ඇගේ ආදරය මැද්දට පැනපු බබාගයා යකිනිය වනවාට වඩා යමක් ඇය වෙනුවෙන් කරන්නට නම් , ඇගේ හිතේ සැඟවුනු සමණළ් රහස් අසන සුරංගනාවියක් වන්නට මට සිද්ද වෙන විත්තිය මං දැනන් හිටියා.ඇගේ කතාවේ මා අභිමුව තැබූ ස්වල්පයෙන් වුනත් ඇය හසුවෙමින් සිටින්නේ දියසුළියකට බැව් මට නොදැනූනා නොවුනත්. එකවර ගත යුතු දැඩි තීරණයක ඇය නම්මා ගැනීම ලෙහෙසි නොමැති විත්තියත් මට හැඟී ගියේ , ධම්මි සුගත් ආදර කතාවට වඩා බොහෝසෙයින් දුර දිග ගිය ආදර කතාවක ප්‍රධාන චරිතයේ උච්චතම අවස්ථාවක ඒ වන විට ඇය රඟපාමින් සිටන නිසාම යි.

දැනට මාස හයකට විතර කලින් විනය කාමරයේ මගේ මේසය ඉස්සරහ හිටපු ඒ පුංචි රෝස මල ගැන මතකය ආයෙත් අලුත් වුනේ බොහොම අහම්බයෙන් හමුවෙච්චි ඇගේ පාසලේ පාසල් යෙහෙලියක් නිසා.

ඇය සඳුනි.

“ ටීච හම්බුනු එක හොඳයි.හේෂානි හොස්පිටල් එකේ.නිතරම ටීචර්ව මතක් කරනවා.ටීචරව හම්බුනොත් ටීචර්ට කියන්න කීවා “

හේෂානි ට ඇගේ විනය සම්බන්ධව ලබා දුන් උපදේශනය මා ලබා දුන් අවසාන උපදේශණයයි. ඉන් පසු ඇති වූ රාජකාරිමය ගැටළු රැසක් නිසා විනය කමිටුවෙන් පමණක් නොව එකී පාසලෙන් ද ස්ථානමාරුවක් ලැබූ මා එකී දිස්ත්‍රීක්කයෙන්ද පිටතටම මාරු වී ගියේ මා හට සිදු වූ සිත්තැවුල අමතක කර දමන්නට එයින් රුකුලක් අත් වෙනු ඇතැයි සිතාය.

විනය කමිටුවේ ප්‍රධානියකු වූ මා පාසල් ශිෂ්‍යාවන් සම්බන්ධව දැක්වූ ලිහිල් ප්‍රතිපත්තිය වැඩිහිටි හා ජේෂ්ඨ ගුරුභවතුන්ගේ දැඩි අප්‍රසාදයට ලක්වීම අභිමුවේ මා වටා ගොඩනැගුනු ශිෂ්‍ය බලවේගය මා සිත සැදුවද හිත සතුටින් රැකියාවේ නොයිදිය හැකිනම් නොපෙනෙන තෙක් දුර ඈතක සැඟවීමේ බියගුලු නමුත් මා සෑම විටම අනුගමනය කළ ක්‍රියාපිළිවෙත මෙහිදී ද ක්‍රියාත්මක විය.


නමුත් මා ගත් බියගලු තීරණයේ වරදක තරම මේ යැයි හඟවමින් , කිසිදාක නිවැරදිකර ගත නොහැකි හෘද සාක්ෂියක් ද ඉතිරිකරමින් තටු කපා දැමූ පුංචි සමණළිය ආණ්ඩුවේ ඉස්පිරිතාලයක යකඩ ඇඳක වැතීරි අපහසුවෙන් විවර කර ගත් ඉදිමුණු දෑස් ඇතිව මා දෙස බලා සිටී.


ඇගේ පිරුණූ රෝස තොල් , ලේ බිඳක් නොමැතිව සුදුමැලිව ගොසිනි. ඇගේ ගත දරුවන් බිහිකල බැල්ලකගේ මෙන් වැහැරිලාය.පණ බිඳකුදු නොමැති ගත උසුලා සිටීමටවත් වැතිර සිටීමටවත් නොහැකිව වේදනාවෙන් ගැස්සෙයි.හිස හෝ අත පය සෙලවීමටවත් ශක්තියක් නොමැති ඇය හුස්ම ගන්නේ ද ඉතා වෑයෙමෙනි.


සිරින්ජර කටු වක් වත් ගැසීමට ඇගේ අතේ තැනක් තවත් ඉතිරි වී නැති බැව් ඇගේ ඉවරවූ සේලයින් බෝතලය මාරු කිරීමට පැමිණි හෙදිය කීවා මට මතකය.


ඇය ඉගෙනීමට දක්ෂ එකියක නොවිය , නමුත් ඇය තුල සැගවී තිබුනු හැකියාවන් කිහිපයක්ම විය.ඇය ලීවීමෙහි දක්ෂ එකියක බවත් රචනයේ දී සැමදා වැඩි ලකුණු ගන්නියක බවත් නමුත් ඇගේ අභ්‍යාස පොත් බොහෝමයක අවසන් පිටු බොළඳ කවි වලින් පිරී ඇති බවත් , ඇය මල් පත්තර කියවන්නියක වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඇගේ සිංහල ගුරුවරිය කීවා මට මතකය.


ඇය නෙට් පාසල් නෙට් බොල් කණ්ඩායමේ “ සෙන්ටර් “ ලෙස ක්‍රීඩා කළ බවත් , ඇගේ විනය සහ හැසීරීම පිළිබඳව වූ පරස්පරයන් නිසා ඇය එයින් ඉවත් කළ බවත් , නමුත් ඇය කණ්ඩායමට අත්‍යාවශ්‍ය ක්‍රීඩිකාවක් නිසා ඇය සම්බන්ධව කටයුතු සොයා බලා ඇය නැවත කණ්ඩායමට ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට ත් ඇය සුමගට ගන්නා ලෙස ඉල්ලමින් ක්‍රීඩා ගුරුතුමිය විසින් මේ සුරංගනාවිය මා වෙත යොමු කළ බවත් මට මතකය.


“ ලේ ගොඩාක් ගිහින් . . . ජීවිතේ ගැන කියන්න බැහැ “


ඇගේ වෛද්‍යවරයා පැවසුවා මට මතකය.


“ ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් කාමර ගානේ ළඟිනවට ඕව හොඳ පාඩම් “ 


ඇගේ ඇඳ ගාව සිට පැමිණිනෙ මා දුටු දත් ඉදිරී ගිය කෙස්ස අකාලයේ හැලී ගිය ගැහැණියක පැවසුවා මට මතකය.


“ ඒක හරියට . . . . . . . සමණළයො බඩේ පියාඹනවා වගේ ටීචර් “


ආදරය ඇයට දැනෙන්නේ කෙසේ දැයි , පුංචි විනය කාමරයේ දී මා ඇසූ පැනයට ඇය දුන් පිළීතුර මට මතකය.


“ ඇයි ටීචර් ඔයා මාව දාලා යන්න ගියේ . . . ? “

සුදුමැලිව හේබා ගිය සිය කෙසඟ අතකින් මා අත අල්ලන් , මා දෑසට එඹෙමින් ඇය ඇසුවා . . . . . . . . . මට මතකය.


ඇගේ මිනිය වළලු තැන හෝ ඇගේ සෑය ගිනිබත් කළ තැන මට අමතක වූයේ . . . . . . ඇගේ මිනීමරුවාට ඇගේ මිනිය දෙස බලන්නට ශක්තියක් නොවූ නිසා ය.


ඇගේ බඩතුල පියැඹු සමණළයා .... ඇගේ බඩතුල අකාලයේ හෙලූ බිත්තර . . . . ඇයට මරණය ළඟා කර තිබුන ද ....ඇය වෙත ආ මායාකාර සමණළුන් පන්නා දැමීමට පියවර නොගත් වරදට කෙදිනකවත් මට මා විසින් සමාව නොදෙනු ඇත.



සමණළුන්  මැවිය යුත්තේ දුහුළු අත්තටු සමඟින් නොවන බව විශ්වාස කරන 
මම
෴ සොඳුරු සිත ෴

Sunday, February 2, 2014

ගේ කුරුල්ලෝ

ගේ කුරුල්ලෝ

සති අන්ත නිවාඩු දවස නිසාත් , සතියේ වැඩ කරන දවස් පහේ ම මහ පාන්දර අවදි වෙන නිසාත් , අද සෙනසුරාදා මම ටිකක් පස්සට එළිය වැටෙනකම් නිදා ගත්ත බව ඇත්ත.

ඒ සැප නින්ද කඩල දාලා උදේ පාන්දර මට ඇහැරුනේ මහ කාලගෝට්ටියක් නිසා.නිකම් නෙමේ කුරුළු කාලගෝට්ටියක්.ගේ දොරකඩම ගේ කුරුල්ලො දෙන්නෙක් කා-කොටා ගන්නවා.

මම දැනට මාස ගාණකට කලින් දොරකඩ එල්ලපු මැටි කූඩුව බලල යන්න ඊයේ නම් ගේ කුරුල්ලො ජෝඩුවක් ආවා තමා.ඒත් කෝ කිරිල්ලි. වටපිට බලන කොටයි දැක්කේ , කුරුල්ලො දෙන්නා මරා ගනිද්දි ඒ දිහා බලන් කිරිල්ලි හිටියෙ ටිකක් එහාට වෙන්න.එතකොට ඊයේ මැටි ගේ බලන්න ආවේ ,වෙන කුරුල්ලෙක්ගේ යාළු කිරිල්ලිව පන්නගෙන ද දන්නෑ.


කොහොම හරි පරිසරය සංසුන් වෙන්න ටික වෙලාවක් ගියා.ඊට පස්සෙ පරාජ වෙච්චි කුරුල්ල යන්න ගියා.අර දෙන්නා හොරා කන්න පටන් ගත්තා.නැහ් මම මේ කීවේ මම දොරකඩ එල්ලපු වී පැදුරෙ වී හොරා කන්න ගත්තා.


මම ඔය එල්ලන වී පැදුර ගෙනාවේ කුරුණෑගල පැත්තේ විනෝදචාරිකාවක් යද්දි. මැටි ගේ ගත්තේ නම් ගෙදරට ආපු හට්ටි-මුට්ටි වෙළෙන්දෙක් ගෙන්.සමහර විට වී කාලා මෙයාල යන්න යාවි. තවත් සමහර විට හෙට වෙන කොට එයාල මම එල්ලපු මැටි ගෙයි පදිංචි වේවි.............බලමු කො....හෙටයි කියලත් දවසක් තියේ වි නෙහ්.









RAW fotos තමා ලස්සනට තියෙන්නේ.අනිත්වා jpeg .

අත්හදා බලන්නයි 
RAW fotos  ගත්තේ....දැන් හිතයි දිගටම RAW fotos  ගන්න.ඒත් ඉඩකඩ ගොඩාක් යනවා....


එහෙනම් එයාලගේ පවුලෙ විස්තර ඉදිරියටත් බලාපොරොත්තු වන්න.


Blogroll

Related Posts Plugin for WordPress, Blogger...