..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, October 4, 2014

ගඳ කෙල්ල/ smelly girl

ගඳ කෙල්ල . . . . 
      smelly girl



යෞවනයේ එළිපත්ත මත සිටිය ද, නැවුම් පුසුඹ වෙනුවට ම‘වෙතින් විසිහතර පැයේ ම හැමූවේ දහඩිය ගඳයි. ඉහින් කණින් බේරෙන දහඩියත් , යමක් ලියන්නට ගිය විට ඇගිලි අග්ගිසි වලින් වැක්කෙරෙන දහඩියත්, කකුල් යටිපතුල් වලින් පිටවූ දහඩිය නිසා හදිස්සියකටවත් සපත්තු ගලවා මේස් පමණක් යෙදු පයින් සිටීමට සිදු වි විට දැනෙන අපහසුවත් එකල මා සිත බෙහෙවින් පාරන ලදී. තෙකරම් සිත පෑරුව ද පාසල් යාම නම් කිසි දිනෙක අත් නොහැරිය නමුත් එක් ගැහැණු ළමයෙකු විසින් මා ගඳ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ දිනට පසු දින අම්මා ද සමඟින් වෛද්‍යවරයෙකු බලා යන ලද්දෙන් ඔහුගේ සුහද වදන් හමුවේ ඉන්පසු කිසිදිනක මා දහඩිය බිදක් තරම් වත් මට වඩා සුවඳ කෙල්ලන්ව මායිම් නොකලෙමි. නමුත් තවත් දිනක්................................


පුද්ගලික පන්ති අවසන් වූ වේලාව නිසා තනි දොරේ කුඩා පුද්ගලික බසය අතුරු සිදුරු නොමැතිව පිරී ගොස් තිබුනි. මල්සරා විදින ඊතල පහරවල් හිමිකරු හෝ කාරිය සොයා ගත නොහැකිව බස්රිය තුලම නන්නත්තාරව බිම වැටී පෑගෙමින් ද, කිසිසේත් නොසිතූ අය වෙත ට මාරු වෙමින් ද තිබුනු වේලාවයි.


තරුණ පහේ කොලුගැටයෙකු වූ කොන්දොස්තර ද කෙල්ලන් අතර වැඩි වේලාවක් දගලමින් ඇඹරෙමින් ද නියමිත ප්‍රමාණයට වඩා මුදල් අඩුවෙන් ගනිමින් ද රථයේ ඉදිරියටම එමින් සිටියේ ය. පිරිස වැඩි වූ නිසාත් ස්වභාවයෙන්ම එවැනි අවස්ථා වලදී තිගැස්ම වැඩිවන නිසාත් අත රැදී ගුලි වී තිබූ දහයේ කොලය දහඩියෙන් නැහැවී පෙගී තිබුනි.


කොන්දොස්තර කොලුවා වෙත පෑ දහයේ කොළය දැකීමෙන් ඔහුගේ මුහුණ හැකිලී ගියේ මලමිනියක කුණු වී ගඳ ගසන කොටසක් ඔහු වෙත පෑ අයුරු නි. ඔහුට දීමට වෙනත් දහයේ කොළයක් ද මා සතු නොවිනි.


එය ඇගිලි දෙකෙන් ගත් ඔහු එය මුළු බසයටම පෙනෙන සේ ඉහලට ඔසවා පෙන්වමින් කීදෙයට මුළු බසයම සිනාවේ ගිලුනි . මම තව තවත් සෙනග අතර තෙරපී ගුලි වුනෙමි.


මා ළමාවියෙන් වැඩිවියට පැමැණීමේ දී මෙම දහඩිය දැමීමේ කරදරය ක්‍රමයෙන් මා වෙතින් අඩු වී ගිය ද, නැත්තටම නැති නොවී අදත් මා සමඟින්ම පවතී. ඇතැම් විටකෙ එය මා වෙතින් තුරන්ව ගියා නම් මා ළඟින්ම සිටි ලෙංගතු මිතුරියක නොමැතිව ගියාක් මෙන් මා දැඩි කනස්සල්ලට ද පත්වීමට හැකි ව තිබෙන්නට ඇත.


පරිගණක භාවිතයට ගත් පසු පරිගණක යතුරු පුවරු බොහෝමයක් අකාලයේ ඉවත් කිරීමට ද , බිම ට ටයිල් ඇතිරූ නිවසකට ගිය විටක දී මඩේ ලැග්ග ඊරියක මෙන් සෑම තැනම නොඇවිද සිටීම ටද , විභාගයකට මුහුණ දීමේ දී මුල් විනාඩි කිහිපය මිඩංගු කරමින් කඩදාසි කොළ තෙමීමෙන් බේරා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට ද මේ නිසා මට සිදු විය.


යෞවනය මෙන්ම තරුණ වියද ගෙවා නිම කරමින් සිටින මා වෙතින් දැන් හමන්නේ අපූරු විලවුන් සුවඳයි. එය ඇතැමෙකුට විලවුන් සුවඳක් දැයි සිතා ගැනීමටවත් බැරි ,ඉමිහිරි සියුම් නමුත් මිල අධික සුවඳවිලවුන් වර්ගයකි. නිතර නිතර මා සමගින් සිටි දහඩිය බිදු බොහෝමයක් මා වයසට යත්ම මා හැර ගොසිනි. සැබැවින්ම එය ශාරිරික මෙන්ම මනසේ කැළඹීම නිසා ද ඇතිවන්නට ඇති රෝගයක් වන්නට ඇත. නමුත් එය කිසිසේත්ම දැඩිව සැලකිය යුතු රෝගී තත්ත්වයක් නොවන්න ද ඇත. නමුත්..... මා කුඩා කල හා කෙල්ලක කාලයේ එය මා සිත රිදවූ තරම දන්නේ මා වැනිම තවත් දහඩිය කෙල්ලක පමණි.

11 ප්‍රතිචාර:

Anonymous said...

කෙල්ලෝ ලඟින් යනකොට මගේ කන් වලින් ගිනි පිටවෙනවා වගේ දැනෙන ලෙඩක් මටත් තිබුනා...

සිහින සිත්තම් said...

ඇත්තටම ඒක ලෙඩක්ද?

Sumith Niriella said...

ඒක දරුණු ලෙඩක් නෙවෙයි වුනත්...“ලෙඩක්“ තමයි.

අපූරු ආඛ්‍යානය...

Anonymous said...

ඔයාගේ මුහුණුපොතේ අවුලක්ද?.

දෙවෙනි විභීෂණ said...

පුදුම ලෙඩක්නෙ මේක...

බස්සි (Yash) said...

//යමක් ලියන්නට ගිය විට ඇගිලි අග්ගිසි වලින් වැක්කෙරෙන දහඩියත්, කකුල් යටිපතුල් වලින් පිටවූ දහඩිය නිසා හදිස්සියකටවත් සපත්තු ගලවා මේස් පමණක් යෙදු පයින් සිටීමට සිදු වි විට දැනෙන අපහසුවත් එකල මා සිත බෙහෙවින් පාරන ලදී. //

අක්කා මේක තමයි මගේ කතාව.

Jeevana Fernando said...

ඔහොම නැති ප්‍රශ්න ඔලුවේ දාගෙන ඉන්න කෙල්ලෝ කොල්ලෝ කොයි තරම් ඇතිද. නිසි උපදේශන සේවයක් විදුහල් වල නැති කමින් කොයි තරම් පොඩි උන් මානසිකව දුක් විඳිනවා ඇතිද.

බස්සි (Yash) said...

මානසික ආතතිය නිසා මේ ලෙඩේ වැඩිවෙනවා. මගෙන් කොන්දොස්තර ඇහුවා දවසක් සල්ලි හේදුවද කියල. මට ඇඬුන හලෝ.
ඒ විතරක්ද! සෙරෙප්පු දාන්නත් බෑ. ලෙස්සනවා. කොටම කොටයි මම. දැන් තමයි යන්තම් වෙජ් හීල් එකක්වත් දාන්න පුලුවන් විදියට ඒක පාලනය වෙලා තියෙන්නෙ.
ඉස්කෝලෙ අයි.ටී. ලැබ් එකේ හිටපු මිස් කෙනෙක් දවසක් මට බැන්නා ලෙඩේට බෙහෙත් අරන් හොඳ කරගන්නකම් ආයෙ එන්න එපා කියල.
බෙහෙත් තියෙනවා. සයිඩ් ඉෆෙක්ට්ස් වැඩියි.

පිළිකුලක් නැතුව මගෙ අතින් අල්ලන් යන්න කැමති මිතුරියො දෙන්නෙක් ලැබුනෙ දහය වසරෙදි.
මට හිතුනෙ ඒ කාලෙ කොල්ලෙක්ගෙ අතින් අල්ලන් යන්නනම් වෙන එකක් නෑ කියල.

ගොඩක් මිනිස්සු දන්නෙ නෑ ඒ වගේ දේවල් වලින් කොයි තරම් මානසිකව වැටෙනවද කියල.

අපේ බස්සා දාඩිය බේරෙන අතෙන් අල්ලගෙන යනකොට මටම පුදුමයි. ඉස්සර කෝච්චියෙ යද්දි දාඩිය නිසා අල්ලන්න බෑ ලිස්සනව. එයා කරන්නෙ එයාගෙ ලේන්සුව අරන් පිහදාල දෙනව අත් දෙක. මොකද මගෙ ලේන්සු වැඩක් ගන්න බැරි තරමට පෙඟෙනව ගොඩක් දවස් වලට.

අම්මෝ ඒ දුක දන්න තව කෙනෙක් ඉන්න බව දැනගත්තම එන ෆීලින් එක!

බස්සි (Yash) said...

කියන්න අමතක වුනානෙ. ලෙඩේ නම Hyperhidrosis.

Anonymous said...

http://driclor.org.uk/

Anonymous said...

මේක කාංසාව, මානසික ආතතිය නිසා ඇතිවන තත්වයක්. සමහර phobia රෝග නිසාත් ඇතිවෙනව ( social phobia).
driclor අත්ල, දෙපතුල් වලට දහඩිය දැමීම පාලනයට හොඳ ප්‍රථිකාරයක්.
අවුරුදු 28 ක් මමත් දුක්වින්දා මේ නිසා. දැන් යම්තාක් දුරට පාලනය වෙලා තියෙන් driclor නිසා

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...