..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, September 22, 2014

මතක වස්ත්‍ර

                                 


                                    ෴ මතක වස්ත්‍ර ෴




සුදු නූලෙන් හීනියට වැඩ දැමූ සුදු කපු සාරිය , සුළං පෙත්තේ වේගය ඉවසා ගත නොහැකිව එහා මෙහා යාමට සැරසෙනු දකිනා අම්මා , නැවතත් සාරියේ පටවල් නිසි පරිදි සකසා හොඳින් මා දෙස බලා දීර්ඝ සුසුමක් පිට කරයි. ඒ සුසුම පෙර සුළං පෙත්තේ වේගයටත් වඩා වැඩි යයි සිතේ.

චාම් සුදු සාරිය මිසක අත් මේස් ,වේල් , මල් කළඹවල් නොමැතිව ඇගේ ලොකු දියණිය වැතීරී සුව නින්දක සිටිනා දකිනා අම්මාට කුමක් නම් සිතෙන්නට ඇති ද.

ඇය විටෙක දෙනට අවසන් ගෞවර දක්වන්නට එන අයගේ ආයුබෝවන් කියන දෑත තදින් බදා ගනිමින් කඳුළු සලයි. තවත් විටෙක එකිනෙකට නොගැලපෙන බොහෝ දේ එක් කර කතාවක් කියන්නට සැරසේ.



සැවොම දුකින් බලන්නේ දෙන දෙස නොව මගේ මව දෙසයි. ඇයට මෙවන් දුකක් දුන් ඇගේ දියණිය ගැන ඔවුන්ගේ සිතේ තරහක් පැන නොනගියි ද?


එකවරම නිවසේ ගේට්ටුව දෙසින් ඇසුනු හඬට සැමගේ අවධානය එදෙසට යොමූ වී ඇත. මට තනියක් දැනේ.

කුඩා බස් රථ දෙකකින් පැමිණ සිටියේ පාසල් දරුවන් සමූහයකි. දුරදීම එය වටහා ගන්නට ඔවුන්ගේ සුදෝ සුදු නිල ඇදුම ත් කුඩා පිරිමි දරුවන්ගේ නිල් පැහැ කොට කලිසමත් සාක්ෂි දරයි.

“ ඉගැන්නුව ස්කෝලෙ ළමයි වෙන්නැ“

අම්මා අසල සිටි හීනි නෝනා සෙමින් නමුත් දුකින් ද අම්මා සනසන අටියෙන් ද පැවසුවාය.


වෙනදා නැති සංවරයක් පෑ දඟ දරුවන් එකා පසු පස එකා බැගින් ද නිහඩව ද විමතියෙන් ද කුතුහලයෙන් ද ගේට්ටුව දෙස සිට නිවස දෙසට ඇදෙයි.



“ අම්මා යන්න ඉස්සරහට “

සියලුම දරුවන්ට ඈ “ආයුබෝවන් “ කියයි. උදේ හවා මට ආයුබෝවන් කී දරුවන් දැන් මගේ මවට ආයුබෝවන් කියන්නේ කට වසා දෑත් එක්කර විමතිය පුරවා ගත් දෑසිනි.



එකා දෙන්නා විත් මා වටා කැරකෙමින් මා දෙස බලනු මට පෙනේ. එකියක හිටි වනම “අනේ ටීචර් “ යැයි කියමින් ඉකිලන්නට වූයෙන් එය බෝ වූවා සේ දරුවන් එකිනෙකා කඳුළු සලන්නට විය.එය දරුවන්ගේ හැටිය. යමෙකුට කුමක් සිදු වූවද එය බෝවන රෝගයක් සේ පැතිරී යාමට ඒ හැටි කාලයක් ගත නොවේ.



එකියක සිහිසුන්ව වැටුනාය. ඒ දැරිය උදෑසන රැස්වීමේ දී ද නිතර නිතර සිහිසුන්ව වැටෙයි.




මාගේ සහෝදර කාර්ය මණ්ඩලයේ කිහිපපොලක් ද “ අනේ අපොයි “ නොපවසමින් නමුත් “මේ මොන පුදුමයක් දැයි“ අසමින් මගේ මවගේ සිත තව තවත් තලා දමයි. ඔවුන් සැමදා ම කලේ එයයි.



මම මියෙන්නට නොසිතූවෙමි. නමුත් පෙර දිනයක උදයේ මට පාසල් රැකියාවට යාමට ඉඩ නොතබාම මා මිය පරලොව ගොස් තිබුණි. එය සියදිවි නසා ගැනීමක් නොවීය. වුන් හිටි ගමන් සිදු වූ පුදුමාකාර මරණයකි. මරණ පරීක්ෂණයෙන් ද කිසිවක්ම හෙළි කර නොහිනු ඔවුන් මවගෙන් ද විමසා “ සැක නැති මනුස්ස මරණයක් “ බවට තීන්දු දුන් පසු ත් ආදාහනය නොකරන ලෙසත් භුමදානය කරන ලෙසත් දැනුම් දුන් බව ලොකු මාමා කා සමගින් දෝ පවසනු ඇසුණි.



පැමිීණ දරුවන්ගේ මුවේ සිනාවක් නැගුනේ බීම අල්ලන නැන්දාත් පොඩි නංගීත් දුටු පසුවය. ඔවුන්ට මා මිය ගිය වගට ගානක් වත් නැති සේ සුපුරුදු පරිදි දගලමින් ද එකිනෙකා පරයා කතා කරමින් ද බීම වීදුරු පිටින් ගිල දමන්නට විය.




ඉදිරි පෙල අසුන් වල සිටි ලොකු වුන් හැරි හැරී රවා බැලූවද ඔවුන්ගේ දඟයට එය පලක් නැත.






ඔවුන් පිටව ගිය පසුව මළ ගෙදර නැවතත් පාලු අමුසොහොනක් සේ නිහඩ විය.






මට දැඩි පාලුවක් දැනෙන්ට විය.






හවස් යාමය ලං වන විට කීප වරක්ම පහත රට බෙරයත් දවුලත් එයටම හරියන දුක්කදායි හඩින් හොරනෑවත් වැයෙන්නට වූයෙන් මා සිත ද මා මළ සොවින් හඩන්නට විය.



මා මළත් මා පැතු මා සිතූ එකම මිනිසා මා බලන්නට තවමත් පැමිණ නැත. 



“ හරි හරි දැන් එළියට ගන්න වෙලාව හරි “ ලොකු මාමා කලබලයෙන් මෙන් පැමිණ තවත් පිරිමින් කිහිප දෙනෙකුන් සමග එක්ව මා නිදා හුන් කුඩා කුටිය පියන් වලින් වසන්නට සැරසුනා පමණි.



මවගේ ලතෝනි හඩ මුළු ගමටමත් ඉන් එහා වෙල් යායටත් ඉනුත් එහා කන්දෙන් එපිටටත් ඇසෙන්නට ඇත. නැන්දා පැමිණ අම්මා දෝතින්ම බදා නොගන්නට මා නිදා හුන් කුඩා කුටිය කඩාගෙන ඇයද මා සමගින් යන්නට පැමිණෛනු ඇත. මට මහා කළුවරක් සමගින් උසුලනු නොහැකි සිසිලක් දැනුනි.



මට මහා පාලුවක් දැනුනි.



ඈතින් කහ සිවුරු ඇද ගත් හිමිවරු එමින් සිටියාහු ය.



මතක වස්ත්‍ර පූජාවත් පැන් වැඩීමත් කෙරීගෙන යන අතරේ මළ ගමට කිසිසේත්ම නොගැලපෙන ඇදුමක් ඇද ගත් යමෙකු අඩමානයෙන් නිවස දෙසට නිවසේ මා වටා රොක් වී සිටි සෙනග දෙසට එමින් සිටිනු කළුවර අතරින් මට පෙනේ.






අනිච්චාවත සංඛාරා - උප්පාද වය ධම්මිනො






උප්පජිත්වා නිරුජ්න්‍ධති - තෙසං වුපසමො සුඛොේ










“ මේ . . . . මේ ගෙදර අර අර . . . . . .?“




“ඔවු මේ ඒ අහා තමා ‘




“ එතකොට මේ . . . . මළ ගෙදර ?“


“ හප්පේ මහත්තයෝ . . . . . . මේ මහත්තයා අහපු ඇත්තිගේ මළගම තමා “


නිල් ඉරි කමිසය , දහඩියෙන් තෙමී ගොසිනි, පාංශකූල චාරිත්‍රය ගැනවත් නොසිතූ ඔහු දෑත් වල දරාන ආ බර මා දෙන දැරූ පෙට්ටිය ලග බිම අතෑර මහ හඩින් නොහඩා , නමුත් දරා ගත නොහී කලබලයෙන් මෙන් පෙට්ටි පියන් විවර කරන්නට වෙර දරයි. 



එදෙස හොදින් බලා සිට ක්ෂණිකව ක්‍රියාත්මක වූ ලොකු මාමා තවත් කිහිප දෙනකු එක් කර ගෙන මා නිදා සිටි මහා කළුවර පතුල හැර පියා මා බැලීමට අවසන් වතාවට පැමිණ සිටි අවසන් අමුත්තා දැක ගැනීමට මට ඉඩ සලසා දුන්නේ ය. 




ජීවිතයේ ජීවත්ව සිටි කාලයේ මා දැකීමට ආසාවෙන් මුසපත්ව සිටි ඔහු , මා මළ දා මළගම අවසන් මිනිත්තුවේ මා බැලීමට පැමිණ ඇත. ඒද හිස් අතකින් නොවේ මය. 




බිම වැටී ඇති අලුත් බෑග් කවර තුළින් එළියට පැන මේ කුමන විමතියක් දැයි මෙන් මා දෙස බලමින් සිටින රෝස පැහැති සාරියක් මට පෙනේ. එහි බෝඩරෙය මා කැමැතිම පරිද්දෙන් සුදු නූලෙන් වැඩ දමා හැඩ කර ඇත.




තවත් බොහෝ දේ බිම විසිරී සිටී. ඒවා බැලීමට මට ඉඩ නොතබා ම ඔහු මා වතට එඹිගෙනම සිටියි. සියල්ල හැර පියා මේ දොනෝ දාහක් ඉිදිරියේ දෑත් දිගුකර ඔහුගේ ගෙල වටා යවමින් ඔහු මා වෙත ඇද ඒ තොල් උරා බීමට උමතුවක් සිත පැන නගී. 




ජීවත්ව වුන් ටික කාලයේ මා බැලීමට නොපැමිණි නුඹට සත්තකින්ම මෙය නම් හොඳම දඩුවම යැයි දඩබ්බර මා සිත මුමුණයි. 






ඔහුගේ කඳුළින් මා වත සේදී යයි. “ මෝඩයෝ නානු ගෑවා.ආයෙත් මාව නාවන්න ද හදන්නේ ?“ යැයි අසන්නට මට සිතේ. 






මිය ගොස් ද මා ජීවත් වන බවක් මට හැ‍ගී යයි. මෙතුවක් වෙලා දැනුනු පාලුව මැකී යයි. 


ගෙනා රෝස පැහැ සාරිය අන්දන්නට යැයි කියන්නට ඇත්නම්. සැබැවින්ම මා මියෙද්දීම ඒ මොහොත තුල ජීවිතය තදින් විඳිමින් සිටියෙමි.





ප.ලි -

මා මිය ගොස් නැති බව සනාථ කර ගැනීම සදහා දෙතුන් වතාවක් මාවම කොනිති ගසා බැලීමටත් , අම්මා ලගට ගොස් ඇගෙන් ඇයට මාව නිසිසේ නිවරදිව පෙනේ දැයි කිහිප වාරයක් අසා සැක හැර දැනගන්නටත් සිදු විය.

13 ප්‍රතිචාර:

නාඩියා නාඩිරත්න said...

එච්චර දඩබ්බරකමක්?

Anonymous said...

සුභ පෙරමඟ ලකුණක් වෙන්නැති ........

අඟහරුවා. said...

Akke??

Jeevana Fernando said...

කලින් මේ බ්ලොගේ දැල් තියෙන පට්ට කතා සෙට් එක සමග සංසන්දනය කරන විට මේ කතාව ගැන කොමෙන්ට් කල නොහැකියි.

නිසුපා හෙට්ටිවත්ත said...

//මා මිය ගොස් නැති බව සනාථ කර ගැනීම සදහා දෙතුන් වතාවක් මාවම කොනිති ගසා බැලීමටත් , අම්මා ලගට ගොස් ඇගෙන් ඇයට මාව නිසිසේ නිවරදිව පෙනේ දැයි කිහිප වාරයක් අසා සැක හැර දැනගන්නටත් සිදු විය.// ඈහ්හ්හ්හ්හ්

Anonymous said...

එතකොට දෑන් මෑරිච්ච අයත් බ්ලොග් ලියනවද??????????????

Mahesh Rathnayaka said...

මේක නං සෑහෙන්න බොන්න වෙන පුරස්නයක්...
ඇත්තමයි වස්සලා අක්කෙ කතාවක් විදියට ගත්තම ලස්සනයි.. හොදයි...
ඒත් මෙලෝ මළ දානයක් තේරුන්නෑනෙ

උපේක්ෂා said...

මට මතක් උනේ 'දෙවියන් ඉදිරියේ නග්නව' කියල ගාමිණි වියන්ගොඩ පරිවර්තනය කරපු පොතක්. මේ වගේම සිද්ධියක්...

මරණයෙන් පස්සේ මෙවන් නිවීමක් තියේයැයි හිතන එක අපහසුයි. නමුත් නිර්මාණයට ඒකෙන් කිසිම හානියක් නැහැ.. මොකද්දෝ කෙනිත්තිල්ලක් හිතේ තියෙනවා මගේ.. කියන්න තරම් දැනෙනවා මදි

දේශක යා said...

ලස්සන නිර්ඹානයක්.. ඔන්න ඔහොම නේ ඉන්න ඕන.. කියවන්න ඩෝසන්ගේ හකාවති.. එළ

Beetle Bailey said...

මේක මරෝ...!

හොරර් ලුක් එකකුත් තියේ...

යාළුවා said...

නියමයි සොසී
අපරාදේ කියන්න බෑ
වැඩේ සෝයි

සිහින සිත්තම් said...

කතාවනම් සුපිරි.. අන්තිම ටික තමා තේරුනේ නැත්තේ..

තිස්ස දොඩන්ගොඩ said...

මේ වාගේ ඒවා ආයේ ලියන්න එපා... :-(

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...