..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, September 10, 2014

විස්කි හොරා

විස්කි හොරා



චාරිකාවේ දෙවන දිනයේ ආරම්භයයි. උදෑසන ආහාරය උණු උණු වෙන්ම ගත් පිරිස රියදුරුගේ සහ නඩේ ගුරාගේ රැවිලි ගෙරවිලි මැද ලහි ලහියේම බසයට ගොඩ වී හරි බරි ගැහී ගත වී ඇත්තේ තවමත් පැය දෙකකටත් අඩු කාලයකි.

බැරි බැරි ගානේ පටන් ගත් සින්දු කීම උපරිම අවස්ථාවකට පත්වීමට ආසන්නව තිබුනු හෙයින් සියල්ලෝම තාලයට ලග තිබු අතට අසුවූ ඕනෑම දෙකට තට්ටු දැමීමට  පටන් ගෙන තිබුණි. නමුත් සින්දුවේ තාලයට ,වේග රිද්ම ගීයේ වේගයටම , ගමන් කරමින් සිටි බසය 
හිටි අඩියේ ම  නතර විය.

කාගේත් මුහුණු වල තිබූ රිද්මයානුකූල ගීතවත් අභිනය පහව ගොස් මතුව ආවේ කෝපය මුසු විමසීමකි

“ අයියෝ අපරාදේ “

“ ආතල් එක කෑවා බන්“

“ මොකෝ මේ . . . !“

බසය නැවත්වු සැනින් ගැහුණු කෙනෙකු බසයෙන් බැස වැහි පොදක් කලකින් නොදුටු සුදු වැලි පාර දිගේ ඉක්මන් ගමනින් යනු පෙනුනි.

“ මොකෝ බන් වෙලා තියෙන්නේ ?“

බස් රථයේ ඉදිරියට ගොස් කරුණූ සොයා දැනගත් සඟයාගෙන් කෙනකු අසයි.

“ බඩේ අමාරුවක් ලු මචං “

තැන තැන කුසු කුසු ඇතිවිය. එකා දෙන්නා හුළං වදින්නට යැයි කියමින් බසයෙන් බැස කොහොම ගස් සෙවනට වී ගමේ අතීතය වර්තමානය හා අනාගතය ගැන ගැඹුරින් කතා කරන්නට විය. ඒ අතරේ තවත් ගැහැණුන් සහ කුඩා දරුවන් කිහිපදෙනෙක්ම “ අරය කොයි පැත්තට ද ගියේ ?“ යි අසමින් වැසිකිලිය සොයා ඇදෙන්නට විය.


බසයේ ඉදිරි පෙළ අසුනේ සිටි පිරිමි අයකු සෙමින් සෙමින් නඩේ ගුරාට කිට්ටු කරනවාත් ඔහුගේ කණට කර යමක් පවසනවාත් විමසිලි ඇස් ඇති අයකුගෙන් නම් වසන් කරන්නට බැරි ය.

වැසිකිලි ගිය අයගේ ප්‍රමාදය සොයන්නට ගිය අය ද ප්‍රමාද වූ හෙයින් ඔවුන් සැමගේ ප්‍රමාදය සොයා ගිය අයට දැකිය හැකි වූයේ වැසිකිලි බරින් මිදී සුදු වැලි මලුවට වී සතුටු සාමිච්චියේ යෙදෙන නඩේ පිරිසයි.

පාලු ගෙදරක වැසිකිලි වල හැකි තරමින් පුරවා දැමූ සියලු දෙනා නැවතත් බසයට ගොඩ වන විට නඩේ ගුරා බඩේ අමාරු සෑදුනු ගැහැණු කෙනාටෙ කිට්ටු කර යමක් පවසන ලදී.

බසයේ පිටුපසට වන්නට අසුන් ගෙන සිටි එම පවුලේ අයගෙන් ඇයව වෙන් කර ගෙන ඉදිරි අසුන් කරා ඇය කැඳවා ගෙන ගොස් ඉදිරි අසුන් හිමිකරුගේ බෑගය විවෘත කර එතුළීන් එළියට ගත්තේ නිල් පැහැති කාඩ්බෝඩ් පෙට්ටියක දැමූ යමකි.

“ බය නැතිව බොන්න. හරියටම හරියනවා “

විවෘත කල නිල් පෙට්ටිය තුලින් එළියට ගත් හතරැස් බෝතලයේ මූඩියට වත් කර ගත් එම බෝතලේම වූ දියරයෙන් නැගුනු උණුසුම් රසසුවඳ හැඳින ගත් එකා දෙන්නා එදෙසට ඇදෙන්නට විය.


ඇස් කුඩා කර උරහිස් අකුලුවා මදක් අදිමදි කළ ද නැගුණු බඩරුදාවේ වැඩිකමට දෝ මූඩියේ වූ අමෘතය ඇය උගුරටම හලා දමා මුහුණ දෙවරක් හකුළුවා ගත්තීය.

“අපිත් මුලදි ඔහොම තමා නංගි , හැකිලුවා ,බෑ කීවා  කෝ දැන්? උගුරෙන් පහලට යනව දැනෙන්නෑ “ එය දුටු අයකු දැන මුතුකම් දුන්නේ එලෙසිනි.

සිද්ධිය එතකින් නිමාවට පත් වූ යේ , සෝමාවතිය වැදීමට යන විට මත්පැන් පානය ඉතාමත් අහිතකර බවත්  ඉන්පසුව එළඹෙන සමයේ කාටත් එය බෙදා හදා පානය කිරීමට දෙන බවටත් දුන් පොරොන්දුව මතයි.

නමුදු විටින් විට එකා දෙන්නා පැමිණ තමන්ට ද කොටසක් තබන ලෙස කරනු ලැබූ රහසිගත ඉල්ලීම් වලින් විස්කි බෝතලය පිරී තිබුනි.


මේ සියල්ල ඉවසා වදාරා ගත් බසය දුවිලි පාර දිගේ ඉදිරියටම ඇදෙමින් තිබුණි.





සෝමාවතියේ රැස් විහිදෙන චුඩා මාණික්‍ය රාජයා දුරදීම දුටු සියල්ලන්ගේම සිත් සැදැහැවෙන් පිරුණි.

එකත් පස ූ සියළු දෙනා බසයෙන් බැස සෝමාවතිය වදින්නට පෙළ ගැසී සිටිනු ඉන් පසු දැකිය හැකි විය.

සෝමාවතිය වැද පුදා ගත් සැදැහවත් පිරිස ඉන් පසු ඊටත් වඩා වැඩි කාලයක් ගනිමින් කඩයෙන් කඩය වන්දනා කරන්නට පටන් ගෙන තිබුණි.

ලස්සන බෝණික්කන් , අරුමෝසම් සුකුරුත්තන් , රස කැවිලි සහ නොයෙකුත් ඇස රවටන දේ අතර නඩයේ වැඩි හරියක් සැරි දරනු දැකිය හැකි විය. සියලු දොනම ඒ දසුන් අතර මත්වී දියවී යමින් තම අත ඇති නෝට්ටු ඒ සඳහා පුදමින් අත්වූ බෑග් බර කරමින් බසය කරා එන්නට විය.



සියල්ල හෙලිවන්නට වූයේ එකා දෙන්නා බසයට ගොඩ වී බඩේ අමාරුකාරියට නැවතත් බඩේ අමාරුව උග්‍ර වූ විටයි.

“ තවත් මූඩියෙන් එකක් ගත්තම ඕක හරියයි“

එවර නම් බඩේ අමාරුකාරියගේ එයට දැඩි නොකමැත්තක් ප්‍රකාශ නොවූ අතර ඇය විගසින් ඉදිරි පෙළ අසුනට ගොස් සූදානම් වූයේ දෙවන ෂොට් එක ලබා ගැනීමටයි.


එහෙත් කරුමයක මහත ,

කවුදෝ අසමජ්ජාතියෙකු බඩේ අමාරුවට මුළු ඖෂධ බෝතලයම ගිල දමා තිබුණි.






ප.ලි - මෙවැනි රසවත් වූ බීම ගැනත් ඒවායේ උපත හා ඒවා භාවිතයේ දී ඇති නොයෙකුත් වෙනස්කම් නිසා මත්වතුර ගැන ලිපි පෙලක් ලිවීමට අදහස් කරගෙන සිටින අතර ඒ සඳහා ඇරඹුමක් ලෙස මෙය සටහන් කරමි.

මාගේ යහළුවන් බහුතරය “සතුටින් සිටන බේබද්දන් “ නිසා ඉදිරි ලිපි පෙල ලිවීමට ඔබගේ අදහස් හා යෝජනා ඉතා අගය කර සලකමි.

15 ප්‍රතිචාර:

අඟහරුවා. said...

හික්ස්.. පව් අර බඩේ අමාරු කාරී.. මම නම් මතින් තොරයි... මොකා කොහොම කිව්වත් ගන්නෙත් නෑ... හැබැයි ලිපිපෙළ කියවන්න නම් අනිවාර්යෙන් එනවා...

ඉවාන් පවුලූශා said...

බඩේ අමාරුව හොඳවෙන්න කලින් වෙරි වෙන්න තිබ්බා බෝතලේ ඉවර නොවුනානම් ..

Maathalan - Priyantha Hewage said...

මොනවා හරි කමක් නෑ බ්ලොග් එක අප්ඩේට් වෙනවා නම්. බුකියෙ නම් දැක්කා බෝතලේ ඉවරයි කියලා.. ඒත් මේ පෝස්ට් එක කොච්චර රහද.. ඒ රහ බුකියේ නෑ.. අනික ඔහේව බ්ලොග් සම්මානෙකිනුත් පිදුම් ලබපු කෙනෙක් නේද?

බ්‍රෑන්ඩ් එක ගල් හොඳේ...

දෙවෙනි විභීෂණ said...

//මෙවැනි රසවත් වූ බීම ගැනත් ඒවායේ උපත හා ඒවා භාවිතයේ දී ඇති නොයෙකුත් වෙනස්කම් නිසා මත්වතුර ගැන ලිපි පෙලක් ලිවීමට අදහස් කරගෙන සිටින අතර ඒ සඳහා ඇරඹුමක් ලෙස මෙය සටහන් කරමි.//

රයිට් මචන්...ඔය එන්නේ බඩු..
අනිවා අපි ඇවිත් ඇති කියවන්න...

Sumith Niriella said...

මජ්ජසාර පිළිබඳ සාරගර්භ ලිපි පෙළක් ලියවෙන්නේ නම් උපරිම සහයක් ලබා දෙමි.

නාඩියා නාඩිරත්න said...

ඕවා දිව්‍ය ඖෂධ!!!

Dinesh said...

කෝමත් ඉතින් ඔය දවසකට පොඩි වීදුරුවක් ගන්න එක සරීර සෞඛ්‍යට හොදයි කියනවනේ.. ඒ හන්දා බඩේ අමාරුවටත් හොදයි..

Mahesh Rathnayaka said...

චුණ්ඩා මාණික්‍ය///
මේක චූඩා මාණික්‍ය නෙවීද අලේ...

අර ගෑණු කෙනාට බඩේ අමාරුව කෙසේ වෙතත් සොට් එකක් දාගන්න දොලක් නං උපදින්න ඇති... සෝමවතිය පැත්තෙ වදුරො හරියට උං ඉස්සුවද දන්නෙත් නෑ... ඇයි අප්ප දෙයියොත් පරද්දන අමෘතෙනෙව

දේශක යා said...

ඔය අර බියර් එකක් හිස් කරපු දවසේ ඉදල හදවතේ බුර බුරා නැගෙන සිතුවිලි.. ගහන්න එපායැ බෝතල් ගෙනාපු එකාට ලෙඩකටවත් ඩිංගක් ඉතිරි නොකර හිටියට..

රාජ් said...

//නමුදු විටින් විට එකා දෙන්නා පැමිණ තමන්ට ද කොටසක් තබන ලෙස කරනු ලැබූ රහසිගත ඉල්ලීම් වලින් විස්කි බෝතලය පිරී තිබුනි//

මේ කෑල්ල මරු!
මත්වතුර ගැන සාරගරභ ලිපි පෙලක් බලාපොරොත්තුවෙන් අදට නවතිමි!

Pra Jay said...

බලාපොරොත්තුවෙන් සිටිමි

Indranatha Thenuwara said...

73-79 කාලෙ අපි වැල්ලවත්තෙ මාමාගේ කඩේ ඉඳන්නෙ ඉස්කෝලෙ ගියේ. ඒ කාලෙ බඩේ අමාරුවක් හැදුනා ම මාමා අපට බ්‍රැණ්ඩි බෝතල් මූඩියක් දෙනව...
පස්සෙ පස්සෙ අපට නිතරම බඩේ අමාරු හැදෙන්න උනා නෙව මාමාගෙ බ්‍රැණ්ඩි බෝතලේ ඉවරවෙනකම් ම..!

ඉන්දික උපශාන්ත said...

ගුණදාස ලියනගේගෙ "දිවලකඩ ගුණදාස" නම් ස්වය්ං ලිඛිත ජීවිත කතා පොතේ ඔය වගේ බ්‍රැන්ඩි බෝතලයක් මාම තාත්තට තෑගි දුන්න හැටිත්, අම්ම ඒක අල්මාරියෙ හැංගුවත් එදා ඉඳං තාත්තට දිනපතා බඩේ අමරු හැදුන හැටිත් ගැන කතාවක් තීනව.

බොන්නෙ ඇයි? ආතල් එකට. මොන ආතල් එකක්ද? සීතල කාල්ස්බර්ග් බියර් වීදුරුවක් මුලිම් බීල බලන්න. එතකොට තේරෙයි.

kumara nissanka said...

අනෙඩ කියන්නෙ
අමාවටුර

Ravi said...

සෝමාවතියෙ චූඩා මානික්කියෙං රැස් විහිදෙනවය කියන්නෙ ඔය වෙසක් පොසොන් වගෙ සුවිසේසී පෝය දවස් වලට විතරයිලුනෙ. ඒත් මම ඔතනට ගියා හත් අට පාරක්..අම්මාපල්ල වත්තො කිව්වට හොඳ විස්වාසෙට ගනිං අපිට අනුසාසනාවක් කරපු ලොකු හාංදුරුවංගෙ තට්ටෙනුත් රැස් විහිදෙනව මයෙ මේ ඇස් දෙකටම දැක්ක. ඇස් කියන්නෙ ඒ වෙලාවෙ නිකං මේ අඩවන් වෙලා වගෙ තිබ්බෙ...හෙහ්,හෙහ්,

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...