..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, May 31, 2014

පත්තරේ

පත්තරේ 





මම මේ කතාව මීට කලින් ලීවා වගේ මතකයි.ඒත් ඒක ලීවද නොලීවද කියල හොයනවට වඩා ඒ කතාව ආපහු ලියනෙක මට ලේසී.

ඒ කාලේ , ඒ කියන්නේ දැනට අවුරුදු විසිපහකට විතර කලින්, මායි මගේ පවුලේ උදවියයි ජිවත් වුනේ ටිකක් පිටිසර සුන්දර ගමක. ඒ ගම කෙළවරකින් පුංචි ඔයක් ගලා ගෙන ගියා. අපි හිටියෙ ඒ ඔයට ටිකක් ලඟින්. ඔය ළඟ නිසා පුංචි පුංචි ඇළ පාරවල් ගොඩකුත් අපේ ගෙවල් කිට්ටුවින් ඔය හොයාගෙන ගියා.

අපි හිටියේ ගමේ හරි මැදට වෙන්න නූනත් ගමට ටිකක් ඇතුලින්. ඉතින් මහ පාරට එන්න නම් අපි පුංචි පාරවල් උඩින් ,පුංචි ඒදඬු ගොඩක් උඩින් යන්නෝනි.

ඒ මැටි පාරවල් මිනිස්සු පයින්ම ගිහින් හැදිච්ච ද කොහෙද , ඒ පාරවල් ඒ තරම්ම පටුයි. දෙපැත්තම ගස් කොළන් , අම්මල අද කාලේ වගේ ඒ මූකලාන මැදින් ගියපු පාරේ අපිව කඩේ යවන්න බය නැහැ.

ගෙදරට ඕනි සීනී, පාන්, හාල් විතරක් නෙමෙයි , තාත්තට සිගරට් ඕනි උනාමත් ඒ පාර දිගේ කඩේ යන්න තෝර ගත්තෙ මාව. මොකද කියනව නම් මම තමයි ඒ වෙනකොට ගෙදර යමක් කමක් ටිකක් හරි තේරෙන වයසෙ ළමයෙක්ට හිටියෙ. මොකද මං උපතින්ම ලොකු ළමය නිසා.


අම්ම මාව කඩේ යැවුවට ගොඩාක් වෙලාවට සල්ලි දෙන්නෙ ගාණට අතට. එහෙමත් නැතිනම් කඩේ පොතට තමා බඩු ගේන්නේ.ඒත් තාත්තා සිගරට් ගේන්න මාව යවන කොට අම්ම කොච්චර කෑගැහුවත් මට ටොෆියක් ගන්න සල්ලි නම් දෙනවාමයි. අම්මල හරි ලෝබයි. . . .  තාත්ත මෙච්චරෝම ආසාවෙන් සිගරට් බොන්නෙ ඇයි කියල බලන්න මාත් මඟදි සිගරට් එකක් බීපු නිසා එදායින් පස්සේ සිගරට් ගේන්න තාත්තටම කඩේ යන්න වුනේකින් මට තමා පාඩුව උනේ. 



ඉතින් , අපේ ගෙදරට විතරක් නෙමේ අපේ ගමේ ගොඩක් ගෙවල් වලට එන ලියුම් ආවෙත් ඔන්න ඔය කියන කඩේ බාරේ. ලියුම් විතරක් නෙමේ , අපිට මොනා හරි පත්තරයක් ගන්න ඕනි නම් ඒ වග කියල පණිවිඩයක් කඩේට තිබ්බම කඩේට එන පත්තර බයිසිකලෙන් පත්තරේ අරන් තියන්නත් ඒ කඩේ අයිය අමතක කළේ නෑ.


සඳුදට ස්කෝලෙ ගිහින් ගෙදර එනකම් ඉවසුමක් නෑ. බස් එකෙන් බැහැල කෙළින්ම දුවන්නෙ කඩේට. කඩෙන් පත්තරේ ගත්තම ගෙදෙට්ට එනකම්ම මට තනියක් නෑ. පුංචිත්තා , බූ බබා , බටකොළ ආච්චි , රාලහාමි මගේ තනියට හැම සඳුදම මාත් එක්ක ගෙදර යන්න එනවා.


මට මතක විදිහට එදා මම ස්කෝලෙ ගිහින් නැහැ. එහෙමත් නැතිනම් නිවාඩු දවසක් වෙන්නැති. ඉතින් උදේ පාන්දර ඉදල මම නලියන්නෙ කඩේට යන්න. ඒත් ඉතින් අම්ම අවසර දෙන්නෙ නැහැ ලේසියකට. ඒ විතරක් ද “කඩේ යන්න ඕනි නම් අරක කරන්න මේක කරන්න “ කියල මං ලවුවා පුංචි පුංචි අත්වැඩත් කර ගන්නවා.

ඒ ඔක්කම ඉවසල මම මැටි පාරට දුවන්නේ අම්මගෙ අවසරය දෙන වචන ටික කටින් පිටවෙන කොටම තමයි. මම දුවගෙන යන්නේ අම්ම කියන ඒවට මහ හයියෙන් උත්තර දෙන ගමන්.

‘ පරිස්සමින් යන්න ළමයෝ“

“ හරි යෝ . . . . . .“

“ දුවන්නෙපා ළමයෝ “


“ දුවන්නෙ නැතෝ................“

“ කීවට අහනෙකක් ද පුදුම විසකුඩිච්චියක් නේ“


“ ඉක්මනට එනවෝ “

ආපු පාරේ මොනා තිබ්බ ද කියලවත් මට මතකයක් නෑ. කඩේට ගොඩ වෙලා අතපාපු ගමන්ම කඩේ අයිය දන්නවා මට මොනාද ඕනි කියලා. ඉතින් එයා මට පත්තරේ දෙනවා. එතන ඉදල මගේ ගමන හරි හිමින්.

ඉස්සරෝම බලන්නේ ඉස්සරහ පිට්ට. ඊළඟට අන්තිම පිට්ට. අන්තිම පිට්ටෙ තමා බූ බබා හෙම ඉන්නේ.

මම කවදත් පත්තරය බලන්නේ පිටිපස්සෙ ඉදන් ඉස්සරහට. එදාට වගේම අදටත් මම පත්තරය බලන්නෙ එහෙම. පත්තරය විතරක් නෙමේ ප්‍රශ්ණ පත්තරයක් වුනත් මම බලන්නේ පිටිපස්සෙ ඉදන් ඉස්සරහට. පිටිපස්සෙ ප්‍රශ්ණ ගොඩාක් ලේසි. ජීවිතෙත් එහෙම බලන්න පුලුවන් උනා නම් කියල මට හිතෙනවා.

පාරේ අනිත් අතට හරි මම යන දිසාවටම හරි තවත් කෙනෙක් ගියොත් ඒ බොහොම කලාතුරකින් තමා. ඒත් දවසක් හොල්මනක් කියලා මම කාටද බය වෙලා පණ එපා කියල තුන්මං කඩකදි දිවුව දිවිල්ල තාමත් මතකයි.ඒ කතාවත් මං පස්සෙ වෙලාවක ලියන්නම්

ඉතින් පුරුද්දට වගේ ඇවිදන් එන ගමන් පිට්ටෙන් පිටට මගෙ යාළුවො මාත් එක්ක ඇවිදන් එනවා. වෙලාවකට මං නොදැනුවත්වම හිටි වනම නතර වෙනවා. පුදුම වෙලා ,හිනා වෙලා ඔළුව හොලවල මටම තීරණය දෙන ගමන් ආයෙත් ඉබි ගමන පටන් ගන්නවා.


 බට කොළ ආච්චි කොච්චර නපුරුකම් කළත් මම එදා ඉදලම උන්දැට හරි මනාපයි. මං හිතන්නේ ඒ වෙන කොට මම කියව කියව ඉන්න ඇත්තේ පත්තරේ මැද හරියෙ පිටුවක් වෙන්නෝනි. හිටි ගමන් මහ පාතාලයකට මම ඇදගෙන වැටුණ. මොකද වුනේ කියල කල්පනාවට ගන්න ටික වේලාවක් ගියා.

අන්තිම ඒදණ්ඩ මාරු වෙද්දි කකුල වැරදිලා මම දැන් ඉන්නෙ ඇළ පල්ලේ. අප්පේ ඒකෙ ගද. වෙලාවට යාන්තම් දිය සීරාවක් විතරයි. අත පය ඔක්කම සීරිලා. උඩට නැග ගන්න තියා නැගිට ගන්නවත් බෑ මට. ඒ ඇළ එච්චර පළල් නැහැ. බොහොම පටු ගැඹුරු ඇළක්. වැඩිහිටි කෙනෙක්ට නම් ඒක ඇතුලෙ හැරෙන්නවත් ඉඩ මදි තරම්. උඩ බැලුවම දිරල ගියපු හීනි පුවක් කඳන් දෙක ඇළ හරහට තියෙනව පේනවා.ඒත් මං කොහොමද දැන් ගොඩට යන්නේ.

මොනා වුනත් කටේ හයිය අඩු නැති බව මට දැනුනම මම මුළු ගමටම ඇහෙන්න ලතෝනි තිබ්බා. කොටින්ම කියනව නම් මම මුළු ගමේම ඉන්න අයට කතා කළා. හැබැයි අපේ අම්මට නෑහෙන්න.

“ පුංචි නැන්දේ , සුදු මාමේ . . . . . . මාව බේරගනියෝ “

“ ලොකු සීයේ . . . .  මම වැටුණෝ“

“ අයියෝ . . . .  කවුරුත් නැද්දෝ . . . . .  “

ටිහකින් මට ඇහුනා කලබලෙන් වගේ කීපදෙනෙක් එන සද්දේ. එයාලට ලේසි වෙන්න මම මම ඉන්න තැන කීවා.


“ ඒදණ්ඩ පල්ලෙ වැටුනෝ . . . . . .“

කොහොමින් කොහොම හරි එයාල මාව බොහොම පරිස්සමට ඒ ජරා ඇළෙන් ගොඩ ගත්තා. එච්චර උදව් කරපු මිනිස්සුන්ට කියලා අඩල අඩල මම ඉරිලා ගියපුපත්තරෙත් ඇළෙන් ගොඩට ගත්තා.


ගෑණු අය නම් මට හොඳෙටෝම දොස් කීවා. ඒත් පිරිමි උදවිය ගෑනුන්ටත් බැනල මගේ පැත්ත ගත්තා. අන්තිමට මම එපාම කියද්දිත් මාව ගෙදරටම ගිහින් ඇරලුවා. ඇරලුවා විතරක් නම් මදැයි , අම්මව කොණකට එක්ක ගිහින් කණට කරල සුටු සුටු ගාලා මොනාද කීවා.

අම්ම වැඩිය මට දොස් තීවේ නැතත් , තාත්ත ආගමන් තාත්තට කියල මට කඩේ යෑම සදහටම නතර කොරන නියෝගය දැම්මා.

ඒකට නම් මට මොක ද අම්මට නෙව වැඩි පාඩුව කියල මම හිත හදාගත්තත් සඳුද වෙද්දි මම ගෙදර නම් කඩේ යන්න ඕනි පත්තරේ ඕනි කියල නාහෙන් අඬපු හැටි අදටත් මට මතකයි.




ඒදණ්ඩෙන් වැටුණු 
මම
෴ සොඳුරු ෴


පසුව ලියමි
ඒදණ්ඩෙන් වැටිලා වැඩි කල් නොයාම ජම්බු ගහෙනුත් වැටුණු නිසා මගේ හැඩරුව වගේම සිතුවිලිත් තරමක් වෙනස් වුනා. මිහිර පත්තරෙන් විදුසරටත් කාන්තා පත්තර ගොඩකටත් මල් පත්තර වලටත් මගේ හිත ගියා. ඒවායින් අද ඉදහිට හරි ගන්නේ විදුසර පත්තරේ විතරයි.

කාලය ගත වෙලා ගියත් පාසලේ පුස්තකාලෙ දි තාමත් මට බූ බබා,රාලහාමි , හමුවෙනවා. ඒ පත්තර පෙරලද්දි මම මගේ අතීතය එක්ක හිනා වෙනවා. මලක් නහයේ පැල කර ගත්ත මල් මාමාට තාමත් ඒ මල ගලෝ ගන්න බැහැ වගේ , මටත් මගේ සුන්දර පුංචි කාලේ මතක වලින් සමු ගන්න බැහැ.

29 comments:

  1. දැන් කාලෙ වගේ නෙවෙයි ඒකාලේ. පත්තරේ එනකල් ඇඟිලි ගැන ගැන ඉන්නෙ

    ReplyDelete
  2. කලින් කියවලා තියෙනවා තමා ඔය එ්දණ්ඩෙන් වැටෙන කෑල්ල. අක්කා ඔය කතාව ඉස්සර දවසක ෆේස්බුක් එකේ ලිව්වනේ. මෙන්න මේකත් බලන්න... පොඩි කාලේ අපේ කාටුන් වීරයො ටික... http://www.dinamina.lk/2010/06/22/_art.asp?fn=f1006224

    මම මිහිර පත්තර කියවන වයස එද්දි ඔය කාටුන් චරිත වලින් සමහර ඒවා තිබුණෙ නෑ... ඉතින් අයියලාගෙ අක්කලාගෙ පරණ පත්තර ගොඩෙන් තමා එයාලව අඳුනගත්තෙ. :)

    ReplyDelete
  3. මාත් මිහිර පත්තරේ කියවමින් ඉඳලා ඊලඟට හතරේ පන්තියේ දී "මුළු හදින් මම ඇයට පෙම් කොට" නවකතාව කියවලා මිහිරෙන් මිහිරට පත්වුණා!

    ReplyDelete
  4. ඇයි යෝධයා.. යෝධයගේ කලිසම. ඉස්සර අපි වැඩ කරපු ඔෆීස් එකක් ගොඩක් උන්ට මම ඔය නම් දාලා තිබුනා. ඉස්කෝලෙන් අස් වෙච්ච ගමන් නේ. මිහිර පත්තරේ කියන්නේ ඒ කාළේ අපේ ජීවීතේ.. ඔහේ නවයුගය කියෙව්වේ නැතෙයි.. පස්සෙ කාලේක පත්තර වල නැගලම ගියේ.. නිදි යහනේ නෑ සහනේ තීරූව.. මාර ප්‍රශ්ණ නේ අප්පා ඒවල අහලා තිබුනේ. ඒත් පස්සෙන් පහු කාළෙක දැනගත්තා ඒ ඔක්කෝම නිර්මාණ කියලා..

    ReplyDelete
    Replies
    1. මකාගෙ යලක් එකත් මරු මාතේ.. නෝමන් පලිහවඩන ලිව්වා පියල් සමරවීර ඇන්දා කියලයි මතක.

      Delete
  5. අපේ කතාවත් ඔයිට වඩා ලොකු වෙනසක් නෑ....

    ReplyDelete
  6. හරිම සොඳුරු ලියවිල්ලක් .ඉස්සර ඔය කියන පත්තරවලට අමතරව අපි නවයුගය පත්තරේ ගත්තා . පස්සේ දවසක පත්තර කන්තොරුවකදී වෙනත් වැඩකට එතනට ගොඩවැදුණු ඇස් ඒ දිසානායක මහත්තයා දුටුවාම ඔහුගේ මුණ අත ගාලා බලන්න මට හිතුනා අර පොඩි කාලේ බූ බබාගේ මතකයත් එක්ක

    ReplyDelete
  7. මං බැලුවා මොකෝ මගෙ නම කියලා අඬගැහුවේ කියලා .. හැක්. මිස් අන්ඩස්කර්‍ට් වෙලා මට..
    ඉස්සෙල්ල ඇවිල්ලා හුරතලා .. ඊළඟට පුංචි පත්තරේ, මිස්ට ෆොක්ස් ඇවිල්ලා මගේ ෆේවරිට් ඩයල් එක.
    ඊට පස්සේ බිංදු.. ඊළඟට මිහිර.. ආයෙ සිස්සත්ත පත්තර, ආ සතර පත්තරේ. හතේ පංතියට එද්දි විදුසර යි සමුදුරයි ගත්තා..දැන් වගේ නෙමේ ඒ කාලෙ සමුදුර වෙනම පත්තරයක්... නමයෙ පංතියෙ ඉඳං අපි සල්ලි එකතු කොරලා දුන්නම නල්ලමලේ පත්‍තර ෂැට් එකක් ගෙනාවා එකෙක්..අපි ගියාට දුන් නෑ ඒවා :D
    නං ලියන එක හරි නෑ නෙවැ.. ඊළඟට පරිගණක මැගසින් එකයි GO එකයි.ආයෙ තරුණයත් ගත්තා..ඉඳ හිට...මනහර - මුතුහර දෙකත් ආසාවෙන් කියෙව්වා,

    ReplyDelete
  8. මටත් මතක් වුනා මකාගෙ යලක් , "මම කවදත් පත්තරය බලන්නේ පිටිපස්සෙ ඉදන් ඉස්සරහට" ඇත්තෙන්ම මමත් තාමත් එහෙමයි පත්තරයක් ගත්තම . ගමේ බස් එකෙන් පස්සේ ආපහු ට්‍රැක් එකට වැටිලා වගේ ....

    ReplyDelete
  9. සොඳුරු මට වඩා බාල වෙන්න ඕන .නමුත් එ අතර තාක්ෂණය එච්චර හය්යෙන් ගිහින් නැහැ වගේ. අග ඉඳන් පත්තර කියවන තව එක්කෙනෙක්.

    ReplyDelete
  10. හහ්! නෙවෙන්නම්, මමත් ඒකාලේ පත්තර මාමා එනකම් ගේට්ටුව ලඟ මග බලාගෙන හිටපු කෙනෙක් මිහිර ගන්න. මං පොඩිකාලේ තිබුනා සුරතලා කියල පත්තරයකුත් ඒකෙ හැමදාම අත්වැඩ තීරයක් තියෙනවා. මම වැඩිපුරම ආස කලේ සුරතලාට. පස්සෙ සුරතලා පත්තරේ එන එක එකපාරටම නැවතුනා. මං අපේ පත්තර මාම එක්ක වලියකුත් දා ගත්තා සුරතලා ඉල්ලලා.

    ReplyDelete
  11. / ඉස්සරෝම බලන්නේ ඉස්සරහ පිට්ට.ඊළඟට අන්තිම පිට්ට. අන්තිම පිට්ටෙ තමා බූ බබා හෙම ඉන්නේ. /

    :) :) :) :) :)

    ඇහැක්තරං කාල අහවර වෙලා පත්තර පිට්ටක් ඇරගෙන වහ දාහං හරිය? නැහ්නං හින්නො වහවි....

    ReplyDelete
  12. මාකගෙ යලක්,යොද රාලහාමි,කැලෙ කතාව වගෙ එව කොච්චර ආසවෙන්ද කියෙවුවෙ.ඔය පස්සෙ ඉදන් බලන පුරුද්ද මටත් තියෙනවනේ බොලේ.

    ReplyDelete
  13. මිහිර, විජය... විජය පත්තරේ එක්ක ලැබුණු කතන්දර පොත පිටු නවල, කපල හදාගන්න පුළුවන්....

    ඒ පත්තර තමයි කියවීමේ පිස්සුව හැදෙව්වෙ...

    මල්පත්තර කියවන වයසට එද්දි මං වැඩියම ආස වුණේ සඳරේණු පත්තරේට.. දැන් නම් ඒව ඇත්තෙත් නෑ වගේ...

    ReplyDelete
  14. මල් මාමගේ මල තාම ගලෝ ගන්න බැරි වෙලාද? දැන් අවුරුදු 30ක් විතර තිස්සේ උන්දැ ඔය මලත් එක්ක ඔට්ටු වෙනවා නේද? මකාගෙ යලක් ම තමයි ඒක. හෙහ් හෙහ් සුරතලා ඉඳන් විදුසරට එනකම් ඔය වගේම ආවා.. ඔයා කඩේ යන්න බලන් ඉන්නවා වගේ මම බලන් හිටියේ අම්ම වැඩ ඇරිලා එනකම්..
    සමුදුරේ ඒ දවස් වල දුන්න ක්‍රිකටර්ස්ලගේ පින්තුර, ලෝක ප්‍රසිද්ධ අයගේ පින්තුර එකතු කරපුව තාම ඇති ගෙදර..

    ReplyDelete
  15. //Gayan Tharaka said...
    දැන් කාලෙ වගේ නෙවෙයි ඒකාලේ. පත්තරේ එනකල් ඇඟිලි ගැන ගැන ඉන්නෙ //
    දැන් කාලෙ බ්ලොග් වලත් එහෙමයි . පත්තරේ එනකල් ඉන්නෙ.
    PM ?

    ReplyDelete
    Replies
    1. හෙ හෙ ප්‍රා ජේ .. පත්තර මල්ලි & ප්‍රා ජේ විත් කැකුණ :D

      Delete
  16. නොදකින් මේ පත්තරයත් එක්ක කොහෙද කොමෙන්ට් එකක් දාන්නේ. මු පත්තර ඔක්කොගෙම නම් දාලා. යකෝ අපි එකක් දාන්නේ නැද්ද.

    ReplyDelete
    Replies
    1. ඉතිං බං මම පත්තර මල්ලිනෙ.. ආං මම නම නොලීව්ව ටිකක් නං තියනවා :D

      Delete
  17. මං හිතුවේ මම විතරයි පත්තර අග ඉදන් මුලට බලන්නේ කියල. දැන් බලද්දී සැහෙන දෙනෙක් එහෙම නේ. මට ඕක පුරුදු උනේ විජය පත්තරේ අන්තිම පිටේ තිබුන මල් මාමා පෙනී සිටින මකාගේ යලක් නිසයි.

    ReplyDelete
  18. ඉස්සර තිබුණා කැමිලස් ප්‍රකාශන විදියට ආපු සුකිරි, මීපැණි , කියලා පත්තර හැබැයි ඒවා තනිකරම ලමා චිත්‍රකතා පත්තර.ඕ ළමා වයස ගෙවුණාම ඉතින් අනෙක් පත්තර ඉබේටම ගෙදරට එනවා...

    ReplyDelete
  19. මගෙත් කතන්දරේ නොවැ මේ ඔබ ලියා තිබෙන්නේ.

    ReplyDelete
  20. මට යන්තම් මතකයි මිහිර පත්තරේ අර මුද්දර එකතු කරන සමාජය...ඒකෙන් සැනසිලි තෑග්ගක් ඇදුනා මට.....මම තාමත් පත්තර බලන්නේ අන්තිම පිටුවේ ඉඳන් මුලට...ඇයි ඇත්තටම ඒ....7 ශිෂ්‍යත්වය විභාගේ කාලෙදි තමයි සතුට පත්තරේ පටන් ගත්තේ...රසවාහිණී සඟරාවත් නවයුගය වගේම කියවනවා මතකයි...

    ReplyDelete
  21. මම නම් පත්තර බිම එලාගෙන ඒ උඩ නිදාගෙන තමා පොඩිකාලේ පත්තර බලන්නේ. අර කොහෙන්දෝ වැටුනට පස්සේ නම්, කෝපි බිබී පුටුවක් උඩට කකුල් අරගෙන කියවනවා...:D

    සොඳුරුගේ සොඳුරු අතීතයට අපිත් එක්ක ගියාට ගොඩක් ස්තූතියි.
    හී හී ඒ වුනාට ඔයා ඒදන්ඩ පල්ලේ වැටුනානේ...:)

    ReplyDelete
  22. මම මිහිර පත්තරේ මුලින්ම ගන්නකොට සත 5ටි මිල. අර චරිතවලට පණ දුන්නු එස් ඒ දිසානායකයන් පියල් උදය සමරවීර වැන්නන් හා එකම තැන එකට වැඩකරන්න තරම් මං වාසනාවන්ත වුණා. මල් මාමට පණ දුන් පියල් ඔබේ ගං පළාතෙම තමා.

    ReplyDelete
  23. "මටත් මගේ පුංචි කාලේ මතක වලින් සමු ගන්න බැහැ.."
    මේක හරිම වදයක් වෙලාවකට
    කොහොමද ගැලවෙන්නේ :-(

    ReplyDelete
  24. mama soduru sitha goda kaleka idan kiyawana kenek.comment kranna hithune ada. ape punchi kale koi tharam soduruda. ammata pattareta salli denna bari una dawasata adapu hati

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...