..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, May 25, 2014

ගමේ බස් එක

ගමේ බස් එක



“ මාල වලලු ටික අතේ අරන් දුවගෙන වරෙන් බන් අක්කේ, බස් එක යාවී “

සාරි පොට ඉනේ ගසා ගනිමින් සාරිය දණිහ තෙක් ඔසවා ගත් මැදිවියේ ගැහැණිය වෙල් නියර දිගේ එක සීරුවට දිවගෙන එයි. කුඹුර හොඳින් මඩ කර බැද ඇති නියරවල් ද තාමත් අලුත්ය. දුවගෙන ආ අක්කා ගේ දිවිල්ල එකවරම නැවතුනි.

දුන්න නැවුනා සේ නැවුන අක්කා සපත්තු දෙක ද අතින් රැගෙන නැවතත් බසය දෙයට දිව එන්නට විය. විනාඩි දෙක තුනකදී ඇය බසයට ගොඩ විය. බසයේ සිටි සියල්න්ගේ මුහුණු සතුටින් පිරී ගියේ ධාවන තරඟයක දී තම සඟයා පළවෙනි ස්ථානය ලබා ගත් තරමේ සතුටකිනි.

“රායිට්................ හරි යන් “

සැර දමා ගත් බසය යලිත් පටු මාවත දිගේ ඉදිරියට ඇදෙන්නට විය.

තනි දොරේ කුඩා පෙට්ටියක් වැනි ( ඉසුසු ද මන්දා ) බසයක් වූ මෙය ඩිපෝ වෙන්දේසියකින් ලබා ගත් එකක් බවට බැලූ බැල්මට මට සිතුනි. නමුත් ඔප දමා දිස්නය ගන්නට වෙර දරා ඇති බසයේ ඉදිරි පස එහෙම් පිටින්ම ප්ලාස්ටික් මල් උයනකි. ඒ උයන මැද සියලු දෙවිදේවතාවුන් පිරිවරා ගත් බුදු රජාණන් වහන්සේ වටා නිවි නිවී පත්තු වෙන රැස් මාලාවකි.

රියදුරු මහතා හිරිමල් යෞවනයකුගේ පෙනුම ඇත්තෙකි. ඔහු දුටු විට මට සිතුනේ ලෝකයේ සතුටින්ම තම රැකියාව කරන්නා ඔහු වන්නට ඇති බවකි.

බසයේ එකම ඝෝෂාවකි. ඒ මතුපිටින් ගලා යන වේග රිද්ම ගීයකි. සියල්ල මදකට නතර කරමින් බසයේ පිටුපස දෙසින් නැග ආ උස් හඬකි.

“ හෝව් . . . .  හෝව් . . . . .  පොඩ්ඩක් නවත්තන්නෝ “

බසය නවතින්නේ තවත් මීටර් කිහිපයක් ඉදිරියට ගොස්ය.

බසයේ ජනේලයක් අද්දර සිටි  මා සිදු වන්නේ කුමක් දැයි හිස පොවා බැලූවෙමි.

දණිහට මදක් උඩට වන්නට කුඩා ගවුමක් හැද ගත් වයස පහළොවේ පමණ දැරියක් බසය දෙසට දුවයි. ඇගේ ගවුම එහා මෙහා යමින් යෞවනයේ අසිරිය පිටතට පනින්නට ගන්නා වෙර ඇය තම වමතින් වසන් කරන්නට දුවන ගමන්ම අසාර්ථක උත්සාහයක් ගත්තාය. ඇගේ දකුණතේ වූයේ ලැමට තුරුළු කර ගත් පොත් මිටියකි.

අවසානයේ ඇය ද මේ කුඩා බස් රථයට ගොඩ වූවා ය. කොන්දොස්තර මල්ලි ඇයව ඉතා පරිස්සමට බසයට ගොඩ කර ගත්තේ ඇයගේ බද වටා අතක් යවමිනි. කොන්දෝස්තර කොලුවා ඇගේ කණට කර කුමක් දෝ පවසන අයුරුත් ඇය ලැජ්ජාශීලීව සිනා සෙන අයුරුත් මට පෙනේ.

මා මේ ගමට අමුත්තියක වූ නිසාදෝ මා බසයට ගොඩ වූ සැණින් බසයේ ඒ වන විට තිබු අසුන් අතරින් හොඳම අසුන ලෙස සැලකිය හැකි දොර ගාව ම අසුන මට පිරි නැමුණ බැවින් මේ සියල්ල මට පැහැදිලිව දැක ගත හැකි විය.

නැවතත් බසය ගමනේය.

විරුද්ධ දිශාවෙන් පැමිණෙන වාහන සමඟින් එකවර එහා මෙහා මාරු විය නොහැකි බැවින් බසයේ ගමන කීප විටකදීම පමා වන්නට විය. නමුත් ඒ සෑම අවස්ථාවකදී ම හැකි නම් බසයේ ගමනට ප්‍රමුඛස්ථානය දීමට අනිත් පසින් එන වාහනය ඉඩ සලස්වා දෙයි. එය එතරම්ම විශේෂය. එය “අපේ ගමේ එකම බසයයි “

නියර දිගේ දිව ආ අක්කා වටා සිටි අය ලොකු කතාවකි. විටින් විට මට ද එබස් ඇසේ.

“ ඇයි අක්කෙ ස්කූටිය විකුණන්න හදන්නේ, උඹට නින්ද ගියේ නෑනෙ ඕකක් ගන්න කන් “

“ ඔවු බන්, ඒ කාලේ යන්න එන්න විදපු දුක හැටියට නේ මම ඒක ගත්තේ . ඒත් පෙරුම් පුරල පුරල ස්කූටිය ගත්ත විතරයි පාර යන්තමට හදල බස් එකක් දැම්මා. දැන් මොකටද බන් ස්කූටි. ගේ වටේ පදින්නයෑ. මම ඕක ගත්ත ගාණටත් වඩා අඩුවෙන් විකුණනවා බන්. කවුරු හරි හොයල දියන් “

ගමේ බසයට තරහ කාරයෝ සහ තරඟ කාරයෝ කිසිත් නැත. එබැවින් ඕනෑ තරම් වෙලා ගෙන බසය බසයට ඕනෑ ගමන් අවසානයට යයි. බසයේ මගිනී බොහෝමයක් බසයෙන් බසින්නේ නගරයට ආ පසුය. ඒ නිසා කට කපන්නට සෙනඟක් නගරාසන්න වන විට බසයේ පිරී සිටියි. නමුත් කකුල් පාගනවා යැයි රැවිල්ලක් හෝ ජැක් ගසනවා යැයි හෝ පොකට් ගසනවා යැයි කිසිත් අඩෝවැඩියා නැත. බැරි වෙලාවත් එසේ වුව හොත් ඔහුට නවතින්නට සිදු වන්නේ  රෝහලේ බව ගැමියෙකු පැවසුවේ එක් දිනක් බසයට නැගි නන්නාදුනන ජැක් කාරයෙක්ට බසයම (ගමම) එක්වී නෙලන්නට වූ බැවිනි.

ගමනාවසානයේ දී බසයෙන් බැස යන සමහරු රියදුරු මහතාට ලංව යමක් කොදුරයි. රියදුරු ළමයා ද එයට සිනහවෙන් පිළිතුරු දෙයි. 

“ අනේ මල්ලි , හවසට පොඩ්ඩක් මං එනකම් විනාඩියක් බලන්න හොදේ. “

පොළ දවසක් නම් එකිනෙකා රැගෙන ආ බඩු මළු බසයෙන් බා ගැනීමට සියල්ලන්ම උදව් වේ. 

මෙතෙක් මා පැවසුවේ ගිය වර මා නිවාඩුවට මා යෙහෙළියක බැලීමට මේ ගමට පැමිණි පසුව ගමෙන් නික්ම ගිය ආකාරයයි. වෙනදා නම් ත්‍රීවීල් වලට පණිවිඩය කියා කල්මැරිය යුතු වුවත් බසය එන යන වේලාවල් දැන ගත් පසු දැන් ගමට ඒම මිල අඩු හා කාලය තරමක් වැය වන්නා වූ නමුත් විනෝදමත් සවාරියකි.

නමුත්

මෙවර මා බසයේ වේලාවටත් කලින් නගරයට පැමිණ දැන් බොහෝ වෙලාය. බසයේ වේලාවත් පසුව ඇත. වේලාවන් වෙනස් කර ඇතිදැයි සිතේ. අසන්නට හෝ කෙනෙක් නැත.

වේලාව ද සැලකිය යුතු තරමින් ගත වී ඇති නිසා තුන් රෝද නැවතුම දෙසට ගිය මම කුලිය කතා කර ගෙන ගමනට පිටත් වුනෙමි.

“ දැන් අර මේ පාරේ යන බස් එකේ වෙලාව වෙනස් කරල ද? “

“ මොකක් ද මිස් අර පුබුදු ට්‍රැවල්ස් ද? “

“ ඔවු ඔවු එක බස් එකනෙ තිබ්බේ “

“ ආහ්  . . . ඒ බස් එක දැන් දුවන්නෙ නැහැ නේ “

“ ඒ මොක ද ඒ අපරාදේ නෙ“

“ ඒකේ කොන්දා බස් එකේ අයිතිකාරයගෙ දුව එක්ක පැනල ගියා නේ , ඊට පස්සේ ඒ මනුස්සය බස් එක වික්කා“

“හරි අපරාදේ “

“ මොන අපරාදයක් ද මිස්. දැන් ආයෙ අපිට දෙයියනේ කියල ඒ ගමට හයර් තියෙනවා “


නියර දිගේ දිව විත් බසයට ගොඩ වන අක්කාගේ නිවස වෙල් යාය මැදින් ඈතිින් පෙනේ. ඇය ස්කූටියේ නැගී සමතුලිතතාවය රකිමින් වෙල් නිරය දිගේ  එනවා මා සිතින් මවා ගත්තෙමි. 

නමුත් එය එසේ වන්නේ ඇය ස්කූටිය විකුණා ගන්නට තරම් අවාසනාවන්ත නොවුනොත් පමණි.


පටු පාරේ තඩි වලක වැටුණු තුන්රෝද රියෙහි රියදුරුතෙමේ ගේ කතාව යළිත් දේශපාලනය කෙරේ යොමු විය.


ගමේ බසය ගැන සිතින් තැවෙන
මම
සොඳුරු

28 ප්‍රතිචාර:

Chatura Wijetunga said...

ලස්සනයි ..... මුලු කතාවෙම රූප රාමු ටික (හැම රූප රාමුවක්ම හරිම ලස්සනට හිතේ ඇදෙන්න පුලුවන් විදියට වචන ටික තියනවා) මුල ඉදන් මම හිතින් මවාගෙන කතාව කියෙව්වෙ.

ගන්දරයා said...

දැනට ටික කාලයකට කලින් අපේ ගමේත් තිබුනා මේ වගේ බස් එකක්. බස් එකක් කිව්වට ඒක මේ එම් ඩබ්ලිව් වෑන් එකක්.

ඉවාන් පවුලූශා said...

නියමයි , ඇත්තටම ගමක යන එකම බස් එකට කිසිම තරඟයක් නෑ. මිනිස්සු එක පාවිච්චි කරන්නේ තමන්ගේ වාහනේ වගේ, ගමේ හැමෝගෙන්ම උවමනා එපා කම් බස් එකෙක් ඩයිවර් ,කොන්දොස්තර දන්නවා, මිනිස්සු ගෙයින් එලියට බහින වෙලාව , බස් එකට නගින තැන , හිටියේ නැත්තම් ටිකක බලලා හොඳ එකක් ගහලා එහෙම , අදාළ පුද්ගලයා එන්නේ නැත්තම් ගෙදර වෙන කෙනෙක් ඇවිත් අද එයා එන්නේ නෑ කියන පණිවිඩේ දීම , හරියට සුරංගනා කතාවක් වගේ .... සුරංගනා කතාවක් වගේ ..එනමුදු සුරංගනා කතාවක් නම් නොවේ

Janaka Kuruppu said...

එක දිගට කියෝගෙන ගියා. නියමයි සොඳුරු...

ushi said...

eka gigata kiyawagena giya...mata hithuna ee oya neda kiyalath. harima lasssanye..

Ravi said...

අපෙ හාමිනේලගෙ ගමට යන්නෙත් ඔය වගෙ තනි දොරේ පාං පෙට්ටි බස්. එව්ව හැබැයි සී.ටී.බී. ප්‍රයිවට් දෙකක්ද කොහෙද දැම්ම මම ඔය පාරෙ යන්ට එන්ට පටන්ගෙන අවුරුදු හත අටක් ගියාට පස්සෙන් පහු. අම්මාපල්ල මට උඹෙ කතාව කියවනකොට මතක් උනේ උන්දලගෙ ගමට යන බස් ගමන. ඔය වගේම තමයි. ඔය මිනිස්සු එනකල් මඟ දිගට බස් එක නවත්තගෙන ඉන්න එක එහෙ සාමාන්‍ය දෙයක්. කවුරුවත් කිසි දෙයක් කියන්නෙ නෑ. මුල් දවස්වල මට මල පනිනව. පස්සෙ ඉතිං මොකද කරන්නෙ මාත් ඒකට පුරුදු උනා. තරහ අරගෙන වැඩක් ඇත. මම ඊට පස්සෙ ඒ වගෙ දේවල්වල තියන සුන්දරත්වය විඳින්ට පටන් ගත්ත.

ලියන්ට ඕන ඒ කතන්දර දෙක තුනක්..ස්තූතියි වත්ස්....

ඔන්න අපි බැඳල එහෙම මාස තුනක් වගෙ ගිහිල්ල. දිග සතිඅන්තෙක සිකුරාද එයාලහෙ ගෙදර ගිහිල්ල ඉරිද උදේ දහයට වගෙ අපි දෙන්න ඔය පාං පෙට්ටියකට නැග්ග අපෙ ගෙදර යන්ට. හෝල්ට් දෙකක්ද කොහෙදයි ඔන්න ආවෙ...අවුරුදු දොළහක තරම පොඩි එකෙක් පාරට පැනල අත දැම්ම. ඩ්‍රයිවර් බස් එක නැවැත්තුව.කොල්ල ඩ්‍රයිවර්ගෙ ජනේලෙ ගාවට ඇවිල්ල මොනවද කිව්ව. මෙන්න ඩ්‍රයිවර් බස් එක අයින් කරල නවත්තල සීට් එකෙනුත් නැඟිටල කොන්දොස්තරත් එක්ක බැහැල ඒ කිට්ටුවම තිබ්බ බෝක්කුව උඩ වාඩිවෙලා හෙණ කයියක් පටන් ගත්ත. මගෙ කටත් එක්ක ඇරුන මං හිතන්නෙ මේ මොකද මේ කියල...

" මොකද අනේ අර? අද යන්නෙ නැද්ද බස් එක? "මම එයයිගෙ කණට කරල ඇහුව.

" එගොඩහ ගෙදර නැන්දම්ම එනකල් ඔය ඉන්නෙ. නැන්දම්මගෙ මුණුබුරෙක් තමයි අර ඇවිල්ල අබේ මාමට කිව්වෙ ටිකක් ඉන්ට කියල. "

ඩ්‍රයිවර් ඇවිල්ල අබේ මාම..ඒත් එයාලගෙ අප්පච්චිගෙ ලඟම නෑදෑයො...

" ඉතිං කොහෙද ඔය නැන්දම්මලගෙ ගෙවල්? "

මට තාම මේ කතාව විස්වාස කරන්ට බෑ..ඇයි දෙයියනේ එක මනුස්සයෙක් එනකල් බස් එකක් නවත්තගෙන ඉන්න රටක් ගැන මම කවදාවත් අහල තිබුනෙ නෑනෙව…

" අර අතන නුග ගහ පේනවද? "

එයා නැමිල දකුණු අත දික් කරල පාරෙ දකුණු පැත්තෙ පේනතෙක් මානෙ විහිදෙන වෙල්යායෙ කෙලවර පෙන්නුව.

" අප්පච්චියේ.. එච්චර දුර ? "

" ආ..නෑ..නෑ..ඔය නුග ගහ පාවුලිං කන්ද උඩට නඟින්ට ඕන එගොඩහ නැන්දම්මලගෙ ගෙදරට.."

" ඈ????..."

I was speechless කියල පොත්වල කියවල තිබ්බට මම ඒ හැඟීම ඇත්තටම අත්වින්දෙ අන්න එදා...හෙහ්,හෙහ්,

ශාකුන්තල | Shaakunthala said...

ලස්සනයි..... මාත් දැන් බෝඩ් වෙලා ඉන්නෙ ගමක.. බස් නෑ ඒ පාරේ.. :)

දුමී said...

සොසීගේ කතා ශෛල්‍යයට මම හැමදාමත් කැමතියි. අදත් රසවත් කතාවක්....

Sumith Niriella said...

අපූරුයි...චිත්තරූප මැවෙන විදියට ලියලා තියෙනවා.

අපිටත් අවුරුදු 30 කට 35 කට විතර කලින් ඔය වගේ “බස් සේවයක්“ තිබුණා. බස් එකක්මත් නෙවී එල්ෆ් වෑන් එකක්. මිනිස්සුනම් කිව්වෙ කළු දුම කියලා. එක් වැඩි දවසක් දිවුවෙ නෑ., ෆිනෑන්ස් එකෙන් ඉස්සුවා. ඊළඟට අවෙ “පිණිදුම“.
දැන් නම් ඉතින් බස් තිබුණත් එකයි නැතත් එකයි මට්ටමේ. හැම ගෙදරකම පුද්ගලික වාහන තියෙන නිසා.

෴සොඳුරු සිත෴ said...

පරණ යාළුවෝ කාලෙකින් ඇවිත්. මාත් මගෙ විදිහෙ කතාවක් ලීවේ කාලෙකින් නේ. අප්පේ මට දැනෙන සතුට. ඔය සැරේ වත් කම්මැලි කම නැතිව ඉස්සර වගේ ලියන්න ඕනි.

තෙලිදිය වාඩිය said...

හරිම ලස්සනයි සොඳුරු කතාව. අනුරාධපුරේ පැත්තෙ තාමත් ඔය වගේ ලංගම බස් දුවනවා. මිනිස්සු ඇහැරෙන්නෙත් ඔය බස් එකේ සද්දෙට. බස් එක නැතිදාට, සමහර ඉස්කෝල වහනවා.

෴සොඳුරු සිත෴ said...

ශාකුන්තල ට මක්කටෙයි බස් , කඝවේනා වගේ පිඹගෙන යන වාහනයක් තියෙද්දි.....

ශාකුන්තල | Shaakunthala said...

ඒක නැති දවසට තමා දැනෙන්නේ බස් එකක් නැති එකේ දුක... :)

කුරුටු ගෑ ගී පොත said...

සුන්දර අද්දැකීමක් හිතෙන් විඳ ගත්තා සොඳුරු....

boo pale said...

ගමේ බස් එකට මෙවත් ඇඩ් වෙන්න ඕනේ.

පොඩි කාලේ නම් සන්සාරෙට මේ බස් එකේ ඉන්දගෙන යන්න හම්බ වෙන්නෙ නෑ.
ඔන්න ටවුන් එකේ ස්ටෑන්ඩ් එකේදි පොර කාලා බස් එකට නැග්ග කියන්ඩකෝ.වාඩිවෙලා හරි බරි ගැහෙන කොට ඔන්න පහලවත්තෙ අත්තම්ම,එපිටගෙදර ලොකුඅම්ම,සුදු පුන්චිඅම්මා,නැත්තන් කඩේ ලොකුඅම්මා හරි ගමේ ඉන්න හැට හුට හමාරක් අත්තම්මලා,ලොකුඅම්මලා පුන්චි අම්මලාගෙන් කවුරු හරි ලතාවකට ඇවිදන් එනවා.
ඉතින් සීට් එකත් දිලා මන් බහින තැනින්ම බැස්සොත් උස්සන් එන බඩු මල්ලත් ගෙඩෙට්ටම ගිහින් දෙන්ඩ එපායැ.
ඔය කවුරුත් නැත්තන් ඔන්න කොහේට හරි ඉල්ලීමක් ඉදිරිපත් කොරන්ඩ් ගිය අත්තෙක් හරි මුත්තෙක් හරිත් නගිනව.එතකොට නම් බඩුමලු නෑ.ගොඩක් වෙලේට සල්ලි දෙනවා බැහලා ගිහින් අරන් එන්ඩ් කන්ඩ දෙයක් කියලා.
මේ කවුරු නැගගත් ඉතින් බස් ගාස්තුව ගොඩක් වෙලාවට ඉතුරුයි.

ඊලඟට එන්නේ අපි ඉගෙන ගෙනත් ඉවර වෙලා ජොබක් හෙම කරල කොලම්බ ඉන්දලා ගෙදරයන කාලේ.සීට් දෙන්න එතකොට තව පොඩි සෙට් එකක් ඉන්න නිස සීට් එක අවුලක් නෑ.ඒත් නෑකම් තියන පොඩි එවුන් එකෙක්වත් මලාට ටිකට් ගන්නෙ නෑ.උන් ඔක්කෝටම ටිකට් ගන්ඩ් ඔනේ.සමහර දවසට කොන්දොස්තර මල්ලිම ලන්ගට ඇවිත් අද්දනකොට නගින්න බලන් ඉන්න නෑසනුහරේ උන්ටත් එක්ක ටිකට් ටික මටම දෙනවා.
හැබයි ඉතින් බහින තැනින් බහින එකෙක් බලෙන්ම අර තඩි බෑග් එක හෙම උස්සන් යන්වා ගෙඩෙට්ටම.

එපාම කරන කාලේ ඔය එක්සෑම් එකක් හෙම අල වුනොත් ඒකලේ තමා.ඉස්සරහින් ගොඩවෙන ලොකු තාත්තලා,බාප්පලාහෙම එතන ඉන්දන් පිටිපස්සේ සිට් එකට කැගහලනේ විස්තරේ අහන්නේ.

JP said...

සොසි
අර කිව්වත් වගෙ පරන රහටම
හැබැයි ගොඩක් තැන් වල වෙන්නේ අයිතිකාරයගේ දුවව කොන්දා පන්නන් යෑම තමයි කියලා හිතුනා මට

Bindi said...

කෙටි නාට්‍යක් කරන්න අපුරු කතාව නේ සොඳුරු ...

Podi Kumarihami said...

අපරාදේ ඒ බස් එක දැන් නැත්තේ. නැත්නම් සොඳුරු බලන්ට ඒකේ නැගලා එන්ට තිබුණා...:)

chef-architect said...

අපේ තාත්තානම් තාමත් පත්තරේ ගෙන්න ගන්නේ ගමේ බස් එකෙන් තමයි...දවසට හය පාරක්ද කොහෙද ඒක එන්නෙත්...හැබැයි ගේ ඉස්සරහින් යන හැම වෙලාවකම තාත්තා ඩ්‍රයිවර් මල්ලිට සැලූට් ගහනවා...කොච්චර ත්‍රීවීල් තිබුනත් ගමේ බස් එක තාමත් ෆුල්....

නාඩියා නාඩිරත්න said...

අප්පේ ඉතිං මේ වගේ බස් එකක යන්න පින් කරලා තියෙන්න ඕනේ!

හිරු said...

කතාවට වඩා සතුටුයි සොසීගේ කමෙන්ට් එක දැක්කම... හි හි

තරුරසී said...

අපේ පාරෙත් යන්නෙ ලංගම බස් එකයි.. පාරෙන් කිව්වට ගෙදරට ගොඩක් ඈතින්. ඉතින් අපි පුරුදු වුණා බයිසිකලේට.. බස් එක එනකල් මග බලන් ඉන්න එක පණ යන වැඩක්... ඉඳහිට ගොඩවුණාමත් ඉතින් දන්න අඳුනන මුණුම තමයි....

සොඳුරුයි සොඳුරු, සොඳුරු මතකය...

itnishantha said...

අපේ ගමේ නොවුනත් අහලා ගමක් හරහා යන ඔය වගේ බස් එකක් තියනවා හදිස්සියක් නැත්නම් ටිකක් රවුම් පාරක් උනාට මමත් ඔකේ එනවා. ඩ්‍රයිවර්, කොන්දොස්තර දෙන්නම ගමේම මිනිස්සු. තියන එකම බස් එක නිසා හැමෝගෙම ඕනෑ එපා කම් ඉටු වෙන විදිහට තමා වැඩ. හදිස්සියෙවත් බස් එක වැඩ නැත්තන් කලින්ම දැනුවත් කරනවා. සමහර වෙලාවට ඩ්‍රයිවර බැහැලා ගිහින් හරකා බැඳලා එනවා. තවත් වෙලාවකට දෙන්නටම කවුරු හරි කෙනෙක් කිතුලක් මුලට කතා කරනවා. වෙඩිමක් උත්සවයක් තිබ්බොත් දෙන්නගේ පංගුව වරදින්නේ නැ. ගෙදරක විශේෂ කෑමක් හැදුවත් ඒ දෙන්නට කොටහක් අනිවා වෙන් කෙරෙනවා. ගමන් යන මිනිස්සුන්ට උනත් කිසි බයක් නැ. වැසිකිලි යන්න උනත් නවත්තගෙන ඉන්නවා.

තරු said...

කාලෙකින් සොඳුරුගෙ සොඳුරු කථාවක් කියෙවුවා.

ඔය වගේ ලංගම බස් දෙකක් අපේ ගමේ තාමත් වැඩ.

උදේ 6.30ට එකයි , 7.10ට එකයි.
7.10 එක නැත්නම් 6.30 එකා මුලු ගමටම ඒක කියාගෙන එන්නෙ..හෙහ් හෙහ් හෙහ්

මමත් ඉඳලා හිටලා ඔය බස් එකේ යනවා. හවස ඕක අන්තිම ට්‍රිප් එක එනකොට , කට්ටිය ඩ්‍රයිවර් මලයගෙන් අහන්නෙ .. වෙන වෙන දේවල්.

දෙන උත්තර වලින් අහපු දේ හිතා ගන්න පුලුවන්.

"අනේ අද බෑ අය්යෙ , ඊයෙත් කණ පැලෙන්න ගහලා ඉන්නෙ "

සිංහල අවුරුදු දවස් වල ඒ බස් එක සුමානයක් විතර නිවාඩු, අනේ ඒත් ඩ්‍රයිවර් කොන්දොස්තර ඩබල නම් එනවා බස් එක නැතුව. ඒ මොකෝ එක දිගට උන්ට අවුරුදු පාටි ඒ විතරද සල්ලිත් එකතු කරලා තෑගි දෙන්නෙ. උන් දෙන්නත් ඒවා අරන් ඊලඟ අවුරුද්දේ ඊටත් වැඩිය පට්ට සර්විස් එකක් දෙන්නෙ. අර ත්‍රී වීල් මලයාගෙ කථාවත් පට්ට කෙනෙක්ගෙ දුක තව කෙනෙක්ගෙ සතුටක් වෙච්ච හැටි බලමුකො ඉතින්. :-D

Gayan T. Piyarathna said...

කෙටි චිත්‍රපටයක් බැලුවා වගේ, හැම දෙයක්ම මැවී පෙණුනා.
අදහස් අකුරු කරලා තියෙන හැටි හරි අපූරුයි, ස්වාභාවිකයි!!

arugeadaviya said...

////“ ඒකේ කොන්දා බස් එකේ අයිතිකාරයගෙ දුව එක්ක පැනල ගියා නේ , ඊට පස්සේ ඒ මනුස්සය බස් එක වික්කා“/////
අයිතිකාරයාට දුවත් නැහැ, බස් එකත් නැහැ මේ කොන්දෙක් නිසා. මට මේ ටික දැකලා හිනාගියා. ලස්සන ලියවිල්ලක්.

Thilaka Sitha said...

මේක වර්තමානයේ සොඳුරු කතාවක්. රස වින්දා. අපේ ගමේ බස් එක ගැන පරණ මතකයක්
පරණ මතකයක්. මමත් ලියලා තියෙනවා. ඉඩක් ලැබුනොත් 'සොඳුරුසිත' එන්න 'තිලකසිත' පැත්තේ D

Mahesh Rathnayaka said...

ඔය ජාතායෙ බස් එකක් ගැන මගෙත පඩේ මතකයක් තියේ..
අරඅණපුරඉදං කදුරුවෙලට එන බස් එකක්... දැං නං බස් වෙනස් වෙලා ඒත්. ඒ මිනිස්සු හරි සරලයි... විනාඩියක් හිටපං මලේ කීවංනං ආයෙ බුවා එනකං බස් එක යන්නෙ නෑ...
අදමද මංදආවෙ...
ආයෙ එන්නංතෙකා

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...