..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, May 19, 2014

හැරී (නො) බලමි

හැරී (නො) බලමි




ගුරු විවේකාගාරය බොහොම නිස්කලංක තැනක්. මේ කාලච්ජේදය ගොඩක් අයට වැඩ ඇති. අතේ තිබුනු පොත් මිටිය මේසෙ ඉඩ ඇති තැනක තියන ගමන් මට හිතුනේ අතේ බර වගේම හිතේ බරත් සැහැල්ලු කර ගන්න තියෙනම් කියලා.


පිටතින් බලද්දි බොහොම සතුටින් ඉන්න හරි කඩිසර ගුරුතුමී , ඒ ගුරුතුමීගේ ජීවිතෙන් බාගයකටත් වඩා දැන් ඉවරයි නේද කියලා මට හිතුනා. සුපිංවත් වෙසක් මාසෙම යෙදුනු මගේ උපන් දිනය ගැන පුංචි කාලෛ් මගේ හිතේ තිබුනෙ හරිම ආඩම්බරයක්.ඒ දිනය මට අද මතක් කරල දුන්නේ පන්තියෙ ළමයෙක්. ඒ ළමයගේ උපන් දිනයත් හරියටම මගේ උපන් දිනය දවසෙ.තවම ජීවිතේ එළිපත්තටවත් අඩිය නොතිබ්බ දරුවෝ.මගේ පාසල් රස්සාවට මම ආස කරන එක හේතුවක් ඒක. මම කොච්චර වයසට ගියත් හැමදාමත් යෞවනයේ එළිපත්තෙ ඉන්න දරුවන්ගෙ මූණෙන් මට මාව දකින්න පුලුවන්. මම එයාලත් එක්ක මගේ යෞවනය හිතින් විඳිනවා. මම එයාලත් එක්ක අලුත් ඇඳුම් මෝස්තර ගැන කතා කරනවා. අලුත් සිංදු ගැන, අලුත්  නව කතා ගැන. අලුත් කොණ්ඩා මෝස්තර ගැන, අලුත් අලුත් වචන ගැන වගේම එයාල විඳින යොවුන් ආදරයේ සුවඳත් මම එයාලත් එක්ක විඳිනවා.

ඒත් . . . . . .


පන්ති කාමරයකින් එළියට බැහැල ඇවිත් ළමයි නැති තැනක, සහෝදර ගුරුවරු හිටිද්දි හිනා වෙලා කතා කරල විහිළුවෙන් හිටියත් එයාලත් නැතිතැනකදි රබර් බෝලයක් වගේ දිය යට යට කරන් හිටි හිත උඩට මතු වෙන්නෙ මටත් හෝරා.

පැයකුත් හමාරක් ගත වෙන ආපසු ඒමේ දි බස් එකේ ඇහැ පියවෙලා දිගටම නින්ද යනවට මම හරි කැමැති. එහෙම නැතිව සෙනඟ අඩු බස් එකේ ජනේලය ලග ආසනයක් අහු වෙනවා කියන්නේ...... ජනේලයෙන් එහා පේන ලෝකයත් ජනේලය අස්සෙන් කඩා ගෙන එන හුළගත් මාව ගොඩාක් දුරට ගෙනියන නිසාත් හුළඟෙ සැරටද මන්දා ඇස් වල තෙතමනයත් දැනෙන නිසාත් ඇත්තටම ඒ පැය එකකුත් මාර නින්ද යනව කියන්නේ බෙල්ල චුට්ටක් රිදුනත් හිතට සනීපයක්.

මට හමුවුනු කිසිම මනුස්සයෙක් නරක නැහැ.විශේෂයෙන් පිරිමි. එයාලගෙ තිබුනු විශේෂත්වය තමයි එයාල ලෝකෙ හිටි හොඳම පිරිමි වීම. ඒත් එයාලගේ ඉරණමේ මා ගැන ලියවිලා තිබිලා නැහැ. වැරදි පාරක යද්දි හමුවේචි මාව මඟෑරල හරි පාරට එයාල වැටෙන්නෙ ඒකයි. සමහර වෙලාවට එයාල යන්නේ වැරදි පාරේ කියල එයාලට මතක් කරල දුන්නෙත් මම. ඒ වෙලාවට එයාල මුලදි ඒක පිළි ගන්න මැලි වුනත් පස්සෙ නොසිතූ වෙලාවක ඒක පිළිඅරන් මට බොහොම ස්තූති කරල එයාල එයාලගෙ ගමන දිගටම ගියා.

මගෙ අම්මා , මගෙ සහෝදරියෝ ,මගෙ යාළුවෝ මේ හැමෝම මට හමුවුනු බොහොම හොඳ ජීවිත. එයාල මගෙන් මිදිල ගියේ  හිටපු ගමන් , හරි ඉක්මනින්. මගේ බැම්මෙන් එයාල මිදුනත් එයාල එයාලටම කියල ලියවිලා තිබ්බ අලුත් බැමි වලින් බැදුනා. . . . .  එහෙමයි කියල එයාල නරක අය වෙන්නෑ.

මගෙ තියෙන නරකම පුරුද්දක් තමයි , ඈත් වෙන්න ඕනි කියල හොඳ හැටි දැන දැනත් ඈත් වෙලා යන විදිහට වැඩ කරලත් ආයෙ ආයෙ සොයා බලන්න කතා කරන්න හිතෙනෙක. ඒ නරක පුරුද්දත් මම අද හදා ගත්තා. එයාගේ බොහොම ලස්සන පින්තූරයක් , කාලෙකින් ලස්සන අලුත් ඇඳුමක් ඇදල , ඇස් පුංචි වෙන ලස්සන හිනාව මූල පුරාම පිරිලා. මම දන්න ලෝකෙ ඉන්න හොඳම මනුස්සයා. මම දැකල තියෙන මගේ ඇස් වලට ලස්ස්නම මනුස්සයා . . . . . .  


ජංගම දුරකතනයට අත ගියා , ඒත් ඊළඟ මිනිත්තුවේ නොපෙනෙන තරම් ඈතකට දුරකතනය විසි කළා. ඊට කලින් එහෙම කරලා පාඩමක් ඉගෙන ගෙන තිබ්බ නිසා වටිනා කියන දුරකතන භාවිතය අතෑරලයි තියෙන්නේ.

නෑවද කෑවද බීව ද දැන් වැඩ ද සනීප ද කියල තප්පරෙන් තප්පරයට අහපු බලපු අය ගැන නිකමටවත් සොයන්න දැන් මට අයිතියක් නැහැ. නොදැනෙන නොපෙනෙන ජීවිත ගැන හිතල තැවෙනෙකත් අද හෙට නැතත් ලග දිම දවසක නතර වේවි.


එක මනුස්සයෙක් ට තවත් මනුස්සයෙක්ගෙ ජීවිතයක් වෙනුවෙන් කරන්න පුලුවන් බැලපෑම සුළුපටු නොවෙයි. ඒ ගැන මම මගේ ස්කෝලෙ ළමයින්ට කියා දෙනවා. ඊළඟ කාලච්ඡේදයට වැදුනු සීනුවත් එක්ක මම නැගිට්ටෙ ආපහු නම් හැරිලා බලන්නෑ කියල හිතාගෙන. 


ආපහු හැරිලා නොබල , වෙන කාටවත් එන්න බැරි වෙන්න ,මම මගේ ජීවිතය සදහටම වහන්න හිතා ගත්තා. හිතට එන්න දීලා ඉඩ ඇරීම මහා දුකක්. හිත ගල් කරන් ඉබි යතුරු දාලා මේ ඉන්න තියන තව ටික කාලෙට ඒ හිත වහලම දානවා. හරියටම කියනව නම් මටවත් ඇතුලට යන්න බැරි වෙන විදිහට , යතුර ඈතටම විසි කරලා දානවා.




සත්තයි
මම 
මගෙන්ම සමුගන්නවා





9 ප්‍රතිචාර:

කතන්දර කාරයා said...

♫ ♬ ♪ හද ලෙන් දොර වසනු මැනවි මා එහි සිර කරලා! ♪ ♬ ♫

කුරුටු ගෑ ගී පවුර said...

ඇත්ත ම කතාවක් ද ????? පොඩි දුකක් දැනෙනවා කතාව කියෙව්වා ම.......................

තරුරසී said...

‘‘මට හමුවුනු කිසිම මනුස්සයෙක් නරක නැහැ.විශේෂයෙන් පිරිමි. එයාලගෙ තිබුනු විශේෂත්වය තමයි එයාල ලෝකෙ හිටි හොඳම පිරිමි වීම. ඒත් එයාලගේ ඉරණමේ මා ගැන ලියවිලා තිබිලා නැහැ. වැරදි පාරක යද්දි හමුවේචි මාව මඟෑරල හරි පාරට එයාල වැටෙන්නෙ ඒකයි. සමහර වෙලාවට එයාල යන්නේ වැරදි පාරේ කියල එයාලට මතක් කරල දුන්නෙත් මම. ඒ වෙලාවට එයාල මුලදි ඒක පිළි ගන්න මැලි වුනත් පස්සෙ නොසිතූ වෙලාවක ඒක පිළිඅරන් මට බොහොම ස්තූති කරල එයාල එයාලගෙ ගමන දිගටම ගියා.‘‘

හිතටම දැණුනා.. මේ සත්‍යය මේ විදියටම මමත් විඳල තියෙන නිසාද මන්ද...

ජිංජි බිරිස් said...

අම්මපා මට බොන්නමයි හිතෙන්නේ

samzi said...

මේ කතාව මගෙම කතාව කියලයි මට හිතුනෙ.වෙනස්කම් තියෙන්නෙ දෙකයි.

chathu said...

Hm...mtath e tika hodatama hithata danuna...

chathu said...

Mageth thiyena naraka puruddak thmi ath wela yana widiyata wada karala aye aye soya balanna katha karanna hithena 1ka....mge jeewitheth mata kiyanna thibuneth me tikama thmi..lassanata liyala thiyenawa....

සඳා said...

පසුබිම වෙනස් උනත් මටත් තියෙන්නෙ මේ වගේ ජීවිතයක්.සමහර විට පොඩ්ඩක් වෙනස්. ඒත් මම ආදරේ කරන කෙනා ගැන මටත් හිතෙන්නෙ මේ විදිහට. මට අයිති නැති උනත් එයා හොඳින් ඉන්නවද නැද්ද කියන එක හැමවෙලාවෙම හිතේ වැඩකරනවා. එයා එයාගෙ ජීවිතේ හොඳින් ගත කරන බව දැන ගත්තම උපේක්ශා සහගත සතුටක් ඇති වෙනවා. සමහර විට ඒක මගේ මෝඩ කමද කියලත් හිතෙනවා. ඒත් මම ඒ දේවල් කියන්න බයයි. තාක්ශණයෙන් දියුණු වෙලා මොකද්දෝ දියුණුවක් පස්සෙ දුවන ගොඩාක් මිනිස්සුන්ට ඒ දේවල් එක දෙයක් හෝ විහිළුවක් විතරයි වගේ කියල හිතෙනවා. ඒත් මේ වගේ දෙයක් කියෙව්වම මම වගේම තමන්ගෙ ජීවිතය ගැන සංවේදී වෙන මිනිස්සු මේ ලෝකෙ තවත් ඉන්නව කියල දැනෙනවා.

Anonymous said...

"එක මනුස්සයෙක් ට තවත් මනුස්සයෙක්ගෙ ජීවිතයක් වෙනුවෙන් කරන්න පුලුවන් බැලපෑම සුළුපටු නොවෙයි."
පළවෙනි වතාවට මේක කියවලා ගිහින් වැඩි කාලයක් නෑ.ඒත් දෙවෙනි වතාවට කියවන්න එද්දි කලින් වතාවට වඩා මගෙ ජීවිතේ කොච්චර වෙනස් වෙලාද කියල මටම හිතාගන්න බෑ.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...