..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, April 27, 2014

සමණළයාගේ මළ ගම

සමණළයාගේ මළගම


වැලි ගෑවුනු දෑත් ගවුම් වාටියෙන් පිසදා ගත් කුඩා කෙල්ල ,දණහිස ගෑවි සියුමැලි සමේ ලෝබකමින් මෙන් ඇලී සිටි සිහින් වැලි කැට ද පිසදා ශරීරය කෙළින් කර ගත්තී , බෙල්ල උස්සා එතකුදු නොව පා ඇඟිලි වලින්ද එසවී දුර ඈත වැලි පාර දෙස බැලුවාය. 

බලාපොරොත්තු සුන් වී ගිය මුහුණින් යලිදු තම දෑත් ඇඳ වුන් මල් ගවුමෙන්ම පිස ගත්තේ නොනැවීය. කලවා තෙක් එසවුනු ගවුම තුලින් ඇගේ මොලකැටි කලවා නිරාවරණය වූව ද කුඩා ඇයට එය එතරම් දෙයක් නොවිනි.

දෙතුන් වරක්ම හොඳින් පිස දෑමු දෑත වෙත දෑස් ගෙන ගිය ඇය වැලි කැටයක් වත් දුවීලි පොඳක් වත් නැති බව සැකහැර දැන ගත්තී නිල් මල් ගවුමේ ලා නිල් පාට රිබන් පටියකින් හැඩ දමා තිබූ පුංචි සාක්කුවට එකතක් යවා බොහොම පරිස්සමට යමක් එළියට ගන්නවාත් සමඟින්ම පසුපසින් එකවරම ඇසුණු මහ හඬින් තැති ගත්තී ගවුම් සාක්කුවෙන් ගත් යමක් විසි වී ගොස් අසල තිබු තණකොළ ගොල්ල මත වැටී සැඟවී ගියේ ය.

“ හරි නරකයි ඔයා. මම හොඳටම බය වුනා. “ 

පිටුපසින් විත් ඇය බිය ගන්වා ඇගේ කෑගැසීමෙන් උදම් වී සිනා සෙන කොලු ගැටයා තල්ලු කර දමමින් ඇය බනින්නට වූවා ය.

සාක්කුවේ තිබූ දෙයට වූ දෙය නොදත් ඇය යළිත් සිය ගවුම් සාක්කුව වෙතට දකුණත යවා එහි කිසිවක් ම නොමැති බව වටහා ගත්තී , පුදුමයෙන් හා ශෝකයෙන් යුතුව විසල් දෑසින් කොලු ගැටයා දෙස බැලුවාය.


දෙකට නැමෙමින් ද උරහිස් ගස්සමින්ද සිනාසෙමින් සිටි කොලු ගැටයාගේ සිනහව නතර වූයේ ඇගේ ඒ බැල්මෙනි.

“ ඇයි . . . . ? ඒක නෑ ද?“
“ නෑනේ . . . .  මේ දැන් තිබුනා “
“ කෝ බලන්න . . . .“ 


ඔහු ද ඇගේ ගවොමේ වූ කුඩා නමුත් අපූරු සාක්කුවට අත දා බලා එහි කිසිවක් නැති විත්තිය වටහා ගත් සැණින් ඔහුගේ මුහුණද සැලී හැකිලී යන්නට විය.

“ මොක ද වුනේ ඒකට ?“
“ මං හිතන්නේ ඔයා බය වෙලා යක්ෂණී වගේ කෑගහද්දි ඒක විසිවෙලා යන්නැති බයටම“
“ මේ දෙනව එකක් හරිද . ඔයාගේ වර ද. දැන් ඉතින් මොකද කරන්නේ “


ඇගේ කුඩා රවුම් සුදු මුහුණ බලා ඉද්දී රෝස පාට වන්නට වූයෙන් ඇය හැඬුමට ආසන්න බව වටහා ගත් කොලු ගැටයා ඇගේ අතින් ඇද ගෙන ඇගේ දෙපා මුල වූ පස් ගොඩේ දණ ඔබා ගත්තේ එතැන හෝ එය තිබේවායි සිතින් පතමිනි.

“ ඔයා හොඳට වැඩේ කරලා.ඒත් අපි තව ටිකක් හාරමු “
“ හා . . .මගෙ ඇඟිලි රිදෙන නිසා මම නැවැත්තුවා “
“ ඒත් කෝ අපිට . . . ? එන්න අපි රෑ වෙන්න කලින් ඒක හොයමු. මේ ටික ඔයා තියා ගන්න “
එතෙක් වෙලා ඔහු අත රැඳී තිබුනු කුඩා රතු රෝස මල් පොකුර ඇය දුටුවේ එවිටය.


“ අනේ හරිම ලස්සනයි. “

 සියලු දොම්නස් අමතකව ගිය ඇය මල් දෝත නැහැයට ලං කර ගනිමින් සිනාසුනාය.

“ එන්න එන්න අපි හොයමු. . . .“

ඉන් පසු දැකිය හැකි වූයේ කුඩා කොල්ලාත් කෙල්ලත් වැලි පිටිය ද ආසන්නව තිබූ තණ බිස්ස ද පීරමින් යමක් සොයනා ආකාරයයි. ඔවුන් සෙවූ දෙය කුමක් වුව ද ඔවුන් නොසෙවූ දෑ බොහොමයකින් ඔවුන්ගේ ඇදුම් සාක්කු පිරී ඉතිරී යද්දී , රාස්සිගේ අව්ව ඔවුන්ගේ මුහුණු මත රටා අදිද්දී ද, සෙවීම අතෑර දෑමීමට සිතූ අවසන් මොහොතේ දී කොලුවාගේ දෑසට ඒ අපූරු අලියා ගිනි පෙට්ටිය හමුවිය.


“ මෙන්න තියෙනවා . . . .මෙන්න තියෙනවා..... මේ බලන්න මෙන්න මෙන්න “

ඔහු සතුටින් උඩ පනිමින් කෑගසන්නට විය.


“ කෝ බලන්න. . . .  “

ඔහු වෙත ළං වූ ඇය ඔහු අතේ වූ ගිනිපෙට්ටිය පරිස්සමට ගෙන හැර බැලුවාය.


එතුල වූ දෙය දැක නැවතත් මුහුණ සෝබර කර ගත් ඇයව දුටු ඔහු....

“ අපි දැන් පීටර්ව වළදාමු “ යැයි පවසමින් ඇගේ අතින් අල්ලා ගෙන ගොස් ඇය ඇගේ දෑතින් හාරා තිබු පුංචි වල වෙත ගොස් දණ ඔබා ගත්තේ ය.


“ දැන් තියන්න “

වල තුල තැබූ ගිනි පෙට්ටිය යළිත් අතට ගත් ඇය  . . .

“ අපි හෙට මේක කරමු ද?“ දැයි හිස හරවා සෝබර දෑස් දල්වා කොල්ලාගෙන් ඇසුවා ය.


“ ඔයා හැමදාම ඔහොම්මයි... හැබැයි මට ආයෙ රෝස මල් ගේන්න වෙන්නෑ . අපෙ අම්ම අද රෝස පාත්තිය කප්පාදු කරා.ආයෙ ඒකෙ මල් පිපෙන්න ගොඩාක් කල් යාවි කීවා

“ එහෙ ම ද . . . . “

සොවින් වත බර කර ගත් ඇය ගිනි පෙට්ටිය වලතුලට දැමීමට සැරසෙත් ම ඇයව වැලකූ කොලු ගැටයා.

“ ඔහොම ඉන්න ,“ යැයි පවසා සාක්කුවට අත දමා යමක් එළියට ගෙන පිළිවලට කුඩා වල තුල අසුරන්නට විය.


සුදු පැහැති නමුත් මදක් අව පැහැ වෙමින් තිබුනු පුලුන් වලින් වල පතුල සම්පූර්ණයෙන් වැසීමට ඔහුට හැකි විය. එය ඔහුගේ සිත සතුටට පත්කරවී ය.


“ දැන් එයාට කවදාවත් රිදෙන එකක් නෑ “
කෙල්ලගේ මුහුණ බැලූ ඔහු ඇගේ දෑතේ වූ මදක් විවරව තිබූ ගිනිපෙට්ටිය තුලින් තටු ඉරී යමින් ද පාට ගිලිහී යමින්ද තිබූ සමණළයාගේ පියාපතක් දුටුවේ තව දින කිහිපයකින් එයට සිදු වන දේ දුටුව හොත් කෙල්ලගේ සිතට දැනෙන වේදනාව දැන එය ඇයට නොදැනෙන්නට අද වත් මෙය අවසන් කර යුතු බව වටහා ගත්තේය.

“ අපි දෙන්නම මේක ඉවර කරමු. හැමදාම ඇවිත් අපි පීටර්ව බලල යමු “
අවසානයේ ඔහුට අවනත වූ ඇය , පීටර් නම් සමණළයාගේ දේහය රැගත් කුඩා ගිනිපෙට්ටිය පුලුන් ඇතිරූ වල තුල දමා සෙමින් වැලි කැට දමන්නට වූයේ පීටර්ට රිදෙන්නට හැකි බව ඔහුට මතක් කර දෙමිනි.


ඇගේ දෑසේ වූ තෙතමනය දරා ගත නොහැකි වූ කොලු ගැටයා ඇයට තවත් සමණළයකු සොයා දීමට සපථ වෙමින් ඇගේ අතින් අල්වා ගෙන බැස යන හිරු ට යටින් රබර් මණ්ඩිය අතරින් පිය නගන්නට විය.




----------------------------------------------


නමුදු කුඩා ඔහු කිසිදිනෙක මෙසේ සිතන්නට නැතිවා වන්නට විය හැකිය . . . . 



මහ ගොළුවගේ කාටත් ඉඩ ඇති ඉඩම

ඇයටත් ලබා දුනු සිවුරියනක උරුම
තෙරපෙන්නට එපා ඔය හැටි වල උඩම
ඇගෙ ලැම රිදෙයි ඇහුන ද සුදු මල් වඩම
(සේකර)

----------------------




මගේ ආයුෂත් අරගෙන
නුඹ ජීවත් වෙන්නයි
මා පැතුවේ සොඳුරු දිනක
යළී අපි හමුවෙන්නයි
මම
සොඳුරු

10 comments:

  1. ජීවිතයේ එක්තරා කාලයක් මතක්වී ඇඩුනි මට....

    ReplyDelete
  2. කොල්ලන්ගෙයි කෙල්ලන්ගෙයි පෙම්කතා ගැන ලියනවා ඇරෙන්න ඔයාලට වෙන මාතෘකා නැතුවා වගෙයි. නමුත් මේ වෙනස් වන ලෝකයේ ගැහැනිය ගැන හා කෙල්ල ගැන මීට වඩා වෙනස් අලුත් ආකල්පයක් අපට අවශ්‍යයි.

    ReplyDelete
  3. @වනිතා හඬ
    අපි ඉතින් බැරි වැඩ කරන්න යන්නෑනේ.පුලුවන් දේ තමයි ලියන්නේ. ඔයැයිම ලියන්නකෝ ඒ ගැන.

    ReplyDelete
  4. ඒ තරම් සියුම් සිත්, වයසින් වැඩෙනකොට මේ තරම් ගොරහැඬි වෙන්නෙ ඇයි කියල හිතුනා...

    ලස්සන කතාව සොසී...

    ReplyDelete
  5. අදත් වෙනද වගේම ලස්සන කතාව අක්කේ..

    ReplyDelete
  6. මදෑ මාත් බලාන හිටියා කොටු පවුරේ රිංගල ගහපු පොටෝ බලන්න.. හැක්..

    ReplyDelete
  7. පොඩි කාලේම කරපු දේවල් ඒත් ලොකු වෙද්දී ඒ දේවල් මතකයන් විතරක්ම විතරයි . .

    ReplyDelete
  8. අලියා ගිණිපෙට්ටිය නෙවෙයි බං..අලි දෙන්නගෙ ගිණිපෙට්ටිය. ඒ ගිණිපෙට්ටියෙ අලි දෙන්නෙක් හිටිය....

    ලස්සන කතාව ...නෝන මහත්තයා...ලස්සන කතාව...:)

    ReplyDelete
  9. ඔය කවිය මම මුලින්ම අහුව අරේ සහ මරේ කතා මාලාවෙන්. !

    ඔයගේ ලියවිලි ලස්සනයි සොඳුරු අක්කා !

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...