..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, February 5, 2014

සමණල සිහිනය A Story of a Little Butterfly


සමණල  සිහිනය 


A Story of a Little Butterfly 






ඇය හරිම ලස්සනයි. පුංචි සුරංගනාවියක් වගේ. ඒ තොල් පෙති ඒ තරම් රෝස පාට වුනේ කොහොම ද කියලා හිතා ගන්නවත් බැරි වුනා.


ඇය මා ඉදිරියේ හිටගෙන හිටියෙ හරි සීරුවට. තෙල් ගාලා ගොතපු කොණ්ඩ කැරලි දෙක දික් වුනේ යන්තම් උරහිස ගාවට විතරයි. 

“ ළඟ දි ද කොණ්ඩෙ වැව් වේ ? “

ඇගෙ දිලිසෙන ඇස් දිහා බලාන මම ඇහුවෙ කතාව පටන් ගන්න කොණ්ඩ ගසත් හොඳ ඇරඹුමක් වේවි කියල හිතලා.


“ ඔවු ටීච... !!! “

ඉදිරියට වැටිල තිබ්බ කොණ්ඩ කැරුල්ලක් පසුපසට කරන්නට ගතපු අසාර්ථක උත්සාහයක් එක්කම ඇය කියා සිටියා.


“ දූ.... බියුටි සැලුන් යනව ද ? “ ඇගේ ලස්සන දෙබැම දැකපු මට උත්තර ඕනි නැති වුනත් , ඒ බව මම දන්න විත්තිය හඟවන්න මට ඕනි වුනා.


එකවරම බිල බලා ගත්ත ඇය , හිස ඔසවන පාටක් නැති වෙද්දි , මම අහපු ප්‍රශ්ණය ඉල්ලා අස්කර ගත යුත්තක් විත්තිය මට තේරුනා.

“ දූ ට මොකට ද අමුතුවෙන් ලස්සනක් . . . . දු ඉපදිලා තියෙන්නම ලස්සන දෝතින්ම අරගෙන. . . .ම් ම් ම් . . . වාඩිවෙන්න “


එකවරම එසවුනු ඒ මුහුණෙ තිබ්බ හැඟීම් මොහොතින් මොහොත වෙනස් වුනේ හිතා ගන්නවත් බැරි විදිහට.


“ සඳුනි කීවෙ බොරු ටීච.... මගේ එහෙම සම්බන්ධයක් නැහැ. ඒ කොල්ලට සඳුනි කැමැති ටීචර්.ඒකයි මෙහෙම බොරු කියන්නේ “


ඇගේ මුහුණ ඇගේ අතපය ,ඇගේ ඇගිලි , ඇගේ ඉරියවු මේ සියල්ල හදිසියෙන් වගේ පවසන්නේ ඇගේ වචන බොරු විත්තිය බව තේරුම් ගන්න වැඩි වෙලාවක් ගත වුනේ නෑ.

සුපුරුදු පරිදි ඇයට මගෙන් ලැබුනෙ උපදේශ ගොඩාරියක් වෙනුවට , පුංචි රසවත් ආදර කතාවක්.. හරියට මුනින් නවපු කලයක් පුරෝනව වගේ උපදෙස් දීම ට වගේම ඒ උපදෙස් අහන්න ඉන්නත් මං කෙල්ල කාලේ කැමැති නැති වුනා වගේම මේ දරුවනුත් නොකැමැති විත්තිය මම දැනන් සිටියා. .

ඒ තරම් ලස්සන කෙල්ලකට ආදරය නොකරන්නෙ කවු ද? ධම්මි සුගත්ට ආදරය කරා නම් , හේෂානිට ඒ ආදරය තහනම් කරන්න මං කවු ද? 

ඇගේ ආදරය මැද්දට පැනපු බබාගයා යකිනිය වනවාට වඩා යමක් ඇය වෙනුවෙන් කරන්නට නම් , ඇගේ හිතේ සැඟවුනු සමණළ් රහස් අසන සුරංගනාවියක් වන්නට මට සිද්ද වෙන විත්තිය මං දැනන් හිටියා.ඇගේ කතාවේ මා අභිමුව තැබූ ස්වල්පයෙන් වුනත් ඇය හසුවෙමින් සිටින්නේ දියසුළියකට බැව් මට නොදැනූනා නොවුනත්. එකවර ගත යුතු දැඩි තීරණයක ඇය නම්මා ගැනීම ලෙහෙසි නොමැති විත්තියත් මට හැඟී ගියේ , ධම්මි සුගත් ආදර කතාවට වඩා බොහෝසෙයින් දුර දිග ගිය ආදර කතාවක ප්‍රධාන චරිතයේ උච්චතම අවස්ථාවක ඒ වන විට ඇය රඟපාමින් සිටන නිසාම යි.

දැනට මාස හයකට විතර කලින් විනය කාමරයේ මගේ මේසය ඉස්සරහ හිටපු ඒ පුංචි රෝස මල ගැන මතකය ආයෙත් අලුත් වුනේ බොහොම අහම්බයෙන් හමුවෙච්චි ඇගේ පාසලේ පාසල් යෙහෙලියක් නිසා.

ඇය සඳුනි.

“ ටීච හම්බුනු එක හොඳයි.හේෂානි හොස්පිටල් එකේ.නිතරම ටීචර්ව මතක් කරනවා.ටීචරව හම්බුනොත් ටීචර්ට කියන්න කීවා “

හේෂානි ට ඇගේ විනය සම්බන්ධව ලබා දුන් උපදේශනය මා ලබා දුන් අවසාන උපදේශණයයි. ඉන් පසු ඇති වූ රාජකාරිමය ගැටළු රැසක් නිසා විනය කමිටුවෙන් පමණක් නොව එකී පාසලෙන් ද ස්ථානමාරුවක් ලැබූ මා එකී දිස්ත්‍රීක්කයෙන්ද පිටතටම මාරු වී ගියේ මා හට සිදු වූ සිත්තැවුල අමතක කර දමන්නට එයින් රුකුලක් අත් වෙනු ඇතැයි සිතාය.

විනය කමිටුවේ ප්‍රධානියකු වූ මා පාසල් ශිෂ්‍යාවන් සම්බන්ධව දැක්වූ ලිහිල් ප්‍රතිපත්තිය වැඩිහිටි හා ජේෂ්ඨ ගුරුභවතුන්ගේ දැඩි අප්‍රසාදයට ලක්වීම අභිමුවේ මා වටා ගොඩනැගුනු ශිෂ්‍ය බලවේගය මා සිත සැදුවද හිත සතුටින් රැකියාවේ නොයිදිය හැකිනම් නොපෙනෙන තෙක් දුර ඈතක සැඟවීමේ බියගුලු නමුත් මා සෑම විටම අනුගමනය කළ ක්‍රියාපිළිවෙත මෙහිදී ද ක්‍රියාත්මක විය.


නමුත් මා ගත් බියගලු තීරණයේ වරදක තරම මේ යැයි හඟවමින් , කිසිදාක නිවැරදිකර ගත නොහැකි හෘද සාක්ෂියක් ද ඉතිරිකරමින් තටු කපා දැමූ පුංචි සමණළිය ආණ්ඩුවේ ඉස්පිරිතාලයක යකඩ ඇඳක වැතීරි අපහසුවෙන් විවර කර ගත් ඉදිමුණු දෑස් ඇතිව මා දෙස බලා සිටී.


ඇගේ පිරුණූ රෝස තොල් , ලේ බිඳක් නොමැතිව සුදුමැලිව ගොසිනි. ඇගේ ගත දරුවන් බිහිකල බැල්ලකගේ මෙන් වැහැරිලාය.පණ බිඳකුදු නොමැති ගත උසුලා සිටීමටවත් වැතිර සිටීමටවත් නොහැකිව වේදනාවෙන් ගැස්සෙයි.හිස හෝ අත පය සෙලවීමටවත් ශක්තියක් නොමැති ඇය හුස්ම ගන්නේ ද ඉතා වෑයෙමෙනි.


සිරින්ජර කටු වක් වත් ගැසීමට ඇගේ අතේ තැනක් තවත් ඉතිරි වී නැති බැව් ඇගේ ඉවරවූ සේලයින් බෝතලය මාරු කිරීමට පැමිණි හෙදිය කීවා මට මතකය.


ඇය ඉගෙනීමට දක්ෂ එකියක නොවිය , නමුත් ඇය තුල සැගවී තිබුනු හැකියාවන් කිහිපයක්ම විය.ඇය ලීවීමෙහි දක්ෂ එකියක බවත් රචනයේ දී සැමදා වැඩි ලකුණු ගන්නියක බවත් නමුත් ඇගේ අභ්‍යාස පොත් බොහෝමයක අවසන් පිටු බොළඳ කවි වලින් පිරී ඇති බවත් , ඇය මල් පත්තර කියවන්නියක වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඇගේ සිංහල ගුරුවරිය කීවා මට මතකය.


ඇය නෙට් පාසල් නෙට් බොල් කණ්ඩායමේ “ සෙන්ටර් “ ලෙස ක්‍රීඩා කළ බවත් , ඇගේ විනය සහ හැසීරීම පිළිබඳව වූ පරස්පරයන් නිසා ඇය එයින් ඉවත් කළ බවත් , නමුත් ඇය කණ්ඩායමට අත්‍යාවශ්‍ය ක්‍රීඩිකාවක් නිසා ඇය සම්බන්ධව කටයුතු සොයා බලා ඇය නැවත කණ්ඩායමට ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට ත් ඇය සුමගට ගන්නා ලෙස ඉල්ලමින් ක්‍රීඩා ගුරුතුමිය විසින් මේ සුරංගනාවිය මා වෙත යොමු කළ බවත් මට මතකය.


“ ලේ ගොඩාක් ගිහින් . . . ජීවිතේ ගැන කියන්න බැහැ “


ඇගේ වෛද්‍යවරයා පැවසුවා මට මතකය.


“ ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් කාමර ගානේ ළඟිනවට ඕව හොඳ පාඩම් “ 


ඇගේ ඇඳ ගාව සිට පැමිණිනෙ මා දුටු දත් ඉදිරී ගිය කෙස්ස අකාලයේ හැලී ගිය ගැහැණියක පැවසුවා මට මතකය.


“ ඒක හරියට . . . . . . . සමණළයො බඩේ පියාඹනවා වගේ ටීචර් “


ආදරය ඇයට දැනෙන්නේ කෙසේ දැයි , පුංචි විනය කාමරයේ දී මා ඇසූ පැනයට ඇය දුන් පිළීතුර මට මතකය.


“ ඇයි ටීචර් ඔයා මාව දාලා යන්න ගියේ . . . ? “

සුදුමැලිව හේබා ගිය සිය කෙසඟ අතකින් මා අත අල්ලන් , මා දෑසට එඹෙමින් ඇය ඇසුවා . . . . . . . . . මට මතකය.


ඇගේ මිනිය වළලු තැන හෝ ඇගේ සෑය ගිනිබත් කළ තැන මට අමතක වූයේ . . . . . . ඇගේ මිනීමරුවාට ඇගේ මිනිය දෙස බලන්නට ශක්තියක් නොවූ නිසා ය.


ඇගේ බඩතුල පියැඹු සමණළයා .... ඇගේ බඩතුල අකාලයේ හෙලූ බිත්තර . . . . ඇයට මරණය ළඟා කර තිබුන ද ....ඇය වෙත ආ මායාකාර සමණළුන් පන්නා දැමීමට පියවර නොගත් වරදට කෙදිනකවත් මට මා විසින් සමාව නොදෙනු ඇත.



සමණළුන්  මැවිය යුත්තේ දුහුළු අත්තටු සමඟින් නොවන බව විශ්වාස කරන 
මම
෴ සොඳුරු සිත ෴

10 ප්‍රතිචාර:

වර්ෂා ( Rain_Girl ) said...

කලිනුත් කියෙව්වා වගෙ මතකයි වත් අක්කේ!

Anonymous said...

ආයෙමත් මේ කතාව දැම්මේ?????
ආයෙත් මේ විදිහෙම සිද්දියක් උනාද ?

නාඩියා නාඩිරත්න said...

හැමෝම බොලඳ වෙන තැන

Vikum Perera said...

ආදරයට සීමාවක් නැ...
ඒ වගේම ඒ සිමාවෙන් එහාට පියබලා ගියොත් අයිත් අහපවූ එන්නත් බැ........

Dinesh said...

මේක කියෙවුවා වගේ මතකයි වත්සලා අක්කේ..

Anonymous said...

"සමණළයො බඩේ පියාඹනවා වගේ"
මේ කතාව මම මුලින්ම ඇහුවෙ මගේ බිරිඳගෙන්... ගැබ් අරගෙන සති 14- 15 ක් විතර ගතවෙද්දී... දරුවාගේ පලමු චලනය ඇයට දැනුනේ එහෙමයි..... අහෝ එකම හැඟීම ලත් ආදරයන් දෙකක සහ අවසානයන්ගේ වෙනස....

මධුරංග said...

මේක එක පාරක් දාපු එකක් ද ? වැරදීමක් ද

Bindi said...

සොඳුරු මේ කතාව ආයේ දැමීමක් නම් [ මන් කලින් කියව නැහැ ] එහෙම කලේ මොකද කියල මන් නම් දන්නවා ..ෆේස් බුක් ප්‍රශ්ණයෙන් මිය ගිය දැරිය මේ කතාව ආයේ මතක් කරන්නට ඇති නේද

උපේක්ෂා said...

මට අපේ දරුවන් ගැන මහා භයානක අනාගත දර්ශනයක් මැවෙනවා...

ගුරුවරුන් අතින් හිංසනයට, වධබන්ධනයට වගේම ඇගයීමටත් මම ලක් වෙලා තියෙන හින්දා මට මේකේ බරපතලකම හොඳටම වැටහෙනවා... තමන්ගේ තරුණ කාලේ අමතක කරපු දුෂ්ට ( සමාවෙන්න... මට ඒ වචනෙට වඩා සැර අඩු වචනයක් හොයා ගන්න අමාරුයි ගලපන්න නම්...) ගුරුවරු මට මුණගැහිලා තියෙනවා... ගුරුවරුන්ට ඔක්කොටම කලින් මනෝවිද්‍යාව කියල දෙන්න ඕනේ.. අඩුම තරමේ අනිවාර්ය ට්‍රේනින් එකක් දෙන්න ඕනේ...

අනිත් පැත්තෙන් බැලුවම.. ළමයි උනහම පොඩ්ඩක් දරාගැනීමේ ශක්තියකුත් තියෙන්න ඕනේ.. සමහර වෙලාවට ඉස්සර වගේ නෙවෙයි නේ දැන් ළමයි හැදෙන්නේ.. ( මම කියන්නේ ගුටි නැති, අම්මලා තාත්තල විසින් මල් පෙති වගේ හැදෙන ළමයි ගැන.. එහෙම නැතුව සෙල්ලම් බඩු , ඇදුම් එහෙම බෙදා හදාගෙන පරිහරණය කරන්න වෙන ළමයි නොවෙන්න පුළුවන්) එහෙම පරිසරයකින් එන ළමයින්ට දරා ගැනීමේ ශක්තිය නැති වෙන්න ඉඩකඩ බොහොම වැඩි. ( මට හිතෙන හැටි) .
දරුවෙක් වැරැද්දක් කළහම මව්පියන් හැසිරෙන්න ඕනේ විදිය මේ හැම දේටම වඩා වැදගත්.. ළමයාගේ මානසික තත්වය තේරුම් අරගෙන එකට සුදුසු පියවරක් ගන්න එක එයාලගේ යුතුකම.. ඒ වගේම වගකීම. මුළු ලෝකෙම ඇගිල්ල දික් කලත් දෙමව්පියන්ට පුළුවන් ඒ ළමයට ශක්තියක් වෙන්න, නිවැරදි වෙන්න.. ඒ වගේම නිවරද්දේ චෝදනා කරනවා නම් ශක්තිමත් වෙන්න...

Anonymous said...

Nice work see http://tiny.cc/i659ax

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...