..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, October 20, 2013

විචාරයක් නොවේ.....



විචාරයක් නොවේ.....



මේ දවස් වල කවුරුත් කතා කරන්නේ “තමන්ගෙ නොවන තමන්ගෙම දෙයක් “ ගැන.


ඒක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක් නෙමේ.Paradox එකකුත් නෙමෙයි.කොහොමත් අපි කවුරුත් අපේ දේවල් වලට වඩා අපේ නොවන දේවල් වලට කැමැති.


දැන් අපේ වෙලා තියෙන ගොඩාක් දේවලුත්  ,ඊට කලින් අපේ නෙමේ නේකියලා කාටත් මතක නැහැ..තමන්ගෙ ළඟට ආවම තමන්ගේ උනාම ඒ දේ අනුන්ගේ තැනක දී තිබිල දැක්ක ආකර්ශණය ,කුතුහලය නැති වෙලා යනවා.


අපි පුංචි කාලේ දීම අපේ වයසෙම වාගේ වෙනත් ළමයි ළඟ තිබ්බ සෙල්ලම් බඩු වලට ආසා කරා ඔයාලට මතක ද?ඒත් ඒකම හරි ඒ  ජාතියෙම වෙන එකක් හරි අපිට ලැබුනම ඒ ආසාව කොච්චර දවසක්ද තිබ්බේ.


කොහොම නමුත් ඔය චිත්‍රපටය නිසා ගොඩාක් පිරිමි හිත් සංවේදී වෙලා තිබ්බා. ගොඩාක් වෙලාවට චිත්‍රපටයක් බැලුවම අපිට දුක හිතෙන්නේ හෝ සතුටු හිතෙන්නේ ඒ චිත්‍රපටියෙ හිටි චරිතය ගැන වුනත් මේ මම කියන චිත්‍රපටිය බලල බහුතරයක් පිරිමි අය දුක් වුනේ තමන් ගැනමයි.


තමන් කාලයක් ආදරය කරල අතෑරපු දේවල් පිරිමින්ගේ මතකයට එන්න ගත්තා.පරණ ඊමේල් හොයන්නත් ,පරණ නම්බර්ස් ඩයල් කරල බලන්නත් සමහරු උත්සුක වුනේ චිත්‍රපටය නරඹලා ආපසු එන අතර මඟ දිමයි.

The Reader චිත්‍රපටය නැරඹුව නම් ඔයාලට මතක ඇති , අසාර්ථක විවාහයකිනුත් වෙන්වුනු Michael පසු කාලීනව අමතක කළ නොහැකි අතීතය ගැන පසු තැවෙන හැටි.


ඒත් චිත්‍රපටය නරඹපු ගැහැණූ ?


ආදර සම්බන්ධකමක් බිඳිල ගියහම ඒ ආදරය මත්තේම තනිකඩව ඉන්න බහුතරයක් පිරිමින්ට බෑ.ඒ මතකය හිතේ යට කොහේ හරි වළ දාලා අලුතින් ජීවිතයක් පටන් ගන්නත් ඒ ගැන අලුතින්ම හිතන්නත් පිරිමින්ට පුලුවන්.


කොහොමත් පිරිමින්ට එකිනෙක පටලවා නොගෙන කවලම් නොකර ගෙන එක වරකට එක දෙයක් විතරක් හිතන්න පුලුවන් වීම භාග්‍යයක්. ගැහැණුන්ගේ ලෝකේ හැමදේම එකිනෙකට සම්බන්ධයි.


හුස්මක් හුස්මක් ගානේ මතකයට එන කෙනෙක් එක්ක තමන්ගේ ජීවිතේම කැපකරල තනිකඩව ඉන්නත් හිතට ලොකු ධෛර්යයක් ඕනි වෙනවා.

මේ ලියපු දේවල් කිසි දෙයක් එකිනෙකට කෙළින්ම සම්බන්ධ නැහැ.ඒ උනාට අසම්බන්ධත් නැහැ.


ඉර පායාලා තිබුනා
නෙක මල් පිපිලා තිබුනා
වෙනදා වාගෙම දවසක්
ඇවිදිල්ලා තිබුනා

තවමත් කිසිවකු නොදකින
දුටුවත් නෙත මත නොරැදෙන
කෙනෙක් උයන් කොණ බංකුවෙ
තනිවී ලා සිටියා

දරුවන් බිරිඳත් සමඟින්
සතුටින් මේ ලොව වෙසෙනා
කෙනෙකුන් ගැන සිතමින් ඇය
තනි වී ලා සිටියා

ඔහුටම සුබ පතනා ඇය
ඔහු ට ම සිත පුදනා ඇය
අතීතයත් සමඟින් විත්
වාඩි වෙලා සිටියා


තනිකඩකම තුරුළු කරන් 
නොපැමිණි කෙනෙකුන් එනතුරු
ඔහුටම සුබ පතමින් අය
මඟ බලමින් උන්නා


හුස්මක් හුස්මක් ගානේ මතක් වෙන කෙනෙක්ව අමතක කරන්න හදන 
මම
෴ සොඳුරු ෴

Monday, October 14, 2013

- සිය දිවි දෙවෙනි කොට -

- සිය දිවි දෙවෙනි කොට -




ඇය තවත් වතාවක් ෆාමසියේ රාක්ක පුරා පිළිවෙළට අසුරා ඇති නොයෙකුත් මාදිලියේ ඖෂධ දෙස පෙළින් පෙළට ඇස ගෙන ගියා ය.

ෂික්.....පුදුම වෙලාවක නෙ ආවේ. මෙච්චර ලෙඩ්ඩු කොහෙන් ද මන්දා. ඒකත් මගෙ වෙලාව.


ෆාමසියේ හුරුබුහුටි කෙල්ලන් ළඟට තරඟයට මෙන් ළං වෙමින් බෙහෙත් තුන්ඩු දිගු කරනා අයවලුන් පුංචි ගොසරි බෑගයේ බහා දෙන ඖෂධ රැගෙන යන්නේ පුළුටු කරගත් මුහුණිනි.


ඇතැමෙකු ඔවුනට උපදෙස් ද දීමට බැලි නොවෙයි.


“ ගිය සැරේ දුන්නේ රෝස පාට පුංචි පෙත්තක් නෙ මිසී....“


ග්‍රොසරි බෑගය ලිහා එතුල වූ කුඩා බෙහෙත් පෙති සමූහයක් අල්ලට හලා ගනිමින් එකකු පවසයි.

“ හරි හරි  . . . .ඒක ඉවර වෙලා. ඔය වෙන කම්ෆැනියක, බය වෙන්නෙපා ඒ බෙහෙත්ම තමා “


සුදු පාට ප්ලාස්ටික් බෝතලය හැර එහිම පියනට කුඩා කහ පැහැති බෙහෙත් පෙති ගණිමින් සිටි සිහින් සුදු යුවතිය ගැනිල්ල මඳකට හෝ නොනවත්වාම පිළිතුරු දුන්නී ය.

දෙගිඩියාවෙන් මද වෙලාවක් ඇය දෙස බලාසිටි පාරිභෝගිකයා කුමක්දෝ මුමුණමින් ම යන්නට ගියේ ය.

ඔහු පසුපසින්ම වාගේ ඇය ද යන්නට හැරෙත්ම,

“ මිස් මොනා ද ඕනි. . . .“

“ නෑ . . . . හ් . . .  මං මේ මේ . . . .“

“ ආහ් ඔහොම ඉන්න මිස්  . . . . “

කඩිනමින් සනීපාරක්ශක තුවා ගබඩා කර ඇති තැනට ගිය සේවිකාව රෝස පැහැති පැකට්ටුවක් කඩදාසි මල්ලකට බහා ඇය වෙත පෑවා ය.

කිසිවක් සිතා ගැනුමටවත් වේලාවක් නොතිබුනු ඇය , විගසින් එය මල්ලට ඔබා ගත්තී අතැති රුපියල් සියය සේවිකාව වෙත දිගු කලා ය.

“ මිස් මිස් ඉතිරු සල්ලි අරන් යන්න “ යැයි සේවිකාව කෑගසද්දීම ෆාමසියෙන් පිටව ගිය ඇය හති ඇරියේ වංගු දෙකක්ම පසු කළ පසුය.

“ ඒකත් පණ යන වැඩක්  . . . “ ඇය තමන්ටම මුමුණා ගත්තී ය.

-----------------------------------------

“උඹට මොන ටද නිදි පෙති ?“

“ නෑ . . . හ් . . මට නෙමෙයි බන් . . ගෙදර ළඟ ආන්ටි කෙනෙක්ට ගේන්න කීවේ. වැඩ ඇරිල එන කොට අරන් එන්න කීවා.ඒකයි ගන්න තැනක් ඇහුවේ “

“ එයා තුන්ඩුවක් දුන්න ද ? “

“ මොන තුන්ඩු ද? “

“ ඩොක්ටර් කෙනෙක්ගේ තුණ්ඩුවක් නැතිව මම දන්න තරමින් නිදි පෙති දෙන්නෑ. “

“ ඒ මොක ද ? “

“ ඇයි මෝඩියේ.නිදි පෙති බීලා මිනිස්සු මැරෙනව නේ “

“ කෝකටත් මං අහල බලනවා “

“ බලහන් දේයි මේං කියලා “
              -----------------------------------------

පාරේ එහා කොණට දෑස් යැවූ ඇයගේ සිතට අලුත්ම අදහසක් පහළ විය.

ඇය තම ගමන වේගවත් කරන්නට විය.

පෙනෙන මානයේ  කිසිවකුත් නැද්දයි බැලීමට ඇය ආපසු හැරී බැලුවා ය.

තම කසට දසන් පෙන්වා බයාදු ලෙස හිස ඇල කර සිනාසුනු ඔහු දුටු විට නැවතත් ඇගේ සිත උපන්නේ තරහකි.

ඇය ඕනෑකමින්ම තම ගමන බාල කළා ය.

“ නෝනෙ අද වේලාසනින් මො ක ද?“

සීයා ඇය සමඟ කතාවට එල්ලෙන්නට අරාදියි.

“ මොකක් ද මේ කරුමේ.මැරෙන්නවත් නිදහසක් නැති හැටි “

“සීයා යන්න සීයේ .මම යාළුවෙක් එනකම් මෙතන නවතිනවා.“

ඇය පාලමේ ගරාදි වැටකට බර වෙමින් කීවාය.

“ හෆෝ ළමයෝ . . .ඔතැන ඉන්නෙපා.ඕව දැන් දිරලා ගඟට කඩා පාත් වෙයි. . .එගොඩහට ගිහින්ම නතර වෙන්න “

මදක් ගස්සා ඉවත බලා ගත් ඇය සීයා නොපෙනී යන තුරුම හිස හරවා බැලුවේ නැත.

නමුත් . . . 

බල්ලෙක් වත් නොසිටිය ඒ මාවත එකවරම ජනාකීර්ණ වන්නට විය. ඟං දිය ගලා ගියේ ඇයට ඔච්චම් කරමිනි.

“ පනින්න ද බලා ගෙන ඉන්නේ “

එකවරම පසුපසින් ඇසුනු සුපුරුදු හඩකින් ඇය දීර්ඝ වේලාවකට පසු හිස හරවා බැලුවාය.

“ ඔවු ඇයි. පැන්නොත් බේර ගන්නව ද?“

“ අෆෝ නංගි මම පීනන්න දන්නෑ. අනික මේ ගඟේ කිඹුල්ලු පිරිලා. ගිලිල මැරෙන්න කලින් කිඹුල්ලු කාවි “

එසේ කියමින් ඔහු ඇය ළඟම නතර විය.

--------------------------------

“ රේල් පාරක් නෑ , වස කුප්පියක් ලේසියට ගන්න නෑ , ග්‍රාමොක්සෝන් ගන්න ගියත් දාහක් ප්‍රශ්ණ , නිදිපෙති ගන්න රිසිට් ඕනි. ඟඟේ පනින්න නිදහසක් නෑ. . . කාමරේ බාල්කයක් නෑ.
එල්ලෙන්න වැලේ වැල් නැහැ. අද නම් මැරෙන්න හොඳ දවසක් නෙමෙයි.“

යමින් ගමන් ඇය පොත් කඩයට ගොඩ වී පොත් කිහිපයක් ගත්තේ සුවපත් වෙමින් තිබිනු රිදුනු සිත තවත් සුවපත් කර ගැනීමට මෙනි.

ගිය ගමනේදීනොදුටු දහසක් මල් ආපසු එන ගමනේ දී ඇය සඳහාම මෙන් පිපී තිබුනි.


“ ඔවු ඇත්තටම  . . . . අද මැරෙන්න හොඳ දවසක් නෙමෙයි “



Tuesday, October 1, 2013

ලෝක ළමා දිනය සහ ආරංචි තුනක්


ලෝක ළමා දිනය සහ ආරංචි තුනක්

------------------------------------- 



පුරුදු විදිහට ලෙංගතු දුරකථන ඇමතුම ආවා.



“ මොනා ද නිවුස්. අද ස්කෝලෙ හොඳ ද? “ ඔහු ඇහුවා.



“ ඔවු“ ඒ මම.



“ මොකද නිකම් අද . . . . .කෙටි උත්තර ? “



“ හ්ම් . . .කියන්න නම් දේ ගොඩායි....“



“ ඉතින් . . කියන්න.ඔය හිතේ බර බිම තියන්න“



“එහෙනම් අහ ගන්න ...............................



“ ලබන මාසේ ගුරු පඩියෙන් කපා ගන්න අද අපේ මුළු ස්කෝලෙම ළමයින්ට අයිස් ක්‍රීම් දුන්නා.“



“ එතකොට අර පෑන් ටික. අපරාදේ වියදම් දෙකයි ඔයාට “



“‘ පෑන් ටිකත් මම බෙදල දුන්නා. උන් මම පන්තියෙන් යනකම් අයිස් ක්‍රීම් එක නොකා පෑන් දිහා බලා හිටියා.“



“ ඉතින් එහෙනම් ඇයි මේ දුකින් “



“අපෙ ස්කෝලෙට කිලෝමීටර් පහක් විතර මෙහා කණිෂ්ඨ පාසලක නමයෙ පන්තියෙ ගෑණු දරුවෙක් බඩ වෙලා.බඩේ ඉන්න දරුවගෙ තාත්තාට තවත් දරුවො ඉන්නවා.“



අයිස් ක්‍රීම් කාලා , පෑන විසිකරල දාලා ,ළමයි ඉන්න බැඳපු කොල්ලෙක්ගෙ තුරුල්ලට යන පුංචි කෙල්ලෙක් , කවදාවත් පාවිච්චි නොකරපු වේවැල අරන් පෝලිමට හිටවපු ගුරු මණ්ඩලේට තලනව එකාමාරට ඉස්කෝලෙ ඇරිල බස් එකේ එන ටිකට සිට් එකේ ම නින්ද ගියපු මම හීනෙන් දැක්කා “




“ දවල් හීන . . . . .“ ඔහු දුරකථනය විසන්දි කරා.



“ ලෝක ගුරු දිනයත් මේ සතියෙම අන්තිම“ සුසුමක් හෙලපු මම ඇස් දෙක පියාන අසුනට බර දුන්නා.


Blogroll

Related Posts Plugin for WordPress, Blogger...