..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, September 26, 2013

෴ කාලෙකට පස්සේ - පරණ පාරේ ෴

෴ කාලෙකට පස්සේ - පරණ පාරේ ෴


කාලෙකට පස්සේ 
පිය නඟපු පාරේ

කරස් කරස් සද්දෙට
පෑගෙන කොළ යට

පාරට නැමුණු
විසල් රුක් ගොමු යට

ඉපල් වෙලා ගිය
පරණ ගස් වැල් යට

එපා වෙලා හැලිල ගිය
මොරණ පිහාට්ටක් යට

ගලා ගෙන දිය
දොලේ පොඩි ගල් යට

තාමත් මම දැක්කා
ආදරේ ටික ටික


කණාටු ගහක
අතු අග්ගිස්සක


අතෑරපු කූඩුවක
කුරුළු බිත්තරේක


කොළ අතර මතු වෙච්ච
පුංචි පැළයක් ළඟ


බලාපොරොත්තුවක් වැටිල තිබිලා
අහුලන් ආවා


පරණ පාරක් දිගේ , තනියම ඇවිදපු
මම
෴ සොඳුරු ෴

Sunday, September 22, 2013

- පොත් ප්‍රදර්ශනය-


- පොත් ප්‍රදර්ශනය -


පුංචි ළමයි චිත්‍ර අදින අඩවිය , පොත් ප්‍රදර්ශණය බලන්න යන මගේ සිත කවදත් ඇද ගත්ත තැනක්...... මේ ඉන්නේ එතැනට ආපු පොඩිත්තෙක් අනිත් කෙනා ගැන විස්තර පසුවට


මෙම වසරේ පැවැත්වුනු පොත් ප්‍රදර්ශණය ගැන සහෘද බ්ලොග්කරුවන් කිහිප දෙනෙක්ම ලියලා තිබ්බ නිසා ඒ ගැන ලියන්න මගේ අදහසක් නැහැ.ඒ වගේම වත් පොත දිහා ගියොත් අපේ යාළුවන් කොයි තරම් නම් පත-පොත ට ලැදි ,පත පොත කියවන අය ද කියලා දැන ගන්න සාක්ෂි දැක ගත හැකි වේවි. ඒ උනාට මට හිතා ගන්න බැරි පොත් කියවන්න එයාල වෙලාව කොහෙන් හොයා ගන්නව ද කියලයි. 



ඔන්න තකහනියක්ම මම නම් කොළඹ ගිහින් පොත් ප්‍රදරශණයටත් රිංගුවා.මටයි කියල ගත්තේ පොත් දෙකයි. අනිත් ඔක්කම පොත් අධ්‍යාපනික පොත් . හරියට ලෝක සිතියම්, ශබ්ද කෝෂ , පාරිභාශික වචන , පසුගිය ප්‍රශ්ණෝත්තර මේවාත් මම ප්‍රදර්ශණය බලන්න එන බව ආරංචි වෙලා මට ගේන්න කියපු පොත්.



දඹානේ ගිහින් බිම වැටිල කැඩුණු කැමරාව හදා ගැනීම තමා කොළඹ ගමනෙ මූලික අරමුණ වුනේ.මම ගතපු පොත් දෙක තමයි “ කාල සර්ප “ ( මේ පොතේ කතෘතුමා කීර්ති වැලිසරගේ මහත්මයාගේ අත්සනකුත් එක්කම පොත හම්බුනා) අනිත් පොත තමයි ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් ගේ “මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක “


පොත් ගන්නවට වඩා කැමරා කාචයක සටහන් කර ගන්න දේවල් බොහෝමයක් දැක්කත්. ඒ තරම් සෙනඟ ගොඩක් මැද කැමරාව මානන්න තිබ්බ චකිතය මාව පසුබැස්සුව . ඒත් මාත් සමඟ ගියපු සුන්දර යාළුවා නිසා චකිතය මඳකට අමතක කරල යන්තම් පින්තූර තුන හතරක් ගත්තා. මේ පහළ තියෙන්නෙ අන්නේවා.



මේ ඉන්නේ දරුවන් චිත්‍ර අඳින තැනට පිළිගන්න “ අපූරු විකටයා “ 


මේ ඉන්නේ චිත්‍ර අඳින තැනම තිබ්බ “ටැටූ“ “ බොඩි පේන්ටින් “ කරන තැන.ඒ කියන්නේ පුංචි අයගේ අතේ , මූණේ ලස්සන පුංචි සිත්තමක් ඇඳ ගන්න මෙතනින් පුළුවන්. සමහර දරුවො සමණල්ලු, මල්, ගිනි මකරු ඇද ගනිද්දි ,මම දැක්ක එක පොඩිත්තෙක් නම් මිනී ඔළුවක් ඇඳ ගන්නවා.




හැකියාව කියන දේට මම කවදත් හිස නමනවා.මට චිත්‍ර අඳින්න බැරි නිසා මේ වගේ අපූරු චිත්‍ර අඳින්නෙක් මාව පුදුමයට පත් කරනවා. 






මැයත් දවසක චිත්‍ර ශිල්පිනියක් වේවි....එහෙමත් නැති නම් දොස්තර නෝන කෙනෙක් වෙන්න තමන්ගෙ සිහින බිලි දේවි.



දරුවන්ගෙ ලෝකෙට හැමවෙලේම දෙමාපියන් එඹෙන්නත් නරකයි.පසු පසින් ඉදල සොයා බැලුවම හොඳටෝම ඇති නේද .



හරියට මේ වගේ “ ඇගේ අහස ඇයට ඕනි විදිහට “







මාත් සමඟින් තනි නොතනියට ප්‍රදර්ශණය පුරා සැරිසැරූ සුන්දර මිතුරා.ඔබට බොහොම ස්තූතියි.





ලබන වසරේ මුණ ගැසෙන තුරු ඔබට “ආයුබෝවන් “






ප:ලි:- ඔත්තුවක් නිසා කියවන්න සෙවූ “ කුරුලු හදවත “ පොත සොයා ගන්න බැරි වුනා.......... 



මේ හැම පින්තූරයකම වාගේ ,කැමරාවට පිටු පසින් හිටපු 
මම
෴ සොඳුරු සිත ෴

Friday, September 13, 2013

෴ සක්කර වට්ටම ෴

෴ සක්කර වට්ටම ෴


දාන සැර තරමට ම නැතත් බසය පණ අදිමින් ඉදිරියට යන බව ඔහුට දැනු‍නේ ඔහු නි‍සොල්ම‍නේ වාඩි වී සිටිය දීම ඔහු පසු කරමින් ‍ගොඩනැගිලි මිනිසුන් , ගස් වැල් ගමන් කරන්නට වූ බැවිනි. ඔහු‍ගේ දෑස් අරමුණකින් ‍තොරවම  පසු වී යන ‍ගොඩනැගිලි සහ මිනිසුන් ‍වෙත ‍යොමු ‍වෙයි.

“ ‍මේ  . . . . . . අනේ ‍මේ බලන්න ‍කෝ “


කට හඬද සමඟින් ඔහු‍ගේ වම් කලවයට දැනු‍නේ අපූරු උණුහුමකි. ඔහු‍ගේ දෑස් ඒ උණුසුම කුමක් දැයි ‍සොයන්නට විය.

සිහින් දිගැටි සුදු අතගැලි ඔහු‍ගේ කලවය මත  එහා ‍මෙහා යන්‍ ‍නේ ‍තාලයට ‍මෙනි. අතැගිලි ප‍හේ දිගු නිය‍පොතු ‍වර්ණ පහකින් ඔප දමා ‍මෝස්තර පහකින් හැඩ දමා ඇත.



ඇය ඔහු‍ගේ ඇඟට ‍තෙර‍පෙන බව ඔහුට දැ‍නෙත්ම නිය‍පොත්‍තෙන් ගිලිහුනු දෑස් ඇය ‍වෙත ‍යොමු විය.


“ මේ . . . . . .“


ඇය නැවතත් මුල පුරන්නට විය.

“ ඇයි ? “

ඔහුගේ වදන් තරමක්  උස් ය , ගොරහැඩි ය.

“ මොනා ද අනේ, රබර් කෑලි දෙකයි කිලුටු ෂර්ට් එකයි. මම කැමැති නැහැ ඔහොම යන්න ඔයත් එක්ක “

“ ඉතින් . . .  මම ද ඔයා එක්ක ආවේ. ඔයානේ මම යන බස් එකට නැග්ගේ “
“ ආහ් , . . . .ඒකත් එහෙ ම ද ?

“ ඔවු “


ඇගෙන් දෑස් මුදා ගත් ඔහු නැවතත් ඒ දෑස් වලට ජනේලයෙන් පිටත ඔහේ සරන්නට ඉඩ දී සිටියේ තමා ළඟින් ම වාඩි වී යන සුන්දර තරුණිය තුට්ටුවකට හෝ ගණන් නොගනිමිනි.

“ අනේ  , මම ඔයා එන දවස් වෙලාවල් බලල බොහොම අමාරුවෙන් ඔයාව මුණ ගැහෙන්න අල්ල ගත්තේ. මේ මම ඔයා කීව නිසා අත් දිග බ්ලවුස් එහෙකුත් ඇදන් ආවා “
“ මං කීව නිසා මොකට ද අඳින්නේ .මං නිසා ඔයා කැමැති දේවල් ,කියන කරන දේවල් නතර කරන්නෙපා.“


තවමත් වෙනස් නොවුනු ඇගේ යටිකය වැසූ ලේන්සුවක් තරමේ කෙටි සාය දෙස බැලූ ඔහුගේ මුවට සිනහවක් ද එකතු විය. එසැණින්ම ඔහුගේ ඇස් යොමු වූයේ බසයේ සිටගෙන සිටින තරුණයකු වෙතයි. තරුණයා වශී වී මෙන් දණහිසෙන් ද ඉහලට විවෘතව වී ඇති ඇගේ සුදු කලවා දෙස අනිමිස ලෝචනයක යොමූ වී සිටියි.


 මේ බසයේ ම මේ ආසනයේ ම ඔහුත් සමඟින් වසර ගණනක් එක්ව ගිය ඇය දැන් ඔහු හා එක්ව එකම ආසනයේ යන ඇයට වඩා කොතරම් නම් වෙනස් දැයි ඔහුට සිතුනි.


එසේනම් ඇය යන්නේ දැන් ඔහු වාඩි වී සිටන ජනේලය පැත්තෙන් වාඩි වීය. එය ඔහු ඇයට සපයන ආදරයේ සහ රැකවරණයේ තවත් සංකේතයකි. විවෘත ජනේලයෙන් විටින් විට ඔහු ගේ මුහුණට එන්නේ එක මිටට ඔතා ගොතා දැමූ දණහිස තෙක් දිගු ඇගේ වරලසෙන් ගිලිහුනු කෙස් කැරුල්ලකි. 


මඟීන් තෙරපෙන බසයේ සුපපහසු ජනේලය අසල අසුනේ දැන් ඔහු වාඩි වී සිටන අතර හිටගෙන යන මඟීන් කර උඩ ගියත් මුදු මුදු වන් කොණ්ඩය ටින්ට් කරපු ඇයට නම් ඔහුගෙන් රැකවරණයක් නැති ගානය. 

නමුත් 

මැය ඔහුට පැලෙන්නට ආදරේය.. 

ඇය  මොහු හැර  ගොස් ය.



ඇය පෙම්වතියක් සිටි කාලයේ , ඇය කීවේ ඔහු නොලැබුනොත් ඇය මිය යන බවයි.

ඔහු හැර යන්නට ආසන්නයේ දී ඇය කීවේ , වෙන් වූවත් ඔහුගේ මතකය සමඟින් ජීවත් වන බවයි.

ඇය වෙනකෙකු හා සරණ යද්දි ඇය කීවේ ගතින් ලඟ නැතත් ඔහු හා සිතින් ජීවත් වන බවයි.

ඇය ගර්භනියකව සිටිය දී ඇය කීවේ උපදිනා දරුවාට ඔහුගේ නම යොදන බවයි.


දැන් ඇය යන මඟ තොටක දී ඔහුව හමු වූවද නන්නාඳුනන්නියක ලෙස ගමන් කරන්නීය. ඔහු ඇස ගැටෙන විට ඇගේ සැමියා ළඟ පාතක සිටී නම් සැමියා හා උවමනාවෙන්ම සුරතල් වන්නීය.


නමුත් ඇයගේ කොණ්ඩය තාමත් දිගුය. 
අඳින ඇඳුමද තවමත් දණහිස තෙක්ම දිගුය. 
නියපොතු ගානට කපන්නීය. ඔප නොදමන්නීය. 
දරුවන් නලවන්නීය.සැමියා සනසවන්නීය. 
නමුත් වසර හතක් ආදරය කළ පෙම්වතා නාඳුනන්නීය.


ඇය හා ගිය මඟ ඇය හා ගිය අසුනේම ඔහු ඔහුට පැලෙන්නට පෙම් කරනා සුන්දර තරුණියක මඟාරිමින් ගමන් කරන්නේ , ඇගේ කොණ්ඩය දිගු නැති නිසා  ද , කොට ඇඳුම් අඳින්නියක නිසා ද නියපොත් පාට කරන්නියක නිසා ද නැතිනම් අතීත ආලය සිය හදවතේ පැළ කල පැළය මහ ගසක්ව මියෑදුනත් හදවත පුරා මුල් බැස පතුලටම ගිලී හදවත බදා ගත් කමකට නැති පෙම නිසා දැයි මට නොතේරේ.

ඔහුගේ දෑස් තවමත් ජනේලයෙන් පිටත සරයි. සක්කර වට්ටමගේ දෑස්වල තෙතමනය ජනේලයෙන් පතිත වූ හිරු කිරණකින් දිලිසෙමින් ඇත.

ඇය හා ඔහු ගිය බසයේ 
මඟියා
මම
෴ සොඳුරු ෴


Blogroll

Related Posts Plugin for WordPress, Blogger...