..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, August 29, 2013

ගෙඹි බිත්තර...

මගෙ පොඩි කාලේ....

ගෙඹි බිත්තර...

---------------




වැහි කාලේ හමාර වුනා විතරයි.ඇත්තටම කියනව නම් ඊයේ රෑ වැස්සට පස්සේ අද දවසට තාම වැස්සෙ නැහැ. කාලෙකින් පස්සේ පොළවට දැනෙන්න ඉර පායල තිබුනා.අරහෙ මෙහෙ හැංගිලා ,ගුලිවෙලා ,පිම්ඹිලා හිටි කුරුල්ලෝ සමණල්ලු කලබලෙන් වගේ හැමතැනම පියෑඹුවා...... වැහි දවස් ටිකේම ඇහුනේ “ගෙබෙක් ගෙබෙක්.....ගෙබේබේබේක්...... සද්දෙ විතරමයි..... ඒක හරියට වැස්ස වහින තාලයට එකතු වුනු පසුබිම් නාදය වගේ එක දිගටම ......... 

ගෙබෙක් ගෙබෙක් බෙක් බෙක් බෙක්......................... 


කාලෙකට පස්සෙ මාත් එළියට බැස්සෙ දොරකඩ පාමුල තිබ්බ සෙරෙප්පු දෙක දැක්කෙ නැති ගාණට.මඩ ඇගිලි අස්සෙන් පනින ගානට තියෙද්දි ඇවිදින කොට ඇඟත් එක්කම හිරි වැටෙනවා.හොර පූසි වගේ සද්ද නොකරම එළියට බැස්සෙ, අම්ම දැන ගත්තොත් බැනුම් කෝටියක් නිසායි.

ස්කාෆ් , තොප්පි,සෙරෙප්පු,රේන් කෝට්.... ඕව ඔක්කම දාන් හඳට යන්න වගේ එළියට බහින්න මම ආසම නෑ.

එළියට බැහැපු ගමන් ඇදිල යන්නේ තහනම් කලාප වලට....ඒක තමයි පුංචි ළමයින්ගෙ ඉදලම දකින්න පුලුවන් මනුස්ස ස්වභාවය.

ගෙදර හදන්න ගතපු ගඩොල් කපන්න ,පස් ගතපු වල වතුරින් පිරිලා.ටින්..කෝප්ප, බෝණික්කගෙ ඔළුව, යෝගට් පියන්,තැඹිලි කෝම්ඹ පිරිලා.(අද කාලේ වගේ උනානම් ඩෙංගු ඇති කරා කියලා උසාවිත් යන්න වෙනවා) ඒ අස්සෙ අර මොනා ද? පේලියට දිගට වැල් වැල්..... සෙවල වගේ ... කළු පාට පුංචි බෝල බෝල ඒ වැල් වල එතිලා.ඇමිණිලා......


අත දිග මානෙක ඒ වැල් තිබුනෙ නැහැ.... දිය පිරුණු වලේ මැද හරියට වෙන්න වැල් වැල් ගොඩාක් විසිරිලා විහිදිලා තිබ්බා.අතපාන මානෙ නොවුනු නිසා... තරමක් දිග කෝට්ටක් අරන් ඇවිත් වැල් ටික ගොඩට කිට්ටු කර ගන්නයි මට ඕනි වුනේ.ඉර අවුවට ඒවා දිලිසුනා. 

සමහර විට වටිනව ඇති.



කෝටු කෑලි දෙක තුනක්ම ගෙනාවත් කළු-මුතු ඇට වැල් වලට දිග මදි වුනා.අන්තිමටම කොහොම හරි මම හොයා ගත්තේ ගස්ලබු කඩන කෙක්ක. ඒකෙ අග්ගිස්සට හයි කරල තිබ්බ පොඩි මල්ල නිසා වැඩේ ලේසි වෙයි කියල මට හිතුනා..........

හරියටම ගාණට නැතත් අනත් හැම කෝට්ටකටම වඩා කෙක්ක දිගින් වැඩි වුනා.ඒත් තිබ්බ එකම අපහසුව තමා කෙක්ක හේ කර ගන්න බැරි වීම.ඒ කියන්නේ දෑතින් බදල ඇල්ලුවත් ඉලක්කයට යද්දි කෙක්කෙ ගැස්සිල්ල වැඩි වෙනවා.

අන්තිම අවස්ථාව වෙද්දි කෙක්ක බොහෝ දුරට ආගන්තුක වැල් වලට ලඟා වෙලා තිබ්බා. මගෙ මුළු හිතමත් මුළු නෙතමත් මුළු කයමත් ඒකාත්මිකව ඒ වැඩය කෙරේ යොමු වෙලා තිබ්බා. දන්නෙම නැතිව කණ්ඩිය උඩට කකුල යන්න ඇත්තෙ ඒකයි. පස් කණ්ඩියත් කඩා ගෙනම මම වැටුනෙ අර ජරා වලේ.

මඩ පාට වතුර මගෙ ඇස් වලට පෙනුනා. අමි රහ වතුර උගුරෙන් පහලට ගියා. කෙක්ක විසිවෙලා යද්දි වතුර වලේ මැද හරියෙ තිබ්බ අර අමුතු වැල් ජාතිය කෙක්කෙ පැටලිලා මා ළඟටම ඇවිත් මගේ ඇඟේ ගෑවි ගෑවි තිබ්බා.කිසිම දෙයක් හිතා ගන්න බැරිව මඩ වලේ ඔහේ යටටම යටටම යනවත් එක්කම මහ හඬින් මම කෑගැහුව වගේ මට මතකයි.

------------------------------------

“ මේක එයාගේ මේස ලඟින් තියන්න“

‘ මොනවද ජරාව.ඔයාට පිස්සු ද?“
“නැහැ එයා මේවා දැන ගන්නෝනි “

හොඳ උණුසුම් පොරෝනයක් ඇතුලෙ මම ගුලිවෙලා ඉද්දි.අඳුරන කටහඬවල් දෙකක් ඇහෙද්දි.මම දැක්කා තාත්තා ජෑම් බෝතලයක් ගෙනත් මගේ ඇඳ ළඟ තිබ්බ පුංචි මේසෙ උඩින් තියනවා. ඒක දිහා හොඳින් බලද්දි තමයි මම දැක්කේ... ජරා වතුර වලේ තිබ්බ කළුපාට මුතු වැල් කිහිපයක් ඒ බෝතලේ තිබ්බ වතුර උඩ පාවෙනවා.

“ දෝණි හොඳට මේ බෝතලේ දිහා හැමදාම බලන්නෝනි හරිද ? එතකොට දෝණිට තේරේවි මේ මොනා ද කියලා “


මගේ හිස අතගාපු තාත්තා එහෙම කීවත් අම්ම නම් වෙනද පුරුදු විදිහටම එක දිගටම එකම දේ කිය කිය මට බැන්න වගේ මතකයි.


Thursday, August 22, 2013

෴ හොද්දා ෴



හොද්දා
-------------------



ස්ථානය- දකුණේ කැම්පස් එකක ගේට්ටුව ගාව .
මුහුණේ මහන්සිය රැදි විඩාබරිත මවක්.ඇය විටින් විට සාරි පොටෙන් පවන් සලයි. ගෙල ඔසවා ගේට්ටුවෙන් ඇතුලත එඹී යමක් සොයයි.

ඇය පාමුල තරමක කාඩ්බෝඩ් පෙට්ටියකි. එහි පුරවා ඇති බඩු මුට්ටු එළියට පනින්නට දඟලන දැගලිල්ල ආයාසයෙන් නවතා ඇත්තේ තදින් බැද ඇති ලණු කැරල්ලකිනි.

“ ඇයි අම්මා...කාවද සොයන්නේ “

“ උක්කුං පුතා ම්ම්.... මේ ....... අමිල පුතාව“

“ අමිල?............. අම්ම කොහ ද ?“

“පොළොන්නරුව“

තරුණයා මදක් කල්පනා කරයි.

“ මොන ෆැකල්ටියෙ ද පුතා ඉන්නෙ අම්මා “

“ ඒ කීවේ? “

“ ඉගෙන ගන්නෙ මොනාද?“

“ ආහ් මෙන්න මේ කොළේ ඔක්කම ලියල ඇති පුතේ “

කිලිටි ලේන්සුවකින් ගත්....සුරුංණ්ඩුවක් වැනි කොලයක් තරුණයා අත තබයි.

“ අමිල දේවනාරයන-විද්‍යා පීඨය පළමු වසර ‘“

තරුණයා මදක් කල්පනා කරයි...හදිසියේම වාගේ එතැනින් ගිය තවත් කරුණයෙකුට කතා කරයි.

“ මචං ෆිල්ටරේ මෙහෙ වරෙන් බං.උඹලයෙ බැච් එකේ ඉන්නව ද පොළොන්නරුවෙ අමිල,“

“ අමිල දේනාරායන “ අම්මා නම උච්චරණය කරයි.

“ අමිල....ම්ම්.... අර සුදු උස එකාද බන් “

තරුණයින් දෙදෙනාම මව දෙස විමසිලිමත් දෑස් හෙලයි.

“ නෑ පුතේ උක්කුං පුතා කළුයි “

“ කළු...ආහ් අර කොණ්ඩෙ පොකුටු ..“

“ඔවු ඔවු... කොල්ලගෙ කොණ්ඩෙ කරැලි තමා “

“ යකෝ මේ අපෙ හොද්ද ගෙ අම්ම නේ “ අනිත් තරුණයා සතුටින් පිලිතුරු දෙන්නේ මවගේ දකුණතේ බරට  ඇති පාර්සලය දෙස විමසිලිමත් දෑස් හෙලමිනි....


Monday, August 19, 2013

නවතිමි


නවතිමි
---------------------------------------


හරි වෙහෙසයි මට

තනියෙන් ඇවිඳින්

මේ දුර තව ඇති දිවි ගමනේ

තව දුර ඇති මුත් 

යන්නට නම් බැහැ

නැවතෙමි මෙතෙකින්

මා මිතුරේ..................

යන්නට හැකි නම්

මා සමඟින් නිති

අත්වැල් අල්ලා ගෙන සිතුසේ

මා මෙහි නවතිමි

නුඹ යළි එනතුරු

යන්නට බැහැ තනියෙන් මිතුරේ



නවතින

මම
෴වත්සලා෴

Friday, August 2, 2013

ලස්සන දවසක්

පළමු කොටසට 
දෙවන කොටස


ලස්සන දවසක්
තෙවන කොට ස







මා උකුලේ හිස හොවා ගෙන ඔහු ඉකිබිඳිමින් හඬයි.ඔහුගේ උණුසුමවැඩියෙනුත් කඳුළේ තෙතමනය ත් මට දැනෙයි. මා ඇදේ වාඩි වී සිටි අතර ඔහු බිම වාඩි වී මගේ උකුලේ මුහුණ සඟවන් හඬයි. . . . ඔහුගේ පලල් උරහිස් විටෙක ගැස්සෙයි. මගේ සිහින් ඇඟිලි තුඩු ඔහුගේ කැරලි කොණ්ඩය අතරේ හෙමින් හෙමින් එහාට මෙහාට යයි.

ඔහු දෙස බලා සිටීමට නොහැකි තැන,ඔහුට හඬන්නට ඉඩ හරිමින් ඔහුගෙන් මුදවා ගත් දෑස ඔහුත් මාත් තනිවූ කාමරය සිසාරා සරන්නට විය. මේ කාමරය ඔහුටත් මටත් පිටස්තර තැනක් නොවීය. ඔහුගේ සුසුම් වලට මුසුවූ මගේ සුසුම් කොතෙක් නම් මේ වා තලයට මුසුවන්නට ඇද්ද.

එක රැල්ලකදු නොමැතිව සීරුවට ඇති සුදු ඇඳ රෙද්ද කොතරම් වාරයක් පොඩි වන්නට ඇද්ද.ඔහුගේ මුදු කෙහෙරැළි අතරින් මුදවා ගත් මගේ දකුණත පිළිවලට දමා ඇති සුදු ඇඳ රෙද්ද මත එහා මෙහා ගියේ ඒ මත වැටී ඇති අප මතකයන් යමක් වේ දැයි සොයනා පරිද්දෙනි.

ඔහුගේ හැඩීම නැවතුනේ කොයි වෙලේදැයි නොදන්නා මුත් ඔහු මගේ උකුළින් හිස ඉවතට නොගනී. සමහර විටෙක ,පිරිමියෙක් වූ ඔහුට නොසිතූ මොහොතක මෙසේ හඬ වැටීම සිතට ලැජ්ජාවක් ගෙනෙන්නට ඇත.

ඔහු අසරණ වූ සෑම විටකම පාහේ එයින් ඔහු මුදවා ගැනීමට ඉදිරිපත් වීම මාගේ ක්‍රමයයි.

“ මොකද මේ ? ආහ් , හරි හරි කෝ බලමු මූණ ඩිංගක් “

මා උකුලෙන් ඔහු හිස මුදවා ගැනීම දෑතින්ම ඔහුගේ මුහුණ ඔසවන්නට තැත් දරමින් මම පැවසූවෙමි.

“ ඔයා පොඩි බබෙක් වගේ නෙ අනේ. කෝ කෝ . . . දැන් ඇති හුරතලේ “

බලෙන් ඔසවන ලද ඔහුගේ මුහුණේ දෑස් දෙස බැලීම මට ගෙන දුන්නේ දැඩි අපහසුවකි. නිතරම සිනාසෙන තීක්ෂණ පිරිමි දෑස , කඳුළින් තෙමී රතු වී අසරණකමින් මිරිකී ඇත.

“ මූන සෝදන් එන්න රත්තරනේ “

අවසානයේ දී අපහසුවෙන් නමුත් වචන ගලපා ගතිමි.

විනාඩියෙන් විනාඩිය ගෙවී පැය තුනකට අධික කාලයක් ගෙවී ගිය ද , එකම ඇඳේ දෙපසින් වාඩි වූ අප දෙදෙනා අතර කිසිදු වදනක් ඉන් පසු හුවමාරු නොවීය. නිහඬ බව දරා ගත නොහැකිවූ මා සෙමින් කට හඬ අවදි කළෙමි.
“ මේ අහන්න . ඔයාගෙයි මගෙයි සම්බන්ධය ඔයාට මේ තරම් සංකීර්ණ කරදරයක් නම් ,අපි ආපහු හමු නොවී ඉමු.මම මගෙ වේදනාව දරා ගන්නම්. කොහොමත් අපි කසාඳ බඳිනෙකක් නැහැ කියල මම දැනන් හිටියා.“

“ මට සමාවෙන්න “

“ සමාවෙන්න ඕනි නැහැ.ඔයා කිසිම දෙයක් තනිමතයට කළේ නැහැනේ.ඒත් මට දැන ගන්නෝනි බිඳක් වත් මට ආදරේ නැත්තෙ ඇයි කියලා “

“ නෑ . . . .ආදරේ නැතිව නෙමෙයි “

“එහෙනම් . . . “

“ ඒක ඔයා හොයනව වගේ ආදරයක් නෙමෙයි. “

“ අනේ මේ  . . . .“

ක්ෂනිකව හුන් තැනින් නැගිට ගත් මම ඔහුගේ ඉදිරියෙන් සිට ගත්තෙමි.

““ ඔයා ඔය කියන ආදරේ මං දන්නෑ. දැන් මම කීවනේ.මේක මෙතනින් ඉවරයි.ඔයාට ඕනි මගෙන් නිදහස් වෙන්න.දැන් ඒක හරි.ඒත් ඔයා මට සලකපු විදිහ අන්තිමයි.මමත් හදවතක් තියෙන මනුස්සයෙක්. මම ඔයාට ආදරෙයි . . . .  ඒත් ඔයා මාව . . .“

පවසන්නට යන දේ සම්පූර්ණ කර ගත නොහී පෑරි පෑරී තිබුනු සිත උතුරා දෑස් වලින් එළියට පනින්නට විය.

වහා නැගිට ගත් ඔහු ,මා ආසම කරන ඔහුගේ පලල් පපුවට මා තුරුලු කර ගන්නට හැදූව ද මිටි කර ගත් අතින් ඔහුට පහර දුන් මා ඔහුගෙන් ඈතට වූයෙමි.

“තමුසෙ මහ කපටියෙක්.තමුසෙට ඕනි වුනේ මොනවද කියල දැනුයි මට තේරෙන්නෙ. තමුසෙට මං රැවටුනා .“

මගේ එවදන් අසා කිසිම කලබලයකට පත් නොවු සේ ඔහු කාමරයේ පළල් ජනේලය වෙත ගොස් ජනේලය වසා පැතිර තිබූ ගොරහැඩි ජනෙල් තිරය දෙපසට කරන්නට විය.

කාමරයේ සිහින් අඳුර මැකී , කෙළින්ම පතිත වූ ආලෝකය කාමරය පුරා විසිරී යද්දී , මෙතෙක් ඔහු දොරගුලු ලා වසා අඳුරේ තබා ගෙන හුන් ඔහුගේ ජීවිත කතාව ද ක්‍රමයෙන් යළි ආවර්ජනය කරන්නට විය.

“ මම කෙනෙක්ට තදින් ආදරය කරනව නිසංසලා “

ඔහු ගේ අඳුරු ගුහාව තුල සැරීමට පතිත වූ පළමු හිරු කිරණ එය විය.....

ඔහුගේ කතාවෙන් නැවත හමු වෙමු........

Thursday, August 1, 2013

සුගත් හමුවුනෙමි

සුගත් හමුවුනෙමි


“කියන්න මට , 
ඔය හීනි ඇස් වල , 
පිරිලා උතුරන්න 
ඔන්න මෙන්න තිබ්බ 
කඳුළු, 
බිඳක් වත්
කොපුල් මත නොසලා 
හිනා වුනු හැටි 
හදවතින්ම නුඹ ,
සුබ පතල ඇයට “

හ්ම් . . . . . 


නුඹෙ කතාව අහල , 
මගේ කඳුළු වැල් 
තාමත් බේරෙනවා 
කම්මුල් දිගේම.......

“ අනේ සුගත් ...
ඔහෙ හරිම මෝඩයෙක්
පළිගන්න තිබ්බෙ
ඇගෙන් හොඳ හැටි

ඊටත් වඩා
දැන් උඹ මැට්ටෙක්
නුඹ ළඟ ඉන්න
මා නොපෙනෙන
උඹ නම් හැබෑම
මෝඩ මැට්ටෙක් 

සුගත් එක්ක තරහින්
මම
සොඳුරු සිත

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...