..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, June 12, 2013

එක දවසක් ස්කෝලේ .........




එක දවසක් ස්කෝලේ .........



අද උදේ ස්කෝලෙට බොහොම සුරතල් පුංචි අමුත්තෙක් ඇවිත් හිටියා. ළමයි ඒ අමුත්තා දිහා බලද්දි ළමයින්ගෙ ඇස් ප්‍රීතියෙන් දිලිසුනා. කාලච්ජේද අටේම මොන ගුරුතුමා/තුමිය පන්තියට ආවත් අලුත් අමුත්තා ගැන වචන කිහිපයක් කතා කරන්න ළමයි පසුබට වුනේ නැහැ.ඇත්තටම අද මුළු ස්කෝලෙ පුරාම ඒ අමුත්තා සැරිසැරුවා. “ ටීචර් , අද ගෙදර යද්දි මම මේකව බෑග් එකේ දාගෙන යනවා “ මගේ පන්තියේ ළමයෙක් කීවේ අනිත් අයට නොඇසෙන විදිහට හරි රහසින්....... ඒ ...අදහසම තවත් ළමයි කීදෙනෙක්ගෙ හිතේ තිබුන ද කියල මං හරියටම දන්නෑ.විවේක කාලය ඉවර වෙන්න ඔන්න මෙන්න තියල.......තවත් අමුත්තො දෙන්නෙක් ඒ ගොඩට එකතු වුනත් එයාල කලින් කෙනාටත් වඩා අවධානය දිනා ගත්තා.... මේ අමුත්තො තුන්දෙනා සඳුදා ස්කෝලෙට යද්දි මොන විදිහෙන් හමුවෙයි ද කියල මට නම් හිතා ගන්න බැහැ.මගේ පුංචි කාලෙට යන්න පුංචි අඩි පාරක් හදාගෙන ම , අද පුංචි බලු කික්කි පැටියෙක් සහ හාවො පැටව් දෙන්නෙක් පාසල් ඇවිත් හිටියා......................


මා උගන්වන පාසල මිශ්‍ර පාසලක් වුනාට මා ඉගෙන ගත් පාසල එකල ප්‍රසිද්ධ බාලිකා පාසලක්. නොයෙකුත් ආකාරයේ ගැහැණු දරුවන්ගෙන් යුක්ත වෙච්චි මගේ පාසල බොහොම සුන්දර තැනක්. මට මතකයි මං පහේ පන්තියේ වසරකට වඩා වැඩි කාලයක් හිටියා. මම විතරක් නෙමෙයි මාත් එක්ක හිටපු කවුරුත් පහේ පන්තියේ වැඩි කාලයක් හිටියා. ඒකට හේතුව වුනේ 89 කාල වකවානුවේ වෙච්චි කලබල. ඒ මොන කලබලට තිබ්බත් “ පිංකි “ තරම් අපේ හිත් සසල කරන්න පුලුවන් වෙනත් කෙනෙක් ඒ කාලේ හිටියෙ නැහැ.


යන එන පාරේ පිලිස්සෙන ගිනි ගොඩවල් ලඟදී අම්ම මගේ ඇස් වහපු නිසාත් වැඩිය පාසල් යන්න හම්බුනේ නැති නිසාත් ඒ කාලය මහ පුදුම කාලයක් වුනා.අපි නිදා ගත්තේ කුප්පි ලාම්පු එළියෙන්. කළුවරේ නිදියන්න අපේ ගෙදර කවුරුත් බය විත්තිය මට දැනිලයි තිබුනේ. ඒත් ජනේලය සම්පූර්ණයෙන් වැහෙන්න ගෝනි උරයක් ගැහුවෙ ඇයි කියලවත් මුළු ගෙදරම අය එකම කාමරයකට වෙලා නිදාගත්තෙ ඇයි කියවලත් වැඩිය හිතන්න උවමනා නූනේ එකට වැටිල නිදා ගන්නෙක හරිම සොඳුරු අත්දැකීමක් වෙච්චි නිසා.ඒත් හයියෙන් හිනා වෙන්න කතා කරන්න තහනම් නිසා නින්ද යනකම් රහසින් කොඳුරන එකත් සොඳුරු සිද්ධියක් වුනා.


ඒ වගේ මහ අමුතුම ගන්ධබ්බ කාලෙක තමයි අපිට ස්කෝලෙදි “පිංකි“ ව හමුවුනේ.එයා ගෙ ඇස් රවුම්,ලොකුයි. එයාගේ වලිගෙ වනන තාලෙටම ඇසුත් දිලිසුනා. අපේ පස්සෙ දුවන එන විතර සතුටක් එයාට තිබ්බෙ නැහැ.ඒ වගේම එයා අපේ පස්සෙන් වැටිල ඉන්නවට අපි කවුරුත් හරි කැමැති වුනා. ඉදල හිටල ස්කොලෙට ගියත් අපිට උගන්වනවට වඩා වැඩ ගුරුවරුන්ට තිබ්බ නිසා “පිංකි“ ගැන වැඩි අවධානයක් දෙන්න එයා ගැන සොයා බලන්න අපි කාටත් පුලුවන් උනා.


කැඩිච්ච ඩෙස් පුටු වලින් අපි එයාට පුංචි ගෙයක් හදල දුන්නා.“පිංකි“ කියල ලොකුවට ලියල ඒ ගේ ලඟින් තිවුවා. අපි කෑවා නොකෑවා වුනත් පිංකි ට නම් නොයෙකුත් ජාතියේ කෑම හැමදාමත් හම්බුනා. කඩඉම් කාලයක් ගත කරපු අපි සමහරු ශිෂ්‍යත්ව රචනාවටත් “ පිංකි“ ගැන ලියන බවට පොරොන්දු වුනා.


ඒ කාලේ උන්හිටි ගමන් ස්කෝලෙ අරිනවා. එහෙමත් නැතිනම් හිටිගමන් ස්කොලෙට අම්මල තාත්තල ඇවිත් බලෙන්ම ළමයිව ගෙදර අරන් යනවා. උඩහ අයියලගෙ ලොකු ස්කෝලෙන් දවසක් අපෙ ස්කෝලෙට අයියල ඇවිත් අපිව පෝලිමේ එක්කරන් ගියාට පස්සේ ස්කෝලෙ දිගටම වහලයි තිබ්බේ.ඒ කාලේ අම්මල තාත්තල “අනේ අෆොයි “ කියල දුක් වෙද්දි. මඟදි හම්බෙන අයව මඟාරිද්දි. ගෝනි දාපු මිනිස්සු ලග පෝලිමට මිනිස්සු හිටවල ඉද්දි. සමහර තැන් වලදි අම්ම අපේ ඇස් වහද්දි. ටවුමට නොයා පිට පාරවල් වලින් අත්‍යාවශය ගමන් යද්දි.අපි දුක්වුනේ අපිට ස්කෝලෙ යන්න බැරි වෙච්චි එක ගැන විතරමයි.



ශිෂ්‍යත්ව විභාගෙ කල්යන එක ගැන නම් හිතේ තිබ්බෙ මහ පුදුම සතුටක්. කොහොම හරි ගන්ධබ්බ කාලයක් ගත වෙලා ආපහු අපි ස්කෝලෙ යද්දි, ගොඩාක් දෙනාගේ අයියල අතුරුදහන් වෙලා තිබ්බා.සමහරුන්ගේ තාත්තල ආ ගිය අතක් හොයා ගන්න බැරි වෙලා....මේ හැමදේටම වඩා අපිට දුක ගෙනාවේ “ පිංකි“ ත් අතුරුදහන් වෙලා තිබ්බ නිසා.

ස්කොලෙ ගිහින් ඇවිත් අම්ම වටේ තාත්ත වටේ දැවටි දැවටි “පිංකි “ ගැන කිය කියා නාහෙන් අඬද්දි. අම්ම කීව කතාව එදා හරියට තේරුන්නෑ.



“ අනේ ළමයො නිකම් බොරුවට ඤැරු ඤැරු ගාන්නෙ නැතිව ඉන්නවා. බල්ලො බලල්ලු වගේ දහස් ගානක් මහ පාරේ පිච්චෙද්දි , උඹ මෙතන කොහෙවත් යන බල්ලෙක් ගැන කතා කරනවා . ආයෙ එහමෙ මට ඇහෙන්න පිංකියෙක් ගැන කියනව නෙමෙයි “

ඇත්තටම ඒ මතකය හීනයක් වගේ................. නොවේලුනු සායම් චිත්‍රයක අහම්බයෙන් හේත්තු වුනා වගේ ගෑවුනු බොඳ වෙච්චි පාට ටිකක් විතරක් ඉතිරි කරලා........... අපෙන් ඈතටම ඈතට ගිහින්.




Tuesday, June 4, 2013

තටු නැති මැස්සෝ /Flies Without Wings,

තටු නැති මැස්සෝ / /Flies Without Wings



සුරේඛා ගේ සීතල අත මතින් තැබූ සුදේවගේ උණුසුම් අත උද්‍යානයේ කිසිවෙකුටත් නොපෙනන පරිදි තම සාරි පොටින් වසා ගැනීමට සුරේඛා උත්සාහ කරේ අවිඥානිකවමය.

ඔහුගේ අතේ උණුසුමෙන් මිදීමට ඇය සිත නොකැමති වූ පමණටම එය කවරෙකු හෝ දකීදැයි ඇගේ හදවත  මොර ගාන්නට විය.

සුදේව තව තවත් ඇය වෙත තෙරපෙද්දී කලබල වූ සුරේඛාගේ දෑස් දිව්වේ උද්‍යානයේ පුරා කොන්ක්‍රීට් බංකු මත වාඩි වී සිටිනා පෙම්වතුන් වෙතටයි.

ඔවුන්ට මේ දෙදෙනා කරන්නේ කුමක්දැයි බැලීමට විවේකයක් කොයින්ද , ලද නිමේශයේ දී මුළු ලොවම අමතකර කර ඔවුන් ඔවුන්ගේ ලෝකයන් හි තනිව ඇත. නමුත් ඒ පෙම්වතුන් සහ තමන් දෙදෙනා අතර ඇති වයස් පරතරයන් සිහිනැගෙද්දී සුරේඛාගේ සිත සසලව ගියේ නැතැයි කිව නොහැකිය.



ඔවුන් වාඩි වි සිටින බංකුවට , ආසන්නතම බංකුවේ සිටින්නෙ පහලොස් වියේ පමණ හිරිමල් දැරියක් බව සුරේඛාට සිතේ. පොත් මිටිය ළයට කිටි කිටියේ සිර වෙන ගමන් ඇගේ තොල් ඇගේ පෙම්වතාගේ තොල් අතර සිරිවී තෙරපී යයි. තම දියණිය ද තව වසර දෙක තුනකින් ඒ වයසට පැමිණෙනු ඇත. තමන් මේ කරන්නේ කුමක් ද?

“ අනේ සුදේ .........අපි මෙතැනින් යමු සුදේ “

යොවුන් පෙම්වතුන් කෙරෙන් දෑස් නොගෙනම සුරේඛා , සුදේවගෙන් කළ ඉල්ලීම සුදේවගේ වත දැල්වූයේ සතුටකි.

“ ඒකනේ කෙල්ලෙ මම කීවේ. එදා අපි ගියපු තැන නෙමෙයි.මම වෙන ෂෝක් තැනක් බැලුවා.අපි යමු එතැනට “

ආසාව වෑහෙන ඇස් වලින් සුරේඛා දෙස බැලූ සුදේව , ඇගේ අනුමැතිය ලැබෙන තෙක් පසුවූයේ නොයිව සිල්ලෙනි.

“ අපිට එතැනින් දවල්ට කන්නත් පුළුවන් කෙල්ලේ “



“ කන්න ,? මම කෑමෙකක් ගෙනාවා සුදේ “


අත් බෑගයට අත යැවූ සුරේඛා තවමත් උණුසුම වියැකී නොගිය බත් පාර්සලය දකුණතට ගත්තේ දෑසේ ප්‍රශ්ණාර්ථයක් රදවා ගනිමිනි.


“ මෙන්න මෙහෙ දෙනව ඕක. .  . . . .  ‘‘


සුරේඛාගේ අතින් ගිලිහී අහසින් ගිය බත් පත ක්ෂණිකව ගොස් චොරොස් හඬින් වැටුනේ උද්‍යානයේ වතුර මල යටටය. වතුර මලෙන් ගිලිහී වැටෙන වතුර බිදු බිදු ඉහිරී බත් පත වට කරන් තිබූ ඉරිදා පත්තර කොළය තෙත බරිත වී යෑමටත් , කපුටන් රංචුවක් එහි රස බැලීමට වටවීමටත් වැඩි කාලයක් ගත නොවී ය.

ඉහළට ඇද ගත් හුස්ම , පහළට හෙලීමට අමතකව ගිය සුරේඛාට සිහිවූයේ ප්‍රමාද වී ලෑස්ති වූ නිසා අද බත් පත බැඳ අතට දුන් තම ස්වාමියායි.

“ ජයේ . . . . මට පරක්කු වෙලා “


“ මේක ගෙනියන්න  මැණිකේ . . .  “


“ බත් දෙකක් බදින්න ඇති වුනා ද? “


“ නෑ. . කොහොමත් අද අපේ ඔෆිස් එකේ පෙරේරාගෙ දානෙ ගෙදරක්. මට එහෙන් කන්න පුලුවන් “


ජයේ , සුරේඛාගේ ලිපිකරු සැමියායි. කිසිම උණුසුමක් ,කිසිම ආදර වදනක් හුවමාරු නොවන ඒකාකාරි වසර අටක විවාහ දිවිය තුළින් නොලද යමක් සුදේවගේ ආශ්‍රිය හමුවේ ඇය ලබන බව සැබෑය. නමුත් එය හරියටම කුමක්දැයි තෝරා බේරා ගැනීමට ඇයිට උවමනා නොවීය. 

“ අපි යමු “

තවමත් බංකුව මත වාඩි වී , වතුර මල යට ඉහිරී ගිය බත් පතට පොරකන කපුටන් දෙස බලා සිටිනා සුරේඛාගේ දකුණතින් අදිමින් සුදේව පවසන්නට විය.

“ මට බෑ. . . මාව හොයනව ඇති ඔෆිස් එකේ “

සුරේඛා වහා සිහිලද්දියක මෙන් කියන්නට වූවා ය.

“ මොනවා ! ඔයා කීව නේද ? ඩියුටි ලීව් දාලා ෆීල්ඩ් යනව කියල ආවේ කියලා. ඉතින් මොකටද ඔයාව සොයන්නේ ? “



ඔවු , කීවා තමයි. ඒත් දැන් මට යන්න ඕනි “

“ සුරේඛා . . . . “


ක්ෂණිකව නැඟී සිටි සුරේඛා පිටුපස හැරී බලනටවත් පමා නොවී උද්‍යානයෙන් පිට වන ගේට්ටුව අසල දීම නැවතූ බසයට ගොඩ විය.

= = = = = = = = = = = = = = = = = = = = = = = = 




“ ඔයා අද වේලාසන ? “


“ ඔවු ජයේ . . .ඔයත් අද වේලපහ ? “

“ ඔවු. මේ . . . . . .  ඔයාට හරි මහන්සි පාටයි “

“ඔවු ජයේ . ඔයා අද දානෙ ගෙදර ගියා ද ?“

“ නෑහ් .ඒක හෙටලු තියෙන්නේ “

“ ඉන්න මං ඉක්මනට උයල දෙන්නම්. මම එමින් ගමන් හාල් පොල් ටිකක් අරන් ආවා. දැන් දූත් පන්ති ඇරිල ඒවි “


“ ජයේ කීවා නේද මෙහේ ප්‍රා.ලේ එකේ වේකන්ට් එකක් තියේ කියලා “

“ඔවු ඒත් ඔයා ව වැඩ කරන තැනින් රිලීස් කරන්නෑ කීවනේ “

“මං ඒක කොහොම හරි කරගන්නම්. ඔයා පොඩ්ඩක් බලන්න මට එතැන ට එන්න පුලුවන් ද කියලා “

“ මොකද හදිස්සියේ ? “

“ නැහ්. . .  මේ බස් ගමන දැන් නම් මට එපා වෙලා “

නලලේ රැඳි සිහින් දාබිදු දකුණතේ අත්ලෙන් පිසිමින් ද කරකවා ගත් සාරි පොට වමතින් ගෙන බඳේ රදවමින් ද මුළුතැන් ගේ දෙසැට ඇදුනු තම සුන්දර බිරිඳ ට අලුතින් සාරියක් අරන් දිය යුතු කාලය පැමිණි ඇති බැව් ජයදේවට හැඟුනි.

තමා හට නිර්නාමිකව දුරකථන ඇමතුම් ලබා දෙන්නන් පවසන කරුණු  වල සත්‍ය අසත්‍යතාවය ඇගෙන්ම විමසා දැනගැනීමට කෙටි නිවාඩුවක් දමා තමා කාර්යාලයෙන් ආ බැව් ජයදේවට අමතකව ගියා සේය.තවමත් තරුණ විය ඉක්මවා නොගිය තම සුන්දර බිරිඳ මුළු තැන් ගෙට ගොස් වැළඳ ගත යුතු යැයි නැඟී ආ ආසාව ජයදේව යටපත් කර ගත්තේ ආයාසයෙනි.

Sunday, June 2, 2013

-පසුතැවීම-

-පසුතැවීම- 

“ දෙන්න . . . .“

බස් එකේ වාඩි වෙලා යන මගේ උරහිසේ , බස් එකේ හිටගෙන යන ඔයාගේ අතේ තිබ්බ පොත් ටික විටින් විටේ වැදුන නිසා , පොත් ටික ඉල්ල ගත්තා “

පොත් ටික ඉල්ලන්න උඩ බලද්දියි මං දැක්කේ,ඔයාගේ ඇස් තිබ්බේ මගේ දිහාවට කියලා.ඉබ්බ වතුරට දාන්න ද ඇහුවම “ඇන්නාවේ “ කීවා වගේ.ඔයාගේ දිලිසුනු ඇස් වලින් හිනා වෙන ගමන් පොත් ටික මගේ අතේ තිබ්බා මතකයි.

ඒ වෙලාවෙම ආපු කොන්දොස්තරට “අකුරැස්ස දෙකක් “ කියල කියනවත් “ ...කවුද දෙන්න “ කියල ඇහුවම ,වාඩි වෙලා හිටපු මාව පෙන්නපු හැටිත් , එදා දවසේ දවල් කෑම කන්න සල්ලි මදි වෙලා හිටි හැටි දැන ගත්ත හැටිත් අද වගේම මතකයි.

අදත් ඒ වගේම ඇස් දෙකක් , මා දිහා හිනා වෙලා බලා ඉන්නවා.හැබැයි එකම වෙනස ඒ ඇස් වල පුංචි හුරතලයක් රැදිල තිබ්බෙක.ඒ වගේම එදා වගේ මගේ ඇස් උස්සල නෙමෙයි.මගේ ඇස් පාත් කරල ඒ ඇස් දිහා බලන්න වෙච්චි එක. 

 



“ කීයෙ පන්තියට ද ?“

“ මේ අවුරුද්දෙ දෙකට “

“ අහා..........“

“ වයිෆ්ගෙ රස්සාව මාරු වුනා.ඉතින් අපි මෙහෙන්ම ඇනෙක්සියක් ගත්තා “ 

“ හ්ම්.............මාව මතක ද?“

“ ඇයි අප්පේ අමතක , මොන පන්ති වලට ද උගන්වන්නේ ?“

“ උසස් පෙළ “

“ ම්ම් . . . . .“

“ දැන් හොඳින් ඉන්නව ද? “

“ එහෙමටම නැහැ. ටිකක් කරදරයි “

“ හ්ම්. . . .“

“ බබාල ඉන්නව ද?“

“ තවම තනිකඩයි “ 

ඒ වචන අහපු වෙලාවේ.....අර ඇස් දෙක බලන්න වටිනවා.ජීවිතේ මෙච්චර කාලෙකට මට බලන්න ඕනි වුනු ලොකු පසුතැවීමක් ඒ ඇස් ඇතුලෙ නලියනවා. කොහේ දෝ ඉදල මහ කාලකණ්නි සතුටක් ඇවිත් මගේ හිත පුරෝනව මට දැනුනා................


(- මන:කල්පිතයකි)

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...