..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, May 21, 2013

මගේ උපන් දිනය / My Birthday

මගේ උපන් දිනය


හීන්  හිරිපොද වැස්සේ චුරු චුරුව කසාඳ බැන්ද ගැහැණියකගේ චුරු චුරුවෙන් වෙනසක් නැතිවා මෙනි. නවතින හැඩක් හෝ වැඩි වන හැඩක් නැත.ඒ කිසිත් ගනන් නොගත් පුංචි නැටුම් කුරුල්ලෙකුගේ මිහිරි ගීයක් ඈතින් ඇසෙයි.එය එකම ස්වරයේ විවිධ පරාසන් විය හැකි බැව් අඩනින්දෙන්ම මට සිතුනි.

ඇලයට හැරී නින්ද ගොස් සිටි නිසා යන්තමින් හිරි වැටී තිබුනු දකුණත ඔසවා වමතින් පිරිමැද , නැවතත් අනිත් ඇලයට හැරුනේ වේලාව බැලීම සඳහා ජංගම දුරකතනය සෙවීමට ඇදේ අත දිග මානය පුරා ,දෙනෙත් පියාගෙනම අනුමානයට ඇඟිලි යවමිනි.

බොහෝ කලක සිට මා සමඟින් යුගල් සයනයේ තනියට හුන් බොහෝ අය අතරින් එක් අයකු වන්නේ ජංගම දුරකථනයයි... විටින් විට ඒ අවස්ථාව කුඩා උකුල් පරිගණකයටත් නව කතා කිහිපයකටත් , ජීව විද්‍යා පෙළ පොත් කිහිපයකටත් හිමිවුව ද ඇත්ම් දිනකට එකදු එක ඇමතුමක් වත් නොපැමිණෙන ජංගම දුරකතනය මා අසළම තබා ගත්තේ යටි සිතේ සැගවී ඇති සියුම් බලාපොරොත්තුවක් නිසා වන්නට ඇත.

දුරකථනය සොයා ගත නොහැකි වුව ද අඩ නින්දේම සිතින් අද දිනයත් , දවසත් කළ යුතු වැඩත් මතකයට ගන්නට උස්සාහ කළෙමි. සිකුරාදා , එය සිතට සුමිහිරි උත්තේජයක් රැගෙන නොආවේ නම් පුදුමයකි. සතියේ අන්තිම දවස. අද කීය ද? ම්ම්ම් විසිහය..... විසි හය  ! ! !

විසි හය ද අද ? මැයි මාසේ විසිහය. මෙතෙක් වේලා සිතුවිලි වල සැරූ වැසූ දෙනෙත් පියන් දිග ඇරුනේ කිසිවක් ඉතා දැඩි ලෙස  මතකයට ආ බැවිනි.

“ දෙයියනේ . . .  අද මගේ උපන් දිනය  “

මීට වසර කිහිපයකට පෙර , අද වන් දිනක මා උපත ලබා ඇත.සියුම් සතුටක් මෝදු වන්නට වූ නමුදු අද මේ වන විට හරියටම මගේ වයස කීයදැයි සෙවීමට මම නොවෙහෙසුනිමි. අද මගේ උපන් දිනයයි. එය සුවිශේෂි දිනයක් නොවන්නේ ද ?

මීට සතියකට පමණ පෙර මම මාගේ ෆේස් බුක් ගිණුම අක්‍රිය කළ බැව් මගේ මතකයේ ඇත. යන්ත්‍රයක් විසින් කෙනෙකුගේ උපන් දිනයක් මතක් කර දීම කෙතරම් නම් යාන්ත්‍රිකදැයි මට සිතේ. එය හදවතේ ලියැවී තිබිය යුතු දිනයක් නොවන්නේ ද?

පිරමින්ට අංක මතක තබා ගැනීම දැඩි සේ අපහසු දෙයක් වූව ද ඔහු කොයි කෙදිනකවත් මගේ උපන් දිනය අමතක නොකළ බැව් මට මතකය.

සමහර විටෙක අද උදෑසන ආහාරයට අම්මා වේලාසනම කිරිබත් පිස තිබීමට ඉඩ ඇත්තේ නොවේ ද? මට උපත දුන් ජීවය ඇයයි. ඇය මවක කළ ඒ සුන්දර දිනය ඇයට අමතක වේ ද?

නමුදු , 

අප වියපත් වෙමින් පවතින බවත් තව දුරටත් කිසිවකුට හෝ මා සු විශේෂි කෙනෙකු නොවන බවත් පසක් කර ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය.

“ පොල් ටිකක් ගාන්න ළමයෝ සම්බෝලයක් හදන්න, මම බත් ලිපේ තිබ්බා, පරිප්පු ටිහකුත් හදමු “

මීට වසර විසි ගනනක් ඈත දී දවසක් මට මතක් වේ. ඇල්බට් අංකල් අප නිවසට පැමිණෙන්නේ ඔහු සතු අනර්ඝ කැමරාව ද සමඟිනි. තාත්තා ඔහු වෙනුවෙන් එවැනිම අනර්ඝ සුදු ලේබල් බෝතලයක් රැගෙන එන්නේ ඊට පෙර දවස් කිහිපයකටම කලිනි. අම්මා මැසූ නවීන පන්නයේ ගවොම ඇඳ , සමණළියක් මෙන් සැරිසැරූ එදවස් කොයි තරම් නම් සුන්දර ද. පළමු දෙවන තෙවන ලෙසින් දහය දොළස සොලොස වන තෙක්ම මැයි මස විසිහය වෙනිදාවල් සුන්දර කළේ තාත්තාගේ බෝතලයත් අම්මා මැසූ ගවොමත් ඇල්බට් අංකල්ගේ කවට කතා වලට සිනා ගිය මගේ පින්තූරත් සමඟිනි.

දින සති මාස අවුරුදු ගෙවීයත්ම ගිලිහී ගිය මැයි මස විසිහයවෙනිදාවල් කිහිපයකට පසුව තවත් මැයිවිසිහය වෙනිදාවක් . . . . .

කිසිවකුගෙන් සුබ පැතීමක් නොමැති “ උපන් දිනයක් “.

නිවසේ කිසිවකුටත් , රාජකාරි ස්ථානයේ කිසිවකුටවත් , ජීවිතයේ නොයෙක් සමයන්හිදී හමුවූ කිසිවකුටවත් මතකයේ නොමැති වූ මගේ උපන් දිනය සැබැවින්ම ම‘සිතට රැගෙන ආවේ දුකකි.

මෙය කියවන ඔබ ඇතැම් විටක මෙසේ කියනු ඇත...“ අෆෝ ඕක මොකක් ද ? මගේ උපන් දිනය මටත් අමතක වුනා “ නමුත් කිසිවකු හෝ එය ඔබට මතක් කර දුන් විට ඔබට ඇතිවන හැඟීම කුමක්දැයි පෙරළා මම අසමි.

එය තවත් එක් දිනක් පමණක් නේදැයි ඔය කියනු ඇත.

නමුත් ඒ දිනය මතක් කළ පුද්ගලයා ගැන ඔබසිතේ  ඇතිවූ හැඟීම ඔබට විස්තර කළ හැකි  ද ?

තවකෙකු තුල ඔබ වෙනුවෙන් වෙන්වූ සුවිශේෂි ස්ථානයක් තිබී ඇති බව ඔබට දැනුනේ නැද්ද ? ඇත්ම් විටෙක එය ඔබ කොතරම් සංවේදී පුද්ගලයෙක් ද යන්න මත රදා පැවතිය හැකිය. එහෙත් තමාගේ උපන් දිනය වෙනෙකුකට මතක තිබීම මාහට නම් ගෙන දෙන්නේ අතිමහත් වූ සතුටකි. නමුත් එය යාන්ත්‍රික මතකයකින් කළ පණිවිඩයක් නොවිය යුතු ය.

රාජකාරි නිම වී සේවා ස්ථානයෙන් පිට වන විට ද අහම්ඹයෙන් වත් කිසිවකු ටවත් එය විශේෂ දිනයක් නොවීය.ඉන්පසු මා කළ දේ ගැන නම් ඔබ පුදුම වනු ඇත.

මා කඩයෙන් ගත්තේ , ප්‍රචලිත වෙළඳ නාමයකින් යුතු විශාල ප්‍රමාණයේ චොකලට් එකකි. එය කිසිවකුටත් නොපෙනී තනිවම කෑමේ තද බල ආසාවක් මසිත ඇතිවිය. චොකලට් බාර් එක බ්‍රවුන් පේපර් කවරයක දවටා මා අතට දුන් තරුණ කඩහිමියාගේ දෑසේ වූයේ මනමාල පෙනුමකි. හරියට කීවොත් මා එය පෙරළා ඔහුට ලබා දුන් විටෙක මෙන් අනුරාගී මනමාල සිනාවකිනි ඔහු මට සංග්‍රහ කළේ.

බසයට ගොඩ වූව ද සෙනඟ අඩුවූවත් චොකලට්ටුව කඩා කෑමට තරම් අවශය ධෛර්ය මා සතු නොවීය. හදිසියේම උපන් සිතුවිල්ලකින් මුසපත් වූ මා කළේ නිවෙසට යායුතු බසයෙන් බැස ගොස් වෙරළ තීරය අවසන් නැවතුම වන බසයකට ගොඩ වීමයි.

මුහුදු සුළඟ විදිමින් , ක්ෂිතිජ රේඛාව නරඹමින් , රසැති මිලැති අනර්ඝ චොකලට්ටුවක් අතැතිව දැන් මා සැරසෙන්නේ මගේ උපන් දිනය සැමරීමටයි.

හදිසියේ ම . . . . .

දවස පුරා එකඳු ඇමතුමක් වත් නොලැබුනු ජංගම දුරකථනය දෙවරක් දෙදරුම් දී නවතුනු දැනුනු මා අත් බෑගය සිසාරා එහි අඩියේම ගිලී තිබූ දුරකථනය සොයා අතට ගත්තෙමි.

වැසූ ලියුම් කවරයක් . . . . පණිවිඩයක් . . . . .


“ සොඳුරු  . . . .  ඔයාට සුබම සුබ උපන් දිනයක්. අමතක වුනා නෙමෙයි. අද පොඩි පුතාගේ ස්කෝලෙ කොන්සට් එක. වයිෆ්ටත් ඔෆිස් එකේ සෙමිනා එකක්. ඒ නිසා පුතාව එක්කරන් යන්න වුනේ මට උදේ ඉදල පුතා ගෙ වැඩ වලට යෙදුනා. සුබ පතන්න එස්එම්එස් එකක් එවන්න වෙලාවක් නැති වුනා. මේ උපන් දිනයෙ වත් ඔයාගේ තනිකඩකම නැතිවේවි කියලා මම හිතනවා. ඔයාට සුබම සුබ උපන් දිනයක් “

 චොකලට් තීරුවට කොහෝ දෝ සිට කඳුළු බින්දුවක් කඩා වැටී තිබුනි. කඳූළු චොකලට් අනුභව කර මෙවන් සොඳුරු දිනයක් අඳුරු කර ගත යුතු ද? වාඩි වී සිටි සිමෙන්ති බංකුවෙන් නැඟී සිටි මා වෙරළ දෙසටම මුහුද දෙසටම පියවර කිහිපයක් ඇවිද ගියෙමි.. හැකි වෙර යොදා දකුණත තිබූ චොකලට්ටුව මුහුදට විසි කළෙමි. 


නොආයුතු සුබ පැතුමක් නොආයුතු දිනක , නොආයුතු අයෙකුට , නොආයුතු කෙනෙකුගෙන් පැමිණ තිබුණි.

Wednesday, May 15, 2013

සාස්තරේ

සාස්තරේ................

යන්න උනා අද පන්සල්
තියන්න පූජා
පත්තු කරන්නට පහනක්
අබ තෙල් දාලා

අම්ම ගිහින් අද උදයේ
සාස්තරේ අහලා
තක්කෙට තරිකිට හරියට
මා ගැන ඔහු කියලා

භූමියක් ද කෙනෙක් ගැනද
අහන්නාවේ ඔහෙලා
දූ ගැන ලොකු දූ ගැන
අම්මා කට ඉස්සර කරලා

මහතත් නැති කෙට්ටුත් නැති
කෙනෙක් නේද අහලා
ඔවු ඔවු ඒ දූම තමයි
ඇය හූමිටි තියලා

කම්මුල් පිරිලා මහතයි
නලල ටිකක් ඉදිරියටයි
හරියට හරි දෝණි තමයි
සතුට මුවේ පිරිලා

තනිකඩයා නේද තාම
සාස්තරේ අහලා
ඔවු ඔවු ඇය තව තනිකඩ
අම්මත් හූමිටි තියලා

බය වෙන්නට එපා අනේ
කෙල්ල බදිනවා
හොඳ තැනකින් කටයුත්තක්
ලියවිලා තියෙනවා

පහන් පත්තු කරල අපල
මඟ ඇරවා ගන්න
උතුරත් බටහිර අතරින්
මනමාලය එන්න

තිස්තුන පනිනට කලියෙන්
කෙල්ල බදිනවා
සාස්තරේ වැරදිලා නැහැ
මෙතුවක් කාලෙකට

ඇගිලි ගැනපු අම්මගෙ ඇස්
උඩ ගියාලු ඔන්න
උපන් දිනෙ ලග ලගමයි
දින ගැන්නලු මෙන්න


හත්වලාමේ දින දහයයි
තවත් තියෙන්නේ
තිස් හතරක් ඊට පස්සෙ
කෙල්ලටයි ලබන්නේ

ඔන්න මිතුරනේ ඇස් කණ්
ඇරලා බලා ගන්න
තව සති දෙක තුනකින් ඇගෙ දුව
බදිනවාලු ඔන්න



Saturday, May 11, 2013

සිහිනයෙන් ඔබ්බට

සිහිනයෙන් ඔබ්බට

ආදරයට ඇය දුන් සිය දහසක් අර්ථකථන එකින් එක ඉතා වේගයෙන් ගිලිහී යමින් තිබුනි. දර්පණයෙන් පෙනෙන මුහුණේ දැකිය හැකි හිස් සුන් ගතිය එයට සාක්ෂි සපයයි. පිරුණු පපුව මතින් රූටා වැටෙමින් තිබූ සාරි පොටක් අල්ලා කටු ගැසිය යුතු වුව ද ඒ සඳහා ගත කරන කාලය අපතේ යන විනාඩි ගණනට ගැනෙන බැවින් රූටා හැලෙන්නට එයට ඉඩ දිය යුතු යැයි සිතුනි.


“ ළමයෝ ඉවරද , දැන් කට්ටිය ඒවි “ පුරුද්දට මෙන් අම්මා කෑගැසුව ද සැබැවින්ම කියන වේලාවට කෙනෙකු ආවේ එහෙමත් වෙලාවක ඉදහිට බැව් ඇයත් දනී. බොහෝ වුන් කියන්නා සේ “ වෙලාවෙ එනතුරු “ සිටිය යුතු ය.

දර්පණයෙන් පෙනෙන රුව දෙස බලා සිටීම සිතට ගෙනෙන සංතාපය වැඩි කරන්නක් ම වූ නිසා , කාමරයෙන් මිදී සාලයට ඇය පිය මනින්නීය. සාලය මැද ඇති කෑලි හයේ හතරස් මේසය ලොකු ඉරිදා පත්තර කොළයකින් වසා ඇත. වැසුම් ඇර බැලීමට සිත් නොවූයේ මෙම සෙල්ලම පටන් ගත් කාලයේ දී මෙන් නොව අද වන විට එහි සාරවත් බව කේක් කෑලි කිහිපයකටත් , කෙසෙල් ඇවරියක් සහ බිස්කට් දෙක තුනකටත් සීමා වූ බව දන්නා නිසාය.ආරම්භයේ දී නම් කැවුම් , කිරිබත් , කට්ට සම්බල් සුවඳින් ගමේ මිනිසුන් ද “ ගෙවල් දොරවල් “ බැලීමකට කෙනෙකු එන බැව් දැන ගනී.

මේසයේ කෙළවරක ඇති බන්දේසියේ සුදානමින් සිටින වතුර පිරවූ පිරිසිදු වීදුරුවකි. පය පැටලෙමින් ලැජ්ජාවෙන් ඇය මේ බන්දේසිය රැගෙන ගිය කාලය පසු වී හමාරය. දැන් ඇය පුරුදු කාරියකි. බන්දේසියේ තැබූ වතුර වීදුරුව ගෙන ගොස් ඇල්ලීමත් සකසා ගත් සිනාවකින් සංග්‍රහ කිරීමත් “තේ බොමු නේද? “ යැයි ඇසීමත් රාජකාරි කටයුත්තක් සේ පැහැදිලය,හුරුපුරුදුය.

ඉන් පසු එළඹෙන කතා වාරය සිත තුලට ගෙනෙන හැඟීම් විවිදාකර වේ.එකිනෙකා අසන පැන විවිධාකාර වුවත් අරමුණ නම් එකක්ම වන්නට ඇත.

“ ලව් එෆෙයාර් තිබ්බෙ නැති ද? “

“ ඇයි තවම කසාඳ නොබැන්දෙ ? “

“ ඇයි කලින් පවුලෙ බාලය බැන්දෙ ? “

“ ස්කොලෙ ගියේ කොහො ද? ආහ් එහෙ ද? එහෙනම් අහවලාව දන්නව ද? ආහ් නැද්ද.?“

“ කැමපස් එකේ කෙනෙක් හිටියෙ නැද්ද. කැම්පස් යන කාටත් කෙනෙක් ඉන්නවනේ.ඇයි ඔයාට හිටියෙ නැත්තේ ? “



ඇතැම් ප්‍රශ්න කිසිදිනක ඇය වත් නොසිතූ අන්දමේ ඒවාය. පැමිණෙන කිසිවකුගේ අතීත කතා වස්තු වලට පදනම් දාන කිසිදු ප්‍රශ්ණයක් කිසිදාක ඇය අසා නැත.ඇසීමට මට උවමනා ද නැත. පිරිමින් පිටට පෙනෙනා තරම් නවීන නොවන බවත් සම්ප්‍රදායික සිතක්  රැගෙන පැමිණෙන වුන් බවත් වටහා ගැනීමට එතරම් වේලා ගත නොවේ.



මෙතෙක් පැමිණිය අයවලුන්ගෙන් “ ඔයාගේ නම මොකක් දැයි “ අසුවේ දෙදෙනකු පමණි. එයින් එක් අයකු තවමත් ඇය ගැන විමසන බැව් කපුවා නිවසට පැමිණෙන වාරයක් පාසා පවසයි.ඔහු දැන් විවාහකයෙකි සිඟිති දරුවෙකුගේ පියෙකි. ඔහුට ඇය සතු සියලු දේ හොද වූවද රැකියාව හරහට හිටි බව කපුවා අතේ පවසා එවා තිබුනි.




 

ඇය වැනි වයසක පසුවන තරුණියක කිසිවකුට ආදරය නොකළා නම් එය සත්‍යයක් නොවනු ඇත. මිනිස් දියණියක වන ඇගේ හදවතට ද අලුයම වැටුනු හිරු රැස් මෙන් පෑයු ආදර සම්බන්ධකම් තිබුනි.එහෙත් සතු කර ගත  නොහැකි වූ නිසා තනිකඩව වෙසෙයි. ඒ කිසිවකුත් සමඟ උරණ වීමක් හෝ පලිගැනීමක් ඈ සිත අහලකවත් නැත්තේ ඔවුන් ඇය වෙත දුන් ආදරය එතරම්ම සංවේදී වූ නිසාමය.


ඇතැමෙකුට ඇය “ මහත වැඩිය “ තවත් අයෙකුට “ පැහැපත් මදිය “ තවත් අයට “ සෝෂල් මදි “ වන අතර එහෙමත් අයෙකුට “ කියන්න තරමක් වරදක් නැත“. 

 

නමුත් ඇය ඔවුන්ගේ දුටු කෙස් අඩු තට්ටයත්, ලොකු බඩත්, අගුරු වැන්පැහැයත්, මදක් මිටි සරීරයත් නොදුටුවා සේ සිටි බව ඔවුන් නොදන්නවා ඇත. මුල්ම දින වලදී නම් “ ඔය එන අයට තමන් කවුද කියල කණ්නාඩියෙන් බලල එන්න අමතක වෙන්න ඇති “ යැයි කෝපයෙන් කියූව ද. දැන් දැන් ඔවුන් පසුදින කපුවා අතේ කියා එවන දේ අසා සිනාසෙනවා මිසක ඉන් එහා දෙයක් සිතා සිත දුක් කර නොගැනීමට තරම් ඇය මෝරා සිටියි.


ඈ කාලයක් ඈ ලද ආදරයක් අතමිට මොළවා ගෙන සිටි බව සැබෑය. කාලයත් සමඟින් සිහින් වැලි අහුරක් මෙන් ඒ ආදරය ඇඟිලි අතරින් රූරා ගොස් තිබුනි. එක් දිනක මිට මෙලවූ අත හැරපියා හදවත පිසදා දැම්මේ සුවඳ පමණක් හද මත රදවා ගනිමිනි.



සාරි හැට්ටයට වැසුනු සෙමින් උස් පහත් වෙන ඇගේ ලැම දෙස ආසාවෙන් බලන්නවුන් ඇයට මුණ ගැසී ඇත. ඇරුනු දෑසීන් දෑසක් දෙස බලද්දී ඇගේ බැල්ම දරා ගත නොහැකි ව බිම බලා ගන්නවුන් ඇයට මුණ ගැසී ඇත. දෑත පටලා ඔහු සමඟ වාසයට පැමිණෙන්නයැයි කියන්නෙකු තවම මුණ ගැසී නැත. 


“ ඔන්න ළමයෝ වාහනයක් ආවා නේද ? එයාල ද දන්නෑ ? “



මවගේ සිත තුල බලාපොරොත්තු උතුරයි. ඇයට දියණී බරක් බව ඇය දනිමි. පියා ඔවුන් හැර ගොස් බොහෝ කලකි.



ඈ දයාබර යෙහෙළියක කියු කතාවක් ඇයට සිහිවෙයි. 


විවාහය කියන්නේ සමාජමය වගකීමක්, ආර්ථිකමය හයියක් , අනාගතේ ගැන ආයෝජනයක්. නැතිව උඹ හිතනව වගේ ආදරය කර කර ඉන්න කෙනෙක් හොයා ගන්නෙක නෙමෙයි.ටිකක් වංක වෙයන්, බොරුවට හොද හිත පෙන්නපන්, කසාඳ බැන්දට පස්සේ ඇත්ත කොහොමත් එළි වෙනවා.ඒත් එතකොට මොනා කරන්න ද. උඹ මහ මෝඩයි. මිනිහෙක් මරන්න තරම් කේන්තියක් ආවත් හොඳ මූණ පෙන්නල හිනා වෙලා ඉන්න උඹ දන්නෑ.



“ කට්ටිය ආවා ......................“



සුපිරිසිදු වතුර රැදි සුපැහැදිලි වතුර වීදුරුව සහිත බන්දේසිය අතට ගත් ඇය වහාම සුදානම් වූයේ , සුපුරුදු ගනුදෙනුව හැකි ඉක්මනින් අවසන් කළ යුතු බව සිතට ගෙන මිස ක බලාපොරොත්තු වලින් නිස්කාරනේ සිත පුරවා නොගනිමිනි.




ඇගේ වෙලාව තවමත් පැමිණී නැති බැව් පමණක් මෙවරද ඇයට සක්සුදක් සේම පැහැදිලි කරුණකි.


නමුත් මේ සියල්ලටම හොරා .. . . . . ඇය මැදිවියට එළඹෙමින් සිටියා ය.



Blogroll

Related Posts Plugin for WordPress, Blogger...