..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, March 30, 2013

-වේලාසන කොහා ඇවිත් ? -

වේලාසන කොහා ඇවිත්  ?


“ ටක බක ටක බක ටක බක................“



“ අයින් වෙන්න කො ළමයෝ......... “ 


අම්මා ගේ වම් කකුළට අසුවූ මගේ දකුණු පාදයේ සුට්ටන් ඇඟිල්ල මිරිකී යද්දි , අය මට පැවසුවේ සැබෑ සෙනෙහසිනි.එහෙත් ඇය මෙය මසා නිම වනතුරු මෙතැනින් සෙලවීමක් නම් නොමැත්තේමය.අම්මා මැෂිමේ සුපුරුදු අන්තයේ වාඩි වී මසද්දි.මා ඇයට හාත්පසින්ම විරුද්ධ අන්තයේ සිට පැඩලය පාගමින් ඇයට දිරි දෙමි.

“ කෝ....මෙහෙට එන්න පොඩ්ඩක්..............“

“ කෝ කෝ එහා පැත්ත හැරෙන්න “

බාගෙට මසා ඇති ගවොම් මේ දෙපසින් අල්ලා ඇය මගේ පිටිපස උරහිසට තබා බලයි.

“ හරි ගාණට තියෙනවා. වාටිය පස්සෙ මහමු “

“ අනේ අම්මේ..........තව ටිකයි නේ “

“ අනේ ළමයෝ, මුං අලුවා ටිකක් වත් හදන්න එපෑය. මුං ඇට ටික සෝදල වේලෙන්න දාන්නත් ඕනි “

අම්මා එසේ පැවසූවද මේසයට පැමිණෙන්නේ මුං අලුවා විතරක්ම පමණක් නොවන බැව් මම දනිමි. ඇය එහා මෙහා වන තෙක් සිට බාගෙට මැසූ මල් චීත්ත ගවුම නැහැයට මඳක් ලං කර බලන්නේ එයින් භුමිතෙල් සුවඳ නොඑන බැව් සැක හැර දැන ගැනීමටයි.

ගියවර නැන්දලාගෙන් ලැබුනු භුමිතෙල් සුවඳ  චීත්ත රෙදි වලින් මැසූ ගවොම් කිහිපවාරයක් සේදුවද එහි ගඳෙහි නම් අඩුවක් නොවීය.


මේ සියල්ලට වඩා සතුටු හිතෙන දෙය නම් නැන්දලා මාමලා හා සීයා ආච්චිට වැන්ද පසු අත මිට මෙලවෙන රුපියල් දහයේ ,පහේ කාසියේ බලයයි. ගියවර මා ඒ මුදල් එකතු කර වැඩබැරි දාස සංගීත වැයූ හැටි පොතත් අමා ඵලය පොතත් ගත්තෙමි. මේ වරද සිහින ගොඩකි.

හදිසියේම නැවත පැමිණුන අම්මාගෙන් බැනුම් වරුසාවක් අහන්නට සිදු වූයේ බාගෙට මසා තිබූ ගවොමේ කර , දඩිබිඩියේ මා අදින්නට යෑම නිසා ඇඳ ගැසී දික් වී තිබූ නිසාය.


“ මිස් . . . . ඔය සාරිය ගන්නව ද? ඕනි නම් තව කලර්ස් තියෙනව බලන්න පුලුවන් “

“ ආහ් ....නැහැ නැහැ ඕනි නැහැ. මේක කීය ද? “

“ ඕක මිස් එක්දාස් හත්සිය අනූපහයි . . .  අලුත්ම මෝස්තරය ඊයේ ආවේ “

“ ආහ්. . .  හරි කමක් නැහැ .මේක දෙන්න. තව මට . . . .  පොඩි බබාලගෙ ඇඳුම් තියෙන්නෙ කොහොද කියල කියන්න පුලුවන් ද? “

මීට වසර කිහිපයක අතීතයෙන් මිදී දැන් මා සිටින්නේ මාතර නගරයේ අලුතින්ම ,ගිය සතියේ විවෘත කළ “ෆැෂන් බග් “ රෙදි පිළි මන්දිරය තුලය. රටේ සමහර පැති වල කාලගෝට්ටි සිදුවෙද්දී , මාතර ෆැෂන් බග් මන්දිය තුල “සූ“ ගාලා සෙනඟය.

නංගීගෙ පොඩ්ඩාට හරියන හුරුබුහුටි ඇඳුම් පොඩි වල මිලද ඉතාම හුරුබුහුටිය.තෙරම් හුරුබුහුටි ද යත්  මුදල් පසුම්බියේ ලොකු කොළ දෙකතුනක් එකවරම සුටුස් ගා අතුරුදන් විය.


අම්මාට , නංගිලාට ඇඳුම් ගැනීම අපහසු කටයුත්තක් බැවින් අම්මාට පමණක් යන්තමින් ඇඳුම් දෙකක් තෝරා ගත් මා නංගිලාට මුදල් ලබා දෙන්නෙමියි සිතුවේ තිබෙන නානාප්‍රකාර විලාසිතා වලින් ඔවුන්ගේ සිත කොතැනක නතර වේදැයි මට සිතාගත නොහැකි නිසා ය.

පිරිමි ඇඳුම් අංශයේ නතර වූ මා සිත දුකින් පිරුණේ තාත්තා ද අප අතර සිටියානම් මා ගෙන යන කුමක් වුවද ඇඳුමක් ඇඳ “ලොකු පුතා “ ගෙනත් දුන්නේ යැයි ආඩම්බරයෙන් සැමටම පවසන බව සිහිවීය.

“ මිස් . . . . ගන්න මහත්තයට ෂර්ට් එකක්. .....“

නිල් පසුබිමේ දික් අතට සිහින් ඉරි වැටුනු කමීසයක මගේ අඟැලි තුඩු නැවතී ඇති බැව් මට දැනුනේ එවිටයි.

“ නැහැ. . .  පස්සෙ වෙලාවක එන්නම් “

ඇඳුම් බෑග් පිටින් ඔසවා ගත් ගැහැණුන් ඇඳුම් අතගාමින් මිල ටැග් දිහා උකුසු ඇස් යොමු කරමින් මුහුණු ඇඹුල් කර ගනිමින් ද, පෙම්වතාගේ අතෙහි එල්ලී පෙම්වතාගේ මුදල් පසුම්බිය හිස් කරමින් යන නව යොවුන් පෙම්වතියන් ද, අලුත උපන් බබාට ඇදුමක් තේරීමට ගොස් බරපතල වාදයකට වැටුනු තරුණ විවාහක ජෝඩු ද, අම්මා සමඟින් ඇඳුම් තෝරන දරුවන් දිහා බලමින් ,මූන ලොකු කර ගෙන මුල්ලක වාඩි වී සිටින මැදිවියේ පිරිමින් ද පසු කරමින් ගොස් කවුන්ටරය වෙත පැමිණි මාගේ පසුම්බියේ ඉතිරි වූයේ යන්තමින් බසයේ යා හැකි මුදලක් පමණි.

කඩයෙන් මහ පාරට පීලි පැන්න ද අධික රස්නයත් ,දිවා ආහාර වේලාව පසු වී ඇති නිසාත් දැනුනේ දැරිය නොහැකි පිපාසයක් සහ බඩගින්නකි. අත් බෑගයට අත එය කැලතූවේ සිතේ සැකයට වුව ද සිත සනසමින් ඇඟිලි තුඩු වලට හසු වූයේ රුපියල් දහයේ විස්සේ නෝට්ටු සහ සිල්ලර කාසි ටිකකි. අපිළිවලේ ඇති වාසි ද නැතිවාම නොවේ.


සීනි බනිසක් සමඟ උණු ප්ලේන්ටියක් බීමට සිතා කඩයකට ලං වූව ද, එහි ඇඳුම් කඩවලටත් එහා සෙනඟය.

“ ෂෝට් ඊට්ස් දෙන්නෑ....බත් කන අයට විතරයි.ටේක්එවේ එකෙන් සල්ලි දීලා ෂොට් ඊට්ස් ගන්න “

වෙනදා මේසයටම කෙටි ආහාර බන්දේසියත් , වතුර වීදුරවත්,සෝස් බෝතලයත් රැගෙන එන ඔවුන් ද වෙනස් වී ඇත. ස්වරය තරමක් උස්ය.

මා වට පිට බැලූ සුනංගුවේ දුටුවේ ලෝකය පෙරළුනත් වගේ වගක් නැතිව අලුත් ඇඳුම් රැඳි බෑගයත් උකුලට තෙරපාගෙන අත් කකුල් වලින් ඇඟට ම තෙරපීගෙන එකම ෆ්‍රය්රයිස් එක බෙදා ගෙන කන පෙම්වතුන් යුවලකි.

දැඩි පිපාසාවත් , කුසගින්නත් කොයින් අතුරුදන් වූයේ දැයි නොදන්නා නමුත් ,ඔබ සිහිවී නෙතට ඉනූ කඳුලේ බර දෑතේ රැඳුනු රෙදි බෑග් වල බරට ද වඩා වැඩි වූයෙන් , පයින්ම බස් ගාල දෙසට පියමන් කළ මා ,ඊළඟ බසයේ ජනේලයක් අසල ආසනයක ගුලි වී මතකයන් අතර සිරවී ගෙදර එන්නට ආවෙමි.

අවුරුදු වේලාසන පැමිණ ඇත........................

කොහෝ හඬ නම් ඇසෙන්නට නැත .................

වසන්තය ගෙවෙන්නට ලඟ මුත් ...................

ඔබේ රුව දකිනට නැත ..................

Monday, March 18, 2013

යාළුවෙක් ගෙන් තෑග්ගක්/A gift from a friend

යාළුවෙක් ගෙන් තෑග්ගක්/ A gift from a friend


පාසල් පළමු වාරය අවසන් වීමට ආසන්න බැවින් ඉවරයක් නැති පාසල් රාජකාරි වලින් හෙම්බත් වී නිවසට පැමිණෙන දිනයන් ගෙන් එක් දිනකි , ඒ මලානික තෙහෙට්ටුව මතට වැටි කුතුහලයක් දිලිසෙන්නට වූයේ නිවසේ සාලයේ මේසය උඩ මා නමින් තිබූ , තවමත් විවෘත නොකළ තැපැල් පාර්සලය නිසාය.

මා දැන් වැඩිහිටියෙකු නිසාත් ,මා නමින් පැමිණෙන යමක් වේ නම් එය පළමුව දැක ගැනීමේ ප්‍රීතිය මා සතු විය යුතු නිසාත් ,මා නමට පැමිණෙන ලිපි කවර ගෙදර කිසිවකුත් විසින් විවෘත නොකර තැබීම සාම්ප්‍රදායකි.

නමුත් ගෙදර වැසියෝ මා එනතුරු උදෑසනම සිට කුතුහලයෙන් ඉන්නට ඇතැයි මට සිතේ.

පාර්සලය සාමාන්‍යෙයන් එක්සර්සයිස් පොතක් තරම් විශාල සහ බරුති විය. එය ලිහා බැලීම මා සතු වුව ද, පිටතින් නිරීක්ෂණය කර ලබා ගන්නා සතුට ඊටත් වඩා වැඩි විය.

වෙත ලිපිනයේ මාගේ නම ගම සඳහන් වුව ද ,ආපසු ලිපිනයේ සඳහන් වූයේ මුලකුරක් සහ සුපුරුදු වාසගමකි. වාසගමේ කියවන විට දීම ඇඳී ගිය රුව කාගේ දැයි අමුතුවෙන් කීමට වුවමනා නැත. පාර්සලයේ ඇති දෙය ද දැන් නම් සක්සුදක් සේ පැහැදිලිය.

පාසලේ සිට ගෙදර ගෙනා දහසක් එකක් රාජකාරි සියල්ල පසෙක ලා හවස් යාමයේ ඇල වූයේ පාර්සලේ වූ පොතේ පිටු එකින් එක පෙරළමිනි.

පිටු අඩු කිරීමට සිතා දෝ , පොත ආරම්භයේ දීම තිබූ කලබලකාරී ගතිය , පොත කියවීමේ රුචිකත්වය මදකට අඩු කළ බව නම් නොකියාම බැරිය.

පොත පිළිබඳ හැදින්වීමත් , ලියා තිබූ පෙර වදනත් වෙන් නොකොටම “ ඩ්‍රැකියුලා ගේ මනාලිය “ නම් පළමු පරිච්ඡේදය ආරම්භ වී තිබුනි.

මාගේ පාසල් ගුරු ජීවිතයේ දී සිසුන් පිළිබඳව කාරුණික නෙත් හෙලිය යුතු බවේ වටිනාකම මනාවට පැහැදිලි කළ එක් කතාවක් යළිදු කියවීමේ හැකියාවක් ඒ පොතෙන් ලැබුනි.





“ ටීචර් ,අපේ දුප්පත්කම ගැන ඔහොම හිනා වෙන එක හරිද?“ ඔහු අසා සිටියේය.“අපේ දෙමාපියන් දුප්පත් නිසා, අපි අපිට තියෙන විදිහට කොට කලිසමක් හරි ඇඳගෙන ඉස්කෝලෙ එනවා.දුප්පත් වීම වරදක් ද ටීචර්.? “ ඔහු ප්‍රශ්ණ කළේ සේනානායක ගුරුවරිය තුෂ්නිම්භුත කරවමිනි.

සම්පූර්න කතාව මෙතැනින් කියවන්න......


එහි මා සිත් ගත් තවත් පරිච්ජේද කිහිපයක් නම්
නිරුවත් රූමතියෝ
ආදර රෝගය
පෙස්සංකාරයා ( මෙවැනි අහිංසක පෙත්සම්කාරයෙකු මා මින් පෙර දැක නැත )
නීච ළමයි
සුද්දට පාර කියූ සැටි

යන පරිච්ජේච සඳහන් කළ හැකි වේ.

මේ සියල්ල ලියැවී ඇති , හරි අපූරු තෑග්ග තමයි





ආනන්දෙ තමයි ඉස්කෝලේ
සිව් වසරක් මරදානේ 

පිටු අසුඅටකින් යුක්ත ඒ කුඩා පොත

ඔබ මා කවුරුත් හඳුනන

කතන්දර නොහොත්

රසික සූරියආරච්චි ගේ පොතකි.



මෙවැනි රසවත් ,එක සීරුවට කියවා නිමා කළ හැකි, සැඟවී ගත් 
සියුම් සංවේදී මානුෂි හැඟීම් සරල බසින් අමුණන ඔබ වැන්නෙකු ගේ බ්ලොගයේ දැනට ලියැවෙමින් පවතින කතා ලියන්නේ වෙනකෙකු දැයි විටෙක මට සිතේ.......................


ඔබගේ බ්ලොගයේ මා වඩාත්ම ප්‍රිය කරනා පැරණි ලිපි අතර කතන්දරගේ දිව්‍ය ලෝක ගමන  හරිම අපූරුයි.




පූර්ණ කාලීන ලේඛකයෙක් වෙන්න නුඹ දකින සිහිනය සැබෑ වෙන්න කියලා පතනව .




ඔබට නැවතත් ස්තූති කරන
මම
සොඳුරු සිත

Thursday, March 14, 2013

උම්මා

උම්මා


ඇය තරුණ විය අවසාන ගැට්ටේ සිටින ප්‍රීතිමත් වැන්දඹුවකි. වටකුරු පිරුණු සිරුර වසා ගත් බාච්චු ඇඳුමෙන් වුව ද ඇගේ කාන්තා රේඛාවන් මනාව විඳිය හැකි වේ. ඇය නමින් උම්මා ය. මා කලින් වැඩ කළ කාර්යාලයට ඇය එන විට පිරිමින් කැළඹේ , “ අන්න උම්මා එනවා “ කටින් කට පැතිරේ. “උම්මා එනවා , උම්මා එනව නෙමෙයි බොල උම්ම දෙනවා “ ඇය ගැන නොදත් වංගියේ මං කීවා මට මතකය.

උම්මාගේ බාල දියණිය සහ මාගේ නැගණියගේ පුතනුවන් එක වයසේ වන්නට ඇත. “ මම්මා උම්මා “ යැයි කියමින් ් පොඩි එකා ළඟට එන්නේ නම් මොකක් හෝ බරපතල දඩයක් ගැසීමට බව මම දනිමි.


පොඩි එකාගෙන් “ උම්මා “ ගැනීම අතිශය දුශ්කර දෙයක් වුවද ,ඔහුට යමක් ඕනෑ වුන විට නම් පැන පැන “ උම්මා “ දෙයි. ඒ බොහෝමයක් “කෙළ උම්මාය “ “ උම්මා “ දුන් පසුව හොරාට මූණ පිස ගන්නේ ,දැක්කොත් පොඩි එකාට දුක හිතෙනා බව දන්නා බැවිනි.


මා පොඩි එකා සංදියේ නම් මට “උම්මා “ ඕනි තරම් ලැබුනත් , අතපය කර දික්වී ලොකු කෙල්ලක වූ පසු ලැබෙන “ උම්මා “ හිඟ විය. අම්මා ද උම්මා දෙන්නේ නෝක්කාඩු කියමිනි. “ ලොකු ළමයි නේ ,තාමත් මගෙත් උම්මා ඉල්ලන්නේ “ ඇය නොකියා කියන්නේ වෙනකෙකුගෙන් “උම්මා “ ඉල්ලා ගන්නට කියා වන්නට ඇත.


“ හාච්චි “ “ හාදු “ “උම්මා “ “කිස් “ මේ සියල්ලම එකම කැටගරියේ වුව ද විවිධ වෙනස් කම් ඇති බව මට සිතේ. 


තොල් වලට ලැබෙන “කිස් “ වලට වඩා කම්මුලට ලැබෙන “උම්මා “ පිවිතුරුය. සොඳුරුය,ආදරණිය  සහ උණුසුම් වේ.


එනමුදු ,බෙල්ල බදා ,දෑසට එඹී , කෝල සිනා පා මා ඔහු වෙත පුදන “උම්මාමාමාමාහ් ....“ මේ සියල්ලට වඩා වෙනස් බව මම දනිමි.


“උම්මා “ ප්‍රසිද්ධියේ දීම මා සිටිනා රටේ නම් වටේ සිටින මිනිසුන්ගේ මූණු ඇඹුල් කරන සිද්ධියක් වුවත් වෙනත් බොහෝ රටවල මා දැක ඇති පරිදි ප්‍රසිද්ධියේ “උම්මා “ දීම අවට සිටින අයවලුන්ගේ ද මුහුණට සතුටු සිනා ගෙනෙනා රස බර අවස්ථාවකි. මෙය මා සිටිනා රටේ ද පොඩි පහේ දරුවන් සඳහා අදාළ නොවේ.

කම්මුලට කම්මුලක් නොපා ,තොලට තොලක් නොදී චැට් සහ ජංගමය මඟින් උදේ ,දිවා,රාත්‍රී හුවමාරු වන “උම්මා “ ගණන අති මහත් සංඛ්‍යාවක් විය හැක.

ළඳරු අවධියේ සෑම දිනකම සෑම වේලාවකම පාහේ ලැබෙන “උම්මා “ ක්‍රමයෙන් යොවුන් වියටත් ඉන් පසු තරුණ සහ මහළු වියටත් යන විට සීශ්‍රලෙස ක්ෂය වී යාමට පටන් ගනී.

නමුත්.........................

ගැහෙන දෑත් වලින් බදා , ගැහෙන හදවත ගැන නොසිතා , ගැහෙන තොල් මත පොපියූ නුඹේ “උම්මෙක“ ඊයේ මෙන්ම අදටත් හෙටටත් ම.සිතට ගෙනෙනා සැනසුම මෙතෙකැයි කිව නොහැක.


ඉතින් එහෙනම් 



“උම්මමමාමාමාමාහ්...........................“



උම්මෙකක් අරන් ඔයා එනකම් අන්තිම උම්මෙකේ හයන්නේ එල්ලිලා ඉන්න 
මම
සොඳුරු

Tuesday, March 12, 2013

පාට කූරු

පාට කූරු





“ මූණෙ ගාණ ලස්සනම පාට ඉවරෙලා “

“ ඔයා ආසම පාට “
“ මම ගෑවම ලස්සනම පාට “

“ අනේ . . . . . . “

“ කිසිම කඩේක ගන්නත් නෑ . . . “
“ ඔයා ළඟම විතරයි ඒ පාට තියෙන්නේ “
“ අනේ . . . . . .“

“ ඒ පාටත් අරන් , ඉක්මනින්ම මාව බලන්න එනවැයි “
“ ඒ පාට නැතිව මගෙ මූණම මැලවිලා වගෙයි “
“ ඔය අත් දෙකේ ඒ පාට තවරන් ඇවිත් “
“ මගෙ මූණටත්. . . . “
“ ඔය තොල් දෙකේ තියෙන තද පාටින් , මගේ නලලටත් “
“ පෙම් පාට “

“ අරන් එන්න. . . . . ඉක්මනින්. . . . “




මූණට පාටයි ,ඇඟට සුවඳයි අරන් එනකම් බලා ඉන්න
මම
සොඳුරු



Friday, March 8, 2013

පාළුයි.........

පාළුයි




මෙච්චර ලොකු තැනක
කොච්චර කට්ටිය හිටියත්
අච්චර පුංචි හිතේ පාළුව
මකන්න බැහැ රත්තරනේ.................

ඔච්චර දුර ඉදගෙනත්
මෙච්චර දුක් දෙන්නේ
කොච්චර ආදරේ ද කියලා
පෙන්වන්න ද රත්තරනේ........................


මහ බොළඳයි නෙහ්.................


කවිය වගේම පින්තූරයත් මගේ


පාළුවෙන් ලීව
මම
සොසී

Saturday, March 2, 2013

රතු හැට්ටකාරිගේ හදවත

රතු හැට්ටකාරිගේ හදවත



රතු හැට්ටකාරිට හරි ඉක්මනට අතීතය අමතක වෙනවා. ගෙදර මොනා හරි කෑමක් හැදුවොත් , ඇයට පරණ කතා ඔක්කෝම අමතකයි.ඉතින් එයා කෑම නිවෙන්න කලින් ම බෑග් එකේ දාගෙන , අර රතු පාට ලස්සන හැට්ටෙත් ඇඳ ගෙන ( දැන් ඒ හැට්ටය ඇයට හරි හිරයි ) අර ඝන කෑලැවක් මැද්දෙ ඉන්න පිස්සු ආච්චිව හොයන යනවා.මඟ දිගට සින්දු කෑලි බිම හැලෙනවා. හැට්ටෙත් හිරයි. රතු හැට්ටකාරිට මේ හිර ගතිය නිසා ඇය හිතුවා හදවත ගලවල අතට අරන් යන්න. කීවත් වගේ හදවත අතට ගත්තම හැට්ටෙ හිර ගතියත් අඩු වුනා.ඇය ආයෙත් සින්දු කිය කිය. හදවත ටිකක් හයියෙන් අල්ලගෙන,අනිත් අතින් කෑම මල්ලත් හොලව හොලව කැලේ මැදින් යනවා.

ඒ අස්සේ “නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී“........ කැලෙන් ඇහෙනවා අලුත්ම තාලේ හෙන ජනප්‍රිය සින්දුවක්.....අම්මප කවුද මේ..... ඔව් පරණ කතාවෙ හිටි නරිහාමි තාමත් බලා ඉන්නවා රතු හැට්ටකාරි එනකම්......

මෙදා සැරේ නම් නරි නයිදේ ආච්චිගෙ ගෙදෙට්ට රිංගන්න ගියේ නෑ. කෙළින්ම පැන්නේ කෙල්ල එන පාර ඉස්සරහට.“නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී“.. නරි නයිදේ ගෙ ලෝම හැළුනු නට්ට වන වනා නරි නයිදෙ බෙරිහන් දීගෙන ඇය එන මඟ ඉස්සරහට පැන්නා.

“දෙයියනේ.....................“ ඊට පස්සේ මොකද වුනේ. එක අතක හදවත, අනිත් අතේ උණු කෑම බාස්ට් එක.ඉස්සරහින් නාකි නරිනයිදේ.පිටි පස්සෙ පාරත් වැහිලා.වටේටම හෙන කැලේ...... 

“ඉතින්..........ඊට පස්සේ “ අයාගත්ත කටින් මා දිහා බලා ඉන්න පොඩි එකා ඇහුවේ මගේ දණහිසක් තදින් අල්ලන ගමන්......

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...