..... I am the poem that's  yours but doesn't belong to you ever,...

Friday, February 15, 2013

ඔහේ ලියැවුනු කවි



ඔහේ ලියැවුනු කවි



තනි මට රැහැයි හඬ තනිකම ................. රකින්නයි

තනි මට දිලෙන තරු තනි තරු ...........නොවෙන්නයි
තනි මට මගේ හිත වදයක් ................නොවෙන්නයි
තනි කම මගේ ළඟ තනියට.................... සිටින්නයි

තනි නැහැ සඳ වටේ දිලිසෙන තරු ..................රෑන
තනි නැහැ කුමුදු මල සුවඳයි මුළු......................රෑම
තනි නැහැ නුඹත් නුඹ ළඟ ඇත සඳ ................පාන
තනි මට මොකට සඳ රැය,  සඳ දුර................... ඈත



තනියෙන් කවි ලියන
තනි
මම
සොඳුරු

Thursday, February 14, 2013

හදිසි මරණය



හදිසි මරණය






අද මහ මූසල දවසක්..... ( දින පොතේ අන්තිම සටහන ආරම්භ වෙලා තිබ්බෙ එහෙම )



ඔළුව රිදෙන්න ගත්තා.ඉවසන්න බැරි තරමට. පුංචි කුරුමිණීයෝ ගොඩාක් ......ඔළුට රිංගලා. ඔළුව අවුස්ස අවුස්ස මොනා දෝ හොයනවා.


මොළේ ස්නායු තන්තු ගොනුවක් උස්සපු එකෙක්


“ එතැනත් නෑ “



කියල කියනව මට ඇහුනා.තදින් වේදනාව දැනුනත් මම ඉවසුවා. ඔයාව හංඟපු තැන උන් හොයා ගන්නවට මං කැමැති නැහැ.


“නැහැ නැහැ මෙහේ නැහැ....“



අන්තිමේ දී ලොකු වේදනාවක් දීගෙනම උන් ටික පල්ලම් බහිනව දැනුනා. දරා ගන්න බැරි හිස වේදනාව නිසා ඔළුව අල්ලන් බිම පෙරලි පෙරලි හිටිය මට දැනුනා පපුවේ වම් පැත්තට වෙදනාව විහිදෙනවා.....


“ඔවු ..උන් එතැනටත් ගිහින් “


දැන් නම් මට ඔයාව බේරන්න බැහැ රත්තරනේ...උන් ඔයාව කොහොම හරි හොයා ගනීවි.හදවතේ හැම අංශුවකම රිංගලා ,මම ඔයාව හංඟපු තැනින් එළියට ගනීවි.....


“ ඔයා , මගේ මතක ක ක ක , තව ටිකයි , හැංඟෙන්න හැංඟෙන්න. . . ඉක්මනින් ..... මගෙන් ඈතට ගිහින් හැංඟෙන්න. උන් එනවා. ළඟට එනවා..... ඔන්න.........“

“දෙයියනේ................. මගේ පපුව....ආහ් ......“


---------------------------

“ කාමරේ පැත්තෙන් සද්දයක් ආපු නිසා , මම දුවල ආවා බලන්න “ ඒ ගෙදර හිටපු එකම ගෑණු පරාණේ. නාකි ඇසිලින්..... කඳුළු පුරවන් කාටදෝ කියනවා.



“ මොක ද කීවේ “ ඒ , ඉස්පිරිතාලෙට ගිහින් ගෙට ගොඩ වෙන්නත් කලින් රන්බණ්ඩාව වට කර ගතපු කාණ්ඩෙ අහපු විදිහ.



“ හාට් ඇට්ටෑක් එකක් කීවේ “



පෙරළුනු පුටුව කාමරයේ ඒ   විදිහටම තිබ්බා. පෙරළුනු හැටි අඟුරු කෑල්ලකින් ඇදල තිබ්බා. හරියට අමතක වෙයි කියල වගේ.

දහසක් රහස් හංඟ ගත්ත දින පොත විතරක් , ජනේලයෙන් ආපු හීනි සුළඟටත් පිටු පෙරල පෙරල ,මේසේ උඩට වෙලා ඔහේ බලාන  හිටියා.

Wednesday, February 13, 2013

වැලන්ටයින් හමුවිය.............Valentine's Day special


වැලන්ටයින් හමුවිය.............



ඉරිච්ච කමිසයක් ඇඳන්
කැඩුනු රබර් දෙකක් දාන්
ගාට ගාට ආපු කෙනෙක්
මඟදි හම්බුනා
අනේ නෝනෙ මගෙන් මලක්
ගන්න එකක් ශත පනහයි
පරණ ගෝනි මල්ලක කට
ඇරල පෙන්නවුවා
සුවඳ හමන නමුත් පරණ
වියළී ගිය රෝස කුසුම්
ගෝණි මල්ල පුරවාලා
තිබුනා පරවෙලා
පර මල් මොකටද අන්කල්
පර වෙන්නෑ දැන් ඇති මල්
කඩෙන් ගන්න එකක් දෙසීයයි
පර වෙන්නෑ ආදරෙ වගෙමයි
ගෝණි මල්ල කරේ තියන්
කඳුළු පිරුණු නෙතු හරවන්
ආපසු යන්නට වාගේ උන්දැ සැරසුනා
“ උන්නැහේ නම මොකක් ද “
මමත් විමසුවා
ආ මග ඉදිරියට පයක් තබා හැරුනු
ලොකු උන්නැහැ
“ වැලැන්ටයින් “
“ වැලැන්ටයින් “
“ වැලැන්ටයින් “
මගේ නමයි “ වැලැන්ටයින් “
කිය කිය පිස්සුවෙන් වගේ
යන්නට ඇදුනා
“අනේ කොහෙ ද යන පිස්සෙක්“
කෙල්ලකගේ අත දවටන්
එතනින් ගිය තරුණ පොරක්
හයියෙන් කීවා
කෙල්ලත් එක්කම හෝටල්
කාමර නැහැ ඔක්කම බුක්
කාමරයක් නැද්ද ගන්න
රහසින් ඇසුවා
සමරන්නට වැලන්ටයින්
කාමර අද හරිම ගනන්
බොක්ස් ඇති තැන් නැද්ද
මෙහේ කෙල්ලත් ඇසුවා
අනේ මෙහෙම රටක් කොහේ
ආදර සුව විදිනු නොහේ
මගේ ස්වීට් හාට් මගේ මතකෙට ආවා
පර මල් රුපියල් හතරක
අරන් දෙන්න හිතන් මමත්
පිස්සු වැලන්ටයින් ගිය මග
ඔස්සේ වැටුනා
“ ඉන්න ඉන්න වැලන්ටයින් “
අත් පොඩි ගසමින් පස්සෙන්
පන්නා ගිය නමුදු අනේ
“ මට මඟ ඇරුනා “


තාමත් වැලන්ටයින් පස්සෙන් පන්වන
මම
-සොඳුරු-

Monday, February 11, 2013

හීරළුවා


හීරළුවා






“ මේ මොකද දරුවනේ , යන්න යන්න පන්ති වලට යන්න. . . .  වෙන වැඩ නැද්ද මෙතන “

දැල් වල එල්ලෙමින් ද , එකිනෙකා පරයා සුපුරුදු පරිදි පොරකමින්  ද පාසල් දරුවන් කන්දේ ඉහල සිට කන්ද පාමුල ඇති පාසල් කාර්යාලය තුලට එඹීමට පොර කයි.

ගුරුතුමියගේ වචන පයිසෙකට මායිම් නොකල කුඩාවුන් අතින් කටවල් වසා ගන්නට ගන්නා අසාර්ථක උත්සාහය පරයා ඔවුන්ගේ ටිකිරි සිනා හඬ රැව් දෙමින් ඇසේ.


ඔවුන් දෙස බලා උපදෙස් දුන් ගුරුතුමියගේ මුහුණේ ද ඔවුන් පිළිබඳව උපන් අමනාපයක් තරහවක් නැති බව මා දුටුවේ , මට පිටු පා සිටි ඇය , සඟවා ගන්නට උත්සාහ කරපු සිනාවක් මුව රඳවා ගනිමින්ම මා වෙත හැරෙනු දුටු විට ය.


මොක ද මිස් . . . . . “ 


“ මෙහෙ වරෙන් බං කියන්න “

මා ගේ දකුණතින් ඇඳ ගෙන ,පුපුරන්නට ආසන්න සිනාව ද අපහසුවෙන් නමුත් මැඬගෙන ඇය මාද කැටුව පිය නැගුවේ ගුරු විවේක කාමරය දෙසටයි.

ගුරු විවේක කාමරයට කිසිම විවේකයක් නොමැත. හීන් ගුමු ගුමුවකින් ද , විටෙක ගුමුව අතරින් මතු වෙන කැකිරි සිනාවකින් ද ගුරු විවේක කාමරය එළිය වෙයි.

ගුරු විවේක කාමරය එකම රස ආකාරයකි. 

මම මිතුරිය දෙස නෙත් හෙළුවේ . මොකක් නමුත් මා නැති අතරේ සිදු වී ඇති දේ කුමක් දැයි දැන ගන්නා අටියෙනි.

“ මිස් දැක්කයි . . . . . “

එකෙකු මගෙන් විමසයි.

“ මොකක් ද ? “

සියල්ලෝම හඬ නගා සිනාසෙයි.

“ මොකක් ද බන් වෙලා තියෙන්නේ. කියහන්කො මටත් “


සිත නොඉවසිලිමත්ය. යෙහෙළියට වගේ වගක් නැතිව සිනාසෙයි.

“ කියහන් කෝ . . . . “

නොඉවසිල්ල අමනාපයක් බවට හැරෙයි.

“ හි හි . . . . අන්න අරය වැඩලා “

“ කවුද ? “

“ හාමුදුරුවො බන් හාමුදුරුවෝ . . . . .“

“ මොන . . . ? “

“ අයියෝ, කොයි ලෝකෙ ද ඉන්නේ.? ගල් ඉබ්බි “

කුකුස ගලා හැළේ. . . . .  

“ ඇයි බන් , උඹට මතක නැද්ද. අපේ හාමුදුරුවෝ . “

“ ආහ් . . . ඔවු. අවුරුද්ද පටන් ගත්තත් හරි , මේ වාරෙටම ආවේ නැහැ නේද උන්නාන්සේ “

“ මොන උන්නාන්සෙ ද අන්න සෝමපාල මහත්තය ඔෆිස් එකට වැඩලා “

“ ඒ කීවේ ? “


“ සෝමරතන බන් සෝමරතන “

“ උඹ දැක්ක ද? “ එකියක මැදට පැන අසන්නේ ,මුහුණ පුළුඨු කර ගනිමිනි.

“ ඔවු . . . “

“ කොහොම ද හැඩ ද ?“


ඒ තව එකෙකි.

“ අනේ මන්දා . . . මගෙ නම් හිත කළකිරුනා “ ඒ විශ්‍රාම යෑමට ආසන්න වයසේ පසුවන ගුරුතුමියකි.

“ කියහන් කෝ.“

“ මක්කයි . . .“

“ කලිසමට හැඩෙයි “


එයට පිළිතුරු දීමට කට ඇරිය නැටුම් ගුරුතුමියගේ කට වසා ගැනුමට නොහැකිව මුහුණ ඇඹුල් වී යන සැටි දුටු මා , ඇගේ නෙත් යොමු වී ඇති ඉසව්ව දෙස බැලීවෙමි.

පැහැපත් ,සිහින් උස දේහය වසා ගත් කහචීවරය , වෙනුවට රෝස පැහැති පසුබිමේ සිහින් සුදු ඉරි වැටුණු අත් දිග කමිසයකි. කවදාවත් සිවුර මිස හැඩයක් නොදුටු ඒ දෙපා වසා ගත් අලුත්ම පන්නයේ කළු පැහැති යන්තමින් දිලිසෙන කලිසමකි. හොඳින් මැද දිස්න දෙන කුනු පොදක් නොරැදි කළු සපත්තු ජෝඩුවකි.

මා හුන් තැනින් නැගුටුනෙමි.

වටේ උන් අය මුවට නැගි සිනාව ආයාසයෙන් මැඩ ගනු මම දුටුවෙමි.
“ වඩින්න හාමුදුරුවනේ . . . . . “ විහිළුවට උපන් හපන්කම් ඇති ගණිත ගුරුවරයා ගෙ හඬයි ඒ.

ඔහුගේ මුහුණ බැලීමට මා සිත වූයේ චකිතයකි. අනිත් වුන් හා ඔහු සංවාදයේ යෙදෙද්දී , හොර රහසේ මම ඒ මුහුණ පිරික්සමි.

එදවස ද රටාවක් නොමැතිව නමුත් තට්ටයක් නොවූ හිස වසමින් පැතිර තිබූ හිස කෙස් වලට රටාවක් වැටී ඇත. 

එදවස ඇතැම් ගුරුවරයෙකු “ හාමුදුරුවනේ දැන් අට පිරිකරට දැලි පිහි ලැබෙන්නැතෙයි “ විමසූ විට , සිනා වී බිම බලා ගන්නා හාමුදුරුවන් මට සිහිවිය.

කිසිදා රුවුල් ගසක් දැක නොතිබු ඒ සුදු සෝබර මුහුණට හදිසියේම පැමිණි රැවුල් ගස් නවතම තාලයට කපා ඇත. මා ඒ රැවුල් කට් එකට ආසා කරන වග සිහිවී ,මා සිත් ගත් කෙනෙකු මතකයට විත් සිනා වී ගියේය.

එය පොයින්ටින් කට් නමින් පෙර හැදින්වූ කට් එකට සමාන වුව ද, කට් එකේ ස්වරූපය ඉතිරි කරමින් , මැද හරිය නොමැතිව වටේන් හැඩය තබා කපන ලද්දකි. 

ඔහු දොඩවයි. කිසිවෙකුට සෘජුව මුහුණ නොදෙයි. නමුත් සියළු දෙනා අසන පැනයන්ට කුමක් ම හෝ පවසයි. වරින් වර ඇදුම සකසයි. පුටුවේ අසුන්ගෙන සිටින්නේද අපහසුවෙනියි මට සිතේ.

මා සිත ඔහු ගැන උපන්නේ අපරිමිත අනුකම්පාවකි.

සියල්ල අවසන් බැව් හැඟීමට මෙන් ඔහු යන්නට නැගිට්ටේය. සියල්ලෝම පුරුද්දට මෙන් තම තමන් ඔත් අසුන් වලින් නැඟී සිටින්නට විය.

මාද නැඟී සිටියෙමි.උපන් අනුකම්පාව නිසාම ඔහුගේ මුහුණ දෙස සෘජුව බැලූවෙමි. ඔහු මා මඟ හැරි නමුදු ඇස් වල වූ යම් එඩිතර ගතියක සේයාවක් යන්තමින් දුටුවෙමි.

“ ඔහොමම පන්ති වලටත් වැඩිය නම් හාමුදුරුනේ “ ගුරු විවේක කාමරයෙන් පිටතට පා තබත්ම තවත් විහිළුකි.

ගමනේ වෙනසක් නැත. ඒ සාන්ත ගමන එදා මෙන්මය. පිටු පා යන   ඔහුගේ සිත තුල පැන නැගි ගැටළු කුමක් දැයි මට කිව නොහැකි වූව ද, ඔහු අප හට නම් ගැටළු රාශියක් ඉතිරි කර ගිය බැව් නම්   සහතික වන්නේ තවත් දින, සති,මාස ගණනාවකටම ඔහු ගුරු විවේක කාමරයේ ප්‍රධාන මාතෘකාව වන බැව් හැඟුන පෙර නිමිති පහළ වූ බැවිනි.

“ තව ටික දවසකින් කෙල්ලක්ව අරන් එයි බන් “ ඒ අවිවාහක තරුණ කාර්යාල සහයක නිලධාරියාය.

“ දැනටත් ඇති “

“ අපියි බන් මෝඩයෝ“

“ සාසනේ පැවැත්ම ගැන අහන්නත් දෙයක් ද “

“ මට නම් කළකිරුනා “

“ හැබැයි මෑන් ගෙ අර වම් උරහිස ටිකක් උසයි නේද දැනුත් ?“

පැවදි අවදියේ සිවුරෙන් වැසුනු වම් උරහිසේ බර දරා ගත නොහැක්කේ , ඔහුට ද අපිට ද යනුවෙන් ඇසුමට සිත් වූව ද , මට මතක ඇති කාලය පුරා මේ පාසලේ සිසුනට සහ ගුරුවරුනට පන්සිල් දුන් ,දිග වේවලක් අත දරමින් නොහික්මුණු දඩබ්බරයන්ට දඩුවම් දුන් , පාලි ගාථා ශබ්ද නගා කියමින් බුදුදහම ඉගැන්වූ ඒ අපූරු පැවිද්දාගේ උපැවැදි ජීවිතයට සුබාශිංසන පැතීමට නොහැකි වීම ගැන ම‘සිත දොස් නගන්නට විය.




මේ දීර්ඝ සසර ගමනේ කෙළවරක දී බුදුන් දැක නිවන් දකින්නට නොව , මේ ජීවිතය මා දකින සිහිනයක් පමණක් යැයි සිතන 
මම
සොඳුරු සිත

Saturday, February 9, 2013

ගෙම්බියෙක්ට තටු ඇවිදින්

ගෙම්බියෙක්ට තටු ඇවිදින් 





“ ළිඳක ඉන්නා පුංචි ගෙම්බියෙක්ට , ලෝකෙ වටේ කරක් ගහපු මෝරපු කුරුල්ලෙක්ව හමුවෙලා. දැන් ගෙම්බිගෙ කල්පනාව ඌත් එක්ක ලෝකෙ වටේම යන්න... “

ගෙම්බි ළිං කටෙන් ගොඩ එද්දිම වගේ මේ කුරුල්ලත් එතනටම පාත් වෙලා හිටියා. දවස් ගානක් උඩ පැනල, තණ කොළ ගස් අගිසි වල එල්ලිලා යන්තම් ළිං කටෙන් ගොඩ එද්දිම කුරුල්ලෙක් ගෙ හොටේ පහස විඳින්න වෙයි කියල ළිං ගැට්ටටම ඇවිත් ආපහු වැටුනු අවස්ථා කොච්චර නම් තිබ්බ ද.


මෙදා සැරෙත් . . . . . . . . . . . . . 



ඒත් . . සිද්ධ වුනේ නොසිතූ දෙයක්.


“ හා හා . . .  යන්නෙපා “ කුරුල්ලා කීවේ ආයාචනාත්මක හඬින්. ළිං ගැට්ටෙන් යන්තම් උඩට ඇස් උස්සල බලපු ගෙම්බි ඒ ලස්සන කුරුල්ලව දැක්කා.


ලෝකෙ තියෙන්න පුළුවන් හැම පාටම ඒ කුරුල්ලා ගාව තිබුනා කියල ගෙම්බිට හිතුනත් , ළිං පතුලෙ මඩ පාටවත් කළුවර නිසා ගෙම්බි හරියට දැකල තිබ්බෙ නැහැ.


ගෙම්බිට මේ ඒකාකාරි ළිං ජීවිතේ එපා වෙලා තිබ්බා. ඒ ළිඳට කවදාවත් බාල්දියක් වැටුනෙ නැත්තෙ ගෙම්බිගෙම වෙලාවට.නැතිනම් ගෙම්බි මීට කලින්ම ළිඳට මෙපිට ලෝකය දැකලා.


ඉතින් ඊට පස්සෙ කතාව පටන් ගත්තා.  කුරුල්ලට ඕනි උනේ හොඳ ඇහුම්කන්  දෙන්නෙක්ව. ගෙම්බිට ඕනි වුනේ තමා මෙච්චර කල් නොදැකපු ලෝකය ගැන විස්තර දැන ගන්න.


කුරුල්ලා දිගටම කියවන්න ගත්තා. ළඟට ආපු නැවුම්ම නැවුම් මැස්සො දෙතුන් දෙනෙක් දිවෙන් අල්ල ගමන්ම ගෙම්බි කුරුල්ලට ඇහුම් කණ් දුන්නා.


“ ලෝකෙ හරිම ලස්සනයි නෙ . . .  “ගෙම්බි විටින් විට කීවා.



ඒ වෙලාවට විතරක් අමුතුම ජාතියේ හිනාවක් එක්ක ගෙම්බි දිහා හිස හරවල බලපු කුරුල්ලා ආයෙත් දිගටම කතාව පටන් ගත්තා.


“ ඔයා අහගෙන ද ඉන්නේ “


සමහර වෙලාවට කුරුල්ලා අහනව එහෙම.


ඊට පස්සෙ ඉදන් මැස්සොන්ට ගියපු අවධානය අඩු කරපු ගෙම්බි දිගටම හූ මිටි තියන්න ගත්තා.


“ එහෙ හරි ලස්සන කිරිල්ලියො හිටියා. මම ආදරෙන් බැඳුනා “

“ හ්ම් . . . . . “

“ මට කූඩුවකුත් ලස්සන පවුලකුත් හිටියා “

“ හ්ම් . . . . . . “

“ ඒත් මට ලෝකෙ වටේ නොයා ඉන්න බැරි වුනා “

“ ඒ කීවේ.......“

ලස්සන ලොකු ඇස් දෙක ගෙම්බගෙ පැත්තට හරවපු කුරුල්ලා....ටිකක් වෙලා ගෙම්බි දිහා බලා හිටියා.

“ ඔයාට තේරෙන්නෑ . . . . .“


“ හ්ම් . . . . . . “


එදා ඉදල හැමදාම ගෙම්බිට කතා ගොඩාක් අහන්න ලැබුනා.ලෝකෙ ගැන.....


ඒත් දවසක්.....

ගෙම්බිට මේ  කතාන්දර ඇසීම එපා වෙලයි තිබ්බෙ. ඇයට ඕනි වුනා කුරුල්ලා ගැන දැන ගන්න.


උගෙ ලස්සන තටු ගැන.

ඒ තටු වල දිස්නෙ ගැන.

පරිස්සමට තියාගෙන ඉන්න හැටි ගැන.


කුරුල්ලා ආස්රය කරන අය ගැන.උගෙ පුද්ගලික හැමදෙයක් ගැනම දැන ගන්න ගෙම්බිට ඕනි වුනා.


ගෙම්බි මුණ ගැසුන දවසෙ ඉදල සතුටින් බබලපු කුරුල්ලගෙ පුංචි ඇස්, ගෙම්බිගෙ උවමනාව දැන ගෙන අඳුරු වුනා.... කවදාවත් වැහි වතුර පොදක් ඇරෙන්න වෙන කිසිම තෙතමනයක් නොවැටැනු ළිං පතුලට කුරුල්ලාගෙ කඳුළු බින්ඳුවක් වැටුනා.



ඊට පස්සේ ටික දවසක් යනකම්ම ගෙම්බිවත් කුරුල්ලවත් ළිං ගැට්ට ළඟ දකින්න හිටියෙ නැහැ.


“ කපටි කුරුල්ලා . . .  ගෙම්බිව එක කටට කන්න ඇති “ සමහරු කීවා.


ඒත් ......



ගෙම්බියෙක් ලස්සන තටු දෙකකින් අහස පුරාම පියාඹනවා....... දවසක් මම හීනෙන් වගේ දැක්කා.

Thursday, February 7, 2013

සිනා මලක්

කඳුළු බින්දු ගමනක් ගිහින්




සිනා මලක් සුළඟ දිගේ පාර හොයා ගෙන
ඇවිත් නතර වෙලා මෙහේ මිදුල කොනේ සිට
අනේ එන්න නතර වෙන්න මගෙ ළඟ ටිහකට
කඳුළු බින්දු දුර ගමනක් ගොස් ටික දිනකට

Monday, February 4, 2013

නුඹ/නුබ


නුඹ






ලියන්න උල්පත් පෑනක් වාගේ

කවියට එළිසමයක් වාගේ .............

හිනා උනත් නුඹ කතා කරත් නුඹ

මට නම් අහස වගේ........

බදා ගන්න හිතුනත් මේ දෑතට

සදා සිසිල දේ නම්

සෙවනට වී හුරතලේට ඉන්නම්

අයිති කියන්නෑ මං


ඔයාට අයිති නැති
මම
- වත් -

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...