හීරළුවා
“ මේ මොකද දරුවනේ , යන්න යන්න පන්ති වලට යන්න. . . . වෙන වැඩ නැද්ද මෙතන “
දැල් වල එල්ලෙමින් ද , එකිනෙකා පරයා සුපුරුදු පරිදි පොරකමින් ද පාසල් දරුවන් කන්දේ ඉහල සිට කන්ද පාමුල ඇති පාසල් කාර්යාලය තුලට එඹීමට පොර කයි.
ගුරුතුමියගේ වචන පයිසෙකට මායිම් නොකල කුඩාවුන් අතින් කටවල් වසා ගන්නට ගන්නා අසාර්ථක උත්සාහය පරයා ඔවුන්ගේ ටිකිරි සිනා හඬ රැව් දෙමින් ඇසේ.
ඔවුන් දෙස බලා උපදෙස් දුන් ගුරුතුමියගේ මුහුණේ ද ඔවුන් පිළිබඳව උපන් අමනාපයක් තරහවක් නැති බව මා දුටුවේ , මට පිටු පා සිටි ඇය , සඟවා ගන්නට උත්සාහ කරපු සිනාවක් මුව රඳවා ගනිමින්ම මා වෙත හැරෙනු දුටු විට ය.
“ මොක ද මිස් . . . . . “
“ මෙහෙ වරෙන් බං කියන්න “
මා ගේ දකුණතින් ඇඳ ගෙන ,පුපුරන්නට ආසන්න සිනාව ද අපහසුවෙන් නමුත් මැඬගෙන ඇය මාද කැටුව පිය නැගුවේ ගුරු විවේක කාමරය දෙසටයි.
ගුරු විවේක කාමරයට කිසිම විවේකයක් නොමැත. හීන් ගුමු ගුමුවකින් ද , විටෙක ගුමුව අතරින් මතු වෙන කැකිරි සිනාවකින් ද ගුරු විවේක කාමරය එළිය වෙයි.
ගුරු විවේක කාමරය එකම රස ආකාරයකි.
මම මිතුරිය දෙස නෙත් හෙළුවේ . මොකක් නමුත් මා නැති අතරේ සිදු වී ඇති දේ කුමක් දැයි දැන ගන්නා අටියෙනි.
“ මිස් දැක්කයි . . . . . “
එකෙකු මගෙන් විමසයි.
“ මොකක් ද ? “
සියල්ලෝම හඬ නගා සිනාසෙයි.
“ මොකක් ද බන් වෙලා තියෙන්නේ. කියහන්කො මටත් “
සිත නොඉවසිලිමත්ය. යෙහෙළියට වගේ වගක් නැතිව සිනාසෙයි.
“ කියහන් කෝ . . . . “
නොඉවසිල්ල අමනාපයක් බවට හැරෙයි.
“ හි හි . . . . අන්න අරය වැඩලා “
“ කවුද ? “
“ හාමුදුරුවො බන් හාමුදුරුවෝ . . . . .“
“ මොන . . . ? “
“ අයියෝ, කොයි ලෝකෙ ද ඉන්නේ.? ගල් ඉබ්බි “
කුකුස ගලා හැළේ. . . . .
“ ඇයි බන් , උඹට මතක නැද්ද. අපේ හාමුදුරුවෝ . “
“ ආහ් . . . ඔවු. අවුරුද්ද පටන් ගත්තත් හරි , මේ වාරෙටම ආවේ නැහැ නේද උන්නාන්සේ “
“ මොන උන්නාන්සෙ ද අන්න සෝමපාල මහත්තය ඔෆිස් එකට වැඩලා “
“ ඒ කීවේ ? “
“ සෝමරතන බන් සෝමරතන “
“ උඹ දැක්ක ද? “ එකියක මැදට පැන අසන්නේ ,මුහුණ පුළුඨු කර ගනිමිනි.
“ ඔවු . . . “
“ කොහොම ද හැඩ ද ?“
ඒ තව එකෙකි.
“ අනේ මන්දා . . . මගෙ නම් හිත කළකිරුනා “ ඒ විශ්රාම යෑමට ආසන්න වයසේ පසුවන ගුරුතුමියකි.
“ කියහන් කෝ.“
“ මක්කයි . . .“
“ කලිසමට හැඩෙයි “
එයට පිළිතුරු දීමට කට ඇරිය නැටුම් ගුරුතුමියගේ කට වසා ගැනුමට නොහැකිව මුහුණ ඇඹුල් වී යන සැටි දුටු මා , ඇගේ නෙත් යොමු වී ඇති ඉසව්ව දෙස බැලීවෙමි.
පැහැපත් ,සිහින් උස දේහය වසා ගත් කහචීවරය , වෙනුවට රෝස පැහැති පසුබිමේ සිහින් සුදු ඉරි වැටුණු අත් දිග කමිසයකි. කවදාවත් සිවුර මිස හැඩයක් නොදුටු ඒ දෙපා වසා ගත් අලුත්ම පන්නයේ කළු පැහැති යන්තමින් දිලිසෙන කලිසමකි. හොඳින් මැද දිස්න දෙන කුනු පොදක් නොරැදි කළු සපත්තු ජෝඩුවකි.
මා හුන් තැනින් නැගුටුනෙමි.
වටේ උන් අය මුවට නැගි සිනාව ආයාසයෙන් මැඩ ගනු මම දුටුවෙමි.“ වඩින්න හාමුදුරුවනේ . . . . . “ විහිළුවට උපන් හපන්කම් ඇති ගණිත ගුරුවරයා ගෙ හඬයි ඒ.
ඔහුගේ මුහුණ බැලීමට මා සිත වූයේ චකිතයකි. අනිත් වුන් හා ඔහු සංවාදයේ යෙදෙද්දී , හොර රහසේ මම ඒ මුහුණ පිරික්සමි.
එදවස ද රටාවක් නොමැතිව නමුත් තට්ටයක් නොවූ හිස වසමින් පැතිර තිබූ හිස කෙස් වලට රටාවක් වැටී ඇත.
එදවස ඇතැම් ගුරුවරයෙකු “ හාමුදුරුවනේ දැන් අට පිරිකරට දැලි පිහි ලැබෙන්නැතෙයි “ විමසූ විට , සිනා වී බිම බලා ගන්නා හාමුදුරුවන් මට සිහිවිය.
කිසිදා රුවුල් ගසක් දැක නොතිබු ඒ සුදු සෝබර මුහුණට හදිසියේම පැමිණි රැවුල් ගස් නවතම තාලයට කපා ඇත. මා ඒ රැවුල් කට් එකට ආසා කරන වග සිහිවී ,මා සිත් ගත් කෙනෙකු මතකයට විත් සිනා වී ගියේය.
එය පොයින්ටින් කට් නමින් පෙර හැදින්වූ කට් එකට සමාන වුව ද, කට් එකේ ස්වරූපය ඉතිරි කරමින් , මැද හරිය නොමැතිව වටේන් හැඩය තබා කපන ලද්දකි.
ඔහු දොඩවයි. කිසිවෙකුට සෘජුව මුහුණ නොදෙයි. නමුත් සියළු දෙනා අසන පැනයන්ට කුමක් ම හෝ පවසයි. වරින් වර ඇදුම සකසයි. පුටුවේ අසුන්ගෙන සිටින්නේද අපහසුවෙනියි මට සිතේ.
මා සිත ඔහු ගැන උපන්නේ අපරිමිත අනුකම්පාවකි.
සියල්ල අවසන් බැව් හැඟීමට මෙන් ඔහු යන්නට නැගිට්ටේය. සියල්ලෝම පුරුද්දට මෙන් තම තමන් ඔත් අසුන් වලින් නැඟී සිටින්නට විය.
මාද නැඟී සිටියෙමි.උපන් අනුකම්පාව නිසාම ඔහුගේ මුහුණ දෙස සෘජුව බැලූවෙමි. ඔහු මා මඟ හැරි නමුදු ඇස් වල වූ යම් එඩිතර ගතියක සේයාවක් යන්තමින් දුටුවෙමි.
“ ඔහොමම පන්ති වලටත් වැඩිය නම් හාමුදුරුනේ “ ගුරු විවේක කාමරයෙන් පිටතට පා තබත්ම තවත් විහිළුකි.
ගමනේ වෙනසක් නැත. ඒ සාන්ත ගමන එදා මෙන්මය. පිටු පා යන ඔහුගේ සිත තුල පැන නැගි ගැටළු කුමක් දැයි මට කිව නොහැකි වූව ද, ඔහු අප හට නම් ගැටළු රාශියක් ඉතිරි කර ගිය බැව් නම් සහතික වන්නේ තවත් දින, සති,මාස ගණනාවකටම ඔහු ගුරු විවේක කාමරයේ ප්රධාන මාතෘකාව වන බැව් හැඟුන පෙර නිමිති පහළ වූ බැවිනි.
“ තව ටික දවසකින් කෙල්ලක්ව අරන් එයි බන් “ ඒ අවිවාහක තරුණ කාර්යාල සහයක නිලධාරියාය.
“ දැනටත් ඇති “
“ අපියි බන් මෝඩයෝ“
“ සාසනේ පැවැත්ම ගැන අහන්නත් දෙයක් ද “
“ මට නම් කළකිරුනා “
“ හැබැයි මෑන් ගෙ අර වම් උරහිස ටිකක් උසයි නේද දැනුත් ?“
පැවදි අවදියේ සිවුරෙන් වැසුනු වම් උරහිසේ බර දරා ගත නොහැක්කේ , ඔහුට ද අපිට ද යනුවෙන් ඇසුමට සිත් වූව ද , මට මතක ඇති කාලය පුරා මේ පාසලේ සිසුනට සහ ගුරුවරුනට පන්සිල් දුන් ,දිග වේවලක් අත දරමින් නොහික්මුණු දඩබ්බරයන්ට දඩුවම් දුන් , පාලි ගාථා ශබ්ද නගා කියමින් බුදුදහම ඉගැන්වූ ඒ අපූරු පැවිද්දාගේ උපැවැදි ජීවිතයට සුබාශිංසන පැතීමට නොහැකි වීම ගැන ම‘සිත දොස් නගන්නට විය.
මේ දීර්ඝ සසර ගමනේ කෙළවරක දී බුදුන් දැක නිවන් දකින්නට නොව , මේ ජීවිතය මා දකින සිහිනයක් පමණක් යැයි සිතන
මම
සොඳුරු සිත