තම මේසය කොනිති ගහන , සිහින් දිගැටි තළෙලු පැහැ , ගැහැණු ඇඟිලි දෙස මිස , ඇගේ මුහුණ දෙස කෙලින් බැලීමට තරම් එඩිතර කමක් ඔහුගේ සිතට නාවේ ය.
තමා කෙතරම් නම් වාරයක් , ඒ සුරත තදින් මිරිකා සිප ගන්නට ඇත්දැයි සිතු නු නමුදු . . . එම සිතුවිල්ල ඔහුගේ දෑසින් බිමට පැන ඇගේ නෙතු සොයා ගොස් බදා ගනු ඇතැයි ඔහු බිය විය.
හෙතෙම තරමක් දිරි ගෙන හිස එසවූව ද ඇගේ දෑස මඟ හැරීමට ගත හැකි සියළුම විධිවිධාන ක්රියාත්මක කළේ ය.
දෙතොල් වලින් පිට වූ වියළි හඬින් තමා ඉදිරියේ සීරුවෙන් සිට ගෙන සිටින WPC ඇමතු හෙතෙම ,
“ මිස් . . . . ඔක්කම ලියා ගත්ත ද? ඇප දීලා මිසක් එළියට දාන්නෙපා“
“ හරි සර් . . . .“
එතෙකුදු ඇය නොසැල්වී සීරුවෙන්ම සිටගෙන සිටියාය. තමා ඉදිරියේ වාඩි වී සිටින අපූරු ගැහැණිය දෙස හෙළු නෙත් ඇතිවම ,සිට ගෙන සිටියා ය.
“ හරි මිස් . මිස් යන්න . . . . . I 'll looking to her “
තමා දෙස විමසිලි දෑස් හෙලමින්ම අකැමැත්තෙන් මෙන් පිටව යන තරුණ WPC වරියගේ දෑස් පහර නොදැක්කා මෙන් සිටි ඔහු , ඇය පිටව ගිය පසු ඔහුගේ බලාධීකාරිය රැදි කාමරය තුල ම ඔහුට දැනෙන දැඩි අසරණ බව දරාන සිටිමට ගත් අසාර්ථක වෑයම දුටු ඔහු ඉදිරියේ සිටි වරදකාරියගේ කට කොණට නැඟුනේ සිනාවකි. I 'll looking to her වෙනුවට I'll handle her භාවිත කළ යුතුව තිබුනා නොවේ දැයි ඔහුට සිතුනි.
තම සැප පුටුව මදක් ඇල කර එයට කඳ බර කර හරි ගැසුනු ඔහු. තමා ඉදිරියේ සිටිනා සුන්දර ගැහැණියගේ ඇඟිලි දිගේ ද සුමට අත , පිරුණු බාහුව , සුන්දර ගෙල දිගේ නෙත් යවන්නට වූයේ පැරණි මතක පොතක් දිගාරිනා කුඩා දරුවකු ලබන ප්රීතියෙන් සිත පුරවා ගනිමිනි.
ඇගේ දිගු දෑස් මේසය මත වූ යමක් වෙත එල්ල වී තිබුනි.
“ ස්ථානභාර නිළධාරී - සාලිය බණ්ඩාර “
කළු පැහැති පසු බිමේ වූ සුදු පැහැති අකුරු අතර , ඇය හොඳින් දන්නා කෙනෙකුන් සිටීන්නේ දැයි මෙන් විපරමින් මෙන් ඇය තමා ඉදිරියේ වූ තනතුරු නාම පුවරුව දෙස හෙළු නෙත් ඇතිව සිටියා ය.
එයින් නිසි ප්රයෝජනය නෙලා ගත් හෙතෙම , වසර ගණනාවක් නොදුටු ඇගේ සුන්දර මුහුණේ සෑම ඉරියව්වක්ම එකම නෙතු පහරින් උදුරා ගත්තේ ය.
ඇය ඔහු හඳුන්නේ පාසල් සමයේ පටන් වුවද , මිත්රකම ආදරයටත්, ආදරය වෛරයකටත් පෙරළී වෙන්ව ගිය පසුව ද නෙතට මංගල්ලයක්ම වන ඇගේ දසුන විදින්නට ඔහු අදට ද ආසා කරයි.
වෙන් වන්නට සිදුවූයේ කාගේ වරදින් දැයි නිශ්චි නැතත් , එම වෙන්වීම නොවූවි නම් කෙතරම් හොඳදැයි ඔහුට සිතෙන්නට ඇත.
ඇය හිස එසවූවාය ඉතා සෘජු ලෙස ඔහු දෙස බැලුවා ය.
“ උසාවි දානව ද? “
පැනය ඉතාම පැහැදිලි වූත් , කෙටි වූත් විවෘත වූත් එකක් වුව ද , පිළිතුරු බැදීමට ඔහු අපොහොසත් විය.
“ ඇයි මේ . . . . . මම දැනන් හිටපු සමන්මලී ඔහොම කෙනෙක් නෙමෙයි. . . “
“ ඒ සමන්මලී මම නෙමෙයි සර් “
.ම සැප පුටුවෙන් තරමක් ඉදිරියට නැමුණු ඔහු . . . තර්ජනාත්මක දබරැගිල්ල ඇය වෙත පෑවේය .
“ එක එකාත් එක්ක රෑම් ගානේ යන සමන්මලී , මම අඳුර කෙනෙක් කියන්නත් මට ලැජ්ජයි. කරුණාකරල ප්රශ්ණයක් තියනම් මට කියන්න. මම උදව් කරන්නම්. ආයෙ එහෙම මේ වගේ මෙතැනට එන්න ලේස්ති වෙන්නෙපා “
ලද අවසරයෙන් , මුවඟට ආ වචන ගලපා ගත් ඔහු ඇගේ මුහුණට බරවී පැවසුවේ තරමක් තදිනි.
ඇය නොසෙල්වෙන්නී ය. තම සුන්දර දිගු දෑස් ඔහුගේ දෑස් හා නිදහසේ ගැටෙන්නට ඉඩ දී බලා සිටින්නට වන්නීය .
“ උසාවි දානව ද ? “ ඇගේ පැනය නැවතත්.
සංසුන් වූ ස්ථාන භාර තරුණ සැර පරුෂ පොලිස් නිළධාරියා ගේ බර දරා ගත නොහැකිවූවාක් මෙන් සැප පුටුව සිහින් හඬක් නගන්නට විය.
“ මේ පාර නැහැ . . ඒත් ලබන සැරේ හැඳුනුම් කම් නැහැ. දැන් යන්න පුලුවන් “
“ බොහොම ස්තූතියි. කොහොමත් ඔයා මාව අඳුරන්නෑ. කවදාවත් අඳුර ගන්න එහෙකුත් නැහැ.. . . . . . . යන්නම් . . . . . “
අහිංසක සුන්දර සමන්මලී , ශබ්දය නැගෙන සේ පුටුව පසෙකට කරමින් නෑගී සිටියා ය. ඔහු දෙස ආපසු හැරී බැලීමටවත් කාලයක් ගත නොකල ඇය . ඉඹේ වැසෙන දොර අතරින් රිංගා නොපෙණි යත්ම . කාමරයට පැමිණි සාජන් මහතා පැවසුවේ.
“ ඒකී මරු බඩුව සර්. කලින් හිටපු සර් කොච්චර වලි කෑව ද ඕකිත් එක්ක යන්න. එක එකා එක්ක කාමර ගානේ ගියාට පොලිසියෙ වුන් පෙන්වන්න බැහැ. මම හිතන්නේ ඉස්සර ඉදල ඒකිගෙ මොකක් හරි තරහක් තියෙනව පොලිසියත් එක්ක . සර් ඕවට පැටලෙන්න යන්නෙපා. ඔයිට වඩා හොඳ ගෑණු මෙහෙ ඉන්නවා.සර් තවම අලුත් නේ “
“ අනේ මේ යනව අයිසෙ යන්න . මට ගෑණුත් එක්ක නිදාගන්න තරම් අහේනියක් නැහැ “
තවත් මොන මොනවාදෝ මුමුණමින් සාජන්වරයා කාමරයෙන් පිටව යද්දී , දරා ගත නොහැකි වරදකාරී හැඟීමකින් තම සිත පිරී යනවා තරුණ විවාහක ස්ථානභාර පොලිස් නිළධාරීවරයාට දැනුනි.
ජායාරූපය මගේමයි .
Canon es 1100D ,
f 7.1
ISO-160
Exposure time - 1/400 sec
focal length 300mm