..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, November 24, 2013

෴ මිනී පෙට්ටි සාප්පුව෴

මිනී පෙට්ටි සාප්පුව




නැහැයට දැනුන සුපුරුදු කට්ට කුමන්ජල් සුවඳත් සමඟින් ජගත් සිතූ පරිදිම සුවඳ පිටුපසින්ම ඇඳී ආවේ මුදලාලිගේ මුණු මුණු මැතිරීමයි.

තමා ඉන්නා අයුරු බිඳකුඳුවත් වෙනස් නොකල ජගත් , යන්තමින් බෙල්ල පමණක් හරවා තමාට පිටු පා ඉතාමත් භක්තියෙන් නමුත් චවන වෙන් වෙන්ව හඳුනා ගත නොහැකි තරම් වේගයෙන් ගාථා කියන මුදලාලි සිටිනා ඉසව්ව දෙස නෙත් හෙලීය. සියල්ල කට්ට කුමංජල් දුමින් වැසී ගොස් තිබුන ද සුදුම සුදු ජාතික ඇඳුමෙන් සැරසුනු බඩ මහත සෝමසිරි මුදලාලිගේ හැඩ නිල දුම අතරින් වුවද බොඳ වී දැක ගන්නට ජගත්ට හැකි විය.

මුමුණන පද වල වේගය ක්‍රමයෙන් අඩු වන්නටත් පපුව මත බැදී තිබූ දෙඅත් එසවී නළලට එන්නටත් ගත් නිසා මුදලාලිගේ උදෑසන වත්පිළිවෙත් වල කූඨප්‍රාප්තියට පත් වී ඇති බැව් ජගත් ට සිතුණි.

ඉන් පසුව ඇරඹෙන කාටවත්ම නෑසෙන , මුදලාලිගේ පුද්ගලික ප්‍රාර්ථනාව කුමක් ද යන ගැන ජගත් අනුමාන නොකර තක්කෙටම සිතුවේය .

“ කාලකණ්නියා , අදත් වැඩි වැඩියෙන් මිනී ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඇති “ ජගත් මතුලේ හිතින් මිස මුවින් නොවේ.

“ සා... ධු....   සා...... ධු...... සා.............. ධු “

ප්‍රාර්ථනාව අවසානයේ දී තෙවරක්ම ශබ්ද නඟා දොහොත් මුදුන් දී වැන්ද සෝමසිරි මුදලාලි උගුර පාදා රැල් බුරුල් ඇරියේ උදෑසනම කඩය ඇරීමටත් මත්තෙන් තම කඩය අසල මුරකරමින් සිටි ජගත් උදෑසනම තමා සොයාන ආ කාරණාව පිළිබඳව විමසීමට දැන් තමන් සූදානම් බැව් ඇඟවීමට මෙනි.

“ මොකද බන් අද උදේ පාන්දරම ? ඇහැක් නම් ඔන්න ඔය ඉතිරි දොර පලු ටිකත් ඇරුල දාහන් “

මිනී පෙට්ටි සාප්පුවේ දොර පඩිය මත වාඩි වී සිටි ජගත් , මුදලාලිගේ අණට කීකරු වූයේ වැසී ගොස් ඇති දොර පලු එකින් එක පන්නා පිළිවළින් ගොඩ ගස්සනට වූයේ පෙර පුරුද්දට මෙනි.

“ ඈ බන් ජගතො . . . .  උඹට ආයෙ මයෙ ළඟ රස්සාවවත් ඕනි වෙලැයි ? “

කිසිදු කතාවක් නොමැතිව දොර පලු අරින ජගත් දෙස විමසිල්ලෙන් බැලූ සෝමසිරි මුදලාලි ජගත්ගෙන් ඇසුවේ කිසියම් ආඩම්බරයකින් මෙන්ම මම කී දෙයක් වැරදිලා නැති බව ජගත්ට හැඟවීමට මෙනි.

කිසිදු කතාවක් නොමැතිවම අවසන් දොර පලුවත් හැර දැමූ ජගත් , සෝමසිරි මුදලාලි වෙත කිට්ටු කරේ තමා ආ කාරණාව පැහැදිලි කර දීම සදහාය.

“ මුදලාලි .  . . . “ 

යටහත් පහත් ජගත් ගේ ඇසෙන නෑසෙන හඬ මුදලාලි ගේ වතට ගෙනාවේ සතුටකි. වැඩට දක්ෂ කොල්ලා.මූ ආයෙ මා ළඟ වැඩට එනව නම් හොඳයි තමා.ඒත් පඩිය නම් කලින්ට වඩා අඩු කරන්න වෙනවා. හිතුන හිතුන වෙලාවට දාලා ගියාට දඩුවමකුත් දෙන්න එපැයි. මුදලාලි එසේ කීවා නොව සිතුවා පමණි.

“ මුදලාලි . . .  රස්සාව ඉල්ල ගන්න නෙමෙයි මම ආවේ. මුදලාලිගෙන් ලොකුම ලොකු උදව්වක් ඉල්ල ගන්නයි මම ආවේ .ඊට පස්සේ දිගටම පඩි නැතිව උනත් මුදලාලි ළඟ වැඩ කරන්න මම එන්නම් “

“ ආහ් බන් . . . .  අත මාරුවක් ඉල්ල ගන්න ද තෝ පාන්දරම ආවේ “

“ නෑ මුදලාලි. ඒත් ඒ වගේ දෙයක් තමයි “

“ කියපන් කො බන් මගෙ කාලෙ නොකා “ 

සෝමසිරි මුදලාලි හදිසියේම කාර්ය බහුල බවක් පාමිනෟ පැවසුවේ තම සාප්පුවට කෙළින්ම පෙනෙන මහ පාරෙන් එහා පැත්තේ ඇති රජයේ මූලික රෝහලේ ගේට්ටුව දෙස ට නෙත් හෙලමිනි.

“ මයෙ අම්ම නැති වුනා මුදලාලි මහත්තයෝ . . . . . . “

එකවරම නැගී ආ ඉකියක් ද සමඟින් ගැස්සෙන පපුවට තම දකුණත තද කර තබමින් මහත් ආයාසයක් දරා ජගත් පැවසූවේ දෙනෙතින් බේරෙන කඳුළු නැවත දෙනෙතේම රදවා ගන්නට වෑයම් කරමිනි.

ගැස්සෙන දේහය වාවගන්නට සිතට දහිරය නැති බැව් හැඟුන බැවින් දෝ ජගත්හුන් තැනම බිම ඇණ බා ගත්තේ දෑතින්ම හිස බදා ගෙන හඬන්නට විය.

“ ඇත්ත ද . බොහොම කණගාටුයි ජගත්. දැන් ඉතින් කරන්න තියෙන්නේ තමන්ට හැකි විදිහට අවසාන කටයතු ටික කරන එකනේ. අනික . . . ඔය ගම් පළාත් වල ඕව කරන්න මේ ටවුමෙ අපි වගේ මහන්සි වෙන්නත් ඕනි නැහැනේ බන් “

උදෑසනම තමා සොයන් ආ මේ කරදරකාර ඉලන්දාරියා දෙස නොපහන් බැල්මක් හෙලූ සෝමසිරි මුදලාලි , තම සුදෝ සුදුවන් කමිස සාක්කුවට අත යවා ගත් දාහේ නෝට්ටුව ඇගිලි වලින් දෙතුන් වරක්ම එහා මෙහා කර බැලුවේ එතැන ඇත්තේ එක නෝට්ටුවක් බැව් සැක හැර දැනීමට හෝ නොමැතිනම් පුරුද්ද නිසාම වන්නට ඇත.

බිම ඇණ ඔබන් හඬමින් සිටින තරුණයා වෙත කිට්ටු වූ සෝමසිරි මුදලාලි , තරුණයාගේ ගැස්සෙන උරහිසට අත තබා මෙසේ පවසන්නට විය.

“ දැන් අඬල දොලඩ වැඩක් නැහැනේ ජගතො. මේ දවස් වල බිස්නස් පට්ට පාඩුයි බං. මිනිස්සුත් පෙට්ටියක් ගෙනියන්නේ නොගිනිහින් බැරිකමට වාගේ බාලම පෙට්ටි. අද දවසටත් තවම බිස්නස් ආවේ නැහැනෙ. මෙතනින් තව කිලෝමීටරයක් ඇතුලත අලුතින් තවත් පෙට්ටි සාප්පුවකුත් දාලා බං. . . . හරි හරි දැන් ඉතින් ඔය ඇඩිල්ල ඇති. මෙන්න මේක ගනින් බං. අරන් දැන් ගෙදර පලයන්. වැඩ කටයුතු කරන්නත් එපැයි “

බිම ඇණ බා සිටි ජගත් කොන්ද කෙලින් කර නැගිට්ටේත් ,මුදලාලි අත ඇති දාහේ නෝට්ටුව දෙසවත් නොබලමිනි.

“ මුදලාලි. . . . මටත් ඔය බාලම හරි කමක් නැහැ මිනී පෙට්ටියක් දෙන්න ණයට. මම මුදලාලි ලඟ පඩි නැතිව වැඩ කරන්නම්.මුදලාලිට පිං සිද්ධ වෙයි “

සෝමසිඑි මුදලාලිගේ සුදු මූණ කළු ගැහෙන්නටත් තොල් නලියන්නටත් ඒ වචන ටික ඕනෑවටත් වඩා වැඩි විය.

“ තෝ හිතුව ද බන් මෙතැන මම දන්සලක් දාලා කියලා. තෝ වගේ අඬන දොඩන මිනිස්සු මම හැමදාම දකිනව. උඹ කියන විදිහට මම පිනට බිස්නස් කරොත් හොඳට තියෙයි. උදේ පාන්දර මෙතැන මූසලයෙක් වෙන්නෙ නැතිව මෙන්න මේකත් අරන් මෙතනින් පලයන් බන් යන අහක “

ඉන් පසු දෙතුන් වරක්ම තරුණයා මුදලාලි මත්තේ බැගෑපත් වෙනු “වාසනා මල් සාලාව“ පසු කර යන කිහිප දෙනෙකුම දකින්නට ඇත. ඉන් ටික වේලාවකට පසුව “වාසනා මල් සාලාව“ නාම පුවරුව වෙත ගල් ගසමින් බැන වදිමින් වෙරිමතින් මෙන් දොඩවමින් දෙස් දෙවොල් තබමින් යන තරුණයකු විටෙක හඬමින් පිස්සෙකු මෙන් පාර දිගේ යනු දක්නට ලැබුනි.

-----------------------------------------------

“ ආහ්. . . .සෝමෙගෙද මේ කඩේ. කවුද බන් දන්නේ. කොහෙද බන් හිටියේ ? මම මේ මුදලාලි පේන්න නැති නිසා වෙන කඩේකටවත් යන්න හැරුනා විතරයි. අපිටත් දීපන්කෝ ඔය හොදවයින් මිනී පෙට්ටියක්.  . “

“ යකෝ ගුණේ. උඹ කොහෙද බන් මෙහේ. උඹ එහෙනම් මාව ඇදින්නා ආහ්. මේ දැනුයි බන් දවල්ට කෑවේ. ගෝලයෙකුත් නෑ බන් හරියට. ඒ නිසා ටිකක් වැඩ වැඩියි. ඒක නෙමෙයි කාටද ගුණේ පෙට්ටිය . . . “

“ යකෝ මගේ නැන්දම්ම මළා බන්. ලෙඩ වෙලා එකතැන හිටියේ. ඊයේ හිටිගමන් අමාරු වුනා. හදිසියේම ඉස්පිරිතාලෙ අරන් ආවා. ගේනකොටත් උන්දැ මැරිල. . . “

“හැබෑ ද. ගණින් කො එහෙනම් හොද පෙට්ටියක් තෝරල. නැන්දම්ම නිසා ගණන් අඩු ඒව අරන් බෑනේ බං “

උස් හඬින් සිනාසුනු පැරණි මිතුරන් දෙදෙනා මිනී පෙට්ටි අතර සරන්නටත් පැරණි කතා මතක් කර රස විදින්නටත් උස් හඬින් සිනාසෙන්නටත් විය.


“උඹ ට මතකද බන් අනුලා. ? අනුලාවතී. අර උඹේ “

“ මොකද බන් අමතක. අදටත් ඉදල හිටල මතක් වෙනවා. “

“ ඒකි මැරණනෙ බන් දැන් සති දෙහෙකට විතර කලින් “

“ මොනවා . . . .“ මෙතෙක් සිනා වතින් සැරසී තිබූ මීනි පෙට්ටි හිමියාගේ වත මළගෙදරකට සරිලන පරිදි ක්ෂණිකව වෙනස්ව ගියේත් මිතුරන් දෙදෙනා කතිකා කර ගත්තාක් මෙන් නිහඬ වෘත රකින්නටත් විය.

“ මම කීපදොහක්ම ඒකිව බලන්න යන්න හිතුවා බන්.ඒත් මට හිතුනා කසාද බැදල පවුලක් වෙලා තැනකට ඇවිත් ඉන්න මම ඒකිව බලන්න ගිහින් අහක යන ලෙඩ දාගන්නෙ මොකටද කියලා. “

“ පවු බන්. . . .  ඒකී අන්තිම කාලේ හරියට දුක් වින්දා “

“ මොනා වෙලාද ගුණේ අනුලා මළේ ? “

“ ඒකිගෙ තනේ පිළිකාවක් “

සෝමසිරි මුදලාලිට ඇගේ මෘදු පපුවේ පහස දැනෙන්නට විය. වරු ගනන් ඒ පහසේ වෙලී හුන් අයුරු ත් ඇගෙන් ලැබූ සුවයත් ඇය ව හැර ගිය පසු එවන් සුවයක් කිසිවෙකුන් වෙතින් ලැබීමට නොහැකි වූ අයුරුත් පාලු රබර් මණ්ඩියේ ගල් තලාව මත ඇගේ මෘදු සුමුදු පපුවට තුරුලුව තම රසාලිප්තම කාලය ගෙවූ අයුරුත් පෙළින් පෙළ මතකයට නැගෙන්නට විය.

“ සෝමේ. . . මං හිතුවෙ නෑ බන් උඹ ඔච්චර සීරියස් ගනිවී කියලා. හැබැයි පව් බන්. ඒකිගේ මිනිය තියන්නවත් තැනක් තිබුන්නෑ. පොල් අතු පැලේ මිනී පෙට්ටියක් ඇතුලට ගන්නවත් විදිහක් නැහැනේ. අනික ඒ කොල්ල ජගත් , ඌත් මහ අසම්ජ්ජාති කොල්ලා , අම්මගෙ අවසන් කටයුතු කරන්නවත් ඌට අතේ සතේ නැතිව ගියා “

“ අනුලා ගෙ මහ මිනිහා ? “

“ ඒකි බැන්දෙ නැහැ බං “

“ එතකොට පුතා . . ?“

“ ඒ කොල්ල ගෙ තාත්ත කවුද කියල දන්නෙ අනුලම විතරයි බන්. මම නම් ඉස්සර හිතුවෙ ඒ කොල්ල උඹගේ වත්දෝ කියලා. ඒත් ඒකි අන්තිමට එක එකා එක්ක ගියා බන්. “


------------------------------------------

සෝමසිරි මිනී පෙට්ටි මුදලාලිට මෙතෙක් මුණ ගැසුනු හොඳම හා නරකම ගෝලයා වූ ජගත් රැකියාවක් සොයා පැමිණි පළමු දිනයේ වූ දෙබසක් අපහැදිලි නමුත් යන්තමින් වාගේ මුදලාලිගේ සිත මුළු රැය පුරා පාරවන්නට ඇත්දැයි කවුරුන් නම් දනී ද?

“ ජගත්ගෙ ගම් පළාත “

“ දොඹගහ හේන . . . . . “

ඒ නම ඇසෙද්දීම සෝමසිරි මිනී පෙට්ටි මුදලාලිගේ සිත ගැස්සී ගිය බැව් මුදලාලිට අද මෙන් මතකය.

“ ජගත් ගෙ වයස කීයක් වෙන්න ඇති ද? අපරාදේ මම ඒක එදා ඇහුවෙ නැහැනේ . . . .  “

වාසනා මිනී පෙට්ටි සාප්පුව ඉන් පසු සති ගනනාවක් එක දිගටම වසා තිබෙනු දැකිය හැකි විය.




--------------------------------------------

ඔබ මා හමුවුනු
මේ ඉර හඳ යට
කොතැනක උන්නත්
මා මළ දවසට
මගෙ ළඟ
තනියට
හිදු මැනවී . . . . . . 


---------------------------------

17 ප්‍රතිචාර:

ධාරා said...

හ්ම්ම්, කතා නං තදින් ම හිතට වැදුනා. හිතන්නේ නැති විදියට කී දෙනෙක් නම් හමු වෙනව ද?

Pramudi said...

අතේ දුරින් ඉන්න අයව අපිට මග ඇරෙන හැටි පුදුමයි..

පිස්සු දෙයියා said...

අර මනුස්සකමද මොකද්ද එක කියන්නෙ ඕකට නේද?

වලත්තයා said...

ජීවිතයේ මෙවැනි හමුවීම් අනන්තයි..ගොඩක් දැනෙන්න ලියලා තියනවා

amila chathuranga said...

මිනී පෙට්ටියක දාල වලදාන්න ඕනි කියන සෝබන තියරිය හරිම කරදරයක්.මැරුනම මොකක හරි දාල හරක වගේ වලදැම්ම නම් ඉවරයි නෙව..මලකදේ මොකද්ද තව මාකට් කරන්න තියෙන්නෙ..

YASITH (dot) NET said...

හ්ම්ම්ම්... මං ඔයිට ටිකක් සමාන කතාවක් දැක්ක "රැටටුයිල්" කියන කාටූන් එකෙ... මට නම් මිනී පෙට්ටි එපා. මැරුණම මෙඩිකල් කොලේජ් එකට දෙනවා

Lishan kasun sri said...

සමහර වෙලාවට මිනිස්සු කියන්නේ මහ අසමජ්ජාති පාහර මානසිකත්වයක් තියෙන සත්තු ජාතියක් කියලා හිතෙනවා අප්ප.., ආදරේ, මනුස්සකම්, කාමය සහ වරදවා හැසිරීම් වගේ එවා එක්ක පටලවාගෙන හිටියම අසරන වෙන්නේ දුර්වලයා කියලා හිතන්න තරම් මිනිසුන්ගේ හිත තවම සංවේදී නෑ කියලයි මට හිතෙන්නේ. තමන්ගේ ලිංගික සහකරුවා අසරණ කරන මේ ලෝකේ එකම සත්ත්ව වර්ගය මනුස්ස වර්ගේ වෙන්න ඇති...!
මේ කතාව ඊට හොඳ නිදසුනක්..! ස්තූතියි හොඳ කතාවක් කියවන්න ලැබුනට..
ජය!

නාඩියා නාඩිරත්න said...

මිනිස්සු හැම සම්බන්ධයක්ම තියා ගන්නේ තමන්ට ලාහ ප්‍රයෝජනයක් තියනකම් විතරයි.. ඒකයි මේ වෙලා තියෙන්නේ....

හිරු said...

“ ආහ්. . . .සෝමෙගෙද මේ කඩේ. කවුද බන් දන්නේ. කොහෙද බන් හිටියේ ? මම මේ මුදලාලි පේන්න නැති නිසා වෙන කඩේකටවත් යන්න හැරුනා විතරයි. අපිටත් දීපන්කෝ ඔය හොදවයින් මිනී පෙට්ටියක්. . “///

හරියට ගිනි පෙට්ටියක්, සිගරට් එකක් ඉල්ලනවා වගේ.. ඒ දෙබස විතරයි මට අවුලක් දැනුනෙ මුළු කතාවෙම...

අර මුලම කෑල්ල නං මාර ගති අප්ප.. මාත් හැමතිස්සෙම හිතන දෙයක් තමයි මිනී පෙට්ටි සාප්පු වලට උදේ පාන්දර දෙයියන්ට පහන් පත්තු කරලා ප්‍රාර්ථනා කරන්නෙ මොකද්ද කියල.. වැඩියෙන් බිස්නස් එන්න කියලා ? වැඩියෙන් බිස්නස් එන්න නං වැඩියෙන් මිනිස්සු මැරෙන්න එපැයි... අනේ මන්ද.. ඒක මාර බිස්නස් එකක් ....

දිලිනි said...

මේවගේ කතා ඇත්තටත් අහන්න ලැබෙනව ඇති සොඳුරු. ජීවිතය කියන්නෙ ඉරණමක් අනුව ගලාගෙන යන දෙයක්ද කියලත් හිතෙනව වෙලාවකට.

Maathalan - Priyantha Hewage said...

සමාන්‍යයෙන් නම් මිනී පෙට්ටි සාප්පු කාරයෝ මේ කතාවේ කියන තරම් දරුණු නෑ. එහෙම උනොත් උන්ට බිස්නස් එක කොරන්න බෑ.. මිනී පෙට්ටි බිස්නස් කලාට. උන් පපුව හොඳ උන්..

නමුත් කතාව ගැන නම් කියන්න වචන නෑ.. ඔහේගේ කවි වලට වඩා.. මේ වගේ නිර්මාණ වලට මම නම් බොහොම මනාපයි..

ඉන්දික උපශාන්ත said...


කතාව මොකක් හරි හේතුවකට ගොඩක් කොට කරපු ගතියක් දැනෙනව. එහෙම නොවුනන්ං මීට වඩා රහ වෙන්න තිබ්බද මන්ද...!

තුශානි said...

සංවේදී කතාවක් ... ජීවිතේ හරි පුදුම විදියට මිනිසුන් මුනගස්සවනවා.

අටම්පහුර said...

අර අමිල කියලා තිබුනා වාගේ මේ මළ ගෙවල් කරන ස්ටයිල් එකනං මට අල්ලන්නේ නැ , මම හරිම කැමතියි මම මලහම ගෙදර මළගෙයක් නොකරනවනං ,

arugeadaviya said...

අටම් කියනවා වගේ මමත් හරිම කැමතියි නීත්‍යානුකූල වැඩ ඉවර උනාම කොහේ හරි වලදානවා නම්. ඒ ගැන මම ගෙදරට කියලත් තියෙනවා.

කතාව හොඳයි.

අටම්පහුර said...

@arugeadaviya ...... කොහේ හරි වලදාන්න එපා මෙන් මේ වැඩෙ කරන්න http://atampahura.blogspot.com/2012/08/1.html

Damith Gunawaredane said...

මමත් දැකල තියෙන්නෙ මිනිපෙට්ටි සප්පු කාරයො නයට දිලා මුදල් දෙනකන් ඉල්ලන්නෙ නැ.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...