..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, October 14, 2013

- සිය දිවි දෙවෙනි කොට -

- සිය දිවි දෙවෙනි කොට -




ඇය තවත් වතාවක් ෆාමසියේ රාක්ක පුරා පිළිවෙළට අසුරා ඇති නොයෙකුත් මාදිලියේ ඖෂධ දෙස පෙළින් පෙළට ඇස ගෙන ගියා ය.

ෂික්.....පුදුම වෙලාවක නෙ ආවේ. මෙච්චර ලෙඩ්ඩු කොහෙන් ද මන්දා. ඒකත් මගෙ වෙලාව.


ෆාමසියේ හුරුබුහුටි කෙල්ලන් ළඟට තරඟයට මෙන් ළං වෙමින් බෙහෙත් තුන්ඩු දිගු කරනා අයවලුන් පුංචි ගොසරි බෑගයේ බහා දෙන ඖෂධ රැගෙන යන්නේ පුළුටු කරගත් මුහුණිනි.


ඇතැමෙකු ඔවුනට උපදෙස් ද දීමට බැලි නොවෙයි.


“ ගිය සැරේ දුන්නේ රෝස පාට පුංචි පෙත්තක් නෙ මිසී....“


ග්‍රොසරි බෑගය ලිහා එතුල වූ කුඩා බෙහෙත් පෙති සමූහයක් අල්ලට හලා ගනිමින් එකකු පවසයි.

“ හරි හරි  . . . .ඒක ඉවර වෙලා. ඔය වෙන කම්ෆැනියක, බය වෙන්නෙපා ඒ බෙහෙත්ම තමා “


සුදු පාට ප්ලාස්ටික් බෝතලය හැර එහිම පියනට කුඩා කහ පැහැති බෙහෙත් පෙති ගණිමින් සිටි සිහින් සුදු යුවතිය ගැනිල්ල මඳකට හෝ නොනවත්වාම පිළිතුරු දුන්නී ය.

දෙගිඩියාවෙන් මද වෙලාවක් ඇය දෙස බලාසිටි පාරිභෝගිකයා කුමක්දෝ මුමුණමින් ම යන්නට ගියේ ය.

ඔහු පසුපසින්ම වාගේ ඇය ද යන්නට හැරෙත්ම,

“ මිස් මොනා ද ඕනි. . . .“

“ නෑ . . . . හ් . . .  මං මේ මේ . . . .“

“ ආහ් ඔහොම ඉන්න මිස්  . . . . “

කඩිනමින් සනීපාරක්ශක තුවා ගබඩා කර ඇති තැනට ගිය සේවිකාව රෝස පැහැති පැකට්ටුවක් කඩදාසි මල්ලකට බහා ඇය වෙත පෑවා ය.

කිසිවක් සිතා ගැනුමටවත් වේලාවක් නොතිබුනු ඇය , විගසින් එය මල්ලට ඔබා ගත්තී අතැති රුපියල් සියය සේවිකාව වෙත දිගු කලා ය.

“ මිස් මිස් ඉතිරු සල්ලි අරන් යන්න “ යැයි සේවිකාව කෑගසද්දීම ෆාමසියෙන් පිටව ගිය ඇය හති ඇරියේ වංගු දෙකක්ම පසු කළ පසුය.

“ ඒකත් පණ යන වැඩක්  . . . “ ඇය තමන්ටම මුමුණා ගත්තී ය.

-----------------------------------------

“උඹට මොන ටද නිදි පෙති ?“

“ නෑ . . . හ් . . මට නෙමෙයි බන් . . ගෙදර ළඟ ආන්ටි කෙනෙක්ට ගේන්න කීවේ. වැඩ ඇරිල එන කොට අරන් එන්න කීවා.ඒකයි ගන්න තැනක් ඇහුවේ “

“ එයා තුන්ඩුවක් දුන්න ද ? “

“ මොන තුන්ඩු ද? “

“ ඩොක්ටර් කෙනෙක්ගේ තුණ්ඩුවක් නැතිව මම දන්න තරමින් නිදි පෙති දෙන්නෑ. “

“ ඒ මොක ද ? “

“ ඇයි මෝඩියේ.නිදි පෙති බීලා මිනිස්සු මැරෙනව නේ “

“ කෝකටත් මං අහල බලනවා “

“ බලහන් දේයි මේං කියලා “
              -----------------------------------------

පාරේ එහා කොණට දෑස් යැවූ ඇයගේ සිතට අලුත්ම අදහසක් පහළ විය.

ඇය තම ගමන වේගවත් කරන්නට විය.

පෙනෙන මානයේ  කිසිවකුත් නැද්දයි බැලීමට ඇය ආපසු හැරී බැලුවා ය.

තම කසට දසන් පෙන්වා බයාදු ලෙස හිස ඇල කර සිනාසුනු ඔහු දුටු විට නැවතත් ඇගේ සිත උපන්නේ තරහකි.

ඇය ඕනෑකමින්ම තම ගමන බාල කළා ය.

“ නෝනෙ අද වේලාසනින් මො ක ද?“

සීයා ඇය සමඟ කතාවට එල්ලෙන්නට අරාදියි.

“ මොකක් ද මේ කරුමේ.මැරෙන්නවත් නිදහසක් නැති හැටි “

“සීයා යන්න සීයේ .මම යාළුවෙක් එනකම් මෙතන නවතිනවා.“

ඇය පාලමේ ගරාදි වැටකට බර වෙමින් කීවාය.

“ හෆෝ ළමයෝ . . .ඔතැන ඉන්නෙපා.ඕව දැන් දිරලා ගඟට කඩා පාත් වෙයි. . .එගොඩහට ගිහින්ම නතර වෙන්න “

මදක් ගස්සා ඉවත බලා ගත් ඇය සීයා නොපෙනී යන තුරුම හිස හරවා බැලුවේ නැත.

නමුත් . . . 

බල්ලෙක් වත් නොසිටිය ඒ මාවත එකවරම ජනාකීර්ණ වන්නට විය. ඟං දිය ගලා ගියේ ඇයට ඔච්චම් කරමිනි.

“ පනින්න ද බලා ගෙන ඉන්නේ “

එකවරම පසුපසින් ඇසුනු සුපුරුදු හඩකින් ඇය දීර්ඝ වේලාවකට පසු හිස හරවා බැලුවාය.

“ ඔවු ඇයි. පැන්නොත් බේර ගන්නව ද?“

“ අෆෝ නංගි මම පීනන්න දන්නෑ. අනික මේ ගඟේ කිඹුල්ලු පිරිලා. ගිලිල මැරෙන්න කලින් කිඹුල්ලු කාවි “

එසේ කියමින් ඔහු ඇය ළඟම නතර විය.

--------------------------------

“ රේල් පාරක් නෑ , වස කුප්පියක් ලේසියට ගන්න නෑ , ග්‍රාමොක්සෝන් ගන්න ගියත් දාහක් ප්‍රශ්ණ , නිදිපෙති ගන්න රිසිට් ඕනි. ඟඟේ පනින්න නිදහසක් නෑ. . . කාමරේ බාල්කයක් නෑ.
එල්ලෙන්න වැලේ වැල් නැහැ. අද නම් මැරෙන්න හොඳ දවසක් නෙමෙයි.“

යමින් ගමන් ඇය පොත් කඩයට ගොඩ වී පොත් කිහිපයක් ගත්තේ සුවපත් වෙමින් තිබිනු රිදුනු සිත තවත් සුවපත් කර ගැනීමට මෙනි.

ගිය ගමනේදීනොදුටු දහසක් මල් ආපසු එන ගමනේ දී ඇය සඳහාම මෙන් පිපී තිබුනි.


“ ඔවු ඇත්තටම  . . . . අද මැරෙන්න හොඳ දවසක් නෙමෙයි “



13 comments:

  1. කෙටියි හැබයි රසවත්.

    ReplyDelete
  2. ඇත්ත, අද මැරෙන්න හොද දවසක් නෙමෙයි..

    ලස්සනයි කතාව..

    ReplyDelete
  3. හැබැයි ළමයි දෙන්නෙක් හදන් තිබුන නම් කෝච්චියට පනින්න තිව්න.

    ReplyDelete
  4. කෙටි වුනත් හිතන්න හුගක් දේවල් තියෙන කතාවක්, ලස්සනයි,,,

    ReplyDelete
  5. මැරෙන්න හරි අමාරුයි අප්පා... ඒකත් කරන්න හිතලම බලන්න ඕනෙ කොච්චර අමාරුයිද කියල... හි හි

    ReplyDelete
  6. සමහර වෙලාවට අපට හිතෙනවා මැරුණ නම් හොඳ යි කියලා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ අපි මැරෙන්න බය එක.

    ReplyDelete
  7. නියමයි....
    මටත් ඔහොම වෙලා තියනවා... :)
    අපි මැරෙන දවස තීරණය කරන්න තරම්වත් මේ ජීවිතේ අපිට අයිති නැහැ..

    ReplyDelete
  8. short & swt!
    මැරෙන්න ඕන කෙනෙකුට මම මේ කියන්නෙ, ෆාමසි වලින් නිදිපෙති හතඅටක් ගන්න පුළුවන් එක සැරේකට. ෆාමසි තුනහතරකින් වැඩේ ගොඩදාගන්න පුළුවන්(ඔන්න මැරිල මට දොස් කියන්න එපා:)

    ReplyDelete
  9. පටන් ගන්නකොට දැණුන අවසානය ඇත්ත අවසානයේ නෑ වගේ දැණුනා. ඒකත් එක්තරා වෙනසක්.....

    ReplyDelete
  10. අපෙ මරණ‍ය වත් අපට තීරණය කර ගන්න බැරි කොට වෙන මොන කතාද? :-/

    - ප්‍රියා.

    ReplyDelete
  11. මැරෙන එකත් පණ යන වැඩක්

    ReplyDelete
  12. හුටා මැරෙන්න කියලා හිතාගෙන හිටියේ. ඒක ආපහු මතක් උනා මේක දැක්කම. අද මැරෙන්න හොඳ දවසක් නෙමෙයි.

    ReplyDelete
  13. ප්‍රිය ඇඩ්මින් වෙත,
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...