..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, August 29, 2013

ගෙඹි බිත්තර...

මගෙ පොඩි කාලේ....

ගෙඹි බිත්තර...

---------------




වැහි කාලේ හමාර වුනා විතරයි.ඇත්තටම කියනව නම් ඊයේ රෑ වැස්සට පස්සේ අද දවසට තාම වැස්සෙ නැහැ. කාලෙකින් පස්සේ පොළවට දැනෙන්න ඉර පායල තිබුනා.අරහෙ මෙහෙ හැංගිලා ,ගුලිවෙලා ,පිම්ඹිලා හිටි කුරුල්ලෝ සමණල්ලු කලබලෙන් වගේ හැමතැනම පියෑඹුවා...... වැහි දවස් ටිකේම ඇහුනේ “ගෙබෙක් ගෙබෙක්.....ගෙබේබේබේක්...... සද්දෙ විතරමයි..... ඒක හරියට වැස්ස වහින තාලයට එකතු වුනු පසුබිම් නාදය වගේ එක දිගටම ......... 

ගෙබෙක් ගෙබෙක් බෙක් බෙක් බෙක්......................... 


කාලෙකට පස්සෙ මාත් එළියට බැස්සෙ දොරකඩ පාමුල තිබ්බ සෙරෙප්පු දෙක දැක්කෙ නැති ගාණට.මඩ ඇගිලි අස්සෙන් පනින ගානට තියෙද්දි ඇවිදින කොට ඇඟත් එක්කම හිරි වැටෙනවා.හොර පූසි වගේ සද්ද නොකරම එළියට බැස්සෙ, අම්ම දැන ගත්තොත් බැනුම් කෝටියක් නිසායි.

ස්කාෆ් , තොප්පි,සෙරෙප්පු,රේන් කෝට්.... ඕව ඔක්කම දාන් හඳට යන්න වගේ එළියට බහින්න මම ආසම නෑ.

එළියට බැහැපු ගමන් ඇදිල යන්නේ තහනම් කලාප වලට....ඒක තමයි පුංචි ළමයින්ගෙ ඉදලම දකින්න පුලුවන් මනුස්ස ස්වභාවය.

ගෙදර හදන්න ගතපු ගඩොල් කපන්න ,පස් ගතපු වල වතුරින් පිරිලා.ටින්..කෝප්ප, බෝණික්කගෙ ඔළුව, යෝගට් පියන්,තැඹිලි කෝම්ඹ පිරිලා.(අද කාලේ වගේ උනානම් ඩෙංගු ඇති කරා කියලා උසාවිත් යන්න වෙනවා) ඒ අස්සෙ අර මොනා ද? පේලියට දිගට වැල් වැල්..... සෙවල වගේ ... කළු පාට පුංචි බෝල බෝල ඒ වැල් වල එතිලා.ඇමිණිලා......


අත දිග මානෙක ඒ වැල් තිබුනෙ නැහැ.... දිය පිරුණු වලේ මැද හරියට වෙන්න වැල් වැල් ගොඩාක් විසිරිලා විහිදිලා තිබ්බා.අතපාන මානෙ නොවුනු නිසා... තරමක් දිග කෝට්ටක් අරන් ඇවිත් වැල් ටික ගොඩට කිට්ටු කර ගන්නයි මට ඕනි වුනේ.ඉර අවුවට ඒවා දිලිසුනා. 

සමහර විට වටිනව ඇති.



කෝටු කෑලි දෙක තුනක්ම ගෙනාවත් කළු-මුතු ඇට වැල් වලට දිග මදි වුනා.අන්තිමටම කොහොම හරි මම හොයා ගත්තේ ගස්ලබු කඩන කෙක්ක. ඒකෙ අග්ගිස්සට හයි කරල තිබ්බ පොඩි මල්ල නිසා වැඩේ ලේසි වෙයි කියල මට හිතුනා..........

හරියටම ගාණට නැතත් අනත් හැම කෝට්ටකටම වඩා කෙක්ක දිගින් වැඩි වුනා.ඒත් තිබ්බ එකම අපහසුව තමා කෙක්ක හේ කර ගන්න බැරි වීම.ඒ කියන්නේ දෑතින් බදල ඇල්ලුවත් ඉලක්කයට යද්දි කෙක්කෙ ගැස්සිල්ල වැඩි වෙනවා.

අන්තිම අවස්ථාව වෙද්දි කෙක්ක බොහෝ දුරට ආගන්තුක වැල් වලට ලඟා වෙලා තිබ්බා. මගෙ මුළු හිතමත් මුළු නෙතමත් මුළු කයමත් ඒකාත්මිකව ඒ වැඩය කෙරේ යොමු වෙලා තිබ්බා. දන්නෙම නැතිව කණ්ඩිය උඩට කකුල යන්න ඇත්තෙ ඒකයි. පස් කණ්ඩියත් කඩා ගෙනම මම වැටුනෙ අර ජරා වලේ.

මඩ පාට වතුර මගෙ ඇස් වලට පෙනුනා. අමි රහ වතුර උගුරෙන් පහලට ගියා. කෙක්ක විසිවෙලා යද්දි වතුර වලේ මැද හරියෙ තිබ්බ අර අමුතු වැල් ජාතිය කෙක්කෙ පැටලිලා මා ළඟටම ඇවිත් මගේ ඇඟේ ගෑවි ගෑවි තිබ්බා.කිසිම දෙයක් හිතා ගන්න බැරිව මඩ වලේ ඔහේ යටටම යටටම යනවත් එක්කම මහ හඬින් මම කෑගැහුව වගේ මට මතකයි.

------------------------------------

“ මේක එයාගේ මේස ලඟින් තියන්න“

‘ මොනවද ජරාව.ඔයාට පිස්සු ද?“
“නැහැ එයා මේවා දැන ගන්නෝනි “

හොඳ උණුසුම් පොරෝනයක් ඇතුලෙ මම ගුලිවෙලා ඉද්දි.අඳුරන කටහඬවල් දෙකක් ඇහෙද්දි.මම දැක්කා තාත්තා ජෑම් බෝතලයක් ගෙනත් මගේ ඇඳ ළඟ තිබ්බ පුංචි මේසෙ උඩින් තියනවා. ඒක දිහා හොඳින් බලද්දි තමයි මම දැක්කේ... ජරා වතුර වලේ තිබ්බ කළුපාට මුතු වැල් කිහිපයක් ඒ බෝතලේ තිබ්බ වතුර උඩ පාවෙනවා.

“ දෝණි හොඳට මේ බෝතලේ දිහා හැමදාම බලන්නෝනි හරිද ? එතකොට දෝණිට තේරේවි මේ මොනා ද කියලා “


මගේ හිස අතගාපු තාත්තා එහෙම කීවත් අම්ම නම් වෙනද පුරුදු විදිහටම එක දිගටම එකම දේ කිය කිය මට බැන්න වගේ මතකයි.


18 comments:

  1. හප්පෝ කාලෙකට පස්සේ සොසීගෙන අඬෝවැඩියා නැති අති සුන්දර පෝස්ට් එකක් මේකනම් මම අපූරූ ලෙස වින්දා... අනේ අද පොඩි උන්... පව් අප්පා...

    ReplyDelete
  2. හුඟක් අය පිළිකුල් කරන දෙයක් ගැන අපූරු ලිපියක්. දැන් නං ගෙම්බෝ ගැනත් ආදරේ හිතෙනවා. ඒ වගේ තාත්තා කෙනෙක් ලැබෙන එක වාසනාවක් :)

    ReplyDelete
  3. වැවක් එක මායිමක තිබෙන නිවෙසක පොඩි කාලේ හැදුන වැඩුන මාව අවුරුදු 40 ස් ගානක් එහාට අරගන ගිය හොද ලිපියක්.
    මාතලන් කියල තිබෙනව අපේ පොඩි එවුවන්ට කෝ මේ අත්දැකීම්.

    ReplyDelete
  4. මේ වගේ ලමා කාලයන් ගැන තරුණ දෙමව්පියන් හිතන්න.පොඩි එවුන්ට ඒ අත්දැකීම් අත්‍යවශ්‍යයි.සුන්දර මිනිසුන් බිහිවන්නේ සුන්දර අත්දැකීම් තුලින්ය.

    ReplyDelete
  5. මට නං ගෙඹි බිත්තර එදත් ඊයා අදත් ඊයා.. දැක්කම අප්පිරියයි. අපේ ගෙදර මිදුලෙ පොකුනෙ සමහර කාලවලට තියෙනවා

    ReplyDelete
  6. ඔයාගෙ රයිට් ක්ලික් ඔප්ශන් එක ඩිසේබල් කරල හින්ද පරන ලිපි කියවන්න අලුත් ටැබ් එකකට යන්න බෑ :(

    I'M SORRY. I KNOW THIS IS YOUR HEART! :p

    ReplyDelete
  7. ඉස්ගෙඩිත් හරි හුරතල්..ගොඩ අරන් බඩ පැත්ත බැලුවාම රවුං රවුං මෙව්වා එකක් පේනවා බඩ ඇතුලේ,එහා මෙහා පෙන ගානේ උන් හරි ජොලි බලන් ඉන්න..

    ReplyDelete
  8. සුන්දර මතක අවුස්සන සොසිගේ මේ වෙනස් ලියවිල්ල රසවින්ඳෙමි.

    ReplyDelete
  9. මටත් පොඩිකාලෙ මතක් උනා. ගෙඹි බිත්තර නෙවේ ගෙඹි ඉස්ගෙඩි නං අල්ලල තියනව.
    //ස්කාෆ් , තොප්පි,සෙරෙප්පු,රේන් කෝට්.... ඕව ඔක්කම දාන් හඳට යන්න වගේ එළියට බහින්න මම ආසම නෑ//
    ‍මේ ටික මට දැනෙන්නෙ නිකං විදෙස් ගතියකින්.

    ReplyDelete
  10. ධාරා ගේ කතාව ඇත්ත. හරි හුරතල් කියලා හිතෙනවා ගෙම්බො වුණත්....

    ReplyDelete
  11. සොසී මටත් හිතෙනවා පොඩි එකාට මේ දේ මේ විදියටම උගන්නන්න.. ස්තුතියි..

    ReplyDelete
  12. මාත්තුරුකාව ටිකක් වෙනස් උනානං හොඳ නැද්ද?

    මයෙ පොඩි කාලෙ - කළු මුතු ඇට වැල්

    ReplyDelete
  13. මටත් පුංචි කාලේ මතක්වුනා අපේ ගේ පල්ලැහැ තියෙන්නෙත් පුංචි ඇළ පාරක් ..පොඩි දවස්වල මාළු පැටව කියලා හිතාගෙන ඉස්ගෙඩි අල්ලාගෙන ඇවිත් බෝතල් වල දාගෙන් හිටියා මතකයි..

    ReplyDelete
  14. ++++++++++++++

    ReplyDelete
  15. මොනාද අක්ක ගෙඹි බිත්තර .. ඕං ඉබි බිත්තර නම් සුපිරි

    ReplyDelete
  16. රයිට් ක්ලික් වැඩේ නම් හරි යන එකක් නෙවේ, එකෙන් වෙන්නේ පරණ පෝස්ටු ටික අපි වගේ ඉන්ටර්නෙට් සීමිත වෙලා ඉන්න හිඟන්නන්ට බලන්න බැරි වෙන එක! :( කොපි කරන එකා කොහොමත් කරනවා,මේ බලන්න.

    කෝටු කෑලි දෙක තුනක්ම ගෙනාවත් කළු-මුතු ඇට වැල් වලට දිග මදි වුනා.අන්තිමටම කොහොම හරි මම හොයා ගත්තේ ගස්ලබු කඩන කෙක්ක. ඒකෙ අග්ගිස්සට හයි කරල තිබ්බ පොඩි මල්ල නිසා වැඩේ ලේසි වෙයි කියල මට හිතුනා..........

    හරියටම ගාණට නැතත් අනත් හැම කෝට්ටකටම වඩා කෙක්ක දිගින් වැඩි වුනා.ඒත් තිබ්බ එකම අපහසුව තමා කෙක්ක හේ කර ගන්න බැරි වීම.ඒ කියන්නේ දෑතින් බදල ඇල්ලුවත් ඉලක්කයට යද්දි කෙක්කෙ ගැස්සිල්ල වැඩි වෙනවා.

    අන්තිම අවස්ථාව වෙද්දි කෙක්ක බොහෝ දුරට ආගන්තුක වැල් වලට ලඟා වෙලා තිබ්බා. මගෙ මුළු හිතමත් මුළු නෙතමත් මුළු කයමත් ඒකාත්මිකව ඒ වැඩය කෙරේ යොමු වෙලා තිබ්බා. දන්නෙම නැතිව කණ්ඩිය උඩට කකුල යන්න ඇත්තෙ ඒකයි. පස් කණ්ඩියත් කඩා ගෙනම මම වැටුනෙ අර ජරා වලේ.

    මඩ පාට වතුර මගෙ ඇස් වලට පෙනුනා. අමි රහ වතුර උගුරෙන් පහලට ගියා. කෙක්ක විසිවෙලා යද්දි වතුර වලේ මැද හරියෙ තිබ්බ අර අමුතු වැල් ජාතිය කෙක්කෙ පැටලිලා මා ළඟටම ඇවිත් මගේ ඇඟේ ගෑවි ගෑවි තිබ්බා.කිසිම දෙයක් හිතා ගන්න බැරිව මඩ වලේ ඔහේ යටටම යටටම යනවත් එක්කම මහ හඬින් මම කෑගැහුව වගේ මට මතකයි.

    ------------------------------------

    ReplyDelete
  17. ඒක අයින් කරා......සමාවෙන්න වෙච්චි අකරතැබ්බියට....

    ReplyDelete
  18. කියෙව්වේ සෑහෙන දවසකින් අක්ක. ඒ උනාට කමෙන්ට් කරන්න ලැප් එකෙන් ආවේ අද. නියම අත්දැකීම වෙන්න ඇති නේ? හි හි..
    අර කතාව කියන්ඩෝ.....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...