..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, July 5, 2013

ලස්සන දවසක් (පළමු කොටස )

ලස්සන දවසක්
පළමු දිගහැරුම

වර්තමානයෙන්


බත් එක පුරා විසිරී ඇති නොයෙක් ආකාරයේ ව්‍යාංජන එලෙසම තිබිය දී ඔහු බත් පමණක් එක පිඩට අනමින් සිටියි.එයද බොහෝ වේලාවක සිට ඇනෙනවා  මිසක උදරගත වීමට ලැබෙන පාටක් නම් නැතිවා මෙනි.

මොකක් ද බං , උඹ තාමත් .. . .  මේ මට මෙතැන හුරතල් වෙවී ඉන්න බෑ ,උඹල දෙන්න කාලා වරෙන් එහෙනම් මම යනව පහළට.නැතිනම් ලොක්කා පරල වේවි “

සසංක පිටට දැමූ තට්ටුවෙන්, පියවි සිහියට පැමිණි රජිත බත් එක දෙස නොබලාම එය එක මිටට උණ්ඩි කර ඔතන්නට විය.

රජී . . . . . ඔයාට මොනා වෙලා ද ? “ දරා ගත නොහැකි තැන් දී මගේ හඬ අවදි විය.


“ හ්ම් . . . . . . . . . “ පිළිතුර ලෙස පිටවූ දිග හුස්ම ඔහු සිත පෑරී ඇති තරම දක්වන දර්ශකයක් මෙනි.

“ ගණන් ගන්නෙපා රජී. අපි ඉස්සර හිටය වගේ ඉමු. මට ඕනි නෑ ඔයා . . . . .“ මා පැවසීමට ගිය දේ අවසන් කිරීමට මත්තෙන් ඔහුගේ හඬ ......



“ නෑ. . .ඔයා මේක අහගන්න  ඕනි .නැත්තම් ඔයා හිතාවි මාත් හිතක් පපුවක් නැති කොල්ලෙක් කියලා. ඔයාව රවට්ටන්න මට ඕනි නැහැ නිසා.නිසංසලේ තිබ්බ ඔයාගේ ජීවිතේ මට අවුල් කරන්න බැහැ.කොහොමත් ඔයා ගැන හිතද්දි , මගේ හිතට එන්නෙ මහ වරදකාරී හැඟීමක් නිසා ...... “


 
“ ඒ කියන්නේ. . . . . .  ඔයා මට ආදරේ නෑ කියල නේ “



මා හා සම්මුඛව පටු මේසයේ වාඩි වී සිටින ඔහු ගේ මේසය මතට ම බරවූ දෑසට එඹෙමින් මම ඇසුවේ ඒයට ඔහු දෙන පිළිතුර ඔහුගේ දෑසින්ද දැකීමට උවමනා වූ නිසාමය.



එකවරම හිස කෙළින් කර මා දෙස සෘජුව බැලූ ඔහු . . . 


“ නෑ . . .  ඒත් . . . . “



පිළිතුර එය බැව් දැන සිටිය ද, එය අසන සෑම වාරයක් පාසාම මා හද සියුම් විදුලියක් දිව යයි. පටු මේසයට පහළින් ඔහුගේ නිරුවත් පා ඇඟිලි මත තිබූ මා නිරුවත් දෙපාඇඟිලි ඔහුගෙන් ක්ෂණිකව ඉවතට ගන්නට එයම හේතු වන්නට ඇත.

 

එකනෙහිම ,මේසය මත තිබූ ඉඳුල් අතේ ඇඟිලි පහම ඉතා තදින් ග්‍රහණය කර ගත් රජිත මා මුහුණට එඹුනේ ඔහුගෙන් දෑස් වසන් කර ගැනීමට කිසිදු ඉඩක් නොතබාමය.



“ මේ අහන්න . . . . “

 

ඔහුගේ හඬ මට කරන තර්ජනයක් වැනිය. ඔහුගේ ගැඹුරු හුස්ම මා කොපුල් මත වදී.බොකුටු හිස කෙස් ඔහුට බියෙන් මෙන් සිවිලිං විදුලි පංකාවේ සුළඟට ද නොසැලී සිටියි.දෑස් දිදුලයි, එය සෘජුය, ගැඹුරුය නමුත් මා දැකීමට ආසා කරන යමක් එහි නැතිවා මෙනි.



“ මේ අහන්න නිසංසලා , මම ඔයාට කැමැති , ඔයත් මට කැමැති, ඒක අපි දෙන්නම දන්නවා. ඉතින් මොකටද මෙතැනට ආදරයක් . අපි මෙහෙම ඉමු “



 
දෑස්වලට පිරුණු කඳුළු කැට සඟවා ගන්නට වෙර දරුවද, දැවිල්ලක් සමඟ නාසයෙන් පිටවූ කඳුළු බින්දුවකට පාර අමතක වුනා සේය.දෑසේ නලියන තෙතමනය විසින් රජිත සංසුනා කළා මෙනි.


“ මං ඔයාට ආදරය නැත්තේ නැහැනේ. ඒත් . . . . .“

“ ඕනි නැහැ රනූ. . .අපි මේ ගැන ආයෙ කතා නොකර ඉමු “


 
“එහෙම නෙමෙයි . . .  මම . . . ආදරය කියන හැඟීමට බයයි. “

“ ඒ මොක ද ? “

“ ඒක . . . .“

“ඔයා කාටවත්ම ආදරය කරල නැද්ද රජී ?“

“ කරා. . . “

“ කාට ද? “

“ හ්ම් . . . . .  ස්කොලෙදි “

“ඉතින් . . “

“ ඒක දිග කතාවක් නිසා, දැන් ඒව මතක් කරල වැඩක් නැහැ.“



අසුන්ගෙන සිටි වානේ පුටුව “බරාස් “ හඩින් පසුපස්සට විය.ඊයක වේගයෙන් මට නැඟිටුනේ කෙසේදැයි මතක නැත. ඇසිපිය වේගයෙන් සැලෙන්නට විය.පපුව ගැහුනේ මටම පමණක් නොව වටේ පිටේ යමෙක් සිටියේ නම් ඔවුනටද ඇසෙන ලෙස වන්නට ඇත.



“ ඔයා තමා ඒව මතක් කර ගෙන ඉන්නේ.නැතිනම් ඇයි මට ආදරේ නැත්තේ.ඔයා හිතන්නේ මම කවුරු කියල ද? ඔයා එක්ක කාමර ගානේ යන ගණිකාවක් කියල ද.තමුසෙ දැන ගන්නව.මාත් ගෑණියෙක්.අනිත් වුන් වගේම මාත් කැමැති මගෙ කොල්ල මට ආදරේ වෙනවනම්.තමුසෙ හදන්නේ , බොරු සුරංගනා කතා කියලා තමුසෙගෙ උවමනා එපාකම් මගෙන් පිරිමහ ගන්න. හිතුව මදි රජි. තමුසෙගෙන් මං පළිගන්නවා.තමුසෙ බයවෙන්නෙපා.මම බලෙන් තමුසෙගෙ ඇගේ එල්ලෙන්න එන ජාතියෙ කෙල්ලෙක් නෙමෙයි.“



හුන් තැනින් නැගිට ගන්න නොහැකිව තුෂ්ණීභුතව මා දෙස බලා සිටින රජිත දුටු විට මා සිතට පිවිසියේ සියුම් අහංකාර හැඟීමකි.



සිරුරේ අභ්‍යන්තර වෙවලීම පාලනය කර ගැනීමට නොහැකි වුව ද, රජිත සිටිනා අයුරු දුටු විට ගත ක්‍රමයෙන් සංසුන් වන බවක් දැනුනි.



මොනද බන් උඹල කරන්නේ.? අන්න අරහෙ උඹව සොයනව නිසා. උඹෙ සද්දෙ විතරක්.හොඳ වෙලාවට ලන්ච් රූම් එකේ කවුරුවක් නැත්තේ.වරෙන් යන්න. “


 
කොහෙ දෝ සිට පැමිණි ලක්මිණී මගේ වමතින් අදියි. ගස්සා ආපසු උදුරා ගත් වමතත් නොසේදු ඉඳුල් දකුණතත් , තවමත් ගැහෙනා අභ්‍යන්තරය ශරීරයත් වාරු කර ගත් මම ලන්ච් රූම් එකෙන් පිට වුනේ ඔවුන් දෙදෙනා දෙසවත් නොබලමිනි.


“යකෝ මේකිට නිසංසලා කියල නම දැම්මෙ කවුද මන්දා ? “

අඩිය ඉක්මන් කරමින් ලක්මිණිද මා පසු පස්සේ වැටුනාය.ලන්ච් පැය ඉලාස්ටික් දැයි අසමින් මා වෙත දොස් පැවරූ ආයතන ප්‍රධානියාට ,ඔහුගේම මේසය මත වූ ඝනකම් ෆයිල් කවර ටික උස්සා පහර දීමේ නොනිමි ආසාව යට පත් කර ගත්තේ ආයාසයෙනි.



“උඹට මොනා වෙලාද කෙල්ලේ. ඔහොම කොල්ලොත් එක්ක එකටෙක ඉදල බෑ බන් උන්ගේ හිතගන්න. ටිකක් බුරුල පෙන්නල පූස් පාට් එකෙන් හිටහන් ටික කාලයක්.ඊට පස්සේ උන්ට අපිව දාලා යන්න තියා හිතන්නවත් බැරි වෙනවා.විශේෂයෙන් උඹ වගේ කෙල්ලෙක්......“

“ අනේ මේ . . . මට ඕනි කොල්ලෙක් නෑ බන්. උන් හැමෝටම ඕනි එක දෙයයි. “

රජිත . . . . . . . බාහිර පෙනුමෙන් ඔහු ඉතා හැඩකාරයෙකු ද නොවේ.නමුත් ගැහැණියකගේ සිත් ඇඳ ගන්නා පිරිමි ලක්ෂණ රාශියක් ඔහු සතු වේ. කාරුණික කතාව.නොපැකිලිව කරනා උදව්. අනුන් වෙනුවෙන් කැපවීම. පුහු ආටෝප නැති සරල ජීවිතය. ජීවිතය පිළිබඳව වූ ඔහුගේ දැක්ම ,ඔහු වෙත මා සමීප කිරීමට හේතු වූ කාරණා අතුරින් කිහිපයක් පමණි.




ඔහු හා මා පෙම්වතුන් නොවේ.නමුත් කාර්යාලයේ සියල්ලන්ම දන්නා පරිදි අතිසමීප මිතුරු සම්බන්ධකමක් අප දෙදෙනා සතු වේ. අවබෝධය ,හඳුනා ගැනීම මත දිව ගිය මිතුරුදම , පෙම්වතුන්ගේ සීමාවට ද මදක් ඔබ්බට ගොස් ඇති බැව් හැඟීයත්ම ඔහු මාගේ අතිවිශේෂ මිතුරා පමණක් නොව න බැව් ද ඔහු ගැන සිතේ ආදරයක් ඇතිවී ඇති බව ද මා තේරුම් ගත්ත ද , රජිත    ගිය මඟෙහි නම් වෙනසක් නොවීය.

 

ඔහුට මගේ උණුසුම ,සුවය ,ආස්‍රය නිතරම උවමනා වූව ද, “ ඔයා මට ආදරෙයි ද ? “ අසන සෑම වාරයකම ඔහු එයට පැවසූ එකම පිළිතුර “ ටිකක් ආදරෙයි.. . .. “ යන්න පමණි.



කාර්යාල රාජකාරී කිහිපයක්ම එක දිගටම වැරදී යද්දි, එක් අවස්ථාවක ආයතන ප්‍රධානියාට ගෙන ගොස් දුන් ෆයිල්කවරයක් පියාඹා ගොස් නැවතුනේ රජිතගේ මේසය මතයි. දිවා ආහාරයෙන් පසු ඔහුගේ මුහුණවත් නොබලා ඉන්නට තරම් මම ප්‍ර වෙසම් වූයෙ මි. ලොක්කා ගේ බැනුම් අසා රිදවා ගන්නට තරම් සිතක් මා වෙත නොවූයේ ,වඩාත් රිදුනු සිතකට එය නොගැණිය යුතු තරමේ වූවක් නිසා වන්නට ඇත.


කාර්යාල වේලාව අවසන් වන්නට විනාඩි කිහිපයකට පෙර ලක්මිණී මා අත ගෙනත් තැබූවේ හතරට නැමූ කුඩා කඩදාසිය දිගහැර බලන්නට සිතුනේ පිටවීම ද සටහන් කර කාර්යාලයෙන් පිටට පැමිණි පසුවය.

“ නිසා . . . මට ඔයා එක්ක කතා කරන්න ඕනි නිදහසේ. නොවරදවාම හෙට සිටි ගෙස්ට් එකට යන්න එන්න. උදේ 8ට.“

සිතට ආ ආවේගය මෙතකැයි කිව නොහැක. ඔහු කතා කරන බව දන්නා හෙයින් නිවා තිබූ ජංගම දුරකථනය ක්‍රියාත්මක කළේ ඔහු අමතා සිතේ කැකෑරෙන තරහව පිට කර මේ සම්බන්ධය මෙතෙකින් නිමා කිරීමටය.

ජංගම දුරකථනය ක්‍රියාත්මක කළ වහාම, වැල නොහැකී පැමිණි එස්එම්එස් වලින් ද මඟහැරුණු ඇමතුම් වලින්ද දුරකථන ඉඩ පිරීයන්නට විය.



ඒ කිසිවක් විවෘත නොකරම යළිත් දුරකථනය නිවා දැමූ මගේ සිත ඒ වන විටද දැඩි තීරණයක් ගෙන තිබුණි.


“ හොඳයි . . . . . හෙට බලාගමු . . .  . .“


තවත් කොටසකින් ගෙස්ට් හවුසියේ දී හමුවෙමු . . . . . . . . .

11 ප්‍රතිචාර:

අටම්පහුර said...

වයසක අපිට පේන්නැ .පුලුවන්නං අකුරු ටිකක් ලොකු කොරන්ඩ

දිලිනි said...

මිනිස් හිත් කියන්නේ මහ පුදුම තැන්....

සමී said...

අද සිට සොඳුරු සිත සමඟම

raslak said...

sonduru sitha nathiwa Thawuna sitha ...

Gimhani said...

හෙට වෙනකම් බලා ඉන්නවා .

කතන්දර කාරයා said...

රනුක ගේ නිසංසලා ඔබ රජිතට අයිතිකර දීම ගැන මගේ බලවත් ශෝකය.

දයානන්ද රත්නායක said...

ඇති යාන්තමට බ්ලොග් එක අමතක වෙලා නෑ එහෙනම්... ඉස්සර සතියකට දෙකතුනක් ලියූ ලේඛිකාව දැන් නිහඬවෙලා...

ප්‍රේම වෘත්තාන්තයේ ආරම්භය එක පාරටම දෙබස් වලට එන්නෙ නැතිව ටිකක් නිර්මාණාත්මක වටපිටාවක් සහ පසුබිමක් ගොඩවැගුවනම් හොඳයි කියලයි මට හිතෙන්නේ..

Gimhani said...

නිසංසලානම් හරි කලබලකාරියක් වගේ මට පේන්නෙ .

ධාරා said...

කාලෙකට පස්සේ . . .

Anonymous said...

waiting to read more.......

ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) said...

මේ ජීවිතයම නේද? කතාවේ රිද්මය වඩා තදින් හිතට දැනෙන්නේ මන්දැයි නොදනිමි.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...