..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, June 4, 2013

තටු නැති මැස්සෝ /Flies Without Wings,

තටු නැති මැස්සෝ / /Flies Without Wings



සුරේඛා ගේ සීතල අත මතින් තැබූ සුදේවගේ උණුසුම් අත උද්‍යානයේ කිසිවෙකුටත් නොපෙනන පරිදි තම සාරි පොටින් වසා ගැනීමට සුරේඛා උත්සාහ කරේ අවිඥානිකවමය.

ඔහුගේ අතේ උණුසුමෙන් මිදීමට ඇය සිත නොකැමති වූ පමණටම එය කවරෙකු හෝ දකීදැයි ඇගේ හදවත  මොර ගාන්නට විය.

සුදේව තව තවත් ඇය වෙත තෙරපෙද්දී කලබල වූ සුරේඛාගේ දෑස් දිව්වේ උද්‍යානයේ පුරා කොන්ක්‍රීට් බංකු මත වාඩි වී සිටිනා පෙම්වතුන් වෙතටයි.

ඔවුන්ට මේ දෙදෙනා කරන්නේ කුමක්දැයි බැලීමට විවේකයක් කොයින්ද , ලද නිමේශයේ දී මුළු ලොවම අමතකර කර ඔවුන් ඔවුන්ගේ ලෝකයන් හි තනිව ඇත. නමුත් ඒ පෙම්වතුන් සහ තමන් දෙදෙනා අතර ඇති වයස් පරතරයන් සිහිනැගෙද්දී සුරේඛාගේ සිත සසලව ගියේ නැතැයි කිව නොහැකිය.



ඔවුන් වාඩි වි සිටින බංකුවට , ආසන්නතම බංකුවේ සිටින්නෙ පහලොස් වියේ පමණ හිරිමල් දැරියක් බව සුරේඛාට සිතේ. පොත් මිටිය ළයට කිටි කිටියේ සිර වෙන ගමන් ඇගේ තොල් ඇගේ පෙම්වතාගේ තොල් අතර සිරිවී තෙරපී යයි. තම දියණිය ද තව වසර දෙක තුනකින් ඒ වයසට පැමිණෙනු ඇත. තමන් මේ කරන්නේ කුමක් ද?

“ අනේ සුදේ .........අපි මෙතැනින් යමු සුදේ “

යොවුන් පෙම්වතුන් කෙරෙන් දෑස් නොගෙනම සුරේඛා , සුදේවගෙන් කළ ඉල්ලීම සුදේවගේ වත දැල්වූයේ සතුටකි.

“ ඒකනේ කෙල්ලෙ මම කීවේ. එදා අපි ගියපු තැන නෙමෙයි.මම වෙන ෂෝක් තැනක් බැලුවා.අපි යමු එතැනට “

ආසාව වෑහෙන ඇස් වලින් සුරේඛා දෙස බැලූ සුදේව , ඇගේ අනුමැතිය ලැබෙන තෙක් පසුවූයේ නොයිව සිල්ලෙනි.

“ අපිට එතැනින් දවල්ට කන්නත් පුළුවන් කෙල්ලේ “



“ කන්න ,? මම කෑමෙකක් ගෙනාවා සුදේ “


අත් බෑගයට අත යැවූ සුරේඛා තවමත් උණුසුම වියැකී නොගිය බත් පාර්සලය දකුණතට ගත්තේ දෑසේ ප්‍රශ්ණාර්ථයක් රදවා ගනිමිනි.


“ මෙන්න මෙහෙ දෙනව ඕක. .  . . . .  ‘‘


සුරේඛාගේ අතින් ගිලිහී අහසින් ගිය බත් පත ක්ෂණිකව ගොස් චොරොස් හඬින් වැටුනේ උද්‍යානයේ වතුර මල යටටය. වතුර මලෙන් ගිලිහී වැටෙන වතුර බිදු බිදු ඉහිරී බත් පත වට කරන් තිබූ ඉරිදා පත්තර කොළය තෙත බරිත වී යෑමටත් , කපුටන් රංචුවක් එහි රස බැලීමට වටවීමටත් වැඩි කාලයක් ගත නොවී ය.

ඉහළට ඇද ගත් හුස්ම , පහළට හෙලීමට අමතකව ගිය සුරේඛාට සිහිවූයේ ප්‍රමාද වී ලෑස්ති වූ නිසා අද බත් පත බැඳ අතට දුන් තම ස්වාමියායි.

“ ජයේ . . . . මට පරක්කු වෙලා “


“ මේක ගෙනියන්න  මැණිකේ . . .  “


“ බත් දෙකක් බදින්න ඇති වුනා ද? “


“ නෑ. . කොහොමත් අද අපේ ඔෆිස් එකේ පෙරේරාගෙ දානෙ ගෙදරක්. මට එහෙන් කන්න පුලුවන් “


ජයේ , සුරේඛාගේ ලිපිකරු සැමියායි. කිසිම උණුසුමක් ,කිසිම ආදර වදනක් හුවමාරු නොවන ඒකාකාරි වසර අටක විවාහ දිවිය තුළින් නොලද යමක් සුදේවගේ ආශ්‍රිය හමුවේ ඇය ලබන බව සැබෑය. නමුත් එය හරියටම කුමක්දැයි තෝරා බේරා ගැනීමට ඇයිට උවමනා නොවීය. 

“ අපි යමු “

තවමත් බංකුව මත වාඩි වී , වතුර මල යට ඉහිරී ගිය බත් පතට පොරකන කපුටන් දෙස බලා සිටිනා සුරේඛාගේ දකුණතින් අදිමින් සුදේව පවසන්නට විය.

“ මට බෑ. . . මාව හොයනව ඇති ඔෆිස් එකේ “

සුරේඛා වහා සිහිලද්දියක මෙන් කියන්නට වූවා ය.

“ මොනවා ! ඔයා කීව නේද ? ඩියුටි ලීව් දාලා ෆීල්ඩ් යනව කියල ආවේ කියලා. ඉතින් මොකටද ඔයාව සොයන්නේ ? “



ඔවු , කීවා තමයි. ඒත් දැන් මට යන්න ඕනි “

“ සුරේඛා . . . . “


ක්ෂණිකව නැඟී සිටි සුරේඛා පිටුපස හැරී බලනටවත් පමා නොවී උද්‍යානයෙන් පිට වන ගේට්ටුව අසල දීම නැවතූ බසයට ගොඩ විය.

= = = = = = = = = = = = = = = = = = = = = = = = 




“ ඔයා අද වේලාසන ? “


“ ඔවු ජයේ . . .ඔයත් අද වේලපහ ? “

“ ඔවු. මේ . . . . . .  ඔයාට හරි මහන්සි පාටයි “

“ඔවු ජයේ . ඔයා අද දානෙ ගෙදර ගියා ද ?“

“ නෑහ් .ඒක හෙටලු තියෙන්නේ “

“ ඉන්න මං ඉක්මනට උයල දෙන්නම්. මම එමින් ගමන් හාල් පොල් ටිකක් අරන් ආවා. දැන් දූත් පන්ති ඇරිල ඒවි “


“ ජයේ කීවා නේද මෙහේ ප්‍රා.ලේ එකේ වේකන්ට් එකක් තියේ කියලා “

“ඔවු ඒත් ඔයා ව වැඩ කරන තැනින් රිලීස් කරන්නෑ කීවනේ “

“මං ඒක කොහොම හරි කරගන්නම්. ඔයා පොඩ්ඩක් බලන්න මට එතැන ට එන්න පුලුවන් ද කියලා “

“ මොකද හදිස්සියේ ? “

“ නැහ්. . .  මේ බස් ගමන දැන් නම් මට එපා වෙලා “

නලලේ රැඳි සිහින් දාබිදු දකුණතේ අත්ලෙන් පිසිමින් ද කරකවා ගත් සාරි පොට වමතින් ගෙන බඳේ රදවමින් ද මුළුතැන් ගේ දෙසැට ඇදුනු තම සුන්දර බිරිඳ ට අලුතින් සාරියක් අරන් දිය යුතු කාලය පැමිණි ඇති බැව් ජයදේවට හැඟුනි.

තමා හට නිර්නාමිකව දුරකථන ඇමතුම් ලබා දෙන්නන් පවසන කරුණු  වල සත්‍ය අසත්‍යතාවය ඇගෙන්ම විමසා දැනගැනීමට කෙටි නිවාඩුවක් දමා තමා කාර්යාලයෙන් ආ බැව් ජයදේවට අමතකව ගියා සේය.තවමත් තරුණ විය ඉක්මවා නොගිය තම සුන්දර බිරිඳ මුළු තැන් ගෙට ගොස් වැළඳ ගත යුතු යැයි නැඟී ආ ආසාව ජයදේව යටපත් කර ගත්තේ ආයාසයෙනි.

10 ප්‍රතිචාර:

හිරු said...

බොහෝ සාම්ප්‍රදායික පවුල් ජීවිතවල යටින් දිවෙන සම්ප්‍රදායික මානසිකත්වයන්....

Black Puma said...

අසමතුලිතතාවයෙන් සමතුලිත වෙන්න පුළුවන් දෙයක් කියලයි මට නම් හිතෙන්නේ

priyantha hewage said...

ආදරයක්, අවභෝධයක් නැති තැන ඔහොම වෙනවා කියලා කෙනෙක් කියයි. ඒත් ඒ ඔක්කොම තියෙන තැන් වලත් ඔය දේ වෙනවා, මිනිස්සුන්ගේ ලිංගික නිදහස අහුරලා නිසා සමාජය ඔය දේවල් දකින්නේ වැරදි විදියට.

Henry Blogwalker said...


කො‍ටු පැනීම වනාහී...

Loku John said...

රාජකාරී ජීවිතේ තාවකාලික සතුට. හුඟක් තැන්වල හොරෙන් දකින්න තියන කතාවක්.

දිලිනි said...

තමන් ගේ හිතට අවංක ව කටයුතු කරන තැන තමයි සැනසීම තියෙන්නේ කියන එක යි මගෙ අදහස.

Anonymous said...

තව කොටසක් නැද්දො? දිගටම continue කරන්න පුලුවන් කතාවක්. පුලුවන් නම් ලියන්න අක්කේ.
ගොඩක් කල් blog එක කියවන්න අරගෙන. comment කරන්නේ නම් අදද කොහෙද. ලස්සන කතා තියෙනවා. අර දවසක් කියල තිබ්බා වගේ පුලුවන් නම් පොතක් ගහන්න මේ කතාවලින්. all the best!

ආ anonymous comment කරන්න තියෙන එකත් හොඳයි. ගොඩක් blog වල එහෙම බැහැ. ඒ කියන්නේ මේවා කියවන්න එන්නේ blog ලියන අයම විතරද?!

G MANJU said...

වෙනස්ම ආරක්.

අඟහරුවා. said...

පෝස්ට් ඔක්කොම කියෙව්වා. ඒත් ෆෝන් එකේ අවුලක් නිසා කමෙන්ට් කරන්න දෙන්නේ නෑ ප්‍රිවීව් වෙලා නවතිනවා. අද මැෂිමෙන් ආපු වෙලාවේ තමයි මෙහෙම වත් ගහගත්තේ. ඒත් ආය අගෝස්තු පහු වෙනකල් එන්න බැරි වේවි..

Deepika Priyadarshani said...

"තවමත් තරුණ විය ඉක්මවා නොගිය තම සුන්දර බිරිඳ මුළු තැන් ගෙට ගොස් වැළඳ ගත යුතු යැයි නැඟී ආ ආසාව ජයදේව යටපත් කර ගත්තේ ආයාසයෙනි"

ජයදේවට මෙහෙම හිතුනේ ඇයි කියන එක ඇතුළේ, තවත් කතාවක් ලියවිලා කියලා හිතෙනවා.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...