..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, June 12, 2013

එක දවසක් ස්කෝලේ .........




එක දවසක් ස්කෝලේ .........



අද උදේ ස්කෝලෙට බොහොම සුරතල් පුංචි අමුත්තෙක් ඇවිත් හිටියා. ළමයි ඒ අමුත්තා දිහා බලද්දි ළමයින්ගෙ ඇස් ප්‍රීතියෙන් දිලිසුනා. කාලච්ජේද අටේම මොන ගුරුතුමා/තුමිය පන්තියට ආවත් අලුත් අමුත්තා ගැන වචන කිහිපයක් කතා කරන්න ළමයි පසුබට වුනේ නැහැ.ඇත්තටම අද මුළු ස්කෝලෙ පුරාම ඒ අමුත්තා සැරිසැරුවා. “ ටීචර් , අද ගෙදර යද්දි මම මේකව බෑග් එකේ දාගෙන යනවා “ මගේ පන්තියේ ළමයෙක් කීවේ අනිත් අයට නොඇසෙන විදිහට හරි රහසින්....... ඒ ...අදහසම තවත් ළමයි කීදෙනෙක්ගෙ හිතේ තිබුන ද කියල මං හරියටම දන්නෑ.විවේක කාලය ඉවර වෙන්න ඔන්න මෙන්න තියල.......තවත් අමුත්තො දෙන්නෙක් ඒ ගොඩට එකතු වුනත් එයාල කලින් කෙනාටත් වඩා අවධානය දිනා ගත්තා.... මේ අමුත්තො තුන්දෙනා සඳුදා ස්කෝලෙට යද්දි මොන විදිහෙන් හමුවෙයි ද කියල මට නම් හිතා ගන්න බැහැ.මගේ පුංචි කාලෙට යන්න පුංචි අඩි පාරක් හදාගෙන ම , අද පුංචි බලු කික්කි පැටියෙක් සහ හාවො පැටව් දෙන්නෙක් පාසල් ඇවිත් හිටියා......................


මා උගන්වන පාසල මිශ්‍ර පාසලක් වුනාට මා ඉගෙන ගත් පාසල එකල ප්‍රසිද්ධ බාලිකා පාසලක්. නොයෙකුත් ආකාරයේ ගැහැණු දරුවන්ගෙන් යුක්ත වෙච්චි මගේ පාසල බොහොම සුන්දර තැනක්. මට මතකයි මං පහේ පන්තියේ වසරකට වඩා වැඩි කාලයක් හිටියා. මම විතරක් නෙමෙයි මාත් එක්ක හිටපු කවුරුත් පහේ පන්තියේ වැඩි කාලයක් හිටියා. ඒකට හේතුව වුනේ 89 කාල වකවානුවේ වෙච්චි කලබල. ඒ මොන කලබලට තිබ්බත් “ පිංකි “ තරම් අපේ හිත් සසල කරන්න පුලුවන් වෙනත් කෙනෙක් ඒ කාලේ හිටියෙ නැහැ.


යන එන පාරේ පිලිස්සෙන ගිනි ගොඩවල් ලඟදී අම්ම මගේ ඇස් වහපු නිසාත් වැඩිය පාසල් යන්න හම්බුනේ නැති නිසාත් ඒ කාලය මහ පුදුම කාලයක් වුනා.අපි නිදා ගත්තේ කුප්පි ලාම්පු එළියෙන්. කළුවරේ නිදියන්න අපේ ගෙදර කවුරුත් බය විත්තිය මට දැනිලයි තිබුනේ. ඒත් ජනේලය සම්පූර්ණයෙන් වැහෙන්න ගෝනි උරයක් ගැහුවෙ ඇයි කියලවත් මුළු ගෙදරම අය එකම කාමරයකට වෙලා නිදාගත්තෙ ඇයි කියවලත් වැඩිය හිතන්න උවමනා නූනේ එකට වැටිල නිදා ගන්නෙක හරිම සොඳුරු අත්දැකීමක් වෙච්චි නිසා.ඒත් හයියෙන් හිනා වෙන්න කතා කරන්න තහනම් නිසා නින්ද යනකම් රහසින් කොඳුරන එකත් සොඳුරු සිද්ධියක් වුනා.


ඒ වගේ මහ අමුතුම ගන්ධබ්බ කාලෙක තමයි අපිට ස්කෝලෙදි “පිංකි“ ව හමුවුනේ.එයා ගෙ ඇස් රවුම්,ලොකුයි. එයාගේ වලිගෙ වනන තාලෙටම ඇසුත් දිලිසුනා. අපේ පස්සෙ දුවන එන විතර සතුටක් එයාට තිබ්බෙ නැහැ.ඒ වගේම එයා අපේ පස්සෙන් වැටිල ඉන්නවට අපි කවුරුත් හරි කැමැති වුනා. ඉදල හිටල ස්කොලෙට ගියත් අපිට උගන්වනවට වඩා වැඩ ගුරුවරුන්ට තිබ්බ නිසා “පිංකි“ ගැන වැඩි අවධානයක් දෙන්න එයා ගැන සොයා බලන්න අපි කාටත් පුලුවන් උනා.


කැඩිච්ච ඩෙස් පුටු වලින් අපි එයාට පුංචි ගෙයක් හදල දුන්නා.“පිංකි“ කියල ලොකුවට ලියල ඒ ගේ ලඟින් තිවුවා. අපි කෑවා නොකෑවා වුනත් පිංකි ට නම් නොයෙකුත් ජාතියේ කෑම හැමදාමත් හම්බුනා. කඩඉම් කාලයක් ගත කරපු අපි සමහරු ශිෂ්‍යත්ව රචනාවටත් “ පිංකි“ ගැන ලියන බවට පොරොන්දු වුනා.


ඒ කාලේ උන්හිටි ගමන් ස්කෝලෙ අරිනවා. එහෙමත් නැතිනම් හිටිගමන් ස්කොලෙට අම්මල තාත්තල ඇවිත් බලෙන්ම ළමයිව ගෙදර අරන් යනවා. උඩහ අයියලගෙ ලොකු ස්කෝලෙන් දවසක් අපෙ ස්කෝලෙට අයියල ඇවිත් අපිව පෝලිමේ එක්කරන් ගියාට පස්සේ ස්කෝලෙ දිගටම වහලයි තිබ්බේ.ඒ කාලේ අම්මල තාත්තල “අනේ අෆොයි “ කියල දුක් වෙද්දි. මඟදි හම්බෙන අයව මඟාරිද්දි. ගෝනි දාපු මිනිස්සු ලග පෝලිමට මිනිස්සු හිටවල ඉද්දි. සමහර තැන් වලදි අම්ම අපේ ඇස් වහද්දි. ටවුමට නොයා පිට පාරවල් වලින් අත්‍යාවශය ගමන් යද්දි.අපි දුක්වුනේ අපිට ස්කෝලෙ යන්න බැරි වෙච්චි එක ගැන විතරමයි.



ශිෂ්‍යත්ව විභාගෙ කල්යන එක ගැන නම් හිතේ තිබ්බෙ මහ පුදුම සතුටක්. කොහොම හරි ගන්ධබ්බ කාලයක් ගත වෙලා ආපහු අපි ස්කෝලෙ යද්දි, ගොඩාක් දෙනාගේ අයියල අතුරුදහන් වෙලා තිබ්බා.සමහරුන්ගේ තාත්තල ආ ගිය අතක් හොයා ගන්න බැරි වෙලා....මේ හැමදේටම වඩා අපිට දුක ගෙනාවේ “ පිංකි“ ත් අතුරුදහන් වෙලා තිබ්බ නිසා.

ස්කොලෙ ගිහින් ඇවිත් අම්ම වටේ තාත්ත වටේ දැවටි දැවටි “පිංකි “ ගැන කිය කියා නාහෙන් අඬද්දි. අම්ම කීව කතාව එදා හරියට තේරුන්නෑ.



“ අනේ ළමයො නිකම් බොරුවට ඤැරු ඤැරු ගාන්නෙ නැතිව ඉන්නවා. බල්ලො බලල්ලු වගේ දහස් ගානක් මහ පාරේ පිච්චෙද්දි , උඹ මෙතන කොහෙවත් යන බල්ලෙක් ගැන කතා කරනවා . ආයෙ එහමෙ මට ඇහෙන්න පිංකියෙක් ගැන කියනව නෙමෙයි “

ඇත්තටම ඒ මතකය හීනයක් වගේ................. නොවේලුනු සායම් චිත්‍රයක අහම්බයෙන් හේත්තු වුනා වගේ ගෑවුනු බොඳ වෙච්චි පාට ටිකක් විතරක් ඉතිරි කරලා........... අපෙන් ඈතටම ඈතට ගිහින්.




7 ප්‍රතිචාර:

Black Puma said...

කොච්චර අමිහිරි දේවල් අතරේ උණත් සොදුරු මතකය හැමදාටම තියනවා

අඟහරුවා. said...

"Atheethaya hama witama rasawathya. Ada sidu wana deyak dukka domanassayan se danunada, yam dawasaka eya atheethayata ekathu wethda, ewaa thani rasa wadali bawata pathwe..."
Mama iskole 7 wasare innakota kiyawapu pothaka handinweeme thibba kaallak...
Ahimi weeme duka hama thanama thiyanawa. E unath monawa karannada.. Yamak wenna thiyanawa nam eka aniwaaryen wenawa...

Ayilas A said...

ඔය කාලය ඉතාම අමිහිරි අත්දැකීම් වලින් බහුල වූ කාලයක්.

මට හොඳට මතකයි මම පාසල් යන කාලේ, පාරේ ඉන්න බලු පැටවූ, පුස් පැටවූ කොහොම හරි ගෙදර අරගෙන එනවා. උන් තමයි මගේ සුරතල්ලු, පහුවෙනිදා උදේ බලනකොට උන්ව අපහු කොහෙට හරි ගෙනහින් දාලා.

දිලිනි said...

සමහර සත්තු අපේ ජීවිතයට සමීප වෙන තරමට මට නම් හිතෙනවා කලින් ආත්මවල අපේ කවුරු හරි වෙන්න ඇති කියලා....

Sumith Niriella said...

කොහොම වුනත් බලු පැටවෙකුට ආදරේ වෙන්න තරම් හිතක් තියෙන එක ගැන සතුටුයි....මොකද එහෙම වෙන්න පුලුවන් "සොඳුරු සිත" කට ම විතරයි.

ඒ "කාලය" ගැන කිසිවක් කියන්නෙ නෑ

දයානන්ද රත්නායක said...

මට මතකයි මේ පිංකි ගැන මිට කිලන් දවසකත් ලියල තිබුණා..මොනව වුනත් බලු පැටියෙන්නේ....

Chandi said...

බලු පැටවු ගැන සොඳුරු මතක ඕනෑ තරම් මටත් තියේ. ආදරනීය සිතක් ඇති අයට හැමදාම සොඳුරු මතක.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...