..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, May 11, 2013

සිහිනයෙන් ඔබ්බට

සිහිනයෙන් ඔබ්බට

ආදරයට ඇය දුන් සිය දහසක් අර්ථකථන එකින් එක ඉතා වේගයෙන් ගිලිහී යමින් තිබුනි. දර්පණයෙන් පෙනෙන මුහුණේ දැකිය හැකි හිස් සුන් ගතිය එයට සාක්ෂි සපයයි. පිරුණු පපුව මතින් රූටා වැටෙමින් තිබූ සාරි පොටක් අල්ලා කටු ගැසිය යුතු වුව ද ඒ සඳහා ගත කරන කාලය අපතේ යන විනාඩි ගණනට ගැනෙන බැවින් රූටා හැලෙන්නට එයට ඉඩ දිය යුතු යැයි සිතුනි.


“ ළමයෝ ඉවරද , දැන් කට්ටිය ඒවි “ පුරුද්දට මෙන් අම්මා කෑගැසුව ද සැබැවින්ම කියන වේලාවට කෙනෙකු ආවේ එහෙමත් වෙලාවක ඉදහිට බැව් ඇයත් දනී. බොහෝ වුන් කියන්නා සේ “ වෙලාවෙ එනතුරු “ සිටිය යුතු ය.

දර්පණයෙන් පෙනෙන රුව දෙස බලා සිටීම සිතට ගෙනෙන සංතාපය වැඩි කරන්නක් ම වූ නිසා , කාමරයෙන් මිදී සාලයට ඇය පිය මනින්නීය. සාලය මැද ඇති කෑලි හයේ හතරස් මේසය ලොකු ඉරිදා පත්තර කොළයකින් වසා ඇත. වැසුම් ඇර බැලීමට සිත් නොවූයේ මෙම සෙල්ලම පටන් ගත් කාලයේ දී මෙන් නොව අද වන විට එහි සාරවත් බව කේක් කෑලි කිහිපයකටත් , කෙසෙල් ඇවරියක් සහ බිස්කට් දෙක තුනකටත් සීමා වූ බව දන්නා නිසාය.ආරම්භයේ දී නම් කැවුම් , කිරිබත් , කට්ට සම්බල් සුවඳින් ගමේ මිනිසුන් ද “ ගෙවල් දොරවල් “ බැලීමකට කෙනෙකු එන බැව් දැන ගනී.

මේසයේ කෙළවරක ඇති බන්දේසියේ සුදානමින් සිටින වතුර පිරවූ පිරිසිදු වීදුරුවකි. පය පැටලෙමින් ලැජ්ජාවෙන් ඇය මේ බන්දේසිය රැගෙන ගිය කාලය පසු වී හමාරය. දැන් ඇය පුරුදු කාරියකි. බන්දේසියේ තැබූ වතුර වීදුරුව ගෙන ගොස් ඇල්ලීමත් සකසා ගත් සිනාවකින් සංග්‍රහ කිරීමත් “තේ බොමු නේද? “ යැයි ඇසීමත් රාජකාරි කටයුත්තක් සේ පැහැදිලය,හුරුපුරුදුය.

ඉන් පසු එළඹෙන කතා වාරය සිත තුලට ගෙනෙන හැඟීම් විවිදාකර වේ.එකිනෙකා අසන පැන විවිධාකාර වුවත් අරමුණ නම් එකක්ම වන්නට ඇත.

“ ලව් එෆෙයාර් තිබ්බෙ නැති ද? “

“ ඇයි තවම කසාඳ නොබැන්දෙ ? “

“ ඇයි කලින් පවුලෙ බාලය බැන්දෙ ? “

“ ස්කොලෙ ගියේ කොහො ද? ආහ් එහෙ ද? එහෙනම් අහවලාව දන්නව ද? ආහ් නැද්ද.?“

“ කැමපස් එකේ කෙනෙක් හිටියෙ නැද්ද. කැම්පස් යන කාටත් කෙනෙක් ඉන්නවනේ.ඇයි ඔයාට හිටියෙ නැත්තේ ? “



ඇතැම් ප්‍රශ්න කිසිදිනක ඇය වත් නොසිතූ අන්දමේ ඒවාය. පැමිණෙන කිසිවකුගේ අතීත කතා වස්තු වලට පදනම් දාන කිසිදු ප්‍රශ්ණයක් කිසිදාක ඇය අසා නැත.ඇසීමට මට උවමනා ද නැත. පිරිමින් පිටට පෙනෙනා තරම් නවීන නොවන බවත් සම්ප්‍රදායික සිතක්  රැගෙන පැමිණෙන වුන් බවත් වටහා ගැනීමට එතරම් වේලා ගත නොවේ.



මෙතෙක් පැමිණිය අයවලුන්ගෙන් “ ඔයාගේ නම මොකක් දැයි “ අසුවේ දෙදෙනකු පමණි. එයින් එක් අයකු තවමත් ඇය ගැන විමසන බැව් කපුවා නිවසට පැමිණෙන වාරයක් පාසා පවසයි.ඔහු දැන් විවාහකයෙකි සිඟිති දරුවෙකුගේ පියෙකි. ඔහුට ඇය සතු සියලු දේ හොද වූවද රැකියාව හරහට හිටි බව කපුවා අතේ පවසා එවා තිබුනි.




 

ඇය වැනි වයසක පසුවන තරුණියක කිසිවකුට ආදරය නොකළා නම් එය සත්‍යයක් නොවනු ඇත. මිනිස් දියණියක වන ඇගේ හදවතට ද අලුයම වැටුනු හිරු රැස් මෙන් පෑයු ආදර සම්බන්ධකම් තිබුනි.එහෙත් සතු කර ගත  නොහැකි වූ නිසා තනිකඩව වෙසෙයි. ඒ කිසිවකුත් සමඟ උරණ වීමක් හෝ පලිගැනීමක් ඈ සිත අහලකවත් නැත්තේ ඔවුන් ඇය වෙත දුන් ආදරය එතරම්ම සංවේදී වූ නිසාමය.


ඇතැමෙකුට ඇය “ මහත වැඩිය “ තවත් අයෙකුට “ පැහැපත් මදිය “ තවත් අයට “ සෝෂල් මදි “ වන අතර එහෙමත් අයෙකුට “ කියන්න තරමක් වරදක් නැත“. 

 

නමුත් ඇය ඔවුන්ගේ දුටු කෙස් අඩු තට්ටයත්, ලොකු බඩත්, අගුරු වැන්පැහැයත්, මදක් මිටි සරීරයත් නොදුටුවා සේ සිටි බව ඔවුන් නොදන්නවා ඇත. මුල්ම දින වලදී නම් “ ඔය එන අයට තමන් කවුද කියල කණ්නාඩියෙන් බලල එන්න අමතක වෙන්න ඇති “ යැයි කෝපයෙන් කියූව ද. දැන් දැන් ඔවුන් පසුදින කපුවා අතේ කියා එවන දේ අසා සිනාසෙනවා මිසක ඉන් එහා දෙයක් සිතා සිත දුක් කර නොගැනීමට තරම් ඇය මෝරා සිටියි.


ඈ කාලයක් ඈ ලද ආදරයක් අතමිට මොළවා ගෙන සිටි බව සැබෑය. කාලයත් සමඟින් සිහින් වැලි අහුරක් මෙන් ඒ ආදරය ඇඟිලි අතරින් රූරා ගොස් තිබුනි. එක් දිනක මිට මෙලවූ අත හැරපියා හදවත පිසදා දැම්මේ සුවඳ පමණක් හද මත රදවා ගනිමිනි.



සාරි හැට්ටයට වැසුනු සෙමින් උස් පහත් වෙන ඇගේ ලැම දෙස ආසාවෙන් බලන්නවුන් ඇයට මුණ ගැසී ඇත. ඇරුනු දෑසීන් දෑසක් දෙස බලද්දී ඇගේ බැල්ම දරා ගත නොහැකි ව බිම බලා ගන්නවුන් ඇයට මුණ ගැසී ඇත. දෑත පටලා ඔහු සමඟ වාසයට පැමිණෙන්නයැයි කියන්නෙකු තවම මුණ ගැසී නැත. 


“ ඔන්න ළමයෝ වාහනයක් ආවා නේද ? එයාල ද දන්නෑ ? “



මවගේ සිත තුල බලාපොරොත්තු උතුරයි. ඇයට දියණී බරක් බව ඇය දනිමි. පියා ඔවුන් හැර ගොස් බොහෝ කලකි.



ඈ දයාබර යෙහෙළියක කියු කතාවක් ඇයට සිහිවෙයි. 


විවාහය කියන්නේ සමාජමය වගකීමක්, ආර්ථිකමය හයියක් , අනාගතේ ගැන ආයෝජනයක්. නැතිව උඹ හිතනව වගේ ආදරය කර කර ඉන්න කෙනෙක් හොයා ගන්නෙක නෙමෙයි.ටිකක් වංක වෙයන්, බොරුවට හොද හිත පෙන්නපන්, කසාඳ බැන්දට පස්සේ ඇත්ත කොහොමත් එළි වෙනවා.ඒත් එතකොට මොනා කරන්න ද. උඹ මහ මෝඩයි. මිනිහෙක් මරන්න තරම් කේන්තියක් ආවත් හොඳ මූණ පෙන්නල හිනා වෙලා ඉන්න උඹ දන්නෑ.



“ කට්ටිය ආවා ......................“



සුපිරිසිදු වතුර රැදි සුපැහැදිලි වතුර වීදුරුව සහිත බන්දේසිය අතට ගත් ඇය වහාම සුදානම් වූයේ , සුපුරුදු ගනුදෙනුව හැකි ඉක්මනින් අවසන් කළ යුතු බව සිතට ගෙන මිස ක බලාපොරොත්තු වලින් නිස්කාරනේ සිත පුරවා නොගනිමිනි.




ඇගේ වෙලාව තවමත් පැමිණී නැති බැව් පමණක් මෙවරද ඇයට සක්සුදක් සේම පැහැදිලි කරුණකි.


නමුත් මේ සියල්ලටම හොරා .. . . . . ඇය මැදිවියට එළඹෙමින් සිටියා ය.



19 ප්‍රතිචාර:

amila chathuranga said...

පට්ට සෙල්ලම නේ.....මරු චරිත ටික...ඔයා අලුතින් එක්සයිස් කරලා අර ටීවි එකේ පෙන්වනවා වගේ ලස්සන සරීරයක් හදා ගන්න එතකොට..අඩු තරමෙ කපුවා හරි කැමති වෙයි....

෴සොඳුරු සිත෴ said...

මම එහෙමට මහත කෙනෙක් නෙමේ.අනික මේ මම ගැන නෙමේ...ස්තූතියි චතුරංග. :) කොහොමත් පිරිමින්ට “ගැහැණු ඇඟ“ හැමදේටම වඩා ප්‍රමුඛයි.තමා.

අඟහරුවා. said...

Me mama gana newei??
Matath hithune me akka ganamayi kiyala. Mokada samahara than waladi kathaawa "Uththama Purushayata" maaru wela thiyanawa :-)
Hondin awadhaanayen kiyewwoth e than ahu wenawa. Ow. Ada meka godak than wala kerena deyak.. Eth mama nam kiyanne, api kohoma dangalala monawa karath, ape anaagathaya theeranaya wela thiyanne..

Naleen Dilruksha said...

වල්කමක් සේ නොසිතන්න......
ලාලිත්‍යයෙන් පිරිපුන් නාරි රුව නිරෝගි පිරිමියාගේ පැතුමයි..එසේම ලෝ රූ රජන ලැබුවද සිත පිරිමි සිත ඉල්ලන්නේ එයිට වෙනස් යමකි.. එවන් සිතුවිලි මඩින්නට තමා සංස්කෘතිය යන බැම්මක් ඇත්තේ.
සැමදැ ඔබේ කව් කියවා ඇති මට මෙය අපුර්ව පෝස්ටුවකි.

Anonymous said...

Dearest Sonduru Sitha, your ideas are marvelous. very much heart touching. when I read your writing, I feel that you are writing to me. I have been reading this blog for a long time & commenting today. you really touch anyone's heart softly. all the best akki.

Anonymous said...


ඇතැම් ප්‍රශ්න කිසිදිනක ඇය වත් නොසිතූ අන්දමේ ඒවාය. පැමිණෙන කිසිවකුගේ අතීත කතා වස්තු වලට පදනම් දාන කිසිදු ප්‍රශ්ණයක් කිසිදාක ඇය අසා නැත.ඇසීමට මට උවමනා ද නැත. පිරිමින් පිටට පෙනෙනා තරම් නවීන නොවන බවත් සම්ප්‍රදායික සිතක් රැගෙන පැමිණෙන වුන් බවත් වටහා ගැනීමට එතරම් වේලා ගත නොවේ.

මම මේක කෝපි කරලා ෆේස් බුක් එකේ දානවා මගේ වගේ.ඇත්තම කියන්න මේ වෙද්දීත් මම දාල ඉවරයි.මම දින වෙනස් කරලා බ්ලොග් එහෙක දානවා.ඊට පස්සේ පත්තර වලට දෙනවා මගේ වගේ.ඇත්තම කියන්න ඒකත් මේ වෙද්දී කරලා ඉවරයි මම.

Anonymous said...

සුපිරිසිදු වතුර රැදි සුපැහැදිලි වතුර වීදුරුව සහිත බන්දේසිය අතට ගත් ඇය වහාම සුදානම් වූයේ , සුපුරුදු ගනුදෙනුව හැකි ඉක්මනින් අවසන් කළ යුතු බව සිතට ගෙන මිස ක බලාපොරොත්තු වලින් නිස්කාරනේ සිත පුරවා නොගනිමිනි.

මේවා එහෙම නියමයි.මම මේක කොපි කර ගත්තට කමක් නැහැ නේද අක්කේ?

Anonymous said...

ආදරයට ඇය දුන් සිය දහසක් අර්ථ කතන එකින් එක ඉතා වේගයෙන් ගිලිහී යමින් තිබුනි. දර්පණයෙන් පෙනෙන මුහුණේ දැකිය හැකි හිස් සුන් ගතිය එයට සාක්ෂි සපයයි. පිරුණු පපුව මතින් රූටා වැටෙමින් තිබූ සාරි පොටක් අල්ලා කටු ගැසිය යුතු වුව ද ඒ සඳහා ගත කරන කාලය අපතේ යන විනාඩි ගණනට ගැනෙන බැවින් රූටා හැලෙන්නට එයට ඉඩ දිය යුතු යැයි සිතුනි.

මේකත් ශෝක් හලෝ.නියමයි.මේ ටික ඔන්න ගත්තා හරිද.කියලා ගත්තේ ඈ.

ධාරා said...

හ්ම්ම්, මොනවා වුණත් පව්! ගොඩක් වෙලාවට කෙල්ලෝ දන්නේ ම නැතු ව වයසට යන්නේ දෙමව්පියෝ ඕනෑවට වඩා හොයන නිසා.

මාතලන් said...

මම හිතුවේ ඔහේ ලිවිල්ල නැවත්තුවයි කියලා.... මොකක්ද අනේ මේ අඬෝවැඩියාව.. ආතල් එකේ ඉන්නවකෝ....

Black Puma said...

අනේ මන්දා... අනාගතේ ගැන මෙහෙම බයක් තියාගෙන ඉන්න අය කොච්චර නම් ඉන්නවද කියලා හිතුනා

රොබින් said...

පවු අප්පා එක අතකට

Ravi said...

" Silence is golden when you can't think of a good answer. "

" Silence says what a thousand words couldn't. "

ඉහත වදන් පැවසූයේ කවුරුන්දැයි මට හරියටම මතක නැත. එහෙත් මම එකම දෙයක් හොඳහැටි දනිමි. යමෙකුගේ සටහනක් කියවා මම නිරුත්තරවූ අවස්ථාවන් ම්ගේ ජීවිතයේ ඇත්තේ දෑතේ ඇඟිලි ගණනටද අඩු තරමිනි.මේ ද එවන් අවස්ථාවක් බව පැවසීමට සිදුවීම පිළිබඳව මගේ සිත තුල ඇත්තේ මටම වටහා ගත නොහුණු හැඟීමකි.

මළ හිරු මුහුදෙහි ගිලී ගිය කල තරු පායා ඒමට පෙර ගතවන කාලයෙහිදී එදවස වෙරලෙහි ගලක් මත හිඳ අරමුණකින් තොරව ඈත අපැහැදිලි ක්ෂ්තිජය දෙස නෙත් යොමා ගතකල අවස්ථාවන් කිහිපයකදී මසිතපුරවාලූයේ මීට සමාන හැඟීමක් බව මම සිතමි.

එපමණකි! එතෙකින් නිශ්ශබ්ද වන්නෙමි!!

Bo said...

කාලෙකින් මෙහෙට ආවා සොඳුරු,... මගෙම යහළුවෝ ඉන්නවා මේ යථාර්තයට මුහුණ දීපු... දෙමාපියන් සොයා බලන එක හොඳයි. ඒත් සමහර වෙලාවට ගන්න වැරදි තීරණ වලින් අසරණ වෙන්නේ දරුවන්මයි. ඔබ අතින් ලියවුනු හොඳම කතාවත් සමාජ පැතිකඩක් පෙන්වන සාර්ථක කතාවත් මෙයැයි මට සිතේ. මා ඔබේ කවි කියවා ඇති වුනත් කතා වලටයි වැඩි කැමැත්ත ඉතින්...

සසිනි said...

ඇත්ත කතාව
දුක හිතෙනව
ඇත්තටම මේ දේට මූන දෙන අය ඉන්නව අපි අ

දිලිනි said...

ෙම්ක ෙබාෙහා් ගැහැනු ළමයින් ෙග් ඉරණමක් ෙන් ද???

niroshini said...

මට නම් හිතුනේ මේ තරුණිය තනිකඩ ව හිටින්නේ එයාගෙම උවමනාවට කියලයි...
මේ කතාවේ කිහිප තැනක කියවෙන විදිහට එයා දැනටමත් තීරණේ කරලා ඉවරයි 'මේ පාරත් හරියන්නේ නැහැ' කියලා.

එක්කෝ එයා තවම ලබාගන්ඩ බැරි කෙනෙක් හිතේ තියාගෙන ඉන්නවා...නැත්නම් එයා තවම විවාහ වෙන්ඩ හිතින් සුදානම් නැහැ...

ඔය ඉතින් මට හිතුන දේ :)

රූ.... said...

කෙතරම් කතා කීවද සාම්ප්‍රදායික සිත් ඇතිව කුහක බව සිතෙහි සඟවා කතා කරන්නන් කෙතරම් වේද..
මඟුල්තුලා කතාවකදී තරම් වෙන කිසි තැනක මේ බව සිතට නොනැගේ..

raslak said...

විවාහය කියන්නේ සමාජමය වගකීමක්, ආර්ථිකමය හයියක් , අනාගතේ ගැන ආයෝජනයක්. නැතිව උඹ හිතනව වගේ ආදරය කර කර ඉන්න කෙනෙක් හොයා ගන්නෙක නෙමෙයි.ටිකක් වංක වෙයන්, බොරුවට හොද හිත පෙන්නපන්, කසාඳ බැන්දට පස්සේ ඇත්ත කොහොමත් එළි වෙනවා.ඒත් එතකොට මොනා කරන්න ද. උඹ මහ මෝඩයි. මිනිහෙක් මරන්න තරම් කේන්තියක් ආවත් හොඳ මූණ පෙන්නල හිනා වෙලා ඉන්න උඹ දන්නෑ.

Mehema Unothin Hariyanawa :) (passe kalekadi Pasu thawenna Unath ) Bohoma Sondury SONDURU ...:) ..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...