..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, December 29, 2013

කවිපොත

කවිපොත 





ඉස්සර ලියවුනු කවි පොත බලලා 


කාට ද මේවා ලීවේ කියලා 


ඇස් ගෙඩි ලොකු කර 


මුහුණ නොරොක්කර 


මාගෙන් විමසනවා 


උත්තර නැති මගෙ 


වත දෙස බලලා 


තරහින් කවි පොත 


දුරකට කරලා 


ඇඳේ අනිත් පස 


හැරිලා නිදියයි 


මුළු රෑ මා දවලා 


සමාවෙන්න මට 


නුඹ ගැන සිතලා 


කුමන පලක් දෝ 


ඊයේ ගෙවිලා 


උදෑසනම මම 


කවි පොත ඉරලා 


ඒ ගිනි දල්ලෙන් 


තේකක් හදලා 


ඔහු අත තැබු විට 


දුන් සිනහව මට 


නුඹ මට අමතක වෙන්නෙ නැහැ 


කවි පොත ඉරුවට 


නුඹ ගැන මතකය 


සිතෙන් ඉවත් වී යන්නේ නෑ 


ඒ ගැන ඔහු තව දන්නේ නෑ — 



Sunday, December 15, 2013

෴ ආතල් එක ෴

෴ ආතල් එක ෴

ලංකා පටුන බලන්න පහුගිය දවසක මාත් ගියා වැඩිහිටි නඩයක් එක්ක. වැඩිහිටියො ටික තියෙන ගාථා ඔක්කම කියල වැදල එනකම්, මම තිබ්බ සහ දන්න එකම ගාථාව කියල වැදල හනික මෙගොඩට ආවා.

ඇවිත් ආමි එකෙන් පවත්වා ගෙන යන පුංචි කඩේ ලඟට වෙලා අනුන්ගේ චැට් වලට සවන් දෙන ගමන් කැමරාවට හරියන පින්තූර හොය හොය හිටියා.

ඔන්න ඒ වෙලාවේ තමයි නිල් පාටට සැහැල්ලුවට ඇඳ ගත්ත.පිටේ ලොකු බෑග් එල්ල ගත්ත කොල්ලො දෙන්නෙක් ලංකාපටුන වන්දනා කර ගන්න දූපතට යන්න බෝට්ටුවකට නගින්න යනවා දැක්කේ.එක පිරිමි ළමකේගේ පිටේ තියෙන අලි බෑග් ඒකේ ගහපු සිංහ කොඩිය ලෙල දෙනවා.

“ ඔන්න ඔය කොල්ලො දෙන්න කළුතර ඉදලම පයින් එනවා කියන්නේ වන්දනාවේ “

“ නැහ් . . . . පිස්සුවක් නේ “

“ ඒකත් පිස්සුවක් තමා.මෙච්චර වාහන තියෙන රටේ? “

“ කන්න බොන්න කොහොම ද දන්නෑ. “

“ කඩවල් වලින් කනව ඇති “

වටේ පිටේ අයත් කතාවට හවුල් වෙලා. . . . 

කැමරාව ඒ දෙන්නා ඉන්න දිහාවට මානපු මම “ක්ලික්“ කරා.

“ දැන් ඔය ගන්න පින්තූර විකුණනව ද? “

කලින් පුද්ගලයාගේ ඇස් කණ් කට වල් මා දිහාට හැරුණා.

“ නැහැ. . .ඔහේ ඔය සිගරට් බොන්නේ ඇයි ? “

ඔහු නිරුත්තර වුනා.මොකද කොහෙත්ම ගැලපීමක් නැති උත්තරයක් සහ ප්‍රශ්ණයක් නිසා.මම ආයෙත් හඩ අවදි කරා.

“මගේ ෆොටෝ ඇල්ලිල්ලත් , අර කොල්ලො දෙන්න ගෙ වගේම පිස්සු වැඩක් තමා. උන් දෙන්නා පයින් හැතැම්ම ගානක් එන්නේ උන් දෙන්නට මොනා හරි සතුටක් ආතල් එකක් තියෙන නිසා.මම පින්තූර අල්ලන්නෙත් මට මොකක් හරි සතුටක් මේකේ තියන නිසා “

“ හරි හරි මම සිගරට් බොන්නෙත් මට තියෙන ආතල් එකට “ දුම් බොන්නා පරාජය බාර ගත්තා.

“ අන්න හරි.හැබැයි සිගරට් බීම ටිකක් වෙනස්.අර කොල්ලො දෙන්නට වගේම මටත් අපි කරන දෙයින් හානියක් නැහැ. “

දුම් බොන්නගේ මුඛරි කටහඬ ඉන් පස්සේ නම් ඇහුන්නෙ නැහැ. 

ඒ වගේම . . . . දහසක් දෙනා ගැවසෙන තැනක ඒ කිසිම දෙයක් ගැන අවධානය යොමු නොකරපු පොඩි කොල්ලෙක් බිලී කොක්කට ඇමක් අමුණන්න තම මුළු අවධානයම යොමු කරන් හිටියා පෙනුනා..............






Sunday, November 24, 2013

෴ මිනී පෙට්ටි සාප්පුව෴

මිනී පෙට්ටි සාප්පුව




නැහැයට දැනුන සුපුරුදු කට්ට කුමන්ජල් සුවඳත් සමඟින් ජගත් සිතූ පරිදිම සුවඳ පිටුපසින්ම ඇඳී ආවේ මුදලාලිගේ මුණු මුණු මැතිරීමයි.

තමා ඉන්නා අයුරු බිඳකුඳුවත් වෙනස් නොකල ජගත් , යන්තමින් බෙල්ල පමණක් හරවා තමාට පිටු පා ඉතාමත් භක්තියෙන් නමුත් චවන වෙන් වෙන්ව හඳුනා ගත නොහැකි තරම් වේගයෙන් ගාථා කියන මුදලාලි සිටිනා ඉසව්ව දෙස නෙත් හෙලීය. සියල්ල කට්ට කුමංජල් දුමින් වැසී ගොස් තිබුන ද සුදුම සුදු ජාතික ඇඳුමෙන් සැරසුනු බඩ මහත සෝමසිරි මුදලාලිගේ හැඩ නිල දුම අතරින් වුවද බොඳ වී දැක ගන්නට ජගත්ට හැකි විය.

මුමුණන පද වල වේගය ක්‍රමයෙන් අඩු වන්නටත් පපුව මත බැදී තිබූ දෙඅත් එසවී නළලට එන්නටත් ගත් නිසා මුදලාලිගේ උදෑසන වත්පිළිවෙත් වල කූඨප්‍රාප්තියට පත් වී ඇති බැව් ජගත් ට සිතුණි.

ඉන් පසුව ඇරඹෙන කාටවත්ම නෑසෙන , මුදලාලිගේ පුද්ගලික ප්‍රාර්ථනාව කුමක් ද යන ගැන ජගත් අනුමාන නොකර තක්කෙටම සිතුවේය .

“ කාලකණ්නියා , අදත් වැඩි වැඩියෙන් මිනී ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඇති “ ජගත් මතුලේ හිතින් මිස මුවින් නොවේ.

“ සා... ධු....   සා...... ධු...... සා.............. ධු “

ප්‍රාර්ථනාව අවසානයේ දී තෙවරක්ම ශබ්ද නඟා දොහොත් මුදුන් දී වැන්ද සෝමසිරි මුදලාලි උගුර පාදා රැල් බුරුල් ඇරියේ උදෑසනම කඩය ඇරීමටත් මත්තෙන් තම කඩය අසල මුරකරමින් සිටි ජගත් උදෑසනම තමා සොයාන ආ කාරණාව පිළිබඳව විමසීමට දැන් තමන් සූදානම් බැව් ඇඟවීමට මෙනි.

“ මොකද බන් අද උදේ පාන්දරම ? ඇහැක් නම් ඔන්න ඔය ඉතිරි දොර පලු ටිකත් ඇරුල දාහන් “

මිනී පෙට්ටි සාප්පුවේ දොර පඩිය මත වාඩි වී සිටි ජගත් , මුදලාලිගේ අණට කීකරු වූයේ වැසී ගොස් ඇති දොර පලු එකින් එක පන්නා පිළිවළින් ගොඩ ගස්සනට වූයේ පෙර පුරුද්දට මෙනි.

“ ඈ බන් ජගතො . . . .  උඹට ආයෙ මයෙ ළඟ රස්සාවවත් ඕනි වෙලැයි ? “

කිසිදු කතාවක් නොමැතිව දොර පලු අරින ජගත් දෙස විමසිල්ලෙන් බැලූ සෝමසිරි මුදලාලි ජගත්ගෙන් ඇසුවේ කිසියම් ආඩම්බරයකින් මෙන්ම මම කී දෙයක් වැරදිලා නැති බව ජගත්ට හැඟවීමට මෙනි.

කිසිදු කතාවක් නොමැතිවම අවසන් දොර පලුවත් හැර දැමූ ජගත් , සෝමසිරි මුදලාලි වෙත කිට්ටු කරේ තමා ආ කාරණාව පැහැදිලි කර දීම සදහාය.

“ මුදලාලි .  . . . “ 

යටහත් පහත් ජගත් ගේ ඇසෙන නෑසෙන හඬ මුදලාලි ගේ වතට ගෙනාවේ සතුටකි. වැඩට දක්ෂ කොල්ලා.මූ ආයෙ මා ළඟ වැඩට එනව නම් හොඳයි තමා.ඒත් පඩිය නම් කලින්ට වඩා අඩු කරන්න වෙනවා. හිතුන හිතුන වෙලාවට දාලා ගියාට දඩුවමකුත් දෙන්න එපැයි. මුදලාලි එසේ කීවා නොව සිතුවා පමණි.

“ මුදලාලි . . .  රස්සාව ඉල්ල ගන්න නෙමෙයි මම ආවේ. මුදලාලිගෙන් ලොකුම ලොකු උදව්වක් ඉල්ල ගන්නයි මම ආවේ .ඊට පස්සේ දිගටම පඩි නැතිව උනත් මුදලාලි ළඟ වැඩ කරන්න මම එන්නම් “

“ ආහ් බන් . . . .  අත මාරුවක් ඉල්ල ගන්න ද තෝ පාන්දරම ආවේ “

“ නෑ මුදලාලි. ඒත් ඒ වගේ දෙයක් තමයි “

“ කියපන් කො බන් මගෙ කාලෙ නොකා “ 

සෝමසිරි මුදලාලි හදිසියේම කාර්ය බහුල බවක් පාමිනෟ පැවසුවේ තම සාප්පුවට කෙළින්ම පෙනෙන මහ පාරෙන් එහා පැත්තේ ඇති රජයේ මූලික රෝහලේ ගේට්ටුව දෙස ට නෙත් හෙලමිනි.

“ මයෙ අම්ම නැති වුනා මුදලාලි මහත්තයෝ . . . . . . “

එකවරම නැගී ආ ඉකියක් ද සමඟින් ගැස්සෙන පපුවට තම දකුණත තද කර තබමින් මහත් ආයාසයක් දරා ජගත් පැවසූවේ දෙනෙතින් බේරෙන කඳුළු නැවත දෙනෙතේම රදවා ගන්නට වෑයම් කරමිනි.

ගැස්සෙන දේහය වාවගන්නට සිතට දහිරය නැති බැව් හැඟුන බැවින් දෝ ජගත්හුන් තැනම බිම ඇණ බා ගත්තේ දෑතින්ම හිස බදා ගෙන හඬන්නට විය.

“ ඇත්ත ද . බොහොම කණගාටුයි ජගත්. දැන් ඉතින් කරන්න තියෙන්නේ තමන්ට හැකි විදිහට අවසාන කටයතු ටික කරන එකනේ. අනික . . . ඔය ගම් පළාත් වල ඕව කරන්න මේ ටවුමෙ අපි වගේ මහන්සි වෙන්නත් ඕනි නැහැනේ බන් “

උදෑසනම තමා සොයන් ආ මේ කරදරකාර ඉලන්දාරියා දෙස නොපහන් බැල්මක් හෙලූ සෝමසිරි මුදලාලි , තම සුදෝ සුදුවන් කමිස සාක්කුවට අත යවා ගත් දාහේ නෝට්ටුව ඇගිලි වලින් දෙතුන් වරක්ම එහා මෙහා කර බැලුවේ එතැන ඇත්තේ එක නෝට්ටුවක් බැව් සැක හැර දැනීමට හෝ නොමැතිනම් පුරුද්ද නිසාම වන්නට ඇත.

බිම ඇණ ඔබන් හඬමින් සිටින තරුණයා වෙත කිට්ටු වූ සෝමසිරි මුදලාලි , තරුණයාගේ ගැස්සෙන උරහිසට අත තබා මෙසේ පවසන්නට විය.

“ දැන් අඬල දොලඩ වැඩක් නැහැනේ ජගතො. මේ දවස් වල බිස්නස් පට්ට පාඩුයි බං. මිනිස්සුත් පෙට්ටියක් ගෙනියන්නේ නොගිනිහින් බැරිකමට වාගේ බාලම පෙට්ටි. අද දවසටත් තවම බිස්නස් ආවේ නැහැනෙ. මෙතනින් තව කිලෝමීටරයක් ඇතුලත අලුතින් තවත් පෙට්ටි සාප්පුවකුත් දාලා බං. . . . හරි හරි දැන් ඉතින් ඔය ඇඩිල්ල ඇති. මෙන්න මේක ගනින් බං. අරන් දැන් ගෙදර පලයන්. වැඩ කටයුතු කරන්නත් එපැයි “

බිම ඇණ බා සිටි ජගත් කොන්ද කෙලින් කර නැගිට්ටේත් ,මුදලාලි අත ඇති දාහේ නෝට්ටුව දෙසවත් නොබලමිනි.

“ මුදලාලි. . . . මටත් ඔය බාලම හරි කමක් නැහැ මිනී පෙට්ටියක් දෙන්න ණයට. මම මුදලාලි ලඟ පඩි නැතිව වැඩ කරන්නම්.මුදලාලිට පිං සිද්ධ වෙයි “

සෝමසිඑි මුදලාලිගේ සුදු මූණ කළු ගැහෙන්නටත් තොල් නලියන්නටත් ඒ වචන ටික ඕනෑවටත් වඩා වැඩි විය.

“ තෝ හිතුව ද බන් මෙතැන මම දන්සලක් දාලා කියලා. තෝ වගේ අඬන දොඩන මිනිස්සු මම හැමදාම දකිනව. උඹ කියන විදිහට මම පිනට බිස්නස් කරොත් හොඳට තියෙයි. උදේ පාන්දර මෙතැන මූසලයෙක් වෙන්නෙ නැතිව මෙන්න මේකත් අරන් මෙතනින් පලයන් බන් යන අහක “

ඉන් පසු දෙතුන් වරක්ම තරුණයා මුදලාලි මත්තේ බැගෑපත් වෙනු “වාසනා මල් සාලාව“ පසු කර යන කිහිප දෙනෙකුම දකින්නට ඇත. ඉන් ටික වේලාවකට පසුව “වාසනා මල් සාලාව“ නාම පුවරුව වෙත ගල් ගසමින් බැන වදිමින් වෙරිමතින් මෙන් දොඩවමින් දෙස් දෙවොල් තබමින් යන තරුණයකු විටෙක හඬමින් පිස්සෙකු මෙන් පාර දිගේ යනු දක්නට ලැබුනි.

-----------------------------------------------

“ ආහ්. . . .සෝමෙගෙද මේ කඩේ. කවුද බන් දන්නේ. කොහෙද බන් හිටියේ ? මම මේ මුදලාලි පේන්න නැති නිසා වෙන කඩේකටවත් යන්න හැරුනා විතරයි. අපිටත් දීපන්කෝ ඔය හොදවයින් මිනී පෙට්ටියක්.  . “

“ යකෝ ගුණේ. උඹ කොහෙද බන් මෙහේ. උඹ එහෙනම් මාව ඇදින්නා ආහ්. මේ දැනුයි බන් දවල්ට කෑවේ. ගෝලයෙකුත් නෑ බන් හරියට. ඒ නිසා ටිකක් වැඩ වැඩියි. ඒක නෙමෙයි කාටද ගුණේ පෙට්ටිය . . . “

“ යකෝ මගේ නැන්දම්ම මළා බන්. ලෙඩ වෙලා එකතැන හිටියේ. ඊයේ හිටිගමන් අමාරු වුනා. හදිසියේම ඉස්පිරිතාලෙ අරන් ආවා. ගේනකොටත් උන්දැ මැරිල. . . “

“හැබෑ ද. ගණින් කො එහෙනම් හොද පෙට්ටියක් තෝරල. නැන්දම්ම නිසා ගණන් අඩු ඒව අරන් බෑනේ බං “

උස් හඬින් සිනාසුනු පැරණි මිතුරන් දෙදෙනා මිනී පෙට්ටි අතර සරන්නටත් පැරණි කතා මතක් කර රස විදින්නටත් උස් හඬින් සිනාසෙන්නටත් විය.


“උඹ ට මතකද බන් අනුලා. ? අනුලාවතී. අර උඹේ “

“ මොකද බන් අමතක. අදටත් ඉදල හිටල මතක් වෙනවා. “

“ ඒකි මැරණනෙ බන් දැන් සති දෙහෙකට විතර කලින් “

“ මොනවා . . . .“ මෙතෙක් සිනා වතින් සැරසී තිබූ මීනි පෙට්ටි හිමියාගේ වත මළගෙදරකට සරිලන පරිදි ක්ෂණිකව වෙනස්ව ගියේත් මිතුරන් දෙදෙනා කතිකා කර ගත්තාක් මෙන් නිහඬ වෘත රකින්නටත් විය.

“ මම කීපදොහක්ම ඒකිව බලන්න යන්න හිතුවා බන්.ඒත් මට හිතුනා කසාද බැදල පවුලක් වෙලා තැනකට ඇවිත් ඉන්න මම ඒකිව බලන්න ගිහින් අහක යන ලෙඩ දාගන්නෙ මොකටද කියලා. “

“ පවු බන්. . . .  ඒකී අන්තිම කාලේ හරියට දුක් වින්දා “

“ මොනා වෙලාද ගුණේ අනුලා මළේ ? “

“ ඒකිගෙ තනේ පිළිකාවක් “

සෝමසිරි මුදලාලිට ඇගේ මෘදු පපුවේ පහස දැනෙන්නට විය. වරු ගනන් ඒ පහසේ වෙලී හුන් අයුරු ත් ඇගෙන් ලැබූ සුවයත් ඇය ව හැර ගිය පසු එවන් සුවයක් කිසිවෙකුන් වෙතින් ලැබීමට නොහැකි වූ අයුරුත් පාලු රබර් මණ්ඩියේ ගල් තලාව මත ඇගේ මෘදු සුමුදු පපුවට තුරුලුව තම රසාලිප්තම කාලය ගෙවූ අයුරුත් පෙළින් පෙළ මතකයට නැගෙන්නට විය.

“ සෝමේ. . . මං හිතුවෙ නෑ බන් උඹ ඔච්චර සීරියස් ගනිවී කියලා. හැබැයි පව් බන්. ඒකිගේ මිනිය තියන්නවත් තැනක් තිබුන්නෑ. පොල් අතු පැලේ මිනී පෙට්ටියක් ඇතුලට ගන්නවත් විදිහක් නැහැනේ. අනික ඒ කොල්ල ජගත් , ඌත් මහ අසම්ජ්ජාති කොල්ලා , අම්මගෙ අවසන් කටයුතු කරන්නවත් ඌට අතේ සතේ නැතිව ගියා “

“ අනුලා ගෙ මහ මිනිහා ? “

“ ඒකි බැන්දෙ නැහැ බං “

“ එතකොට පුතා . . ?“

“ ඒ කොල්ල ගෙ තාත්ත කවුද කියල දන්නෙ අනුලම විතරයි බන්. මම නම් ඉස්සර හිතුවෙ ඒ කොල්ල උඹගේ වත්දෝ කියලා. ඒත් ඒකි අන්තිමට එක එකා එක්ක ගියා බන්. “


------------------------------------------

සෝමසිරි මිනී පෙට්ටි මුදලාලිට මෙතෙක් මුණ ගැසුනු හොඳම හා නරකම ගෝලයා වූ ජගත් රැකියාවක් සොයා පැමිණි පළමු දිනයේ වූ දෙබසක් අපහැදිලි නමුත් යන්තමින් වාගේ මුදලාලිගේ සිත මුළු රැය පුරා පාරවන්නට ඇත්දැයි කවුරුන් නම් දනී ද?

“ ජගත්ගෙ ගම් පළාත “

“ දොඹගහ හේන . . . . . “

ඒ නම ඇසෙද්දීම සෝමසිරි මිනී පෙට්ටි මුදලාලිගේ සිත ගැස්සී ගිය බැව් මුදලාලිට අද මෙන් මතකය.

“ ජගත් ගෙ වයස කීයක් වෙන්න ඇති ද? අපරාදේ මම ඒක එදා ඇහුවෙ නැහැනේ . . . .  “

වාසනා මිනී පෙට්ටි සාප්පුව ඉන් පසු සති ගනනාවක් එක දිගටම වසා තිබෙනු දැකිය හැකි විය.




--------------------------------------------

ඔබ මා හමුවුනු
මේ ඉර හඳ යට
කොතැනක උන්නත්
මා මළ දවසට
මගෙ ළඟ
තනියට
හිදු මැනවී . . . . . . 


---------------------------------

Wednesday, November 13, 2013

The Last Flower


The Last Flower 




පුංචි පුංචි කවි


The Last Flower 
----------------------
දළු ලන දා නුඹ ළඟ - නැත
මල් පිපුනත් නුඹ ළඟ - නැත
වසන්තයේ අග තනිවම 
දරා සිටියි අතු අග්ගිස්සේ
වසන්තයේ අන්තිම මල
නුඹට මතක නැති මල
මම
෴ වත්සලා෴
පාර පුරා මල්.... (පෑගී පෑගි මට.............) 
නොපෑගෙන්න එන්න ගිහින් කකුලත් කොර වුනා
මිදුල පුරාත් මල් ....( හැබැයි ගස් වල)
පන්සල් යන අය තව ටිහකින් කඩන් යාවි ඒවා
ෆේස් බුකියෙත් මල්..... (වැරදිලා මගෙ චැට් බොක්ස් එකටත් වෙන අයගෙ මල් වැටෙනවා.)
මම ටිහකට පහත බැලුවා..... ( අෆොයි මම ඉන්නේ උස අත්තක අග්ගිස්සෙම )
අනුන්ට දොස් කියල වැඩක් නෑ...........
ඒත්..............................
මාත් මලක්..........
පැහැය ටිකක් අඩු..........
හීනි සුවඳක් තියෙන.........
පරවෙන්න ළඟ.............

සිත
--------------

නුඹ යනවා - යළි එනවා
සිත හොඳටම - පෑරෙනවා
දැක දැක මුත් නොදුටු ලෙසට
සිත මම වහගෙන යනවා
෴ වත්සලා ෴




civil status
-------------
සිත නිවන කම - තනිකඩ
සිත දවන ඒ කම - තනිකඩ
නුඹ නැතිව තවම මම - තනිකඩ
තනියටත් ළඟ ඉන්න කම - තනිකඩ

තනිකඩකම 
තනියට ඉන්න 
තනිකඩ 
මම
෴ වත්සලා ෴

Friday, November 8, 2013

෴ පළිගැහීම ෴

පළිගැහීම

-----------

හිටියා ඇති

හිස නමන්

සියලු කරදර දරන්...

හිතක් තියේ මටත්

ළං වෙන්නට ආස

සිප ගන්නට ආස

ගහනවා පළි

තොලොංචි වෙන්න

මට නැති නම්

නුඹටත් නැති වෙන්න

පළිගහනවා

හැබැයි

අද නෙමේ හෙට

අද මම හරි බිසී
 
අද බිසී 
මම
සොසී

Sunday, October 20, 2013

විචාරයක් නොවේ.....



විචාරයක් නොවේ.....



මේ දවස් වල කවුරුත් කතා කරන්නේ “තමන්ගෙ නොවන තමන්ගෙම දෙයක් “ ගැන.


ඒක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක් නෙමේ.Paradox එකකුත් නෙමෙයි.කොහොමත් අපි කවුරුත් අපේ දේවල් වලට වඩා අපේ නොවන දේවල් වලට කැමැති.


දැන් අපේ වෙලා තියෙන ගොඩාක් දේවලුත්  ,ඊට කලින් අපේ නෙමේ නේකියලා කාටත් මතක නැහැ..තමන්ගෙ ළඟට ආවම තමන්ගේ උනාම ඒ දේ අනුන්ගේ තැනක දී තිබිල දැක්ක ආකර්ශණය ,කුතුහලය නැති වෙලා යනවා.


අපි පුංචි කාලේ දීම අපේ වයසෙම වාගේ වෙනත් ළමයි ළඟ තිබ්බ සෙල්ලම් බඩු වලට ආසා කරා ඔයාලට මතක ද?ඒත් ඒකම හරි ඒ  ජාතියෙම වෙන එකක් හරි අපිට ලැබුනම ඒ ආසාව කොච්චර දවසක්ද තිබ්බේ.


කොහොම නමුත් ඔය චිත්‍රපටය නිසා ගොඩාක් පිරිමි හිත් සංවේදී වෙලා තිබ්බා. ගොඩාක් වෙලාවට චිත්‍රපටයක් බැලුවම අපිට දුක හිතෙන්නේ හෝ සතුටු හිතෙන්නේ ඒ චිත්‍රපටියෙ හිටි චරිතය ගැන වුනත් මේ මම කියන චිත්‍රපටිය බලල බහුතරයක් පිරිමි අය දුක් වුනේ තමන් ගැනමයි.


තමන් කාලයක් ආදරය කරල අතෑරපු දේවල් පිරිමින්ගේ මතකයට එන්න ගත්තා.පරණ ඊමේල් හොයන්නත් ,පරණ නම්බර්ස් ඩයල් කරල බලන්නත් සමහරු උත්සුක වුනේ චිත්‍රපටය නරඹලා ආපසු එන අතර මඟ දිමයි.

The Reader චිත්‍රපටය නැරඹුව නම් ඔයාලට මතක ඇති , අසාර්ථක විවාහයකිනුත් වෙන්වුනු Michael පසු කාලීනව අමතක කළ නොහැකි අතීතය ගැන පසු තැවෙන හැටි.


ඒත් චිත්‍රපටය නරඹපු ගැහැණූ ?


ආදර සම්බන්ධකමක් බිඳිල ගියහම ඒ ආදරය මත්තේම තනිකඩව ඉන්න බහුතරයක් පිරිමින්ට බෑ.ඒ මතකය හිතේ යට කොහේ හරි වළ දාලා අලුතින් ජීවිතයක් පටන් ගන්නත් ඒ ගැන අලුතින්ම හිතන්නත් පිරිමින්ට පුලුවන්.


කොහොමත් පිරිමින්ට එකිනෙක පටලවා නොගෙන කවලම් නොකර ගෙන එක වරකට එක දෙයක් විතරක් හිතන්න පුලුවන් වීම භාග්‍යයක්. ගැහැණුන්ගේ ලෝකේ හැමදේම එකිනෙකට සම්බන්ධයි.


හුස්මක් හුස්මක් ගානේ මතකයට එන කෙනෙක් එක්ක තමන්ගේ ජීවිතේම කැපකරල තනිකඩව ඉන්නත් හිතට ලොකු ධෛර්යයක් ඕනි වෙනවා.

මේ ලියපු දේවල් කිසි දෙයක් එකිනෙකට කෙළින්ම සම්බන්ධ නැහැ.ඒ උනාට අසම්බන්ධත් නැහැ.


ඉර පායාලා තිබුනා
නෙක මල් පිපිලා තිබුනා
වෙනදා වාගෙම දවසක්
ඇවිදිල්ලා තිබුනා

තවමත් කිසිවකු නොදකින
දුටුවත් නෙත මත නොරැදෙන
කෙනෙක් උයන් කොණ බංකුවෙ
තනිවී ලා සිටියා

දරුවන් බිරිඳත් සමඟින්
සතුටින් මේ ලොව වෙසෙනා
කෙනෙකුන් ගැන සිතමින් ඇය
තනි වී ලා සිටියා

ඔහුටම සුබ පතනා ඇය
ඔහු ට ම සිත පුදනා ඇය
අතීතයත් සමඟින් විත්
වාඩි වෙලා සිටියා


තනිකඩකම තුරුළු කරන් 
නොපැමිණි කෙනෙකුන් එනතුරු
ඔහුටම සුබ පතමින් අය
මඟ බලමින් උන්නා


හුස්මක් හුස්මක් ගානේ මතක් වෙන කෙනෙක්ව අමතක කරන්න හදන 
මම
෴ සොඳුරු ෴

Monday, October 14, 2013

- සිය දිවි දෙවෙනි කොට -

- සිය දිවි දෙවෙනි කොට -




ඇය තවත් වතාවක් ෆාමසියේ රාක්ක පුරා පිළිවෙළට අසුරා ඇති නොයෙකුත් මාදිලියේ ඖෂධ දෙස පෙළින් පෙළට ඇස ගෙන ගියා ය.

ෂික්.....පුදුම වෙලාවක නෙ ආවේ. මෙච්චර ලෙඩ්ඩු කොහෙන් ද මන්දා. ඒකත් මගෙ වෙලාව.


ෆාමසියේ හුරුබුහුටි කෙල්ලන් ළඟට තරඟයට මෙන් ළං වෙමින් බෙහෙත් තුන්ඩු දිගු කරනා අයවලුන් පුංචි ගොසරි බෑගයේ බහා දෙන ඖෂධ රැගෙන යන්නේ පුළුටු කරගත් මුහුණිනි.


ඇතැමෙකු ඔවුනට උපදෙස් ද දීමට බැලි නොවෙයි.


“ ගිය සැරේ දුන්නේ රෝස පාට පුංචි පෙත්තක් නෙ මිසී....“


ග්‍රොසරි බෑගය ලිහා එතුල වූ කුඩා බෙහෙත් පෙති සමූහයක් අල්ලට හලා ගනිමින් එකකු පවසයි.

“ හරි හරි  . . . .ඒක ඉවර වෙලා. ඔය වෙන කම්ෆැනියක, බය වෙන්නෙපා ඒ බෙහෙත්ම තමා “


සුදු පාට ප්ලාස්ටික් බෝතලය හැර එහිම පියනට කුඩා කහ පැහැති බෙහෙත් පෙති ගණිමින් සිටි සිහින් සුදු යුවතිය ගැනිල්ල මඳකට හෝ නොනවත්වාම පිළිතුරු දුන්නී ය.

දෙගිඩියාවෙන් මද වෙලාවක් ඇය දෙස බලාසිටි පාරිභෝගිකයා කුමක්දෝ මුමුණමින් ම යන්නට ගියේ ය.

ඔහු පසුපසින්ම වාගේ ඇය ද යන්නට හැරෙත්ම,

“ මිස් මොනා ද ඕනි. . . .“

“ නෑ . . . . හ් . . .  මං මේ මේ . . . .“

“ ආහ් ඔහොම ඉන්න මිස්  . . . . “

කඩිනමින් සනීපාරක්ශක තුවා ගබඩා කර ඇති තැනට ගිය සේවිකාව රෝස පැහැති පැකට්ටුවක් කඩදාසි මල්ලකට බහා ඇය වෙත පෑවා ය.

කිසිවක් සිතා ගැනුමටවත් වේලාවක් නොතිබුනු ඇය , විගසින් එය මල්ලට ඔබා ගත්තී අතැති රුපියල් සියය සේවිකාව වෙත දිගු කලා ය.

“ මිස් මිස් ඉතිරු සල්ලි අරන් යන්න “ යැයි සේවිකාව කෑගසද්දීම ෆාමසියෙන් පිටව ගිය ඇය හති ඇරියේ වංගු දෙකක්ම පසු කළ පසුය.

“ ඒකත් පණ යන වැඩක්  . . . “ ඇය තමන්ටම මුමුණා ගත්තී ය.

-----------------------------------------

“උඹට මොන ටද නිදි පෙති ?“

“ නෑ . . . හ් . . මට නෙමෙයි බන් . . ගෙදර ළඟ ආන්ටි කෙනෙක්ට ගේන්න කීවේ. වැඩ ඇරිල එන කොට අරන් එන්න කීවා.ඒකයි ගන්න තැනක් ඇහුවේ “

“ එයා තුන්ඩුවක් දුන්න ද ? “

“ මොන තුන්ඩු ද? “

“ ඩොක්ටර් කෙනෙක්ගේ තුණ්ඩුවක් නැතිව මම දන්න තරමින් නිදි පෙති දෙන්නෑ. “

“ ඒ මොක ද ? “

“ ඇයි මෝඩියේ.නිදි පෙති බීලා මිනිස්සු මැරෙනව නේ “

“ කෝකටත් මං අහල බලනවා “

“ බලහන් දේයි මේං කියලා “
              -----------------------------------------

පාරේ එහා කොණට දෑස් යැවූ ඇයගේ සිතට අලුත්ම අදහසක් පහළ විය.

ඇය තම ගමන වේගවත් කරන්නට විය.

පෙනෙන මානයේ  කිසිවකුත් නැද්දයි බැලීමට ඇය ආපසු හැරී බැලුවා ය.

තම කසට දසන් පෙන්වා බයාදු ලෙස හිස ඇල කර සිනාසුනු ඔහු දුටු විට නැවතත් ඇගේ සිත උපන්නේ තරහකි.

ඇය ඕනෑකමින්ම තම ගමන බාල කළා ය.

“ නෝනෙ අද වේලාසනින් මො ක ද?“

සීයා ඇය සමඟ කතාවට එල්ලෙන්නට අරාදියි.

“ මොකක් ද මේ කරුමේ.මැරෙන්නවත් නිදහසක් නැති හැටි “

“සීයා යන්න සීයේ .මම යාළුවෙක් එනකම් මෙතන නවතිනවා.“

ඇය පාලමේ ගරාදි වැටකට බර වෙමින් කීවාය.

“ හෆෝ ළමයෝ . . .ඔතැන ඉන්නෙපා.ඕව දැන් දිරලා ගඟට කඩා පාත් වෙයි. . .එගොඩහට ගිහින්ම නතර වෙන්න “

මදක් ගස්සා ඉවත බලා ගත් ඇය සීයා නොපෙනී යන තුරුම හිස හරවා බැලුවේ නැත.

නමුත් . . . 

බල්ලෙක් වත් නොසිටිය ඒ මාවත එකවරම ජනාකීර්ණ වන්නට විය. ඟං දිය ගලා ගියේ ඇයට ඔච්චම් කරමිනි.

“ පනින්න ද බලා ගෙන ඉන්නේ “

එකවරම පසුපසින් ඇසුනු සුපුරුදු හඩකින් ඇය දීර්ඝ වේලාවකට පසු හිස හරවා බැලුවාය.

“ ඔවු ඇයි. පැන්නොත් බේර ගන්නව ද?“

“ අෆෝ නංගි මම පීනන්න දන්නෑ. අනික මේ ගඟේ කිඹුල්ලු පිරිලා. ගිලිල මැරෙන්න කලින් කිඹුල්ලු කාවි “

එසේ කියමින් ඔහු ඇය ළඟම නතර විය.

--------------------------------

“ රේල් පාරක් නෑ , වස කුප්පියක් ලේසියට ගන්න නෑ , ග්‍රාමොක්සෝන් ගන්න ගියත් දාහක් ප්‍රශ්ණ , නිදිපෙති ගන්න රිසිට් ඕනි. ඟඟේ පනින්න නිදහසක් නෑ. . . කාමරේ බාල්කයක් නෑ.
එල්ලෙන්න වැලේ වැල් නැහැ. අද නම් මැරෙන්න හොඳ දවසක් නෙමෙයි.“

යමින් ගමන් ඇය පොත් කඩයට ගොඩ වී පොත් කිහිපයක් ගත්තේ සුවපත් වෙමින් තිබිනු රිදුනු සිත තවත් සුවපත් කර ගැනීමට මෙනි.

ගිය ගමනේදීනොදුටු දහසක් මල් ආපසු එන ගමනේ දී ඇය සඳහාම මෙන් පිපී තිබුනි.


“ ඔවු ඇත්තටම  . . . . අද මැරෙන්න හොඳ දවසක් නෙමෙයි “



Tuesday, October 1, 2013

ලෝක ළමා දිනය සහ ආරංචි තුනක්


ලෝක ළමා දිනය සහ ආරංචි තුනක්

------------------------------------- 



පුරුදු විදිහට ලෙංගතු දුරකථන ඇමතුම ආවා.



“ මොනා ද නිවුස්. අද ස්කෝලෙ හොඳ ද? “ ඔහු ඇහුවා.



“ ඔවු“ ඒ මම.



“ මොකද නිකම් අද . . . . .කෙටි උත්තර ? “



“ හ්ම් . . .කියන්න නම් දේ ගොඩායි....“



“ ඉතින් . . කියන්න.ඔය හිතේ බර බිම තියන්න“



“එහෙනම් අහ ගන්න ...............................



“ ලබන මාසේ ගුරු පඩියෙන් කපා ගන්න අද අපේ මුළු ස්කෝලෙම ළමයින්ට අයිස් ක්‍රීම් දුන්නා.“



“ එතකොට අර පෑන් ටික. අපරාදේ වියදම් දෙකයි ඔයාට “



“‘ පෑන් ටිකත් මම බෙදල දුන්නා. උන් මම පන්තියෙන් යනකම් අයිස් ක්‍රීම් එක නොකා පෑන් දිහා බලා හිටියා.“



“ ඉතින් එහෙනම් ඇයි මේ දුකින් “



“අපෙ ස්කෝලෙට කිලෝමීටර් පහක් විතර මෙහා කණිෂ්ඨ පාසලක නමයෙ පන්තියෙ ගෑණු දරුවෙක් බඩ වෙලා.බඩේ ඉන්න දරුවගෙ තාත්තාට තවත් දරුවො ඉන්නවා.“



අයිස් ක්‍රීම් කාලා , පෑන විසිකරල දාලා ,ළමයි ඉන්න බැඳපු කොල්ලෙක්ගෙ තුරුල්ලට යන පුංචි කෙල්ලෙක් , කවදාවත් පාවිච්චි නොකරපු වේවැල අරන් පෝලිමට හිටවපු ගුරු මණ්ඩලේට තලනව එකාමාරට ඉස්කෝලෙ ඇරිල බස් එකේ එන ටිකට සිට් එකේ ම නින්ද ගියපු මම හීනෙන් දැක්කා “




“ දවල් හීන . . . . .“ ඔහු දුරකථනය විසන්දි කරා.



“ ලෝක ගුරු දිනයත් මේ සතියෙම අන්තිම“ සුසුමක් හෙලපු මම ඇස් දෙක පියාන අසුනට බර දුන්නා.


Thursday, September 26, 2013

෴ කාලෙකට පස්සේ - පරණ පාරේ ෴

෴ කාලෙකට පස්සේ - පරණ පාරේ ෴


කාලෙකට පස්සේ 
පිය නඟපු පාරේ

කරස් කරස් සද්දෙට
පෑගෙන කොළ යට

පාරට නැමුණු
විසල් රුක් ගොමු යට

ඉපල් වෙලා ගිය
පරණ ගස් වැල් යට

එපා වෙලා හැලිල ගිය
මොරණ පිහාට්ටක් යට

ගලා ගෙන දිය
දොලේ පොඩි ගල් යට

තාමත් මම දැක්කා
ආදරේ ටික ටික


කණාටු ගහක
අතු අග්ගිස්සක


අතෑරපු කූඩුවක
කුරුළු බිත්තරේක


කොළ අතර මතු වෙච්ච
පුංචි පැළයක් ළඟ


බලාපොරොත්තුවක් වැටිල තිබිලා
අහුලන් ආවා


පරණ පාරක් දිගේ , තනියම ඇවිදපු
මම
෴ සොඳුරු ෴

Sunday, September 22, 2013

- පොත් ප්‍රදර්ශනය-


- පොත් ප්‍රදර්ශනය -


පුංචි ළමයි චිත්‍ර අදින අඩවිය , පොත් ප්‍රදර්ශණය බලන්න යන මගේ සිත කවදත් ඇද ගත්ත තැනක්...... මේ ඉන්නේ එතැනට ආපු පොඩිත්තෙක් අනිත් කෙනා ගැන විස්තර පසුවට


මෙම වසරේ පැවැත්වුනු පොත් ප්‍රදර්ශණය ගැන සහෘද බ්ලොග්කරුවන් කිහිප දෙනෙක්ම ලියලා තිබ්බ නිසා ඒ ගැන ලියන්න මගේ අදහසක් නැහැ.ඒ වගේම වත් පොත දිහා ගියොත් අපේ යාළුවන් කොයි තරම් නම් පත-පොත ට ලැදි ,පත පොත කියවන අය ද කියලා දැන ගන්න සාක්ෂි දැක ගත හැකි වේවි. ඒ උනාට මට හිතා ගන්න බැරි පොත් කියවන්න එයාල වෙලාව කොහෙන් හොයා ගන්නව ද කියලයි. 



ඔන්න තකහනියක්ම මම නම් කොළඹ ගිහින් පොත් ප්‍රදරශණයටත් රිංගුවා.මටයි කියල ගත්තේ පොත් දෙකයි. අනිත් ඔක්කම පොත් අධ්‍යාපනික පොත් . හරියට ලෝක සිතියම්, ශබ්ද කෝෂ , පාරිභාශික වචන , පසුගිය ප්‍රශ්ණෝත්තර මේවාත් මම ප්‍රදර්ශණය බලන්න එන බව ආරංචි වෙලා මට ගේන්න කියපු පොත්.



දඹානේ ගිහින් බිම වැටිල කැඩුණු කැමරාව හදා ගැනීම තමා කොළඹ ගමනෙ මූලික අරමුණ වුනේ.මම ගතපු පොත් දෙක තමයි “ කාල සර්ප “ ( මේ පොතේ කතෘතුමා කීර්ති වැලිසරගේ මහත්මයාගේ අත්සනකුත් එක්කම පොත හම්බුනා) අනිත් පොත තමයි ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් ගේ “මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක “


පොත් ගන්නවට වඩා කැමරා කාචයක සටහන් කර ගන්න දේවල් බොහෝමයක් දැක්කත්. ඒ තරම් සෙනඟ ගොඩක් මැද කැමරාව මානන්න තිබ්බ චකිතය මාව පසුබැස්සුව . ඒත් මාත් සමඟ ගියපු සුන්දර යාළුවා නිසා චකිතය මඳකට අමතක කරල යන්තම් පින්තූර තුන හතරක් ගත්තා. මේ පහළ තියෙන්නෙ අන්නේවා.



මේ ඉන්නේ දරුවන් චිත්‍ර අඳින තැනට පිළිගන්න “ අපූරු විකටයා “ 


මේ ඉන්නේ චිත්‍ර අඳින තැනම තිබ්බ “ටැටූ“ “ බොඩි පේන්ටින් “ කරන තැන.ඒ කියන්නේ පුංචි අයගේ අතේ , මූණේ ලස්සන පුංචි සිත්තමක් ඇඳ ගන්න මෙතනින් පුළුවන්. සමහර දරුවො සමණල්ලු, මල්, ගිනි මකරු ඇද ගනිද්දි ,මම දැක්ක එක පොඩිත්තෙක් නම් මිනී ඔළුවක් ඇඳ ගන්නවා.




හැකියාව කියන දේට මම කවදත් හිස නමනවා.මට චිත්‍ර අඳින්න බැරි නිසා මේ වගේ අපූරු චිත්‍ර අඳින්නෙක් මාව පුදුමයට පත් කරනවා. 






මැයත් දවසක චිත්‍ර ශිල්පිනියක් වේවි....එහෙමත් නැති නම් දොස්තර නෝන කෙනෙක් වෙන්න තමන්ගෙ සිහින බිලි දේවි.



දරුවන්ගෙ ලෝකෙට හැමවෙලේම දෙමාපියන් එඹෙන්නත් නරකයි.පසු පසින් ඉදල සොයා බැලුවම හොඳටෝම ඇති නේද .



හරියට මේ වගේ “ ඇගේ අහස ඇයට ඕනි විදිහට “







මාත් සමඟින් තනි නොතනියට ප්‍රදර්ශණය පුරා සැරිසැරූ සුන්දර මිතුරා.ඔබට බොහොම ස්තූතියි.





ලබන වසරේ මුණ ගැසෙන තුරු ඔබට “ආයුබෝවන් “






ප:ලි:- ඔත්තුවක් නිසා කියවන්න සෙවූ “ කුරුලු හදවත “ පොත සොයා ගන්න බැරි වුනා.......... 



මේ හැම පින්තූරයකම වාගේ ,කැමරාවට පිටු පසින් හිටපු 
මම
෴ සොඳුරු සිත ෴

Friday, September 13, 2013

෴ සක්කර වට්ටම ෴

෴ සක්කර වට්ටම ෴


දාන සැර තරමට ම නැතත් බසය පණ අදිමින් ඉදිරියට යන බව ඔහුට දැනු‍නේ ඔහු නි‍සොල්ම‍නේ වාඩි වී සිටිය දීම ඔහු පසු කරමින් ‍ගොඩනැගිලි මිනිසුන් , ගස් වැල් ගමන් කරන්නට වූ බැවිනි. ඔහු‍ගේ දෑස් අරමුණකින් ‍තොරවම  පසු වී යන ‍ගොඩනැගිලි සහ මිනිසුන් ‍වෙත ‍යොමු ‍වෙයි.

“ ‍මේ  . . . . . . අනේ ‍මේ බලන්න ‍කෝ “


කට හඬද සමඟින් ඔහු‍ගේ වම් කලවයට දැනු‍නේ අපූරු උණුහුමකි. ඔහු‍ගේ දෑස් ඒ උණුසුම කුමක් දැයි ‍සොයන්නට විය.

සිහින් දිගැටි සුදු අතගැලි ඔහු‍ගේ කලවය මත  එහා ‍මෙහා යන්‍ ‍නේ ‍තාලයට ‍මෙනි. අතැගිලි ප‍හේ දිගු නිය‍පොතු ‍වර්ණ පහකින් ඔප දමා ‍මෝස්තර පහකින් හැඩ දමා ඇත.



ඇය ඔහු‍ගේ ඇඟට ‍තෙර‍පෙන බව ඔහුට දැ‍නෙත්ම නිය‍පොත්‍තෙන් ගිලිහුනු දෑස් ඇය ‍වෙත ‍යොමු විය.


“ මේ . . . . . .“


ඇය නැවතත් මුල පුරන්නට විය.

“ ඇයි ? “

ඔහුගේ වදන් තරමක්  උස් ය , ගොරහැඩි ය.

“ මොනා ද අනේ, රබර් කෑලි දෙකයි කිලුටු ෂර්ට් එකයි. මම කැමැති නැහැ ඔහොම යන්න ඔයත් එක්ක “

“ ඉතින් . . .  මම ද ඔයා එක්ක ආවේ. ඔයානේ මම යන බස් එකට නැග්ගේ “
“ ආහ් , . . . .ඒකත් එහෙ ම ද ?

“ ඔවු “


ඇගෙන් දෑස් මුදා ගත් ඔහු නැවතත් ඒ දෑස් වලට ජනේලයෙන් පිටත ඔහේ සරන්නට ඉඩ දී සිටියේ තමා ළඟින් ම වාඩි වී යන සුන්දර තරුණිය තුට්ටුවකට හෝ ගණන් නොගනිමිනි.

“ අනේ  , මම ඔයා එන දවස් වෙලාවල් බලල බොහොම අමාරුවෙන් ඔයාව මුණ ගැහෙන්න අල්ල ගත්තේ. මේ මම ඔයා කීව නිසා අත් දිග බ්ලවුස් එහෙකුත් ඇදන් ආවා “
“ මං කීව නිසා මොකට ද අඳින්නේ .මං නිසා ඔයා කැමැති දේවල් ,කියන කරන දේවල් නතර කරන්නෙපා.“


තවමත් වෙනස් නොවුනු ඇගේ යටිකය වැසූ ලේන්සුවක් තරමේ කෙටි සාය දෙස බැලූ ඔහුගේ මුවට සිනහවක් ද එකතු විය. එසැණින්ම ඔහුගේ ඇස් යොමු වූයේ බසයේ සිටගෙන සිටින තරුණයකු වෙතයි. තරුණයා වශී වී මෙන් දණහිසෙන් ද ඉහලට විවෘතව වී ඇති ඇගේ සුදු කලවා දෙස අනිමිස ලෝචනයක යොමූ වී සිටියි.


 මේ බසයේ ම මේ ආසනයේ ම ඔහුත් සමඟින් වසර ගණනක් එක්ව ගිය ඇය දැන් ඔහු හා එක්ව එකම ආසනයේ යන ඇයට වඩා කොතරම් නම් වෙනස් දැයි ඔහුට සිතුනි.


එසේනම් ඇය යන්නේ දැන් ඔහු වාඩි වී සිටන ජනේලය පැත්තෙන් වාඩි වීය. එය ඔහු ඇයට සපයන ආදරයේ සහ රැකවරණයේ තවත් සංකේතයකි. විවෘත ජනේලයෙන් විටින් විට ඔහු ගේ මුහුණට එන්නේ එක මිටට ඔතා ගොතා දැමූ දණහිස තෙක් දිගු ඇගේ වරලසෙන් ගිලිහුනු කෙස් කැරුල්ලකි. 


මඟීන් තෙරපෙන බසයේ සුපපහසු ජනේලය අසල අසුනේ දැන් ඔහු වාඩි වී සිටන අතර හිටගෙන යන මඟීන් කර උඩ ගියත් මුදු මුදු වන් කොණ්ඩය ටින්ට් කරපු ඇයට නම් ඔහුගෙන් රැකවරණයක් නැති ගානය. 

නමුත් 

මැය ඔහුට පැලෙන්නට ආදරේය.. 

ඇය  මොහු හැර  ගොස් ය.



ඇය පෙම්වතියක් සිටි කාලයේ , ඇය කීවේ ඔහු නොලැබුනොත් ඇය මිය යන බවයි.

ඔහු හැර යන්නට ආසන්නයේ දී ඇය කීවේ , වෙන් වූවත් ඔහුගේ මතකය සමඟින් ජීවත් වන බවයි.

ඇය වෙනකෙකු හා සරණ යද්දි ඇය කීවේ ගතින් ලඟ නැතත් ඔහු හා සිතින් ජීවත් වන බවයි.

ඇය ගර්භනියකව සිටිය දී ඇය කීවේ උපදිනා දරුවාට ඔහුගේ නම යොදන බවයි.


දැන් ඇය යන මඟ තොටක දී ඔහුව හමු වූවද නන්නාඳුනන්නියක ලෙස ගමන් කරන්නීය. ඔහු ඇස ගැටෙන විට ඇගේ සැමියා ළඟ පාතක සිටී නම් සැමියා හා උවමනාවෙන්ම සුරතල් වන්නීය.


නමුත් ඇයගේ කොණ්ඩය තාමත් දිගුය. 
අඳින ඇඳුමද තවමත් දණහිස තෙක්ම දිගුය. 
නියපොතු ගානට කපන්නීය. ඔප නොදමන්නීය. 
දරුවන් නලවන්නීය.සැමියා සනසවන්නීය. 
නමුත් වසර හතක් ආදරය කළ පෙම්වතා නාඳුනන්නීය.


ඇය හා ගිය මඟ ඇය හා ගිය අසුනේම ඔහු ඔහුට පැලෙන්නට පෙම් කරනා සුන්දර තරුණියක මඟාරිමින් ගමන් කරන්නේ , ඇගේ කොණ්ඩය දිගු නැති නිසා  ද , කොට ඇඳුම් අඳින්නියක නිසා ද නියපොත් පාට කරන්නියක නිසා ද නැතිනම් අතීත ආලය සිය හදවතේ පැළ කල පැළය මහ ගසක්ව මියෑදුනත් හදවත පුරා මුල් බැස පතුලටම ගිලී හදවත බදා ගත් කමකට නැති පෙම නිසා දැයි මට නොතේරේ.

ඔහුගේ දෑස් තවමත් ජනේලයෙන් පිටත සරයි. සක්කර වට්ටමගේ දෑස්වල තෙතමනය ජනේලයෙන් පතිත වූ හිරු කිරණකින් දිලිසෙමින් ඇත.

ඇය හා ඔහු ගිය බසයේ 
මඟියා
මම
෴ සොඳුරු ෴


Thursday, August 29, 2013

ගෙඹි බිත්තර...

මගෙ පොඩි කාලේ....

ගෙඹි බිත්තර...

---------------




වැහි කාලේ හමාර වුනා විතරයි.ඇත්තටම කියනව නම් ඊයේ රෑ වැස්සට පස්සේ අද දවසට තාම වැස්සෙ නැහැ. කාලෙකින් පස්සේ පොළවට දැනෙන්න ඉර පායල තිබුනා.අරහෙ මෙහෙ හැංගිලා ,ගුලිවෙලා ,පිම්ඹිලා හිටි කුරුල්ලෝ සමණල්ලු කලබලෙන් වගේ හැමතැනම පියෑඹුවා...... වැහි දවස් ටිකේම ඇහුනේ “ගෙබෙක් ගෙබෙක්.....ගෙබේබේබේක්...... සද්දෙ විතරමයි..... ඒක හරියට වැස්ස වහින තාලයට එකතු වුනු පසුබිම් නාදය වගේ එක දිගටම ......... 

ගෙබෙක් ගෙබෙක් බෙක් බෙක් බෙක්......................... 


කාලෙකට පස්සෙ මාත් එළියට බැස්සෙ දොරකඩ පාමුල තිබ්බ සෙරෙප්පු දෙක දැක්කෙ නැති ගාණට.මඩ ඇගිලි අස්සෙන් පනින ගානට තියෙද්දි ඇවිදින කොට ඇඟත් එක්කම හිරි වැටෙනවා.හොර පූසි වගේ සද්ද නොකරම එළියට බැස්සෙ, අම්ම දැන ගත්තොත් බැනුම් කෝටියක් නිසායි.

ස්කාෆ් , තොප්පි,සෙරෙප්පු,රේන් කෝට්.... ඕව ඔක්කම දාන් හඳට යන්න වගේ එළියට බහින්න මම ආසම නෑ.

එළියට බැහැපු ගමන් ඇදිල යන්නේ තහනම් කලාප වලට....ඒක තමයි පුංචි ළමයින්ගෙ ඉදලම දකින්න පුලුවන් මනුස්ස ස්වභාවය.

ගෙදර හදන්න ගතපු ගඩොල් කපන්න ,පස් ගතපු වල වතුරින් පිරිලා.ටින්..කෝප්ප, බෝණික්කගෙ ඔළුව, යෝගට් පියන්,තැඹිලි කෝම්ඹ පිරිලා.(අද කාලේ වගේ උනානම් ඩෙංගු ඇති කරා කියලා උසාවිත් යන්න වෙනවා) ඒ අස්සෙ අර මොනා ද? පේලියට දිගට වැල් වැල්..... සෙවල වගේ ... කළු පාට පුංචි බෝල බෝල ඒ වැල් වල එතිලා.ඇමිණිලා......


අත දිග මානෙක ඒ වැල් තිබුනෙ නැහැ.... දිය පිරුණු වලේ මැද හරියට වෙන්න වැල් වැල් ගොඩාක් විසිරිලා විහිදිලා තිබ්බා.අතපාන මානෙ නොවුනු නිසා... තරමක් දිග කෝට්ටක් අරන් ඇවිත් වැල් ටික ගොඩට කිට්ටු කර ගන්නයි මට ඕනි වුනේ.ඉර අවුවට ඒවා දිලිසුනා. 

සමහර විට වටිනව ඇති.



කෝටු කෑලි දෙක තුනක්ම ගෙනාවත් කළු-මුතු ඇට වැල් වලට දිග මදි වුනා.අන්තිමටම කොහොම හරි මම හොයා ගත්තේ ගස්ලබු කඩන කෙක්ක. ඒකෙ අග්ගිස්සට හයි කරල තිබ්බ පොඩි මල්ල නිසා වැඩේ ලේසි වෙයි කියල මට හිතුනා..........

හරියටම ගාණට නැතත් අනත් හැම කෝට්ටකටම වඩා කෙක්ක දිගින් වැඩි වුනා.ඒත් තිබ්බ එකම අපහසුව තමා කෙක්ක හේ කර ගන්න බැරි වීම.ඒ කියන්නේ දෑතින් බදල ඇල්ලුවත් ඉලක්කයට යද්දි කෙක්කෙ ගැස්සිල්ල වැඩි වෙනවා.

අන්තිම අවස්ථාව වෙද්දි කෙක්ක බොහෝ දුරට ආගන්තුක වැල් වලට ලඟා වෙලා තිබ්බා. මගෙ මුළු හිතමත් මුළු නෙතමත් මුළු කයමත් ඒකාත්මිකව ඒ වැඩය කෙරේ යොමු වෙලා තිබ්බා. දන්නෙම නැතිව කණ්ඩිය උඩට කකුල යන්න ඇත්තෙ ඒකයි. පස් කණ්ඩියත් කඩා ගෙනම මම වැටුනෙ අර ජරා වලේ.

මඩ පාට වතුර මගෙ ඇස් වලට පෙනුනා. අමි රහ වතුර උගුරෙන් පහලට ගියා. කෙක්ක විසිවෙලා යද්දි වතුර වලේ මැද හරියෙ තිබ්බ අර අමුතු වැල් ජාතිය කෙක්කෙ පැටලිලා මා ළඟටම ඇවිත් මගේ ඇඟේ ගෑවි ගෑවි තිබ්බා.කිසිම දෙයක් හිතා ගන්න බැරිව මඩ වලේ ඔහේ යටටම යටටම යනවත් එක්කම මහ හඬින් මම කෑගැහුව වගේ මට මතකයි.

------------------------------------

“ මේක එයාගේ මේස ලඟින් තියන්න“

‘ මොනවද ජරාව.ඔයාට පිස්සු ද?“
“නැහැ එයා මේවා දැන ගන්නෝනි “

හොඳ උණුසුම් පොරෝනයක් ඇතුලෙ මම ගුලිවෙලා ඉද්දි.අඳුරන කටහඬවල් දෙකක් ඇහෙද්දි.මම දැක්කා තාත්තා ජෑම් බෝතලයක් ගෙනත් මගේ ඇඳ ළඟ තිබ්බ පුංචි මේසෙ උඩින් තියනවා. ඒක දිහා හොඳින් බලද්දි තමයි මම දැක්කේ... ජරා වතුර වලේ තිබ්බ කළුපාට මුතු වැල් කිහිපයක් ඒ බෝතලේ තිබ්බ වතුර උඩ පාවෙනවා.

“ දෝණි හොඳට මේ බෝතලේ දිහා හැමදාම බලන්නෝනි හරිද ? එතකොට දෝණිට තේරේවි මේ මොනා ද කියලා “


මගේ හිස අතගාපු තාත්තා එහෙම කීවත් අම්ම නම් වෙනද පුරුදු විදිහටම එක දිගටම එකම දේ කිය කිය මට බැන්න වගේ මතකයි.


Blogroll

Related Posts Plugin for WordPress, Blogger...