ඇය හරියටම හයට ගෙදර ගියා ය .
දකුණතින් ලයට තුරුළු කර ගත් පොත් මිටිය තව තවත් ලයට තබා තෙරපා ගත් ඇය වමතින් ඔහුගේ ඇඟලි තුඩු මිරිකා තද කර ගත්තී දෑස් වහා බිමට යොමු කළාය.
ඇගේ හදවතේ වැඩි වුනු ගැස්ම ඔහුට ද දැනුන බව ඇය වටහා ගත්ත ද දෙනුවත් ඔසවා ඔහු දෙස බැලීමට තරම් කාරුණික නොවූවාය.
“ අපි ඉක්මනට යමු අනේ “
ඇසෙන නෑසෙන ගාණට ඇය කීවාය.
ඔහුගේ ද සිත තුල වූයේ චකිතයක් වූවත් ඒ බවක් පිටට නොපෙන්වා සිටීමට ඔහු තද බල උත්සාහයක නිරත විය. අනුන්ගේ ගමක ,නම නොදන්නා පාළු පාරක ඇය හා ඇවිදන් යාම මින් හෝරාවකට පමණ පෙර තමන්ට කොතරම් නම් ප්‍රීතියක් අත් කර දුන්නා දැයි සිතෙත් ම ආ ගමන “මෝඩ ගමනකැයි “ ඇය කියූ දේ බැහැර කරන්නට ඔහුට වෙනත් තර්ක උවමනා නොවීය.
නමුත් . . . . .
හතර වටින් වැටී ගෙන සැදෑ අඳුරේ ඝනකම වැඩි වන්නේත්,ඒ බව දෙදෙනාටම හඳුනා ගත නොහැකි තරමට ප්‍රේම සයුරේ ගිලී සිටියේ ත් දෙදෙනාගේම අවාසනාවට වන්නට ඇත.
සති අන්ත පන්තියේ දී හමුවන ඇය හා පෙම් වදන් හුවමාරු කර ගැනීමට වාසනාවක් ඔහුට ලැබුනේ කෙතරම් නම් පෙරුම් පිරී පසු ද.
සැමදාම සති අන්තය පැමිණෙන තෙක් ඇයත් ඔහුත් නොසන්සුන්ව සිටියත් . . .සති අන්ත පන්තියේ දී කාටත් හොරා දෑසින් පොවා ගත් පෙම් මදිරා පමණක් නොසෑහෙන බව දෙදෙනාටම වැටහුන ද, දෙදෙනාට නිදහසේ හමුවීමට හැකියාවක් මෙතෙක් කල් නොතිබුණි.
එක් දිනක පන්තියේ විවේක වේලාවේදී ජල කරාමය ළඟ දී හමුවු ඔවුන් දෙදෙනාගේ කෙටි සංවාදය අවසන් වූයේ දෙදෙනාම ඒකමතිකව තීරණයකට එළඹීයයි කිව නොහැක. ඇය අදිමදි කළත් ඇය ද අවසානයේ එකඟ වූවාය.
‘ එහෙනම් ලබන සතියේ උදේම එන්න “
ලබන සතිය එලැඹිනි.ඇය ඔහුටත් කලින් බස් නැවතුමට පැමිණ සිටි වග ඔහු දුර දීම දුටුවේ ය.
“ දැන් කොහෙ ද යන්නේ ? “
“ අපි යමු . . . ම් ම් ම් .. . . . “
“ මොනාද අනේ මෙතැන ඉන්න බැහැ.ඉක්මනට යමු.තව ටිහකින් කට්ටිය පිරුණම අඳුරන අයත් ඒවි “
“ අපි යමු රූම් එහෙකට “
“ රූම් . . . . . . “ අල්ලා ගෙන සිටි ඔහුගේ සුරත අතැහැරි ඇය දෑස් විසල් කර ඔහු දෙස බැලුවාය.
“ ඇයි බැරි ද? “
“ අනේ මට බැහැ.අනික . . .අපි තවමත් හරියට කතා කරළවත් නැහැ. මට ඕනි ඔයාත් එක්ක දවසම කතා කර කර ඉන්න.අත් අල්ලන් ඇවිදින්න “
“ හ්ම් . . .ඉතින් ඒක තමයි. රූම් එහෙකට ගියාට.ඔයාට මගෙන් කරදරයක් වෙන්නෑ ළමයෝ “
“ බැහැ බැහැ . . මට බැහැ. මම යනවා පන්තියට යන්න “
“ එපා එපා යන්නෙපා. . . .එන්න අපි මේ බස් එකේ නගිමු “
හැරී යන්නට ගිය ඇගේ සුරතින් ඇද ගනිමින් , ඔවුන් පසු කර යමින් සිටි බසයට දඩි බිඩියේ නැඟ ගත් ඔහුගේ සිතේ කිසිදු ආකාරයක සැලැස්මක් නොතිබුන ද , ඔහුගේ ක්‍රියාකලාපයට ක්ෂණිකව එකඟ වූ ඇය . . ඒ වන විට ද හිස්ව තිබූ බස් රථයේ පෙම් මුල්ලට ගොස් වාඩි වූයේ ඔහු දෙස අනුරාගය මුසු බැල්මක් ද හෙලමිනි.
ඇය “ අපි කොහෙද යන්නේ අනේ “ යි ඇසු වේ නැත. ඔහු ද තමන් දෙදෙනා කොහේ යනවාදැයි දැන සිටියේ ද නැත. බස් රථය දිගටම ගමන් කරන්නට විය. දන්නා දේස සීමා පසුකරමින් ඉදිරියටම බසය ගමන් කරන්නට විය.
නොදන්නා මිනිසුන් අතර තනිවුනු බව හැඟෙත්ම ඔවුන්ගේ ලෝකයේ මෙතෙක් තිබූ සීමාවන් එකිනෙක ලිහිල් වන්නට විය.
“ ටිකට් ගන්න . . .ටිකට් . . . .“
“ දෙන්නයි . . . “ සාක්කුවෙන් ඇඳ ගත් රුපියල් සියයේ නෝට්ටුව එළියට ඇඳ ගත් ඔහු කිසිවකු නොවිමසාම දිගු කළේ . . . තරමක කේන්තියක් ද සමඟිනි.
කොන්දොස්තර කිසිවක් නොවිමසු අතර . . .රු.50 ටිකට් පත් දෙකක් ලියා දී බසයේ ඉදිරියට යන්නට විය.
බසය අවසන් නැවතුමේ නතර කරන විට ඔවුන් දෙදෙනාගේ ලෝකයේ මල් පිපී සුවඳ හමමින් තිබුණි.
අවසන් නැවතුමේ අවසානයටම බසයෙන් බැස ගත් ඔවුන් දෙදෙනා තමන් සිටිනා ඉසව්ව ගැන කිසිත් නොදැන නමුදු සිදුවූ දේ ගැන කිසිම විටෙක පශ්චාත්තාප නොවී ය.
නොදන්නා නුවරක වීදි දිගේ අත් පටලන් ඇවිදන් යාම හදිසියේම අහවර වූයේ ඇගේ කටහඬිනි.
“ මට ගෙදර යන්නෝනි “
“ වෙලාව කීය ද? “
“ පහට කාලයි “
“ මොනවා . . . “
“ ඔවු. .හය වෙන කොට ගෙදර ඉන්නෝනි.නැතිනම් අයියා ඒවි හොයන්න . ඇත්තටම අපි කොහෙද මේ ඉන්නේ “
“ මා ළඟ සල්ලිත් නැහැ. අරූ රූපියල් සීයම අරන් “
“ මා ළඟ තියේ හැටක් . . . අපරාදේ අපි අයිස් ක්‍රීම් කෑවෙන තිබ්බ සල්ලි වලින් “
දෙදෙනා ආපසු බසයකට නැගුන ද නියමිත මුදලින් එහාට යෑමට නොහැකි වූයේ අවාසනාවන්ත ලෙස ටික්කන්ගේ ආගමනයට ඒ බසය ගොදුරු වු නිසාය.
දෙදෙනා එක්ව පයින් යාමට අරන් දැන් බොහෝ වේලාවකි. කොතරම් දුරක් යෑමට ඇත්දැයි දෙදෙනාම නොදැන සිටි නමුදු පාරේ ඉදිරියටම අත්පටලාන ඔවුහු ගමන් කළෝය.
හිටි වනම ගමන බාල වූයේ පාළු පාරේ ඉදිරියෙන් වූ බෝක්කුව මත සිටි අයිආර්සී කොලු රැල නිසාය. නව යොවින් වියේ පෙම්වතුන් යුවලක්..... නොදන්නා දෙදෙනෙක්. දුර සිටම ඔවුන් තමන් දෙදෙනා දෙස බලමින් යමක් කතා කරන අයුරු ද හයියෙන් සිනා සෙන අයුරු ද ඇසේ.
පා පැටලේ. . . “ මෝඩ ගමනක් ආවේ “ දැන් ඔහුට ද එසේ සිතේ.
“ මොනා කීවත් අපි ගණන් නොගෙන යන් හරිද “ ඔහුගේ අත තදින් මිරිකමින් ඇය කීවාය.
බෝක්කුවට තව අඩි කිහිපයකි. සිතට දිරි ගත් ඔවුන් දෙදෙනා පය ඉක්මන් කරන්නට විය.
“ අඩෝ ව් . . . . . “
ගමන තවත් වේගවත් විය. . .
“ මේ අඩෝ . . . ප්‍රසන්නයා “
කටහඬ පසු පසින්ම ඇසෙන්නට විය.ඔහු නැවතී ආපසු හැරී බලත්ම. ඔහු පසු පසින් පැමිණ සිටියේ ඔහු යන්තමින් හඳුනන මිතුරෙකි.
“ කොහෙද මචන් මේ . . . කිරිල්ලියෙකුත් එක්ක “
ඉන් පසු සිදු වූ දෙය විස්තර කිරීම අනුවන ක්රියාවෙකයි මට සිතේ. මෙපමණක් පමණක් පැවසිය යුතුමය.
ඇය හරියටම හයට ගෙදර ගියා ය.