..... I am the poem that's  yours but doesn't belong to you ever,...

Tuesday, November 27, 2012

පාර දිගේ



 
“ ආයෙ කතා කරන්නෙපා මට . . . . . . මම යනවා “

එපා . . . ! ! ! කියන වචනෙ ඇවිත් එයන්නෙ ගැට කෑල්ල  නිසා උගුරෙ හිර වුනා.



තව පාර ඉස්සරහට ඉස්සරහට ඉස්සරහටම තිබ්බා . . . . පේන තෙක් මානෙ කවුරුවත්ම නැහැ. පෙම්වතුන්ට නම් කියාපු පාර , හැබැයි බර වාහන තහනම්.

මම බලාන හිටියා. එයා පාරේ දිගටම ඉස්සරහටම ගියා.

ඉස්සරහටම . . . . ඉස්සරහටම . . . . . .ඉස්සරහටම . . . .ඉස්සරහටම . . . . . . ම්හ්. . . . කාටදෝ බයෙන් වගේ වේගයෙන්ම ගියා . . . .ඉස්සරහටම  . . . .


කවදාවත් අවසානයක් නොපෙනෙන පාරක ඉදිරියටම ඔහු යමින් හිටියා. ගොඩාක් දුර ඈතින් කවුදෝ . . . කාටදෝ අතවනනව වගේ පෙනුනා. ඒ කාට ද? එයාට ද ? මට ද? මම හිතන්නෙ එයාට. ඒ එයාගේ කවුරු හරි වෙන්නැති.


සමහර විට එයත් එක්ක මේ පාරේ මටත් කලින් ආපු කෙනෙක් වෙන්නැති. මාව හමු වෙලා මෙයාගේ ගමන බාල වෙන්නැති. එයාගෙ ගමන දිගටම යන්නැති. මෙයා නැති බව දැන ගෙන එයා නවතින්නැති. මෙයාටත් එයාව මතක් වෙන්නැති. ඒකයි මේ. . .  ඉක්මනටම ඉස්සරහටම යන්නේ.


වෙන කොහේ දෝ යමින් හිටපු මම මෙයත් එක්ක යන්න පටන් ගත්තෙ කවදද කියලා මට මතක නැහැ. කලින් යමින් හිටපු ගමන මොකක් ද කියලත් මට මතක නැහැ.


මම . . . පාර දෙපැත්ත බැලුවා. මහ හද්ද කැලේ. කැලේ පනින්න මම බයයි.


මම . . .  පාර ඉස්සරහ බැලුවා. එයා දැන් ගොඩක් දුර ගිහින්. ඒත් අල්ලගන්න බැරි නැහැ. දුවල ගිහින් අතින් අල්ල ගන්න හිතෙයි කියල මට බය හිතුනා. කී සැරයක් නම් මම එයාව ,එයා මාව එහෙම ලුහු බැඳල අල්ල ගත්ත ද?


ඒත් මේ සැරේ . . . . . අරය තාමත් එයාට අත වනනව. එයා වේගයෙන් ඉස්සරහටම යනවා.


මම . . . . ආපහු හැරුනා.



එයා ඉස්සරහට වේගයෙන් ගියා.


මම ආපහු බොහොම හිමින් ගියා.


බිම බලාන යද්දි . . . . මට බිම වැටිල තිබ්බ අපේ මතක හම්බ වුනා.


පළවෙනි මතකය අහුලා ගන්න නැමෙන්න අමාරු වුනා. මොකද මම එයත් එක්ක යද්දි ගියේ හරි කෙළින්. ගොඩාක් කල් මම නැමෙන්නෙ නැතිවම එයත් එක්ක ගමන් කරල තිබ්බා.


පළවෙනි මතකය අහුල ගද්දි
අත වෙව්ලුවා . . . .ඒත් ඒ මතකය උණුසුම්ව තිබුනා. ආදරය පිරිලා තිබ්බා.

මම දිගටම යමින් හිටියා.ඔහුට විරුද්ධ දිසාවට ආපහු යමින් හිටියා. මතක අහුලමින් , මතක කියවමින් , මතක පරිස්සමින් පිසදාමින් යමින් හිටියා.

සමහර මතක පාදා ගන්න වෙලා ගියා. ගස් කොළන් වලින් වැටිච්ච කොළ වලට යට වෙලා තිබ්බ මතක , අනිත් මත වලට වඩා ගොඩාක් ලස්සන වුනා. .. තව කොයි තරම් මතක ඇද්ද වැටිලා මේ පාර දිගේ. . . . . .

අහසෙ හඳ පායන්න ඇති. කුරුල්ලො සින්දු කියන්න ඇති.සමණල්ලු මල් පැණි බොන්න ඇති. කොටියෙක් මුවෙක්ව මරන් කන්නැති.  මේ සියල්ල සිද්ධ වෙද්දිත්. . . පාර එහෙමම තිබ්බා.

මම දිගටම ආපස්සට යමින් හිටියා.

එයා දිගටම ඉක්මනින් ඉස්සරහට යනව ඇති.
-------------------------------------------------------------

මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ළංව දුක බෙදා ගන්න බැරි කම දුකකී
මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමු වීමත් වාවනු නොහැකී


-------------------------------------------------------------

තරු සහ ඔහු..................


෴ තරු සහ ඔහු ෴




තරු ඔක්කම ගණන් කරල ඉවර වුනා විතරයි
ආයෙත් නුඹ තරු අහුරක් විසික්කරේ ඇයි
ඒ තරුවම සොයා දෙන්න කියා කීවේ ඇයි

Saturday, November 24, 2012

අවසාන තුනක කතාවක්

අවසාන තුනක කතාවක්

සුදු පාට වේලයේ පුංචි සිදුරු අතරින් ඇගේ රවුම් ඇස් හිටියේ හරිම විපරමින්, ඒ විපරම් කිරීමට වේලයෙන් ලැබුනෙත් මහඟු පිටු වහලක්. ඇයට ඇගේ ඉදිරියේ ඉන්න සියලු දෙනා පෙනුනත් ,ඇගේ ඇස් වල විපරම අනිත් අයට නොපෙනීම ඇයට ගෙන දුන්නේ සහනයක්.

තවමත් නැහැ . . . . ! ! ! අගේ හිත හීල්ලුවා. හීල්ලිල්ලෙ දිග පළල ළඟම හිටපු මනමාලයට දැනෙයි කියල ඇයට දැනුනේ තමාගෙම හීල්ලුම් හඬින් තමාම ගැස්සිලා යද්දියි.

“ මොකද ළමයො මේ. . . . ඉවසල ඉන්න කෝ . . .  හාද්දක් දෙන්නම් පහළට බැහැපු ගමන් “

කණට ළං වෙලා ඔහු කියද්දි, හිත ගත සලිත වුනත්, ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිචරයක් දක්වපු නෙතින් ගලා ගියපු කඳූලක් කම්මුල් දිගේ රූටල ගිහින් කිටි කිටියෙ හිර වෙච්චි පපුව තුලට කිදා බැස්සා.

“ කෝ . . . ! ! ! දකුණු කකුළ දකූණු කකුළ “

පෝරුවෙන් බහින නැකත ඇවිත්. 

කෝ . . . තවමත් නැහැ. . . . . . .! ! !

එක සීරුවට ඊට පස්සේ , කේක් කැපිලි , කේක් කැවිලි , සවුදිය පිරිලි  , හඳුනා ගැනිලි , අතට අත  , කම්මුලට කම්මුල , බොරු හිනා, සුබ පැතුම්....................


කෝ . . . තවමත් නැහැ. . . . . . .! ! !

“ මේ . . . ඔයාට බඩගිනි ද? “

“ හ්ම් . . . නැහ් . . . . .  “

“ වතුර තිබහ ද ? “

“ නැහ් අනේ නැහ් . . “

“ එහෙනම් චූ බරද ළමයෝ . . .  .? “

“ අයියෝ නැහ් . . . . “

“ එහෙනම් මොකද ඔය මූණෙ හැටි ? හිනා වෙලා ඉන්න කො ළමයෝ. රෑට කරන දේවල් ගැන දැම්ම හිතන්න යන්නෙපා “

“ ඔයැයිට පිස්සු අනේ . . . . එහෙම දෙයක් නැහැ “

“ එහෙනම් කොහොම දෙයක් ද ? කවුරු හරි එනකම් මඟ බලනව ද? “

“ හ්ම් . . . . “

දවල් කෑම මේසය හරිම ජයට තිබ්බත්, කන්න කිසිම පිරියක් ඇයට තිබ්බෙ නැහැ. ඇගේ තෝන්තු ගතිය අනිත් අය දැන ගන්නවට අකැමැති වුනත් , ඇගේ හිතේ පිරිල තිබ්බ නොරිස්සුම , දුක, සංතාපය සහ බලාපොරොත්තු කඩවීම නිසා ඇති වෙච්චි කණගාටුව හංගලා තියා ගන්න පුළුවන් කමකුත් ඇයට තිබ්බෙ නැහැ.

පිඟානට කොහෙන්ද මන්දා එකතු වෙලා තිබ්බ දේ ඔහේ අනලා ඇය ඔහුට කැවුවා. නැහැ .හරියට පින්තූරය ගන්න බැරි වුන නිසා ඇයගෙ බත් පතේ බත් බාගයකටත් වඩා ඔහුට කවන්න ඇයට සිද්ධ වුනා.

ඔහු නම් ඇගේ කටට ළං කරපු බත් කට ඇයට කන්න නොදී හරියට විනෝද වුනා. ඇගේ රිදිච්ච හිත තව තවත් රිදෙද්දි , තරඟය අතහැර දමන්න හදන කොටම , එය තේරුම් ගත්ත මනාලය ඔහුගේ අතේ තිබ්බ සීතල වෙච්චි බත් පිඩ ඇගේ කට ඇතුලටම දැම්මා.

ඇය ආයෙත් , මංගල ශාලාවේහැම මේසයක් ගානෙම ඇගේ ඇස් යොමු කරා. බලාපොරොත්තු සුන්වුනු දෑස් ඊළඟට යොමු වුනේ මංගල ශාලාවේ ඇතුලු වීමේ දොරටුව දිහාට .




කෝ . . . තවමත් නැහැ. . . . . . .! ! !



මෙවර නම් ඇගේ සුසුම් හඬ ඇය පිට කරේ තමාගේ දකුණු පැත්තේ ඉන්න මනාලයටවත් නොදැනෙන්න.
සමුගැනීමේ හෝරාවත එළඹුනා. අම්මාගේ දෑස් වල තිබ්බෙ දුක් කඳුළු නෙමෙයි කියල ඇයට හිතුනා. ඇගේ ඇස් සතුටු කඳුළින් පුරවන්න ඇය ගතපු මේ පියවර ගැන දුක් නොවී ඉන්න ඇය තීරණය කරා.


ඒත් ඇගේ දැසෟ වල විමසිලිමත් බව තාමත් නතර වෙලා තිබ්බෙ නැහැ. මංගල ශාලාවෙන් කවුරුත් එළියට බැහැල කණ ළඟට පළල් කරපු කටවල් හදාගෙන හිටියේ ඇයට සමුදෙන්න.


ඒත් . . . . . .


ජීවිතය තියෙන තාක් කල් කිසිම දවසක සමුගන්න , සමුදෙන්න බැරි කෙනෙක් වෙනුවෙන් ඇගේ විමසිලි නෙත් තාමත් මඟ බලන් හිටියා.

කෝ . . . තවමත් නැහැ. . . . . . .! ! !



“ නඟින්න කා එකට . අඬන්න බැරියෑ පස්සෙ මට තුරුල් වෙලා. නඟින්න කෙල්ලෙ “

කරන්න දෙයක් නැතිකමටම ඔහු ඇරන් හිටපු කාරයේ දොර අතරින් ඇගේ මනාලි සිරුර කාරයට ඇතුළු වුනා.

සියල්ලන්ගේ ජය ඝෝෂා මැද්දේ , කට කැපෙන විහිළුවකුත් කරන්ම ඔහු කාරයට ගොඩ වෙන්න එහා පැත්තෙ දොර ඇරියා විතරයි . . . . .





අවසානය පළමු විදිහ . . . . . .


වේගයෙන් ආපු වාහනයක් මංගල රියට මූණ දාලා , බොහොම භයානක සද්දකින් තිරිංග තද කරලා නතර කරේ මංගල වාහනයේ මූණතේ ගෑවි නොගෑවි.

හදිසියේම දඩ බිඩියෙන් එයින් බැහැපු තරුණයගෙ ඇඟේ ලේ තැවරී තිබුනා. එය දැකපු මනමාලි ත් තමන් වාඩි වෙලා හිටපු අසුනෙන් බහින්න සැර සෙද්දි මනාලයා ඇගේ අත තදින් අල්ලා ගත්තත් , එය ගණනකට නොගත් ඇය , තකහනියක්ම වාහනයේ දොර ඇරගෙන බිමට බැස්සෙත් , ඒ සුනංගුවෙන් ඇය වෙත ආපු තරුණයා ඇගේ කණට කරල මොනවදෝ කලබලයෙන් මිමිණුවෙත් , සිහින් ඉකියක් වත් නැතිව මහා වේදනාවක් උසුලන් හිටපු ඇය ත් ඇගේ විමසිලිමත් බව උසුලාන හිටපු දෑසත් ඒ සියල්ල නිමාවක් බවට පත් කරගෙන මහ පොළව මත ඇඳ වැටුනෙත් එකම වෙලාවක.

“ එයා ආයෙ කවදාවත් එනේකක් නැහැ . . . . . . “ විමසිලිමත් දෑස් වලට අවසාන පණිවිඩය ලැබුනෙ එහෙමයි.

( මට මෙතැනදි ඕනි වුනේ. ඇගේ හිතේ ඔහු වෙනුවෙන් ඉපදිලා තිබ්බ ආදරය, ආයෙ කවදාවත් ඇගේ හිතට එන්නෙ නැති විදිහට මරල දාන්න )



අවසානය දෙවන විදිහ . . . . . .


මනාලිය හිටපු පැත්තට කලබලයෙන් දුවගෙන ආපු ගැහැණු ළමයෙක් ,මනාලිය වාඩි වෙලා හිටපු ආසනය දෙසට පහත් වුනෙත් මනාලිය ඇයට සවන් දෙන්නට වීදුරුව පහත් කරෙත් හරියටම දෙන්නා කතිකා කර ගත්තා වගේ. ගැහැණු ළමයා මනාලියගෙ කණට කරල මොනාද මිමිණුවා. කලබල වුනු මනාලියගෙ විමසිල්ල පිරුණු ඇස් දෙක දිලිහුනා. ඒ එක්කම ඇය කාරයේ දොර අරින්න හදනාවත් එක්කම , මනාලයා ඇගේ අත තද කරලා අල්ලා ගත්තා.

“ ඔයාට පිස්සු ද? කොහෙද බහින්න හදන්නේ. ආහ්. . .ඒක නම් හොඳ වැඩක් නෙමෙයි. ‘

“ විනාඩියක් දෙන්න, මට හරි චූ බරයි “ ඇය කීවේ හරිම සතුටකින්.

කවුරුත් කුතුහලයෙන් බලා ඉද්දි, කාටත් හිනා වෙලා සංග්‍රහ කරපු ඇය , මංගල ශාලාව තුළට දිව ගියේ ඉක්මනින් එන බව හඬ නඟා පවසමින්.

මංගල ශාලාව කොණට වෙන්නම , ඇය බලාපොරොත්තුවන් කෙනෙක් ඇයට පිටුපාලා ඇය එනකම් බලා ඉදලා.

පිටුපෑවත්  ඒ කවුද කියල අඳුනා ගන්න ඇයට අමාරු වුනේ නැහැ. දුවගෙන ගියපු ඇය තමාට පිටුපාලා හිටපු ඔහුගේ උරිස් අතරින් දෑත් යවලා උදේ ඉඳන් ඇස් වලින් පිට වෙච්චි කඳුළු එකතු කරපු පපුව ,ඔහුගේ පිටට හේත්තු කරලා ,ඔහුට තුරුළු වුනේ දෑසින් වැටෙන කඳුළු ඔහුගේ සුදු කමීසයට උරා ගන්න ඉඩ දෙන ගමන්.

“ ඇයි මෙච්චර පරක්කු වුනේ “ ඉකිගැසුම් අතරින් ඇය අහද්දි, උදේ ඉදන් දැනුනු වේදනාව පරයමින් ක්ෂණිකව හට ගත්ත වේදනාවක් ඇගේ හදවතට දැනුනේත් ,ඔහු අත තිබ්බ යම් දෙයක් ඇගේ සිහින් කය පසාරු කරන් ගියෙත් එකම වෙලාවට වගේ.

අයා ගත් ඇස් ඔහු දෙසම බලාන ඉද්දි,අවතැන් වෙච්චි සිරුර ඔහුගෙ ඇඟට බර වෙද්දි , ඇයව තරයේ බදා ගත්ත ඔහු කීවේ
“ ඔයා හැමදාමත් පරක්කුයි . . .  “ කියලා.

( මට මෙතැනදි ඕනි වුනේ. ඔහුගේ හිතේ ඇය වෙනුවෙන් ඉපදිලා තිබ්බ ආදරය, ආයෙ කවදාවත් ඔහුගෙ හිතට එන්නෙ නැති විදිහට මරල දාන්න )


තෙවන අවසානය

මනාලිය හිටපු පැත්තට කලබලයෙන් දුවගෙන ආපු ගැහැණු ළමයෙක් ,මනාලිය වාඩි වෙලා හිටපු ආසනය දෙසට පහත් වුනෙත් මනාලිය ඇයට සවන් දෙන්නට වීදුරුව පහත් කරෙත් හරියටම දෙන්නා කතිකා කර ගත්තා වගේ. ගැහැණු ළමයා මනාලියගෙ කණට කරල මොනාද මිමිණුවා. කලබල වුනු මනාලියගෙ විමසිල්ල පිරුණු ඇස් දෙක දිලිහුනා. ඒ එක්කම ඇය කාරයේ දොර අරින්න හදනාවත් එක්කම , මනාලයා ඇගේ අත තද කරලා අල්ලා ගත්තා.

“ ඔයාට පිස්සු ද? කොහෙද බහින්න හදන්නේ. ආහ්. . .ඒක නම් හොඳ වැඩක් නෙමෙයි. ‘

“ විනාඩියක් දෙන්න, මට හරි චූ බරයි “ ඇය කීවේ හරිම සතුටකින්.

කවුරුත් කුතුහලයෙන් බලා ඉද්දි, කාටත් හිනා වෙලා සංග්‍රහ කරපු ඇය , මංගල ශාලාව තුළට දිව ගියේ ඉක්මනින් එන බව හඬ නඟා පවසමින්.

මංගල ශාලාව කොණට වෙන්නම , ඇය බලාපොරොත්තුවන් කෙනෙක් ඇයට පිටුපාලා ඇය එනකම් බලා ඉදලා.

පිටුපෑවත්  ඒ කවුද කියල අඳුනා ගන්න ඇයට අමාරු වුනේ නැහැ. දුවගෙන ගියපු ඇය තමාට පිටුපාලා හිටපු ඔහුගේ උරිස් අතරින් දෑත් යවලා උදේ ඉඳන් ඇස් වලින් පිට වෙච්චි කඳුළු එකතු කරපු පපුව ,ඔහුගේ පිටට හේත්තු කරලා ,ඔහුට තුරුළු වුනේ දෑසින් වැටෙන කඳුළු ඔහුගේ සුදු කමීසයට උරා ගන්න ඉඩ දෙන ගමන්.

“ අඬන්නෙපා මැණික. . . “


ඇයව තමා වෙතට හරවා ගතපු ඔහු හිමින් මිමිණුවා.


“ නෑවිත් ඉන්නත් හදල  . . . මම ආවේ , ඔයා මම එනකම් බලාන ඉන්න බව දන්න නිසා. ඒත් . . .  ආවට පස්සෙ මට හිතුනා ,මම ආපු එක වැරදියි කියලා. ඒකයි හැංඟිලා බලාන හිටියේ. ඒත් . . . ඔයා යන්න ළං වෙද්දි , ඔයාට යන්න ඉඩ දෙන්න බැරි විදිමෙ මහා ලෝබකමක් හිතට ආවා. ඒකයි මං අර ගෑණු ළමය අතේ පණිවිඩේ එවුවේ. . . . .හ්ම් . . . .“


වෙලාව ගත වුනා. . .ඇගේ ඉකිබිඳුම ටික ටික අඬු වුනා.


“ දැන් අපි යමු කෙල්ලේ, තව වෙලා ගත්තොත් ඔයාව හොයන කට්ටිය ඒවි. යං . . . .  මං ඔයාල දෙන්නව එක්කන් යන්නම් . . . . මං තමයි ඔයාල දෙන්නව හනිමුන් යන වාහනේ ඩ්‍රැයිවර්. . . . . “


( මට මෙතැනදි ඕනි වුනේ. දෙදෙනාගේම හිත් වල ඉපදුනු ආදරය , කිසි දවසක එකිනෙකාට අයිති වුනේ නැතත්, ජීවන ගමනෙ ඉතිරි ටිකේ දිත් ඒ ආදරය ඒ විදිහටම දෙන්නාගෙම හිත් වල පවත් වා ගෙන යන්න )

සැයු,- මේ කතාවේ පුද්ගල ඝාතනයක් හෝ, පුද්ගලයෙකු මරණයට පත් කිරීමක් සිදු කිරීමෙන් මා අදහස් කළේ, හිතක ඇති වෙච්චි ආදරයක් නැති කිරීමට ගත හැකි තීරණයේ දරුණු බව කියා පෑමට විනා. පුද්ගල ඝාතනය හෝ මියයෑම හුවා දැක්වීමට නොවන බැව් කාරුණිකව සලකන්න.

Friday, November 23, 2012

සඳ වෙනස් නොවන සද


එසඳ සඳ සඳම විය




ඉස්සර නම් ඔහු එන කොට
දොර කඩය
අද නම් දොරත් වහලා
හොඳටම දොයිය


සීතල රෑ කෑම
වට්ටිය යට ඇති ය
සද්දය වසා කා
නිදියා ගනු සොඳය


ඉස්සර ඇගේ ඇඟ උණුසුම
සිත පාරා
ඔහු බලනවා හැරිලා ඈ
දෙස ආරා


තඩි බඩ දිගටි පපුවට
හොඳ බර දීලා
ඇය නිදියා ගනී
කට උඩුබලියන් වීලා


හිමිහිට නැගිට ඔහු යනවා
ජනේලෙට
පියන් හිමින් ඇරලා
ඔහු යොමයි නෙත



ලස්සන හඳක් පායා ඇත
අහස් කුස
සඳ සාවා වුවද තාමත්
වෙනස් නැත



After marriage, husband and wife become two sides of a coin. They just can't face each other, but they still stay together.


Sunday, November 11, 2012

තනිකඩ කවි සිත - නුඹට පුදමි


තනිකඩ කවි සිත - නුඹට පුදමි

ඉස්සර අපි ගිය පාරේ
අත් වැල් පටලන් ආයේ
ඇවිදන් යන්නට ඇවිදින්
යන්නට එනව ද
මතක ඇතිව මල් කූඩය
අරගෙන එනව ද
අතන මෙතන වැටුණු මතක
අහුලල දෙනව ද

ඇවිදින් යන්නට ආසයි
ඇවිදන් යන්නට
මඟ දිග ඇති බොළඳ වදන්
අහුලල දෙන්නට
ගෙවී ගියපු කාලය තුල
හදේ පිපුන මල් අතරින්
එකම මලක් නෙලා අරන්
පුරවපු කූඩය
නුඹ දන්නෙ නැති ද තවම
තනිකඩ නැහැ මම


හදේ පිපුන පියුම නෙලන්
නුඹටම දෙන්නටම සිතන්
මෙතෙක් කලක් බලා හිටිය
කන්‍යාවිය මම
මඟ හැරුනට අතර මගදි
වෙනත් මලක් නෙලා අරන්
මං දුන් මල් කුඩය නුඹ
පුරවා ගත්තට
සිතේ තරහ පොදක් නැතී
නුඹ දුන් පෙම ළඟම ඇතී
මතු යම් භවයක වත් නුඹ
මගේම වෙන්නට
මේ භවයේ ඉතිරි ටිකත්
මෙහෙම යමි මම

මතක වනන්තරය දිගේ - තනියම පිය මනින
මම
෴ සොසී ෴

Saturday, November 10, 2012

සැත්කම සහ අතුරු කතා හෙවත් පුන්සඳ වන් දරුවෙක්


බාහිර රෝගී අංශය දෙසින් ඇසෙන්නට වූයේ දැඩි කාලගෝට්ටියකි.ගැහැණියක විලාප තියන හඬත් ,පිරිමියකුගේ නොපැහැදිලි නමුත් උස් හඬින් කෙරෙන බැන වැදිල්ලත් , වඩාත් උස් හඬින් නැගෙන පරුෂ වදන් රැසකුත් ඇසෙන්නට විය.

මාගේ නැඟනිය ට නම් මේවැනි සිදුවීම් සාමාන්‍යකරණය වී ඇති බැව් මට සිතුනේ ඇය කිසිම හැල හොල්මනක් නැතිව ඇය යෙදී සිටි කාර්යයේ දිගටම නිමග්න වී සිටි නිසා ය. ඒ පමණක් නොව ඇය යෙදී සිටියේ ද රෝගියකු වෙනුවෙන් සිදු කළ යුතු බාරදූර රාජකාරි කටයුත්තක නිසා ඒ වෙත තම මුළු සිතම යොමුව තිබීම ද බාහිර පරිසරයෙන් එන වෙනස්කම් කෙරෙහි සංවේදී නොවීමට හේතු වන්නට ඇත.

ඇය දෙසට යොමු වූ  දෑස් මුදා ගත් මම , කාලගෝට්ටිය ඇසෙන දෙසට දිගු පියවර තැබූ වෙමි.බාහිර රෝගී අංශයේ මී වදයක් මෙන් මිනිසුන් රැස් කයි. වැඩිමනක් පිරිස රැසව සිටියේ කාලගෝට්ටිය බැලීමටයි.

ගැහැණිය විලාප දෙයි , පිරිමියෙකු ඇයට පහර දෙන බව දැනේ.පරුෂ වදන් ගලා යයි. එකිනෙකාගේ උපකල්පන මත උපන් කතා කටින් කට පැතිරෙන මුණු මුණූව ද තියුණු වෙයි.කිසිවකුත් නියම කතාව නොදන්නා බව පමණක් එයින් හැඟී යයි.

නගරයෙන් ඉතාම දුර බැහැරින් පිහිටි ග්‍රාමීය රෝහලක් වූ මෙහි සේවයට නැගණියගේ පළමු පත්වීම ලැබී තිබුන නිසාත් , ඇයට නිවසට ඒමට තරම් විවේකයක් නොතිබුන නිසා ත් මම ඇය බැලීමට පැමිණියෙමි. නගරයෙන් බැහැර වූ සුවදායක පරිසරය මා සිත් ගත්තත් එහි සිටිය මිනිසුන් උගත් කමින් අඩුවූත් සරල දිවිපෙවතක් ගෙන ගියවූත් වඩ වඩාත් පරිසරය හා බැඳුනු ජීවිත ගත කරන්නන් පිරිසක් විය.

“ අනේ .............. ! ! ! බුදු දොස්තර මහත්තයෝ . මේ මිනිහ මාව මරන්න හදනවා “

රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරීතුමාගේ පය පාමුල වැටුණු ගැහැණිය මොර දෙන්නට වූවාය. ඇයගේ ලැම වැසී තිබූ හැට්ටය අතරින් ඇගේ ලිහිල් ලැම ඇය හඬන තාලයට  අනු තාල තබන්නට විය.විශාල තෙත පැල්ලමක් දෙකක් පපුවේ ලිහිල් තන අතරේ දකිත්ම ඇය අලුත උපන් බිළිදියකගේ මවක් බැව් අනුමාන කළ හැකි විය.

රෝහලේ , වෛද්‍යවරයා ගේ දෙපතුල ඉදිරියේ වැඳ වැටෙන ගැහැණියගේ කොණ්ඩා කරලින් අල්ලා ගත් පිරිමියා , වඩ වඩාත් තීව්‍රර හඩින් අයට පරුෂ  වචනයෙන් බැන වදින්නට විය.

“ යකෝ , උඹෙ මිනිහා මම. තොට වේසකමේ යන්න වඳ කර ගත්තම ලේසියි නෝ.තෝ හිතුවද ගෑණියේ මම ඒවට ඉඩ දෙයි කියලා. මම අද උඹව මෙතන බාවනවා දැන ගනිය.“

“ බුදු දොස්ත..............ර මහත්ත යෝ................ “

සිදුවන දෙය ගැන යම් තරමකට අවබෝධ කර ගත් දොස්තර මහතා ඇයත් ඔහුත් අතරට පැන රණ්ඩුව සමථයකට පත්කිරීමට වෙහෙස දැරූ වද අවසානයේ දී සිදු වූයේ දොස්තර මහතාට ද ශුද්ධ සිංහලෙන්ම අසා ගැනීමටයි.

“ යකෝ මේ මගෙ ගෑණි............................. “

ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගත් ඔහු ඇයට බනිමින් අතින් පයින් ගහමින් ඇය ඉවතට ඇඳ ගෙන යන්නට වූයේ යක්ෂයෙකු සේය.

“ මනුස්සයගෙ අකැමැත්තෙන් අපිට ඔය සැත්කම කරන්න බැහැනේ අක්කේ “ සියල්ල අසා සිටි නැගණියගේ පිළිතුර එය විය.

“ ඒත් ඇයි මිනිහ අකැමැති.? දැනටම ළමයි පහක් ලු .කරන්නෙත් කූලි වැඩලු. හරි පුදුමයි දුප්පත් මිනිස්සු මේ තරම්ම දරුවන්ට ආදරේ ද ?“

“ අයියෝ නැහැ අක්කේ. . . . . දරුවන්ට ඇති ආදරේකට නෙමෙයි.ගෑනි ගැන තියෙන සැකේට.LRT කරාම ළමයි හම්බෙන්නෙ නැහැ කියල එයාල දන්නවා.එතකොට ගෑණි අයාලෙ යයි කියල ඒ මිනිස්සුන්ට සැකයි “

“ ඒකත් එහෙම ද ? “

මට මේ සිදුවීම සිහි වන්නට වූයේ අද දින ද රෝහලේ දී එල්ආර්ටී සැත්කම සඳහා හාමුදුරුවරු සහ ගිහියන් කිහිපදෙනෙක් විරෝධය පාන්නට එක් වූ බව සිහිවීය.

මේ වගේ සතුටින් ,සැනසීමෙන් ඉන්න තියෙනම් කොච්චර දරුවො හිටියත් කමක් නැහැ තමයි
 

සිංහල ජාතිය වඳ වී යනවායි පවසමින් එල්ආර්ටී සැත්කම සඳහා එරෙහි වීම කෙතරම් ජාතිහිතෛශීයි දැයි මට නම් සිතා ගත නොහැකි පැනයකි.

දරුවන් බිහි වී අයාලයේ යද්දී, කෑමට බත් ඇටයක් නොදෙන මිනිසුන් “ කාලකණ්ණියා “ යැයි දරුවන්ට නම් තබද්දී එල්ආර්ටී සැත්කමට විරෝධය පෑම කොතරම් නම් මානූෂිය වේද ?

මීට වසර ගණනාවකට පෙර දී නම් LRT සැත්කම  සිදු කරන ලද්දේ කිසිම කරුණු විමසීමක් සිදු නොකරය. සැත්කමින් පසු වෙහෙස වී වැඩ කළ නොහැකි නිසා සැත්කමට ලක් වූවනට මුදලින් ආධාරයක් ද සිදු කරන ලදී. එය වරදවා වටහා ගත් ජනයා පෝළිමේ පැමිණ සැත්කම සිදු කරවා ගෙන අතට දෙන මුදල ද රැගෙන ගෙදර ගියේ අනාගතයේ දී සිදුවන ප්‍රතිඵල ගැන කිසිම තේරුමක් නැති කමින් වන්නට ඇත.

එසේම ඇතැමෙකු දරුවන් මිය ගිය විට ද, වෙනත් විවාහ සඳහා යොමු වූ විට ද, සිදු කර ගත්
LRT සැත්කම රිවස් (යථාතත්වයට) පත් කර ගැනීමට ද පැමිණි බැව් නැගණිය කීවා මතකයේ ඇත.

නමුදු දැන් තත්ත්වය එසේ නොවේ.

දරුවන් කී දෙනෙක් සිටී ද?
ඔවුන් නිරෝගී තත්ත්වයේ පසුවන්නේ ද?
මවගේ වයස?
පියාගේ කැමැත්ත

මෙකී නොකී බොහෝමයක් කරුණු අවසානයේ දී පමණක්
LRT සැත්කම සිදු කරයි. බොහෝ සාමාන්‍ය පවුල් වල විවාහක යුවල් නම් දරු උපතින් පසු රෝහලේ දීම මෙම සැත්කම සිදු කර ගන්නේ සිය කැමැත්තෙනි. වැඩි වන ජීවන වියදමත් දැරිය නොහැකි පවුල් බරත් දරුවකු කුසට ආ පසු සිතා පලක් නැති කරුණක් බැව් වටහා ගැනීමට ජාතිහිතෛශීන් වීම අවශ්‍ය නොවේ.එතෙකුඳු නොව එසේ නම් වෙනත් උපත් පාලන ක්‍රම සියල්ල සඳහා ද මෙම විරෝධය නැඟී ආ යුතු නොවේ ද?

සිංහල ජාතිය වැඩි වෙනවාට මා ද කැමැත්තෙමි. නමුත් එය ප්‍රමාණයෙන් පමණක් වැඩිවීම ,හිස් ගෙඩි පමණක් වැඩි වීම පමණක් සෑහේද යනු ගැටළුවකි. ගූණාත්මක සංවර්ධනයක් නොමැති කුමන ජාතියක් වුවද සංඛ්‍යාත්මකව වැඩිවී ඇති පලය කුමක් ද?

දෙමාපියන්ට එකම සම්පත දරුවන්ය. දරුවන් සම්පතකි.ඒ නිසිමඟ යවා නිසිලෙස උවමනාඑපාකම් සොයා බලා සමාජයට දායද කළ හැකි නම් නොවේ ද?

පාරේ අයාලෙ යන දරුවන්,සිඟාකන දරුවන් කාලකණ්ණීන් ලෙස සලකන යුගයක තවත් එක් කාලකණ්ණියෙක් බිහිකිරීමට වෙර දරන්නේ ද ? කාලකණ්ණියෙකුට අත දීමට සූදානම් වන්නේ ද යන්න ආකල්පමය ගැටලුවක් මිසක වෙනත් ජාතියක් අභිබවා අපි එක වීමට ගන්නා තරඟයක් ලෙස මා නොදකිමි.

’පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙයි ලොව ගන අඳුරු
නෙක තුරු රැසින් එලෙසට නොම වේය දුරු’

Thursday, November 8, 2012

හිත රිඳුනු කුරුල්ලෙක්ට


හැරයාම, අතහැර යාම, නොලැබීම දුකක්........

ඒත් මොකක් ද කරන්නේ.. . . සමහර කුරුල්ලන් ඉන්නවා බලෙන් අල්ලල කූඩුවක දාලා තිබ්බට සින්දු කියන්නෙ නැති.ඒ සින්දුව අහන්න කැමැති නම් කරන්න තියෙන එකම දේ, ඌට ඕනි දිහාට යන්න දෙනේක.එතකොට අඩුම ගානේ ,ඌ දුරක පියාඹලා ගියත්, ඉඳ හිටල හරි සුළං පාර දිගේ වත් උගේ සින්දුවේ සද්දෙ ඇහේවි...........

ඇයට හමුවන කුරුල්ලා හිටියේ තෙමුණු පියාපත් එක්ක. තෙමුණු පියාපත් ඇඟටම ඇලිල..... ඌ සීතලෙන් වෙව්ලමින් හිටියා.ඇය ඌව ඇගෙ ගෙදර ගෙනාවේ හිතින් ඌට පොරොන්දුවක් දෙන ගමන්. තටු වේලිලා ශක්තිය ආවම ආපහු ආපු දිහාට යන්න දෙනව කියලා ඇය ඇයටම කියා ගත්තා.

අමුත්තාගේ පැමිණිමත් එක්ක. දුක්බර බවින් පිරිලා තිබ්බ ඇගේ ජීවිතය පුදුමාකාර ලෙස වෙනස් වුනා. ඇයට ඇහෙන්න හැමදාම කුරුල්ලා සින්දු කිවුවා. කැලේ දි කියපු සින්දු විතරක් නෙමෙයි. කවදාවත් ඇය අසා නොතිබ්බ, කුරුල්ලා ගායනා කරල නොතිබ්බ...... අතිශය රහසිගත ස්වර ප්‍රස්ථාර වල ලියවුනු ගීත පවා කුරුල්ලා ගායනා කරා.

කුරුල්ලා නිසා ඇයත් , ඇය නිසා කුරුල්ලාත් සතුටින් ජීවත් වුනා. ඒත් කාලය ගෙවිල ගියා. කරුල්ල කියන ගීත වල පේළි වැරදුනා. සෘතියක් නැති සින්දු , තාල වරද්ද වරද්ද කියන කොට ඇයටත් තරහ ගියා. ඇය කුරුල්ලට දෙන රස කෑම ජාති අඩු කරා.

ඒ ගීත නීරස වේගෙන එන වබ දෙන්නටම වැටහෙන්න ගනිද්දි , ඇයට ඕනි වුනා වෙන කුරුල්ලෙක්ව අල්ලන් ඇවිත් කූඩුවට දාන්න. ඒත් ඇයට එය කිරීමට නොහැකි වුනේ කූඩුවෙ ඉන්න කුරුලලට ඇගේ හිතේ ඇති වෙලා තිබ්බ අමුතුම හැඟීම නිසා. ඒක ආදරයම නෙමෙයි. ආදරය නෙමෙයි නෙමෙයි.

ඇය හිතුවෙ කූඩුවට වෙලා ඇය දෙන රස කෑම කාලා  ඇය ලඟ ඉන්නේ ආසාවෙන් කියලයි.ඒත් බඩගිනි වෙලාවේ ඇය දුන්න කෑම කැවැත්... හැමදාමත් කාපු කෑම මතක් වුනාම ඒ ඈත තියෙන උගේ කුඩුවට යන්න හිතෙනව ඇති...........සමහර විට මෙතෙක් නොකීව සින්දුවක තිබ්බ රහසක් වගේ. කුරුල්ලා නැති නිසා දුක් ගීම ගායනා කරන කිරිල්ලියක් ඒ නොදන්නා කැලේ ඉන්නව වෙන්නත් පුලුවන්.

ඉතින්..............

ඇය අන්තිමට තීරණය කරා....  කූඩුවෙ දොර අරින්න.


හ්ම්...........ඔන්න දොර ඇරියා. ඇය අහක බලන් ඉන්න අතරේ යන්න ඉතින් පියඹලා. තරහක් නැහැ කවදාවත් ඇගේ හිතේ.

කියපු ගීත අමතක වෙනේකක් නැහැ.

හැබැයි ආයෙ කවදාවත් මේ පළාතේ නම් දකින්න එන්නෙපා ඇය අහක බලාන මිමිණුවා.

කුරුල්ලා තටු ගහන හඬ ඇයට ඇහුනා.

කවදාවත් නෑසු පුංචි ගීතයක කොටසක් අවසන් නොකරම කුරුල්ලා යන්න ගියා.

මිනිස්සුන්ට සතුන්ට අඩි සටහන් තිබ්බත්.කුරුල්ලන්ට අහසෙ පියාපත් සටහන් නැහැ.

එදායින් පස්සේ ඇය කවදාවත්ම කිසිකෙනෙක්ට දකින්න ලැබුනෙ නම් නැහැලු. කවදාවත් ඒ පළාතට කුරුල්ලෙක් ඊට පස්සෙ ආවෙත් නෑලු.



Sunday, November 4, 2012

නිර්මාංශ

බෙදා ගත් මස් කෑල්ල යුහුසුළුව කහ බතට යට කල සුවේන්ද්‍රා , තමාට ඉදිරියෙන් ගමන් කරන සැමියා දෙස බැලුවේ තමා කල දේ ඔහු නොදුටු බවට සැක හැර දැන ගැනීමටයි.

ඔහු සුපුරුදු පරිදි පරීක්ෂාකාරීව ව්‍යංජන පිරි බඳුන් පිරික්සයි.ඉන් බොහෝමයක් ඔහුගේ වමතේ ඇති පිඟානට නොයයි. බොහෝ විට ව්‍යංජනය කුමක් දැයි  අදාල ව්‍යාංජනය බාරව සිටින හෝටල් සේවකයාගෙන් විමසා බැලීමට හේ පසු බට නොවෙයි. උම්බලකඩ කැබැල්ලක් හෝ අහම්බෙන් වැටී ඇති බව සැල වුනත් ඔහු එය බෙදා ගැනීම ප්‍රතික්ෂේප කරයි.

සුවේන්ද්‍රා තම සැමියාගේ අත රැඳි බත් පිඟාන දෙස බලා, ලය පුරා ගත් සුසුම පහළට හෙළුවේ ඔහු ගැන උපන් සංවේගයෙන් ද තමා ගැනම උපන් සංවේගයන් දැයි සිතන්නට ඇය නොවෙහෙසුනාය. සුදු බතේ දෙතුන් පොළක් යන්තමින් වැසී තිබුනේ මැල්ලුම් සහ සලාද වර්ග කිහිපයකිනි.

ඇය වහා තමා අත රැඳි බත් පිඟාන දෙස බලා වැසු මස් කැබැල්ල පෙනේදැයි පිරික්සන්නට වූවාය . පෝළිමේ ඉදිරියට යත්ම විවිධාකාරයෙන් පිසූ මස්,මාළු,ඉස්සෝ, දැල්ලෝ , හැඩවැඩ දමා බාබෙකිව් කර තිබූ මාළු මස් භාජන දෙස නොබලා යාමට සුවේන්ද්‍රා සිත දැඩි කර ගත්තීය.

“ සුවේ ...  සුවේ ........ එන්න මෙතන ට ...!!! “

වටකුරු හැඩති කෑම මේසයක් ලඟ හිටගෙන සිටිමින් තමා අමතන තම ස්වාමියාගේ හඬ ඇසුන ද,එදෙසට යාමට සුවේන්‍ද්‍රාගේ සිත තුල වූයේ චකිතයකි.

සුවේන්ද්‍රා විවාහ වූයේ යෝජනාවකිනි.මහීම ඇගේ සැමියායි.කිව යුතු තරමේ වරදක් නොතිබුන ද, ඇය එම යෝජනාවට අකමැති වූයේ ඔහු නිර්මාංශකයෙකු වූ බැවිනි.

“ මොකක් ද අම්මා, මට නම් බැහැ කැලෑ කොළම කකා ඉන්න “

“ ඕව හරියයි ළමයෝ.විකාර නැතිව මේ මඟුලට කැමැති වෙන්න . අනික .දූත් ඕවට පුරුදු වුනාම මක් වෙනවැයි.“

“ පුංචි කාලේ ඉදල කටට රහට කාපු ළමයා. අකැමැති නම් බල කරන්න එපා හාමිනේ “ පියාගෙන් නම් වූයේ ලිහිල් පිළිවලකි.

කෙසේ හෝ මහීමගේ ඇසුරත් සමඟින් සුවේනද්‍රාට නිර්මාංශකත්වය ද  නොපෙනී ගොස් තිබුනි. ඇගේ හිතේ ප්‍රමාණයට සරිලන නියම අච්චුවට සාදා දෙවියන් දුන් තෑග්ගක් ලෙස මහීමව දුටු සුවේන්ද්‍රා ,නිර්මාංශ බව ද දුටුවේ ඔහු ළඟ රැදි සුන්දර ගතිගුණයක් ලෙසිනි. ආදරයේ ශාංගාර රසය විසින් නිර්මාංශකත්වය සඟවා හකුළුවා දමා තිබුනි. මේ සියල්ල අවසානයේ මහීමගේ අත ගත් සොඳුරු බිරිඳ වූ සුවේන්ද්‍රා නිර්මාංශ සංගමයේ තවත් සාමාජිකාවක් බවටද පත් වූවාය.

නමුත් . . . . .


 කාලය ගතවී යත්ම සුවේන්ද්‍රා මහ ගෙදරට පැමිණියේ ද තනිවමය.ඒ බඩකට පුරා රසට කෑම කෑමට මහීම බාධකයක් වූ නිසාය.

“ උඹ මහ බඩජහරියෙක් නෙ දුවේ.අපේ වරද. පුංචි කාලේ ඉදල කටට රසට හැමවේලම හදල දුන්නා.“

“ මොකක් ද අම්මේ.එයා විතරක් නෙමෙයි , ඒ ගෙදර කවුරුත් එකයි. අඩු ගානේ බිත්තරයක් වත් තම්බන්න නැහැ.පොඩි දරුවෙක් හෙම ඉපදුනාම ඒකා හාමතේ මැරෙයි මල් කොළ කාලම“

සුවේන්ද්‍රා රැකියාවට යද්දී ඉහ හිට තම බත් පත අමතක කර යෑමට පුරුදු වූවාය.එදිනට ආපන ශාලාවෙන් කෑම ගැනීමට එවිට ඇයට හැකිය. බොහෝ විට යෙහෙළින් සමඟින් බෙදා ගෙන කන්නට පුරුදු වූවත් මහීම ළඟ සිටින සෑම අවස්ථාවකම ඇය නිර්මාශ පිළිවෙත රකියි.

මහීමගේ සිත තැලීමටවත් ඔහුට වංචා කිරීමටවත් ඇගේ සිත කැමැති නැත.එනිසාම ඔහු හා එකට සිට ආහාර ගැනීම දැන් කළ නොහැකි දෙයකි. තම පෙරේත සොර සිත විසින් බත් පතට බෙදා ගත් මස් කැබැල්ල ගැන ඇගේ සිත අප්‍රමාණව දුක් වන්නට විය.

“ එන්න සුවේ........ “ සැමියා අඩ ගසයි. එදෙසට යාමට ඇය පය එසවූවා පමණි...... පය පැටලී විසි වී වැටුනු ඇගේ අතේ  වූ බත් පිඟාන අවකාශයේ තරමක් ඉහළට ගොස් ගුරුත්වාකර්ශණයට නතු වූ බැවින් මොහොතින් බිම වැටී සුනි විසුනි විය. බත් ,සලාද , කොළ මැල්ලුම් , බිම පුරාත් ,ඇතැමෙකුගේ හිස සහ ඇඳුම් පුරාත් විසිරී යද්දී , සඟවා ගෙන ආ කුකුල් මස් ගාතය රෝල් වී ගොස් තම සැමියාගේ පය පාමුලම නතර වූයේ ත් ඇගේ බියපත් දෑසත් ඔහුගේ විස්මිත දෑසත් එකට ගැටුනේත් ලෝකයම නතර වූ ඒ තප්පරයක කාලයේ දීය.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...