..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, October 22, 2012

වසන්තයේ අග හෙවත් බොඳ නොවන අකුරු





අතේ ශතේ නැතිවන කාලයක් පැමිණීමත්, එනිසාම අන්තර්ජාල සබධතා වලින් ඈත්ව සිටීමට සිදු වීමත්, නව රැකියාව නිසා පැය ගණනක් බසයේ කොණකට වී ගමන් කිරීමට සිදුවීමත්,මට මා පිළිබඳව අලුතින් සිතීමටත්, අතීතාවලෝකනයේ යෙදී මේ ලිපිය අකුරු කිරීමටත් යෙදුනු මූලික අඩිතාලම සැපයීය.

ජීවිතයේ බොහෝ කලක් ගෙවී ඇති බවත්, මාහා එදා පැමිණිය වුන් මා පසු කර බොහෝ දුර ගොස් ඇති බවත් එකනෙහිම මට සිහිපත් වීමත්, දෑස් හොඳින් ඇර බලද්දී මා හා පැමිණි නමුත් මා පසු කර බොහෝ දුර ගොස් සිටියවුන් අතර යහළු යෙහෙළියන් හා හිතවතුන් පමණක් ම නොව මා නැගණියත් සිටිනු දුටිමි. ම‘ දෙස බලා අත ඔසවා සන් කිරීමට තරම් වත් ඔවුනට නැවතුමක් නැති බව දුටු මාගේ ගමන තව තවත් අඩාල වූ අතර , රිදුම් දෙන සිත සුවපත් කරනු පිණිස ඔවුන් දෙසට යොමු වු ඉදිරි දෑස් දැක්ම අතැහැර මා හා ගමන් කරනා දෙපස සිටින වුන් දෙස බලන්නට වූව ද , වැඩිකල් නොයා ඔවුන් ද මා පසු කර වේගයෙන් ඉදිරියට ඇඳෙනු ඇති බව හැඟී ගියෙන් , කිසිවකුත් දෙස නොව මා දෙපා දෙස යොමු කර ගත් දෑස් ඇතිව මා මෙතෙක් කල් ගමන් කර ඇත.

ජීවිතයේ බැඳීම් අවශ්‍ය වනුයේ ජීවිතයේ රැඳී සිටීමටයි. මා හා එවැනි බැඳීම් ඇත්තේ එකම එකක් බැව් නොවලහා පැවසිය හැකිය. පෙකණි වැල කෑපුව ද ඒ බැඳීම ගිලිහී නොගොස් පැවතීම, මගේ ජීවිතය රඳන්නට අදද බලපාන එකම රැහැනයි.

උදයේ ඇගේ අතින් පිසෙනා බත් පිනි , මා ගමන් මල්ලට ඔබා මා ගැන උපන් වේදනාවෙන් පිරි දෑස් මා වෙත යොමා “ බුදු සරණයි “ පවසන ඒ ඇත්තිය , මා දෙණ මත වැටී වැලපෙන හැටි දකිනු රිසි නොවන නිසා මිසක , අද මා මෙලොව රඳන්නට වෙනත් හේතුවක් සෙවීම උඟහටයයි මට සිතේ.

විටෙන් විට බොහෝ අය පැමිණ ගිය ද මා හා සිත බැඳී නැවතුන දෙදෙනකු වේ. ඒ දෙදෙනා ද ඔවුනගේ සිඳී ගිය බඳුන් පුරවා ගත්තා විනා සිසිල් දිය සැපයූ උල්පත තමා සතු කර ගන්නට කිසිවිටක නොසිතූ බැව් දැනී යත්ම හැකිලී යන මා ඔවුන් මුණ ගැසීම ගැන දුක් වන්නේ ද නැත.

කිසිවකුටත් පලක් නොවී ඔහේ ගලනා උල්පත් සිඳී සැඟවී යා යුතු යැයි මට සිතෙන්නේ තවත් අයකු බලාපොරොත්තුවෙන් සිටීමද වේදනාවක් පමණක්ම බැව් හැඟෙන නිසාය.

අයෙකු මගේ ජීවිතයම වෙද්දී , ඒ අයට මා මොහොතක් පමණක් වන්නේ නම් , ඒ මොහොත විඳ සැනසීම කළ හැක්කේ වෛකල්පික ලෙස පමණක් යැයි මට සිතේ. ජීවිතයම වූ අය සිටිද්දී ,සැනසීමට මොහොතක් පමණක් සොයන්නා එක්කෝ සැබැවින්ම ජීවිතයේ අරුථ තේරුම් ගත් අයකු විය හැකිය.

මා හා පැමිණ මා පසු කර ගිය වුන් ඇල්ලිය නොහැකි තරමේ දුරකින් ද , මා හා සමව යන්නන් මට කිසි අතකින් නොගැලපෙන්නන් වීම ද නිසා ගමන අතැර දමා නැවැතීමට මට වරක සිතේ.සිසිල් සෙවන දෙන මහා වෘක්ශයක් යට නැවතීමට ඇවැසි වුව ද පෙනෙනා මානයේ එවන් සිසිලක් සොයා ගැනීම උගුහට බැව් පෙනේ.

මා වටා ඇත්තේ මගෙන් සෙවන ඉල්ලනා පුංචි පැළ රාශියකි.

“ ටීචර් , ටොපිය කන්ය දැයි එකකු අසයි. එපා කි විට නැවතත් ඉල්ලීම වෙනස් වේ එහෙනම් ටීචර් හූනු බිත්තරක් කන්න ද ? ඔහුට උවමනා වන්නේ ටීචර්ගේ අවසරය ඇතිව කුමක් හෝ කෑමට මිසක පන්ති වේලාවේදී කෑම ගැනීම අවිනීත බවත් විවේක කාලය සපයා ඇත්තේ ඒ සඳහා බවත් කෙතරම් කීවත් අවබෝධ කර ගන්නට නොවේ.

දරුවන්ගේ කෑගැසීම් අතරින් වරක් දෙවරක් නොව සිය දහස් වතාවක් මැවි මැවී පෙනෙනා අයට ද මගේ ආදරය මිසක කිසිදු විටක මා ළං ගර ගැනීම උවමනා නොවේ.

කිසිදු විටක තනිකම මකා ගැනීමට හෝ ආදර සබධතා සඳහා අන්තර්ජාලය යොදා ගැනීම යනු තනිකම දෙගුණ තෙගුන වී සමාජයෙන් තව තවත් ඉවත් වීම මිසක පතනා සියල්ල ලැබී යාමක් නොවන බැව් මා ආදරණියයන්ට පැවසීමට කැමැත්තෙමි.

වචන සිය දහස් ගාණකින් ආදරෙයි යැයි පැවසූවත් හැඟීම් කලතා හැරි පසු මිනිසෙකුගේ දෑස් දෙස බලා කිසිදා ලිවිය නොහැකි හැඟීම් කියවීමට අපි මිනිසුන් ලෙස ආශා කරන්නේ නැති ද? ආදරණියයාගේ උණුසුම රැකවරණය සොයන්නේ නැති ද?



මේ සියල්ල පසක් කර ගැනීමටත් ජීවිතය දෙස ආපසු බැලීමටත් වැටුප් නොල ද එකම මාසය මෙතරම් උදව්වේ යැයි සිතුනේ ද නැත.



ජීවිතය දැන් හරිම බරය.....



දැඩි වෙහෙසක් දැනේ.............
ඉතා දැඩි ශෝකයක් සිත තුල නලියමින් දෑස් වලින් පිට පනින්නට පොරකන අතරේ....
එය ආයාසයෙන් වලකා ගන්නට මා වෙහෙස දැරුවේ .....
ඩිජිටල් අකුරු බොඳ නොවනා බැව් අමතක වීම නිසා ය.

සිත දැවිඩ ආශා කරනා දෙය සිතට දුක ගෙනේ නම්, ටික කලකට හෝ ඉන් ඈත්ව සිටීම සිතට සතුට ගෙන දේද ?

Tuesday, October 16, 2012

ආදරය ගැන - මට හිතෙන හැටි හෙවත් මගේ ලෝකයේ ඔහු



ආදරය . . . .

ජීවයේ පැවැත්ම කෙසේ වෙතත් මනුස්සයෙක් ජීවත් කරවන්නෙ ආදරයයි. ලෝකයේ කිසිවකුත් නැහැයි කියල හිතලා ,වටේ පිටේ මිනිස්සු මොනා කීවත් එක හිතින් නොවෙනස්ව ආදරය කරන්න පුලුවන් නම් ඒක තමා කෙනෙක්ට ලබන්න පුලුවන් උපරිම ආදරය.( දැන් මට ඔරවනව ද ? සභ්‍යත්වයක් නැහැ නේද ? )


ඇත්තම කියනව නම් ආදරය විඳින්න නම් ඒ ලෝකය තුල ඉන්න ඕනි ආදරය කරන දෙන්නා විතරයි. බයක් සැකක් නැතිව මුළු හිතම හිස්වෙලා ඒ හිස් බවින් හිත පිරිලා ඉතිරිලා යන තරමට ආදරය කරන්න පුලුවන් එතකොටයි.හිස් දේ පුරව ගන්නත් , පිරිච්ච දේ හිස් කරල සැහැල්ලුව විඳින්නත් හොඳම දේ ආදරය කිරීමයි.( ඉතින් වැරදි විදිහට හිතන්නෙපා )


ඒත් ................


සමාජයේ ඉන්න තවත් මනුස්සයෙක් වෙද්දි , ලිංගික ඉරිසියාවෙන් පිරුණු මිනිස්සු න්ගෙ රබර් ඇස් යොමු වෙද්දි , අනුන්ගෙ මඟුල මිසක් තමන්ගෙ ගෙදර ඉන්න ගෑණු මනුස්සය ගැන නොසොයන මිනිස්සු ඉද්දි. වගකීම් පිරුණු තනතුරු හිසට බරක් වෙද්දි හැමදේම අංක පිළිවට හදාන ඇවිත් අපි ආදරයට දෙන්නෙ අන්තිම අංකය.


සමහර ජීවිත වල “ සුන්දර පුංචි ප්‍රේම කතා “ හැමදාමත් මිනිස්සුන්ව ජීවත් කරවන වතුර බින්දුවක් වෙන්නෙ ඒ නිසා වෙන්න ඇති.


ජීවිතය ජීවත් වෙන බව දැනෙන්න නම්, එක් වරක් හරි ආදරයෙන් බැඳෙන්නත්, ඒ මතකය මියෙන තෙක් රදවා ගන්නත් පුළුවන් වෙන්න ඕනි.


ආදරය ගැන කියද්දි ඒ මැද්දට රාගය ඔබ්බල ,රාගය උලුප්පල දක්වන්නෙ ආදරයේ තියෙන සැනසීම දකින්න අකැමැති ජීවිත කියල මට හිතෙනවා. ඒ වගේ අයට ආදරය කියන්නේ පාරේ ඉබාගාතෙ යන බැල්ලියකට වඩා වටින දෙයක් නෙමෙයි.


එහාටත් මෙහාටත් නැති ඔහේ වැනෙන ලෝකෙක හිටපු මට ඔහු හමුවුනේ පුදුම තරම් අහම්ඹයෙන්. කොටින්ම වෙන කෙනෙක් එනතෙක් මඟ බලා හිටපු මට හමුවුනේ ඔහු.


ආදරය දකින්න, එහි නියම අර්ථය තේරුම් ගන්න මට උදව් කරපු ඔහු මට හමුවෙන්න තිබ්බෙ මගෙ හොඳ තරුණ කාලේ දී.එහෙම වුනා නම් මගේ ජිවිතය කොයි තරම් අර්ථවත් වෙන්න තිබ්බ ද. ඒත් පහුගිය අතීතයක් ගැන හිතල පලක් නැහැ. අතීතයේ පිපුන මල් පරවෙද්දි, පිපිලා තිබ්බ මල් වල සුවඳ විතරක් වර්තමානයට අරන් එන්න මට ඉගැන්නුවේ ඔහු.


ආදරය = ඔහු වෙන තරමට ඒ ආදරය සුන්දරයි.අයිතිකර නොගැනීමේ දුකට වඩා අයිතිකර නොගෙනම හිමිකර ගැනීමේ සතුට විඳින්න මට ඉගැන්නුවේ ඔහු.




සුන්දරත්වය විඳින්න,
වෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න,
එනකම් මඟ බලාන ඉන්න,
බොළඳ වදන් පිරිච්ච ලියුම් ලියන්න,
අත් පටලන් ඇවිඳින්න,
ෆලයින් කිස් දෙන්න ,
එකිනෙකාගෙ අවලස්සන දේ උනත් අගය කරන්න ,
ලෝකයෙ ඉන්න ලස්සනම මනුස්සය/ගැහැණිය සමඟ තමන් ආදරයෙන් වෙළිල ඉන්න බව හිතන්න ,

හැමදේටම වඩා ලැබිල තියෙන පුංචි කාලයෙ දි ජීවිතය විඳින්න පුලුවන් වෙන්නෙ ආදරය නිසා.


ආදරය හැමදාමත් බොළඳයි. අධ්‍යාත්මික ආදරයක් උනත් , බොළඳයි මට සිළුටුයි. නැහැයි කියනව නම් ඒ කියන කෙනා ආදරය විඳිල නැහැ.



ඒත්


පුංචි කාලේ ඉදන් නීති-රීති දාලා , වයසින් උස් මහත් වෙද්දි ගහල-බැනල, තව තවත් වයසට යද්දි ,රැවුම්-ගෙරවුම් ,අනවශ්‍ය අත පෙවීම් වලට ලක් වෙලා . . .බයෙන් සැකෙන් ආදරය කරන්න පුරුදු වෙච්චි අයට ආදරය කියන්නේ හොරෙන් හොරෙන් කාපු , නමුත් හිමින් හිමින් රස බලන්න හිතෙන රස කෑමක්.




සමාජයට, රටට ලෝකයට, පවුලට, ආගමට, කුලයට, සහෝදර, සහෝදරියන්ට, දෙමාපියන්ට ,ගමට ,රස්සාවට, දේපලට මෙකී නොකී හැමදේටම ගැලපෙන නමුත් තමුන්ට නොගැලපෙන විවාහයක් කර ගන්න බොහෝ දෙනා ජීවිතය විඳවන්නේ අනුන් බලෙන් තමාගෙ පිට පටවපු මහා අනර්ඝවස්තුවක් කන්දක් උඩට අරන් යන තරමේ වෙහෙසකින්........කන්ද මුදුනට ගිහින් කන්ද වටේ පේන සුන්දරත්ව විඳින්නවත් නොහැකි තරමට කන්ද මුදුනට ගියපු කෙනා හෙම්බත් වෙනවා.


තමන් වගකීම් දරන් උස් මහත් කරපු දරුවො, දරුවොන්ගෙ ලෝකයට යද්දි , ආපහු එක තැනකට එකතු වෙන්න දෙමහල්ලන්ට ජීවිතය විඳින්න ඕනි වුනත්, ලෙඩ දුක් එක්ක හෙම්බත් වෙච්චි ජීවිතයක් විතරක් ඉතිරි වෙනවා.

ආදරය සුන්දර සැහැල්ලු බැඳීම් වලින් නිදහස් දෙයක් වෙද්දි , ඒ සරල සුන්දර දේ නැති පවුලක් වටේ ගොඩනැගෙන වගකීම් වලින් පිරුණු ලෝකයක මුදල්, වගකීම්,කැපකිරීම් වලින් හිර වෙද්දි.සමාජයට වෙන්න තියෙන වගකීම්යුතුකම් වලින් බැදෙද්දි ආදරය කියන්නෙ බොහොම ඈතට පලායන දිව්‍ය ලෝකෙ ඉදල ආපු කඟවේනෙක් වගේ නොදුටු ලස්සන සතෙක් වෙනවා......


ජීවිතයේ බාගයකටත් වඩා ගත කරපු මම , ආදරය හරියට අඳුනා ගන්න පටන් ගනිද්දිම , මගෙ ජීවිතය ඉවර වෙයි ද කියල මහා ලෝබකමක් හිත පුරා දුවනවා.



මට මං වෙන්න පුළුවන් නම්. මේ හැම බැඳීමකින්ම නිදහස් වෙන්න පුළුවන් නම්, ඔහුට වත් බැඳෙන්නෙ නැතිව ආදරය කරන්න මට පුළුවන් වේවි.

ඒත් .....

කවදාවත් මට , මං වෙන්න නම් බැරි වේවි.


“Run your fingers through my soul. For once, just once, feel exactly what I feel, believe what I believe, perceive as I perceive, look, experience, examine, and for once; just once, understand.”


ඔහු හමුවෙද්දි ,අනාදරයත් , ඔහු හැර යද්දි ආදරයේ උපරිමයත් හඳුනා ගනිමින් හිටපු
මම

සොඳුරු

සඳ රැස් මිස සඳ නොපතමි - ඉනු මැන සැමදා පායා


තනිය තනිකම
එක මිටට ගෙන
වීසි කෙරුවා අනන්තය වෙත
ඒ එදා
නුඹ ළඟයි මේ මට
තනිය තනිකම
අරන් එන්නට
පෙර ගමන් යෙදුනා වගෙයි මට
මේ මෙදා
නුඹ කොහේ දෝ
අද
ගෙවී ගිය දවසටත් වැඩියෙන්
ගෙවී යන මේ අදට වැඩියෙන්
හෙටත් එළඹෙන මතු මතුත් මං
නුඹට ආදරෙයි නම්
ළඟින් ඉන්නට නැතත් සැමදා
පෙනෙන්නට හරි ඇවිත් පලයන්
රැයට පිපෙනා කොඳ කුමුදු මල්
ආදරේ හඳටයි
සඳ රැසක් මිස සඳම නොපතමි
ආදරේ නුඹටයි
නුඹට තව තරු මල් පිපුන මුත්
මට නුඹම විතරයි
අවාරේ පිපිලා සැලෙන මට
සුවඳ නුඹ විතරයි
- ඇවිත් යන්න කරුණාවන්ත වෙයි කියලා හිතනවා -

Saturday, October 13, 2012

මතක කළලය

“ සෝමසිරි සර් ගෙ පන්තියට ඊයෙ අලුතින් ළමෙක් ආවා. “

උදෑසන පැමිණිමේ ලේඛනයේ අත්සන සටහන් කර ආපසු හැරෙත්ම නවක තරුණ ගුවරියක වූ සුවේනි පැවසුවා ය.

“ ආහ් , ඇත්තෙයි , ඒත් මේ වාරේ මැද  ? “

“ ඔවු සර්. . .ඒ ළමයගෙ තාත්තා හරි අම්ම හරි වැඩ කරන්නේ පොලිසියෙ ලු. හදිසියෙම මාරුවක් හම්බෙලා. කොහෙදේ ගොඩාක් දුරක ඉදන් ඇවිත් තියෙන්නේ “

“ හැබෑ ද ? ඊයේ මට එන්න බැරි වුනා. පොඩි දුව ලෙඩ වෙලා. නෝනටත් නිවාඩු දාන්න විදිහක් තිබ්බෙ නැහැ.ඉතින් මං ගෙදර නැවතුනා “

“ හරි සෝමසිරි සර්.එහෙනම් මම යනවා. මට උදේ පීරියඩ් එක වැඩ “


සුවේනිගේ වේගයෙන් ඇගේ පන්තිය දෙසට යන ගමනේ පැවතියේ වේගවත් වුවත් අමුතුම ලතාවකි.කිසිදු හැඟීමකින් තොරව එදෙස බලා සිටි  ඔහු තමාගේ පන්තිය දෙසට ඇදෙන්නට වූයේ ප්‍රථම කාල පරිච්ජේදය ගෙවී යන වේලාව ට වත් පන්තියට යා ගත හැකි වන තරමේ හෙමිනි.

උසට සරිලන මහතකින් ද, මදක් ඉදිරියට නෙරා ආ බඩකින් ද, කාල වර්ණ නමුත් නොකැලැල් සමකින් ද හිස ඉදිරි පසින් කෙස් හිඟ වෙමින් යන හිසකින් ද, සෑම විටම සිනාසෙන්නාක් වැනි වූ නමුත් කලකින් සිනා නොවුනු දෑසකින් ද බුලත් කහට යන්තමින් බැදි මනා හැඩති තොල් යුගලකින් ද තරුණයකුගේ වන් සෘජු නාසයකින් ද යුතු වූ හතරස් මුහුණ බිමට හරවා ගනිමින් ද අතටම දිය වූ පොත් මිටියක් තම දකුණතේ රදවා ගනිමින් ද හෙතෙම පුරුද්දට මෙන් පන්තිය දෙසට ඇදෙන්නට විය.

සුදු පැහැතිම කමිසයකින් සහ කලිසමකින් සැමදා සැරසී පාසලට එන සිරිසෝම සර් ඈත තියාම හඳුනා ගැනීමට පාසලේ සෙසු ගුරුවරුන්ට මෙන්ම සිසුන්ට ද අපහසු නොවේ.

පාසල , පන්තිය , පාඩම් පොත් , නාම ලේඛනය , රතු පෑන, සිසුන්ගේ ගැටළු , කෑකොස්සම්  පිරි සිරිසෝමගේ ජීවිතය කිසිදු ආකාරයක ප්‍රබෝධයකින් තොර වූ යාන්ත්‍රික ජීවිතයක් විය.පාසලෙන් නිවසටත් කඩපොළට සහ දරුවන්ගේ ටියුෂන් පන්ති ගාවටත් සීමා වූ ජීවිතය ඉන් පිටත ගිය කාලයක් නැති තරම්ය.

හෙතෙම තරුණ ගුරුවරයෙකුව සිටි කාලයේ මීට හාත්පසින්ම වෙනස් දිවියක් ගෙවූවෙකු වූ බව අදටත් අතැම් විට ඔහු නැති තැන දී ගුරු කාමරයේ දී ගුරුවරු අතර කතාබහට ලක් වේ.

“ කොයි තරම් වටින ගුරුවරයෙක් ද ? නිකම්ම නාස්ති වුනා “ කතාව අවසන් වන්නේ බොහෝ විට එවැනි වැකියකිනි.


“ සිරා එන වෝ “

සිරිසෝම පන්තියට එනු ඈත තියාම දුටු පන්තියේ මුරණ්ඩු කොලුවෙකු කෑගැසුවේ ද, කඩි ගුලක් සේ ඇවිස්සී තිබූ පන්තිය පිළිවෙලවී ඉදිකට්ටක් වැටුන ද ඇසෙන තරමේ නිහඬියාවක් පැතිරීමට ගත වූයේ ද ඉතාම කෙටි කලකි.

සිරිසෝම සර් යක්ෂයෙකු මෙන් නපුරෙක් විය. මුරණ්ඩු වාචාල දරුවන් ද ඔහු ඉදිරියේ කීකරු පූස් පැටව් මෙන් විය. ඔහුගේ ඉගැන්වීම ද මුල් පෙළේ වූයේ ඔහුට ඇති බියට සිසුන් ඔහුගේ විෂය ඇසුරු කළ බැවිනි.

“ ආයුබෝවන් , හා හා වාඩි වෙනවා වාඩි වෙනවා “ ගුරු පුටුවට බර වෙන ගමන් ඔහු අතින් සන් කරන්නට විය.

“ සර්  . . . . පන්තියට අලුතෙන් ළමෙක් ආවා “

“ මං දන්නවා අයිසේ. . .  කෝ කවුද . ..එනව බලන්න මෙහාට “

පැමිණිමේ ලේණය පෙරළමින් සිරිසෝම පැවසුවේ පන්තිය දෙස හිස ඔසවා නොබලමිනි.

“ යනවා . . . යනවා . . .සර්ට තරහ යයි යනව හලෝ “

සැලකිය යුතු වේලාවක් ගත වුවද කිසිවකු ගුරු මේසය අසලට නාවෙන් ද පන්තියේ පැතිරී යමින් තිබූ ගුමුගුමු ව ද නිසා  සිරිසෝම සර් හිස ඔසවා බැලුවේත් , පන්තිය නැවතත් නිහඩතාවයක ගිලී ගියෙත් එකම මොහොතකයි.

“ කෝ . . . .අඳ ගොළු බීරි ස්කොලෙන් ද අලුත් ළමය ආවේ.කියන දේ තෙරෙන්නෙ නැද්ද. එනව මෙහාට “

පන්තියේ ඉදිරිපස ආසන වල සිටි සිසුන් හිස හරවමින් පිටු පස බලද්දී......පන්තියේ පිටුපසම පේළියේ කොණේම පුටුවක් පිටුපසට ඇදෙනවාත් සිසුවකු සිට ගන්නවාත් සිරිසෝම සර්ට පෙනුනි.

ඔහු පන්තියේ අන් සිසුන්ගෙන් පැහැදිලි ලෙසම වෙනස් වූවකු බැව් බැලූ බැල්මට පෙනුනි. සුදෝ සුදු ඇඳුම අලුත් පාසලට ඒමටම මැසූවක් විය යුතුය. ඇතැම් විට සපත්තු යුගලද අලුත්ම ඒවා වන්නට ඇත.

හොඳින් මැද තිබූ සුදු නිල ඇදුම විච්චූරණ නොමැති නියම සිසු නිල ඇඳුමක සිරි ඉසිලීම සිරිසෝම සර්ගේ සිතට ගෙනාවේ නවක සිසුවා ගැන යහපත් ආකල්පයකි. නමුත් ඔහු සිසු මේසයට නැඹුරු කර ගත් හිස එසවූයේ නැත. ඩෙස්කයේ බාගෙට ගැලවී ගිය පතුරු උදුරා දමන්නට වෙර ගත් තම ඇඟිලි වලට යොමා ගත් නෙත් එසවූයේ ද නැත.

“ මොකක් ද ඔය ළමයගෙ නම “

“ මි . . ථි ..ල “

“ මම අහන්නෙ සම්පූර්ණ නම. “

නාම ලේඛනයේ නම් දිගේ පතුලේම නමට නෙත් යැවූ සිරිසෝම. තමා ඇසූ ප්‍රශ්ණය ගැන පසුතැවිල්ලෙන් නැවතත් සිසුවා දෙස දෑස් යොමු කරත්ම මෙතෙක් වෙලා ඩෙස්කයට නැඹුරු කර ගත් නවකයාගේ එසැවුනු හිසත් පැහැදිලි මුහුණත් දැක මවිතයට පත් විය.

“ හරි හරි ඔය ළමය මෙහාට එන්න , අනිත් අය අද තියෙන පාඩම කියව ගන්න. මම ඩික්ටේශන් ගන්නවා.හොඳට බලා ගන්නවල “

“ මෙහෙ එන්න  . . . .“

“ඔය ළමය කොහෙ ද , කලින් ගිය ස්කෝලෙ, ඇයි මෙහෙ ආවේ. අම්ම තාත්ත ඉන්නවද , මොනා ද කරන්නේ , නංගිල මල්ලිල ඉන්නව ද? ඇයි මෙහෙ ආවේ. . . . .ම්හ්. . . . . . .  “

පැනයෙන් පැනය සිරිසෝම සර්ගෙ සිත සලිත වන්නටත්, හීනි ඩාබිඳු නලලේ පිපෙන්නටත් විය. ප්‍රශ්ණ අසන වේගය මදින් මද අඩුවත්ම කල්පනා ලෝකට වන් හෙතෙම තමා ලඟ හිටගෙන සිටිනා සිසුවාගේ මුහුණ දෙස බැලීමට තරම් ධෛර්්‍යක් උපදවා ගත නොහැකිව විපිලිසරව ගියේ ය.

“ සර් දෙවැනි පීරියඩ් එකට බෙල් ගැහුවා.“

“ ආහ් . . . එහෙම ද? අද මට ටිකක් සනීප නැහැ. හෙට ආපු ගමන් ඩික්ටේශන් ගන්නවා. පාඩම බලන් එන්න “

“ ආයුබෝවන් “

“ ආයුබෝවන් සර් “


ඔහුගේ සුපුරුදු බර අඩි සහිත සෙමින් ගමන කලබලකාරී වේගවත් ගමනකට හැරී තිබුනි. තමාගේ පලුවෙන ගුරුපත්වීමත් , මේ සිසුවාගේ ගම් ප්‍ර දේශයත් , සිසුවාගේ හැඩරුවත් , මේ හැමටම වඩා බොහෝ කලකට පසුව මතුව ආ ඈ ගැන මතකයත් ඔහු සිත පාරවන්නටත් කුතුහලයෙන් හා අනියත බියකින් වෙලා ගන්නටත් විය.

මෙය අහමුවක් විය නොහැකිද ? තමා මෙතරම් තැති ගන්නේ කුමකට ද? ඇරත් දැන් ගෙවී ගිය අතීතයේ සැඟවී ගිය සෙවනැලි ගැන සිතා කුමකට ද? තමා සම්බන්ධ කිරිමට යන්නේ කිසිසේත්ම නොගැලපෙන අතීතයක් සහ වර්තමානයක් වීමට නොහැකි ද ?

නමුත් කැලඹුණු සිත සංසුන් කර ගැනීම වටී.

හෙතෙම පාසලේ කාර්යාලයට ආවේ දහඩිය මුඟුරු වගිරමින් සහ හති ලමිනි.

“ සුරංජි මිස් . . . . .  හත බී පන්තියට ආපු අලුත් ළමයගෙ පර්සනල් ෆයිල් එක බලන්න පුලුවන්  ද ? “

තමා කලකට පෙර පෙනී සිටිය නමුදු අද වන තුරු ප්‍රතිඵලයක් නොදන්නා විභාගයක ප්‍රතිඵල ලේඛනය අතට ලැබුන කු සේ  සිසුවාගේ පුද්ගලික ලිපි ගොනුව දෙස බලා සිටි සිරිසෝම සර් , වේගයෙන් ඉහළට ඇඳ ගත් හුස්ම පිට නොකරම සිසුවාගේ ෆයිල් කවරය පිරික්සන්නට විය.

“ සර් හොයන්නේ ඒ ළමයගෙ උප්පැන්නෙ ද ? වාසගමක් නැහැ සර්. අම්මගෙ වාසගම තමයි දාන්න වෙන්නේ “

උප්පැන්නයේ පෙළින් පෙළට ඇඟිලි යැවූ සිරිසෝම සර්ගේ ඇඟිලි තුඩ . . . . .මවගේ නම ළඟින් නැවතුනේ ද , දඩස් හඬ නංවමින් පුටුවකට බර වුනේ  ද , සුංරජි මිස් අයා ගත් දෑසින් සිරිසෝම දෙස බලා සිටිනු ද , කාර්යාල මේසයට හිස ගසා ගත් සිරිසෝමගේ උරහිස් රිද්මයකට මෙන් සැලෙනු ද මා දුටු අවසාන රූප පෙළයි.

ඔහුගේ ජීවිතයේ එක් සුන්දර කාලච්ජේදයක අතීත මතක කළලයක් , මෝරා විත් ජීවියකු වී ඔහුගේ වර්තමානය  ඉදිරියෙන් සිනාසෙමින් ඔහු දෙස බලා සිටින බව  අනාගතයට රහසක් විය හැකි  ද?

Friday, October 12, 2012

වැස්ස,සුළඟ,ආලෝකය සහ ආදරය


වෙන්න බැහැ මට
ඔය හිතට වැස්සක්
වහින්න බැරි නිසා නෙමෙයි
වහින තරමට ගැලුවොත්
ගිලෙයි නුඹ


වෙන්න බැහැ මට සුළඟක්
දාහය පිරි දිවියට
හමන්න බැරි නිසා නෙමෙයි
සුළං කෝඬෙ සැරට
ගසන් යාවි නුඹෙ කූඩුව



වෙන්න බැහැ මට එළියක්
අඳුරු දිවියට නුඹේ
එළිය දෙන්න බැරි නිසා නෙමෙයි
ඒ එළියෙ සැර
ගිණි කණ වැටෙයි නුඹ


ළඟට නොඑන්නෙ
ආදරේ නැති නිසා නෙමෙයි
ආදරේ තරමට
ළං වෙන්න බැරි නිසයි නුඹට



ඒ නිසා


පිනි බිඳක් වෙලා ඇවිත්
වැස්සට හොරෙන්

මද පවනක් වෙලා ඇවිත්
සුළඟටත් හොරෙන්

සඳ කිරණයක් වෙලා ඇවිත්
ඉරටත් හොරෙන්

මම ආදරය දෙන්නම්
මුළු ලොවටම
හොරෙන්



හොරු අල්ලන

මම
සොඳුරු සිත
( සිත් පොලිසියෙන් )

Sunday, October 7, 2012

මතක සුවඳ

 හෙට පිපෙන මල් වල සුවඳ
අද විඳිය හැකි අය ද
පරව ගිය මල් වල සුවඳ
මතක ඇති අය ද
සිටින ලෝකය තුල
ම‘හද
සදා පිපී දිලේ වා .........!!!!!!

Thursday, October 4, 2012

නෝක්කාඩුවක් සහ උත්තරයක්




නෝක්කාඩුවක් සහ උත්තරයක්






පෙම්වතිය



මට ආරංචියි නුඹ


ඇවිදින් අහසට

තාරුකා වලට යහමින්


එළිය බෙදපු බව

මම එනකොට නුඹ

ආපසු ගොස් ඇත


හැමදාමත් වගේ අදත්

පරක්කුයි ද මම ?



පෙම්වතා


නුඹ සිතනා හැටි


මට නම් පුදුමෙකි


නුඹට දෙන්න ආලෝකය


මගේ ළඟත් නැති


මටත් වඩා දිලි


නුඹ දුටුවෙත් නැති


ආලෝකය මට ද  දුන්න

 සරා සඳයි

නුඹ


සඳේ එළිය සඳ දන්නැති


මගේ සඳයි නුඹ

Tuesday, October 2, 2012

කොහේ ද? කොහෙන් ද?

 කොහේ ද ? කොහෙන්  ද?

තොල් ඇස් කන් නාස දිගේ
විත් හිතතුල රිංගන්
නහර දිගේ ගලාන යන
ලේ බිඳ තුල රිංගන්

විටින් විටේ කොහෙන් හරිම
මිහිරක් ගත දල්වන්
නුඹ මා තුල ඉන්නා හැටි
සිතට සිතක් රන්දන්

ජීවීතේට ගලාන එන
හුස්ම පොඳක රන්දන්
ආලෝකය වෙලා ඇවිත්
නෙතු කාචයෙ බන්දන්

සසර සරන තුරුම නැතත්
මොහොතක් හෝ රන්දන්
නුඹ දෙන මේ සෙනෙහස ඇත
ජීවීතේම රන්දන්

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...