අතේ ශතේ නැතිවන කාලයක් පැමිණීමත්, එනිසාම අන්තර්ජාල සබධතා වලින් ඈත්ව සිටීමට සිදු වීමත්, නව රැකියාව නිසා පැය ගණනක් බසයේ කොණකට වී ගමන් කිරීමට සිදුවීමත්,මට මා පිළිබඳව අලුතින් සිතීමටත්, අතීතාවලෝකනයේ යෙදී මේ ලිපිය අකුරු කිරීමටත් යෙදුනු මූලික අඩිතාලම සැපයීය.
ජීවිතයේ බොහෝ කලක් ගෙවී ඇති බවත්, මාහා එදා පැමිණිය වුන් මා පසු කර බොහෝ දුර ගොස් ඇති බවත් එකනෙහිම මට සිහිපත් වීමත්, දෑස් හොඳින් ඇර බලද්දී මා හා පැමිණි නමුත් මා පසු කර බොහෝ දුර ගොස් සිටියවුන් අතර යහළු යෙහෙළියන් හා හිතවතුන් පමණක් ම නොව මා නැගණියත් සිටිනු දුටිමි. ම‘ දෙස බලා අත ඔසවා සන් කිරීමට තරම් වත් ඔවුනට නැවතුමක් නැති බව දුටු මාගේ ගමන තව තවත් අඩාල වූ අතර , රිදුම් දෙන සිත සුවපත් කරනු පිණිස ඔවුන් දෙසට යොමු වු ඉදිරි දෑස් දැක්ම අතැහැර මා හා ගමන් කරනා දෙපස සිටින වුන් දෙස බලන්නට වූව ද , වැඩිකල් නොයා ඔවුන් ද මා පසු කර වේගයෙන් ඉදිරියට ඇඳෙනු ඇති බව හැඟී ගියෙන් , කිසිවකුත් දෙස නොව මා දෙපා දෙස යොමු කර ගත් දෑස් ඇතිව මා මෙතෙක් කල් ගමන් කර ඇත.
ජීවිතයේ බැඳීම් අවශ්‍ය වනුයේ ජීවිතයේ රැඳී සිටීමටයි. මා හා එවැනි බැඳීම් ඇත්තේ එකම එකක් බැව් නොවලහා පැවසිය හැකිය. පෙකණි වැල කෑපුව ද ඒ බැඳීම ගිලිහී නොගොස් පැවතීම, මගේ ජීවිතය රඳන්නට අදද බලපාන එකම රැහැනයි.
උදයේ ඇගේ අතින් පිසෙනා බත් පිනි , මා ගමන් මල්ලට ඔබා මා ගැන උපන් වේදනාවෙන් පිරි දෑස් මා වෙත යොමා “ බුදු සරණයි “ පවසන ඒ ඇත්තිය , මා දෙණ මත වැටී වැලපෙන හැටි දකිනු රිසි නොවන නිසා මිසක , අද මා මෙලොව රඳන්නට වෙනත් හේතුවක් සෙවීම උඟහටයයි මට සිතේ.
විටෙන් විට බොහෝ අය පැමිණ ගිය ද මා හා සිත බැඳී නැවතුන දෙදෙනකු වේ. ඒ දෙදෙනා ද ඔවුනගේ සිඳී ගිය බඳුන් පුරවා ගත්තා විනා සිසිල් දිය සැපයූ උල්පත තමා සතු කර ගන්නට කිසිවිටක නොසිතූ බැව් දැනී යත්ම හැකිලී යන මා ඔවුන් මුණ ගැසීම ගැන දුක් වන්නේ ද නැත.
කිසිවකුටත් පලක් නොවී ඔහේ ගලනා උල්පත් සිඳී සැඟවී යා යුතු යැයි මට සිතෙන්නේ තවත් අයකු බලාපොරොත්තුවෙන් සිටීමද වේදනාවක් පමණක්ම බැව් හැඟෙන නිසාය.
අයෙකු මගේ ජීවිතයම වෙද්දී , ඒ අයට මා මොහොතක් පමණක් වන්නේ නම් , ඒ මොහොත විඳ සැනසීම කළ හැක්කේ වෛකල්පික ලෙස පමණක් යැයි මට සිතේ. ජීවිතයම වූ අය සිටිද්දී ,සැනසීමට මොහොතක් පමණක් සොයන්නා එක්කෝ සැබැවින්ම ජීවිතයේ අරුථ තේරුම් ගත් අයකු විය හැකිය.
මා හා පැමිණ මා පසු කර ගිය වුන් ඇල්ලිය නොහැකි තරමේ දුරකින් ද , මා හා සමව යන්නන් මට කිසි අතකින් නොගැලපෙන්නන් වීම ද නිසා ගමන අතැර දමා නැවැතීමට මට වරක සිතේ.සිසිල් සෙවන දෙන මහා වෘක්ශයක් යට නැවතීමට ඇවැසි වුව ද පෙනෙනා මානයේ එවන් සිසිලක් සොයා ගැනීම උගුහට බැව් පෙනේ.
මා වටා ඇත්තේ මගෙන් සෙවන ඉල්ලනා පුංචි පැළ රාශියකි.
“ ටීචර් , ටොපිය කන්‍ය දැයි එකකු අසයි. එපා කි විට නැවතත් ඉල්ලීම වෙනස් වේ එහෙනම් ටීචර් හූනු බිත්තරක් කන්න ද ? ඔහුට උවමනා වන්නේ ටීචර්ගේ අවසරය ඇතිව කුමක් හෝ කෑමට මිසක පන්ති වේලාවේදී කෑම ගැනීම අවිනීත බවත් විවේක කාලය සපයා ඇත්තේ ඒ සඳහා බවත් කෙතරම් කීවත් අවබෝධ කර ගන්නට නොවේ.
දරුවන්ගේ කෑගැසීම් අතරින් වරක් දෙවරක් නොව සිය දහස් වතාවක් මැවි මැවී පෙනෙනා අයට ද මගේ ආදරය මිසක කිසිදු විටක මා ළං ගර ගැනීම උවමනා නොවේ.
කිසිදු විටක තනිකම මකා ගැනීමට හෝ ආදර සබධතා සඳහා අන්තර්ජාලය යොදා ගැනීම යනු තනිකම දෙගුණ තෙගුන වී සමාජයෙන් තව තවත් ඉවත් වීම මිසක පතනා සියල්ල ලැබී යාමක් නොවන බැව් මා ආදරණියයන්ට පැවසීමට කැමැත්තෙමි.
වචන සිය දහස් ගාණකින් ආදරෙයි යැයි පැවසූවත් හැඟීම් කලතා හැරි පසු මිනිසෙකුගේ දෑස් දෙස බලා කිසිදා ලිවිය නොහැකි හැඟීම් කියවීමට අපි මිනිසුන් ලෙස ආශා කරන්නේ නැති ද? ආදරණියයාගේ උණුසුම රැකවරණය සොයන්නේ නැති ද?
මේ සියල්ල පසක් කර ගැනීමටත් ජීවිතය දෙස ආපසු බැලීමටත් වැටුප් නොල ද එකම මාසය මෙතරම් උදව්වේ යැයි සිතුනේ ද නැත.
ජීවිතය දැන් හරිම බරය.....
දැඩි වෙහෙසක් දැනේ.............
ඉතා දැඩි ශෝකයක් සිත තුල නලියමින් දෑස් වලින් පිට පනින්නට පොරකන අතරේ....
එය ආයාසයෙන් වලකා ගන්නට මා වෙහෙස දැරුවේ .....
ඩිජිටල් අකුරු බොඳ නොවනා බැව් අමතක වීම නිසා ය.
සිත දැවිඩ ආශා කරනා දෙය සිතට දුක ගෙනේ නම්, ටික කලකට හෝ ඉන් ඈත්ව සිටීම සිතට සතුට ගෙන දේද ?








