..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, September 28, 2012

- වෙනස -





වෙනස

" කොහොම ද ඔච්චර ඉක්මනට වෙනස් වෙන්නේ ? "
 

මුහුණ අඳුරු කරන් , හිනාව අතුරුදහන් කරන් , උණුසුම නැති කරන් ඔහු ඉවත් වුනා.
 

‍" මොකක් ද වෙනස ? හිතට ඇතිවෙන සැබෑ හැඟීම කියනෙක වෙනස්කමක් ද ? " ඔහුට නොකීවත්  මගෙ හිත මිමිණුවා. හැමදාම එක වගේම ඉන්නත් පුලුවන් ද? මට හරියට ප්‍රශ්ණ,


පරණ රස්සාවට සමුදීම , අලුත් රස්සාව ගැන තියෙන නොපැහැදිලි තාව , ෆොටෝ මීට් එක, මහන්න දීපු ඇඳුම් වෙලාවට හම්බෙයි ද කියල හිතේ තියෙන නොඉවසිලි බව, මේ සැරේ ණය වාරිකය ගෙවා ගන්න බැරි වෙච්චි එක, වෙන එකක් තියා ඔහුව මුණ ගැහෙන්න එන්න කලින් හරියට කොණ්ඩෙ පීර ගන්න බැරි වෙච්චි එකත් මට ප්‍රශ්ණයක්.


ඒත් , එයා . . .  එයාට තියෙන ප්‍රශ්ණ හැමේකම අමතක කරලා මාත් එක්ක හිනා වෙලා කතා කරනවා , ඉඹිනවා , හයියෙන් හිනාවෙනවා , තව තව දේ ඉල්ලනවා. ඒත් මට ඒ දේවලට යන්න කලින් මගෙ එක ප්‍රශ්ණෙකට හරි විසඳුමක් ඕනි කරනවා. 


අඩුම ගානේ එයාට බැරි ඇයි ඔය විසේ පොඩ්ඩක් නවත්තලා මයෙ හිතේ තියෙන දේවල් අහන් ඉන්න.....

ඒත් එයා කියනවා.


" කොච්චර අමාරුවෙන් ද ඔයාව මුණගැහෙන්න එන්නේ. ඒ වගේම කොච්චර ආසාවෙන් ද? දැන් දවස් ගාණකින් ඔයා ළඟින් ඉන්න බැරි වුනා. මොකක් ද ඔයාට වෙලා තියෙන්නේ. උදේ එනකොට හිටි කෙනා නෙමෙයි දැන්. මට එපා මෙහෙම වෙනස් වෙන ගෑණු "



ඇත්ත. මාත් ආවෙ ඔහුව දකින්න සතුටින්. මගේ හිතේ තියෙන දේ කියන්න. පොඩ්ඩක් උරහිසේ හිස තියාගෙන නිස්කලංකෙ ඉන්න. හැමදේම අමතක වෙන විනාඩි කිහිපයක් ඔහු හා ගත කරන්න.

 
ඒත් මොකක් ද මේ වෙනස.
 

ආවාට වඩා වැඩි වේගයෙන් ඔහු යන්න ගියා. 


වාඩි වෙච්චි සිමෙන්ති බංකුවට වෙලා තව ටික වෙලාවක් ඔහේ බලාන හිටි මම , සැහැල්ලු කරන්න හිතාන ගියපු බරටත් වඩා වැඩි බරක් රදවන් ආපහු ගෙදර ආවා.




" මුහුද වගේ " නුඹ කීවත් මා හට
වෙරළ සොයන් එන රැල්ලයි
නුඹේ ළඟට මම

 " අහස වගේ " නුඹ කීවත් මා හට

පොළව සොයන් එන තරුවයි
නු‍ෙඕ ළඟට මම

අහස පොළව මා දාමාලා
ගියත් බොහෝ දුර
යන්න එපා නුඹ
මම තනිවෙයි එතකොට

Tuesday, September 25, 2012

පිස්සු බැල්ල


පිස්සු බැල්ල





“ මොකක් ද බං ඔය කරන පිස්සු වැඩේ , මම නම් කියන්නේ මේ බැල්ලිව මරමු කියලා. මේකා දැන් ගමේ කී දෙනෙක්ව හපා කෑවද මං අහන්නේ. අනේ අම්මප මට එන තරහ. ගනින් යකෝ ඔය පොල්ල මෙහාට “


“ යකෝ .... උඹ පිස්ස නටන්නෙපා. හොසපිටල් එකෙන් කිවුවේ බැල්ලිව හොඳට බලා ගන්න කියලා.  ඌ මළොත් අපිත් ඉවරයි“



ඒ මොකෝ බං

යකෝ මූට පිස්සු නම් මු තව දවස් දෙක තුනකින් සෙම හලාගෙන මැරෙනවා


නැහ් . . ! ! !


නැහ් නෙමෙයි බං .


වැරදිලාවත් වෙන දේකින් මළොත්


ඒකටනෙ හත් ඉලව්වේ කන්න බොන්න දීලා බලා ගන්න කියන්නේ

 මිනිසා විසින් බල්ලාට සෑහෙන දුරකින් තබන ලද බත් පිඟාන , බල්ලා වෙත මදක් ළං කරන ලද්දේ දිගු රිටක් ආධාරයෙනි.


“ බලාන යකෝ. . . . . . . කෙළෙහි ගුණයක් නැති බැල්ලියො “

කූඩුවේ අයින කොණටම වන්නට වකුටු වී නිදා සිටි කැහැටු බැල්ල මදක් හිස ඔසවා බැලු අතර මිනිසුන් දෙදෙනා තරමක් ඈතට වන්නට විය.ඔවුන් දෙස බලා සිටි බැල්ල , කෑම පිඟාන වෙත හෙලූ හිස් බැල්ම ද සමඟින් දිගු කර ගත් හොම්බ ඉදිරි ගාත් මත ගාල් කර කල්පනාවට වැටුණි.

--------------------------------------------
 

හරියටම මීට මාස කිහිපයකට පෙර ,

වස්සානයේ ආරම්භක දිනයේ දී මේ බැල්ල විසින් අතිශය ඝෝෂාකාරී නගරයේ කඩපිලක් මත පුළුන් ගුලි වන් බලු පැටවන් තිදෙනෙකු ප්‍රසූත කළා ය. කෙසඟ සිහින් සිරුරැති බැල්ල , දඩාවතේ ගොස් ආවේ මොන බල්ලාගේදැයි නොදන්නා පැටවුන් තුනක් කුස දරාගෙන බැව් පැවසූ කඩහිමි , පංසලේ ප්‍රධාන දායක උපාසක මුදලාලි මහතා මහ වරුෂාවේ නොතෙමී තිබූ එකම මුල්ලේ ලැග සිටි බැල්ලට සහ ඇගේ පැටවුන් සීතල වතුරින් නැහැවීමට තරම් කාරුණික විය.


උණුසුම පුළුන් පොදි තුන කටින් ඩැහැගත් බැල්ල , තමාට මතකති කාලයේ සිට හැදී වැඩුනු පාසල වෙතට දිව ගිය ද......හතර වටින් තාප්ප බැද අසුරා තිබූ පාසලේ , ප්‍රධාන ගේට්ටුවේ යට වූ හිඩැස යටින් අපහසුවෙන් මුත් ඇතුලු වීමට උත්සාහ කළේ , තමා කුඩා අවදියේ දී ආදරයම ලැබුනු පාසල් බිම තම පැටවන්ට ද ඇති හොඳම තැන නිසාවෙනි.


“ චිප්: බැල්ලි . . . . .  පර බැල්ලි, මළ වසංගත , ආයෙත් එනව මෙතන සනුහරේ බෝ කරන්න, බොහොම අමාරුවෙන් වඳ කර ගත්තම, ආයෙත් ළඟින්න එනවා “

මුරකරු විසින් නියම ඉලක්කයට විසි කර ගල වැදී නැඟුනු වේදනාව යටපත් කර ගත් බැල්ල , තම කටින් ගත් උණුසුම් පැටවන් ද සමඟින් සිරි පොද වැස්සේ ඉඹාගාතේ යන්නට වූවා ය.


“ දොයි . . දොයි .. . . දොයි . . .
දොයිය . . . .බබා . . . .
බයි බයි බයි. . . .
හඪ ඇසුනු දෙස විමසිලිමත් වු බැල්ල , කටේ දරාන සිටි පැටවුන් තිදෙනා මදක් පසෙකින් තැබුවාය. තීරණයකට එළෙඹි ඇය. නැවතත් කටට ගත් පැටවුන් තිදෙනා සමඟින් හඩ ආ දෙසට ඇදෙන්නට වූවා ය.
අලුත උපන් බිළිඳියක සිටි ඒ කුඩා පිරිසිදු නිවසේ දර ගෙය දෙසට වන්නට ඇති කුඩා නමුත් උණුසුම් බිම් පොඩ්ඩ බැල්ලියට මාළිඟයක් මෙන් විය.


මෙසේ ටික දිනක් ගෙවී ගිය අතර ,නිවසට හදිසියේ ම ආ අමුත්තිය සහ පැටවුන් පලමුවෙන්ම දකින ලද්දේ පෙර පාසල් යන වයසේ පසුවූ සිඟිති දියණියයි.


ඇය තම පුංචි කුසට වැඩි තරම් ලැබෙන කෑම පංගුවෙන් වැඩි කොටස බැල්ලියට දුන්නේ සිය මවට සහ පියාටත් ගෙදර අනිකුත් අයටත් හොර රහසේ වුවත් , තම වැඩිමල් දියණිය වෙනදාට වඩා කෑම ගන්නා රහස සොයා යෑමේ දී දරමඩුවේ වසන බැල්ලියත් පැටවුනුත් තව දුරටත් රහසක් නොවීය.


දර මඩුව වැඩිමනක් භාවිත නොවීමත් , අලුත උපන් බිළිඳා නිසා මුළුතැන් ගෙයි වැඩ කටයුතු වැඩිහරියකට ගෑස් භාවිතා වීමත් රහස එළිවීමට වැඩිකල් ගතවූ හේතු විය.
ගෙදර ගෘහණියගේ දැඩි අප්‍රසාදයට ලක් වූ බැල්ලිය සහ පැටවුන් එතැනින් ඉවත් කිරීමට නොහැකි වූයේ පෙර පාසල් යන සිඟිත්තියගේ මාරාන්තික උපවාසයයි.


බැල්ලිය සිඟිත්තියට ණය ගැති වූවා ය.


සිඟිත්තිය දකින සෑම විටකම තම කන් පහත් කරමින් නඟුට වනමින් පෑ යටහත් ගතිය , සිඟිත්තිය සැලකූවේ සුරතල් ක්‍රියාවක් ලෙසිනි.

දිනෙන් දින වැඩෙන සිඟිත්තිය මෙන්ම සුරතලෙන් වැඩුණු කුඩා බලු පැටවුන් ද සිඟිත්තියගේ ලෝකයට ප්‍රිය දසුනක්ම විය. සිඟිත්තිය විසින් තබන ලද සුරතල් නම් තුනක හිමිකරුවන් වීමට ද ඔවුනට හැකි විය.

නමුත් දිනක් . . . . . .


“ මේ බලන්න. මම ඔයාට කොච්චර කීව ද? ඇහුවෙ නැහැ. වෙලාවට කණ ඇතුලට නොගියෙ. කණට ගියානම් හෙම මොන දෙයියන්නට කියන්න ද? ඔහෙ අදම මේ බලු පැටවු ටික අල්ල ගිහින් අර ඟගට හරි විසි කරන්න. නැතිනම් මම යනවා පොඩි වුන් දෙන්නත් අරන් මහ ගෙදර. ඔන්න මම නොකීවයි කියනනෙපා. . . “


කතාව අසා සිටි බැල්ලිය , සිය පැටවුන් ලගට ගෙන මැක්කන් එකෙක් නෑර පිරිසිදු කළාය. නිවස ආසන්නයට නොයන ලෙස පැටවුන්ට අවවාද කළාය.


සිඟිත්තියගේ පියා මුහුණ දුන් බරපතල අර්බුදය තරමක් හෝ විසදා ලන්නට පැමිණියේ සිරිසෝමයි.


දිනක් දර මඩුව දෙසට පැමිණි සිරිසෝම දැක බැල්ලිය බිහිසුනු ලෙස බුරන්නට වූවත්, තරමක් වෙලා බලු පැටවුන් එහා මෙහා පෙරළමින් දැඩි පරීක්ෂාවකට ලක්කර අවසානයේ ....

“ මු විතරයි බල්ලෙකුට ඉන්නේ. අනිත් දෙන්නම බැලිකික්කියෝ. . . මම මේකාව විතරක් ගෙනියන්නම් රාලහාමි “ යි පැවසු සිරිසෝම. බැල්ලියගේ ලතෝනිය මැද්දේ දුඹුරු සහ කළු පැහැ මිශ්‍ර තිදෙනාගෙන් හොඳින්ම වැඩුනු බලු පැටවා රැගෙන යන්නට විය.

සිඟිත්තියගේ පියාට එරෙහිව ඊළඟට පැමිණියේ දියණියගේ දෙවෙනි දරුවා බලා කියා ගැනීමට පැමිණි නැන්දම්මායි.


ඇය සැදැහැවත් උපාසිකාවක් වූ වාය.

“ පුතේ  . . .  මම මේ කියන්නමයි උන්නේ. අර බලු රොත්ත වත්ත පුරා ජරා කරනවා. අනික දැන් උන් ලොකු උනාම මේ පොඩි දරුවනුත් අල්ලන්නෙ ජරාව. බැරිද ඕකුන් ටික කොහාට හරි ගිහින් දාන්න “



විරෝධතා උග්‍රවත්ම . . . . .දිනක් ගෘහමූලිකයා පෙහොර උරයක් ද රැගෙන දර මඩුව වෙත ඇදෙනු දක්නට හැකි විය.බැල්ලියගේ විලාපයත් සමඟින් ඔහු පාපැදියක නැගී පලායනවාත් , ටික වේලාවකින් පාලම මත සිට යමක් “ජබොස් “ හඩ නඟිමින් ඟගට වැටෙනවාත් ඇසුණි.

Saturday, September 22, 2012

තැපෑලෙන් ලියුමක් , කතන්දරගෙන් කෝල් එකක්....

තැපෑලෙන් ලියුමක් ,කතන්දරගෙන් කෝල් එකක්..............




 ජීවීතය කියන්නේ , බලාපොරොත්තු කන්දරාවක්. 

පුංචි අවදියේ ඉදන් තියෙන බලාපොරොත්තු වයසින් වැඩෙත්ම වෙනස් වෙනවා. 

සමහර දේ ඉෂ්ඨ වෙනවා. 

තවත් සමහර දේ බිදිල ඉරිතලල යනවා. 

තවත් කිහිපයක් කවදාවත් ලඟා කර ගන්න බැරි තරම් ඈතට යනවා.


මගේ ජීවිතේ බලාපොරොත්තු වැඩිහරිය කණ ළඟින්ම ඈතට යද්දි. මම කරේ තියෙන බලාපොරොත්තු අතෑරිය එක සහ අලුත් බලාපොරොත්තු ඇති කර නොගත්තෙක. 

ඒක සිතට වේදනාවක් ගෙන නොදුන්න සරල පැවැත්මකට රුකුලක් උනත් සමහර වෙලාවට ජීවිතේ මහා හිස් බවක් දැනෙන්න ගත්තා. 



කවදාවත්ම නොසිතපු විදිහෙ විනෝදාංශ රැසක් ජීවිතයට ළං වු‍නේ ඔය අත‍‍‍රෙ. . . .  ජීවිතයේ හිස් ගතියත් නැති වෙලා යන්න ගත්තා.

කවි ලියන්න පුලුවන් වෙයි කියල ජීවිතේට මම හිතුවෙ නැහැ. මහාබර සාර ගැඹුරු කවි ලියන්න බැරි එක ඇත්ත.ඒත් ගැට ගහල ලියන සරල කවි පද හතරක් මට ඉහටත් උඩින්.


සම්මාන ගන්න පුලුවන් කෙටි කතා ලියන්න බැරි එක ඇත්ත ... ඒත් සමහර කතා ආයෙත් කියවද්දි , " ලියුවෙ මම ද " කියල දැනෙන හැඟීමට මම කැමැති.

බරපතල වචන දාලා විග්‍රහ කරන්න පුලුවන් ඡායාරූප ගන්න බැරි එක ඇත්ත උනත් ,   , පුංචි දරුවෙක්ගෙ හිනාවක් , සමණළයෙක් ගෙ මොහොතක් , ගහක් කොළක් මලක්  ඡායාරූපයකට ගත්තම දැනෙන සතුට මට වැඩිත් එක්ක ඇති.

අද සෙනසුරාදා . . . . . .


පස්ස පැත්තට ඉර එළිය වැටෙනකම් නිදා ගත්ත බව ඇත්ත. ගැස්සිලා ඇහැරුනේ බයිසිකලයක සීනු නාදයක් , ඝාන්ඨාරයක් වගේ සද්දෙන් ඇහුන නිසා.


හැමදාමත් ඒ සද්දෙ ඇහෙනකම් මඟ බලා ඉදල මට ඇති වෙලා තිබ්බේ.ඒ නිසා " කම්මලේ ඉන්න බල්ලට වගේ " සීනු නාදය ගැන තිබ්බ ඇල්ම නැති වෙලා ගිහින් තිබ්බා.


ඒත් . . . . . 


ජීවිතේ එක ලස්සන බලාපොරොත්තුවක් " තැපෑලෙන් ඇවිත් " 


සි‍ත සතුටින් පිරුණා .  .  . . . 

කඩිමුඩියෙ ලක ලෑස්ති වෙලා කාර්යාලයට ආවේ. සෙනසුරාදා වුනත් අද කාර්යාලය අතිකාල රාජකාරි සඳහා විවෘත නිසා.

ඒ ආව විතරයි. . . . . . බොහොම කලාතුරකින් ඇමතුමක් එන මගේ ජංගම දුරකතනය නාද වුනා.......

" හෙලෝ  . . . වත් "

" ඔවු මම වත්සලා තමයි "

" මතකද මේ කවිය ,? " ඔහු ඇහුවා.
වත් පිළිවෙත් ගුණදම් නිති රකිනවද?
වත් පොහොසත් කම් ගැන හෙම බලනවද?
වත්සුණු, කොකුම්, අංජන වත උලනවද?
වත් ඔබ කවුද, දැන්වත් මට කියනවද?



ඉතින් අද ලස්සන දවසක් මට . . . . . 

එක බලාපොරොත්තුවක් තැපෑලෙන් එද්දි , නොදුටු යාළුවෙක් අහඹු විදිහට කතා කරා.



ප්ලෑන් ‍‍‍‍‍නොකරපු ජීවි‍තය හරිම ලස්සනයි.


ප:ලි:-

දැන් වගේ නෙමෙයි. කතන්දරකාරයා ඉස්සර ලියපු ලිපි හරිම රසවත්. හැමදාම උදේට කතන්දර බ්ලොග් එක කියවන එක පුරුද්දක් වුනා. අදටත් පුරුදු ලෙස කියෙව්වත්..... ඉස්සර තිබුන නැවුම් රසවින්දනාත්මක ගතියේ බරපතල අඩුවක් මට දැනෙනවා.


ඒත්

කතන්දරකාරයා මල් ව‍‍‍‍‍ගේ ම , ගල්  මුල් බාර ගන්න ‍ උ‍පේක්ෂා  සහගත බව  ‍ ‍ගො ඩක් අයට  ආදර්ශයක්. 


මම
සොඳුරු සිත
‍ ‍වත්


Wednesday, September 19, 2012

බිත්තරේ


ගොඩාක් ඉස්සර කාලෙක ......
ගොඩාක් දුර පුංචි රටක......

යෝධ වැඩට උපන් හපන්
පුංචි යෝධයෙක් හිටියා...........
ඇඟින් පතින් විශාලයි ලු
හදවත නම් හරි කුඩයි ලු
යෝධයගේ පණ තිබ්බේ
ඈත දුරක
පුංචි ගමක
උසම ගහක...
මුදුනෙම තිබු
පුංචි කුරුළු කූඩුවේ
අලුත දාපු බිත්තරේ...........


ඉතින් ....

මේ යෝධයා.

මොන වැඩේ කරත්.

කොතැනක හිටියත්.

තමන් දන්නෙවත් නැති තැනක තියෙන පුංචි කුරුළු කූඩවක බිත්තරයක් ඇතුලෙ තියෙන තමන් ගෙ පණ ගැන හිතනවලු.

තදින් සුළං හමද්දි. 

හයියෙන් වැස්ස වහිද්දි...

ඒ අසරණ පුංචි යෝධයා ....

තමන්ගෙ පණ රැක දෙන්න කියලා ආයාචනා කරනවලු.


අන්න ඒවගේ තමයි ..........

මම මෙතන වුනාට... 

වෙන කොහේදෝ නොදන්නා තැනක 

කාගේ දෝ ළඟ.... මගෙ පණ ,මගෙ හදවත ගැහෙනවා...ඒ නිසා ඔයා පරිස්සමින් ඉන්න ♥ ♥ ♥ 

නැතිනම් මා මියැදේවි.

මෙහෙම කියන්නේ ...ඔයැයිට තියෙන ආදරයකට නම් නෙමෙයි. 


මං මටම ආදරය නිසයි.

Tuesday, September 18, 2012

මට ඔයාව මතක් වුනා / I remembered you

මට ඔයාව මතක් වුනා
I remembered you





ඔහු . . . . . . .  බොහොම අපහසුවෙන් සුව පහසුව වාඩි වුනා.
මාව මඟ අරින ඒ ඇස් අල්ල ගන්න , මගෙ ඇස් නොඉවසිලිමත් වුනා.

වරක් දෙවරක් මඟ ඇරපු ඇස් , හිටපු ගමන් මගේ ඇස් කඹේට අහුවුනා.


මට ඔයාව මතක් වුනා.



ඒ ඇස් නතර වුනා. මාත් එක්ක හිනා වුනා.



මට ඔයාව මතක් වුනා.

ඉතින් . . . . . . .  ! ! ! දුක පිරුණු ඒ ඇස් මා දිහා බලන නොබලන ගානට නැවතිලා තියෙද්දි , කතාවට මුල පිරුවා.


මට ඔයාව මතක් වුනා.

අලගිය  තැන් මුල  ගිය තැන් , වැස්ස , පෑවිල්ල , මදුරු වසංගතය , විතරක් නෙමෙයි කාර්යාලයේ පියන් ගැන පවා නැවතිල්ලක් නැතිව ඔහු කියෙව්වා. 
හරියට කාත් කවුරුවත් නැතිව කාන්තාරයක තනි වෙලා හිටිය මනුස්සයෙක්ට ඉස්සරෝම වෙලා මුණ ගැහුනු මනුස්ස පරාණයට විස්තර කියනව වගේ. හූ මිටි තියන්න වත් මට කට අරින්න වෙලාවක් නැති වුනා.ඒ වචන කණට ඇහිලා සීතල පරිසරයට එකතු වෙද්දි 


මට ඔයාව මතක් වුනා.


හැමදේම ගැනම කතා කරත්. ඔහු ගැන කිසිම විස්තරයක් නොපවසා ඉන්න තරම් ඔහු හරිම සූක්ෂම උනා.විශේෂයෙන්ම වයස හෙළි විය හැකි තැන් ඔහු උවමනාවෙන්ම මඟ ඇරියා. මගේ වයසටම හරියන එකම කෙනා.


මට ඔයාව මතක් වුනා.

අපි දෙන්නව තනි කරලා අම්මා , මල්ලි  වගේම කපුමහත්තයත් මල් ගැන වැස්ස ගැන තේ දළු ගැන  තම තමන්ගේ අදහස් දක්වන හැටි ත් හිටිගමන් සියල්ල නිස්සද්ද වෙද්දි ඔහු ගැන නොරිස්සුමක් ඇති වෙද්දි , කතාව නවත්තල ගිහින් එන්නම් කියලා නොකියද්දි ,



මට ඔයාව මතක් වුනා.



අරන් ආව මාම් බිස්කට් ටින් එක, සෙටියෙ ඉදන් හිනා වෙද්දි. මුළු ටවුමෙම ඇවිදල අමාරුවෙන් හොයන් ආපු , කිසිකෙනෙක් අතවත් නොතිබ්බ පිරිච්ච ඇම්ඹුන් ඇවරිය මේස උඩ ඔහේ බලා ඉද්දි , කාලා ඉතිරි වෙච්චි කේක් කෑලි වලට ඉව අල්ලපු පුංචි තෙල් කූඹි එකා දෙකා මේසෙට කිට්ටු වෙද්දි.


මට ඔයාව මතක් වුනා.

අරමුණක් නැති මගේ හිතේ , ඔයාගේ රූපෙ මැවි මැවී නැති වෙද්දි. 

  අපි ගිහින් එන්නම් එහෙනම් ආයුබෝවන් ...!! ! ! කියද්දි.  

  ඒ ළමය නම් කැමැති වෙයි වගේ අම්මගෙ සතුටු හිත පිරිල ඉතිරෙද්දි. 

කාපු බීපු තේ මේසයෙ , අඩු වැඩිය අහවර කරද්දි , 

තේ දෙන්න ගියාම ගැස්සුනු අත නිසා ඉහිරුනු තේ වතුර බින්දු පිහදාද්දි , ඒ අස්සට වැටුනු කඳුළු බින්දුව දිහා බලද්දි


මට ඔයාව මතක් වුනා.


මගේ ජීවිතේට ඇතුලු වෙන්න බලන්න ආපු තවත් කෙනෙක් ඇවිත් යද්දි , කවදාවත් පිට මං කරන්න බැරිව , මගේ ජීවිත්ට ඇතුලු නොවුන ඔයාව ......................................................... මට මතක් වුනා.



ප:ලි:- 
අද වගේ දවසක තමයි ‍ සොඳුරු සිත ලියන්න පටන් අරන් තියෙන්නේ.


ඒ ගැන මතක් කරල දීපු නිදහස් සිතුවිලි ලියන රන්දිල්ට මගේ ස්තුතිය.



Somebody wants you, somebody needs you
Somebody dreams about you every single night
Somebody can?t breathe, without you it?s lonely
Somebody hopes that one day you will see
That somebody's me, that somebody's me,

Thursday, September 13, 2012

පත්තිනි දේවි, මර්සි , අම්මා සහ මම


පත්තිනි දේවි, මර්සි , අම්මා සහ  මම





පයේ බැඳපු සළඹ අරන්
උගස් කරන්නට
අදමිටු සැමියා යැවුවට
මදුරා පුරයට
නොකල වරද හිසේ වැටී
මරණය ආ විට
ඇයි ද ළඳේ
කෝප වුනේ
ගිනි තියන්න නගරෙට

අඹෙන් උපන් පත්තිනි දේවිට කර කාර බදින්න හම්බුනේ බොහොම නරක සැමියෙක් ලු. දූ කෙලියට, සූදුවට මදු විතට ගැහැණුන්ට ලොල් වෙච්චි පත්තිනි දේවියගෙ සැමියා එන්න එන්න දුප්පත් වෙද්දි, තමන් ගෙ සළඹ විකුණන් එන්න කියලා පත්තිනි දේවි සැමියව පිටත් කරාලු මදුරාපුරයට.



ඒත් ...................................

මදුරාපුරයෙ බිසවගෙ පා සළඹත් ඒ වෙලාවෙදිම කවුදෝ හොරෙක් හොරකම් කරල නිසා ඒ ගැන සොයන්න ගියපු රාජ සෙබළුන්ට හමුවෙලා තියෙන්නෙ , තම බිරිඳගෙ පා සළඹ විකුණන්න ආපු පලග ( පත්තිනි දේවියගේ සැමියා ) ව හමුවෙලා ඔහුව රැගෙන යනවා රජ මාළිගයට.

අන්තිමට පත්තිනි දේවියගේ සැමියව මරා දමනවා. එය ආරංචි වෙන පත්තිනි දේවිය සැමියා නැති සොවින් පිස්සියක් වගේ මදුරා පුරයට ඇවිත් ඒ නගරෙ ගිනි තියනවලු.

පුන් පියයුරු එකක් කඩා
ගසලා පොළවට
සාප කලා ඇය තම
සැමියා මැරු නගරෙට
පතිනි බලෙන් ගිනිගත්
ඒ නගරය හළු කොට
අදත් ඇයයි සංකේතය
බිරිඳකගේ පතිවත


දෙවියන් විශ්වාස නොකරත් , දේව කතා අහන්නත් , දේවාල වලට ගියහම තිර වලින් වහල තියෙන ලස්සන දේව රූප වල සුන්දරත්වය විඳින්නත් පොඩි එකී සංදියෙ ඉදලම සොඳුරු හරිම කැමැති.

ඒත් ..........................

මේ ළඟදි පූජා වට්ටියකුත් අරන් අම්මත් එක්ක දෙවුන්දර විෂ්ණු ‍දේවාලයට යන්න වුනේ ඇගේම බල කිරීමට.


දෙවියන් නැවතිලා ඉන්න හොස්ටල් එකක් වගේ වුනු දෙවුන්දර විෂ්ණු ‍දේවාලයට යන්න මම කවදත් කැමැති. ඒ වදින්න පුදුන්න කෙසේ වෙතත් . හැමදාම ගියත්  බලන්න තියෙන දේ එමට නිසා.


පත්තිනි දේවිගෙ කාමරයට ගියහම කණට ඇහෙන සිහින් සීනු නාදය හිතට ගෙනාවෙ අමුතුම හැඟීමක්. අතුරු සිදුරු නැතිව පත්තිනි දේවිය හිටපු ඒ පුංචි කුටිය පිරිල ගිහින් තිබ්බ.


බබ්බු හම්බෙන්න ඉන්න අය, බබාලා හම්බුනු අය ඒ පුංචි බබාලත් , ඒ පුංචි බබාලගෙ තාත්තලත් එක්ක ඇවිල්ල හිටියා. ඉහින් කණින් දාඩිය බේරෙද්දි , දිව්‍ය ලෝකේ ඉදන් අපේ දුක අහන්න ආපු පත්තිනි දේවිය දිහා මම බලාන හිටියෙ හරිම ආසාවෙන්.

ඇය හරිම සොඳුරු ළඳක්. අද කාලේ කෙල්ලන්ට වඩා වෙනස් ඇය ට තිබ්බෙ පිරුණු ලස්සන පියයුරු. ලස්සන රවුම් මූන . ලොකු ඇස්. දිගු වරලස. පලල් උකුල. දේවාලය අස්සේ ඇගේ පින්තූරයක් ගන්න මට බැරි වුනත් ඇය දිහා බලා ඉන්න නම් කිසිම තහනමක් තිබ්බෙ නැහැ.


මගේ වාරය එද්දි, අම්මා මයෙ අතේ පලතුරු වට්ටිය තිබ්බේ කපු මහතාට පේන්න රු.500කුත් උඩින්ම තියන ගමන්.

පත්තිනි දේවියට කියන්න ඕනි පණිඩේ කපු මහත්තයට රහසින් කීව අම්මා , මාව පත්තිනි දේවිය ඉස්සරහට තල්ලු කරා.

තමන්ට වංචා කරපු. තියෙන සේසතම සූදුවට විනාශ කරපු. ගැහැණු පස්සෙ ගියපු. තමාගේ ප්‍රිය ස්වාමි පුරුශයා වෙනුවෙන් ඒ තරම් පතිභක්තියක් පත්තිනි දේවියට දීලා පත්තිනි දේවියව මැවුවෙත් පිරිමි අයම වෙන්න ඇති කියලා මට හිතුනා.


ඒ අස්සෙන් මට ඇහුනේ මර්සි එදිරිසිංහ මෙන්න මෙහෙම කියනවා.

මඩේ ලඟින තාරාවන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙ කරොත් ඔබ කියාවි
මෝඩ ගෑනි මං

පත්තිනි දේවාලයේ කපු මහතා. අපි අරන් ගියපු පලතුරු වට්ටියෙ පලතුරු ටිකක් ඉතුරු කරල ආපහු දුන්නත් , රු.500යේ ඉතිරි නම් හම්බ වුනේ නැහැ.


පලතුරු වට්ටියෙ තිබ්බ ලොකුම අන්නාසි කෑල්ල අතට ගත්ත මම දේව විමානෙන් බිමට බැස්සෙ ත් ගන්දර පැත්තෙ ඉදන් මාතර යන්න ආපු ගින්දර බසයකට ගොඩ වුනෙත් මිනිස්සුන්ගෙ හිත් වල මැවුනු අපූරු කතාන්දර හැබෑවක් ද බොරුවක් ද කියලා හිතා ගන්න බැරිවයි.


පත්තිනි දේවිය නිසා හිත අතරමං වුනු
මම
෴ සොඳුරු සිත ෴




පලි:- මේ තියෙන්නෙ කලින් කලට මම දෙවුන්දර බලන්න ගියාම ගතපු පින්තූර කිහිපයක්.

දෙවුන්දර විහාරයේ බුදු පිළිමය
කැමරාව - Canon 1100 D

දෙවුන්දර දේවාලයකැමරාව - Canon 1100 D
කිට් ලෙන්ස්

දෙවුන්දර දේවාලය
හැන්දෑවරුවක ගිය දවසක තමයි මේ
ඔලිම්පස් VG 110 ඩිජිටල් කැමරා



හැන්දෑවක දෙවුන්දර යන්න තියනම් .. . . . . . . . .

Wednesday, September 12, 2012

මා සිත් ගත් තරුව නුඹයි

මා සිත් ගත් තරුව නුඹයි



කවි. . . . . .

මේ කවි දික්කරන්න පුළුවන්. . . . .

ඒත්

මම කැමැති නැහැ , සිතට එකවර ම දැනිල ලීව දෙයක්, ආයාසයක් යොදලා තවත් දිගු කරන්න. කවිය කෙටි වෙන්න පුලුවන්.ඒත්  ඒ හැඟීම මුළු රැයක් පුරාවටම දිග යි. . . .



තරු පිරි අහසක තරු නැහැ පැතුවේ

අහසෙත් සැම තැන නුඹවයි දුටුවේ

පුදුමයි ඒ තරු මල් පිපි අහසේ

තරු මට ළඟ , නුඹ දුරකයි සිටියේ




෴ තරු වලටත් වඩා දුරින් ඉන්නා කෙනෙක්ට ෴

Monday, September 10, 2012

මගේ සිනාව

මගේ කෙටි කවි :-
අඬන දොඩන සිත නවතා
මොහොතක් නුඹ ගාව
සිනා පොදක් ඇන්දා
නුඹ මගේ දෙනෙත් ගාව
සලන නෙතු පියන් අස්සෙන්
ගියත් දුරකදාක
ඇන්ද සිනා මැකී නොයයි
මතකය නුඹ ගාව

Saturday, September 8, 2012

ඇය දීගෙක ගියාය ..........

ඇය දීගෙක ගියා ය . . . . . .



සේපාලිකා මල් අතු අග
සිරි සිරි ගා හැලුනා
ඉස්සරහට ගිය මට
ආපසු එන්නට සිතුනා
නුඹ බලන්න සිතුනා
මට
නුඹ බලන්න සිතුනා


නැවුම් සීත තුෂර බිඳක්
තොල් පෙති මත වැටුනා
නුඹෙ තොල් පෙති රස සිහි වී
නුඹ සිඹින්න සිතුනා
නුඹ සිඹින්න සිතුනා
මට
නුඹ දකින්න සිතුනා



අවාරයේ ගී ගයනා
කොවුලෙක් හඬ ඇසුනා
ආපසු දුව විත් ආයෙත්
නුඹ බලන්න සිතුනා
නුඹ අත අල්ලන් ආයෙත්
ඇවිද යන්න සිතුනා


මහ ඕවිටි කඳූ හෙල් වැටි
වී කරලුත් නැමුනා
නුඹෙ පිට රැදි දාබිඳු දිලිහී
මගෙ සිහියට නැඟුනා
දුව විත් දාඩිය සුවඳින්
මත් වෙන්නට සිතුනා


මොකද අඬන්නේ කියලා
කෙනෙක් හිමින් ඇසුවා
මගේ දකුණු පස සිටිනා
මනාලයෙක් දුටුවා
පතිනිය වී වෙන ගමකට
පය තබන්න සිතුවා
නුඹෙ මතකය නිල්වලාවේ
ඟග පතුලට හෙලුවා


නුඹ දකින්න බෑ . . . . . . .
මට නුඹ පතන්න බෑ . . . . .
වෙනකෙකු සතු රෝස මලක්
සුවඳ දෙන්න බෑ . . .




ඇය යන මඟ කඳුළු බින්ඳු ඇහිලූ
මම
෴ සොඳුරු සිත෴

Tuesday, September 4, 2012

ඔබෙ උණුසුම් වම් උරහිස - Your Left Shoulder: My Sole Refuge

ඔබෙ උණුසුම්  වම්  උරහිස

Your Left Shoulder :
My Sole Refuge




මුළු ලෝකෙන් හැංඟෙන්නට

මොහොතක් මට ගුලි වෙන්නට

කාටත් නොපෙනෙන කඳුළක්

ඒ අස්සෙ හංගන්නට



ඉකි ගසමින් හඬන විට දි

නොදොඩා අහගෙන ඉන්නට

වෙන් වී යන්නට කලියෙන්

ඈත බලන් ගුලි වෙන්නට


ඔය උනුසුම්

ශක්තිවන්ත

උරහිසත් අරන්

මා හමුවන්න ට විඟහින්

එන්න රත්තරන්




උණුසුම් උරහිසක අඩුව දැනෙන

මම

සොඳුරු සිත

Sunday, September 2, 2012

සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුනු පොත් කවිය




සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුනු පොත් කවිය


 
ලැබුවේ සැප්තම්බරය පොත් විකිණෙන මාසේ
පොත් මොක වෙතත් සමහරු පෙරලන මාසේ

ගියවර ගෙනා පොත් තාමත් රාක්කයේ
මාසේ පඩිය කඩදහි වුනු සාස්තරේ


ලිස්ට් හදලා අරහෙ මෙහෙන් රිංගන්න
පොත් මිටියක් අරන් පින්තූරෙත් ගන්න
සැනින් එසැනින් වත් පොත වෙත අමුණන්න
මම ගත්තා මෙවර මේවා පෙන්වන්න


ගියවර මාත් පොත් ගත්තා තැනින් තැනින්
කියවූවා ටිකක් තව පොත් නම් එහෙන් මෙහෙන්
මේ වර අනේ පොත් ගන්නට නැතේ වරම්
එනමුදු එනවා පොත් පෙරලා ගන්න ඉතින්


මොන පොත පෙරලුවත් වත් පොත ඇර ගන්න
කාලය යනවා ඉගිලී එහි දැන ගන්න
පොත් කියවන්න වේලාවක් අරගන්න
හරි කම්මැලියි දැන් පත පොත කියවන්න


කුසට අහර මොළයට පොත් කියු හින්දා
ඉස්සර ඉදන් පොත පත ගෙන දුන් හන්දා
පුරුද්දට වගේ පත පොත සිත බැන්දා
එනමුදු කියවන්න කම්මැලි ඇයි මන් දා


කවි පොත් නම් එපා ආයෙත් අර ගන්න
කියවූ කෙනෙක් නැහැ ඒවා දැන ගන්න
අරයගෙ සම්මාන දුන් අර පොත ගන්න
කියවූ පසුව සම්මානය යළි දෙන්න


ගියවර ගතපු පොත් තාමත් ඇති හින්දා
ඒ නැති වුනත් අත මිට හිඟකම් හින්දා
ගත්තත් පොතක් කියවන්නෙ නැති හින්දා
මේ වර පොත් ගන්න ලිස්ට් හැදුවේ නැති දා


පොත් නම් මෙදා මේ වර නැත මම ගන්නේ
එනමුදු ඔහුත් සමඟින් මම එහි යන්නේ
අත්අල්ලාන පොත් පත් පෙරලා යන්නේ
කෝලා බීලා හවසට ආපසු එන්නේ

Saturday, September 1, 2012

෴ සිහින දකින්නිය / The Dreamer ෴


෴ සිහින දකින්නිය ෴


The Dreamer






හීන එකින් එක තෝරා
වෙන් කර
පේළියට
ගනන් කළා
එහි සිටිනා
අයව එකින් එකට


පුදුමෙක ලොකු
හැම සිහිනෙම
කොහේ හරිම
කොණක
නුඹ සිටියා සිනා වෙවී
පෙරදා වුන් ලෙසට


සිහින නොදැක
දිගු නින්දක
මා සැතපෙන තුරුම
මගෙ හැම හීනෙම හිටහන්
රැය ගෙවෙනා තුරුම


In My Dreams you are Mine but In My Life you are Just A Dream



නුඹ ගැනම
සිහින දකින්නිය
මම
෴ සොඳුරු සිත ෴

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...