..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, August 28, 2012

නුඹ හින්දා .................... Because of You ....

නුඹ හින්දා ....................

Because of You ....





බොහොම අහම්ඹෙන් හමු වී එක දවසක්
දෙඩුවා වරු ගණන් නැත අඩු වුනු දවසක්

මනමාලියක පතිනිය වී තව දවසක්

මා යනු ඇතේ වෙනකෙකු සමඟින් දවසක්


පෙන් වූ දිවිය පුද දුන් සිත නොගන්නෙමි

මතකය මිසක් නුඹ කැදවන් නොයන්නෙමි

නුඹ නොලැබුනා කියමින් දුක් නොවෙන්නෙමි

නුඹ දුන් සතුට සැමදා සිත දරන්නෙමී



මේ නිල් අහස යට කොහෙ හෝ ටිකක් දුරින්

නැතිනම් මගේ නෙතු පේනා තරම් ළඟින්

නුඹ කොහෙ ගියත් අව්රශ්මිය දැනෙන සැනින්

වළාකුළක් වී ඉන්නම් හිසට උඩින්


නුඹෙ දූ දරුවනුයි නුඹෙ ප්‍රිය දයාබරියි

ළං කොට සැනසි සිත නිවනා දිනක හිමින්

මිදුලේ කොණක පිපි මල දැක රෝස පැහෙන්

මා සිහි වේවි  සිත සඟවා ගනුය පෙමින්



 මා නුඹෙ නොදුටු , දැක ගනු බැරි දයාවී

මා නුඹෙ සිතේ තෙත දුටි පෙම්බරාවි

මා නුඹෙ  නෙතක සෙවනක හිටි කුමාරී

මා නුඹෙ ආදරය දිනු සුන්දරාවී




නුඹ දැක ගන්න දෙනුවන් මදි


මම

සොඳුරු සිත

Tuesday, August 21, 2012

මා ආදර බේබද්දා .... My Lover, The Drunkard,

මා ආදර බේබද්දා .... My Lover, The Drunkard,



“ හාමිනේට කියන්න හාමිනේ , . . . . .  සුරා පොදක් කටේ තියැන්නෑ ඔන්න.. . . . . දුමින් මතින් තොර ඕං, අද කාලෙ පුලුවන් ද ඔය වගේ මිනිස්සු හොයන්න. රත්තරන් මහත්තයා “

“ හැබෑ ද ? “

“ ඕං මං බොරු කියනව නම් අහල පහලින් හොයල බලන්නකො හාමිනේ “

මෙවර කපුමහතා සොයාන ආවේ දුමින් මතින් තොර මනාල මහතෙකි. එනමුදු එයට කෙසේ වත් හිත නොදේ.

මගේ තාත්තා අමද්‍යප නොවේ. හේ බේබද්දෙකු ද නොවේ. වැඩිය කතා නොකරන ඔහුගේ සාමාන්‍ය ජීවන රටාව මදක් තොල ගෑ සුරා බිදකට වෙනස් කළ හැකි වීම ද අපූරුය.

හේ එවිට බොහොම ආදරණිය මිනිසකු බවට පත්වෙයි. දොඩමළු වීමේ නිමක් නොමැති වන්නේ කරදයක් වන තරමටය. ඔහු ආදරයෙන් අප අමතයි. පොත් පෑන් පැන්සල් වැනි මුලීක අවශ්‍යතා හැරුණු විට , බෝණික්කන් , සෙල්ලම් කාර් , ඇඳුම්, චොපර් බයිසිකල්  වැනි විශේෂ අවශ්‍යතා ඉදිරිපත් කිරීමට කදිම වේලාව මෙය බැව් අපි අත්දැකීමෙන්ම දනිමු.



ඔහු බීමත් වී පැමිණි විට ගෙදර දොර බඩු මුට්ටු එහා මෙහා වීමක් , මවගේ කෙස් වැටියෙන් අල්ලා අතේ පයේ හිරි ඇර ගැනීමත් කිසිදු දිනක සිදු වී නොමැත. නමුත් ඔහු මසකට කිහිප දිනක් බීමතින් පැමිණීම නම් අනිවාර්යෙන් සිදුවන දෙයකි.

ඒ මගේ ආදරණිය තාත්තා යි.

අපේ ගමේ ම මගේ පන්තියේම සිටි මනෝරිගෙ පියා බීමතින් පැමිණි විට එය මුළු ගමම දැන ගන්නේ ඈතින්ම ඇහෙන මහා සංගීතයෙනි. හේ ගීත ගායනයේ රුසියෙක් වන්නේ මධුවිත තොල ගෑවිට දීය.

ඒ ගායනය ඇසෙන විටම අපේ ගෙදරට දිව එන මනෝරි රැය පහන් වන තෙක් නැවත නිවසට නොයයි.මනෝරීගෙ මව උයා පිහා ඇති හට්ටි මුට්ටි කෑමත් සමඟින්ම ආකාශ ගත වෙයි. කුණුහරුප පරුෂ වදන් පිට වෙත්ම අම්මා රූපවාහිනියේ හඬ වැඩි කරයි.


“ මම නම් කවදාවත් බොන මිනිහෙක්ව බදින්නෙ නැහැ “ බියෙන් කෝපයෙන් හා ශෝකයෙන් මගේ කාමරයේ කොනක ගුලි වී සිටන මනෝරි මුමුණයි.



ඒ මනෝරිගේ පියා ය.

මට මාමා කෙනෙක් සිටි යේය. හෙතෙම රත්තරන් මිනිහෙක් ලෙස පවුලේ අය අතර ප්‍රසිද්ධ විය. රා ,අරක්කු සුරා පොදක් තියා දුම් වැටියක් වත් නොබොන බොහොම හොඳ මිනිසෙකි. හෙතෙම මාගේ රූබර නැන්දාට ලැබුනේ ඇය කළ පෙර පිනක් නිසා බැව් සැවොම පැවැසූ අයුරු මට මතකය.

නමුදු , කසාඳයෙන් වසර තුන හතරකට පමණ පසු නැන්දාට කුළුඳුලේ ලැබුනු දරුවා මාසයක් වන්නටත් මත්තෙන් මිය යෑමත් සමඟම මගේ මාමා ආ ගිය අතක් සොයා ගැනීමට ද නොහැකි විය.

තද හිත් ඇති රත්තරන් මිනිසා.

ඒ මගේ මාමා ය.

මගේ පිරිමි යහළුවන් පහසුවෙන්ම වර්ග කළ හැකි එකම ආකාරය අමද්‍යප සහ මද්‍යපයි ( මේ චවනය නිවැරදි දැයි නොදනිමි )
ඒ ඇතැමෙකු ප්‍රියසාදයක දී බොන යහළුවන් සමඟ සිටිමින් ඔවුන්ගේ බයිට් එකට වග කියනු මා දැක ඇත.

මගේ එක් පිරිමි අමද්‍යප යහළුවෙකු, මාගේ මිතුරියක සමඟින් තිබූ ප්‍රේම සම්බන්ධය බිඳී ගිය පසු පූර්ණ කාලීන බේබද්දෙකු විය. හෙතෙම බොයි. හොටු පෙරමින් හඬයි. කොල්ලන් ඔහුට බනින්නේ කෙල්ලක නිසා දිවි ය විනාශ කර ගත්තෙකු ලෙසිනි.

එහෙත් , ප්‍රේමයක් බිඳුන කෙල්ලක බේබද්දියක වනු සැබෑ ජීවිතයේ දී තබා චිත්‍රපටයක වත් මා දැක නැත.

බිරිඳගේ රැවුම් ගෙරවුම් මැද්දේ සැඟවී සුරා පොදක් තොල ගාන පිරිමින් මා දැක ඇත. ඔවුන්ට මත් වීමට බොහෝ වෙලා යනවා වන්නට ඇත.

මා ඔහුට පිටු පෑ නිසා ඔහු බේබද්දෙකු වූවොත් වරද මගේ ද ? ගොළු හදවතේ ධම්මිට බේබදු සුගත් ගැන ඇති වූ හැඟීම මට ද ඇති වෙනු ඇත.


දේව් දාස් ආදර්ශයට නොගත යුතු පිරිමියෙ කි. නමුත් කෙල්ලන් ඔහුට ආදරේ කරයි.


ආදරයෙන් මිනිසුන් මත් වේ.


ඇතැමෙකු රාගයෙන් මුසපත් වේ.



නමුත්


තවත් අයකු මුසපත් වන්නේ . . . . . . . . . . .. ?


Monday, August 20, 2012

අම්මා

අම්මා

ගවුමට උඩින් ඇද ගත් වීත්තයේ කොණක් උස්සා ඉනේ ගසා ගත් අම්මා , ඉනට හිරකර ගත් පොල් අතු ටික හැකි වෙර යොදා දියෙන් ගොඩට අදින්නට වූවා ය. පොල් අතු අස්සේ දැවටී ගොඩට එන ඉස්සන් දැකීමට ආසා කළ මම එදෙසට දිව ගියෙ මි.

දැනට දින දෙක තුනකට පෙරාතුව ගං ඉවුරේ උණ පඳුරේ ලණු පොටකින් ගැට ගසා ඟඟට දැමූ පොල් අතු අම්මා ගොඩට අදින්නේ ඒවා පදම් වීමට දුන් කාලය ප්‍රමාණවත් බව අත්දැකීමෙන් දැනගෙන බව මට තේරුම් ගන්නට එවක නොහැකි විය.

" මේ ළමයා. . . . එන්නයි කීවේ ගොඩට. කියන දේ අහන්න කො වස්තුවේ.... "

අම්මා කෑගැසුවත් , ඇයගෙන් මගේ මේ ක්‍රියාවට කිසිවිටක බලවත් විරෝධතා මතු නොවනා බැව් දන්නා මම ඇයගේ වදන් නෑසුනාක් මෙන් ඇය ගොඩට අදිනා පොල් අතු අස්සේ ඔවුන් සොයන්නට වීමි.

නිල් කොට කලිසමේද මඩ ඉහෙන්නට වූවත් අම්මා ගොඩ දාන පොල් අතු අස්සේ ඉන්නා පුංචි ඉස්සො පැටවු අල්ලා උන්ගේ හැඩ බලා ඇති වූ පසු නැවතත් දියඹට අතෑරීම සිතට ප්‍රීතිය ගෙන එන කටයුත්තකි.

අම්මා පොල් අතු සියල්ල ගොඩට ඇද ගත් පසු මගේ සෙල්ලම ද නිමාවට පත් වෙයි. පොල් අතු නිවහන කරගෙන ගැඹුරු දියබට බයෙන්  සිටි ඉස්සො පැටවු දියෙන් පිටට පනිමින් මට ටටා දිදී යන්නට ඇතැයි මට සිතේ.

දිනක් මේ වග පාසලේ දී කියූ විට , පාලිත පැවසු කතාවක් මට සිහිවේ.

" අයියෝ . . .  බොලා හරිම මෝඩයි. යකෝ ඉස්සො ටික අල්ල ගන්න අනිත් දවසෙ භාජනයක් අරන් පලයන්. උයල කෑවම මාර රසයි "

ඉන් පසු දිනේ පාලිත ගේ උපදෙස් ක්‍රියාත්මක කිරිමට ගොස් හොඳ හැටි ගුටි කන්නට මට සිදු විය. කොහෙන් දෝ කඩා ගත් කෝටු වකින් අම්මා " ක්‍රීස් . . !! ක්‍රීස් හඬින් පහර දුන් හැටි සිහිවන විට පවා පිට හිරිවැටී යයි.

" මොකක්ද පවු කාරයෝ ඔය කරන වැඩේ. හිටපන් මම අද උඹට . . . . . "

හවස් වන විට පිටේ ඉලිප්පී ආ තුවාල පහරවල් වල වේදනාව දැනුනේ මට නොවේ ඇයටය. ඇය මා ළඟට ගෙන හඬමින් මගේ පිටේ තෙල් ගෑවෑ ය. අප්‍රමාණ සෙනෙහසින් හිස සිඹිමින් මට දොස් කීවාය. මා වෙනුවෙන්ම රසට පිසූ මූදු මාළු ඇය ඇගේම අතින් අනා මට කැවුවා ය.

" අම්මා . . . . "

" ඇයි මයෙ වස්තුවේ "

" අම්මා . . . . පොල් අතු අස්සෙ ඉන්න ඉස්සො අල්ලල උයල කනේක පවු ද අම්මා "

" ඔවු මයෙ මැණික. ඒකනෙ මම මෙච්චර වෙලා ඔයාට කීවේ රත්තරනේ "

" අම්මා . . . "

" ඔවු මයෙ පුතේ "

" මූදෙ මාළු උයල කන්න පවු නැත . . . . . .! ! ! "

" හා හා . . . . පණ්ඩිත කතා නවතලා. . .  මේ බත් කට කන්න "

එදා සිට තවමත් මා ඇගේ පසු පසින් පොල් අතු ගොඩ දෑමට ගඟට ගියත් , පාලිතගේ උපදෙස් නම් පිළිපැදීමට නොගියෙ මි.

අම්මාගේ අමාරුවෙන් පොල් අත්තක් ඉල්ලා ගන්නා මා ඇයත් සමඟින් ද , විටෙක ඇය පසු කර වේගයෙන් දුවමින්  ද , තවත් විටෙක ඇයට පිටුපසින් ද ඇගේ අඩි පාරේම පොල් අත්ත ඇද ගෙන යමි.

" මොන ද ළමයෝ . . . . . ! ! ! ! කිවුවම අහන්න මැණික.ඔයාට බෑ ඕවා.

පොල් අතු සියල්ල ගේ මිදුලට රැගෙන ආ පසු ඇය පොල් අතු බිම දෑමීමටත් ප්‍රථමයෙන් මා ගෙනා පොල් අත්ත මඟ දමා මහ ගෙයට පිටින් ඇති මැටි කුස්සිය තුලට දුවන මා මන්නා පිහිය රැගෙන විත් ඇය ට දෙන්නේ , ඇයට මා කරනා උපකාරයක් ලෙසිනි.

" මන්නෙත් එක්ක දුවන්නෙපා ළමයො. කොච්චර කීවත් වැඩක් නැහැ. නපුරු තැනක වැදුනොත් කාට කියන්නෙයි "

ඇය එසේ කීවත් මා හතිදමමින් දිව විත්  අම්මාගේ අතේ තබන මන්නා පිහිය ඇය ගන්නේ මගේ හිස ද අතගාමිනි.

ඇය මන්නා පිහියෙන් පොල් අත්ත සීරුවෙන් දෙකට බෙදන්නී ය. පොල් අත්ත මුල සිට අග තෙක් කිසිදු එහා මෙහා වීමක් නොමැති ව ඇය එය සිදු කරනා සැටි බලා සිටින්නට හරිම අගේ ඇති වැඩකි.

ඉන්පසු ගේ මිදුලේ ‍පසු පසට වන්නට සෙවන තැනක් සොයා ගන්නා අම්මා , ඇණ ගසා ගෙන බිම වාඩි වෙන්නේ අපූරු ලතාවකටය. ඇගේ එක් කකුලකට සිරවෙන පොල් අත්ත මැසිමක මෙන් සීරුවට ඇගේ දකුණු පස සිට වම් පසට යයි. ඇගේ ඇඟිලි සීරුවට එහා මෙහා යයි. විටෙක පොල් කොළයක් කඩා විසි කරන ඇය තවත් විටෙක මට කියා වෙනත් අත්තකින් ‍කඩා ගන්නා පොල් කොලයක් එයට අමුණයි.

ඇය වියනා පොල් ‍අතු, ඇය මෙන්ම පිරිපුන්ය , හැඩය ලස්සනය. පොල් අත්ත පිරී එන රටාව ඇය ගේ වත මෙන්ම සුන්දරය.

ඇගේ මුහුණට වැටී ඇති කෙස් රොදවල් ඉවත් කිරිමටවත් ඉසිඹුවක් නොගන්නා ඇය දිගටම වියයි. මා ඇගේ දෑස මානයේ පෙනෙන්නට සිටිනවාදැයි බැලීමට පමණක් විටින් විට හිස ඔසවන ඇය ,දෑතේ ඇගිලි වලට නිවාඩුක් නොදෙයි.

ඇගේ අතින් නිමාවට පත්වන පොල් අත්තක් , ඇය මට හඩ ගසා බාර දෙයි.

" පුතේ. . . .  මැණික. . . . මෙන්න මේකත් අර අව්ව තියන පැත්තට ගිහින් දාන්න ළමයෝ "

ඇය ඉන්නා සෙවන ඉරු රැස් විසින් අරක් ගන්නා විට දී කොන්දට අත තියා මදක් පසුපසට නැමෙන ඇය

" හම්මේ . . . . . ! ! ! "  යැයි හඩ නගමින් මා දෙස සිනා සී බලයි.

" මයෙ පුතාට බඩගිනි ද "  ඇය අසයි. ඇගේ දෑසේ කරුණාව උතුරයි.

නැගී සිටිනා ඇය , මා අව්වට දැමු ,ඇය වියූ පොල් අතු නැවතත් පිරික්සා බලයි.

ඉන් පසු කුස්සියට වදින අම්මා . . . .  ලොව ඇති රසතම කෑම මා වෙනුවෙන් පිසින්නී ය.

නමුත්  . . . .

අම්මා වැන්නවුන් පමණක් සිටිනා ලෝකයක් නොවේ මෙය. . . . . . .


හමුවෙමු තවත් දවසක ......


මම

සොඳුරු සිත


ප:ලි,-  මා ඊයේ ඉතාම දරුණු ලෙස ඇය සමඟ අමනාප වූයෙ මි. මේ ඇය වෙනුවෙන් ම‍ගේ සිතින් සමාව අයදිමක් දෝ සිතෙයි.

Wednesday, August 15, 2012

යසෝදරා


යසෝදරා


මේ ළඟ දි දවසක අහම්බයෙන් මම ගමට ගියා. ඒ වෙලාවෙ දි මට හමුවුනා මයෙ යාළුවෙක්ගෙ පාසල් කාලයේ පෙම්වතියක්.....

ඉතින් . . . .

මේ ඇය ගැනයි . . . .




යසෝදරාවක් වෙන්නට සිටි
ඇය මතකද නුඹට

අහම්බයෙන්
ළඟ දවසක
මුණ ගැහැනා මට ද

නුඹ ගැන
නුඹෙ යහගුණ ගැන
ගුණ ගැයුවා ඇය ම

නුඹෙ හැඩ නිල
පෙර වාගෙ ද
ඇසුවා හීනියට

ඇය ළඟ සුරැකිව තිබුනා
පැරණි රුවක් නුඹගේ

පපුවට එය තුරුළු කරන්
හිනා වුනා එයා

මම දැක්කා
ඇය හංගපු කඳුළු බිඳක් පවා
හරවපු ඇස් දෙක පල්ලෙන්
රූටාගෙන ගියා

නුඹ ගැන නුඹෙ
දුක සැප ගැන
විමසුව හැටි එයා

නුඹ තනිකඩ නැති වග දැන
තිගැස්සුනත් එයා

දරුවන් දෙදෙනගෙ වග දැන
සිනාසුනා එයා

පාළු ගෙදර බිඳුනු වහලෙ
හිරු කිරණක් ලෙසට
නුඹට එන්ට ඉඩ දෙන බව
ඇය කීවා මට ද

ඇය සතුටින් සිටිනා වග
සැල කරන්න නුඹට
ඇය මා අත ඇගෙ නලලත
දිවුරා පැවසුව ද

ඉස්සර මෙන් ඇය ලස්සන
නැති බව මම දුටිමි

එනමුදු ඇගෙ සිත තුල
නුඹ සිටිනා හැටි දුටිමි

අද නුඹ නොව
පෙරදා නුඹ
ඇගෙ සිහිනය තුලයි

යන්න එපා ඇය බලන්න
ඇගෙ සිහිනය බිඳෙයි
ඇගේ කතාව
ඔහුට කීව
මම
෴ සොසී ෴

Friday, August 3, 2012

විසංයෝගය / Separation



විසංයෝගය / Separation




දැකලා ජනේලෙන් පෙර
එක් දිනක උදේ
කුරුලෙක් මගෙ ළඟටම විත්
නතර වුනේ

ඇයි දෝ සෝකයෙන්
ළමයෝ දෑස නුඹේ
සතුටින් තබන්නම්
ගීයක් ගයා මෙසේ

ඉන් පසු සෑම දින
කවුළුව ළඟට වෙලා
කුරුලා පියාඹා එනකම්
සිටිය බලා


පියඹන් ඇවිත්
මයෙ හිත ළඟ
නතර වෙලා
ගැයුවා ගීත ජීවිත රස
මෙයයි කියා


විඳිනට තිබෙන්නේ
මේ ජීවිතය මට
විඳවන්නෙ ඇයි ද
කියලා සදා සිත

සනසා නිවා
ප්‍රේමයෙ ගී ගයා සොඳ
තැබුවා තුටින්
දුක පා වී ගියා දුර


ඊයේ පෙරේදා සිට
නැහැ දකිණු එයා
අවසන් වතාවට
ගීයක් ගයමු කියා


කෙතරම් සිටීයත්
කවුළුව ළඟට වෙලා
කුරුලා නැතේ
පෙනෙනා මානයට මෙහා


කිරිලිය පැටවු
සමඟින් කූඩුවට වෙලා
සිටිනා බවට
පණිවිඩයක් ලියා තියා

අවසන් ගීය ගැයුමට
ආදරෙයි කියා
තනුවක් නැතේ
තව මම කවුළුව ළඟට වෙලා


කොහෙ සිටන් ආවදෝ
නැත සිත දන්නේ
කොයිබින් ආවමුත්
සිත පුරවන් ඇත්තේ


දුන් දේ රසයි
ආදරයෙන් විඳගත්තේ
නොදුනට දෙයක්
සිත තරහක් හෙම නැත්තේ

කිරිලිය පැටවු සමඟින්
නිති සැතපෙන්න
ඉදලා හිටල හෝ
ගීයක් මුමුණන්න


ඈතින් ඉදන් වත්
ආසයි දැක ගන්න
කවුළුවෙ පියන් පත්
නොවසමි දැන ගන්න



ඇඩ්රස් නැති කුරුල්ලෙක්ට
පෙම් කරපු
මම
෴ සොඳුරු ෴

Thursday, August 2, 2012

ස්තූතියි සයිමන්

තේරුම් ගන්න බැරි ගෑනු :-

“වෙනස් වෙනවා ඔයා.......තප්පරෙන් තප්පරේට හරියට අහස වගේ. අහස තව හොඳ වැඩියි.හරියට මුහුද වගේ.කොයි වෙලේ මහ රැළ්ලක් එයි ද කියලා කියන්න බැහැ.“


 “ ම් ම් ම් . . . . .  අනෙ මන් දා “

 “ දැන් හිනා වෙලා හරි ආදරයෙන් ඉන්න ඔයා , මම අර එහා බංකුවෙ ඉන්න මනුස්සය දිහා බලල මේ පැත්ත බලන ටිකට වෙනස් වෙනවා. ගෙදර යන්න ඕනි වෙනවා. මාව රුස්සන්නෙ නැති වෙනවා. අර ආදරේ කොහෙන් ගියා ද මන්දා. කොහොම ද ඔයා මේ තරම් ඉක්මනට වෙනස් වෙන්නේ “

 “ ම් ම් ම් ම් . . . . මන්දා “

 “ මන්දා නෙමෙයි . ඔයා . . කෙනෙක් උමතු කරන තරම් ආදරයක් දීලා ඊළඟ මොහොතෙ ඔහොම වෙනස් වෙන්නෙ කොහොම ද? මට හිතෙන්නෙ ඔයා මහම ම මහ ආත්මාර්ථකාමී ගෑනියෙක්. තමන්ට ඕනි වෙලාවට විතරයි.අනිත් වෙලාවට ඔයා අනිත් මනුස්සයව ශත පහකට ගනන් ගන්නෙ නැහැ.ඒත් ඔයා දන්නෙ නැහැ ඔයා එහෙම කරන්නෙ ඒ මනුස්සයව හැරෙන්න බැරි තරම් දුරක් ගෙනල්ලා කියලා “
 “ ඉතින් මං . . . . .  වරදක් කරල නැහැ .ඔයාට මිස වෙන කාටවත් ...........“

 “ ඇති ඇති හොඳටෝම ඇති. මට තවත් දරන්න බැහැ. අපි වෙන් වෙමු “


 
--------------------------------------

මගේ කණ්නාඩිය





එයා නොදන්නවට එයත් වෙනස් වෙලා. එයා නම් කියන්නේ “ මම ඉස්සර වගේමයි “ කියලා.ඒත් එයාට ඒක දකින්න බැහැ. මොකද එයා හැමදාම මූන බලන්නෙ එයාගෙම කණ්නාඩියෙන් නිසා.
 

දවසක ඇවිත් මයෙ කණ්නාඩියෙන් මූන බලන්න.එතකොට ඔයාට තේරේවි නොවෙනස් වෙන ඔයාත් කොයි තරම් නම් වෙනස් වෙලා ද කියලා.

 
-----------------------------------



හරි . .. .  මිනිස්සු වෙනස් වෙනවා. තනිවෙනවා.හුදකලා වෙනවා. ඒත් විනෝදාංශ ගොඩාක් තියෙන කෙනෙක් කවදාවත් හුදකලා වෙන්නෙ නැහැ.

හිත හදාගන්න ක්‍රම තියෙනවා.කවි ලියන්න පුලුවන් කෙනා කවි ලියනවා. කතා ලියනවා. පින්තූර ගන්නවා.පොත් කියවනවා. කොයි මොක කරත් සින්දු අහන්න නම් යන්නෙපා. සින්දු අහනව නම් අහන්න කණ් බීරි කරවන Metal Music .



හිත හැදෙන්න කියලා විරහ ගීත අහන් මනෝ ගහන් හිටියම  හිත තව තව පෑරෙනවා. දුක ඇස් වලින් බේරෙනවා.

 

හරි .....ඔන්න මේ දවස් වල මම ආයෙමත් නවතපු විනෝදාංශයක් පටන් අරන්. ගිය වර තකහනියක් කොළඹ ගිහින් පොත් ප්‍රදර්ශණයෙන් ගතපු පොත් තුනක් තවමත් බලල නැහැ. ඒවා මොකට ගත්ත ද කියල දැන් හිතෙනවා. ( ගෑණු වෙනස් වෙනවා )


 

අද මම කියෙව්වෙ , කියවමින් ඉන්නේ මට සාහිත්‍ය තරඟෙකින් තෑග්ගකට හම්බුනු පොතක්......... 


 
--------------------------------------


“ ඔහුගේ කතාව “ - සයිමන් නවවත්තේගම




“ සෝමා ඈතින් ජීවත් වූ කාලයේ ඈ නොදැක මොහොතක් මා ගත කළේ කොතරම් වේදනාවකින් ද? ඒ උනාත් අපි දෙන්නට එකට ජීවත් වෙන්ට ලැබුණුදා ඉදලා ටිකෙන් ටික මා තුළ වූ ඇල්ම නැති උණේ කෙසේදැයි ප්‍රෙහ්ළිකාවක් “

“ එයාගෙ නම මම දන්නෙ නෑ.මම ඈව ඇමතුවේ ලිලී කියලා.ලිලී දුප්පත්කම නිසා ඇගේ ලස්සන විකුණලා ජීවත් උණ කෙනෙක්. නමුත් මා හමු උණායින් පස්සෙ  ඒ ජීවිතේ අත්හැරියා.ලිලී නිසා මගෙ ජීවිතේ තවත් වෙනස් වුනා.ජීවිතේ එපා වී සිටි මට ඈ  නිසා ලැබුණු සැනසීම “

“ මට සෝමෙගෙන් විතර ලිලීගෙන් සැප පහසුකම් ලැබුනෙ නැහැ. සෝමා වගේ ලිලී මට ඇප උපස්ථාන කළෙත් නැහැ. මා කට ගොන්නක් බීගෙන යනවා , ලිලීගෙ ගෙදර - ඒ දවස්වල මෙහෙම සිහියෙන් කතා කරන්නවත් බෑ මට බීපුහාම - ඉතින් වැනි වැනී මම යන්නේ ඇගේ ගෙදර.ගියාම ලිලී මගේ හිස උකුළෙ තියාගෙන හිස පිරිමැද ඔහේ මොනව හරි කියනවා.නැත්තම් ඇගේ සුදුමැලි මුහුණ මගේ මුහුණට පහත් කරගෙන ,ඇගේ කඳුළු පිරුණු ඇස් දෙකෙන් මගේ දිහා බලාගෙන ඉන්නවා.මට එහෙම උන්නැකි සුමාන ගණනක් බඩගින්නෙ උණත්.නමුත් සෝමා මැරීගෙන කරන  උපස්ථාන මට මහා කරදරයක් “


 
------------------------------------



පොත පැත්තකින් තියන්න ලෝබ හිතුනු මම , පොතට උඩින් ඉස්සිලා බිත්තියෙ එල්ලිලා තියෙන ඔහුගෙ තෙවන ඇසින් ගත්ත ඊ-මෙල් වෙලා මගෙ ලගට ඇවිත් ප්‍රින්ට් වෙලා බිත්තියෙ එල්ලිලා තියෙන , දැන් ටිකකට කලින් අල්ලල පොලවෙ ගහන්න හිතුන ලස්සන පින්තූර දෙක දිහා බැලුවෙ හරිම ආදරෙන්.

තනිවෙච්චි ලස්සන ලොකු ගෙයක් එක පින්තූරෙකත් , තාරාවො වගේ සත්තු ජාතියක් පීන පීන හිටපු වැවක තිබ්බ අනිත් පින්තූරෙත් මම දැක්කෙ ඔහුගෙ ලස්සන හිත වගේ.......

මම ආයෙමත් එක සැරයක් පින්තූරත් එක්ක හිනා වෙලා , ආපහු පොතට එඹුනා.


ස්තූතියි සයිමන් ..............!!!!!!

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...