අම්මා
ගවුමට උඩින් ඇද ගත් වීත්තයේ කොණක් උස්සා ඉනේ ගසා ගත් අම්මා , ඉනට හිරකර ගත් පොල් අතු ටික හැකි වෙර යොදා දියෙන් ගොඩට අදින්නට වූවා ය. පොල් අතු අස්සේ දැවටී ගොඩට එන ඉස්සන් දැකීමට ආසා කළ මම එදෙසට දිව ගියෙ මි.
දැනට දින දෙක තුනකට පෙරාතුව ගං ඉවුරේ උණ පඳුරේ ලණු පොටකින් ගැට ගසා ඟඟට දැමූ පොල් අතු අම්මා ගොඩට අදින්නේ ඒවා පදම් වීමට දුන් කාලය ප්රමාණවත් බව අත්දැකීමෙන් දැනගෙන බව මට තේරුම් ගන්නට එවක නොහැකි විය.
" මේ ළමයා. . . . එන්නයි කීවේ ගොඩට. කියන දේ අහන්න කො වස්තුවේ.... "
අම්මා කෑගැසුවත් , ඇයගෙන් මගේ මේ ක්රියාවට කිසිවිටක බලවත් විරෝධතා මතු නොවනා බැව් දන්නා මම ඇයගේ වදන් නෑසුනාක් මෙන් ඇය ගොඩට අදිනා පොල් අතු අස්සේ ඔවුන් සොයන්නට වීමි.
නිල් කොට කලිසමේද මඩ ඉහෙන්නට වූවත් අම්මා ගොඩ දාන පොල් අතු අස්සේ ඉන්නා පුංචි ඉස්සො පැටවු අල්ලා උන්ගේ හැඩ බලා ඇති වූ පසු නැවතත් දියඹට අතෑරීම සිතට ප්රීතිය ගෙන එන කටයුත්තකි.
අම්මා පොල් අතු සියල්ල ගොඩට ඇද ගත් පසු මගේ සෙල්ලම ද නිමාවට පත් වෙයි. පොල් අතු නිවහන කරගෙන ගැඹුරු දියබට බයෙන් සිටි ඉස්සො පැටවු දියෙන් පිටට පනිමින් මට ටටා දිදී යන්නට ඇතැයි මට සිතේ.
දිනක් මේ වග පාසලේ දී කියූ විට , පාලිත පැවසු කතාවක් මට සිහිවේ.
" අයියෝ . . . බොලා හරිම මෝඩයි. යකෝ ඉස්සො ටික අල්ල ගන්න අනිත් දවසෙ භාජනයක් අරන් පලයන්. උයල කෑවම මාර රසයි "
ඉන් පසු දිනේ පාලිත ගේ උපදෙස් ක්රියාත්මක කිරිමට ගොස් හොඳ හැටි ගුටි කන්නට මට සිදු විය. කොහෙන් දෝ කඩා ගත් කෝටු වකින් අම්මා " ක්රීස් . . !! ක්රීස් හඬින් පහර දුන් හැටි සිහිවන විට පවා පිට හිරිවැටී යයි.
" මොකක්ද පවු කාරයෝ ඔය කරන වැඩේ. හිටපන් මම අද උඹට . . . . . "
හවස් වන විට පිටේ ඉලිප්පී ආ තුවාල පහරවල් වල වේදනාව දැනුනේ මට නොවේ ඇයටය. ඇය මා ළඟට ගෙන හඬමින් මගේ පිටේ තෙල් ගෑවෑ ය. අප්රමාණ සෙනෙහසින් හිස සිඹිමින් මට දොස් කීවාය. මා වෙනුවෙන්ම රසට පිසූ මූදු මාළු ඇය ඇගේම අතින් අනා මට කැවුවා ය.
" අම්මා . . . . "
" ඇයි මයෙ වස්තුවේ "
" අම්මා . . . . පොල් අතු අස්සෙ ඉන්න ඉස්සො අල්ලල උයල කනේක පවු ද අම්මා "
" ඔවු මයෙ මැණික. ඒකනෙ මම මෙච්චර වෙලා ඔයාට කීවේ රත්තරනේ "
" අම්මා . . . "
" ඔවු මයෙ පුතේ "
" මූදෙ මාළු උයල කන්න පවු නැත . . . . . .! ! ! "
" හා හා . . . . පණ්ඩිත කතා නවතලා. . . මේ බත් කට කන්න "
එදා සිට තවමත් මා ඇගේ පසු පසින් පොල් අතු ගොඩ දෑමට ගඟට ගියත් , පාලිතගේ උපදෙස් නම් පිළිපැදීමට නොගියෙ මි.
අම්මාගේ අමාරුවෙන් පොල් අත්තක් ඉල්ලා ගන්නා මා ඇයත් සමඟින් ද , විටෙක ඇය පසු කර වේගයෙන් දුවමින් ද , තවත් විටෙක ඇයට පිටුපසින් ද ඇගේ අඩි පාරේම පොල් අත්ත ඇද ගෙන යමි.
" මොන ද ළමයෝ . . . . . ! ! ! ! කිවුවම අහන්න මැණික.ඔයාට බෑ ඕවා.
පොල් අතු සියල්ල ගේ මිදුලට රැගෙන ආ පසු ඇය පොල් අතු බිම දෑමීමටත් ප්රථමයෙන් මා ගෙනා පොල් අත්ත මඟ දමා මහ ගෙයට පිටින් ඇති මැටි කුස්සිය තුලට දුවන මා මන්නා පිහිය රැගෙන විත් ඇය ට දෙන්නේ , ඇයට මා කරනා උපකාරයක් ලෙසිනි.
" මන්නෙත් එක්ක දුවන්නෙපා ළමයො. කොච්චර කීවත් වැඩක් නැහැ. නපුරු තැනක වැදුනොත් කාට කියන්නෙයි "
ඇය එසේ කීවත් මා හතිදමමින් දිව විත් අම්මාගේ අතේ තබන මන්නා පිහිය ඇය ගන්නේ මගේ හිස ද අතගාමිනි.
ඇය මන්නා පිහියෙන් පොල් අත්ත සීරුවෙන් දෙකට බෙදන්නී ය. පොල් අත්ත මුල සිට අග තෙක් කිසිදු එහා මෙහා වීමක් නොමැති ව ඇය එය සිදු කරනා සැටි බලා සිටින්නට හරිම අගේ ඇති වැඩකි.
ඉන්පසු ගේ මිදුලේ පසු පසට වන්නට සෙවන තැනක් සොයා ගන්නා අම්මා , ඇණ ගසා ගෙන බිම වාඩි වෙන්නේ අපූරු ලතාවකටය. ඇගේ එක් කකුලකට සිරවෙන පොල් අත්ත මැසිමක මෙන් සීරුවට ඇගේ දකුණු පස සිට වම් පසට යයි. ඇගේ ඇඟිලි සීරුවට එහා මෙහා යයි. විටෙක පොල් කොළයක් කඩා විසි කරන ඇය තවත් විටෙක මට කියා වෙනත් අත්තකින් කඩා ගන්නා පොල් කොලයක් එයට අමුණයි.
ඇය වියනා පොල් අතු, ඇය මෙන්ම පිරිපුන්ය , හැඩය ලස්සනය. පොල් අත්ත පිරී එන රටාව ඇය ගේ වත මෙන්ම සුන්දරය.
ඇගේ මුහුණට වැටී ඇති කෙස් රොදවල් ඉවත් කිරිමටවත් ඉසිඹුවක් නොගන්නා ඇය දිගටම වියයි. මා ඇගේ දෑස මානයේ පෙනෙන්නට සිටිනවාදැයි බැලීමට පමණක් විටින් විට හිස ඔසවන ඇය ,දෑතේ ඇගිලි වලට නිවාඩුක් නොදෙයි.
ඇගේ අතින් නිමාවට පත්වන පොල් අත්තක් , ඇය මට හඩ ගසා බාර දෙයි.
" පුතේ. . . . මැණික. . . . මෙන්න මේකත් අර අව්ව තියන පැත්තට ගිහින් දාන්න ළමයෝ "
ඇය ඉන්නා සෙවන ඉරු රැස් විසින් අරක් ගන්නා විට දී කොන්දට අත තියා මදක් පසුපසට නැමෙන ඇය
" හම්මේ . . . . . ! ! ! " යැයි හඩ නගමින් මා දෙස සිනා සී බලයි.
" මයෙ පුතාට බඩගිනි ද " ඇය අසයි. ඇගේ දෑසේ කරුණාව උතුරයි.
නැගී සිටිනා ඇය , මා අව්වට දැමු ,ඇය වියූ පොල් අතු නැවතත් පිරික්සා බලයි.
ඉන් පසු කුස්සියට වදින අම්මා . . . . ලොව ඇති රසතම කෑම මා වෙනුවෙන් පිසින්නී ය.
නමුත් . . . .
අම්මා වැන්නවුන් පමණක් සිටිනා ලෝකයක් නොවේ මෙය. . . . . . .
හමුවෙමු තවත් දවසක ......
මම
සොඳුරු සිත
ප:ලි,- මා ඊයේ ඉතාම දරුණු ලෙස ඇය සමඟ අමනාප වූයෙ මි. මේ ඇය වෙනුවෙන් මගේ සිතින් සමාව අයදිමක් දෝ සිතෙයි.