මනාලයා
සෙනඟ සූ ගාලා.වෙනදට මුලු බස් එකටම ඉන්නේ ඩ්රයිවරුයි කොන්දොස්තරයි හැරුනම මඟීන් පස්හය දෙනෙක් විතරයි.බස් එකේ පාපුවරුවෙ හිටිය සෙනඟ දැක්ක අනුත්තරා බස් එකට ගොඩ වෙන බලාපොරොත්තුව අතෑරගෙන ද කොහෙ ද බස් රථයෙන් එහාට වෙනව දැකපු කොන්දොස්තර කොලුවා.
" එන්න එන්න . . . කොහොම හරි නගින්න. මෙයාල මගින් බහිනවා. නගින්න නගින්න . කෝ අයිසෙ ඉස්සරහට යනවකො. කොච්චර ඉඩ තියනව ද? හැමදාම යන අය මග දාලා යන්න බෑනේ. ඔය මල්ලි පොඩ්ඩක් ඉස්සරහට වෙන්න "
කොන්දොස්තර මල්ලිගෙ සත්ව කරුණාවට පිං්සිද්ධ වෙන්න ඇගිල්ලක් වත් ගහන්න බැරි බස් එකේ පාපුවරුවට යන්තම් ගොඩ වුනු අනුත්තරා ට තමන්ගෙ සුන්දර ශරීරයේ සමබරතාවය රැක ගන්න නම් පුංචි සටනක් කරන්නම උනා.
" මිස් උඩට එන්න , ඔය මිස්ට උඩට එන්න ඉඩ දෙන්න.මොනා ද අප්පා දෙවුන්දර දේවාලෙ හොරු අරන් යයි වගේ නෙ තමුසෙලා ෆුට් බෝඩ් එකෙ එල්ලිලා ඉන්නේ. එතන තමා මේ ඔක්කම බහින්නෙ "
කොන්දස්තරගෙ කන්දොස්කිරියාවත් , මඟීන්ගෙ මැසිවිල්ලත් අනුත්තරාගේ හිතට ගෙනාවේ අපහසුතාවයක්.

අනුත්තරා....... ඇය ලස්සන බේරෙන තරුණියක් නොවුනත්, එක පාරක් දැකපු කෙනෙක්ට අමතක නොවන විදිහෙ සුන්දර තරුණියක්.ඇත්තම කියනව නම් ඇය තම ජීවිතයෙ තරුණවියේ අන්තිම කොණක අමාරුවෙන් එල්ලිලා හිටියා.මුද්දක් නැති වම් අත ඇයව හැමදාමත් අපහසුතාවයට පත් කරා.ඒත් ඇය දිගටම උත්සාහ කරේ පාපුවරුවෙන් උඩට එන්න.
පාපුවරුවේ ඉහලම පඩියට යන්තමින් ගොඩ වෙච්චි අනුත්තරා බසය මඟී නැවතුමක නවත්තද්දිත් ආපහු ගමාරම්භ කරත්දිත් මුහුණ පාන්න වුනේ දැඩි අසීරුවකට. ඇතැමෙක් දඩිබියේ බැස ගියේ ඇගේ සාරිපොටත් අරගෙනමයි.ඒ අස්සෙම කවුදෝ කෙනෙක් ඇගේ උරහිසට තට්ටුවක් දානව දැනුන අනුත්තරා උහිසට උඩින් වමට හිස හරවලා , තමන්ගේ චීන ඇස් දෙක තවත් ටිකක් හීනි කරල තට්ටු දාපු කෙනා දිහා කවුද කියල බැලුවා.
ඇස් දෙකෙන් හිනා වෙන ගමන්ම ඇය දිහා බලාන හිටියෙ හොඳ තරුණ වයසෙ පිරිමි කෙනෙක්.
" මිස් මෙහාට වෙන්න. ඔතන ඉන්න බෑනේ "
ඇය තමා දිහා ප්රශ්ණාර්ථයක් නඟාන බලාන ඉන්න බව දැකපු තරුණයා ඔහු හිටපු තැනින් එහාට වෙලා ඇයට ඉඩ දුන්නා.
තප්පරයක් දෙකක් දෙගිඩියාවෙන් හිටපු අනුත්තරා , දන්නෙම නැතිව ඔහු හදල දීපු ඉඩ ගොඩට තල්ලු වෙලා යද්දි අනුත්තරා කල්පනා කලේ තමා මේ තරුණාව කොහේ දි හරි දැකල තියෙන බවයි.
ඒත් . . . . ඒ කොහේදීද කියල ඇයට හරි නිනව්වක් නැති වුනා.බස් එකේ පිටුපස දොර අසලම නිසා එතන සද්දෙ බොහොම වැඩි නිසා ද කොහද අනුන්තරාට සිහින් හිස කැක්කුමකුත් දැනෙමින් තිබුනා. බස් එකේ බෆල් අතරින් රිංගලා ආපු බස් අජිත් කියන එක සින්දුවක් වත් හරියට ඇහ්නෙ නැති අතරේ අනුත්තරා තව තවත් කල්පනා කළේ මේ තරුණයාව තමන් මීට කලින් දුටුවෙ කොහෙ දී ද කියලයි.
හැම බස් නැවතුමකම නතර කරමින් ගියපු බස් රථය පිම්මේ යන්න පටන් ගත්තෙත් මේ වෙලාවෙදීම තමා. අනුත්තරා හිස ඔසවලා මදි ටිකට කකුල් වලිනුත් එසවිලා පොදියට ඉන්න මනුස්ස හිස් අතරින් බසයේ පිටු පස වීදුරුව දිහා බැලුවා. ඇගේ නිගමනය හරි ගිය නිසාද කොහෙ ද ඇගේ මූණට හීනි හිනාවකුත් එකතු වුනා.
අනුත්තරා යන බස් එක පිටුපසින්ම තවත් බස් එකක් එලවා ගෙන එමින් හිටියා.එය අනුත්තරාගේ හිතට ගෙනාවේ සතුටක්. ඇය කවදත් අධික වේගය ප්රිය කරා.ඒත් එක පාරටම.......................................
.............................බ්රාස්ස්ස්ස්ස ........................................ ක්රාස් ...................
අනුත්තරා ඇදිල ගිහින් නැවතිලා තිබ්බෙ තමාට ඉඩ කඩ හදල දුන්න තරුණයාගේ කරේ.
" පිස්සු යක්කු "
" මුන්ට ඕනි පියාඹන්න "
" නිකරුනේ මැරෙන්න බෑ අපට "
" පොල් පටවන වගේ ඒ මදිවට රේස් යන්නත් ...."
" මුගේ අ............... "
තරහ ගිය මඟීන් කෑගහද්දි , බස් එක ආයෙත් ගමන් ඇරඹූවා. ඒත් තවමත් අනුත්තරා අර තරුණයාගේ කරේ.
" මේවාට තමා කරේ නඟිනව කියන්නේ "
ළඟ හිටපු දාසයක විතර පැඟිරි කොල්ලෙක් කියද්දි අනුන්තරා උත්සාහ ගත්තේ තම කකුල් වල ශක්තියෙන් තනියෙන් හිට ගන්න.
ඇගේ අත මුදා ගනිද්දි ඇයට එකවරම කැක්කුමක් දැනුනා.
බසයේ උඩ තිරස් අතට දිවෙන පොල්ලෙ එල්ලිලා තිබ්බ කොක්ක එල්ලිලා ආපු අනුත්තරාගේ අත ඇඹරිලා ගිහින් ද කොහෙද රතු වෙලා ඉදිමෙමින් තිබුනා.
කලබල වෙච්චි තරුණයා, වැටෙන්න ගිය අනුත්තරාව අල්ල ගත්තෙ ඇගේ බද වටා අතයවන ගමන්. සාරියකින් සැරසිලා හිටපු ඇගේ ඇගේ උණුසුම ඔහුගෙ අතට හොඳින්ම දැනෙන්න ඇති.
෴ මතු සම්බන්ධයි ෴