..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, July 31, 2012

මගේ මළ ගම දා

මගේ මළ ගම දා


හොඳට පොලිශ් කරපු
ඇත් දළ ජෝඩුව
සැපට කුෂන් කරපු
ගණන් වැඩි මිනී දෙණ
එපා අම්මෙ මට
මුදල් හිඟ නොවෙ ද

අඩා වැලපෙන නුඹේ
අසනීප වැඩි වේවී
තියා ගනු බෙහෙත් ගනු
පිණිස ඕනෑ වේවි

දුරකතන පොත බලා
මයෙ හෑන්ඩ් ෆෝනයේ
සැමටම කියා දෙන්න
මගෙ මරණ පණිවිඩේ

මල් වඩම් සුදු පාට
ගෙනාවට කම් නැතේ
මගෙ දෙණ ගාවින්ම
සුවඳ විහිදනු ඇතේ

බැනර් කවි සෝක වැකි
ලියා එල්ලනු ඇතේ
එපා දැක වැලපෙන්න
සෝක වැකි හිත නැතේ

මතක බණ පොඩි නමට
කියන්නට කියාපන්
මගේ නම කොළේකත්
ලියාලම තියාපන්
හැමදාම පන්සලේ
හමුවෙලා තිබුනාට
මයේ නම ගම වයස
පොඩි නමට මතක නෑ
හැමදාම කිවේ මට
අනුන්ගේ නම් තමයි

මගේ යහළුවන් සහ
හිතවතුන් පැමිණේවි
ගුණ ගයා නෙතු කඳුළු
බිඳක් දී සමුදේවි
අඬන්නට නම් එපා
මගේ අම්මේ ඉතින්
කියන තරමට මගේ
හොඳ ක් නැහැ තේරේවි

අමතකම වුනා මට
මනමාලි වෙන්න බැහැ
එපා මට මල් පොකුරු
සාරි හෙම අන්දන්න
ඔහු නැතිව මනාලිය
වෙන්න නම් බැහැ ඉතින්

දාලා යනු බැරි දෙයක්
ඇත්තෙ තිං නුඹ තමයි (අම්මේ)
මට සමාවෙනු ඉතින්
දුන්න දුක බෝ තමයි

පැන් වඩන විට නුඹේ
අත ගැස්සිලා යාවි
හිත දිරිය ගන්න නුඹ
කඳුළු පැන් බේරේවි

පමා වී මළ ගමට
අයෙක් දුර ඉද ඒවී
මගේ පෙම්බරා බව
ඔහු දෑස පවසාවී

පාලු අරලිය සෙවනෙ
මා වැලලු තැන දෙසට
ඇඟිලි දිගු කරනු නුඹ
ඔහු ඒවි මා ඉමට

එපා දොස් කියන්නට          

ඔහු සිතෙත් දුක බොහොයි
මරණයෙන් සමු නොගමි
සසර ඉම  තව දිගුයි

Saturday, July 28, 2012

පැටලුම

පැටලුම



ලිහා ගන්නට පැටලුමක් නැති මුත්
දිහා බැලුවම පැටෙලෙනව මගෙ නෙත්
දමා යන්නට නොහැකි මට නුඹ වත්
දරා ඉමු අපි සෙනෙහෙ සිත සිරිමත්






ගෙවී යන දින දිනේ වී වියපත්
මැවී නොපෙනී යාවි දෝ නුඹ නෙත්
සදා ඉදිනට පෙම්වතුන් වී වත්
මැකී යන්නට එපා මතකෙන් මත්





Thursday, July 26, 2012

සමාවෙන්න මට

================
සමාවෙන්න මට
=============



මුහුදේ රැළි ගැනලා
යන එන අය බලලා
කඩල ගොටුම කියක් නුඹ ඉවර කළාද

ආයෙත් නම් පමා වෙන්නේ
නැහැ මම ඔන්න

අරහෙ මෙහේ දුවලා
හෙම්බත් බව දැනිලා
නුඹේ දෑස ක්ෂිතිජ ඉමේ නතර උනා ද

ආයෙත් නම් පමා වෙන්නේ
නැහැ මම ඔන්න

සරුංගලේ බැදලා
පණිවිඩයක් එවුවා
අහස දිහා බලපු නුඹ ට එය ලැබුනා ද

ආයෙත් නම් පමා වෙන්නේ
නැහැ මම ඔන්න

ඔරලෝසුබ බලලා
තප්පර පැය ගැනලා
ඔරලෝසුවේ මගේ සිනා වත පෙනුනා ද

ආයෙත් නම් පමා වෙන්නෙ
නැහැ මම ඔන්න


එනවාමයි කියලා
හිතට පැතුම් දීලා
බිඳුනු පැතුම අරන් නුඹත් ගෙදර ගියා ද



ආයෙත් නම් පමා වෙන්නෙ
නැහැ මම ඔන්න


නුඹගෙ සුසුම් විඳලා
නුඹගෙ නමට ලියලා
තියෙනා හිත විදපු දුකක් නුඹ දන්නව ද

ආයෙත් හමුවන දින නුඹ
කියල එවන්න
බොරුකාරිය නොවනා මම
එනවා ඔන්න


මට සමාවෙන්න
ආයෙත් නම් පමා වෙන්නෙ නෑ නෑ නෑ නෑමයි



හැමදාමත් පමා වෙන
මම
෴ සොසී ෴

Friday, July 20, 2012

මකුළු දැලයි - සමණළයයි / Always Gets Stuck In The Wrong Net



මකුළු දැලයි - සමණළයයි

Always Gets Stuck In The Wrong Net 





මුළු පරිසරයම නිහඩයි.. . . . .. 

නිහඬයි කියන්නමත් බැහැ.රැහැයියෙක්ගෙ නොනවතින විලාපය ඇහුනත් පරිසරය නිහඬයි කියල මයි හිතෙන්නේ.මොකද මේ පරිසරේ රැහැයියගෙ තාලෙට තියන විලාපය උනත් පරිසරයෙම කොටසක් නිසා.

දවස් දෙක තුනක් එක දිගට , පොළවට රිදෙන්න වැස්සම නම් රැහැයි හඬට තාල අල්ලන තවත් බොහොම අය උන්නත්, පොළව බදාගන්න නොඉවසිල්ලෙන් එන වැහි බිඳු වල පීඩනය දරන් ඉන්න බැරි නිසාම කැඩුනු දැලේ කොනකට වෙලා ඉන්න ඔහුට ඒ ගීත ඇහෙන්නෙ හරියට සෝක ගීතයක් වගේ.

රැහැයි හඬේ තාලයට මකුළු දැල වටේ රවුමක් ගියපු ඔහු , මකුළු දැල පිරික්සුව  වගේ පෙනුනට , මට නම් හිතුනේ ඔහු යමක් හෝ යමෙක් බලාපොරොත්තු වෙනව වගේ.

හවස ලාවට වැටුණු හිරි පොද වැස්සෙ , පුංචි පුංචි වැහි බින්දු දෙක තුනක් බිමට වැටෙන්න ලෝබකමකින් වගේ දැලේ කිහිප පොළක එල්ලිලා තිබ්බ නිසා . . . දැල ටිකක් විතර පහලට විස්ථාපනය වෙලා තිබ්බා.

ඔහුට මතක් උනා මේ දැල වියපු මුල්ම කාලේ.... හොඳ තරුණ කාලේ.දන්න වැඩ ඔක්කම දාලා වියපු දැල දිහා හැම කෝණෙකින්ම බලපු හැටි.එදා රෑ රැහැයියො හරි ලස්සන තාලෙට විලාප තිබ්බා.

දැලට ආපු පලවෙනි ගොදුර , ඔහුගෙ ජීවිතයම වෙනස් කරා. හඳ හැංගිලා පුංචි තරු කැට බබලමින් තිබුනා.තරු දිහා බලාන හිටිය ඔහුට දැනුනා දැල දගලනවා. මංගල දැලේ , මංගල ගොදුර.දැලේ පරාසයක්ම ඉරාන ගිහින් . ලොකු ගොදුරක් වගේ.ඔහු ගොදුරට කිට්ටු වුනා.

හිත ප්‍රීතියෙන් වෙව්ලුවා. ඔහු පලවෙනි ගොදුර ට බොහොම ආසාවෙන් ළං වුනා.

“ අනේ මාව මරන්නෙපා. අනේ අනේ ...... “ කියන බැගෑපත් වීමක් බලාපොරොත්තුවෙන් ඔහු ගොදුරට ළං වුනා.

ඒත් . . . . . .

ගොදුර. . . . . .

නිහඩව , නිසලව .... මලානිකව හිටියා.

ගොදුර ගොදුරු වෙලා තිබ්බෙ ලොකු සිත් තැවුලකට.දැලෙන් ලිහුනු ගොදුරෙ දුක්බර කතාව අහන් හිටපු ඔහු ගෙ කුසගිනි නිවුනා.
“ දැකල නෙමෙයි නේද පැටලුනේ “

“ නැහැ. දැකල ම තමයි ආවේ “ ගොදුර කීවා.

“ ආදරයක් නිසා මැරෙන්නෙ මොකට ද ? ඒක ඒ තරම් වටිනව ද? අපරාදේ නෙ අපි දැල් වියන්නේ.ආදරය කරල පැරදුනු අය හොයා ගත්තනම් මොකටද දැල් “

“ ඔයාට තේරෙයි දවසක “ ගොදුර කීවා

හිමිදිරි උදය වෙනකොට ගොදුරත් ඔහුත් බොහොම හිතවත් වුනා. ආයෙත් දැල් වල පැටලෙන්නෙ නැතිව පියාඹන විදිහත්. දැල් තියෙන්න පුලුවන් ඉසවු සීමාවනුත් ඔහු ඇයට කියා දුන්නා.ඔහුගෙ පරම්පරාවෙන් හම්බුනු හැම රහසක්ම ඔහු ඇයට කීවේ ඇය ඒවා අනිත් අයටත් කියයි කියල නොසිතාමයි.

ඇය ගියාම ඔහුට අමුතුම පාලුවක් දැනුනා. ඔහුට මතක් වුනා බොහොම සීරුවෙන් ඇය වටා එතුනු දැල් ගලවපු හැටි. ඇය අනිත් ගොදුරු වගේ දැලෙන් ගැලවෙන්න කියලා දගලන්න ගියේ නැති නිසා ඇයව දැලෙන් ගලවන්න පහසු වුනා. දගලන්න දගලන්න තව තව දැලේ ඇලෙනවා කියලා පස්සෙ කාලෙක ඔහු ඇයට කියලා දුන්නේ තමන්ගෙම  දැලේ තමන් ඇලේවි කියලා බයෙන් වගේ.

“ ඔයා බය උනාද ? මම කාවි කියලා “


“ මම ආවෙ මැරෙන්න “ ඇය කීවා.

ඔහු සමහර වෙලාවට දුක් උනා.ඒත් දුක් වෙලා ඉවර වෙන්නත් කලින් ඇය ආයෙත් ඇවිත් ඔහුගෙ දැලේ පැටලුනා.

“ ආයෙත් සැරයක් “

“ පාර වැරදුනා “ ඇය බොරුවක් කීවා.

එදා දවසත් ඔහු ඇයත් එක්ක ගත කරා.වැඩියෙන් කතා කරේ ඇය. ඇය ඔහුට නොයෙකුත් මල් වර්ග ගැනත්.ඒවායේ විවිධ හැඩරුව ගැනත්, සුවඳින් මල් වෙනා කර ගන්නා හැටි ගැනත් ඔහුට කියා දුන්නා.

ඇය සමුගෙන යද්දි , ගිහින්න එන්න කියල කියන්න හිතුනත් ඔහු කීවේ ආයෙත් දැලේ පැටලෙන්න එන්න එපා කියලා.

මේ විදිහට දවස් කිහිපයක්ම ඇය ඇවිත් දැලේ පැටලුනා.ඔහු ගිහින් ඇයව නිදහස් කරද්දි ඇය හිටියෙ ඔහුව බලාපොරොත්තුවෙන්.සියුම් සමණළ තටුවකට පුංචි සීරීමක්වත් නැති වෙන විදිහට ඔහු සීරුවට දැල අයින් කරා. ඇය සීරුවට ඒ සියල්ල විද ගත්තා.

දැලට ආවේ ඇයි කියලවත්, දැලෙන් බේරෙන්නෙ කොහොම ද කියලවත් ආයෙ ආයෙ කීවෙ නම් නැහැ.ඇය ඇහුවෙත් නැහැ.

ඔහු හැමදාමත් දැල වියුවා ඒ ඇය වෙනුවෙන්.ඇය හැමදාමත් දැලේ පැටලුනා.ඒ ඇයයි ඔහුයි දෙන්නම වෙනුවෙන්.

ඒත් දවසක් . . . . . . .

ඔහු තමන්ගෙම දැලේ එල්ලිලා මැරිලා හිටියා.

“ ඔයාට දවස තේරේවි..... “ පලවෙනි දවසෙම ඇය කියල තිබ්බා.

එදා රෑ නම් රැහැයියන්ගෙ විලාප හඬ අහන්න ඉන්න බැරි තරමට දරුණු වුනා .
හැම වෙලේම වැරදි දැලේ පැටලෙන
මම
සොඳුරු සිත

Monday, July 16, 2012

මනාලයා

මනාලයා

සෙනඟ සූ ගාලා.වෙනදට මුලු බස් එකටම ඉන්නේ ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි හැරුනම මඟීන් පස්හය දෙනෙක් විතරයි.බස් එකේ පාපුවරුවෙ හිටිය සෙනඟ දැක්ක අනුත්තරා බස් එකට ගොඩ වෙන  බලාපොරොත්තුව අතෑරගෙන ද කොහෙ ද බස් රථයෙන් එහාට වෙනව දැකපු කොන්දොස්තර කොලුවා.

" එන්න එන්න . . .  කොහොම හරි නගින්න. මෙයාල මගින් බහිනවා. නගින්න නගින්න . ‍කෝ අයිසෙ ඉස්සරහට යනවකො. කොච්චර ඉඩ තියනව ද? හැමදාම යන අය මග දාලා යන්න බෑනේ. ඔය මල්ලි පොඩ්ඩක් ඉස්සරහට වෙන්න "

කොන්දොස්තර මල්ලිගෙ සත්ව කරුණාවට පිං‍්‍සිද්ධ වෙන්න ඇගිල්ලක් වත් ගහන්න බැරි බස් එකේ පාපුවරුවට යන්තම් ගොඩ වුනු අනුත්තරා ට තමන්ගෙ සුන්දර ශරීරයේ සමබරතාවය රැක ගන්න නම් පුංචි සටනක් කරන්නම උනා.

" මිස් උඩට එන්න , ඔය මිස්ට උඩට එන්න ඉඩ දෙන්න.මොනා ද අප්පා දෙවුන්දර දේවාලෙ හොරු අරන් යයි වගේ නෙ තමුසෙලා ෆුට් බෝඩ් එකෙ එල්ලිලා ඉන්නේ. එතන තමා මේ ඔක්කම බහින්නෙ "

කොන්දස්තරගෙ කන්දොස්කිරියාවත් , මඟ‍ීන්ගෙ මැසිවිල්ලත් අනුත්තරාගේ හිතට ගෙනාවේ අපහසුතාවයක්.

අනුත්තරා....... ඇය ලස්සන බේරෙන තරුණියක් නොවුනත්, එක පාරක් දැකපු කෙනෙක්ට අමතක නොවන විදිහෙ සුන්දර තරුණියක්.ඇත්තම කියනව නම් ඇය තම ජීවිතයෙ තරුණවියේ අන්තිම කොණක අමාරුවෙන් එල්ලිලා හිටියා.මුද්දක් නැති වම් අත ඇයව හැමදාමත් අපහසුතාවයට පත් කරා.ඒත් ඇය දිගටම උත්සාහ කරේ පාපුවරුවෙන් උඩට එන්න.

පාපුවරුවේ ඉහලම පඩියට යන්තමින් ගොඩ වෙච්චි අනුත්තරා බසය මඟී නැවතුමක නවත්තද්දිත් ආපහු ගමාරම්භ කරත්දිත් මුහුණ පාන්න වුනේ දැඩි අසීරුවකට. ඇතැමෙක් දඩිබියේ බැස ගියේ ඇගේ සාරිපොටත් අරගෙනමයි.ඒ අස්සෙම කවුදෝ කෙනෙක් ඇගේ උරහිසට තට්ටුවක් දානව දැනුන අනුත්තරා උහිසට උඩින් වමට හිස හරවලා , තමන්ගේ චීන ඇස් දෙක තවත් ටිකක් හීනි කරල තට්ටු දාපු කෙනා දිහා කවුද කියල බැලුවා.

ඇස් දෙකෙන් හිනා වෙන ගමන්ම ඇය දිහා බලාන හිටියෙ හොඳ තරුණ වයසෙ පිරිමි කෙනෙක්.

" මිස් මෙහාට වෙන්න. ඔතන ඉන්න බෑනේ "

ඇය තමා දිහා ප්‍රශ්ණාර්ථයක් නඟාන බලාන ඉන්න බව දැකපු තරුණයා ඔහු හිටපු තැනින් එහාට වෙලා ඇයට ඉඩ දුන්නා.

තප්පරයක් දෙකක් දෙගිඩියාවෙන් හිටපු අනුත්තරා , දන්නෙම නැතිව ඔහු හදල දීපු ඉඩ ගොඩට තල්ලු වෙලා යද්දි අනුත්තරා කල්පනා කලේ තමා මේ තරුණාව කොහේ දි හරි දැකල තියෙන බවයි.

ඒත් . . . . ඒ කොහේදීද කියල ඇයට හරි නිනව්වක් නැති වුනා.බස් එකේ පිටුපස දොර අසලම නිසා එතන සද්දෙ බොහොම වැඩි නිසා ද කොහද අනුන්තරාට සිහින් හිස කැක්කුමකුත් දැනෙමින් තිබුනා. බස් එකේ බෆල් අතරින් රිංගලා ආපු බස් අජිත් කියන එක සින්දුවක් වත් හරියට ඇහ්නෙ නැති අතරේ අනුත්තරා තව තවත් කල්පනා කළේ මේ තරුණයාව තමන් මීට කලින් දුටුවෙ කොහෙ දී ද කියලයි.

හැම බස් නැවතුමකම නතර කරමින් ගියපු බස් රථය පිම්මේ යන්න පටන් ගත්තෙත් මේ වෙලාවෙදීම තමා. අනුත්තරා හිස ඔසවලා මදි ටිකට කකුල් වලිනුත් එසවිලා පොදියට ඉන්න මනුස්ස හිස් අතරින් බසයේ පිටු පස වීදුරුව දිහා බැලුවා. ඇගේ නිගමනය හරි ගිය නිසාද කොහෙ ද ඇගේ මූණට  හීනි හිනාවකුත් එකතු වුනා.

අනුත්තරා යන බස් එක  පිටුපසින්ම තවත් බස් එකක් එලවා ගෙන එමින් හිටියා.එය අනුත්තරාගේ හිතට ගෙනාවේ සතුටක්. ඇය කවදත් අධික වේගය ප්‍රිය කරා.ඒත් එක පාරටම.......................................


.............................බ්රාස්ස්ස්ස්ස ........................................ ක්‍රාස් ...................


අනුත්තරා ඇදිල ගිහින් නැවතිලා තිබ්බෙ තමාට ඉඩ කඩ හදල දුන්න තරුණයාගේ කරේ.

" පිස්සු යක්කු "

" මුන්ට ඕනි පියාඹන්න "

" නිකරුනේ මැරෙන්න බෑ අපට "

" පොල් පටවන වගේ ඒ මදිවට රේස් යන්නත් ...."

" මුගේ අ............... "

තරහ ගිය මඟීන් කෑගහද්දි , බස් එක ආයෙත් ගමන් ඇරඹූවා. ඒත් තවමත් අනුත්තරා අර තරුණයාගේ කරේ.

" මේවාට තමා කරේ නඟිනව කියන්නේ "

ළඟ හිටපු දාසයක විතර පැඟිරි කොල්ලෙක් කියද්දි අනුන්තරා උත්සාහ ගත්තේ තම කකුල් වල ශක්තියෙන් තනියෙන් හිට ගන්න.

ඇගේ අත මුදා ගනිද්දි ඇයට එකවරම කැක්කුමක් දැනුනා.

බසයේ උඩ තිරස් අතට දිවෙන පොල්ලෙ එල්ලිලා තිබ්බ කොක්ක එල්ලිලා ආපු අනුත්තරාගේ අත ඇඹරිලා ගිහින් ද කොහෙද රතු වෙලා ඉදිමෙමින් තිබුනා.

කලබල වෙච්චි තරුණයා,  වැටෙන්න ගිය අනුත්තරාව අල්ල ගත්තෙ ඇගේ බද වටා අතයවන ගමන්. සාරියකින් සැරසිලා හිටපු ඇගේ ඇගේ උණුසුම ඔහුගෙ අතට හොඳින්ම දැනෙන්න ඇති.

 

෴ මතු සම්බන්ධයි ෴

Sunday, July 15, 2012

ළඟින් ඉන්න එන්න..........Stay With me


ළඟින් ඉන්න එන්න





නුඹ මට හරි දුරයි
හරියට නිල් අහස වගේ
විටක දි මා තෙමනා
වැහි අරගෙන එනව වගේ

විටකදි පිපෙන මලට
හිරු කිරණක් දෙනව වගේ
තව විටකදි මැලවෙන මා
මුවා කරන හෙවන වගේ

ආදරයෙන් නුඹ මා සිත
දුර ඉදගෙන සැනසූවත්
නෙත ඉනු කඳුළු පොදක්
සුළඟ එවා පිස දැමුවත්

ළඟ ඉදගෙන උණුසුම
විඳින සිහින සිත ගාවත්
දුර මිස ළඟට නොඑන
නුඹ මට මොකට ද තාමත්


නේද ?

බැරි දේවල් ඉල්ලන් නැති

මම
෴ සොසී෴

෴අටවක සඳ෴

෴ අටවක සඳ ෴




“ මෙන්න මේක  සඳා අක්ක දෙන්නෙයි කීවා “

හෑනඩ් බ්‍රේක් ඇද , ගස්සා නවතා ගත් සෙල්ලම් වාහනයේ සිටම , නිල් පැහැති පාසල් කොට කලිසමේ සාක්කුවෙන් ඉවතට ඇද ගත් දෙකට තුනට නමන ලද ඇක්සයිස් පොතකින් ඉරා ගන්නා ලද කොළයක් වසන්ත වෙත පාමින් ජයසිරි වසන්තගේ මුහුණ දෙසම බලාගත් වනම සිටින්නට විය.

“ ගන්න ගන්න මට පරක්කු වෙනවා බන් අයියේ , අද උත්තර ඕනි නැතෙයි කීවේ.හෙට හවහට මං එන්නම් උත්තරයක් ලෑස්ති කරල තියහන් . මම ගියා ඕං “

“ ඈම්....පීක් පීක් ...........බෘම්ම්ම් ....................... “

ජයසිරි මද දුරක් ගොස් එක් අතකින් කලිසම  ඔසවනා සැටි ද වේගය අඩු නොකට දිගටම දුවන සැටි ද  දුටු වසන්තගේ වත ඇදුනු සිනාව මැකී ගියේ ඈ ජයසිරි අත එවූ පණිවිඩය සුභ එකක් නොවන විත්තිය ඉවෙන් මෙන් දැනුන නිසාය.

 වසන්ත ,

ඔබ වෙත මා එවා ඇති ලිපි සහ ඔබ ලඟ ඇති මාගේ පින්තූරු සියල්ල හෙට හවස වන්නට පෙර ජයසිරි අත මා වෙත ලැබීමට සලස්වන්න.

සඳා

ආදරණීය, මගේම ආදරණිය , රත්තරන් වසන්ත . .. නිකම්ම නිකම් වසන්ත ද , ඔයාගේම ආදරණිය ,ඔයාගේම සදාදරණිය සඳා , නිකම්ම නිකම් සඳා වූයේ ද ඇයට වැරදී නොවන බැව් වසන්ත දැන වුන්නේ ය.


“ මගේම ආදරණිය වසන්ත,

ගෙදරින් එන බලපෑම් එන්න එන්නම වැඩි වෙනවා. අනේ රත්තරනේ යන තැනක මාවත් අරන් යන්න.දැන් නම් මට ගෙදර මිහිපිට අපායක්.


මින් පෙර එවූ ලිපියක එසේ තිබූ විත්තිය වසන්තට අමතක නැතිවා නොවේ.

ඒ අවදියේ තමා කිසිත් හවුහරණක් නැති , කසාඳ බැදීමට තියා තමන්ගේ බඩවියත වත් රැකගත නොහැකිව සිටි කෙසඟ සිරුරැති වසන්ත බැව්  , හොඳින් වැඩුනු සිරුරද නවීන පන්නයට කැපූ කොණ්ඩයද පෘෂ්ඨිමත් නිරුවත් උඩුකය ද සහිතව තමා ඉදිරියෙන් සිට ගෙන තමා දෙස බලමින් සිටිනා ප්‍රතිබිම්භය දෙස බලමින් වසන්ත සිතන්නට විය.

එක වරම යමක් මතක් වූවාක් මෙන් අත තිබූ පනාව පසෙකලූ ඔහු පොත් රාක්කය පුරා වු පොත් එකිනෙක ඉවතට අදින්නටත් පෙරළා බලන්නටත් විය.පොත් දෙක තුනක් එසේ පෙරලද්දි ඉන් එකක් තුල තිබී බිමට වැටුනු යමක් ඔහු නැමී අසුලා ගත්තේ ඉතාම පරිස්සමිනි.

ඇය ලියූ පෙම් හසුන් සියල්ලත් , එවූ පින්තූර දෙකෙන් එකකුත් ආපසු ජයසිරි අත යැවූව ද පාස්පෝට් ප්‍රමාණයේ ඇගේ සිනාසෙන මුහුණ නොයවා සිටීමට ත් , එක කලක් තිස්සෙ තම පසුම්බියේ රඳවා ගෙන සිටීමටත් , දැනට වසක දෙහෙකට පමණ පෙර හමුවු පෙම්වතියක නිසා පසුම්බියෙන් ගිලිහී ගොස් පොත් පිටු අතර රැඳවීමටත් තරම් වසන්තගේ සිත බොළඳ විය.

දෙවන පෙම්වතියව කුමක් හෝ හේතුවකට අත්හල පසුව  ද  විටින් විට සඳාගේ සිනාසෙන මුහුණ නිවාඩුවකට ගෙදර ආ ඇතැම් දිනක පොත් පිටු අතරින් ඉවතට ගෙන බැලූවද , ඇය පසුම්බියේ හුවා ගැනීමේ ආසාවක් වසන්තගේ සිතට නාවේ ය.

අගනුවර කාර්යාලය දී මුණ ගැසුනු දෙවන පෙම්වතිය ගේ කීමට තරම් විශාල වරදක් නොතිබුනද ඇගේත් වසන්තගේත් පෙම් පලහිලව්වේ නතර වීම වසන්තගේ සිතට ගෙන ආවේ යම්කිසි සැනසිල්ලකි.

ගියවර ගමේ ආ වේලාවක දී තම මව කපුවකු මාර්ගයෙන් සොයා බැලූ මනාලියක බැලීමට ගිය අන්දමත් ඇය ඔහුටත් ඔහු ඇයටත් කැමැති වූ අන්දමත් වසන්ත සිහි කළේ උපේක්ෂාවෙනි.

වැඩි කල් නොයවා විවාහය රෙජිස්ටර් කළ යුතු බැව් දෙපාර්ශවේම අදහස වූයෙන් මෙවර සතියක නිවාඩු දමා ඔහු ගෙදර පැමිණි සිටී.

සඳාගේ සිනා සෙන මුහුණ නැවතත් පිටු අතර සඟවන්නේ ද ? ඉරා විසි කරන්නේ ද? පුලුස්සා දමන්නේ ද යන උගතෝකෝටික පැනය මදකට පසෙකින් තැබූ හේ සුදු සරම ද සුදු කමිසය ද ඇඳගෙන මිදුලට පැන්නේ මළ ගෙදර දෙසට යන අදහසින්ම නොවූව ද , නොයන අදහසින්ම ද නොවේ.

“ පුතා කොහෙ යන්නෙයි ? “

“ ටවුම පැත්තට යන්නෙයි කයලා “

“ සුදුම ඇදන් ? මං හිතුවෙ පන්සල පැත්තෙවත් යන්නදැයි කියලා “

“ නැහ් . . “

“ ඔන්න මං නොකීවැයි කියන්නෙපා  පුතේ , හොඳවුනු තුවාල පාර ගන්නහෙම යනව නෙමෙයි.දැරිවියකට බහදීලා ඉන්න විත්තය අමතක කරන්නෙපා “

තම මවට පිටුපා යන වසන්ත. මදක් හෝ නොනැවතී තම හිත වෙනස් වෙයි දෝ බියෙන් මෙන් සුදු කොඩි වට කර ගත් පාළු දෙවට දිගේම හනිකට පියමනින්නට විය.

වසන්ත වැඩි වේලාවක් මළ ගෙදර නොනැවතුන ද , මළ ගෙදර සිට ආපසු ආවේ රාත්‍රීයේ දී ද නැවත පැමිණෙන බවට ඇයට පවසාය. ඇය වැහැරී කෘශව යමින් තිබුනි.ඇගේ තනයේ එල්ලුනු මාස අටක පමණ සිඟිත්තියක ඇගේ ඉතිරි මාංශය ද උරා බොමින සිටිනු දුටු ඔහුට ඇති වුයේ කම්පාවකි.ගිලුනු ඇස් වල සෝකය වෙනුවට තිබුනේ කියාගත නොහැකි හැඟුම් සමුදායකි.

“ වසන්තට දුන්න දුක තමයි මට පලිසන් දුන්නේ “

වසන්ත ඉලවු ගෙදරින් පිටව යෑමට සැරසී ඇයට ආයුබෝවන් කියන අතරේ ඇය පැවසන විට දී නම් ඇගේ නෙත් අගට රහසේම කඳුලක් උනනු ඔහු දකින්නට ඇත.

මළවුන් තමා පසුපසින් පන්නාවි යැයි බියෙන් මෙන් ඉලවු ගෙදරින් පිටවූ ඔහුට මඟ දිගටම හමුවූයේ සඳා හා ඔහු අතර තිබූ මිහිරි මතක සිහිවටනයි. ගම හැරදා ගිය ද , ගමට පැමිණි සෑම දිනකම ඒ මතකය තම සිත පෑරුව ද , මෙවරනම් හොල්මනක් මෙන් තමා පසුපස්සෙම එන ඒ මතක වලින් මිදෙන්නට මෙන් ඔහු හතිදමා ගෙන දුව න්නට විය.

දාඩිය වලින් සිරුරටම ඇලී ගිය කමිසය පිටින්ම ඇදේ ඇලවුනු හේ  පැය ගනනකට පසු නැගී සිටියේ, ඇද සිටි කමීසය ගලවා බෝල  රාක්කය මත එල්ලා , මේසය මත දමා ගිය සිනාසෙන සඳාගේ ඡායාරූපය ගෙන තම පසුම්බියේ ඇයට හිමිතැන තැන්පත් කරේ ද තම මව සොයා මුළුතැන්ගෙට පිය මැන්නේ ද , ඇගේ සිනාව රැඳි මුහුණ සඟවා ගෙන සිටි ය  පොතේ පිටු පෙරළුනේ ද  එකවරම වුවත් ....

මුළුතැන් ගෙය දෙසින් නැඟී එන වාදයේ හඩ මැද්දේම ...........

කුතුහලයෙන් මඩිනා ලද මා සිත පොත වෙත යොමු වත්ම එහි පෙරළි තිබූ පිටුවක මෙසේ ලියා තිබෙනු දැකිය හැකි විය.

“ෆ්ලොරෙන්ටිනෝ අරීසා තරමට පෙම් කරන්න
ෆෙමිනා දාස් තරම් දුකක් නොදෙන්න
මගේම වෙන්න
හැමදාමත්
මේ
පුංචි තෑග්ග

ආදරණිය සඳාගෙන්
සදාදරණිය වසන්තට




ෆොරොන්ටිනෝ එන තෙක්
මඟ බලන
මම
෴සොසී෴


චිත්‍රය ;- සිළුමිණ පත්තරයෙන් උපුටා ගැනුනි.

Thursday, July 5, 2012

- සමණල් සිහිනය/ A Story of a Little Buterfly -


සමණල  සිහිනය
A Story of a Little Buterfly


ඇය හරිම ලස්සනයි. පුංචි සුරංගනාවියක් වගේ. ඒ තොල් පෙති ඒ තරම් රෝස පාට වුනේ කොහොම ද කියලා හිතා ගන්නවත් බැරි වුනා.

ඇය මා ඉදිරියේ හිටගෙන හිටියෙ හරි සීරුවට. තෙල් ගාලා ගොතපු කොණ්ඩ කැරලි දෙක දික් වුනේ යන්තම් උරහිස ගාවට විතරයි.

“ ළඟ දි ද කොණ්ඩෙ වැව් වේ ? “

ඇගෙ දිලිසෙන ඇස් දිහා බලාන මම ඇහුවෙ කතාව පටන් ගන්න කොණ්ඩ ගසත් හොඳ ඇරඹුමක් වේවි කියල හිතලා.

“ ඔවු ටීච... !!! “

ඉදිරියට වැටිල තිබ්බ කොණ්ඩ කැරුල්ලක් පසුපසට කරන්නට ගතපු අසාර්ථක උත්සාහයක් එක්කම ඇය කියා සිටියා.

“ දූ.... බියුටි සැලුන් යනව ද ? “ ඇගේ ලස්සන දෙබැම දැකපු මට උත්තර ඕනි නැති වුනත් , ඒ බව මම දන්න විත්තිය හඟවන්න මට ඕනි වුනා.

එකවරම බිල බලා ගත්ත ඇය , හිස ඔසවන පාටක් නැති වෙද්දි , මම අහපු ප්‍රශ්ණය ඉල්ලා අස්කර ගත යුත්තක් විත්තිය මට තේරුනා.

“ දූ ට මොකට ද අමුතුවෙන් ලස්සනක් . . . . දු ඉපදිලා තියෙන්නම ලස්සන දෝතින්ම අරගෙන. . . .ම් ම් ම් . . .  වාඩිවෙන්න මැණික “

එකවරම එසවුනු ඒ මුහුණෙ තිබ්බ හැඟීම් මොහොතින් මොහොත වෙනස් වුනේ හිතා ගන්නවත් බැරි විදිහට.

“ සඳුනි කීවෙ බොරු ටීච.... මගේ එහෙම සම්බන්ධයක් නැහැ. ඒ කොල්ලට සඳුනි කැමැති ටීචර්.ඒකයි මෙහෙම බොරු කියන්නේ “

ඇගේ මුහුණ ඇගේ අතපය ,ඇගේ ඇගිලි , ඇගේ ඉරියවු මේ සියල්ල හදිසියෙන් වගේ පවසන්නේ ඇගේ වචන  බොරු විත්තිය බව තේරුම් ගන්න වැඩි වෙලාවක් ගත වුනේ නෑ.

සුපුරුදු පරිදි ඇයට මගෙන් ලැබුනෙ උපදේශ ගොඩාරියක් වෙනුවට , පුංචි රසවත් ආදර කතාවක්.. හරියට මුනින් නවපු කලයක් පුරෝනව වගේ උපදෙස් දීම ට වගේම ඒ උපදෙස් අහන්න ඉන්නත් මං කෙල්ල කාලේ කැමැති නැති වුනා වගේම මේ දරුවනුත් නොකැමැති විත්තිය මම දැනන් සිටියා. .

ඒ තරම් ලස්සන කෙල්ලකට ආදරය නොකරන්නෙ කවු ද? ධම්මි සුගත්ට ආදරය කරා නම් , හේෂානිට ඒ ආදරය තහනම් කරන්න මං කවු ද?

ඇගේ ආදරය මැද්දට පැනපු බබාගයා යකිනිය වනවාට වඩා යමක් ඇය වෙනුවෙන් කරන්නට නම් , ඇගේ හිතේ සැඟවුනු සමණළ් රහස් අසන සුරංගනාවියක් වන්නට මට සිද්ද වෙන විත්තිය මං දැනන් හිටියා.ඇගේ කතාවේ මා අභිමුව තැබූ ස්වල්පයෙන් වුනත් ඇය හසුවෙමින් සිටින්නේ දියසුළියකට බැව් මට නොදැනූනා නොවුනත්. එකවර ගත යුතු දැඩි තීරණයක ඇය නම්මා ගැනීම ලෙහෙසි නොමැති විත්තියත් මට හැඟී ගියේ , ධම්මි සුගත් ආදර කතාවට වඩා බොහෝසෙයින් දුර දිග ගිය ආදර කතාවක ප්‍රධාන චරිතයේ උච්චතම අවස්ථාවක ඒ වන විට ඇය රඟපාමින් සිටන නිසාම යි.

දැනට මාස හයකට විතර කලින් විනය කාමරයේ මගේ මේසය ඉස්සරහ හිටපු ඒ පුංචි රෝස මල ගැන මතකය ආයෙත් අලුත් වුනේ බොහොම අහම්බයෙන් හමුවෙච්චි ඇගේ පාසලේ පාසල් යෙහෙලියක් නිසා.

ඇය සඳුනි.

“ ටීච හම්බුනු එක හොඳයි.හේෂානි හොස්පිටල් එකේ.නිතරම ටීචර්ව මතක් කරනවා.ටීචරව හම්බුනොත් ටීචර්ට කියන්න කීවා “

හේෂානි ට ඇගේ විනය සම්බන්ධව ලබා දුන් උපදේශනය මා ලබා දුන් අවසාන උපදේශණයයි. ඉන් පසු ඇති වූ රාජකාරිමය ගැටළු රැසක් නිසා විනය කමිටුවෙන් පමණක් නොව එකී පාසලෙන් ද ස්ථානමාරුවක් ලැබූ මා එකී දිස්ත්‍රීක්කයෙන්ද පිටතටම මාරු වී ගියේ මා හට සිදු වූ සිත්තැවුල අමතක කර දමන්නට එයින් රුකුලක් අත් වෙනු ඇතැයි සිතාය.

විනය කමිටුවේ ප්‍රධානියකු වූ මා පාසල් ශිෂ්‍යාවන් සම්බන්ධව දැක්වූ ලිහිල් ප්‍රතිපත්තිය වැඩිහිටි හා ජේෂ්ඨ ගුරුභවතුන්ගේ දැඩි අප්‍රසාදයට ලක්වීම අභිමුවේ  මා වටා ගොඩනැගුනු ශිෂ්‍ය බලවේගය මා සිත සැදුවද හිත සතුටින් රැකියාවේ නොයිදිය හැකිනම් නොපෙනෙන තෙක් දුර ඈතක සැඟවීමේ බියගුලු නමුත් මා සෑම විටම අනුගමනය කළ ක්‍රියාපිළිවෙත මෙහිදී ද ක්‍රියාත්මක විය.

නමුත් මා ගත් බියගලු තීරණයේ වරදක තරම මේ යැයි හඟවමින් , කිසිදාක නිවැරදිකර ගත නොහැකි හෘද සාක්ෂියක් ද ඉතිරිකරමින් තටු කපා දැමූ පුංචි සමණළිය ආණ්ඩුවේ ඉස්පිරිතාලයක යකඩ ඇඳක වැතීරි අපහසුවෙන් විවර කර ගත් ඉදිමුණු දෑස් ඇතිව මා දෙස බලා සිටී.

ඇගේ පිරුණූ රෝස තොල් , ලේ බිඳක් නොමැතිව සුදුමැලිව ගොසිනි. ඇගේ ගත දරුවන් බිහිකල බැල්ලකගේ මෙන් වැහැරිලාය.පණ බිඳකුදු නොමැති ගත උසුලා සිටීමටවත් වැතිර සිටීමටවත් නොහැකිව වේදනාවෙන් ගැස්සෙයි.හිස හෝ අත පය සෙලවීමටවත් ශක්තියක් නොමැති ඇය හුස්ම ගන්නේ ද ඉතා වෑයෙමෙනි.

සිරින්ජර කටු වක් වත් ගැසීමට ඇගේ අතේ තැනක් තවත් ඉතිරි වී නැති බැව් ඇගේ ඉවරවූ සේලයින් බෝතලය මාරු කිරීමට පැමිණි හෙදිය කීවා මට මතකය.

ඇය ඉගෙනීමට දක්ෂ එකියක නොවිය , නමුත් ඇය තුල සැගවී තිබුනු හැකියාවන් කිහිපයක්ම විය.ඇය ලීවීමෙහි දක්ෂ එකියක බවත් රචනයේ දී සැමදා වැඩි ලකුණු ගන්නියක බවත් නමුත් ඇගේ අභ්‍යාස පොත් බොහෝමයක අවසන් පිටු බොළඳ කවි වලින් පිරී ඇති බවත් , ඇය මල් පත්තර කියවන්නියක වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඇගේ සිංහල ගුරුවරිය කීවා මට මතකය.

ඇය නෙට් පාසල් නෙට් බොල් කණ්ඩායමේ “ සෙන්ටර් “ ලෙස ක්‍රීඩා කළ බවත් , ඇගේ විනය සහ හැසීරීම පිළිබඳව වූ පරස්පරයන් නිසා ඇය එයින් ඉවත් කළ බවත් , නමුත් ඇය කණ්ඩායමට අත්‍යාවශ්‍ය ක්‍රීඩිකාවක් නිසා ඇය සම්බන්ධව කටයුතු සොයා බලා ඇය නැවත කණ්ඩායමට ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට ත්  ඇය සුමගට ගන්නා ලෙස ඉල්ලමින් ක්‍රීඩා ගුරුතුමිය විසින් මේ සුරංගනාවිය මා වෙත යොමු කළ බවත් මට මතකය.

“ ලේ ගොඩාක් ගිහින් . . . ජීවිතේ ගැන කියන්න බැහැ “

ඇගේ වෛද්‍යවරයා පැවසුවා මට මතකය.

“ ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් කාමර ගානේ ළඟිනවට ඕව හොඳ පාඩම් “

ඇගේ ඇඳ ගාව සිට පැමිණිනෙ මා දුටු දත් ඉදිරී ගිය කෙස්ස අකාලයේ හැලී ගිය ගැහැණියක පැවසුවා මට මතකය.

“ ඒක හරියට . . . . . . . සමණළයො බඩේ පියාඹනවා වගේ ටීචර් “

ආදරය ඇයට දැනෙන්නේ කෙසේ දැයි , පුංචි විනය කාමරයේ දී මා ඇසූ පැනයට ඇය දුන් පිළීතුර මට මතකය.

“ ඇයි ටීචර් ඔයා මාව දාලා යන්න ගියේ . . . ? “
සුදුමැලිව හේබා ගිය සිය කෙසඟ අතකින් මා අත අල්ලන් , මා දෑසට එඹෙමින් ඇය කීවා . . . . . . . . . මට මතකය.

ඇගේ මිනිය වළලු තැන හෝ ඇගේ සෑය ගිනිබත් කළ තැන මට අමතක වූයේ . . . . . . ඇගේ මිනීමරුවාට ඇගේ මිනිය දෙස බලන්නට ශක්තියක් නොවූ නිසා ය.
ඇගේ බඩතුල පියැඹු සමණළයා .... ඇගේ බඩතුල අකාලයේ හෙලූ බිත්තර . . . . ඇයට මරණය ළඟා කර තිබුන ද ....ඇය වෙත ආ මායාකාර සමණළුන් පන්නා දැමීමට පියවර නොගත් වරදට සමණළුන්ට වෛර කරන
මම
෴ සොඳුරු සිත ෴

Sunday, July 1, 2012

බකාඩි



බකාඩි බෝතලය හිස් වෙමින් ද අමුතුම හැඩයකින් යුතු ව ඔහුගේ සුරතට මැදිව තිබූ පැහැදිලි වීදුරුව  පිරෙමින් ද තිබුණි.

සිවිලිං විදුලි පංකාවේ පෙති මත වැදී විසි වෙන වාතයේ හඬ ද ඇසෙන තරමට සියල්ල නිහඩබවේම ගිලී තිබුන ද , කතා කිරීම සඳහා සැකසෙමින් නමුදු අපිළිවල ලෙස විසිරී තිබුනු වචන සහ අකුරු එකිනෙක ඇමිණෙමින් ඔහු අවට පොරකමින් සිටිනු ඇයට පෙනුනි.

ඇය  ආසා කරන ඒ සිහින් ඇස් හීනයට පියවී වීදුරුව මත එහා මෙහා යන බකාඩි බුබුලක් දෙස බලා සිටිනු දකිද්දී , ඇගේ විසල් දෑස් එයින් මුදවා ගනු පිණිස දෝ ,පින්තාරු බිත්ති වල සායම් නොගෑවුනු සියුම් ස්ථාන සොයන්නට පටන් ගන්නවා පෙනුනි.

සුදු පැහැ ය ආලේප කර තිබූ සුමට බිත්ති වල කිසිදු පළුද්දක් තියා කුණු බිඳක් වත් තැවරී නොතිබුනේ ඇගේ ජීවිතය මෙන් යැයි ඇට සිතුන නිමේෂයේ දීම , කාමරයේ හරි මැද තිබූ විශල් යුගල් සයනය වෙත යාමේ ආසාවක් ඇයගේ සිත ඇති තුල දළු ලන්නට විය.

ඔවුන් දෙදෙනා සිටියේ කාමරයේ ඉතිරිව ඇති ඉඩෙහි බිම වාඩී වී ගෙනයි. සයනය ඔවුන් සඳහා වූවක් නොවූ එකක් මෙන් , කතාවක අතර මඟ දී අහම්බයෙන් ඇද වැටුන වස්තුවක් මෙන් ලැජ්ජාවෙන් ඉවත් විය නොහැකිව ඔහේ ඔත්තැන සිටින්නාක් මෙන් විය.


වාතයේ පාවෙමින් ... ඔහුගෙන් දුරින්ම තිබූ .... වචනයක් අල්ලා ගත් ඇය, එයින් ඔහු වෙත දමා ගසනු පෙනුනි.

“ යන්න ද ? “

වචනය නියම ඉලක්කයට වැදී ඉලක්කය දරා ගත නොහැකව මෙන් ඔහුගේ නිරුවත් පපුව මත වැටී ගියේ , නැවතත් උවමනා වූවොත් අහුලා ගන්නැයි කියන්නාක් මෙනි.

ක්‍රිකට් පිට්ටනියක් වැනි ඔහුගේ විශාල පපුවේ ඇය නොහඳුනනා රෝම ගස් කිහිපයක් මේ ටික දිනට දළුලා තිබුනි.

“ එන්න මෙතැනට . . . . . . අපි ආවා විතරයි නෙ තාම. “

බකාඩි වීදුරුව පසෙකින් තැබූ හේ,  ඒ අතින්ම තම පපුවට ගසා ගනිමින් කියන්නට විය.

ඇය සිටියේ ඔහුට අඩි එකහමාරක පමණ දුරකින් ඔහුගේ  ම ඇඳුමකින් සැරසීගෙනය. ලා නිල් පැහැති අත් දිග කමිසයේ අත්, ඇයට වඩා  දිගින් මදක් වැඩි වූයේ හරියටම අඟලකි.ඇය ඔහු වෙත ළං නොවත්ම ,ඇය වෙත ළං වූ ඔහු , ඇගේ නිරුවත් පා ද , කළවා ද බොහොම ආදරයෙන්  පිරිමදින්නට පටන් ගද්දී.... මෙතෙක් වෙලා වාතයේ පොරකමින් ඔහු වෙලා ගන්නට වලිකමින් සිටි වචන සහ අකුරු සියල්ල ඔහුගෙන් ඉවතට විසුරුවා ලමින් ඔහුගේ පපුතුරේ හිස හොවා ගත් ඇය මහ හඬින් ඉකිබිදින්නට වූවා ය.

දකුණතින් ඇය තව තවත් ඔහුගේ පපුවට තෙරපාගනිද්දී , ගිලිහී යන සමබර තාවය රැක ගනු වස් ඇගේ ඇගට යට වී තිබූ ඔහුගේ වමත නිදහස් කර ගැනීමට යද්දී , හදිසිය සහ සංවේදීබව වැඩි වී යාමෙන් වමතේ වැදුන බකාඩි බෝතලය බිම පුරා ඉහිරී ගියේ  ද කාමරයේ දොර හැර ගත් පිරිමියකු පාමුල දී පෙරළී ගිය බකාඩි බෝතලය නැවතුනේ  ද...... අවසන් බකාඩි බිඳ ද සමඟින්   බිදී ගිය බකාඩි බෝතලයේ දැති , ඇගේ හදවත පසාරු කරේ ද  , සියල්ල දකිමින් මෙතෙක් වෙලා කාමරයේ මුල්ලකට වී සිටි වචන සහ අකුරු වා කවුළුවෙන් ඈතට පලා ගියේ ද  නිමේෂයකිනි.


පලි:-

පසුදින හිමිදිරියේ  දුම්රිය මැදිරියක දී

“ ඌ කර වැඩේ හරි බන් . . . . .  හෙට මඟුල තියාගෙන වෙන පිරිමියෙක් එක්ක කාමර ගානේ ලඟින්න යන්නෙ අහවල් එහෙකට ද බන්. ** ගෑණු “


සියල්ල ඇසු දුටු නමුදු
පැවැසිය නොහැකිව ලතැවෙන
බිඳී ගිය බකාඩි බෝතලය
මම
෴ සොඳුරු සිත ෴

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...