..... I am the poem that's  yours but doesn't belong to you ever,...

Wednesday, June 27, 2012

අයන්නක හිරවුනු සිහින -Just a Dream

අයන්නක හිරවුනු සිහින



පාසල් කාලෙ මට තිබ්බෙ , බොහාම පුංචි බලාපොරොත්තු. විනෝදගමන්... සවාරි.... යහළු යෙහෙළි ගෙවල් වල යෑම් මගෙ දවස් අතරට ආවෙම නැහැ. කවියක් , කතාවක් ලියා ගන්න බැරි වුනේ, හාමදාම මගෙ රචනා වලට සිංහල ටීචර් දුන්න අඩු ලකුණු නිසා. විද්‍යාව ගණිතය වැඩි ලකුණු ගනිද්දි ඒ පැත්තටම පාවුනේ ගණිතය ටීචර්ගෙ කරුණාව නිසාම ද මන්දා.....

ඒත් දැන්.............බොහෝ දේ වෙනස් වෙලා.

පුංචි කුරුල්ලන්ට ළං වෙන්න, මල් ගස් වටේ ඇවිදින්න.දුර ඈත කවදාවත් නොගියපු පළාත් වල යන්න. ගහ කොළ ගැන හොයන්න. කෙල්ල කාලෙවත් නොතිබ්බ ආසාවල් පහළ වෙලා.ඒ හැම ආසාවක්ම හිර කරලා... ලත් තැනම ලොප් කරන ලොකුම ලොකු අයන්නක් හැම වෙලේම මගෙ හීන අස්සෙ ඇවිත් හිර වෙනවා..... ඒ තමා මෙයා...


“ අනේ ලොකු දුවේ.... පොඩි දරුවෙක් හදා ගන්න , පුංචි ගෙයක් අටෝ ගන්න.දෙයියනේ කියලා පවුලක් වෙලා.........මට නිදහසේ මැරෙන්න දෙන්න “


ජිවිතේ විඳින හැටි පුද්ගලයාගෙන් පුද්ගලාය වෙනස් වුනත්.... ඇසේ කඳුලු පුරවන් , මූන දිහාම බලාන කියන වචන දෙක තුනකින් මගෙ මුළු හීනෙම දිය කරල යවන්න පුලුවන් හැකියාවක් තියෙනවා.

ආයෙත් ඒ හීන කවදාවත් සම්පූර්ණ කර ගන්න බැරි වුන මගෙ හීන පොතෙන් ගැලවෙද්දී  වෙනත් කෙනෙක්ගෙ හීන ඉටු කරන්න , වෙනත් කෙනෙක්ගෙ හීන ඇල්බමයක ලස්සන පින්තූරයක් වෙලා මම ඇලවේවි.

මනාලියක් වෙලා  මම දැකපු ලොකුම අයන්නෙ හීන ඇල්බමයෙ ඇලවුන දවසට ඇයට සතුටක් දැනේවි. මයෙ හීන පොත එදාට මම පුච්චල දානව................

එක්කොත් බෑ....එයාට හොරෙන් කොහෙ හරි හංගල තියාගන්නවා ........


මට ආසයි මම ඇතුලෙම
සඳහට සැඟවිලා ඉන්න

මා තුල ඇති මම දැක නැති
සොඳුරු ම දේ සොයා ගන්න

ඒත් බැහැනේ
මා වටේට
මගෙ සුසුමක වෙළී ඉන්න

ඔවුන්ගෙ සිත
සැනසුම් වෙන
සුසුමක මා ඔතා ගන්න

මගෙ පැතුම් සිහින සිතුම්
දියඹ සැරට ගසා යන්න



මා තුල මම සොයන
මම
෴ සොඳුරු සිත ෴

Tuesday, June 26, 2012

අපූරු සමුගැන්ම

අපුරු සමුගැන්ම


" අද ප්‍රමාදයි " 

" අද ග්‍රවුන්ඩ් එකේ  මොකක් දෝ රැළියක්. ට්‍රැෆික් එක , ඉක්මනට යන්නත් ඕනි . . . . නැති නම් රෑ වෙයි "
 
" දැන් එන්නෙ හිත කැමැත්තෙන් නෙමෙයි වගේ "

" ඔවු. . . . වැඩි කල් එන්න ලැබෙනෙකක් නැහැ "

 
" ඒ මොක ද ? කෝ කෝ ......  මෙතනින් ඔළුව තියා ගන්න "

" හ්ම් .......... හරි සනීපයි "

 
" ඉතින් දැන් කියන්න "

" මට තිබහයි "

 
" වේටර් . . . . තේ දෙකක් ගේන්න "

" තේ එපා. නැති ද සැර ජාති "

 
" පිස්සි . . . .  එහෙනම් වෙන තැනකට යන්. මෙතන බැහැ නේ "

" මාව ඉඹින්න , මට හරි තිබහයි "
" හ්ම් . . . . . මෙතැන . . . . පොලිසි යන්න වෙයි "

" හ්ම් . . . . .  "
" දැන් මොකක් ද අර කීව කතාව ? "

" හ්ම් . . . . . . මට මෙහෙම මුණ ගැහෙන්න බැරි වෙයි. තව ටික කාලයයි. කරදර නොකර මට මෙහෙම ඉන්න දෙන්න "

 
" මොකක් ද ඒ කතාව . අර සුදු හීන්දෑරි එකා. . .  ඒකා ඔයාට කැමැති වුනා ද? "

" ඔවු. . . . තව ටික දවසකින් ඒකා මයෙ මනුස්සය. එන්නෙපා  ඌ මූ 

කියන්න. යන්න අහකට "
 
" ගෑණු .....!!! තමන්ට ඕනි දේ ලැබෙනකම් විතරයි "

" ඔවු. . . . මාවත් නාකි වුනාම බලා ගන්න ,දරුවෙක් හදා ගන්න ඕනි "

 
" ඉතින් මම හදා දෙන්නම් කෝ.  .."

" මාත් කැමැති. ඒත් දරුවට උප්පැන්නයක් ඕනි "

 
" අද තේක අන්තිමයි ...........!!!! "

" මට පරක්කුයි . .."

 
" නැගිට්ටෙ යන්න ද? "

" හ්ම් . . . . මට ඔය උරහිස දෙනව ද , ගෙදර ගෙනියන්න "

 
" ආයෙ කව දද එන්නේ "

" එන්න වෙනේකක් නැහැ මයෙ හිතේ . . . ..මම යන්නම් "

 
" පරිස්සමින් ගිහින් . . . . .එන්න "

" මම ආදරෙයි හැමදාම "




ආපසු හැරී නොබැලූ ඇය . . . . කෙළින් වීදියේ ...... නොපෙනී ගියා ය.




" මමත් ආදරෙයි .  . . .  කෙල්ලෙ . . . . මට සමාවෙන්න. "

Sunday, June 17, 2012

නුඹට පුදමි - Dedicated To You

නුඹට පුදමි

 Dedicated To You




නිරුත්තර වුනි
දෙපය පැකිළුණි
ගතම සලිතව නැවතුනා
දකින විට නුඹ
ගෙල බදා ගත්
සිඟිත්තා මට පෑ සිනා

නුඹ ළඟින් තව
සුරගනාවක් ඇගේ ගෑවී
යන නියා
දැනන් සිටියෙමි
වෙදගිල්ල මුදු
දැමූ බව පෙර කිවු නිසා

දැනන් හිටියේ
නැතේ මේ ලෙස
වේදනාවක් දෙයි කියා

කොහේ දෝ සිට
කෙනෙක් ඇවිදින්
කිනිස්සෙන් හද පැලු නියා

දනිමි නුඹෙ පෙම
ඔවුන් මත්තෙයි
බිඳක් වත් මේ මට එපා

මතකෙයෙන් පමණක්
නොවෙයි මං
යන්න සිතුවෙමි
දිවි පුදා

නුඹේ වරදක්
හෙම නෙමෙයි තිං
නෙතේ කඳුළක්
දෙනු එපා

පතමි සුබ සිරි
අනාගතයක්
මතක බණටත්
නුඹ එපා

Saturday, June 16, 2012

බරුව

බරුව

“ මොකක් ද මනුස්සයෝ ඒ කළ වැඩේ “

කන්තෝරු කාමරයේ නිස්කලංක බව එකවරම බිඳිමින් පැතිරී ගිය සලං: හඬ තුනී වීයන්නටත් මත්තෙන් සැප විධායක පුටුවේ වාඩි වී සිටි මැදිවියේ විධායක නිලධාරියා පුටුවෙන් පැන බිම විසිරී තිබූ බිඳී විසිරී ගිය වීදුරු බරුව දෙස බලා කෑගසන්නට වූයේ දෑස් ඉන් ඉවතට නොගනිමිනි. 



“ අනේ ................සර් දැක්කෙ නැහැ. අද වැදුනා “


“ දැක්කෙ නැහැ . . .  දැන් ඉතින් මං . . . . ඔක්කම ඉවරයි “ තවත් මොන මොනවාදෝ තමාටම මුමුණමින් , බිදී විසිරී ගිය සුන්බුන් අසල දණ ගසා ගත්තේ , තවත් ඒ පුංචි කොටස් විසිරී අන්තරස්දාන වෙයි  දෝ යයි බියෙන් මෙනි.


“ ඉ. ඉ . .ඉ න් න සර්  . . . මම ඔය ටික අස්කරල දාන්නම් “

“ යනව යන්න මගෙ දෑහට නොපෙනී. කීවම අහල යනව “

කලබලය ඇසී කාර්යාල කාමරය දෙසට දිව ගෙන ආ කාර්යාල සේවක කරුණාජීව , කාර්යාල අමදින්නාගෙන් ඉඟි කර ඇසුවේ කුමක් සිදුවා ද යන්නයි. අමදින්නා තම  උරිස් හකුළුවමින් මූන ඇඹුල් කර පැවසූවේ මෙතනින් පිට වී යාම දෙදෙනාගේම ශරීර සෞඛ්‍යට හොඳ බවය.

“ කොළඹින් අර මොකක් ද තරඟෙකින් හම්බුනු සම්මානෙ , වැරදිලා මයෙ අතින් බිම වැටිල බිදෙද්දිවත් , ලොකු මහත්තය ඔහොම කෑ ගෑවෙ නැහැ “

වායු සමනය කළ කාර්යාලයේ දොර වසා ගනිමින් එළියට පැමිණි අමදින්නා පැවසුවෙ තමාගෙන් සිදු වූ අත්වැරද්දේ ප්‍රමාණය සසඳන්නට මෙනි.

“ ඈ බන් , ඒකට ලොකු මහත්තයා හිනා වෙලා නිකම් හිටිය කියලා , උඹ හදන්නේ එතන තියෙන ඔක්කම කුඩු කරල දාන්න බං “

“ හිතල කරේ නැහැ නේ. . . අද කෙල්ලට බේත් ටික අරන් යන්න තියෙන දවස. කොහෙන් සල්ලි හොයා ගන්න ද කියලා කල්පනා කර කර තමයි උදේ ඉදලම හිටියෙ. “

“ ලොක්කගෙන් ඉල්ලුව නම් දෙනව නෙ සුමනෙ “

“ දැන් මොනා කරන්න ද , ඒකත් ඉවරයි “

“ නැහැ.... ඔය තරහ ටික වෙලාවයි. හවසට ගිහින් අහල බලපන් , උඹ උදේට කාල ද , යමන් බන් කැන්ටිම පැත්තෙ ප්ලෙන්ටියක් වත් බොන්න , බඩගින්නෙ ඉන්න බෑ “
- - - - - - - - - - -


“ ආහ් මිසීලා , තාමත් උදේට කනවැයි , අද පරිස්සමින් හොඳද , අන්න අද උදේම ලොක්කට මල පැනල ඉන්නේ “

“ ඒ මොක ද බන් ඒ “

“ මෙන්න මේකා අද උදේම ලොක්කගෙ මේස උඩ තිබ්බ වීදුරු බරුවකට වැඩේ දීලා , මුට කෑගැහුව සද්දෙට මාත් දුවල ගියා “

“ නැහ්  . . . .“

“ නැහ් නෙමෙයි . . .මංජු මිසී අද පරිස්සමින් හරිය “


“ වීදුරු බරුව නම් මොකක් ද බන් .එකට දහයක් ගන්න බැරිය ලොක්කට “


“ ඔවු මිසී , මම හිතන්නෙ ගෙදර ගෑනිත් එක්ක වලි දාන් ඇවිත් ඒ තරහ අපේ පිටින් යවන්නයි හදන්නේ “


“ හෙහ් හෙහ්  . .. . . කොල්ලො දාන්න කො හොද ස්ට්‍රොන් ප්ලේන්ටි දෙකක් මේ මිසීගෙ ගානේ “

---------------


කඩුගුල ඇවිස්සුනා සේය ,

“ ටිරිර්ර් ර් . . . .  ටිං “

“ ටිරිර්ර් ර් . . . .  ටිං “ 

“ ටිරිර්ර් ර් . . . .  ටිං “


හඬ  ඇසෙන වාර ගනන ගනන් කිරීමෙන්ම , අද දින කාර්යාලයට පැමිණියවුන් ගනන කීයදැයි පැවසීමට හැකි වනවා ඇත. “ ඇගිලි මැසිමයැයි “ නම් ලබා සිටින පැමිණිමේ සහ පිටවීමේ වේලාව සලකුණු කරන යන්ත්‍රය අද්දර මී මැසි පොදියකි.


තරුණ වියේ හැඩකාරියන් තම තමන්ගෙ ඇදුම් ආයිත්තම් සකස් කරන්නට කාලය ගනිද්දී , මැදිවියේ වුන් පොරකන්නේ ඇගිලි අත්සන සටහන් කිරීමටයි. එකිනෙකාගේ ඇඟේ තෙරපෙන ඇතැමුන් , තම කාර්යාලයේ තරුණ පහේ අතැමෙකුට අසභ්‍ය විහිළු කිරිමට ද මෙය අවස්ථාවක් කර ගන්නා යුරු දැකිය හැකි වුවත්. ඒවා සිනාවකින් එපිටට යන්නේ ඉතාම කලාතුරකිනි.


සාමාන්‍යෙයන් මේ අවස්ථාවේ දී මෙතැන නොරැදෙන්නේ මෙම කාර්යාලයේ ලොක්කා පමණි. ඔහුගේ පැමණිම හිමිදිරියේ කුකුළා අතින් අරන්ය , පිටවීම සියල්ලන්ට පසුවය.


නමුත් , අද ඔහුට අමතරව අද කාර්යාලයට පැමිණි තවත් දෙදෙනකු මෙතැන අඩුය.


එකෙකු නම් කාර්යාලය අමදින්නාය . ඔහු මේ වේලාවේ ලොක්කාගේ කාමරයේ ඇතුලු වීමේ දොරටුවට මුවා වී සිටින්නේ , අතමාරුව ඉල්ලා ගන්නට අවස්ථාවක් බලමිනි. කාමරයේ තවකෙකු සිටිනා යුරු දැනුන නිසා ඔහු පෙර මං බලන්නේ කාර්යාලය තුල සිටින්නා එළියට පැමිණෙන තෙක්ය.



නොඉවසිල්ලෙන් සිටිනා අමදින්නා විටින් විට සවන් දී සිටින්නේ කාමරය තුල සංවාදය අවසන් වන ලකුණු බලමිනි.


එහෙත් ඔහු උවමනාවෙන්ම සංවාදයට කණ් දෙන්නට ගත්තේ සංවාදයේ රැදුනු සංවේදිකම ඔහුට ද දැනෙන්නට පටන් ගත් නිසා වන්නට ඇත.


“ කේතකී , මට මේක එපා , ඔයා අරන් යන්න. “


“ ඒත් නලින් . . . .මම කැමැති මේක ඔයාගේ මේස උඩ තියෙනවට “


“ කේතකී . . . . . ඔයා මට දුන්න දේ බිඳුනා.ඒත් මේ ඩිංගට කොහොම ද ඒ වගේම එකක් සොයා ගත්තේ “


“ මේක ත් මම ගත්තේ ඒ දවස් වලමයි. මම ඔයාට දුන්නු හැමදේකම තව එකක් මා ළඟ තියෙනවා. ඔයාගේ වෙඩින් එක දවසෙ ඒ හැමදේම මම විසිකරා. පිච්චුවා “


“ එතකොට මේක . . . ? “


“ මේක මට ගෙදර අරන් යන්න බැරි වුනා.ගත්ත දවසෙ ඉදන් අද වෙනකම් මේක තිබ්බෙ මගෙ ඔෆිස් ලොකර් එකේ . කොහොමත් ලොකර් එක මට අස් කර ගන්න වෙනවා. “


“ ඒ මොක ද ? “



“ ලබන මාසේ ඉදන් මම මෙහෙ නැහැ. ලබන මාසේ මගෙ වෙඩින් එක. වෙඩින් එක ගත්ත ගමන් එයයි මායි රට යනවා. “



“ කේතකී . . . . . . . ! ! ! “


“ මම යනවා නලින් . . . .  මම හිතනවා ඔයා මේක කාටවත් බිදින්න දෙනේකක් නැහැ කියලා. . . . “

ඉන් ටික වේලාවකට පසුව ඇසුනු “ ටිරිර්ර් ර් . . . .  ටිං “ නාදයෙන් පැවසුනේ ඇය ද කාර්යාලයේ පිටවීම සටහන් කර බවයි.


ඉන් පසුව ලොක්කාගේ කාමරයට ඇතුලුවූ අමදින්නාට දැක ගත හැකි වූයේ , උදෑසන තමාගේ අත්වැරදීමකින්  බිදී විසිරී ගිය කඩදාසි බරුව සිනාසෙමින් යළි මේසය උඩ සිටින බවයි.

--------------------


දුක් බරුව මම
නුඹ හිත පතුලෙම
ගිලී සැනහී
උඩට නොම එන
මතක සිතුවිලි වල
බරට
කිසිදිනෙක
මතකයට නොම එන
නුඹේ සිත තුල
මා
මතකයට තැබු
දුක් බරුවයි

සියල්ල දරා සිටින
වීදුරු බරුව
මම
෴ සොඳුරු සිත ෴


Friday, June 15, 2012

බංකුව



" තරහෙයි . . . . .. ! ! ! "

ඇස් දෙක පුංචි කරලා , ඔළුව ටිකක් පහත් කරලා , එකම බංකුවේ එහා කෙලවරේම වැටෙන්න ඔන්න මෙන්න වගේ වාඩි වෙලා ඉන්න එයාගෙන් මං ඇහුවා . . . .. . . .. . .


හ්ම් ......... උත්තරේ මේකයි.


“ කතා එපා , මටත් තියෙන්නෙ හිතක්, ඕනි වෙලාවට ළඟට ගන්නයි,එපා වෙලාවට විසි කරන්නයි මං කවුරු කියල හිතුව ද? යන අහක යන්න .මගෙ පාඩුවේ ඉන්න දෙන්න “


ඒත්
 


තාමත් අපි බංකුවේ කොන් දෙකට වෙලා හැමදාමත් වාඩි වෙලා ඉන්නවා... කතා නැතිවම.
ප:ලි - මේක දැකපු මයෙ හොඳ යාළුවෙක් මෙන්න මෙහෙම ලියල තිබ්බා. මයෙ හිතට ඇල්ලුව නිසා මම ඒකත් මෙතනම ලීවට යාළුව තරහ වෙන එකක් නැති වෙයි.
එයා ගේ උත්තරේ මෙන්න මේකයි.


 " මොකුත්ම නොකියා ඇස් දෙක පුංචි කරලා, ඔළුව ටිකක් උස්සලා, වැටෙන්න ඔන්න මෙන්න තියෙන බාගෙ අරන් බංකුව උඩින් තියන ගමන්, ඔයාගෙ කෙස් ටික අවුල් කරල දාවි.ඊට පස්සෙ, ඇස් දෙක ලොකු කරගෙන, නාස් පුඩු අගින් හුස්මක් දාලා, ආපහු බැරෑරුම් විදිහට ඈත බලාගනීවි."

ළං වෙන්නත් බැරි
ඈත් වෙන්නත් බැරි
පරතරයකින්
බංකුවේ මෙහා කොනේ ඉන්න
මම
෴ සොඳුරු සිත ෴

Wednesday, June 13, 2012

විත්තිකාරී

විත්තිකාරී



“ ආහ් කෙල්ල ....... වෙඩින් එකත් අත ළඟම තියන් , අව්වෙ පිච්චි පිච්චි කොහෙ ද මේ යන්නේ ? “

මුහුදු සුළඟට , ඇඟටම බදනා සුදු සාරිය එකතකින් ද , සුළං රැල්ලට අසුවී දගලමින් මුහුණටම වැටෙන අකීකරු කෙස් රොදවල් අනිත් අතින් ද හේකර ගනිමින් , යුහුසුළු ගමනක් යමින් සිටි අනූ මොහොතකට නවතන්නට ඒ හඩට හැකි විය.
“ අනූ . . . මොක ද බන් බය වෙලා වගේ. කොහෙද මේ යන්නේ ? සුදු සාරියකුත් ඇදන්. හරියට මිනිහ මැරුනු ගෑනි වගේ. මොකක් ද බං හෙට අනිද්දට මනමාලියක් වෙන්න ඉන්න කෙල්ලක් නේද ?
“ හදිසි වැඩක් බන්. . . . මං යන්නම් “ සියළු දෙනාගෙන් වසන් වී පැමිණිය ද , දන්නා හඳුනන එකෙකුට හෝ මේ ගමන ගැන ඉව වැටීම ඇගේ සිත නොසන්සුන් කිරීමට සමත් කරුණකි. තව සති දෙකකින් මනාලියක වන්නට සිටින අනූගේ ජීවිතය සහමුලින්ම වෙනස් කිරීමට අද ඇය යන මේ ගමනත් , අද තව සුළු මොහොතකින් ඇය ගන්නා තීරණයක් කරන්නේ සුළු පටු බලපෑමක් නොවන බැව් ඇය නොදන්නවා විය නොහැකි ය.

ජීවිතයේ එක් නොගැලපීමක් පසෙකලා තවත් ගැලපීමක් සොයමින් සිටි ඇයට සිදු වී ඇත්තේ ගැලපීම් නොගැලපීම් හමුවේ දෝලනය වන සිතට නිවනක් ලබා දීමට වඩා වෙනකෙකුගේ ජීවිතයක හැරවුම් ලක්ෂය තමාගේ තීන්තෙන් ලකුණු කිරීමටයි.වෙනකෙකුගේ නඩුවක් වෙනුවෙන් මාස ගනන් රස්තියාදු වී ඉතාමත් වෙහෙස වී සිටි ඇය අද මේ යන්නේ අනුන්ගේ නඩුවට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවා තීන්දුව දී, සියල්ල නිදොස් කොට නිදහස් කර ගැනීමට යි.
විත්තිකාරයා ඇය එන තුරා බලා සිටින්නේ ඇගේ අවසන් සුසුම් බිදෙන් ප්‍රාණය සොයන්නෙකු ලෙසිනි.මුල දී මුල දී විත්තිකරු අනූ ගැන අනුකම්පා සහගත වූව ද දැන් දැන් ඔහුට ද අවශ්‍ය වන්නේ කෙසේ හෝ මේ නඩුවෙන් ගැලවීමට බැව් අනූ හෙවත් අනුත්තරා සිතන්නට විය.
අසා අවසන් වූ පෙර නඩු වාරයේ දී විත්තිකරු ඇය හා දෙඩූ වදන් වල ගැබ්වී තිබුනේ , කෙසේ හෝ තමා නිදහස් කර ගන්නා මෙන් කෙරුණු ආයාචනය කි.
“ අනූ . . . ඔයාට විතරයි පුලුවන් දැන් මාව මේකෙන් නිදහස් කරන්න. ඔයාට පේනවෙන් . මට ගැලැවෙන්න කිසිම විදහක් නැහැ. අනික ඒ වරද මං නොකරපු බවට හොඳටම දන්නෙ ඔයයි මායි විතරයි “


“ හ්ම් . . . . . මං මොනා කරන්න ද ? “

“ පේනවනේ , මං ගියොත් යන්නෙ අඩුම ගානේ අවුරුදු දහයකට . . .එතකන් අර අසරණයො ටික මොනා කරන්න ද ? මගෙ පඩියත් පැන්ශන් එකත් නැති වෙනවා. ඔයාට පුලුවන් ද එයාලව බලා ගන්න ? “

ඒසේ පවසන විත්තිකරුගේ දෑස් , ඔහු පසු කර උසාවියෙන් ඉවතට යමින් සිටි සෙනඟ අතර වූ ගර්භණී කාන්තාවක් සහ ඇගේ සුදු සාරියේ එල්ලී පසුපස බලමින් යන කුඩා පිරිමි ළමයෙකු වෙත එල්ල වී තිබෙන යුරු ත් විත්තිකරුගේ දෑස් සියුම් කඳුළු පටකින් වැසීයනයුරුත් අනුත්තරා බලා සිටියේ තමා ගැනම ඇති වූ අනුකම්පාවෙනි.
ඒ අනුකම්පාව දස දහස් වාරයක් වැඩි වූයේ ඊළඟ නිමේෂයේ දී අනුත්තරා ඇසූ පැණයට විත්තිකරුවා දුන් පිළිතුරෙනි.
“ ඒ දේ එළි කරොත් , මට වගේම ඔයාටත් හොඳ නැහැ කියලා ඔයා දන්නව නේද ? “
“ ඔවු මන් දන්නවා. ඒත් එයා මට සමාව දේවි. අවුරුදු දහයක් දුක් විදින්න තරම් වරදක් නෙමෙයි ඒක “
විත්තිකරුගේ පිළිතුරින් සසල වී ගිය අනුත්තරා , විත්තිකරුගේ දෑසටම එඹෙමින් ඇසූ ඊළඟ පැනය ට විත්තිකරුගේ පිළිතුර වුයේ දීර්ඝ සුසුමකුත්, පිළිතුරක් අපේක්ෂාවෙන් සිටි අනුත්තරාගේ දෑස් මඟ හරිමින් ඈත කොහේ දෝ නොපෙනෙන දුරකට යොමු වූ දෑසත් පමණි.
“ එතකොට මං . . . ! ! ! ! “ අනුත්තරාගේ පැනය එදින සිට අද වෙන තෙක් අනුත්තරාගේම සිත තුල දෝංකාර දෙන්නේ , නිසි පිළිතුරක් නොලද නිසාවෙනි.
නමුත් අද සියල්ල සංසුන් වනු ඇත.විත්ති කූඩුවට නැග ඇය පවසන දෙයින් , සියල්ල නිදොස් වී ඇය පමණක් වැරදි වනවා ඇත.
උසාවි සංකීර්ණය තුලට පැමිණි ඇය , නීතිඥවරුන්ගේ කාර්යාල පේළියේ කොණේම කාර්යාලය වෙත විගසින් පිය මැන්නේ , තම සිත තුල ඇති තිර අදිටන කොයි මොහොතක හෝ වෙනස් වේ යැයි බියෙන් මෙනි.
ගැහෙන හදවත නීතිඥකාමරයේ දොරකඩ තබා එතුලට ඇතුවූ අනුත්තරා . . . . කිසිම නඩුවක් නොදිනන වයසක නීතිඥමහතා කතා කරන දිනන්න යන එකම නඩුවේ විත්තියේ සාක්ෂියක් වී විත්ති කූඩුවට යෑමට තමන් කැමැති බැව් පවසද්දී . . . . . නහය අග රැදි උපැස්යුවල ගලවා අතට ගත් හේ ,
“ දරුවා තමාට හොඳටම විස්වාස ද තමා කරන්න යන දේ හරි කියලා. “


ඇසුවේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොවන වග අනුත්තරා දැන සිටියා ය. නමුත් ඇය සිය කටහඬ අවදි කළේ , ලොව සියළු බැදීම් ආත්මාර්ථකාමී වන බැව් පසක් කර ගත් සේම ආදරය නම් දෙයක් නොපවතින බව ද සක්සුදක් සේ පැහැදිලි කිරීමට මෙනි.



“ ඔවු . . . මම හොඳටම දන්නවා එයා මේ හොරකම වෙන වෙලාවෙ එතන හිටියෙ නැහැ කියලා. එයා හිටියේ මාත් එක්ක. අපි දෙන්නට ඕනි වුනා ඒ සම්බන්ධය නතර කරලා , අපි දෙන්නට වෙන් වුනු පාරවල් වල යන්න. ඒ ගැන කතා කරගන්න , අන්තිමේ දී අපි හමුවුනේ ඔය කියන දවසෙ . අපි හිතාන හිටියෙ අපේ කතා වෙන් වෙන් විදිහට අලුතින්ම ලියන්න. . . . . “
“ ඔය කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙයි ද දරුවා “
“ ඔවු . . . . . අපි එදා හිටපු කාමරය අයිති හෝටලයේ පොතේ ඇත්තේ අපි දෙන්නගෙ ම ඇත්ත නම් “


විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටිය නොහැකිව ලතැවෙනමම
෴ සොඳුරු සිත ෴

Wednesday, June 6, 2012

ම යන්න ................




හැළුනු ම යන්න




මම ගෙ මයන්න හැලිල තියෙද්දි
අහුලල ගෙනාවේ ඔයා
මං ඒ මයන්න ආදරයෙන් ලගට ගද්දි
මයන්නෙ ඇමිණිලා තිබ්බ
ඔයන්න කුත් ඇවිත් තිබ්බ
දැන් ඉතින් මයනු වලට මැදි වෙලා
අලුත් අකුරකුත් තියෙද්දි
මට කවදාවත් ආයෙත් මම
වෙන්න බැරි වෙයි ද ?

කරුණාකරල
ඔයාගේ ඔ යන්න අරන් ගිහින්
මගෙ ම යන්න ගෙනත් දෙන්න

ම යන්න නැති
මං
සොඳුරු

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...