..... I am the poem that's  yours but doesn't belong to you ever,...

Monday, May 21, 2012

෴ ගමනක නිමාව / The Endpoint ෴

෴ ගමනක නිමාව  / The Endpoint






දිය පොඳක් නොව පිනි බිඳක්




අහස නොව තරුවක ඉඩක්




තෙත දැනෙන හදවත තැනක්




මිස පැතුවෙ නැහැ ලොකු දෙයක්


 උපත :- 2009-09-18     විපත :- 2012-05-21




෴ ආයුබෝවන් ෴


සොඳුරු සිත



------//---------

Sunday, May 20, 2012

වේලුනු මතක

මතක පිටු අතර - වේලුනු මතක




සමහර දවසට , කම්මැලි හිතුනම මම කරන්නේ මයෙ පරණ පොත් අවුස්සන එක.ඒවයෙ අතර තියෙන මතක, අමතක වෙලා ලියල දාපු කොළ කෑලි. ටොපි කොළ , වේලුනු මල්, කූඹි , ටියුෂන් කාඩ් , සීසන් ටිකට්,

හ්ම්ම්ම්..... අදටත් ඉවර කරල නැති සමහර ටියුට්ස්... බාගෙට ලියපු ලියුම් ,අතන මෙතන ඇදපු බලි, සමහර තැනක පොතක නෝට් එක අස්සෙම ලියලා “ එයා අද ඇවිත් නෑ “ හිහි........ හදිසියේම ඇති වෙන කලබලයකින් වගේ , ආපහු අපිළිවලටම ඒ පොත් ටික තිබ්බ තැනටම තල්ලු කරනවා.මම හරි බයෙන් , මතක ටික අමතක වෙයි කියල ද? නැතිනම් මතකය අලුත් වෙනවට ද?


මේ පොත් පෙට්ටි දෙක තුන ගින්නට පූජා කරන්න කී පාරක් මම උත්සාහ කරා ද? එක දවසක් , අලුත් අවුරුද්දකට ගෙවල් අස්කරද්දි.... මයෙ කාමරයෙන් මේ පොත් පෙට්ටි ටික එළියට ඇදල දමද්දි ,අම්මගෙ මවිතය පිරි ඇස් මා දිහා බලාන හිටියේ “ මේ මොන පුදුමයක් ද ? “ කියන්න වගේ.

එදා වැඩට ගියත් මයෙ හිතට කිසිම සැනසිල්ලක් තිබුනෙ නැති හැටි.භාග නිවාඩුවක් අරන් ගෙදර ඇවිත් ඒ වෙන කොටත් හරි ජයට ඇවිලෙමින් තිබ්බ ගින්න දිහා බලාන හිටිද්දි.

“ අන්න පොත් පෙට්ටිය මම කාමරයට දැම්මා “ කියල අම්ම කීවේ හරියට මගෙ හිත කියෙව්වා වගේ.

ගෙදර කවුරුවත් නැති සමහර මහ මුසල පාලු දවස් වලට , පොත් පෙට්ටි ටික අවුස්සන්න ගත්තම , තනිමං වටේ බොහොම සොඳුරු වගේම වේදනාබර මතක ඇවිත් පිරෙනවා. . . . . පොත් පිටු වලට හිනා වෙන අතරෙම , ඉදල හිටලා පොතක පිටුවක් බොද වෙලත් යනවා.

මතක තියෙන්නෙ හිතේ නෙමෙයි , සමහර ද්‍රව්‍යමය දේවල් එක්කල බැදිල කියල හිතෙන්නේ පොතක අස්සක තියෙන පුංචි ටොෆි කොලයක් දැක්කම තමයි.

ඒත් . . . . . . . මයෙ ජීවිතය අලුත් වෙන්න දැන් කාලය හරි. බොහොම ලෝබකමින් පොදි බැදගත්ත මතක වස්තු ගින්නට පුදන්න.සියල්ලෙන් මිදිලා සමාජයේ පිළිගත්ත කුටුම්භයකට කොටු වෙන්න දැනටමත් පරක්කු වැඩියි.

හදවතින්ම වෙලා ගත්ත දේ අත්හරින එක සර්පයෙක් හැව අරිනව තරම් ලේසි නම් ? හිතට මුවා වෙලා , බොරුව පිරුනු ලෝකෙක ජීවත් වෙන්න හරිම ලේසි වේවි...

පොතක පිටුවක අතර වේලුනු
මලක පෙති ලෙස පාවෙලා
සුවඳ පමණක් තබා යනු මැන
වියලි මතකය හැර පියා

කඳුළු බිද බිද එකතු වී යළි
වියළි මතකය පණ පොවා
අදක් මිස , මිය ගිය හෙටක් ගැන
නොසිත ඉන්නෙමි සිත පියා (හිත පියාගෙන )

෴ ඉරිදා පැතුම ෴

෴ ඉරිදා පැතුම ෴
මහ පොළවට ගොඩක් උඩින්
නිල් අහසට ටිකක් යටින්
මම ආසම තැනක් ඇතේ
මේ මිහිපිට ලන්තේ


හැන්දෑ වරුවට කලියෙන්
දහවල ගෙවෙනට කලියෙන්
මම එතනට එනවා
නුඹට මතක නේ දෝ

මම ආසම ඩෙනිම ඇදන්
සුදු ටී ෂර්ටය සමගින්
ගෙවුනු රබර් පයේ දාන්
මා එනකම් හිටපන්

මං දැක්කම නුඹේ හිනා
වත පුරවා දීපන්
ඒ ඇති මට මගේ දවස
සුවඳ කරන් තියපන්


වෙලාව බලන
මම
෴ සොසී෴


ප/ලි:-
වැහි කළුවර අහස දරන්
එන්නෙ නැහැ කුඩේ අරන්
වැස්සොත් වැස්සට තෙමෙන්න
බලන් එනව නේදෝ

Monday, May 14, 2012

෴ අවසන් කවිය / The Last Poem ෴



මේ නෙලන්නේ
වසන්තයේ දළු ලෑ
අවසන් ආදර කොළයයි


ලියන්නෑ කවක් ආයෙත්
නමින් නම් නුඹේ
සුවඳ සේ ඇවිදින් හදේ

යන නිසා රහසේ

ගොතන්නේ නෑ මුතු පොටක් ආයේ
බදින්නට සිතා නුඹගෙ දෑතින්
ඉහිරෙන නිසා මුතු දහසක්
නෙතු පියන් අස්සේ


කියන්නෑ ලොවට රහසේ
මධු බඳුන් පිරුන ද සවනේ
පලක් නැහැ නොව රසයේ
කණට වක්කරනා මී පැණියේ


හිමි කරන තෙක් ලියලා
මහ පොතක පිටුවක් පුරා

බැදෙන්නේ නැහැ පහසේ

හදවතක නම් ආයේ




ආදරයේ අවසන් පත් ඉරුව
විවාහයම විය යුතු බව
මට නුඹ ආයෙත් පසක් කරා...............

එන්නෙ නැහැ දුක් දෙන්න
ඔය හිතට කවදාවත්


මම
- නපුරු සොඳුරු -

Saturday, May 12, 2012

෴ ගින්න /Fire ෴අවසන් කොටස

මෙතෙක් කතාව
ලිලිනා ,මැදිවියේ සුන්දර ගැහැණියක්. ඇය පොලිසියේ පසුවන්නේ
ඇය ගේ නිවසේ දී ගිනිතබා ගෙන හෝ යමෙක් ගිනිතියා දැමූ නිසා

අසාධ්‍ය තත්ත්වයේ රෝහලේ පසුවන මැදිවයේ මිනිසකු ගැන කට උත්තරයක් දිමටයි.

ගින්න නිසා මිනිසා පිලිස්සි සිටිය ද, ලිලිනාගේ හදවතේ තුවාල දරුණු වන්නේ

අතීතය නැමැති ගින්න විසින් පුළුස්සා දමනු ලදුව අළු මතින් නැගී සිටින ගිනි පුළුඟු

ඇගේ හදවත දවන නිසයි.

පිළිස්සුනු මිනිසා සහ ලිලිනා අතර සමබධකමට නමක් නොතිබීමද ගැටළුව තව තවත්

උග්‍ර කරන අතර, කට උත්තරය දෙමින් සිටිය දී රෝහලෙන් පැමිණෙන පණිවිඩයකට ,

පොලිස් සාජන් , පොලිස් කොස්තාපල්වරයකු සමඟ ලිලිනාට ද රෝහලට යෑමට පිටත් වෙයි.
රෝහල් කොරිඩෝවකදි නෙත ගැටෙන පණසිදුන රෝගියකු දැක ඇය කම්පාවට පත්වෙයි. නමුත් ඇගේ
හිත සුවපත් කරමින් ඊළඟ මොහොතේ දී ඇය දකින්නේ රෝගි සයනයේ පණයදිමින් සිටින
එඩ්වඩ්වයි.ලිලිනා කුඩා අවදියේ සිට හදුනන එඩ්වඩ් සමග ඇය යොවුන් අවදියේ දී ඇති වූ ප්‍රේමය හිරු දුටු පිනි ලෙස වියැකි යද්දී , එඩ්වඩ් වෙනතක් බැලූ අයුරුත්, ඉන් පසු ලිලිනා ගම් දොර හැරපියා ගිය අයුරුත් නැවතත් අහඹු ලෙස ඔහු මුණ ගැසුනු අයුරුත් සිනමා පටයක සිත්තමක් මෙන් ඇගේ සිහියට නැගෙන්නනට විය.
නැවතත් අහම්ඹයෙන් මෙන් ලිලිනාට එඩීව මුණ ගැහෙන්නේ ක්ෂය රෝගියෙකු ලෙසිනි.
ලිලිනා ඔහුව තම නිවහනට කැදවා ගෙන විත් බාලගන්නට දෙවරක් නොසිතන්නීය

අද එතැන් සිට.............................



කාලය එසේ ගත වී ගියේ එඩ්වඩ්ට ලිලිනාගේ හදාගෙන යමින් තිබූ නවීන පන්නයේ නිවසේ සෙවනක් සපයමිනි. ඔහුටම වෙන් වූ කාමරයක් ලබා දිමට තරම් ලිලිනා කාරුණික වුනා.ගෙවී ගිය අතීතයේ නොපැහැදි
තැන් රැසක් එකිනෙකාට පහදා දෙන්නට හිත් බිදුනු තැන් පිළිසකර කර ගන්නට මේ කාලය හොඳටම ප්‍රමාණවත් වුනා.


නමුත් .......................

මිනිසා යනු කුතුහලයෙන් පිරි සත්ත්ව ප්‍රාණියන් රැසකට, විශේෂයනේ තම සැමියා විදේශගතව සිටිද්දී වෙනත් නාඳුනන්නෙකු , ඥාතියෙකු නොවන්නෙකු තම වහලය යට නතර කර ගැනීම සෑහෙන ප්‍රශ්ණයක් වුනු අය ලිලිනාගේ ගේ අවටත් වාසය කළා.

තමන්ගේ වියදමින් මුද්දර ගසා පිටු ගනන් විස්තර සපයමින් විදේශයේ සිටින තම අසල්වාසී මිතුරාට ලිපියවන්නට තරම් ඒ මිනිසුන් කාරුණික වුනා.

පිට මිනිහෙකු ගෙයි දාගෙන තම මව කිසිම අවැඩක් සිදු නොකර බැව් දැන සිටි දරුවන්ට ද එය කිසිම ලෙසකින් ප්‍රශ්ණයක් නොවූවත් , අසල්වැසියන් නම් මේ පවුල ගැන බැලූවේම ජඩ කැත අවිනීත කණ්නාඩියකින්.

විදේශගතව සිටිනා තම සැමියා එවන ලිපි එන්න එන්නම නරක් වෙද්දි ලිලිනාටත් කරන්න කියල කිසිම දෙයක් ඉතිරි වෙලා තිබ්බෙ නැහැ.

ඒ වෙන කොට එඩී මාමා දියණියගේ විතරක් නෙමෙයි ලිලිනාගේ මුරණ්ඩු පුතාගේ ලෝකෙටත් ගොඩක් ළං වෙලා හිටියා. ඇත්තම කියනව නම් ලිලිනා ත් හිටියේ බොහොම සතුටින්.ඒ සතුට ඇගේ හිතට විතර ද ? රෑට රෑට ලිලිනා එඩීගේ කාමරයට ත් රිංගුව ද කියල නම් මයෙන් අහන්නෙපා. ඒ දේවල් තම තමන්ගේ හිත් වල තියෙන පාට පාට කණ්ණාඩි වලින් බලාගන්න.මොකද මං කොච්චර නැහැ කීවත් ඇතැමෙක් ලිලිනා ගැන මම පවසන සත්‍ය පිළිගන්න කැමැති නැහැ කියල මම දන්නවා.

විදේශගත සැමියා එවන ලිපි වලට අමතරව දවසක් හදිසියේම වාගේ දුරකතන ඇමැතුමකුත් ආවා. මේ ඇමතුම ලිලිනාගේ හිත සසල කරා කියලයි මට හිතෙන්නේ.

“ ආහ් ගෑනියේ , උමට පිස්සු ද එක එකාව ගෙයි දාගෙන මඟුල් නටන්නේ. තමුසෙට උස්මහත් වුනු ළමයි ඉන්න බව අමතක වුනා ද , තෝ හිතන්නෙපා මං මුදු හතකින් දුර හිටියට මැරිල ගිහින් කියලා. තෝයි තොගෙ හොර මිනිහගෙයි කෙරුවාව මං දන්නවා.එක පාරක් වැරදුනාට ආයෙත් වරදියි කියල හිතන්නෙපා ගෑනියේ. එක පාරක් වෙඩිල්ල වැරදිලා කාලකන්නි දොස්තර නෝනට වැදුනට , මේ සැරේ මම කොන්ත්‍රාක් එක බාර දුන්නේ තෝයි තොගෙ හොර මිනිහයි දෙන්නම කපෝති වෙන්න. උඹ ඔය මිනිහත් එක්ක ගමේ නටපු නාඩගම් ඔක්කමෙ අමතක කරල දාලා උඹව බාර ගත්තේ මගේම තියෙන මෝඩකමට තමයි ගෑනියේ. ඒත් මේ සැරේ වරදින්නෑ “

බ්ලොගයේ ලිවිය නොහැකි තරම් අසභ්‍ය වදන් ද, යොදා ගනිමින් සිදු වූ කතාවටත් වඩා ලිලිනාගේ හිත සසල වුනේ //එක පාරක් වැරදුනාට ආයෙත් වරදියි කියල හිතන්නෙපා ගෑනියේ. එක පාරක් වෙඩිල්ල වැරදිලා කාලකන්නි දොස්තර නෝනට වැදුනට , මේ සැරේ මම කොන්ත්‍රාක් එක බාර දුන්නේ තෝයි තොගෙ හොර මිනිහයි දෙන්නම කපෝති වෙන්න “ // යන වදන් සමූහයයි.

ඇය රෑ නින්දෙන් බිය වී ඇහැරෙන්නටත් රෑට රෑට එඩීගේ කාමරයට යන්නත් පටන් ගත්තේ ඉන් පසුවයි.

“ එඩී . . . . . . ඔයා ව බදින්න හිටපු දොස්තර නෝනට මොකද වුනේ ? “ දවසක් ලිලිනා එඩීගෙන් ඇහුවේ ලිලිනාගේ පුලුල් උකුලේ තිබ්බ එඩීගේ හිස පිරිමදින ගමන්.

“ ඒ කාලේ මට යහමින් සල්ලි තිබ්බ ලිලී.මම උඹවත් එපා කියල ඒ ගෑණිමත්තෙම හැපෙන්න වුනත් , මගේ තිබ්බ සෙල්ලකාරකමටයි.උඹට කරපු ද්‍රොහි කමටයි හරියන්න . . . .මගේ සේසතම බලා ඉද්දි නැති වෙලා ගියා “

“ ඉතින් “

“ ඒ ගෑණි මට නෙමෙයි මයෙ සල්ලි වලට ආදරය කරපු බව ඒ ගෑණිගෙ කටින්ම කීවා ලිලී “

“ ඉතින් , ඔයා ද එයාව මැරුවේ ? “

“ නැහැ.... ඒකිව මරන්න තරම් කේන්තියක් ඇති වෙච්චි බව හැබෑව.ඒත් මම ඒකිව මැරුවෙ නැහැ ලිලිනෝ “

“ මං දන්නවා . . . .“ මද සුසුමක් හෙලු ලිලිනා ......  ඒ වන විට හිස ඔසවා තමා ලගින්ම සයනයේ වාඩි වී සිටි එඩීගේ උරහිසට වාරු වුයේ . තම විදේශ ගත ස්වාමියාගේ දුරකතන ඇමතුමේ වචනයක් ගානේ සිහිකරමිනි.

එහෙත් විසබීජය නොසිතූ ලෙසින් තම අණසක හැකි සෑම දෙසම පතුරමින් තිබුනි.

දිනක් පාසල් ඇරී ලිලිනාගේ පුතු ගෙදර ආවේ දැඩි ආවේගයකිනි.

“ අම්මේ . . . . අර මිනිහට මේ ගෙදරින් යන්න කියන්න. ඔන්න මං නොකීවයි කියන්නෙපා.නැතිනම් මම මේ ගෙදරින් යනව යන්න හිස හැරුනු තැනක “

“ පුතා කෑ ගහන්නෙපා.“

“ ඇහුනාවේ. ඇහෙන්න තමා මම මේ කාටත් කියන්නේ . . . . එක එකා කියන අවලං කතා අහන්න වෙන්නෙ මට නේ “

ඉන්පසු එළඹියේ අතිශය නිහඩ කාලපරිච්ජේදයකි. නිවැසියන් එකිනෙකා එකිනෙකාගේ මුහුණු නොබලන්නට වූ අතර. කෑම මේසය මතම සීතල වී කුණු ගොඩට යන්නට විය.

“ එඩී...... අපි තීරණයක් ගන්නෝනි. එඩී....මට සමාවෙන්න. කරුණාකරල මේ ගෙදරින් යන්න “

හදවතේ කොහේ දෝ සිට නැගෙන ඉකිය පිටනොකරම ලිලිනා තම හදවත පුපුරන්නට හැරියාය.

“ ලිලී....ඔහොම කතා කරන්නෙපා ලිලි. මම කොහෙ කියල යන්න ද? අනික දැන් මට ඔයාව දාලා යන්න ...“

“ නවත්ත ගන්නව ද ඔය කතාව. තමුන්ට ගෑනියෙක් ළමා ළපටි ඉන්නව නේද.ඇයි උන් ගාවට යන්න බැරි.ඇයි දෙයියනේ මටම වද දෙන්න ඉන්නේ.මම දන්න කාලේ ඉදල මගෙ ජීවිතේ කාල කන්නි කරන්න හදන්නෙ ඇයි එඩී.... දෙයියනේ මං වගේ කාලකන්නි ගෑනියෙක්. ................. එඩී මම අද හවස එනකොට මේ ගෙදරින් ගිහින් තිබ්බෙ නැතිනම්. අම්මප මං යනව මගෙ දරුවො දෙන්නත් අරන් කොහෙ හරි යන්න ‘

ඉන්පසු සිදු වූ දේ දන්නේ දොලොවක් අතර නින්දත් නොනිද්දත් අතර සිටිමින් රෝහලේ සයනයේ මුනින්තලාව සිටිනා එඩීම පමණි.

-----------------------------------------
රූප රාමුව යළිත් වර්තමානයේ රෝහල් වාට්ටුව වෙතට ක්ෂණිකව ඇදේ.

ඔබට මතක ඇති විදිහටම , එඩීගේ සයනය වටා සිටින්නේ , සාජන්,රාලහාමි ,ලිලිනා සහ වෛද්‍යවරයා පමණි.

“ ලෙඩාගෙන් කට උත්තරයක් ගන්න සාජන් “ වෛද්‍යවරයාගේ මුහුණේ වූයේ හැගීම්වරහිත වියළිබවකි.

“ තව වැඩි වෙලාවක් නැහැ .....“ වෛද්‍යවරයා නැවතත් පැවසූවේ අමතක වූ යමක් සිහිවූවෙකු මෙනි.

“ එඩී . . . .  මොකක් ද වුනේ එඩී මට කියන්න “

ලිලිනා දෙසම බලා සිටිනා එඩීගේ සිත කියවූ ලිලිනා එඩීගේ පිළිස්සී විකෘති වී ගිය මුහුණ අද්දරටම තම සුන්දර වත පහත් කරමින් දිරි ගෙන අසන්නට වූවාය.

දැඩි අපහසුවකින් මෙන්ම....දැඩි ආසාවකින් ද දැවෙන්නට වූ එඩී........ ගේ මුවින් පිටවූ අවසන් වචන ලිලී කෙදිනකවත් බලාපොරොත්තු නොවී යයි ...............කීමට මම නොකැමැති වෙමි.

“ ලිලී....ලී.... ඒ ........ මයෙ ............. පුතා ද ලිලි.............සමා.....වෙ.......වෙයන්...........ලි ....ලී“








ගින්න නිමි.



පලි:-  ආසාවෙන් ද , ආදරයෙන් සහ රාගයෙන් ද , මේ සෑම දේ මිශ්‍රිත නොසන්සිදෙන හිස් තැනක් තබා ගනිමින් ද දිවි ගෙවන මිනිසා , එකිනෙකා හා බැදී පවතින්නේ ඉතාම සිහින් රැහැනකින් වුව ද, එක් කොනක් ගිනිගත් පසු රැහැන ඇවිලී ගින්න පැතිරෙන්නේ , තමා හා ඒ අවට සිටි සියල්ලන් එයට හසුකරමිනි. මේ සියල්ලෙන් මිදීම වෙනුවට...අපි තව තවත් රැහැනෙහිම පැටලී වෙලී දැවෙමින් සිටන්නන් නොවේ ද ?

Friday, May 11, 2012

෴ ගින්න /Fire ෴ 6 කොටස

මෙතෙක් කතාව
ලිලිනා ,මැදිවියේ සුන්දර ගැහැණියක්. ඇය පොලිසියේ පසුවන්නේ
ඇය ගේ නිවසේ දී ගිනිතබා ගෙන හෝ යමෙක් ගිනිතියා දැමූ නිසා

අසාධ්‍ය තත්ත්වයේ රෝහලේ පසුවන මැදිවයේ මිනිසකු ගැන කට උත්තරයක් දිමටයි.

ගින්න නිසා මිනිසා පිලිස්සි සිටිය ද, ලිලිනාගේ හදවතේ තුවාල දරුණු වන්නේ

අතීතය නැමැති ගින්න විසින් පුළුස්සා දමනු ලදුව අළු මතින් නැගී සිටින ගිනි පුළුඟු

ඇගේ හදවත දවන නිසයි.

පිළිස්සුනු මිනිසා සහ ලිලිනා අතර සමබධකමට නමක් නොතිබීමද ගැටළුව තව තවත්

උග්‍ර කරන අතර, කට උත්තරය දෙමින් සිටිය දී රෝහලෙන් පැමිණෙන පණිවිඩයකට ,

පොලිස් සාජන් , පොලිස් කොස්තාපල්වරයකු සමඟ ලිලිනාට ද රෝහලට යෑමට පිටත් වෙයි.
රෝහල් කොරිඩෝවකදි නෙත ගැටෙන පණසිදුන රෝගියකු දැක ඇය කම්පාවට පත්වෙයි. නමුත් ඇගේ
හිත සුවපත් කරමින් ඊළඟ මොහොතේ දී ඇය දකින්නේ රෝගි සයනයේ පණයදිමින් සිටින
එඩ්වඩ්වයි.ලිලිනා කුඩා අවදියේ සිට හදුනන එඩ්වඩ් සමග ඇය යොවුන් අවදියේ දී ඇති වූ ප්‍රේමය හිරු දුටු පිනි ලෙස වියැකි යද්දී , එඩ්වඩ් වෙනතක් බැලූ අයුරුත්, ඉන් පසු ලිලිනා ගම් දොර හැරපියා ගිය අයුරුත් නැවතත් අහඹු ලෙස ඔහු මුණ ගැසුනු අයුරුත් සිනමා පටයක සිත්තමක් මෙන් ඇගේ සිහියට නැගෙන්නනට විය.

අද එතැන් සිට . . . . . . . . . . . .


පෙර ලියූ කොටස් වලට


පළමු කොටසට මෙතනින් ද

දෙවන කොටසට මෙතනින් ද
තෙවන කොටසට මෙතනින් ද
සිවුවන කොටසට මෙතනින් ද යන්න


හම ගැසූ කුකුළා දකුණතින් ද මස් පිහිය වමතින් ද එල්ලා ගත් කෙසඟ සිරුරැති එඩ්වඩ් හෙවත් සුදු මහත්තයා ලිලිනා දෙස බලා සිටින්නට වූයේ හැඟීම් විරහිත මුහුණකිනි.

පුදුමය මුසු වූ දෑසින් ඔවුන් දෙදෙනා දෙස බලා සිටින්නට වූයේ මස්කඩ හිමියායි.
                                               ----------------------

දෑතින්ම දරාන ආ එළවළු මලු දෙකෙහි බර දියණියගේ දෑතට මාරු කළ ද මස් කඩයේ සිට ම සිතේ දරා ගෙන ආ බර කිසිවකුටත් දිය නොහැකි බැව් ලිලිනා දැන සිටියාය. ඔහු කෙතරම් නම් වෙනස් වී ඇත් ද , වයසට වඩා වියපත් වී පෙනන මුහුණත් කැහැටු ශරිරයත් , අභිබවමින් පෙර මතක සුවඳ ලිලිනාගේ සිත පුරා පැතිරුනේ ඇයි?

ලිලිනා ,  උස් මහත් වූ දරුවන් දෙදෙනෙකු සිටින මවකි. එඩ්වඩ් ද දරුවන් සිටින පියෙක් බැව් මස්කඩ හිමියා පැවසූ බැව් ලිලිනාගේ මතකයේ කෙනක සටහන් වී ඇත.

" නෝන එඩීව අඳුරන්නෙ කොහොම ද ? "

" අපේ ගමේ "

" හැබෑ ද? "

" වලව්කාරයෝ "

" හෙහ් හේ..... මොන වලව් වුනත් දැන් පේනවනේ මිනිහා මා ගාව වැඩ. ඒකත් මයෙ හිත හොඳකම නිසා. නැතිනම් කාස ලෙඩෙක්ට කවුද නෝනෙ රස්සාවක් දෙන්නේ ? "

" කාසේ ...!!!!"

" ඔවු නෝනෙ.මොන ලෙඩේ තිබ්බත් මිනිහ හවසට කරන්නේ අතට හම්බෙන කීය හරි වියදම් කරන් බොන එක තමා. ක්ෂය රෝග කාරයෙක් මෙතන වැඩ කරනව කියලා පීඇච්ඇයි මහත්තයගෙ කණට එහෙම ගියොත් මටත් මේ කඩ ලෑලි වහන්න තමා වෙන්නේ...ඒත් ඉතින් ......"

ලිලිනාට ඒ රැයේ නම් නින්දක් නොවූ බව සහතිකයෙන් කිව හැකිය

                                                  ----------------------

පසු දින පාන්දරින්ම අවදි වු ලිලිනා ,  මස්කඩ යට පිය නැගුවේ කඩ ලෑලි ඇරෙන්නත් පෙරයි. පෙරදා පැමිණි මං සලකුණු ඔස්සෙ පා නැගු ලිලිනා , හිතේ සැකයට මෙන් හැකි වෙර යොදා වසා තිබූ කඩ ලෑල්ලට තඩිබාන්නට විය.

" මොක ද මුදලාලි උදෙන්ම , ..... !!!!! "

එක් අතකින් සරම පපුව තෙක් ඔසවා ගෙන ද අනිත් අතින් ඇස් පොඩි කරමින් ද හැරුනු දොර පියනෙන් පෙනී සිටියේ එඩී හෙවත් සුදු මහත්තයා හෙවත් එඩ්වඩ්ය.

එතැන් සිට එඩ්වඩ්ගේ ලෝකය යලිත් අලුත් වන්නට වූයේ ලිලිනා නම් මැදිවියේ සොඳුරු විවාහක කතගේ නොමසුරු ආදරය හෝ අනුකම්පාව නිසාමය.

ලය රෝහලේ ටික කාලයක් නේවාසිකව නැවතී වුන් එඩ්වඩ් බැලීමට දිනපතා පැමිණි එකම එක් ගැහැණිය වූයෙත් එකම එක හිතවතා වුයේත් ලිලිනාය.

ලිලිනාගේ ජීවිතය ද අමුතුම සතුටකින් හා ප්‍රබෝධයකින් පිරී ඇති බැව් පෙනුනේ ලිලිනාගේ දරුවන්ටයි. ලිලිනා වෙනදාට වඩා රසට කෑම පිසිනා බවත්, සතුටින් සිටිනා බවත් ලිලිනාගේ දියණිය විසින් මැදපෙරදිග රට සිටින ලිලිනාගේ සැමියාට ලියූ ලියුම් වල සටහන් වී තිබීම එයට සාක්ෂිය සපයයි.

එඩ්වඩ් ක්‍රමයෙන් සුව අතට හැරෙත්ම ඔහු වෙතින් සීග්‍රයෙන් පලායමින් තිබූ කාලයත් ශක්තියත් ඔහුට නැවතත් ලැබුනා වැන්න. මෙය ලිලිනාගේ නොමද සතුටට හේතු වූව ද ලිලිනා ලොකු ගැටලුවකට මුහුන දුන්නේ එඩ්වඩ්ගේ සුව වීම අවසානයේ වෛද්‍යවරයා පැවසූ වදන් නිසාය.

" බය වෙන්න දෙයක් නැහැ. දැන් නම් ලෙඩාට ‍ගොඩාක් සනිපයි. ඒත් මේ බෙහෙත් හරියටම වෙලාවට දිනපතාම බොන්න ඕනි. හොඳට කන්න බොන්න ඕනි. මේ බෙහෙත් වේල් මග ඇරුනොත් අපිට ආයෙත් නම් ලෙඩේ සනීප කරන්න අමාරු වෙයි. "


දොලොවක් අතර සිත තෙරපෙද්දී අවසානයේ ලිලිනා තීරණයකට ආවාය...................

එඩ්වඒ , ලය රොහලෙන් මිදෙද්දී , තම වහලයටම එඩ්වඩ්ට ඉඩ දිමට තරම් එඩිතර තීරණයක් ගැනීමට ලිලිනා නම් ගැහැණියට හැකි වී තිබුනි.

එසේ නම් එඩ්වඩ් තමාට සෙවන දුන් හල යට දීම ගිනි තියා දැමීමට තරම් සිතක් ලිලිනාට පහල වුයේ කෙසේ ද?
නැතිනම් ලිලිනා තමන්ට කළ උපකාරයේ තරම නොවටහා ගත් එඩ්වඩ් විසින්ම ගිනි තියා ගත්තා ද ?

මී ළඟ කොටසින් බලාපොරෙත්තු වන්න.......................

අවසාන කොටස මී ළඟට ...........................



අවසන් කොටසට

Tuesday, May 8, 2012

෴ සිහින දකින්නිය / The Dreamer ෴






හීන එකින් එක තෝරා
වෙන් කර
පේළියට
ගනන් කළා
එහි සිටිනා
අයව එකින් එකට


පුදුමෙක ලොකු
හැම සිහිනෙම
කොහේ හරිම
කොණක
නුඹ සිටියා සිනා වෙවී
පෙරදා වුන් ලෙසම



In My Dreams you are Mine but In My Life you are Just A Dream



නුඹ ගැනම

සිහින දකින්නිය
මම
෴ සොඳුරු සිත ෴

Wednesday, May 2, 2012

෴ ගින්න /Fire ෴ 5 කොටස

෴ ගින්න /Fire ෴
5 කොටස

මෙතෙක් කතාව
ලිලිනා ,මැදිවියේ සුන්දර ගැහැණියක්. ඇය පොලිසියේ පසුවන්නේ
ඇය ගේ නිවසේ දී ගිනිතබා ගෙන හෝ යමෙක් ගිනිතියා දැමූ නිසා
අසාධ්‍ය තත්ත්වයේ රෝහලේ පසුවන මැදිවයේ මිනිසකු ගැන කට උත්තරයක් දිමටයි.
ගින්න නිසා මිනිසා පිලිස්සි සිටිය ද, ලිලිනාගේ හදවතේ තුවාල දරුණු වන්නේ
අතීතය නැමැති ගින්න විසින් පුළුස්සා දමනු ලදුව අළු මතින් නැගී සිටින ගිනි පුළුඟු
ඇගේ හදවත දවන නිසයි.
පිළිස්සුනු මිනිසා සහ ලිලිනා අතර සමබධකමට නමක් නොතිබීමද ගැටළුව තව තවත්
උග්‍ර කරන අතර, කට උත්තරය දෙමින් සිටිය දී රෝහලෙන් පැමිණෙන පණිවිඩයකට ,
පොලිස් සාජන් , පොලිස් කොස්තාපල්වරයකු සමඟ ලිලිනාට ද රෝහලට යෑමට පිටත් වෙයි.රෝහල් කොරිඩෝවකදි නෙත ගැටෙන පණසිදුන රෝගියකු දැක ඇය කම්පාවට පත්වෙයි. නමුත් ඇගේ
හිත සුවපත් කරමින් ඊළඟ මොහොතේ දී ඇය දකින්නේ රෝගි සයනයේ පණයදිමින් සිටින
එඩ්වඩ්වයි.

අද එතැන් සිට . . . . . . . . . . . .


වැඩි දුර කියවන නම්


පළමු කොටසට මෙතනින් ද
දෙවන කොටසට මෙතනින් ද
තෙවන කොටසට මෙතනින් ද
සිවුවන කොටසට මෙතනින් ද යන්න




රෝහල් පරිශ්‍රයම නිහඩ තාවක ගිලී තිබෙනු ඇයට දැනුනි. ලිලිනා මදක් වට පිට බැලූවත් ඇය අවට කිසිවකු වූයේ නැත.අඹ ගස් සෙවනෙන් එදා සමුගත් එඩ්වඩ් , ලිලිනාට නැවතත් මුණ නොගැසෙන්නට මෙවන් විපතක් සිදු වන්නේ නැත.

රූපරාමුව :-
ලේ පැහැය මිශ්‍රිත ගලා නොයනා ජලය සහිත කාණු දෙපසින් වැටී ඇති පටු මාර්ගය තවත් පටු වී ඇත්තේ අනවසරව ඉදිකරන ලද තාවකාලික මස් සහ මාළු කඩ ලෑලි නිසාය.අපිරිසිදුකම මැදින්  ද , පිළිගඳ දරමින් ද මේ සැමටම වඩා නිනව්වක් නැති කඪෝර වූ  කෑගැසීම් සහ අඩගැසීම් මධ්‍යෙය් ද එකිනෙකාගේ ඇඟෙහි හැපෙමින්  කිසිදු සමාවක් නොයදිමින් සහ නොදෙමින් මිනිසුන් එහාටත් මෙහාටත් ගමන් කරන්නේ පිළීගඳ ඉවසීය නොහැකි නාස් පුඩු හකුලා ගනිමින් වුව ද පිළිගද හමනා මස් කැබැලි වලට නියම වන මිල කියදැයි විමසමින් සහ හෙට්ටු කරමිනි.

සතියේ පොළ දවස වූ බැවින් දෝ මස්මාළු මාකට් එකේ සෙනඟ උතුරා ඇති. බහුතරයක් පැමිණෙන්නේ මස් මාළු මිල ගනන් බලා ආණ්ඩුවට බනිමින් යෑමට යයි සිතුනත් , කවුද අර.....  දැතින් පුරවා ගත් එළවළු මළු දෙකක් දරා ගනිමින් ද , විටෙක මළු දෙකෙහි බර අතකින් අතකට මාරුකරමින් ද , මඩ පැහැ වතුරු වලවල් බේරමින් සීරුවෙන් ද ගමන් කරනා ඈ දැක පුරුදු මුහුණක් නොවේ ද?

“ චහ්: ....“

සීරු මාරුවට ගමන් කළ ඇගේ ලස්සන ගවොම මත මඩ මලක් සිත්තම් කරමින් තකහනියක් දිව ගිය මිනිසා දෙස නුරුස්නා බැල්මක් හෙලීමට, මෙතෙක් වේලා බිමටම යොමු වී තිබූ ඇගේ ඒ සුන්දර නෙත් උරහිසින් ඔබ්බට එසවුනේ තමා පසුකරමින් කිසිදු වගක් නැතිව දිව යන නොසන්ඩාලයා දෙස බැලීමටයි.

මගේ සැකය නිවරදි බැව් මම වටහා ගත්තෙමි.මා ඇය හරියට හඳුනා ගත්තේ එවෙලෙහි කීම වරදක් නොවේ.ඔව් ඒ ලිලිනාය.

සුන්දර ලිලිනා වෙළදසැල් අතරින් කොණයේම කඩයට ගියේ ඇයිදැයි එවෙලෙහි මට නොසිතුනත් , ලිලිනා ඒ කඩයට නොගොසින් පේන මානයේ කඩයක නැවතුනේ නම් අදමට ලිවීමට කතාවක් නොමැති වෙනවා ඇත.

කොණයේම මස් කඩය හිමිකරුවා මදක් වෙනස් පෙනුම මෙන්ම , ගතිගුණ ද ඉසිලුවේය. හේ සිංහලයෙකි.තඩි බඩක් ,දිලිසෙන තට්ටයක් නොමැති ඔහු , ගම් කුකුළෙකු මෙන් කේඩෑරිව සිටි නමුදු මුතුවන් දත් දෙපලක හිමිකරුවකු බැව් දැන ගත්තේ ,සුන්දර ලිලිනා හමුවේ පෑ සිනාව නිසායි.

“ ආහ් . . .නෝනේ .....නෝනෙ ගොඩ කාලෙකින් නෙ “

“ ඔවු මුදලාලි...... පහුගිය දවස් ටිකේ මහත්තය ඇවිත් හිටියනෙ ඉතින් එළවලු මාළු ගෙනියන්න මට කඩේ යන්න ඕන වුනේ නැහැ “

“ නෝනයෙ මහත්තය ඉන්නෙ දුර පළාතක ද ? “

“ඔවු රටිනුත් පිට. ඉතාලියේ “

“ හැබෑට...එහෙනම් නෝනෙට සරු ඇති පහුගිය කාලේ ....“ ඇසක් ඉගිමරා.... මනමාල බැල්මක් ද සමඟින් ඉඟිමැරුවද ලිලිනා ක්ෂණිකව තම බැල්ම කොක්ක එල්ලී සිටින හම ගැසූ එළුවා කෙරේ මාරු කලේ ය.

“ හොඳ එළුවා නෝනෙ , එඩී.... මෙන්න මේ නෝනට එළු මස් ......“

“ එපා එපා , මට දෙන්න කුකුළු මස් පන්සීයක විතර කෑල්ලක් “

“ ඉන්න නෝනෙ හොඳ කුකුළ් මස් වගයක් ඇති ඇතුලෙ අරන් තියලා ....එඩී...එඩී..... ඔය කුකුල් මස් පන්සීයක විතර කෑල්ලක් අරන් වරෙන් බං “

කඩයේ අඳුරු ගුහාවක් වැනි ගබඩාව දෙසට හැරුනු කඩහිමියා කෑගසන්නට විය.

ඉන් සුළු මොහොතකට පසු ඒ අඳුරු ගුහාව තුලින් හම ගැසූ කුකුල් නාම්බෙක් ද අතකින් උසුලන් ආ , කැහැටු මිනිසා දුටු ලිලිනා ගේ මුවින් පිට වුනේ..................

“ සුදු මහත්තයා “ යන්න පමණි....................



ප:ලි:-
කතාව දිග වැඩි වෙනවා නේද ...............................?

පිළිගඳ ඉවසනු නොහැකිව
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රැකියා විස්තරය සොයන
මම
෴ සොඳුරු සිත ෴

මෙන්න හයවෙනි කොටසට පාර

Tuesday, May 1, 2012

෴ආදරණීය සමතය ෴

෴ආදරණීය  සමතය ෴


මොන මොන රූපයෙන් ළං වුනත් , ආදරය හැමදාමත් ආදරයමයි.රණ්ඩු දබර කොයි තරම් ඇති වුනත් , සමහර ජෝඩු කවදාවත් වෙන් කරන්න නම් බෑ. එහෙම දෙන්නෙක් අපේ ගෙවල් ගාවත් ඉන්නවා. ඒ වගේම මම ගාවත් නපුරු සොඳුරු කෙනෙක් ඉන්නවා. ඒත් ඒ නපුරුකම බොහොම තාවකාලිකයි.
හිත රිදුනනම් සමාවෙන්න.

ගැ :-
උරහිස තියන් මා වෙනුවෙන් හැමදාම

ඉන්නව කීව නුඹ ගොස් දෝ දුර ඈත
හිස බර දැනේ හිත වෙව්ලුම් දීලාම
ගිය තැන කොයිබදෝ කියපන් මේ රෑම

පි:-
වැඩ උඩ ඉදන් එක කකුලෙන් හැමදාම

හිත රිදෙනා වචනෙන් මයි සැලකීම
මයෙ හිත හිල් වෙන්න ඊතල විඳිමින්ම
නුඹ ඉන්නවා පෙනි පෙනි හැමදාමත් මේම

ගැ:-
මයෙ ආදරය හිත පුරවන් දුන්නාම

නුඹ සිත සෙනේ තවකෙක් ගැන නැතිවාද
හිත දුක නිසා එක එක දේ කීවාට
මයෙ පණ නුඹයි නොගිහින් හිටපන් මේම


පි:-
හිත රිද්දුවා දැන් නම් ඇති හොඳටෝම

මට දැනෙනවා දුක නුඹ උහුලන බෝම
රට තොට යන මඟදීවත් මා නොපෙනීම
යන්නට සැඟවෙන්න මට ඉඩ දීපන් නුඹම

ගැ:-
බඹරකු නැතිව මලකින් නැහැ කිසිම පල

සාවා නැතිව හඳ තනියෙන් කිම ද පල
නුඹගෙ සෙනේ ඇති මුත් මා සිතක ඉම
නුඹ නැති වුනොත් මා මියැදෙයි නැතේ සැක



දෙදෙනාම:-
ලෝ වැසි දනන් මොන මොනවා කියූවත්
හද රැඳි සෙනේ දෙදෙනාටයි බෙදූවත්
එක ටම නිදන් එක සිහිනය දකින්නත්
නුඹ හා මම මිසක් නැහැ කිසිවකු කොහේවත්


විටෙක නපුරු , බොහෝ විටක සොඳුරු
මම
ඔයාගෙම
෴ සොඳුරු සිත ෴

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...