෴ ගින්න/ Fire ෴
පළමු කොට ස
------------------------
පෙරවදන
අපි කාගෙත් හිත්වල නොපෙනෙන ගින්නක් තියෙනවා. කාලයත් එක්ක ඒ ගින්දර නිවිල ගියත් , ඇතැමෙකුගේ හිතේ ගින්න කාලයත් එක්ක දළු ලා වැඩෙනවා.ඇතැමෙක් ඒ ගින්නටම අහුවෙලා මිය යන්නේ , තමා අවට ජීවිත වලටත් ගිනි අඟුරක් හරි ඉතිරි කරලා.මේ කතාවේ සමහර දේ ඔබ අවටත් සිද්ධ වෙලා ඇති. මොකද මා අවටත් මේ කතාවේ වගේ චරිත බොහෝමයක් අදටත් දකින්න පුළුවන් නිසා.කියවල බලන්න. අඩුපාඩු කියන්න. ඒ මට කරන ලොකු උදව්වක් වේවි.
------------------------------------------------------------
රජයේ රෝහල් කොරිඩෝවක - රූප රාමුවක්
කොරිඩෝව ජනාකීර්නය , එකිනෙකා නාඳුන මිනිසුන් ගැහැණුන් , ළමයින් , සාත්තු සේවකයින් , ඉදහිට වෛද්‍යවරයෙකු දෙදෙනකු එහා මෙහා යන්නේ කඩිසර ගමනිනි. ඇගේ හැපෙමින් වේගයෙන් යන ඔවුන් එකිනෙකාගෙන් සමාව ගන්නට හෝ නොනවතියි. ගෙවෙන තප්පරයක වුවත් ජීවිතයට එහි ඇති වටිනාකම වඩාත්ම දැනෙන්නේ මෙවන් ස්ථානයකදීය.
එය සනාථ කරමින් විටින් විට ඉකිබිඳුමක් ඇසේ. ඇතැම් නෙතක ඇත්තේ පිටකළ නොහැකි තරමේ ජීවිත බියකි. එය බොහෝ විට තමන් වෙනුවෙන් නොව , තමා වෙනුවෙන් සිටින වෙනෙකෙකු කෙරෙහි උපන් බියකි.
මේ අතර ජනාකීර්ණ කොරිඩෝවේ වූ බිත්තියකට පිට දී සිටින ගැහැණියක සහ ඒ අසලම සිටින පිරිමියෙකු අතර සිදුවන දෙසබසක් මාගේ මේ කතාවට මුලාරම්භය සපයයි.
“ සෑහෙන පිච්චිලා , මට හිතෙන්නේ බේර ගන්න බැරි වෙයි “
“ පොලිසියෙන් කට උත්තරයක් ගත්ත ද? “
“ පොලීසියෙන් නම් කිහිපපාරක් ආවා , ඒත් තවම හරියට කතා කරන්නත් බැහැ “
“ හ්ම් . . . . . “
“ මම කීවා ඕකිට , ඔය මිනිහ ගෙයි අස්සෙ දාගන්න කොට . මහ විනාශයක් වෙලා තමයි නතර වෙන්නෙ කියලා “
“ කෝ දැන් ? “
“ පොලීසියට ගියේ කට උත්තරයක් දෙන්න කියලා “
“ ඒ පැත්තෙ උදවිය කවුරුවත් ආවෙ නැද්ද ? “
“ ඒ මිනිස්සු එනේකක් නැහැ. මුගෙ තියෙන නොසන්ඩාලකම හදන්නම බැරි නිසා නේ ඒ පවුල් වලිනුත් ඈත් කරල තියෙන්නේ. අනේ අපේ මෝඩි ඒ මිනිහට රැවටුනාට “
------------------
පොලිසියේ - රූප රාමුවක්
රෝහලට දෙවෙනි නොවන සේ මහජනයා පිරී ඉතිරී සිටිය ද , කැපී පෙනෙන වෙනස්කම් රාශියකින් ද යුතු වේ. විටින් විට උස් හඩින් ඇසෙන්නේ අණ දීමකි ,නියෝග කිරීමකි. ඒ අතර තුරේ නම් කියවා ඇතැමෙකුට අඩ ගසයි. පැමිණීම ප්‍රමාද වූ විට අසැබි වදනක් ද ඉද හිට හෝ ඇසෙයි. ගැහැණු බිම බලා ගන්නා අතර , අතැම් පිරිමියෙකුගේ කට කොනකට ක්ෂණික මන්දස්මිතයක් විත් යන්නේ හදිසියේම යමක් සිහිවූ විලාශයෙනි.
මේ කිසිත් ගණකට නොගන්නා ඇතැමෙකු පැමිණිළි පෝළිමේ කොණේම සිටිමින් පෝළිම ඉදිරියට නොයෑම ගැන පොලිසියටම පැමැණිලි කරයි.මැසිවිලි නඟයි.ඇතැම් විටෙක පැමිණිල්ල ද නොදා යන අයකු දෙදෙනකු නැතිවද නොවේ. මේ සියල්ල දෙස ඔහේ බලාන සිටිනා මැදිවිය ද ගෙවමින් සිටින නමුත් සුන්දර කාන්තාවක් සිටියි. ඇය මේ කතාවේ ප්‍රධාන චරිතය වන්නට පුලුවනි. ඇය ලිලිනාය.
ලිලිනා අසුන්ගෙන සිටින්නේ , සාජන් බන්ඩාරගේ මේසය ඉදිරියෙනි. ඔහු තවමත් රාජකාරි මේසය වෙත පැමිණ නැති බැවින් , ඇයට මෙසේ පොලිස් ස්ථානය සිසාරා ඇගේ දෑස් නිරීක්ෂණ චාරිකාවක යැවීමට අවසර ලැබී ඇත.
නමුත් විටින් විට ඇගේ දෑසට නැඟෙනා කඳුළු බින්ඳු දෙකක් ඇගේ කිලිටි ලේන්සුවේ සැඟවී යයි. විගහින් ඇසිපිය සලන ඇය වටපිට විමසිලිමත් දෑස් යැවුව ද, ඇය දෙස බලන්නට මෙහි සිටිනා අයට ඉස්පාසුවක් නැත.නැවතත් ඇගේ දෑස් නිරීක්ෂන චාරිකාවට එක් වෙයි.
මෙවර ඇගේ චාරිකාව අතර මඟ නතර කරන්නට වූයේ සාජන් බණ්ඩාර නියමිත රාජකාරි මේසය වෙත පැමිණි බැවිනි.
“ සමාවෙන්න පොඩ්ඩක් ප්‍රමාද වුනා “ ඔහු සිනා සෙමින් පැවසුවේ. ලිලිනාගේ සිත මවිතයට පත් කරමිනි.
“ මේ අර .............ගිනි අරන් දැන් හොස්පිටල් ඉන්න කේස් එක ගැන . . . .“
“ ඔවු සර් . . . මට එන්න කියල තිබ්බා කට උත්තරයක් දෙන්න “
“ ආහ් . . . ලිලිනා හැන්නදිහේවා “
“ ඔවු සර් “
“ හ්ම් . . . . . . . හොඳයි කියමු බලන්න. පිච්චිලා ඉන්න කෙනා තමන්ගෙ කවුද ? “
ලිලිනා මදකට නිරුත්තර වූවාය. ඇත්තටම ඔහු තමාගේ කවුද ? ලිලිනා දස අතේ දස අවුරුද්දක් කල්පනා කර ද , දැඩි ලෙස පිලිස්සී රෝහල් ගතව සිටින දොන් එඩ්වඩ් අබේගුණසේකර තමාගේ කවුදැයි යන්නට නිසි පිළිතුරක් සොයා ගැනීමට අපොහොසත් බැව් ඇය දනී.
“ තමාගේ කවුද ? “
“ මගේ මගේ . . . .හිතවතෙක් “
“ හ්ම් හිතවතෙක් . තව පැහැදිලි කරන්න පුලුවන් ද? ‘
“ පැහැදැලි කරන්නෙ කොහොම ද ? “
“ තමුන් කසාද බැඳල ද? “
“ ඔවු සර් . . දරුවො දෙන්නෙකුත් ඉන්නවා “
“ දරුවෙ ඉන්න ඉතින් කසාද බඳින්නම ඕනි නැහැනේ. එතකොට තමන්ගේ ස්වාමි පුරුෂයා මැරිල ද? “
“ නැහැ සර් එයා රට “
“ රට ! ! ! .... හෙහ් හෙහ් තමුන්ගෙ මිනිහ රට ඉන්න අල්ල පනල්ලෙ , ගේ අස්සෙ ඉන්න මිනිහට කියන්නේ හොර මිනිහ කියල මිසක් වෙන මොනා කියල ද? “
“ නැහැ සර් එහෙම දෙයක් නැහැ “
“ නැහැ . . .හරි හරි . .මට ඒවයින් පලක් නැහැ. දැන් කියමු බලන්න වෙච්චි දේ “
“ ඒක දිග කතාවක් සර් “
“ තමුන්ගෙ ඔය දිග කතාව , පුලුවන් තරම් කොට කරල මට කියනව ද වෙච්චි දේ මොකක් ද කියලා. මොකද මට තවත් වැඩ තියෙනව කරන්න “
“ එයා මගෙ හිතවතෙක් සර් , මම එයාව දන්නෙ ස්කොලෙ යන කාලෙ ඉදලමයි , එයා අපේ ගමේ , එයා...“
“ මං කීවනේ වෙච්චි දේ කෙටියෙන් කියන්න කියලා “
“ එයාට මම අපේ ගෙදරින් යන්න කීවා .එයා නිසා මගෙ පවුල කැඩෙනවට මං කැමැති වුනේ නැහැ සර් , එයා කියන දේ ඇහුවෙ නැතිව මගෙ ගේ අස්සෙම රිංග ගෙන හිටියා “
“ ඒ කියන්නේ ඒ මිනිහ ගිනි තියාන තියෙන්නෙ හරි , ගිනි අරන් තියෙන්නෙ හරි තමුන්ගෙ ගෙදරදි “
“ ඔවු සර් , මයෙ ගෙදර , මයෙ කාමරේ “
“ අහා . . .ඔය කියන්නෙ ඔය කියන්නේ , එතකොට තමන්ගෙ ගේ අස්සෙ ඉදන් ගිනි තියාන හරි ,ගිනි අරන් හරි මැරුන මිනිහ තමුන්ගෙ හිතවතෙක් විතරයි “
“ ඔවු සර් . ඒක තේරුම් ගන්න නම් සම්පූර්ණ කතාව කියන්න වෙනවා “
“ හරි හරි වෙච්චි දේ කියන්න වෙච්චි දේ විතරක් , ගිනි ගන්න කොට තමුන් හිටියෙ කොහෙ ද ? “
“ කොච්චර යන්න කීවත් එයා ගියේ නැහැ.වැදල කීවා ,බැනල කීවා. ඒ කිසි දෙයක් එයා ගනන් ගත්තෙ නැහැ. අන්තිමට බැරිම තැන මම ළමයි දෙන්නත් අරන් ඒ ගෙදර දාලා ආවා “
“ තමුන්ගෙම ගෙදරින් එළියට බැහැල ආවා “
“ ඔවු සර් , එදා මම ගෙයින් එළියට බැහැල යන දවසෙ ,එයා පොඩි ළමෙක් වගේ ඇඩුවා සර් “ නැවත වාරයක් කිලිටි ලේන්සුව ඇගේ උදව්වට පැමිණියත් , දෑසින් වෑහෙන කඳුළු උරා ගත්තත් , ඉකිය නවතා ලන්නට ලිලිනාට නොහැකි විය .ලිලිනා හිස පහත් කර ගෙන සිටිය ද , ඇගේ ගැස්සෙන උරහිසත් , නිරාවරණය වූ සාරි හැට්ටය අතරින් පෙනුන ,තරුණබව ඉක්මවා ගිය ද සුන්දරත්වය රැදි ඇගේ ගැහෙන පිටත් , ඇය ඉකිබිදිනා බවට සාක්ෂි දරන්නට විය.
පොලිස් නිළධාරියා ද මදකට නිහඩබව උසුලන්නට විය.
ලිලිනා හිස එසවූ අතර අවසන් වාක්‍ය පැවසුවේ යමෙක් ඇයට ආරුඪ වූ විලාශයෙනි.
“ මම ගෙදරින් ගියේ උදේ , හවස හයට විතර මට දැන ගන්න හම්බුනා එඩ්වඩ් ගිනිතියාන කියලා. වැරදිකාරි මමයි සර්. මට තිබ්බ එයාව දාලා නොයන්න.ඒත් එයා තේරුම් ගන්න ඕනි. මම කසාද බැඳල දරුවො ඉන්න අම්ම කෙනෙක් කියලා. මම එයාට දැක්වුයේ අනුකම්පාව මිසක් ආදරය නෙමෙයි කියලා “
සාජන් කෙලින්ම ඇගේ දෑස දෙසත් ,ඇය ඔහුගේ දෑස දෙසත් බලාසිටියේ , දැන් මේක ඉවරයි කියන අටියෙන් වුව ද , වහ වහා එතනට කඩන් වැදුනු පොලිස් කොස්තාපල්වරයකු පැවසුවේ.
“ සර් , අර පිච්චුනු මනුස්සය කතා කරනවලු , කට උත්තරයක් ගන්න එන්න කියලා ඉස්පිරිතාලෙන් පණිවිඩ එවල තිබ්බා “
දොන් එඩ්වඩ් අබේගුණසේකර ලිලිනාගේ කවුද ,
ඔහු ගිනි තියා ගත්තා ද ?
කිසියම් රහසක් සඟවනු වස් ඔහුට ගිනි තිබ්බා ද ?
ලිලිනා රැවටිලිකාරියක් ද ?
ලිලිනා ඔහුව තම නිවසේ රඳවා ගත්තේ ඇයි ?
ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න.
මෙන්න මෙතනින් යන්න කො දෙවෙනි කොටසට
Disclaimer
හුදු මනකල්පිතයක් පමණි... මෙම කතාවේ එන චරිත කිසිවක් දැනට ජීවත්ව සිටින හෝ මියගිය කිසිවෙකුට සම්බන්ධයක් නැත..අඩු හෝ ඩැවි වශයෙන් මෙවැනි මිනිසුන් හමුවූවද , මේ ඔවුන්ගේ කතාව නොවන බැව් කරුණාවෙන් සලකන්න.