..... I am the poem that's  yours but doesn't belong to you ever,...

Sunday, April 29, 2012

෴ නුඹ ට෴

෴ නුඹ ට෴


සඳ ගැන කියන්නට මට නැහැ කවි පේළි
තරු ගැන කුමට කවුරුත් ලියනා පේළි
මල් තුරු බිඟුන් ගැන ලිවුවත් පද පේළි
නුඹ ගැන කියන්නට මදි කවි පද පේළි

හමුවුනෙ අහම්බෙන් දුරකයි නුඹ සිටියේ
සිත ගත කතාවෙන් ළං වුනු බව තේරේ
මා සිත පාළුවත් ඈතට ගොස් බේරේ
නුඹ මා සිතේ පහනක් යළි දැල්වූයේ

කවියෙන් කතාවෙන් නිරතුරු හමු වූවා
උදයට රැයට නිතරම මද හස පෑවා
ලිපි පෙම් හසුන් පමණ ද මගෙ සිත ගාවා
නුඹ නව අරුණැල්ල මගෙ දවසම එළිවූවා

හිමිදිරි පින්න නුඹ සීතල රැගෙන ඇවිත්
නෙතු පිය හරිමි නුඹෙ වත මා නෙතට ඇවිත්
වතදොවනා කලට කොහෙදෝ සිටන් ඇවිත්
සෙනෙහස දොවා මා සිතගත පිනයි ඇවිත්

රැකියාවට ගියත් නිරතුරු සිහි වූවා
දකිනට ඉවසුමක් නැති දෙනයන ඇඩවූවා
ඊමේලයක් විඟහින් පිහිටට ආවා
තතු කියනා ගමන් ආදරයත් ලීවා

ටික ටික මෙලෙස කාලය ගත වුනා ට
කපුවෝ එන්නෙ පෝලිමෙ මා සොයන්ට
කල වයසත් පහුවෙන මේ නඟාට
මනමාලයෙක් සොයනව ගම පුරාම

බැදලා ළමයි ඉන්නට ඕනා වයස
වැදිලද බූට් තවකෙකු අහනා සතුට
ලොකු වුන් ඉද්දි බාලය බැන්දේ ඇයි ද
අහනා අයට උත්තර දෙන්නේ කවුද

අම්මා දුකින් නින්දක් නැහැ රෑ තිස්සේ
මා ගැන විටින් විට දොඩවයි කට මැත්තේ
තරහින් රවයි විටකදි මා සිත ගැස්සේ
කෙල්ලක් වුනේ ඇයි මා මේ රට අස්සේ

හදවත නුඹට දී අහකට යන්න නෙමෙයි
සිත එක තැනක ගත වෙනතක යන්න නෙමෙයි
නුඹටත් ඉතින් මා ළඟකට ගන්න නෙමෙයි
ඈතින් බලන් මේ ලෙසෙකට ඉන්න නෙමෙයි

වෙනවුන් පතා දීගෙක මා නොයන්නෙමි
නුඹවම පතන් සංසාරෙම ගෙවෙන්නෙමි
නුඹ අන්සතු වුනත් මතකෙය රදන්නෙමි
මට සමුදෙන්න ආ මඟ මම හැරනේනෙමි


෴ නුඹට ආයුබෝවන් ෴

Friday, April 27, 2012

෴ ගින්න/ Fire ෴ හතර වන කොටස

 ෴ ගින්න/  Fire  ෴ 
                              හතර වන කොටස

පලමු කොටසට මෙතනින් ද 
තෙවන කොටසට මෙතනින් ද යන්න 
ලිලිනාත් , පොලිස් සාජන් සහ කොස්තාපල්වරයාත් රැගත් ජිෆ් රථය පසු කරමින් ගිය ගිලන්රථයේ වේදනාබර නාදය , ලිලිනාගේ හදවත කීරි ගැස්සුවේය.

කවුරු ගියත් ඔහු හෝ ඇය සුවපත් වෙත්වා යි ඇය එතසිතින්ම පැතුවේ ඒ එඩ්වඩ් විය නොහැකි දැයි තව වරක් සිතන්නට වුවා ය.

" මුන්ට පිස්සු , මුන් පොල් පටවන් යන්නෙත් සයිරන් එක දාගෙන " පොලිස් කොස්තාපල්වරයා හාසය සහ ක්‍රෝධය එකතු කර සෑදු බසින් පවසා හරි බරි ගැසුනේ රෝහල සමිපයට පැමිණ ඇති බැව් ඉගිකරමිනි.

" හ්ම් . . . හ්ම් . . . බහිනෝ බහිනෝ  . . .  " 


රථයේ ඉදිරි වම්පස දොර හරින ගමන් පොලිස් සාජන්වරයා පැවසූ වදනට අවනත වූ ලිලිනා ,  අඩියට දෙකට රථයෙන් බැස්සා නොව පැන්නා යයි මට සිතුනි.

" හ්ම් . . .යමු යමු "

රෝහලේ ‍නේවාසික ලෙඩුන් බැලීමට පැමිණි මිනිසුන්ගෙන් රෝහල පිරී ඉතිරී ගොස් තිබුනි. සෙනඟ පීරමින් කොරිඩෝවෙන් කොරිඩෝවට හැරෙමින් , පඩි නගිමින් ලහිලහියේ සිදු වූ ගමනට ලිලිනා එක් වූයේ තමා ඉදිරියෙන් ගමන් කරන සාජන්වරයාගේ කළු සපත්තු දෙස යොමා ගත් නෙත් ඇති වයි.

එක වරම කොරිඩෝව දිගේ ලග ලග ඇසුනු කබල් කිරි කිරියත් සමඟම ගමන් කරමින් සිටි සැමගේ කඩිමුඩි ගමන මදකට නැවතුන අතර මොහොතකින් ලිලිනා ද පසුකරමින් යන්නට වුයේ ට්‍රොලියකි. හිස සිට දෙපතුල තෙක් පඩු පැහැ ගත් සුදු රෙද්දකින් වසන ලද ගැහැණියක හෝ මිනිසකු එය තුල හොවා තිබුනු අතර , නපුරු පෙනුමැති උපස්ථායකු ඉඩ දෙන ලෙස කැගැසුවේ ට්‍රොලිය තුල හොවා සිටි මිනිසාගේ විධානයන් ක්‍රියාත්මක කරන්නෙකු ලෙසිනි.

දෙවියනේ , ....!!!!! ලිලිනා තදින් හුස්ම ගන්නට විය. ට්‍රොලිය පසුපස දිව ගොස් , පඩුපැහැති සුදු රෙදිකඩ ඔසවා බැලීමේ මැඩලිය නොහැකි ක්ශණික ආසාවක් ඇගේ සිතේ නැගෙමින් තිබුනි.


තමා කළ සියළු පවු වලට ඔහු වන්දි ගෙවන්නට ඇත. අවසන් මොහොතේ ඔහු ගේ මුහුණේ හැඟීම් බලා ගැනීමට තිබු නා නම්....

" මේ ගෑනිට පිස්සු ද ? "

මොහොතකට නැවතුනු කඩිමුඩිය තිබුනාටත් වඩා වේගයෙන් ආරම්භ වී එහාටත් මෙහාටත් ඇදෙන සෙනග අතුරේ හුන්තැනම සිටි ලිලිනාගේ හැඩැති සිරුරේ වැදුනු තඩි මහත ගැහැණියකගේ හඩින් ලිලිනා නැවතත් පියවි සිහියට එද්දී සාජන්වරයාත් කොස්තාපල්වරයාත් ලිලිනා පසුකර අඩි කිහිපයක් දුර ගොස් තිබුනි.

රෝහල් කොරිඩෝ අතරින් මිදී  ලිලිනාගේ සිත ඈතට ඈතට යද්දී පය ඉක්මන් කල ලිලිනා සාජන්ගේ කළු සපත්තු වල සද්දය පසුපස දිව යන්නට වුවාය.

රූප රාමුව මාරුවෙයි, සිතනවාට වඩා වැඩි වේලාවක් මේ සදහා යන්නේ ඇයි දැයි නොදනිමි.සමහර විට කාල පරතරය දිගු නිසා වන්නට ඇත.

රූප රාමුව - ග්‍රාමීය රෝහලක බාහිර රෝගී අංශයේ පෝළිමක , මාස පහක පමණ බිළිදෙකු ඇකයේ හොවා ගත් සුන්දර ගැහැණියකි. ඇගේ වත කරුණාවෙන් එළි වී ඇත. වරින් වර බිළිඳා දෙස හෙලන සෙනෙහස පිරි බැල්ම අතුරින් මා ඇය හදුනා ගතිමි. ඇය ලිලිනාය.

ඇය දෙස වරින් වර සැක මුසු බැලුම් හෙලන සිහින් සිරුරැති , තලෙළු පැහැති , මිටි ගැහැණියක් ලිලිනාට පසුපස වූ පෝළිමේ සිටින්නේ , ලිලිනාට වඩා මිනිසුන් හතරක පහක පමණ පරතරයෙනි. පෝළිමෙන් එබෙ‍මින් සැක මුසු  බැලුම් හෙලමින් ලිලිනා දෙසම බලන ඇය , ලිලිනාට කිට්ටු කරන්නට විය.

ලිලිනා දෙස බලා සිනා සුන ඇය . . .

" මේ . . . .  දොස්තර මහත්තය තවම ඇවිල්ලා නැතෙයි , නංගි"

" නැහැ මයෙ හිතේ "

" කොන්ද රුදාවට බෙහෙත් ටිකක් ගන්න ආවේ , දැන් නම් ඉස්පිරිතාලේ නවතින්න වෙන ගානටම අමාරුව වැඩියි වගේ "

" හ්ම් . . . "

" නංගිට මාව මතක නැහැ මයෙ හිතේ '

දරුවා සමඟ වු සුරතලය නතර කල ලිලිනා මේ පිටස්තර ගැහැණිය දෙස විමසුම් බැලුම් හෙලන්නට විය.

" නංගි පිටබැද්දර නේද ? නංගිට මතක නැත. , කෙසෙල් ගහ කොරටුවෙ ගෙදර සෝමා "

" අනේ මේ සෝමාක්ක ද ? '

ඉන් පසු ඇති වු දෙබස් වලට ඇහුම්කන් දිමට මා සිත උනන්දුවක් ඇති වුනේ නැති නමුදු , " එඩ්වඩ් " යන වචනය ඇගේ කටින් පිටවීමත් සමඟම ගැහැණුන් දෙදෙනාගේ කතාවට සවන් යොමන්නට වූයේ මේ කතාව ලිවිමට එය රුකුලක් වන බැව් දන්නා නිසාමය.

" එඩ්වඩ් දැන් ගමේ නැහැ ලිලිනෝ , ඒකාගේ තිබ්බ නොසන්ඩාලකම් එන්න එන්නම වැඩි වුනා , හාමුලත් පස්සෙන් පහු සොයන බලනෙක අතෑරියා "

" දොස්තර නෝනකෙනෙක් බැදගෙන නේ ද ඉන්නේ ? "

" අනේ මොන . . . . එක එක ගුබ්බෑයම් අස්සෙ රිංන සල්ලාලයෙක් වෙච්චි , තියෙන දේපල වස්තුවත් නැති කර ගනිච්චි ඔය වගේ වුන්ට දොස්තර නෝනල කැමැති වෙත. "

" හ්ම් . . . . "

" යමන් ලිලිනෝ ඔන්න පෝලිම සූ ගාලා යනවා "

කාන්තාව  පවසන්නට වුයේ පෝලිමේ  දිගු හිඩැසක පරතරයක් තබා කල්පනාවේ ගිලී සිටන ලිලිනාටයි.

" මං හිතන්නෙ ලිලිනෝ  . . . .දොස්තර මහත්තය , ලෙඩා දොරෙන් අතුලු වෙන කොටම බේත් ලියනො වගේ "
-------------------

" ලෙඩාට කතා කරන්නෙම ඕනි කීව නිසයි පොලිසියට පණිවිඩය යැවුවේ. අනික මං හිතන්නෙ නැහැ මේ දරුණු තුවාලත් එක්ක මේ මනුස්සය ජිවත් වෙයි කියලා "

" දොස්තර මහත්තය හිතන්නේ මේ මනුස්යට ගිනි තියල ද ? "

" හ්ම් . . . ගින්නෙන් බේරෙන්න දගලපු බවක් පේන්න පම් නැහැ.අනික , පාවිච්චි කරල තියෙන්නේ ලාම්පුතෙල්. මුළු ඇඟම වැහෙන්න වැටිල තියෙනවා. "

කීමට අමතක විය , හදිසියේම රූප රාමුව මාරු වී තිබුනේ වර්තමානයටයි.

රෝහලක ගිලන් ඇදේ සිටිනා දෑස් පමණක් නිරාවරණය වූ මිනිසකු සිටි අතර , ඒ වටා වුයේ , කාකි නිල ඇඳුම් ඇදි පොලිස් නිළධාරියකු සමඟින් කතාකරසින් සිටි ,දිගු කබා හැද සිටි වෛද්‍යවරයකු සහ කඳුළු පුරවා ගත් නෙතු වලින් රෝගියා දෙස බලා සිටිනා ගැහැණියක පමණි.

රෝගියාගේ දෑසත් , ගැහැණියගේ දෑසත් එකිනෙක පැටලෙනු ද, නොකී දහසක් දේ කියවෙනු ද දුටුවේ නම් මේ ලියන මා පමණි.

නොලියු කතාව කියවන්න ඊළඟ කොටසත් බලන්න .............

මම
෴ සොඳුරු සිත ෴

Wednesday, April 25, 2012

෴ ගින්න/ Fire තෙවන කොටස ෴

 ෴ ගින්න/  Fire  ෴
තෙවන කොටස

මෙතෙක් කතාව
ලිලිනා ,මැදිවියේ සුන්දර ගැහැණියක්. ඇය පොලිසියේ පසුවන්නේ
ඇය ගේ නිවසේ දී ගිනිතබා ගෙන හෝ යමෙක් ගිනිතියා දැමූ නිසා
අසාධ්‍ය තත්ත්වයේ රෝහලේ පසුවන මැදිවයේ මිනිසකු ගැන කට උත්තරයක් දිමටයි.
ගින්න නිසා මිනිසා පිලිස්සි සිටිය ද, ලිලිනාගේ හදවතේ තුවාල දරුණු වන්නේ
අතීතය නැමැති ගින්න විසින් පුළුස්සා දමනු ලදුව අළු මතින් නැගී සිටින ගිනි පුළුඟු
ඇගේ හදවත දවන නිසයි.
පිළිස්සුනු මිනිසා සහ ලිලිනා අතර සමබධකමට නමක් නොතිබීමද ගැටළුව තව තවත්
උග්‍ර කරන අතර, කට උත්තරය දෙමින් සිටිය දී රෝහලෙන් පැමිණෙන පණිවිඩයකට ,
පොලිස් සාජන් , පොලිස් කොස්තාපල්වරයකු සමඟ ලිලිනාට ද රෝහලට යෑමට පිටත් වෙයි.


අද එතැන් සිට . . . . . . . . . . . .

වැඩි දුරටත් කියවන්න  නම්
පළමු කොටසට මෙතනින්නුත්
දෙවන කොටසට මෙතනිනුත් යන්න පුළුවන්



මා කතාව නතර කළ අවසන් රූප රාමුව ඔබගේ මතකයේ ඇතැයි සිතමි. පැරණි පන්නයේ ජීෆ් රථයක පිටු පස හරස් අසුනේ අසුන් ගෙන ලිලිනාත් , තමා ගේ පැණයකට පිළිතුරක් බලාපොරොත්තුව ලිලිනා දෙසම නෙත් යොමා , ඇයට හරියටම ඉදිරියෙන් අසුනේ සිටින පොලිස් කොස්තාපල්වරයාත් ඔබට මතක ඇතැයි මා සිතමි.

“ මං ඇහුවෙ මේ. . . . .  අර දොස්තර නෝන කෙනෙක්ට වෙඩි තියල මරපු කේස් එක "

ඔහු නැවත එය තමාට මතක් කළ දිය යුතුව නැත. ලිලිනාට ඒ මිනිමරුම මෙන්ම ,එහි වරදකරුවා ද කවුදැයි යන්න කීමටත්. ඔහු එය සිදු කළේ කුමක් නිසා ද යන්නත් රහසක් නොවේ. තවමත් අභිරහසක්ව පවතින ඒ සුන්දර පොහොසත් වෛද්‍යවරියගේ මරණය පිටුපස සිටිනා වරදකරු , වෙන කිසිවෙකුත් නොව , දරුණු පිළිස්සුම් තුවාල ද සහිතව , ජීවිතයත් මරණයත් අතර ඉතා පටු තීරුවක රෝහලේ සිටින ඔහුය.කලක් තම හද අරා සිටි ඔහුය.කලක් තමා හැර ගිය ඔහුය.

ලිලිනා දිගු සුසුමක් හෙලන්නී , තවමත් පිළිතුරක් අපේක්ෂාවෙන් තමා දෙසම බලා සිටිනා පොලිස් කොස්තාපල්වරයා දෙස ඉතාමත් සෘජු දෑසින් බැලුවාය.

“ පොලිසියට තවම බැරි වුනා නේද ඒ සිද්ධියේ මිනීමරුවව හොයා ගන්න "

"අෆොයි  ඔවු.... ඒත් කවදක හරි මිනීමරුව අහුවෙනව. අනික මම හිතන්නෙ නැහැ දැන් ඔය හොස්පිටල් එකේ ඉන්න මිනිහා ඒ දොස්තර නෝනට වෙඩි තිබ්බැයි කියලා."

පොලිස් කොස්තාපල්වරයා කතාව හමාර කළේ කතාව දුර දිග ගියහොත් තම දෙපාර්තමේන්තුවට ඉන් සිදුවන අපකීර්තිය ගැන සිතා වන්නට ඇත.
------------------------


රූප රාමුව මාරු වෙයි..... ඔබත් මමත් පෙර අවස්ථාවක දී ද දුටු රූප රාමුවකම මද වෙනස්කම් කිහිපයකි.

ලිලිනාගේ ගෙමිඳුලේ අඹ ගස යට බංකුව දිරාගොස් ඇත. එය දැන් වඩාත් සුදුසු වන්නේ අසුන් ගැනීමට වඩා දරට භාවිතා කිරිමට වුව ද , කෘතගුණ දන්නා ගැමිකම පෙන්වීමට මෙන් , තවමත් ලී බංකුව අඹ ගස සෙවනේ වෙයි. ගැහැණියක හා පිරිමියෙකු ගස් සෙවෙන් සිටිනු පෙනේ.


ඔබ සිතුවා නිවරදිය , ඒ එදවස ඒ ගසයට ඒ බංකුව සෙවනේ ලිලිනාගේ මුහුණ සිඹ දිව ගිය ඔහුත් , ඔහුගේ හාදුව රැයක් නිදිමැරීමට කාරණාවක් කර ගත් ලිලිනාත්ය. එකම වෙනස වන්නේ ලී බංකුව දිරා පත් වීමත් , අඹ ගසේ පරිධිය වැඩිවීමත් පමණක් යැයි සිතන්නේ නම් එය කොතරම් නම් වරදක් ද.

ලිලිනා සුන්දර තරුණියකව සිටියාය. නමුදු ඇගේ වත සටහන්ව තිබුනේ කියාගත නොහැකි තරමේ සෝකී හැඟුම් රැසක් බව පෙනේ.සැබැවින්ම  දැන් ඇය කෙල්ලක නොවන බැව් දැන සිටියේ ලිලිනා හැරෙන්නට ඔහු පමණි.


“ඒ කියන්නේ සුදු මහත්තයා දොස්තර නෝනව කසාඳ බඳිනව “

“ ඔවු “

“ ගෙදරින් කැමැති ය ? “

“ කැමැති නිසානේ හත්ඉලව්වෙ කසාද බඳින්නේ “

“ ඔයාට තිබුනා මා ගැන තව ටිකක් හිතන්න “

“ ඒ දේවල් වුනේ , අපි දෙන්නගෙම වුවමනාවට කියලා ඔයා දන්නවනේ ලිලී “

එය නිවරදි කරන්නට ලිලිනාට සිතුනත් , නිවරදි කිරීමෙන් කිසිදු පලක් නොවන බැව් ලිලිනා දනී. සියල්ල සිදුවූයේ ඔහුට ඇති ආදරය නිසා බැව් කීමට තිබුනා නම් .....!!!!! සිදු වූ කිසිවක් වෙනස් කළ හැකි නම් . . .

ඉන් පසු යළිදු කිසි දිනක , ලිලිනා හැන්නදිහේවා ට දොන් එඩ්වඩ් අබේගුණසේකර මහතා මේ අඹ ගස් සෙවනේ මුණ ගැසුනේ නැත. සියළු කතන්දර රහසක්ව තබා ගත් අඹ ගස ද ඉන් ටික කලකට පසු ඉදිරී වැටුනේ ද ලිලිනාගේ පවුලේ උදවිය ගම අතැර යන්නට ගියේ ද , සිදු වූ කිසිවක්  ලිලිනාට හැර අන් සියල්ලන්ටම අමතක කරමිනි.


එසේ නම් ලිලිනා
හැන්නදිහේවා ගේ නිවසේ දී දොන් එඩ්වඩ් අබේගුණසේකර ගිනිගත්තේ කොහොම ද?

ලිලිනා ඔහුගෙන් පළිගත්තා ද?
ඊළඟ කොටසින් කියවමු.................


විශේෂ සටහන :-
ඉඩ ලද සෑම විටකම පාහේ , මගේ බ්ලොගය , මුල සිට අගට කියවමින් , නොලියුනු කොටස් ගැන විමසමින් , ලිවීමට මා තව තවත් දිරි ගන්වන , මගේ කාර්යලයේ සහෝදර නිළධාරීන් වන යසිනි සහ ගංගා ට මගේ හෘදයාංගම ස්තූතිය.............



ලිලීගේ හදවතේ දැවෙන ගිනි පුළිඟුව
මම
෴ සොදුරු සිත ෴

හතර කොටසට මෙතනින්

Thursday, April 19, 2012

෴ ගින්න / Fire ෴ දෙවන කොටස

෴ ගින්න / Fire ෴  දෙවන කොටස



පළමු කොටසට මෙතනින් ගිහින් එන්න ............


තොප්පිය අතට ගත් සාජන් බණ්ඩාර තවමත් තමා ඉදිරියේ අසුන් ගෙන සිටින ගැහැණිය දෙස මොහාතක් බලා සිටියේය .

“ තමුනුත් එනවද හොස්පිටල් එකට යන්න ? "

ඒ අසරණ ගැහැණියගේ කඳුළු පිරි දෑස් ප්‍රීතියෙන් දිදුලන්නට විය.පැරණි පන්නයේ අත් බෑගය ද හරිබරි ගසා ගත්  ලිලිනා අසුනින් නැගී සිටියේ සාජන් බන්ඩාරගේ පැනයට පිළිතුරු ලෙසිනි.

ජීෆ් රථයේ ඇරුනු පිටු පස දොරින් රිංගු  ලිලිනා හරහට තබා ඇති අසුනේ වාඩි විය. රිය පසු කරමින් පසුපසට ඇදෙන ගස් වැල් , නිවෙස් , කාණු , මිනිසුන් , ගැහැණුන් සහ දරුවන් අතරේ සිත පා කර හැරියාය.



-------------------------------


රූපරාමු ව -

බොහොම සුන්දර ගම්පියසකි.
කටු මැටි ගැසූ නමුත් , පිළිවෙළත් සිරියාවත් පිරි කුඩා නිවසකි.
නිවස ඉදිරිපස ,සුදු වැලි මිදුලකි.
මිදුලේ නිරුවතින් කුඩා පිරිමි දරුවන් දෙදෙනකු වැලිබත් උයනු පෙනේ.විටෙක රන්ඩු වන ඔවුන් ඊටත් වඩා ඉක්මනින් සුහද වෙයි.වැලිබත ඉදෙයි. .සමථයකට පත් කර ගත නොහැකි රණ්ඩුවක් ද රැගෙන එකකු දිව යන්නේ මිදුල කොනක ඇති අඹ ගස දෙසටයි.

අඹ ගස යට සෑදු කුඩා ලී බංකුවකි.එහි දෙදෙනකු අසුන් ගෙන සිටින බැව් පෙනේ. අඩමින් හොටු පෙරමින් , එහි යන හෙළුකොටු පොඩ්ඩා ,ගිය සුනංගුවට පැමිණෙන්නේ තමා රැගෙන ගිය නඩුවට ඉතාම හොඳ විසඳුම ලද්දෙකු මෙන් ප්‍රීතියෙනි.

මේ ප්‍රීතිමත් නඩු විසදන්නා කවුදැයි බැලීමට මට මෙන්ම ඔබට ද වුවමනා බැව් මම දනිමි. අඹ අතු වලින් සෙවන වූ ගස යට ලී බංකුවේ කවරෙකු හෝ සිටියි. නැත දෙදෙනකු සිටියි. චීත්ත ගවුමක් හැඳි වයස 16ක පමණ සුන්දර තරුණියක් සහ එම වයසේම තරම් වන හිරිමල් තරුණයෙකි. ඇය පිටුපස හැරී සිටන අතර. ඔහු ඇය දෙස බලා සිටිනා බැව් පෙනේ.

“ අතාරින්න , මල්ලිලා දකීවි “

“ පිස්සි , එයාල සෙල්ලම් කරනව පේන්නැද්ද ? “

ඇය , ඇගේ උරහිසට මදක් ඉහලින් හිස හරවා මිදුල දෙසත් , දෑස් මදක් ඔසවා ගේ එළිපත්ත දෙසත් ඇය බැලූ සුනංගුවේ ඇගේ සුන්දර දෑසත් , පිරුණු සඳක් වැනි කුඩා වටකුරු මුහුණත් දැකිය හැකි විය. ඇය මදක් තලෙළු තැනැත්තියක වුවත් සුන්දර රූ සපුවට එයින් අහිතක් වී නොතිබුනි.

කිසිදු අතුරු අන්තරාවක් නැති බැව් හඳුනා ගත්  ඇය නැවතත් පෙර සිටි ඉරියව්වට පැමිණෙද්දි , ඒ හිස් අවකාශය ඇයගේ පැමිණිමට සුදානම්ව නොසිටියේ ඒ ප්‍රදේශය වසා ගත් පිරිමි රුව නිසාය.

ක්ෂණයෙන් ඇගේ පිරිපුන් කම්මුලක් සිප ගත් ඔහු ඈතට දිව ගියේ ත් , සිදුවූ දේ ගලපාගන්නටත් කලියෙන් මිදුලේ සෙල්ලම් ගෙයි මහා කාලගෝට්ටියක් දුර දිග ගොස් එකකු බිම පෙරළෙමින් හඬන්නට වූයෙත් , කොහේ දෝ සිට පැමිණි මැදිවියේ ගැහැණියක දෙස් දොවොල් තබ්නට වූයෙත් එකම විටක නිසා , ඇයට ඇගේ කුළුදුල් හාදුවේ වින්ඳනය ලබා ගත නොහැකි වූවා යැයි සිතන්නේ නම් ඔබ වැරදිය.

අද ඉන් වසර ගණනාවකට පසු වුව ද මේ ජීෆ් රථයේ පිටුපස හරස් අසුනේ සිට ඇය එය වින්දනය කරන්නේ එදා මිහිර අදද විඳගනිමිනි.

ගම්බද රූපරාමුව බොඳ වීයමින් නැවතත් ජීෆ් රථයේ පසුපස හරස් ආසනය වෙතට ආවේ කුමන මොහොතක වුව ද ,  ලිලිනාට ඉදිරියෙන් වූ හරස් අසුනේ අසුන් ගෙන සිටින පොලිස් කොස්තාපල් වරයා ලිලිනා දෙස බලා සිටින්නේ මෙවන් අසූරු අවස්ථාවක දී තනියම සිනාසෙන්නයික ඔහු මීට පෙර නොදැක ඇති නිසා වන්නට ඇත.

උගුර පෑදු  ලිලිනා හරිබරි ගැසී පසුපසට වී අසුනේ නැවතත් හිද ගත්තීය.

“ ඔය ඉස්පිරිතාලේ පිච්චිලා ඉන්න හාදයා මට හොදට මතකයි. එයා නේද මීට අවුරුදු දෙකකට විතර කලින් මර්ඩර් කේස් එකකටත් සැක පිට රිමාන්ඩ් කරේ “

පොලිස් කොස්තාපල්වරයා ලිලිනාගේ මුහුන දෙසම බලා සිටින්නට වූයේ , ලක්ෂපති පැනයට පිළිතුරු විමසනා රවින්ද්‍ර රන්දෙනිය මෙන් යැයි
ලිලිනාට සිතුනි.



මී ළඟ කොටසින් .............
මොකක් ද මේ මිනීමැරුම ?
කාවද මැරුවේ ?
ඇයි මැරුවේ ?
බලාපොරොත්තු වන්න


ගින්න , ලියනා
මම
෴ සොඳුරු සිත ෴



තෙවන කොටසට මෙතනින් යන්න....

Sunday, April 15, 2012

෴ ගින්න/ Fire ෴ පළමු කොට ස

෴ ගින්න/  Fire ෴ 
පළමු කොට ස


------------------------

පෙරවදන

අපි කාගෙත් හිත්වල නොපෙනෙන ගින්නක් තියෙනවා. කාලයත් එක්ක ඒ ගින්දර නිවිල ගියත් , ඇතැමෙකුගේ හිතේ ගින්න කාලයත් එක්ක දළු ලා වැඩෙනවා.ඇතැමෙක් ඒ ගින්නටම අහුවෙලා මිය යන්නේ , තමා අවට  ජීවිත වලටත් ගිනි අඟුරක් හරි ඉතිරි කරලා.මේ කතාවේ සමහර දේ ඔබ අවටත් සිද්ධ වෙලා ඇති. මොකද මා අවටත් මේ කතාවේ වගේ චරිත බොහෝමයක් අදටත් දකින්න පුළුවන් නිසා.කියවල බලන්න. අඩුපාඩු කියන්න. ඒ මට කරන ලොකු උදව්වක් වේවි.

------------------------------------------------------------

රජයේ රෝහල් කොරිඩෝවක - රූප රාමුවක්

කොරිඩෝව ජනාකීර්නය , එකිනෙකා නාඳුන මිනිසුන් ගැහැණුන් , ළමයින් , සාත්තු සේවකයින් , ඉදහිට වෛද්‍යවරයෙකු දෙදෙනකු එහා මෙහා යන්නේ කඩිසර ගමනිනි. ඇගේ හැපෙමින් වේගයෙන් යන ඔවුන් එකිනෙකාගෙන් සමාව ගන්නට හෝ නොනවතියි. ගෙවෙන තප්පරයක වුවත් ජීවිතයට එහි ඇති වටිනාකම වඩාත්ම දැනෙන්නේ මෙවන් ස්ථානයකදීය.

එය සනාථ කරමින් විටින් විට ඉකිබිඳුමක් ඇසේ. ඇතැම් නෙතක ඇත්තේ පිටකළ නොහැකි තරමේ ජීවිත බියකි. එය බොහෝ විට තමන් වෙනුවෙන් නොව , තමා වෙනුවෙන් සිටින වෙනෙකෙකු කෙරෙහි උපන් බියකි.

මේ අතර ජනාකීර්ණ කොරිඩෝවේ වූ බිත්තියකට පිට දී සිටින ගැහැණියක සහ ඒ අසලම සිටින පිරිමියෙකු අතර සිදුවන දෙසබසක් මාගේ මේ කතාවට මුලාරම්භය සපයයි.

“ සෑහෙන පිච්චිලා , මට හිතෙන්නේ බේර ගන්න බැරි වෙයි “

“ පොලිසියෙන් කට උත්තරයක් ගත්ත ද? “

“ පොලීසියෙන් නම් කිහිපපාරක් ආවා , ඒත් තවම හරියට කතා කරන්නත් බැහැ “

“ හ්ම් . . . . . “

“ මම කීවා ඕකිට , ඔය මිනිහ ගෙයි අස්සෙ දාගන්න කොට . මහ විනාශයක් වෙලා තමයි නතර වෙන්නෙ කියලා “

“ කෝ දැන් ? “

“ පොලීසියට ගියේ කට උත්තරයක් දෙන්න කියලා “

“ ඒ පැත්තෙ උදවිය කවුරුවත් ආවෙ නැද්ද ? “

“ ඒ මිනිස්සු එනේකක් නැහැ. මුගෙ තියෙන නොසන්ඩාලකම හදන්නම බැරි නිසා නේ ඒ පවුල් වලිනුත් ඈත් කරල තියෙන්නේ. අනේ අපේ මෝඩි ඒ මිනිහට රැවටුනාට “


------------------
පොලිසියේ - රූප රාමුවක්


රෝහලට දෙවෙනි නොවන සේ මහජනයා පිරී ඉතිරී සිටිය ද , කැපී පෙනෙන වෙනස්කම් රාශියකින් ද යුතු වේ. විටින් විට උස් හඩින් ඇසෙන්නේ අණ දීමකි ,නියෝග කිරීමකි. ඒ අතර තුරේ නම් කියවා ඇතැමෙකුට අඩ ගසයි. පැමිණීම ප්‍රමාද වූ විට අසැබි වදනක් ද ඉද හිට හෝ ඇසෙයි. ගැහැණු බිම බලා ගන්නා අතර , අතැම් පිරිමියෙකුගේ කට කොනකට ක්ෂණික මන්දස්මිතයක් විත් යන්නේ හදිසියේම යමක් සිහිවූ විලාශයෙනි.

මේ කිසිත් ගණකට නොගන්නා ඇතැමෙකු පැමිණිළි පෝළිමේ කොණේම සිටිමින් පෝළිම ඉදිරියට නොයෑම ගැන පොලිසියටම පැමැණිලි කරයි.මැසිවිලි නඟයි.ඇතැම් විටෙක පැමිණිල්ල ද නොදා යන අයකු දෙදෙනකු නැතිවද නොවේ. මේ සියල්ල දෙස ඔහේ බලාන සිටිනා මැදිවිය ද ගෙවමින් සිටින නමුත් සුන්දර කාන්තාවක් සිටියි. ඇය මේ කතාවේ ප්‍රධාන චරිතය වන්නට පුලුවනි. ඇය ලිලිනාය.

ලිලිනා අසුන්ගෙන සිටින්නේ , සාජන් බන්ඩාරගේ මේසය ඉදිරියෙනි. ඔහු තවමත් රාජකාරි මේසය වෙත පැමිණ නැති බැවින් , ඇයට මෙසේ පොලිස් ස්ථානය සිසාරා ඇගේ දෑස් නිරීක්ෂණ චාරිකාවක යැවීමට අවසර ලැබී ඇත.

නමුත් විටින් විට ඇගේ දෑසට නැඟෙනා කඳුළු බින්ඳු දෙකක් ඇගේ කිලිටි ලේන්සුවේ සැඟවී යයි. විගහින් ඇසිපිය සලන ඇය වටපිට විමසිලිමත් දෑස් යැවුව ද, ඇය දෙස බලන්නට මෙහි සිටිනා අයට ඉස්පාසුවක් නැත.නැවතත් ඇගේ දෑස් නිරීක්ෂන චාරිකාවට එක් වෙයි.

මෙවර ඇගේ චාරිකාව අතර මඟ නතර කරන්නට වූයේ සාජන් බණ්ඩාර නියමිත රාජකාරි මේසය වෙත පැමිණි බැවිනි.

“ සමාවෙන්න පොඩ්ඩක් ප්‍රමාද වුනා “ ඔහු සිනා සෙමින් පැවසුවේ. ලිලිනාගේ සිත මවිතයට පත් කරමිනි.

“ මේ අර .............ගිනි අරන් දැන් හොස්පිටල් ඉන්න  කේස් එක ගැන  . . . .“

“ ඔවු සර් . . . මට එන්න කියල තිබ්බා කට උත්තරයක් දෙන්න “

“ ආහ්  . . . ලිලිනා හැන්නදිහේවා “

“ ඔවු සර් “

“ හ්ම් . . . . . . . හොඳයි කියමු බලන්න. පිච්චිලා ඉන්න කෙනා තමන්ගෙ කවුද ? “

ලිලිනා මදකට නිරුත්තර වූවාය. ඇත්තටම ඔහු තමාගේ කවුද ? ලිලිනා දස අතේ දස අවුරුද්දක් කල්පනා කර ද , දැඩි ලෙස පිලිස්සී රෝහල් ගතව සිටින දොන් එඩ්වඩ් අබේගුණසේකර තමාගේ කවුදැයි යන්නට නිසි පිළිතුරක් සොයා ගැනීමට අපොහොසත් බැව් ඇය දනී.

“ තමාගේ කවුද ? “

“ මගේ මගේ . . . .හිතවතෙක් “

“ හ්ම් හිතවතෙක් . තව පැහැදිලි කරන්න පුලුවන්  ද? ‘

“ පැහැදැලි කරන්නෙ කොහොම ද ? “

“ තමුන් කසාද බැඳල ද? “

“ ඔවු සර් . . දරුවො දෙන්නෙකුත් ඉන්නවා “

“ දරුවෙ ඉන්න ඉතින් කසාද බඳින්නම ඕනි නැහැනේ. එතකොට තමන්ගේ ස්වාමි පුරුෂයා මැරිල ද? “

“ නැහැ සර් එයා රට “

“ රට ! ! ! .... හෙහ් හෙහ් තමුන්ගෙ මිනිහ රට ඉන්න අල්ල පනල්ලෙ , ගේ අස්සෙ ඉන්න මිනිහට කියන්නේ හොර මිනිහ කියල මිසක් වෙන මොනා කියල ද? “

“ නැහැ සර් එහෙම දෙයක් නැහැ “

“ නැහැ . . .හරි හරි  . .මට ඒවයින් පලක් නැහැ. දැන් කියමු බලන්න වෙච්චි දේ “

“ ඒක දිග කතාවක් සර් “

“ තමුන්ගෙ ඔය දිග කතාව , පුලුවන් තරම් කොට කරල මට කියනව ද වෙච්චි දේ මොකක් ද කියලා. මොකද මට තවත් වැඩ තියෙනව කරන්න “

“ එයා මගෙ හිතවතෙක් සර් , මම එයාව දන්නෙ ස්කොලෙ යන කාලෙ ඉදලමයි , එයා අපේ ගමේ , එයා...“

“ මං කීවනේ වෙච්චි දේ කෙටියෙන් කියන්න කියලා “

“ එයාට මම අපේ ගෙදරින් යන්න කීවා .එයා නිසා මගෙ පවුල කැඩෙනවට මං කැමැති වුනේ නැහැ සර් , එයා කියන දේ ඇහුවෙ නැතිව මගෙ ගේ අස්සෙම රිංග ගෙන හිටියා “

“ ඒ කියන්නේ ඒ මිනිහ ගිනි තියාන තියෙන්නෙ හරි , ගිනි අරන් තියෙන්නෙ හරි තමුන්ගෙ ගෙදරදි “

“ ඔවු සර් , මයෙ ගෙදර , මයෙ කාමරේ “

“ අහා  . . .ඔය කියන්නෙ ඔය කියන්නේ , එතකොට තමන්ගෙ ගේ අස්සෙ ඉදන් ගිනි තියාන හරි ,ගිනි අරන් හරි මැරුන මිනිහ තමුන්ගෙ හිතවතෙක් විතරයි “

“ ඔවු සර් . ඒක තේරුම් ගන්න නම් සම්පූර්ණ කතාව කියන්න වෙනවා “

“ හරි හරි වෙච්චි දේ කියන්න වෙච්චි දේ විතරක් , ගිනි ගන්න කොට තමුන් හිටියෙ කොහෙ ද ? “

“ කොච්චර යන්න කීවත් එයා ගියේ නැහැ.වැදල කීවා ,බැනල කීවා. ඒ කිසි දෙයක් එයා ගනන් ගත්තෙ නැහැ. අන්තිමට බැරිම තැන මම ළමයි දෙන්නත් අරන් ඒ ගෙදර දාලා ආවා “

“ තමුන්ගෙම ගෙදරින් එළියට බැහැල ආවා “

“ ඔවු සර් , එදා මම ගෙයින් එළියට බැහැල යන දවසෙ ,එයා පොඩි ළමෙක් වගේ ඇඩුවා සර් “ නැවත වාරයක් කිලිටි ලේන්සුව ඇගේ උදව්වට පැමිණියත් , දෑසින් වෑහෙන කඳුළු උරා ගත්තත් , ඉකිය නවතා ලන්නට ලිලිනාට නොහැකි විය .ලිලිනා හිස පහත් කර ගෙන සිටිය ද , ඇගේ ගැස්සෙන උරහිසත් , නිරාවරණය වූ සාරි හැට්ටය අතරින් පෙනුන ,තරුණබව ඉක්මවා ගිය ද සුන්දරත්වය රැදි ඇගේ ගැහෙන පිටත් , ඇය ඉකිබිදිනා බවට සාක්ෂි දරන්නට විය.

පොලිස් නිළධාරියා ද මදකට නිහඩබව උසුලන්නට විය.

ලිලිනා හිස එසවූ අතර අවසන් වාක්‍ය පැවසුවේ යමෙක් ඇයට ආරුඪ වූ විලාශයෙනි.

“ මම ගෙදරින් ගියේ උදේ , හවස හයට විතර මට දැන ගන්න හම්බුනා එඩ්වඩ් ගිනිතියාන කියලා. වැරදිකාරි මමයි සර්. මට තිබ්බ එයාව දාලා නොයන්න.ඒත් එයා තේරුම් ගන්න ඕනි. මම කසාද බැඳල දරුවො ඉන්න අම්ම කෙනෙක් කියලා. මම එයාට දැක්වුයේ අනුකම්පාව මිසක් ආදරය නෙමෙයි කියලා “

සාජන් කෙලින්ම ඇගේ දෑස දෙසත් ,ඇය ඔහුගේ දෑස දෙසත් බලාසිටියේ , දැන් මේක ඉවරයි කියන අටියෙන් වුව ද , වහ වහා එතනට කඩන් වැදුනු පොලිස් කොස්තාපල්වරයකු පැවසුවේ.

“ සර් , අර පිච්චුනු මනුස්සය කතා කරනවලු , කට උත්තරයක් ගන්න එන්න කියලා ඉස්පිරිතාලෙන් පණිවිඩ එවල තිබ්බා “


දොන් එඩ්වඩ් අබේගුණසේකර ලිලිනාගේ කවුද ,
ඔහු ගිනි තියා ගත්තා ද ?
කිසියම් රහසක් සඟවනු වස් ඔහුට ගිනි තිබ්බා ද ?
ලිලිනා  රැවටිලිකාරියක් ද ?
ලිලිනා ඔහුව තම නිවසේ රඳවා ගත්තේ ඇයි ?
ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න.


මෙන්න මෙතනින් යන්න කො දෙවෙනි කොටසට

Disclaimer
හුදු මනකල්පිතයක් පමණි... මෙම කතාවේ එන චරිත කිසිවක් දැනට ජීවත්ව සිටින හෝ මියගිය කිසිවෙකුට සම්බන්ධයක් නැත..අඩු හෝ ඩැවි වශයෙන් මෙවැනි මිනිසුන් හමුවූවද , මේ ඔවුන්ගේ කතාව නොවන බැව් කරුණාවෙන් සලකන්න.

Saturday, April 14, 2012

෴ පශ්චාත් අවුරුදු ප්‍රීතිය / Post Avurudu Bliss ෴

෴ පශ්චාත් අවුරුදු ප්‍රීතිය / Post Avurudu Bliss ෴



පුරා මාසයක් තිස්සේ
බඩගා රෙදි සැල් අස්සේ
ගත්ත රෙදිත් ඇන්දා
ගෙනාපුවත් ඉව්වා

පුච්ච පුච්ච ඩෝං පටාන්
සද්ද ටිකක් දැම්මා
මාසෙ පඩිය ඉවරයි
තවම මාසෙ එහෙමයි

කනේ කරේ මාල වලලු
ටිකත් උගස් කෙරුවා
කන්න බොන්න අඳිනට දේ
ඒ මුදලට ගත්තා

අවුරුද්දත් ඉවරයි
අවුරුද්දෙම හම්බ කරපු
සේසත දැන් ඉවරයි

රටට ගමට බනිමු
ගනන් වැඩියි කියමු
ජීවත් වෙන්නට කොහොම ද
දෙස් දෙවොලුත් කියමු

මනා කළමණාකරණය
නැති හින්දයි ඔහොම
කියන්නෙපා ඉතින් අනේ
හිත රිදෙනව බොහොම

ඈත දුරක ඉදන් ආපු
දූලා පුතාලා
පිලිගන්නට
නිකම් හොඳද
හිස් අත පාලා

පැන්ශන් එක ඉවරයි
දඹදිව සිහිනය ආයෙත්
එන වසරට පියඹයි

පුන්සඳ අහසේ පායා
හිතට අනිනවා
ලබන මාසේ මම එනවා
කියල කියනවා

දංසැලටයි පිං වලටයි
සල්ලි හොයන්නේ
පිනුත් ඉතින් ගණන් වැඩියි
කියල සිතෙන්නේ


රජයේ සේවකයින්ටත් , පැන්ශන් පඩි ගන්නා උදවියටත් අප්‍රේල් මාසයේ වැටුප හැම අප්‍රේල් මාසෙකම වගේ වේලාසන ලැබෙනවා. ඉතින් හරි සතුටුයි . අවුරුදු ජයට ගන්න වේලාසන පඩි පත අතට. ඒත් අප්‍රේල් මාසෙ 10 ඉදන් මැයි මාසෙ 24/25 වෙනකම් මාසෙකටත් වඩා ගෙවන්න වෙන හැටි දන්නේ ත් ඒ අයම තමයි.

ඔබ සැම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා යි පතන
මම
෴ සොඳුරු සිත෴

Friday, April 13, 2012

අසිරිමත් වූ දෙයකි ප්‍රේමය - "Love is a Many-Splendored Thing"

අසිරිමත් වූ දෙයකි ප්‍රේමය - "Love is a Many-Splendored Thing"




----------------


වෙන් වන දින වෙලා
කල් ඇතිවම ලියලා
හමුවුනු නිසා වෙන්වන්නට
දින ගැනලා
වෙන්වන දිනය නොදැනී
ළඟටම ඇදිලා
වෙන් වෙනු නොහැකි
ඇයි අද මට නොම හැඟිලා


සෙනෙහස හමන්නේ
පතනා දෙසින් නොවේ
දාහය දැනේ
එය නිවනට මඟක් කොහේ
නුඹ ලද දිනක
මා රජ වුනු බවක් හැඟේ
සෙනෙහස ඔටුන මිස
සිංහාසන පලක් නොවේ


පොත් පිටු පුරා ලියනා
වදනක් නොවුනත්
හිත ළඟ පිපී සැලෙනා
කුසුමක් නොවුනත්
පතනා පැතුම් දහසක
අකුරක නොවුවත්
ලද සිත සෙනේ නිම නැත
මරණය වූවත්

-------------------------

පසුවද න : -
සොයා නෙක වර්ණයෙන්
හමු නොවූ වද
නොසෙවූ වෙලාවක සමුවූ
සුවඳ නුඹ
අඳුනා ගත නොහැකි
නෙක පාටින් නොවන
කළු සුදු පැහැති
ප්‍රේමය නුඹ නම් ලැබුව

-------------

Love is nature's way of givinga
 reason to be living,
The golden crown that makes a man a king.

Sunday, April 8, 2012

෴ මාතෘකා නැත ෴

෴ මාතෘකා නැත ෴



මට හිතුනා මැරෙන්න . ....
මට ආදරය නැති අයගෙන් පළිගන්න.
සැලසුම් කරා ,
සංවිධානය කරා ,
මෙහෙයවන්න වුනේ මටමයි
පාලනය නුඹටයි
වේදනාව අඩුවෙන්ම ,
ක්ෂණික මරණයක්....

වැදගත්ම දේ තමයි
මැරෙන මොහොතෙ ඔබව මතකයට එන්න දෙන්න බැහැ.

ඇස් ඇරිල තියෙන්න ඕනි ද ?
නැහැ ඇස් තදින් පියවෙන්න ඕනි.
ශරීරයට හානියක් වෙන්න දෙන්න බැහැ.
නුඹට මාව අඳුරගන්න බැරි මරණයෙන් පලක් නැහැ
නරක් වෙන්න කලින් සොයා ගන්නත් ඕනි.

වස බොන්න

බෑ බේරෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

කෝච්චියට බෙල්ල
අෆෝ බෑ - මිනිය කැත වෙනවා

ගඟට පනින්න -
බෑ ...බෑ හොයා ගන්න කල් යනවා.
අනික නිල් වෙලා ඉක්මනින් නරක් වෙනවා

මුහුදට පැන්නොත් -
බැහැ හොයා ගන්න පරක්කු වෙනවා

බෙල්ල වැල දාගන්න -
අෆෝ ...දිව දොට්ට...

ඉතින් වදේ මැරෙන්න ලේසි ක්‍රමයක් ඇත්තෙම නැද්ද?
තියෙනවා -

ආදරය කරන්න ,තමන්ව අමතක වෙන තරමට ආදරය කරන්න“

ඊට පස්සෙ ඒ ආදරය හැර යන්න...........


ඔවු......
අත්දුටුවයි සත්‍යයි

දවස ගානේ මැරි මැරි උපදිනවා


ඊයේ මැරෙන්න හිතුනු

අද මැරෙන්න බය

මම

෴ සොඳුරු ෴

෴ දොළොස් මහේ පහන ෴

ණ මඩුවේ වුයේ මහා ඝෝශාවකි.ලොකු හාමුදුරුවන් සභාවට වැඩිය ද , ඝෝෂාවේ නම් කිසිදු අඩුවක් සිදු වූයේ නැත.මද වේලාවක් දායක දායිකාවන් දෙස බලා සිටි උන්වහන්සේ තරමක් සද්දයෙන් උගුර පාදන්නට විය.  පිරිස එකා දෙන්නා නැගී සිටින්නටත් , මුණුමුණුව ක්‍රමයෙන් අඩු වන්නටත් , නිංසසල බව පැතිරෙන්නටත් වැඩි කාලයක් ගත නොවිනි.

ලොකු හාමුදුරුවන් අසුන් ගත් පසු දිගැටි බංකු වල නැවතත් අසුන් ගත් දායක සභාවේ ඇත්තන් අතරින් යලිත් මුණු මුණු හඬ දළු ලන්නට විය.

නැඟී එන හඩ යටපත් කරමින් ලොකු හාමුදුරුවන් කතා කරන්නට යෙදිනි.

“ දැන් ඔය ඇත්තෝ කලබොල වෙන්න කාරි නැහැ. පොලිසියටත් අපි දන්වල නෙව තියෙන්නේ. අද අපි මේ රැස් වෙලා තියෙන්නේ හොරු හොයන්නවත් දඩුවම් කරන්නවත් නෙමෙයි. මේ වගේ දෙයක් ආයෙත් වෙනේක වලක්ව ගන්නයි “

“ එහෙම කොහොමද හාමුදුරුන්නේ , එක එකාලට ඕනි විදිහට පන්සලේ දේවල් ඩැහැගෙන යන්න දෙන්නේ.“

දායක සභාවේ සැදැහවත්ම බෞද්ධයාගේ හඩ බණ මඩුවේ සිංහල උළු වහල දෙදරවා යන තරම් විය.

සභාව එකල මෙකල වන අතරේ සැර දමා ගෙන ආ පොලිස් ජිෆ් රථය පංසලේ සුදු වැලි පාර සූරාගෙන විත් නතර විය. දායක සභාවේ පමණක් නොව ලොකු හාමුදුරුවන්ගේ ද  පොලිස් ජිෆ් රිය වටා රොක් වන්නට විය.

ඉදිරිපස ඇරුන දොරින් බිමට බට පොලිස් ලොක්කාගේ කළු පැහැති දිලිසෙන සපත්තුවට පෑගුනු සුදු වැලි කැට කිරි කිරි හඬ නැංවූවත් එය ඇසුනු කෙනෙක් නම් නැත.

“ ආවාසය පැත්තට යමුද හාමුදුරුවනේ , මට පොඩ්ඩක් ඔබවහන්සේ එක්ක කතා කරන්න ඕනි “

පොලිස් නිළධරුවන් පෙරටුකොට ආවාස ගෙට වැදුනු ලොකු හාමුදුරුවන් නොපෙනී යන තෙක් බලා සිටි දායක සභාවේ ඇත්තන්. තම තමන්ගේ මත ප්‍රකාශ කිරීමට වූයේ , එකිනෙකා පරයමිනි.

“ මේක බලා ඉදල බෑ. අද පහන , හෙට මොකක් වෙයිද කවුද දන්නේ “


“ මම නම් හිතන්නේ ඕක පොල් සයිමන්ගෙ වැඩක් , උගෙ ගෑනිත් ලෙඩ වෙලා කරගන්න දෙයක් නැතිව හිටියේ “

“ ඇයි යකෝ , මේකට දම්වැලකුත් දාලා ඉබ්බෙකුත් දාලා නේද තිබ්බේ. යතුරු අපි ගෙදර ගෙනිචචැයි. පන්සලේම නෙව තිබ්බේ.ගමේ අහිංසකයින් පලි නැහැ. මේක නම් හාමුදුරුවන්ගෙම වැඩක්. මුන්ට දං දෙන අපියි මෝඩයෝ. මං යනව බන් ගෙදර යන්න වැඩ කීයක් දාලද අද මේ ආවේ “

“ අර කීවත් වගේ පොඩි හාමුදුරුවොත් පේන්න නැහැ නේද ? “

“ නොදන්න වුන් මේවයෙ අස්සෙ දාගත්තමත් ඔහොම දේවල් වෙනවා “ හින්නි කොලුවා දෙස බැලු එකකු කොල්ලා වෙත හෙලුවේ දැවී හලුවී යන බැල්මකි.

“ ඇයි බන් ඌ අහිසකයා. මේවට ගමේ ගෑණුත් වගකියන්න ඕනි “ ඇහැට කණට පේන ,නිතරම පාහේ පන්සලේ ගැවසෙන , වැන්දඹුවක වී තාමත් වැඩි කලක් ගත නොවූ එකියක දෙස බලා එකකි පැවසුවේ දෑස් වලින් උතුරා හැලෙන ද්වේශයකිනි.

“ හැබෑට දැන් කවුද ඔය පහන පරිත්‍යාග කොරේ.ඒ මනුස්සයටත් දැන්වුව නම් නේද හො ඳ ? “

“ ආහ් ඒ කොළඹ පළාතේ මුදලාලි කෙනෙක් නෙ, උන්දැට ඕක කීවැයි කියල මේ තකහනියක් වැඩ පාඩු කරන් මෙහේ ගාටන එකක් නැහැ. ඕනි නම් තවෙකක් එවාවි “

බොහෝ වේලාවක් බලා සිටි දායක දායිකාවන් , එකා දෙන්නා නිවෙස් බලා යන්නට විය , අවසානයේ ඉතිරි වූයේ පන්සලේ කැහැටු බලු පවුලත් , යන එන තැන් නොමැති නිසාම පන්සලේ ලැග සිටින හින්නි කොලුවාත් පමණි.

එදින එසේ අවසන් වුව ද , පසුදින උදයේ පන්සල් තාප්පය පුරාත් , ඒ ආසන්නයේ ගම පුරාත් ඇලවී තිබූ කැලෑ පත්තර ලීවේ කවුරුන්දැයි දන්නේ දෙවියන්ම පමණි.

“ පහන් හොරා අල්ලාපිය “
“ දං ගෙඩියන් පන්නාපිය “

“ පොලීසියත් මකර කටේ - පහන් වැටත් උන්ගෙ කටේ “

උදේ පාන්දර සීතල දුරැකැමින් පැතීරී ගිය උණුසුම් ප්‍රවෘත්තිය , ඇසූ ගමේ ගැහැණුන් කම්මුල් අත ගහගනිමින් “ අනේ අපොයි “ කීවේය.

“ ඔහොම වෙලා මදි බොලව් . මොකා කරත් පට්ට වැඩේ “ පිරිමින් පැවසීය.

ගමත් පන්සලත් විරසක වූයේ පන්සල තව තවත් අගාධයට තල්ලු කරමිනි. ගමේ මරණයට, දානයට ,බණට ,පිරිතට අල්ලපු ගමෙන් හාමුදුරුවන් වැඩම කරන්නට යෙදුනි. පන්සල ගමෙන් පමනකුදු නොව , පන්සල අනිකුත් සහෝදර පන්සල් අතර ද අගෞරවයටම පාත්‍ර විය.

මේ අතර දින සති මාස ගනන් ගෙවී යද්දී ඇතැමෙකු ඉදහිට පන්සලට ඇදෙන්නට වූයේ ගමේ එකිනෙකා දකිතැයි හොරෙනි. . ලොකු හාමුදුරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල ලෙස පිරිහී තිබුනි. පොඩි හාමුදුරුවන් පන්සල හැර ගොස් තිබුනි.

දවස් ගාණකින් අතු නොගෑ සුදු වැලි බෝමළුව පුරා බෝ කොළ විසිරී තිබූ අතර , බෝ ගසේ අතු අග්ගිස්සෙන් නව දළු ලියලමින් තිබුනි.

හින්නි කොළුවාත් , කෘශ බැල්ලත් උගේ පැටවුනුත් පන්සල හැර ගොස් නොතිබුනු අතර ඔවුන් ද ගරා වැටුනු පන්සලේම කොටසක් බවට පත් වී සිටියා වැන්න.

එක් දිනක් මහ රාත්‍රියේ මුළු ගමම නින්දෙන් ඇහැරුනේ පන්සලේ ඝණ්ඨාව නොනවත්වා නද දෙන්නට වූ නිසාය. බිය , සැකය හා වරදකාරී හැඟීම් රැසක් සඟවා ගත් ගම්වැසියන් පන්සලට ඇදෙන්නට විය.

හින්නි කොලුවා ඝන්ඨා කුළුණට වාරු වී ඉකිබිඳිමින් ද , විටින් විට ඝණ්ඨාරය හැකි වෙර යොදා නාද කරමින් ද සිටි අතර කෘශ බැල්ලත් ඇගේ වැඩුනු පැටවුනුත් ආවාස ගෙයි තැන තැන ලැග සිටියේ කළ හැකි සියල්ල කළද තවත් කළ හැකි දෙයක් ඉතිරු නූවන් පරිද්දෙනි.

වහා රථය පනගන්වා ගත් කළු මාමා ද සමඟින් මාද රථයට ගොඩ වුනේ ගමේ වුන් දායක සභාවේ සාමාජිකකේ නොවූ නිසා වන්නට ඇත. ලොකු හාමුදුරුවන් දැඩි සේ ගිලන්ව සිටියේය. රෝහලට රැගෙන යාමට මත්තෙන් උන්වහන්සේ අපවත් විය.

එතුවක් පන්සල හා තිබුනු නොහොද නෝක්කඩු සියල්ල අමතක කර දැමූ ගැමියෝ උන්වහන්සේගේ ආදාහන කටයුතු අතිශය උසස් ලෙස සිදු කිරීමට කටයුතු යොදා තිබුනි.

මළ හිරු බසිනා හැන්දෑයාමයක බොහෝ පිරිසක් සහභාගී වූ ආදාහන පූජෝස්සවය නිමාවත්ම සියළු ගිනි නිමා කරමින් ගිනි දැල්වුනු චිතකයේ උන්වහන්සේ සැතපෙන අතරතුරේ අහසට ගිය දුම් රොටුවක එතී උන්වහන්සේගේ අවසන් වදන් ද මා සවනේ දෝංකාර දෙන්නට විය.

දැඩි සේ ගිලන්ව සිටිය ද , රෝහල වෙත ගෙන යන අතරතුරේ යමක් මුමුණමින් සිටි උන්වහන්සේගේ මුවට සවන ලංකර මට ඇසුනේ

“ පොඩි හාමුදුරුවන්ට කියන්න සමාව දුන්න කියලා. උන්වහන්සෙගෙ වැරුද්දට මං පවු ගෙව්වා. පන්සලට ආපහු වඩින්න කියන්න. “


ගිනි දළු ලන සසර ගමනේ සිසිල සොයන් , තව බොහො දුර යන්න බලන් ,
මම
෴ සොඳුරු සිත෴

Saturday, April 7, 2012

෴ සුපසන් ආදරය ඇයි මෙතරම් දරුණූ ෴

෴ සුපසන් ආදරය ඇයි මෙතරම් දරුණූ ෴

දවසින් දවස කාලය ගත වී යනවා
මොහොතින් මොහොත මට නුඹ සිහිපත් වෙනවා
ළඟ වුන් අයත් එකිනෙක වෙන්වී යනවා
මා නිසසලයි කාලය දුවමින් යනවා
සිතු දේ ලැබෙන්නේ නැති බව නොදැන නොවේ
මතු මතු වටත් නුඹ ගැන නොසිතනව නොවේ
රතු වෙන ඇස් අගට කඳුළක් නැතිව නොවේ
කතු නුඹ තමයි නොලැයුනු කවි ලියනු නොහේ

සඳ ඇති රැයක පාළුව මට නොදැනෙන්නයි
අඳ හිත කොණක නුඹෙ රෑපය නොඇදෙන්නයි
මතු යම් දිනක නුඹ මට මුණ නොගැසෙන්නයි
මගෙ සිහිනයට විත් මා හද නොරිදන්නයි

සිටිනා ඉසව්වක දුක් සෝ නොදැනීයන්
මා ගැන මතක හිරු දුටු පිනි ලෙස වීයන්
සාපැටවුනුත් ළං කර ගෙන සැනසීයන්
නුඹ මයෙ ලෝකෙ දුර පුන් සඳ ලෙස පායන්

සඳට කවදත් පෙම් බදින
මම
෴ සොඳුරු ෴

Thursday, April 5, 2012

෴ කිඹුලීට ආදරයෙන් ෴



මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා

තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවතා ගෙන සි ටි යා 
මිනි නොකයි මාතර කිඹුලිගෙ පැ ටි යා

නිල්වලා ගඟ ගැස්සිලා පැද්දිලා , තමාගේ ආදරවන්තා හොයා යන ගමනෙ දි , අතරමග වෙලාවක හමුවෙන සුන්දර ගමක තමයි සොඳුරු ජීවත් වෙන්නේ. සොඳුරු ගෙ ගෙදර පාර පැනල හැතැම්ම කාලයක් විතර පොඩි දෙවටක් මැද්දෙන් ගිහින් නිල්වලා ගගේ දගලපු හැටි තාමත් සොඳුරුට මතකයි.ගගේ බැස්සම ගොඩ එන්න වෙලාවක් නැහැ.ඒ තරමට නිල්වලා ගඟ තගට සිතට ගෙනාවේ සතුටක්.ඒත් පාසල් කාලේ හමාර වෙන්නත් කලින් , ගඟේ නෑමට තහංචි වැටුනේ පොඩි ඈයොන්ට විතරක් නම් නෙමෙයි.

සොඳුරුගෙ ගෙවල් ගාව , පාර එහා පැත්තෙ ගෙවල් දෙහකට එහායින් ගෙදර ඹ්වයිසියර් මහත්තයගෙ පුතා  නම් ගඟේ නාන්න ගියේ බාත්රූම් නැති නිසාවත් , නාන්න වතුර ගන්න ළිඳක් නැති නිසාවත් නම් නෙමෙයි. ගඟේ නෑමේ තියෙන අපූරු විනෝදය නිසාමයි. ගමේ ඉස්සරෝම කිඹුලට අහුවුනු උන්දෑ , කිඹුලයෙන් බේරිලා ආවේ පූරුවෙ වාසනාවකට වුනත් මාසෙකට දෙකකට පස්සේ මිය ගියේ ත් ගගේ නැමට තහංචි වැටුනේත් එකටමයි.

ග‍ඟේ නෑම පස්සෙන් පහු බොහෝ දෙනා නතර කරත් , ගඟේ නෑම අත්නොහැරි කිහිප දෙනෙක් හිටියා. ඒ කාලේ අපි ඔවුන් ව දැක්කේ වීරයෝ වගේ. ‍

නාන තොටුපොලවල් තුනක් අපේ ගමට ආසන්නයෙන් හදල තිබ්බත් , තොටුපලටවත් නාන්න නොගියේ , තොටුපලට ගියපු මනුස්සයෙක්වත් කිඹුලා ඩැහැගෙන ගිය නිසයි. වාසනාවකට වගේ උන්දෑත් බේරිලා තිබ්බ.අදටත් ඒ තනිකඩ මනුස්සය නම් ජීවත් වෙනවා. ගමේ කිසිකෙනෙක් ගේ අවධානයට ලක් නොවුනු 
ටිකක් මෝඩ පහේ කෙනෙක් වුනත් ඒ මනුස්සයා එදා ඉදල විරයෙක් වුනා. එයා නම් කියන්නේ කිඹුලට කිචු කවල කිඹුලයෙන් ගැලවිලා ආවා කියලයි.

මේ පරණ කතා ආයෙත් මතක් වෙන්න මුලික හේතුවක් වුනේ
, මේ මාස දෙක තුල දී සොඳුරුගෙ ගමට ආසන්නතම ගමක මරණ දෙකකට වගකිවයුතු වුනේ කිඹුලෙක් නිසා. සමහර විට මේ එකම කිඹුලා නෙවෙන්න පුලුවන්.


බොහොම අසරණ අම්මා කෙනෙක් පලමු ගොදුරු වුනත් දෙවෙනි ගොදුර වුනේ උසස් පෙළ හදාරන දැරිවියක්. ඒ ගමේ බොහෝ දෙනා තාමත් නාන්නෙ ගඟෙන් .මාතර ගඟේ ඉන්න කිඹුලිගේ පැටියාට තියෙන ආදරය මාතර මිනිස්සුන්ගෙ හිත් වලින් පලා යන දවස වැඩි ඈතක නෙමෙයි .

කිඹුලා ගැන ද්වේශයෙන් කතා කරන ඇතැමෙක් , දේශපාලඥයින් පිට මේ වරද පටවනවා.

ඇතැමෙක් නම් කිඹුලා ගැන කිඹුල් කඳුළු හෙලනවා



ඒ මොනා වුනත් මිනිස්සු වෙච්චි අපේත් වැරදි නැතිවම නෙමෙයි කියලා මාත් දන්නවා.

                        නිල්වලා ගඟේ කුස පිළිසිද ගත්  කිඹුලා
                        කල්බලා ගොඳුරු ඩැහැ ගන්නා කිඹුලා
                        සිත්වලා ඉරන් රුදු කඳුළැලි නොසලා
                        හැංගිලා යන්න දිය පතුලේ බැසලා




              මාතර ගඟේ කිඹුලිගේ පැටියට තාමත් ආදරය කරන
                                     මම
                             ෴සොඳුරු සිත ෴

Tuesday, April 3, 2012

-. නාවිකයාගේ ප්‍රේමය .-

-. නාවිකයාගේ ප්‍රේමය .-


හාත්පස පැතිරි තිබූ ඝණ අඳුරත්, විටින් විට හමා එන සිසිල් සුළඟත් , ඉඳහිට සිදුවෙන නැවේ පැද්දීමත් ඔවු‍න්ගේ කතාවට ම සරිලන වාදනයක් බදු විය. මේ මොහොත මෙහෙම ම නතර වෙනවනම්.

නිශ්චලව තියෙන මහ මුහුද දිහා ටික වේලාවක් බලන් හිටපු නාවිකයාගේ ඇස් ටික වේලාවක් යද්දි අඳුරට හුරු වුනේ ඉඹේමයි. නිසල මුහුද වගේ නාවිකයාගේ හිතත් නිශ්චලවම තිබ්බත් නිසල දිය රැළි අතරින් ඇය මතුවෙත්ම නාවිකයාගේ සිතේ නිසල බවත් බිඳුනා.

නැව් බදේ හැපෙමින් ඇය නාවිකයා දිහාම බලාන හිටියා. ඇගේ ඇස් දිලිසුනේ සතුටින් ද දුකින් ද කියල හිතන්න නාවිකයා කැමැති වුනේ නැහැ. නාවිකයාට ඕනි වුනේ මොහොතක් හෝ මඟ නොඇර ඇගේ ඇස් දිහා බලාන ඉන්න විතරමයි.

නාවිකයාට අද වගේ මතකයි ඇය ව ඉස්සරෝම දැකපු දවස. එදා හඳ පායලා තිබ්බත් ඇය නාවිකයා දිහා බැලුවේ හැංඟි ලා බොහොම හොරෙන්.හැංගි හැංඟි හොරාට කෙරුන මේ හමුවීම් නිසා නාවිකයා කෙරේ ඇය තුල තිබුන බිය පහ වෙලා ගියා. ඇය එනතුරු බලා ඉන්නෙක නාවිකයාගේ දින වරියාවේ ලස්සම වේලාව වුනා. ඇයටත් එහෙම වෙන්න ඇති. ඒත් කියන්න බැරි විදිහෙ පුංචි පරතරයක් ඔවුන් අතර තිබුනත් ඒ පුංචි පරතරය බිඳගෙන එකිනෙකාගෙ වෙන්න වත් ඒ පරතරය වුවමනාවෙන්ම වැඩි කර ගන්නවත් ඔවුන් දෙදෙනාටම වුවමනා වුනේ නැහැ.

නාවිකයා එනතුරු ගොඩබිමේ බලාන ඉන්න පුංචි පවුලක් වුන්න විත්තිය නාවිකයට අමතක වුනේ වත් , තමන්ට හිමි මුහුද බව ඇයට අමතක වුනේ වත් නැති වුනාට , ඔවුන් හමුවෙන වෙලාවෙදි මුළු ලෝකේම හිටියේ නම් ඒ දෙදෙනා විතරමයි.

මුහුදෙ ගෙවුන කාලය නිමා වෙමින් තිබුනා. ගොඩබිමේ දිලිසෙන පුංචි එළි නාවිකයාට දකින්න පුලුවන් තරම් ළං වෙමින් තිබුනා.බොහෝම දුරක් නැව පසුපසින්ම ආපු ඇගේ ගමන ආපසු ආ මඟම යා යුතුව තිබුනා.

අයිති වෙන්නෙ නැති වගේම , අයිතිකර ගන්න බැරි ආදරයක් මේ කිසිම දෙයක් නොතකමින් නිදහසේ ගලායමින් තිබුනා.

කවුරුත් විස්වාස නොකරන දේවල් දැන ගෙන හිටියේ කළුවර ආකාසේ විතරයි. ඔහු ආකාසය දිහා බලල හිනා වුනේ තමන්ගෙ රහස කාටවත් කියන්නෙපා කියන්න වගේ.

" මට කිඳුරියක් හමුවුනා "

ඔහු මහ හයියෙන් කෑගහල කීවත් , කාටවත් ඇහුනෙ නම් නැහැ.


 



බොහොම කලාතුරකින් හමුවෙන සුන්දර අවස්ථාවක් ඔවුන් දෙදෙනාගේම ජීවිත වලට ගෙනාවේ සුන්දර මතකයක් විතරක්ම ද?

දිය කිඳුරියගේ කඳුළු වලින් මුහුද තවත් ලුණු රස වුනා ද?
            උත්තර නැති ප්‍රශ්ණත් එක්ක , මුහුද දිහා බලා ඉන්න
                                    මම
                           ෴ සොඳුරු සිත ෴

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...