..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, March 29, 2012

෴ ආදරේ තරම් හෙවත් නොදැකපු ආලය/ Unseen Love ෴

෴ ආදරේ තරම්  හෙවත් නොදැකපු ආලය/ Unseen Love ෴



මුහුද තරම් අහස තරම් 
වැලි කැට තරු  යාය තරම්
ආදරයක් මනිනු හැකිද
මා සිත නුඹ දන්න තරම්

හිමිකම් නැහැ ඉල්ලන්නේ
වගතුග නැහැ මම දන්නේ
නුඹ නුඹ වී සිටි හින්දයි
මේ තරමට පෙම් බැන්දේ

කියන කතා ආල නුරා
මට පමණක් නොවන නිසා
සිත නැහැ තරහක් කිසිදින
නුඹ මා සිත රකින තුරා

කියන වදන් සවන පුරා
හද සිප සනසවන යුරා
ළඟ නැති නුඹ තුන්තිස් පැය
මා සිත තුල සරන යුරා

ඈත රටක ඈත දුරක
සිටියත් නොම දකින යුරා
මා මිය යන්නට කලියෙන්
එනු මා නෙතු දකින යුරා




අපේ ජනක බස්සා ලියන ජීවිතය දකින්න විඳවන්න නොව විඳගන්න කියන බ්ලොග් එකේ තිබ්බ පෝස්ට් එකක් තමයි ආදරය නැතිව බඩ වෙන්නෙ කොහොමද  කියනෙක.

ඒකට මම ලීව කමෙන්ට් එකක තිබ්බ

//
එතකොට... ජීවිතේට නොදැකපු දෙන්නෙක් අතර ආදරයක් ඇති වෙන්න බැරි ද? (හරියට අර ජැපනීස් වයිෆ් ෆිල්ම් එකේ වගේ)//

ඒත් ඒකට ලැබුන පිළිතුරු අනුව නම් කිසිදාක නොදැකපු දෙදෙනකු අතර ආදරයක් ඇති වෙන්න බැහැ.ඒව තියෙන්නේ පොත් වල පිටු අතරේ , චිත්‍රපට වල තිර පිටපතේ විතරයි . ඒත් මම එහෙම හිතන්නේ නැහැ. ආදරය නැතිව බඩ වෙන්න පුලුවන් කියල බස්ස කියනව වගේම නොදැක පු නමුත් අදහස් හුවමාරුවෙන් ආදරයක් ඇති වෙන්නත් පුලුවන්.

ඒ වගේම , ලිංගික සම්බන්ධතා මත ඇති කරගන්නා අනියම් පෙමක් නිසා විවාහක පවුලකට සිද්ධ වෙන හානියටත් වඩා බරපතල හානියක් මේ වගේ සිත් හඳුනා ගැනීම් සහ අදහස් හුවමාරුව නිසා ඇතිවෙන පෙම් සම්බන්ධතා නිසා ඇති වෙන්න පුලුවන් කියලා මම කොහේ දෝ හරි කියෙව්ව මතකයි.

ඒකට හේතු විදිහට මම දකින්නේ ගතින් විවාහයේ රැඳුනත් සිත පුරා ආදරය විඳින්නේ ආදරය කරන්නෙ වෙන අයකුට වීම නිසායි. සමහර විට මෙය බොහොම අහිංසක ආදරයක් කියල හිතුනත් , ජීවිතයේ සැනසීම ට තව අයකු හා බොහොම තදින් බැදෙන්නට මෙවැනි සම්බන්ධතා මඟ පෙන්වනවා..

අනිත් අතට. . . මෙවැනි සම්බන්ධතා පොත් පත් වල පිටු අතර විතරක් නෙමෙයි .සාමාන්‍ය ජීවිතයෙත් බොහොම කලාතුරකින් හරි දකින්න පුලුවන් කියල මම හිතනවා.

Tuesday, March 27, 2012

෴විඟහින් එන්න - කාලය සීමිතයි ෴

සමහරු සමුගන්නේ , ඉක්මනින් ආපහු එන්න බලාන.
 

 ඒත් තවත් සමහරු සමුගන්නේ ආපහු නේන බව වත් නොකියා ම.

තවත් ඇතැමෙක් සමුගන්නේ සමුනොගෙනම බැරි කමට.

මේ කිසිමෙහෙකට අහුනොවෙන තවත් අයෙක් සමුගන්නේ කිසිම කෙනෙක් නොහිතන විදිහකට.

ඔය කොයි කවුරු , කොයි විදිහට සමුගත්තත් , සොඳුරුට තිබ්බ බොහොම නරක පුරුද්දක් තමයි “ ආපහු එයි “ කියලා බලාන ඉන්නෙක.


තරු මල් විසිරුණු අහසේ 

එක තරුවක් අඩු වෙලා
දුක උහුලනු බැරිව වගේ
සිත සෝකෙන් බර වෙලා

දහසක් දෙන සිනාසුනත්
සිනාව අමතක වෙලා
මා ළඟ සිටි සිනා මලක්
කවුදෝ අරගෙන ගියා

හාදු පුදන සිත සනසන
එකම කෙනා අඩු වෙලා
මුළු ලෝකෙම හිටියත් මට
පාළුව මගේ ලොව වෙලා


කොහොම ද මැණිකේ කියලා
අසනට ඉමි මඟ බලා
ගිය තැනකින් ඉතින් එන්න
කාලය අවසන් වෙලා

පමා වෙලා ගතු කියන්න
දෙන්නට බැහැ කල්වෙලා
නුඹගේ තැන ගන්න බලන්
පෝළිම තව දිගු වෙලා

සුදු උස හැඩ පිරිමි ළමයි
ආවත් මයෙ අත පතා
ම‘සිත සෙනේ නුඹට පුදන්
ඉන්නෙම් මම මඟ බලා



එනවැයි කීවනම් විඟහින් එන්නෝනෙ


විඟහින් ගියොත් යළි විඟහින් ආ හැකිය කියලා දේවෙන්ද්‍ර සං


 කීවේ ඒකනෙ


ගණින්න ඇඟිලි මදි


මම


෴ වත් ෴

Monday, March 26, 2012

෴ සමුගෙන්න යන්න ඔබෙන් තව මොහොතයි ෴


නිදිබර ඇසි පිය මොහොතකට එසවූ ඔහු දුටුවේ කිසිම හිඩසක් නොමැතිව පියවිලා තියෙන ඇගේ තොල් පෙති , ඇගේ තොල් මත මන්දස්මිතයක් තැවරිලා තිබුන කියල ඔහුට හිතුනා.කොහොමත් ඔහු ආපු දවසට ඇය ඉන්නෙ හරිම සතුටින් විත්තිය ඔහුට රහසක් නෙමෙයි.


ඇය හමුවෙන දවස ඔහුගෙ ලෝකයෙත් සතුටුම දවස කියල ඇය දන්නව ද කියල නම් ඔහුට හිතා ගන්න බැරි වුනා. ඔහු හිස තියාන හිටියෙ කොහෙද කියල ඔහුට වැටහුනු ගමන්ම ඔහුගෙ වත පුරාත් පැතිරිලා ගියේ සතුටින් ප්‍රමෘදිතවුන සිනාවක්.

ඇගේ හිතේ දොර පියන් තමන් ට ඇරල දාපු විදිහටම විවර වෙලා තිබුන කවුළුව අතරින් ආපු සඳ එළියෙන් ඇගේ උස්පහත් වෙන නිරුවත් පිරුණු පපුව දිහා ඔහු ආසාවෙන් බැලුවා.ඒ පපුවට තුරුළු වෙලා ආයෙත් නිදා ගන්න ඔහුට හිතුනත් දැන් ඒකට වෙලාවක් නැති බව මතක් වෙද්දිම ඔහු මුවින් ගිලිහුනු සුසුමේ සැර ඇගේ පපුවෙ වැදිලද කොහෙ ද ඇගේ දිගැටි දෙනුවන් නින්දෙන් ඇහැරුනා.


“ ඔයා යන්න ද ? “

“ හ්ම් . . . . . .  “

“ හ්ම් . . . . . . “

ඇගේ සුවැති නිරුවත් පපුවෙන් ඔහු හිස එසව්වෙ කැමැත්තෙන් නම් නෙමෙයි වෙන්න ඇති. ඒත් . .

“ වෙලාව හරි මැණික “

“ ඉන්න , මම වතුර එකක් ලිපේ තියන්නම් , තෙකක් බීලම යන්න “

එපා කියන්න ඔහුගේ දිව නොනැමුණේ , ඇගේ ඒ පුංචි සතුටත් ඇගෙන් උදුරගන්න තිබ්බ නොකැමැත්ත නිසාමයි.

ඇයට යන්න ඇරල මොහොතකින්ම ඔහුත් ඇගේ පසුපස්සෙන්ම වැටුනා. වතුර කේතලය උතුරනකම් වගේම  , ඒ වතුර තේ කහට වලට වැටිලා සීනි කිරි පිටි ගානට දාලා ඇය තේ හදන හැටි ඔහු බලාන හිටිය මිසක් , එතන තිබ්බ නිස්කලංකබව බිඳින්න ඔහුටවත් ඇයටවත් උවමනා වුනේ නැහැ. විටින් විට මුණ ගැහැනු ඇස් වලින් හිනා වුනත් ඒවයෙ ලියවෙලා තියෙන දුක්බර කතාව වචන වලට හරවන්න දෙන්නටම ඕනි වුනේ නැහැ.

ඊළඟ මොහොතෙ ඔවුන් හිටියේ නිවසේ දොරකඩ , හදිසියේ නමුත් යහමින් පිළියල වුනා කියල හිතන්න පුලුවන් බත් පාර්සලයක් ඔහු අතේ තිබ්බ ඇගේ ඇසින් කඳුළක් වැටුනා.

“ ආයේ කව දද එන්නේ “ කියලා ඇය ඇහුවෙවත් , “ මම විඟහින් එනව මැණිකෙ “ කියල ඔහු කීවද කියලවත් මට ඇහුනේ නම් නැහැ.

නමුත් ඔහු බොහොම ස්නෙහසින් ඇගේ තොල් මත කෙටි හාදුවකුත්  ඇගේ නලල  මත දීර්ඝ හාදුවකුත් තියනවත් ඇය එය විඳගන්නා අයුරුත් නම් මම බොහොම පැහැදිලිව දැක්කා.

“ පරිස්සමින් ගිහින් එන්න “ කියන වචනත් එක්කම ඔහු නිවසින් පිට වුනේ ත් උදැසන සීතල මීදුම අතරින් ඔහුගේ රුව ක්‍රමයෙන් නොපෙනී ගියෙත් මගේ ඇහැට කඳුළක් එක් වුනේත් එකම වෙලාවට වුනත් , වැඩි කල් නොගොසින්ම ඔවුන් නැවත හමුවෙන්න ඇති කියලා හිතලා මම මගේ හිත සනසගත්තා.

අහල බලන්න . . . . මට හිතුනේ මේ ගීතය ලියැවිලා තියෙන්නෙ නම් ඔවුන් දෙදෙනාටම තමයි කියලා.

Gynadasa Kapuge/Malani Bulathsinhale - DAM PATIN LA SANDA .mp3









Thursday, March 15, 2012

෴ පරපෝෂිතයා / The Parasite of The Tavern අවසන් කොටස෴

෴ පරපෝෂිතයා / The Parasite of The Tavern  අවසන් කොටස෴
01) ෴ පරපෝෂිතයා / The Parasite of The Tavern පළමු කොටසට෴
02)
෴ පරපෝෂිතයා / The Parasite of The Tavern දෙවන කොටසට෴

බාගේ බෝතලයේ අඩිය පේනමානය වන විට විටද ඔහුගේ ජීවිත කතාව නිමා වී තිබුනේ නැත. බොහොම සාමාන්‍ය ජීවිත කතාවක් වූ එහි සිටි ඔහුගේ බිරිඳ මියගොස් සිටියේ ඔහු තරුණ අවධීයේ දීමය , දරුවන් සමඟ තනිවූ ඔහු ජීවිත්වීම සඳහා නොකරපු දෙයක් නැති තරම් ය. නමුදු දැන් ඔහුගේ දරුවන් ඔවුන්ගේ පාර සොයාගෙන ඇති බවත් ඇතැමෙකු උසස් අධ්‍යාපනයට ද යොමු වී ඇති බවත් , ඔවුන් වෙනුවෙන් කැප කළ තමන් ගේ කාලය නැවත ඔහුට ලබා ගත නොහැකි බවත් පවසමින් විටෙක පශ්චාත්තාප ගන්නට ද විය.


“ සර් කැමැති ද මගේ ළමයි මුණ ගැහෙන්න “

“ ආහ් නැහැ . . .  දැන් බැහැ  . . . පස්සෙ වෙලාවක බලමුකො. මන් දැන් යන්න ඕනි. දැන් පරක්කු වෙලා නිසා රෑටත්  කාලා තමයි යන්නේ. මේ හරියෙ කෑම කන්න හොඳ තැනක් . . . “

“ ආහ් . .මං දන්නව සර්. නියම තැනක්. යං සර් මාත් එන්නම් "


මගේ මුදලින් මධුවිත තොල ගෑ ඔහු දැන් සැරසෙන්නේ රාත්‍රී ආහාරය ද මගේ මුදලින්ම සරිකර ගැනීමට බව වැටහී ගිය ද , ඒ බවක් නොහැඟ වූ මම ඔහු පෙන්වූ ඉසව්ව කරා යෑමට යතුරු පැදිය පණගන්වත්ම මාගේ ඇස් තැබෑරුමේ ඉහල මාලය කරා ඇදුනේ නිතැතිනි.

ඉහල මාලයේ ජනේලයක් අතුරින් එබී අප දෙස නෙත් අයා සිටි මාගේ හුරුබුහිටි තැබෑරුම් සේවිකාවගේත් මගේත් නෙත් සර හමු වෙද්දී ඇය මදසිනා පෑ අතර එයින් අමුතුම ජවයක් ලද මා සැර දමා පණගන්වා ගත් යතුරු පැදියේ නැඟී ඉගුල්ලුනු බව ඔබ සිතයි නම් එය කෙතරම් වැරදි සහගත සිතුවිල්ලක් ද යන බැව් දැන ගැනීමට මා මේ ලියන කතාවේ අවසානය තෙක් ඔබ කියවිය යුතුම වේ.

ඇ‍ය ගේත් මගේත්  නෙත් හමුවූ බවත් මදසිනහවත් සමඟ ඇගේ නෙත කඳුලක් දිලිසුනු බවත් පමණක් දැනට පවසා සිතට දැනුන සෝකයත් අධික කුසගින්නත් නිවා ගනු වස් ඊළඟ නිමේශයේ යතුරු පැදිය නැවතී තිබුනේ මහරගම ප්‍රදේශයේ පාර ආසන්නයේ වූ පෙට්ටි කඩයකය. 


ලුණු මිරිස් සැර යහමින් යොදා සැකසූ මාළු හොද්දත් සමඟ බඩකට පුරා ඉදි අප්පන් කෑවද සිත වරින් වර තැබෑරුමට පියඔන්නේ මන්දයි මටම සිතා ගත නොහැකි විය.


මේ වන විට තම දෙවන වටයට ද ළඟා වී තවත් දින ගණනාවකට සරිලන සේ ඉදි ආප්ප කමින් නිනව්වක් නැතිව දොඩවමින් සිටි ඔහු මා සිතට ගෙන ආවේ කලකිරීමක් මුසු තරහකි.

ඔහුගේත් මගේත් බිල ගෙවා දැමූ විගසින් මට මේ මිනිසාගෙන් ගැලවිය හැකි යැයි මා සිතූ සිතිවිල්ල හුදු හිතලුවක් පමණක්ම වුයේ. . . . . මුදල් ගෙවා පසුම්බිය සාක්කුවට යන අතර වාරයේ දි , ඔහු දෑස්  ගිජුලිහිණියකු තම ගොදුර දෙස බලාන සිටිනාක් මෙන් පසුම්බිය දෙසටම යොමු වී තිබිම නිසා වන්නට ඇත.

" සර් සර් මම කෙසෙල් කඩයක් කරනවා සර් යන පාරේ , අනේ සර් යමින් ගමන් මාවත් එතනින් දාන් යන්න. දැන් රෑත් වෙලානෙ බොස් "

යලිදු ඔහුගේත් මගේත් බර දරා ගත් යතුරු පැදිය ඉදිරියටම ඇදෙද්දී , මා සිත උපන් කෝපය ගිනි දළු නගිමින් මාවම හළු කරන්නට විය.

මා පිටුපසින් වාඩි වී සිටින නොම්බර එකේ තැරුව්කරුවාගේ ඊලඟ යෝජනාව වූයේ ගණිකා ඇසුරයි. මා මුදලින් මත් වී , මා මුදලින්ම කුසගිනි නිවාගත් ඔහුගේ ඊළඟ ඉලක්කය වූයේ මා මුදලින්ම ගණිකාවකගේ පහස ලබා ගැනීමට ද?

" නියම පොට් එක සර්. . එතනට ගිය කෙනෙක් ආයෙත් නොගිහින් ඉන්නෑ "


හදිසියේම තද වූ තිරිංගය නිසා පඩරුලක් මෙන් වූ ඔහු ගේ සිරුර තදින් විත් මා ශරීරයේ වදිද්දී මෙතෙක් වෙලා සිරිකර ගෙන වුන් කෝපය ද බුබුළු දමමින් පිට වන්නට විය.

" බහිනවා. . මගෙන් කුණුහරුප නාහා බහිනව මෙතනින් "

හදිසියේම සිදුවන දේ ගැන කිසිදු වැටහීමක් නොතිබුනු ඔහු අන්දම්නද වූ අතර යතුරු පැදියෙන් බැසීමට ගොස් පැටලී වැටෙන්නට ද ගියේය.

" මො මොකද සර් "

" සර් . . .සර් තමයි. . . . තමුන්ගෙ දූ විකුණන් කන තමුසෙත් පිරිමියෙක් ද අයිසේ "

ඉන්පසු මගේ මුවින් පිටවූ වදන් සැර වැඩි වන්නට ඇත. මෙහි ලියන්නට බැරි තරම් අසභ්‍ය වන්නට ඇත. ඒ සියල්ලටත් වඩා ඔහුගේ සිතට තදින් වදින්නට ඇත.

දෑතින් තම හිස බදාගත් ඔහු හුන්තැනම ඇණ තියා ගෙන වාඩි වූයේ මුහුණ බිමට හරවන් වුවද වරින් වර ගැස්සෙන ඔහුගේ කෘෂ උරිස් නිසා ඔහු හඬන බැව් වටහා ගත හැකි විය. මගේ නොසරුප් වදන් නැවතුන අතර මා රැගෙන දුන් බාගේ බෝතලය හමාර කර අතරවාරයේ ඔහු මදක් ඉවතට ගිය ඇසිල්ලේ කලබලයෙන් මා සිටි මේසය වෙත පැමිණි සොඳුරු තැබෑරුම් සේවිකාව පැවසු වදන් මා දෙසවන් තුල දෝංකාර දෙන්නාක් මෙන් විය.

විශ්ව විද්‍යාල සිසුවියක වූ ඇගේ දුක්බර කතාව අවසානයේ දී ඇගේ නෙතින් ගිලිහුනු කඳුළක් ඔහු හිස් කරන ලද මධු බඳුන පතුලේ සැඟවී යනවා මම දුටිමි.

" සර්. . . .සර් .. . .! ! ! සර් ඒ මනුස්සය කියන දේවල් වලට කැමැති වෙන්නෙපා සර්. . .  සර් , ඒ මගේ තාත්තා සර් "

පලි:-  නම්ගම් මන:කල්පිත නමුදු සත්‍ය කතාවක් බැව් කාරුණාවෙන් සලකන්න...

Saturday, March 10, 2012

෴ පරපෝෂිතයා / The Parasite of The Tavern II ෴

෴ පරපෝෂිතයා / The Parasite of The Tavern  I කොටසට෴

උඩු මහල කිසිසේත්ම පහළ මාළයේ නිවුන් සහෝදරයකු නොවීය.මන බඳනා පරිසරයකින් යුතු වූ තරමක විශාල ශාලාව පුරා වූයේ පිළිවළකට ස්ථානගත කර තිබූ රවුම් හැඩැති මේස සහ නවීනතම පන්නයේ සුදු යකඩ පැහැති සැහැල්ලු ආසනයි....... පහළමාලයේ මිනිසුන්ට ලෝක විනාශය තව මොහොතකින් උදාවූව ද ඉහල මාළයේ මිනිසුන්ගේ ලෝකය ඊට හාත්පසින්ම වෙනස් විය.

කිසිවකුත් හිමිකම් නොපෑ තනි මේසයක් සොයා ගත් මා පුටුවට ගත බර සැහැල්ලු කළේ , ගත විඩාවෙන් අඩකටත් වඩා මුදා හරිමිනි.

“ සර් . . . . සර්ට මොනා ද ගේන්නේ “
 

වැලමිටි යුගල මතින් මේසයට බර වන සුනංගුවෙන් පැමිණි හඬ දෙස පුදුමයෙන් බැලූවේ එය ඉතා සිහින් ළඟන්නා සුළු කාන්තා හඩක්ම නිසාය.

“ ආහ් ම් ම් ම් ම් . . . . . මට “


මම ඇගේ රුව දෙසත් ඇගේ අපූරු ඇඳුම දෙසත් සිහින්ව නිරාවරණය වූ පිරුණු ළැම දෙසත් බැලීමට කල්ගත්තෙ මි. එය ඇයට අපහසුවක් ගෙන දුන් වගක් නොපෙනුන අතර , අවශ්‍ය තරම් කල් වේලා අරන් ඇය නරඹන ලෙස පවසමින් මෙන් , ඇයට මා වෙනුවෙන් ලබා දිය හැකි අගනා පැකේජයන් පිළිබඳව දීර්ඝ විස්තරයක් පවසන්නට විය.

“ ම් . . .  මට ගේන්න බියර් බෝතලයයි , බයිට්ස් මොනව හරි “

“ හොඳයි සර් . . . “


කිසිදු වෙනසක් නොදක්වා කට පුරා සිනාසුනු ඇය යුහුසුළුව මවෙතින් ඉවතට පිය මනින්නට විය. ෂර්ට් කමීසයේ බොත්තම් කිහිපයක් ලිහිල් කළ මා පුටුවට බර දෙමින් හරිබරි ගැසුනේ විදුලි පංකාවේන් හමාඑන වියළි සුළං රැල්ලකට ගත සිඹින්නට ඉඩ සලසා ලමිනි.

බීර බෝතලය මේසයට එන්නට ගන්නා වේලාව අතරතුර දී , හාත්පස සිසාරා ගිය මගේ නෙත් වලට හසුවූයේ ඉහල මාලයේ සුව විඳින පිරිමින් සහ පහළ බිම් මාලයේ පොරකන පිරිමින් සහ ගැහැණුන් අතර පවතින සැබෑ වෙනසයි.

බිම් මහලේ පොරකන ගැහැණුන් සහ මිනිසුන් බොහෝමයක් දෙනා කම්කරුවන් හෝ එදිනෙදා ශරීර වෙහෙසා වැඩ කරන වුන් බව කිසිම සැකයක් නැතිව හඳුනා ගත හැකි වෙයි. එසේම ඇතැම් වයසක ලිපිකරු මහතෙකු , පැන්ෂන් ගිය ගුරුවරයකු , ද ඒ අතර සිටින්නට බැරි නැත.

නමුත් . . . ඉහල මාලයේ පරිසරය මෙන්ම එහි සුව විඳින්නන්ගේ ද පැහැදිලි වෙනසක් ඇත. වයසින් වැඩිමහළු වුවන් වූයේ එකෙකි නැතිනම් දෙදෙනෙකි.තරුණයින් සහ මැදිවිය අරක් ගත් තරුණකම අතැර දැමිමට ලෝබකමින් පෙළෙන්නන් , ජීවිතයේ රස සොයා ආ අය මිස වෙහෙස දුරුකර ගැනීමට පැමිණිය අය මෙහි නොවීයයි මම උපකල්පනය කළෙමි.

තොලින් උරා ගන්නා මධුවිතට අමතරව නෙතින් මධු උරාබොන්නට හැකි වීම ද උඩුමහලේ දී ලැබෙන පාරිතෝශිකයකි. අඩුත් නැති වැඩිත් නැති සෝබමාන අග පසඟින් යුතු වූ වයස දාසයත් විසිපහත් අතර වන් සුන්දර සුරංගනාවියන්ට ඒ නෙත් හීසර කිසිදු විටෙක සිහින් රිදුමක් හෝ නොගෙනාවක් වැන්න. ඇතැම් මේසයක් වෙත ගිය විටක එතනින් මිදී එන්නට එකියකට සෑහෙන වේලාවක් ගත වන බැව් පෙනුනු අතර. මේස වටා සිටින්නන් ද දෛනික පාරිභෝගියන් බවට හඳුනා ගත හැකි වන්නේ , නිතරම ඔවුන් තෝරාගත් එකියකගේ සේවාව සොයනා බැවිනි.

නොමනා විහිළු කිසිවකුගේ සිත් රිදවන බවක් ද නොපෙනේ. මේ අපූරු වෙළඳ ප්‍රචාරනය කීදෙනෙකුගේ නම් සාක්කු හිස් කරනවා මෙන්ම පුරවනවාද ඇත.

“ සර් . . . .  “

“ ආහ් . . . තැන්ක්ස් “

“ වෙන මොනවත් . . .“

“ නැහැ ඕනි නැහැ . .“ ඇය වෙත පෑ කෘතවේදි සිනාවත් සමඟම මැ පැවසූ වෙන් මද වෙලාවක් මා දෙස පුදුමයෙන් මෙන් බලා සිටි ඇය , නැවතත් යුහුසුළුව මේසයක් වෙත පියමනින්නට විය. මලින් මලට යන සුන්දර සමණළියක මෙන් ,මේසයෙන් මේසයට යන ඇගේ දෑසත් මගේ දෑසත් විටින් විට හමුවෙයි. ඇය සිනාසෙයි. මම ද බීර පෙණ අතරින් ඇය හා සිනාසෙන්නෙමි.

බීර බොතලයේ අඩිය පෙනෙද්දීම වාගේ මා වෙත ආවේ මාගේ යතුරු පැදියේ මුරකරුය.

“ තමුසෙ නම් මාර මිනිහෙක් නෙ අයිසේ. . . , බෝතලයක් හිස්වෙන්න යන වෙලාව හරියට දන්නව නේද ? “

“ නැහ් . . . සර් මං ආවේ මේ මේහ්. . . .“

“ ඇයි මොක ද ලොකු උන්නැහේ ? “

“ රැපියල් විස්සක් ඉල්ල ගන්න “

එතරම් ලාභදායි ලෙස යතුරු පැදි මුරකරන්නෙකු මා හට හමුවූයේ ද ප්‍රථම වතාවට බැව් නොකියාම බැරිය.

“ මොක ද හදිසියේ ම “

“ නැහ් සර් මේ. . . ගල් සීයක් ගන්න සල්ලි මදි “

“ ආහ් . . . .ඔයාට බොන්න ද ඕනි . ඔයා බොන්න මං ගෙවන්නම් “

“ නැහ් සර් මං මේ . . .“

“ නැහැ නැහ බොන්න මං ගෙවන්නම් “

“ සර් සර්රුත් . . . “

“ නැහැ මට ඕනි නැහැ . . . කොච්චර ඕනි ද බෝතලයක් ? “

මදක් අඹරෙමින් සිටි ඔහු බාගයක් ප්‍රමාණවත් බව පවසන විට දීම එතැනට පැමිණියේ බිල ද රැගත් ගැහැණු ළමයායි.

“ මෙන්න මේ මහත්තයට බාගයක් ගෙන්න “

දිගැටි දෑස් විශාල කර ගත් අපූරු කෙල්ල මා වෙත හෙළුවේ “ සර්ට පිස්සු ද “ කියා අසන්නාක් වැනි බැල්මකි.

“ නැහැ නැහැ මම අඳුර යාළුවෙක් ගෙන්න , බිල මට දාන්න “

ඇය එතනින් ඉවත් වූයෙත් බෝතල් බාගයක් මේසයට පැමිණියේත් , සරම්කාරයාගේ බීමත් දෙඩවීම ඇරඹුනේත් කිසිදු පාලනයකින් හෝ දැනුම් දීමකින්ම තොරවය.

ඒ කතාව අහන්න නම් ඉතින් . . . . ඊළඟ පොස්ටුව ලියවෙනකම් ඉන්නම වෙනවා. . . . .


අවසන් කොටසට

Thursday, March 8, 2012

෴ පරපෝෂිතයා / The Parasite of The Tavern, ෴

බිදෙන් බිඳ වැටෙන සිහින් පොද වැස්සත් , ජැකට්ටුවෙන් වැසුනු ඇඟට,  දැනෙන දැඩි තෙහෙට්ටුවත් , හිතේ කොහෙදෝ තිබ්බ මත් වීමේ ආසාවත්  ඒ අවස්ථාවේ දී පසුකර යමින් සිටි දැක පුරුදු මුත් ගොඩවැදී නොමැති ප්‍රමාණයෙන් කුඩා තැබෑරුමත්  සියළු අවශ්‍යතා සපුරා ලන්නට වූයෙන් නොදැනීම මුත් යතුරු පැදිය ඊළඟ මොහොතේ දී වූයේ තබෑරුම  අසල වූ සිහින් පටු තිරුවේ ඉඩක් සොයමිනි.

සරිලන ඉඩකඩක් සොයා ගත නොහැකි තැන්හි තාර පාරට මදක් එපිටින්  ද තැබෑරුම් දොර හරස් නොවන සේ  ද හැකි තරම් සීරුවට ද යතුරු පැදිය නතර කළ මා ජැකැට්ටුව නොගලවාම තැබෑරුම තුලට රිංගුවේ හැකි ඉක්මනින් නැවතත් ගමන ඇරඹිය යුතු වූ නිසාමය.

නිදහසේ බීර වීදුරුවක් තොල ගෑමට  තිබූ ආසාවන් සියල්ල දවා ලමින් ද තැබෑරුම් හිමිකරුගේ සකල සියළු ප්‍රාර්ථනාවන් ඉටු කරමින් ද තැබෑරුම  තුල වූයේ එකම මී මැසි පොදියකි.සියළුම මේස පිරී ගොස් තිබුනු අතර මේස වල වාඩි වූ හුන් පිරිසටත් වඩා වැඩි පිරිසක් තවමත් මත් නොවූ දෙපා වලට මත් වෙමින් තිබූ ශරීරයන්හි බර දෙමින් හුන්තැනම සිට කාලේ බෝතල් කටේ හලා  ගනු දැකිය හැකි විය.

තබෑරුමේ අඳුරු අහුමුළු වල හුන් බේබදු ගැහැණුන් ද ,ලෝක විනාශයේ මුව විට සිටින්නාක් මෙන් පිරිමින්ට නොදෙවෙනි ආකාරයෙන් බීමේ නිමග්නව සිටිනා යුරු දැකිය යුතුව තිබුනේ තොල් රතු කර ගෙන මහ හඩින් කෑගසනා කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනිය බැව් මට සිතේ. එකම අසමානක කම වන්නේ පිරිමින් ඔවුනට අඳුරු අහු මුළු පමණක් හිමිකර දීම විය හැක.

පෙණ නඟින බීර වීදුරුවේ සිහිනය බිඳි යද්දී , තැබෑරුමෙන් පිටට පිලිපන් මා යතුරු පැදිය නතර කර ආ ඉසව්ව දෙස විමසිල්ලෙන් බැලුවෙමි. ඒ වන විට ද යතුරු පැදිය කෙරේ අවධානය යොමු කළ අයකු ඒ අසල ගැවසෙනු දුටු මා පය ඉක්මන් කළේ , ගරාජයේ ගාල් කළ යුතු වූව ද තවමත් මා සමඟ සිටිනා අපූරු සඟයාට හිරිහැරයක් වීමට දිය නොහැකි නිසාය.

“ ආහ් . . . . මහත්තය යන්න ද ? . . දැන් නේද ආවේ “

යතුරු පැදිය පැදකුණු කරමින් සිටි මිනිසා එකවරම ඇසුවෙන් ඔහු මා සම්බන්ධයෙන් විමසිලිමත් වී ඇති බැව් පසක්වත්ම , මගේද විමසිලි දෑස් ඔහු කෙරේ යොමු විය.

මැදි වියද ඉක්මවමින් සිටි ඔහුගේ වයස හැටකට වඩා වැඩිවිය නොහැකි හැකි බැව් මට සිතුණි. මාගේ කාල නිර්ණයන් වරදින්නේ නම් ඒ ඉතාමත්ම නොසැලකිය හැකි අවස්ථාවක දී පමණි. තැනින් තැන පැල්ලම් වැටුනු කිලිටි කමීසයකුත් , රටාව සොයා ගත නොහැකි ලෙස කිලිටි වී තිබුනු සරමකුත් හැදන් වුන් හේ තම සටකපට දත් පෙන්වා අව්‍යාජ ලෙස මා හා සිනා සෙන්නට යත්න දැරීය.

“ ඔවු. . . .බාර් එකේ ඉඩ නැහැ . . . .  “

“ අයියෝ මහත්තයා . . . යන්නකෝ උඩට “

ඔහු තැබෑරුමේ ඉහල මහල දෙසට අත දිගු කරමින් පවසන්නට වූයේ. . මා හට කරන උපකාරයක් ලෙසින් හිස ද නමමිනි.

“ උඩත් තිය ද ? “

“ ඔවු සර් . . ටොප් බඩු “

ඇසක් ඉඟිමරමින් ද , ශේෂ වූ උරිස් මේඛලාව මඳක් ඉහලට ඔසවමින් ද  ඔහු ගෙන හැර පෑ සහිතකය හමුවේද මා නොසෙල් වී සිටිනා යුරු දුටු හේ  ඉහල ඇති බඩු තරමක් ගනන් නමුත්  හිරිහැරයන් නොමැතිව රස විඳිය හැකි බැව් වැඩි දුරටත් පවසන්නට විය.

බීර වීඳුරුවේ පෙණ බුබුළක් සේම නිරායාසයෙන්ම මා සිතේ මතු වී ආ කුතුහලය විසින් මෙහෙය වනු ලැබු මා උඩුමහලට යන්නට පෙර ගතයුතු ආරක්ෂක පියවර කිහිපයක් ඒ වන විට මා ලබා තිබූ අත්දැකීම් විසින් මා වෙත මතක් කර දෙන්නට යෙදුනි.

“ ඒත් ලොකු උන්නැහේ. . .  උඩට ගියහම මේ බයිකෙක පෙන්නැහැ නේ. අනික මේක මෙහෙම දාලා යන්නත් බැහැ. හරි අයියල නෙ මේ ඒරියා එකේ ඉන්නේ “

“ අයියෝ බය වෙන්නෙපා සර්. . . සර් උඩට ගිහින් එන්නකෝ...මම මේක බලාගන්නම්. කිසිදේකට බය වෙන්නෙපා “

යතුරු පැදියේ යතුරු ලැ හැකි සියල්ල යතුරු ලූ මම බීර පෙණ අතරින් පෙනෙන තැබෑරුමේ උඩුමහල බලා පිය නැගුවේ බීර පොඳක් තොල ගෑමට පමණක් සිතා නොවන බව දැන ගැනීමට නම් , කම්මැලි ඇඟිලි තුඩු වටා දැවටෙන ඊළඟ කතා වාරය එන තෙක් ඔබට මාහා රැඳී සිටින්නටම සිදු වෙනවා ඇත.



මෙන්න දෙවැනි කොටසට යන්න පාර. . .

Tuesday, March 6, 2012

෴ සවන්දෙන්නිය / An Unrecognized Affection ෴


හු ගිය තැන් , යන එන තැන්
එකින් එකට පවසනවා
ජීවිතයේ රසමුසු තැන්
සිනා මුවින් මතු වෙනවා
" ආහ් ...!!! එහෙම ද? "
" ඉතින් "
" ඉතින් "
ඇගේ මුවින් පිට වෙනවා
සිනා සපිරි වත සතපා
උකුලේ ඔහු සැනසෙනවා

සිත රිදුනම කියා ගන්න
කෙනෙක් නැතිව ලත වෙනවා
" ඔයාට පිස්සු ද මන් දා "
ගෙදර උන්දෑ පවසනවා


සිත අහන්න 
සිත කියන්න
ඇය ළඟටම දිව එනවා
බිරිඳකගේ සෙනෙහස නොව
සිත සැනසුම අයදිනවා

සිනා මෙන්ම නෙතු කඳුළද
ඇගෙ උකුලේ සඟවනවා
සිහින් ඇඟිලි තුඩු අස්සෙන්
ලෙංගතු පෙම පූදිනවා


වටහ ගන්න බැරි දේ ලොව
බොහෝමයක් පවතිනවා
මිනිසුන් සිත සබදකමට
නමක් කුමට අයදිනවා


හොද බිරිඳක් කියන්නේ හොඳ සවන්දෙන්නියක්..................

මම
෴ වත් ෴

Thursday, March 1, 2012

෴ පමා ව - Delayed Blossoming ෴



රෑ පිපුනත්
සුවඳ අරන්
පමා වෙලා මං
උදේ පිපුන
මල් ඔක්කම නෙලා ගිහින් නම්
පමා වෙලා මං
හොඳටම පමා වෙලා මං

සඳ දකින්න නෑ
දැක්කත් අයිති කියනු බෑ
තරු යායක
පිපුන සඳට
පෙම් බඳින්න බෑ
පමා වෙලා මං
හොඳටම පමා වෙලා මං

ගුමු ගුමුවක් නෑ
බඹරුන් රෑට එන්නෙ නෑ
රැහැයි නාදේ
සුවඳ ගන්න
උන් දන්නේ නෑ
පමා වෙලා මං
හොඳටම පමා වෙලා දැන්

සඳ යනවා ඉර එනවා
මම මෙතනම තනි වෙනවා
පිපී සුවඳ දී රහසෙම
රැයට හොරෙන් මිය යනවා
පමා වෙලා මං
හොඳටම පමා වෙලා මං
නුඹෙ ආදරෙ විඳගන්නට
පමා වෙලා මං

මල් වට්ටියේ ඉඩ නැති
පමා වෙලා පිපුනු මල
මම
෴ සොඳුරු සිත / වත් ෴

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...