චිරි බිරි හඩ නගමින් විවේකයක් වත් නොලැබ වරුවක් තිස්සේ එක දිගට ඇද හැලෙනා වර්ෂාව
සුමින්දගේ සිතට සැමදා ගෙන ආවේ අමුතුම මිහිරකි. වර්ෂාව හා බැඳී පවතින ඒ සුන්දර මතක
සියල්ල කණපිට හරවන්නට අද සුමින්ද ඉදිරිපස පුටුවේ වාඩි සිටින කාන්තාවට හැකි වී ඇති
අයුරු පෙවන්වන්නේ ජීවිතයක ඇති අරුමය නොවේ ද.
ඇගෙන් දෑස් ඉවතට ගත් සුමින් ද , කවුළුවෙන් එපිට වැහි බින්දු අතරින් තම මතකය වසර
ගනනාවක් එපිටට රැගෙන යාමට ඉඩ හලේ වර්ෂාව විසින් තම මතකය සේදී යා නොදී ඇති බැව් පසක් කර ගනිමිනි .
- - - - - - - - - - - - - - - - - -
තවත් දුක දරා ගත නොහැකිව හුන් වළාකුලු දොඹ ගෙඩි තරමේ වැහි කඳුළු සලමින් හඩන්නට
වූයේ න් සුමින් ද තකහනියේම සෙවනක් සොයන්නට වූයේ හැද සිටි ජැකට්ටුව ද විනිවිද යමින්
ඇගට රිදවු වැහි බිඳු නිසාමය. මේ මහ වරුසාවේ යතුරු පැදියෙන් යාම ඔහුට කිසිසේත්ම කළ
නොහැක්කක් විය. ග්‍රාමීය ප්‍රදේශයක් වූයෙන් සෙවනට තැනක් සෙවීම ද ඉතා දුෂ්කර වූ අතර
මාර්ගයේ වාහනයක් දැකිය හැකි වූයේද කලාතුරකිනි.
ඇග සීතල ද සිත කාංසාව ද දුර ලමින් හිස් ආවරණයේ කවුළුව අතරින් ඔහු දුටුවේ ඉදිරියෙන්
මහ පාර අයිනට කර නවතා ඇති ලංගම බස් රථයකි. මඟීන් පෝලිමේ බැස යමින් සෙවනක් සොයා
කඩිමුඩියේ දිව යනවා පෙනුන අතර අසල තිබුන එකම සෙවන වූ අතහැර දැමූ කුඩා කඩයක් යැයි සිතිය
හැකි දිරා ගිය කුඩා ගොඩනැගිල්ල වැහි බිදු දරා සිටියේ ද අපහසුවෙන් බැව් පෙනුනි.
යතුරු පැදිය ඒ දෙසට හැරවූ සුමින්ද දෙස මිනිසුන් හෙළුවේ නොසරුප් බැල්මකි.
සෙවනට ගුලි වී සිටි සියළු දෙනා ගේ මුහුණු වල වුයේ එකිනෙකා නුරුස්සනා හැඟීම්
සමූහයකි.

වැහි සීතල දරා ගත නොහැකි වූ සුමින් ද ට අවශ්‍ය වුයේ කුඩා හෝ සෙවනකි. යතුරු පැදියෙන් බැස ගත් ඔහු සෙවනට සිටින අය දෙස හෙළුවේ බෑගෑපත් බැල්මක් වුවත් ඔහුගේ බැල්ම දුටු බැල්මක් ඒ කිසිවකු අතරේ නොවීය.සෙවනේ අන්තිම කොණට වී හුන් එක් ගැහැණු ළමයකු පමණක් මදක් සිනා සී ඔහුට ඉඩ දීමට සුදානම් වුව ද . ඇයද සිටියේ තම කුඩා ශරීරයෙන් හරි අඩකටත් වඩා වැස්සට නිරාවරණය කරමිනි.
තෙමුන කිකිලියක මෙන් වූ ඇය දෙස බැලූ ඔහුට ඇති වුයේ සංවේගයකි. ඇගේ කුඩා ශරීරය සිප ගනිමින් ඇගේ ඇඟට ඇලී තිබුන ඇදුම් දෙස බැලීම නොමනා යැයි හුට හැඟුනේ , ඔහු ඇය දෙස බලත්ම ඇගේ අතේ වූ පොත් මිටියෙන් තෙමුන ලැම පෙදෙස ආවරණය කර ගැනීමට ඇය ගත් අසාර්ථක උත්සාහය දැකීමෙනි.
“ හදන්න බැහැ. ඇදගෙන යන්න තමයි වෙන්නේ. කෝ එන්න කට්ටිය ඉතිරි සල්ලි ගන්න “
ලංගම බසයේ කොන්දොස්තරවරයාගේ හඬින් කඩිගුල ඇවිස්සුනා සේ මිනිසුන් එකා පරයමින් එකා වැස්ස ද නොතකා කොන්දොස්තරවරයා වට කොට ගන්නට වුයෙන් , මෙපමණ වේලා පිරී පැවති සෙවනට ගොඩ වන්නට සුමින්දට හැකි විය.
තෙමුණු කිකිළිය නොසෙල් වී හුන් තැනම සිටියෙන් ගරා වැටුනු කුඩා ගොඩනැගිල්ලේ ඉතිරි වූයේ ඇයත් ඔහුත් පමණි.
“ නංගි ඉතුරු සල්ලි ඉල්ලගන්නේ නැද්ද ? “
“ මම සිසන් “
“ දැන් යන්නෙ කොහොම ද ? “
ඇය සිනාසී බිම බලාගත්තාය. ඇය දෙස ඉතා හොඳින් බැලීමට ය අවස්ථාවක් කර ගත් ඔහු ඇගේ රූ සිරි සැබවින්ම විදගන්නට විය. දිගු කොණ්ඩය තෙත බරිත වී කෙස් වැටිල අගින් විටින් විට දිය බිඳිති බේරේ. ලැමට තුරුළු කරන් සිටිනා පොත් මිටිය පමණක් නොතෙමි සුරක්ෂිතව ඇත.
මිනිසුන්ගේ නොරිස්සුම් හඩත් , කොන්දොස්තරවරයාගේ මුණු මුණුවත් කෙමෙන් විය කී යත්ම කි නෙකා නොයෙක් ආකාරයට තම ගමන යන්නට විය. වැස්ස ද තුරන් වී තිබුනෙන් ඔහුට ද සිය ගමන යාමට හැකි වුවත් වැහි කළුවරේ කාත් කවුරුවත් නැති අඩවියක කෙල්ලක තනිකර යෑමට ඔහු සිත නොකැමැති විය.
“ නංගි . . . ඔයාට ගෙදර යන්න සල්ලි නැතිනම් මම දෙන්නම් . “
“ මේ වෙලාවට බස් නැහැ. අන්තිම බස් එක තමයි මේක “
“ ත්‍රී වීල් එකකින් යන්න බැරි ද? “
ඇය දෑස් විසල් කර ගත්තාය.
“ තනියම . . . .! ! ! “
“ හ්ම් . . . . මාත් දැන් යන්න ඕනි.ඔයාව මෙතන දාලා යන්නත් බැහැ.බස් එකේ ඉන්නෙත් ඩ්‍රැයිවර් විතර ද කොහෙ ද ? “
වැස්ස ද නැවතී තිබූ බැවින් , ඇගේ දෑසින් ගලන්නේ කඳුළු බැව් වටහා ගන්නට සුමින්දට වැඩි වේලාවක් ගත වූයේ නැත.
“ අකැමැති නැතිනම් මාත් එක්ක බයික්එකේ යං , මං ගෙවල් ගාවින් බස්සන්නම් “
එදා ඔහු පිටුපසින් වාඩි වී පැමිණී ඇය ඇගේ නිවස ආසන්නයේ යැයි කියු තැනකින් බස්සවා ගිය ද, ඇගේ මතකය ඔහුගේ සිත පුරා මුල් බැස තිබුනේ සෑම වැසි දිනයකදීම ඒ මුල් දළු කොළ ලමින් ඔහුගේ හදවත උණුසුමින් පුරවා ලන්නට සමත් විය.
එවක වෛද්‍ය ශිෂ්‍යෙයකු වූ ඔහු ඇය බලාපොරොත්තුවෙන් ඉන් පසු දින කිහිපයක්ම ඇය බස්සවා ගිය තැනත් ඒ අවටත් රැක සිටිය ද ඇයව ඉන් පසු කිසි දිනක ඔහුට දැකිය හැකි නොවූ අතර කාලයා විසින් ඇගේ මතක ඔහුගෙන් දුරස් කලත් , වැසි පැමිණීයේ ඔහුගේ මතක අලුත් කරමිනි.
වැරදීමකින් හෝ ඔහු ඇය නැවත මුණ ගැසුනා නම් ..... කෙතරම් දේ වෙනස් විය හැකිව තිබුනා ද ?
අද ඔහු ඉදිරියේ සිටින්නේ එදා වැස්සට අසුවූ සුන්දර වැහි කිරිල්ලියගේ තටු ගැලවුන ආත්මය බැව් ඔහුට සිතේ. ඔහුට ඇය මතක තිබුන ද ඇයට ඔහු මතක බැව් පෙනෙන්නට නොවීය. ඇය අද සිවු දරු මවකි. දිළුදුකමේ අඩිය සිඹිනා ඇගේ ගෙපැල සැදෑයාමයේ දී බීමත් සැමියාගේ කඨෝර බසින් ද පොඩි වුන්ගේ අඳෝනා වලින් ද නොපිරී පැවතියේ නම් ඒ හෙමත් දවසක දිය.....
මේ සියල්ලට වඩා ඇය අද ඔහුට හමු වූ අලුත්ම රෝගියාය. මේසය උඩ ඇති අලුත්ම ලිපි ගොනුවේ සහ අලුත්ම වාර්තා වල හිමිකාරිය ඇයයි.
අද ඔහු මේ රෝහලේ සමාජ රෝග අංශයේ අංශ ප්‍රධානියාය.
පලි:- මුළු ජීවිතේටම වඩා එකමෙක මොහොතක් වටිනව කියල ඔබට හිතිලා නැද්ද ?