..... I am the poem that's  yours but doesn't belong to you ever,...

Thursday, February 23, 2012

෴ නිව් යෝර්ක් නුවර කුමරාට ෴


අපි ආදරේ කරන සමහර අය ඉන්නේ , අපෙන් හොඟාක් ඈත. ළඟ උන්නත් ඈත ඉන්නව වගේ අය ඉන්නව තමයි . ඒත් සමහරු ඉන්නේ පොළවෙනුත් අනිත් පැත්තේ.ඒ කියන්නේ අපිට දවල් ,එයාලට රෑ..... අඩු ගානේ ඉර හඳ වත් එකට පායන්නෑ. මම ලියන දේ බලන්නත් , පොළව එහා පැත්තෙ ඉදල කට්ටිය එනවා කියල මම දන්නවා. සමහර විට එයාල ආදරය කරන අය ඇත්තේ දවසක් ඉස්සරහින් ඉන්න පොළවෙන් මේ පැත්තෙ වෙන්න ඇති කියල මට හිතුනා.

දවසක් හරියට පසු පස්සේ
කොහොම ද සැප දුක සිත අස්සේ
සඳ මෙහි ආවට දහවල නුඹටයි
එක ලොව දෙපසයක සිත ගැස්සේ
හරියට බත් කට කනවා ද
තනියම නැතිනම් බොනවාද
මා සිත නුඹ ගැන සිතනා තරම ට
නුඹටත් මා සිහි වෙනවා ද
දරුවන් නුඹ ගැන විමසනවා
මා ඔවුනගෙ සිත සනසනවා
හන්දියේ කඩයේ මුදලාලි ගෙ නෙතු
මා පස්සෙම නිති පන්නනවා
දුක සැප නිති විඳ ගන්න නැති
හිතුනම තොල් සිප ගන්න නැතී
ආදරයක් කුමටද මේ ලෝකෙට
රුපියල ඩොලරය වෙන්නෙ නැතී

(ලංකාවට හරියටම එහා පැත්තේ ද ඇමරිකාව තියෙන්නේ ? )

Tuesday, February 21, 2012

෴ සිත්තම ෴



ගෙවුනු පැන්සල් තුඩත්
කිලිටි හිස් කොළයකුත්
ගෙන අදිනු මැන ඉතින්
නුඹේ මතකය ලෙසින්
නිල් නුවන්
පිරුනු තොල්
සිනා සෙන කම්මුලුත්
හදන්නට එපා කිවු
දෙබැම මතකයෙ ලෙසින්
මතක අමතක උනත්
නෙතු අගට කඳුළකුත්
සිනාසෙන තොල් මතට
සීත හාදුව පුදන්
සිත්තමේ අවසාන
බොඳ උනොත් ඇස් නුඹේ
කඳුළු බිඳු වලින් එය
සෝඳලා මට එවන්
එවිට මා දැන ගනිමි
මම නුඹේ හදවතේ
ඇති බවත් සිටි බවත්
පෙර දිනේ දුටු ලෙසින්


මතකයේ සුළු තැනක සිටින
මම
෴ වත්෴

෴ වැහි කිරිල්ලී ෴


චිරි බිරි හඩ නගමින් විවේකයක් වත් නොලැබ වරුවක් තිස්සේ එක දිගට ඇද හැලෙනා වර්ෂාව සුමින්දගේ සිතට සැමදා ගෙන ආවේ අමුතුම මිහිරකි. වර්ෂාව හා බැඳී පවතින ඒ සුන්දර මතක සියල්ල කණපිට හරවන්නට අද සුමින්ද ඉදිරිපස පුටුවේ වාඩි සිටින කාන්තාවට හැකි වී ඇති අයුරු පෙවන්වන්නේ ජීවිතයක ඇති අරුමය නොවේ ද.

ඇගෙන් දෑස් ඉවතට ගත් සුමින් ද , කවුළුවෙන් එපිට වැහි බින්දු අතරින් තම මතකය වසර ගනනාවක් එපිටට රැගෙන යාමට ඉඩ හලේ වර්ෂාව විසින් තම මතකය සේදී යා නොදී ඇති බැව් පසක් කර ගනිමිනි .

                 
- - - - - - - - - - - - - - - - - -

තවත් දුක දරා ගත නොහැකිව හුන් වළාකුලු දොඹ ගෙඩි තරමේ වැහි කඳුළු සලමින් හඩන්නට වූයේ න් සුමින් ද තකහනියේම සෙවනක් සොයන්නට වූයේ හැද සිටි ජැකට්ටුව ද විනිවිද යමින් ඇගට රිදවු වැහි බිඳු නිසාමය. මේ මහ වරුසාවේ යතුරු පැදියෙන් යාම ඔහුට කිසිසේත්ම කළ නොහැක්කක් විය. ග්‍රාමීය ප්‍රදේශයක් වූයෙන් සෙවනට තැනක් සෙවීම ද ඉතා දුෂ්කර වූ අතර මාර්ගයේ වාහනයක් දැකිය හැකි වූයේද කලාතුරකිනි.

ඇග සීතල ද සිත කාංසාව ද දුර ලමින් හිස් ආවරණයේ කවුළුව අතරින් ඔහු දුටුවේ ඉදිරියෙන් මහ පාර අයිනට කර නවතා ඇති ලංගම බස් රථයකි. මඟීන් පෝලිමේ බැස යමින් සෙවනක් සොයා කඩිමුඩියේ දිව යනවා පෙනුන අතර අසල තිබුන එකම සෙවන වූ අතහැර දැමූ කුඩා කඩයක් යැයි සිතිය හැකි දිරා ගිය කුඩා ගොඩනැගිල්ල වැහි බිදු දරා සිටියේ ද අපහසුවෙන් බැව් පෙනුනි.

යතුරු පැදිය ඒ දෙසට හැරවූ සුමින්ද දෙස මිනිසුන් හෙළුවේ නොසරුප් බැල්මකි. සෙවනට ගුලි වී සිටි සියළු දෙනා ගේ මුහුණු වල වුයේ එකිනෙකා නුරුස්සනා හැඟීම් සමූහයකි.

වැහි සීතල දරා ගත නොහැකි වූ සුමින් ද ට අවශ්‍ය වුයේ කුඩා හෝ සෙවනකි. යතුරු පැදියෙන් බැස ගත් ඔහු සෙවනට සිටින අය දෙස හෙළුවේ බෑගෑපත් බැල්මක් වුවත් ඔහුගේ බැල්ම දුටු බැල්මක් ඒ කිසිවකු අතරේ නොවීය.සෙවනේ අන්තිම කොණට වී හුන් එක් ගැහැණු ළමයකු පමණක් මදක් සිනා සී ඔහුට ඉඩ දීමට සුදානම් වුව ද . ඇයද සිටියේ තම කුඩා ශරීරයෙන් හරි අඩකටත් වඩා වැස්සට නිරාවරණය කරමිනි.

තෙමුන කිකිලියක මෙන් වූ ඇය දෙස බැලූ ඔහුට ඇති වුයේ සංවේගයකි. ඇගේ කුඩා ශරීරය සිප ගනිමින් ඇගේ ඇඟට ඇලී තිබුන ඇදුම් දෙස බැලීම නොමනා යැයි හුට හැඟුනේ , ඔහු ඇය දෙස බලත්ම  ඇගේ අතේ වූ පොත් මිටියෙන් තෙමුන ලැම පෙදෙස ආවරණය කර ගැනීමට ඇය ගත් අසාර්ථක උත්සාහය දැකීමෙනි.

“ හදන්න බැහැ. ඇදගෙන යන්න තමයි වෙන්නේ. කෝ එන්න කට්ටිය ඉතිරි සල්ලි ගන්න “

ලංගම බසයේ කොන්දොස්තරවරයාගේ හඬින් කඩිගුල ඇවිස්සුනා සේ මිනිසුන් එකා පරයමින් එකා වැස්ස ද නොතකා කොන්දොස්තරවරයා වට කොට ගන්නට වුයෙන් , මෙපමණ වේලා පිරී පැවති සෙවනට ගොඩ වන්නට සුමින්දට හැකි විය.

තෙමුණු කිකිළිය නොසෙල් වී හුන් තැනම සිටියෙන් ගරා වැටුනු කුඩා ගොඩනැගිල්ලේ ඉතිරි වූයේ ඇයත් ඔහුත් පමණි.

“ නංගි ඉතුරු සල්ලි ඉල්ලගන්නේ නැද්ද ? “

“ මම සිසන් “

“ දැන් යන්නෙ කොහොම ද ? “

ඇය සිනාසී බිම බලාගත්තාය. ඇය දෙස ඉතා හොඳින් බැලීමට ය අවස්ථාවක් කර ගත් ඔහු ඇගේ රූ සිරි සැබවින්ම විදගන්නට විය. දිගු කොණ්ඩය තෙත බරිත වී කෙස් වැටිල අගින් විටින් විට දිය බිඳිති බේරේ. ලැමට තුරුළු කරන් සිටිනා පොත් මිටිය පමණක් නොතෙමි සුරක්ෂිතව ඇත.

මිනිසුන්ගේ නොරිස්සුම් හඩත් , කොන්දොස්තරවරයාගේ මුණු මුණුවත් කෙමෙන් විය කී යත්ම කි නෙකා නොයෙක් ආකාරයට තම ගමන යන්නට විය. වැස්ස ද තුරන් වී තිබුනෙන් ඔහුට ද සිය ගමන යාමට හැකි වුවත් වැහි කළුවරේ කාත් කවුරුවත් නැති අඩවියක කෙල්ලක තනිකර යෑමට ඔහු සිත නොකැමැති විය.

“ නංගි . . . ඔයාට ගෙදර යන්න  සල්ලි නැතිනම් මම දෙන්නම් . “

“ මේ වෙලාවට බස් නැහැ. අන්තිම බස් එක තමයි මේක “

“ ත්‍රී වීල් එකකින් යන්න බැරි ද? “

ඇය දෑස් විසල් කර ගත්තාය.

“ තනියම . . . .! ! ! “

“ හ්ම් . . . . මාත් දැන් යන්න ඕනි.ඔයාව මෙතන දාලා යන්නත් බැහැ.බස් එකේ ඉන්නෙත් ඩ්‍රැයිවර් විතර ද කොහෙ ද ? “

වැස්ස ද නැවතී තිබූ බැවින් , ඇගේ දෑසින් ගලන්නේ කඳුළු බැව් වටහා ගන්නට සුමින්දට වැඩි වේලාවක් ගත වූයේ නැත.

“ අකැමැති නැතිනම් මාත් එක්ක බයික්එකේ යං , මං ගෙවල් ගාවින් බස්සන්නම් “

එදා ඔහු පිටුපසින් වාඩි වී පැමිණී ඇය ඇගේ නිවස ආසන්නයේ යැයි කියු තැනකින් බස්සවා ගිය ද, ඇගේ මතකය ඔහුගේ සිත පුරා මුල් බැස තිබුනේ සෑම වැසි දිනයකදීම ඒ මුල් දළු කොළ ලමින් ඔහුගේ හදවත උණුසුමින් පුරවා ලන්නට සමත් විය.

එවක වෛද්‍ය ශිෂ්‍යෙයකු වූ ඔහු ඇය බලාපොරොත්තුවෙන් ඉන් පසු දින කිහිපයක්ම ඇය බස්සවා ගිය තැනත් ඒ අවටත් රැක සිටිය ද ඇයව ඉන් පසු කිසි දිනක ඔහුට දැකිය හැකි නොවූ අතර කාලයා විසින් ඇගේ මතක ඔහුගෙන් දුරස් කලත් , වැසි පැමිණීයේ ඔහුගේ මතක අලුත් කරමිනි.

වැරදීමකින් හෝ ඔහු ඇය නැවත මුණ ගැසුනා නම් ..... කෙතරම් දේ වෙනස් විය හැකිව තිබුනා ද ?

අද ඔහු ඉදිරියේ සිටින්නේ එදා වැස්සට අසුවූ සුන්දර වැහි කිරිල්ලියගේ තටු ගැලවුන ආත්මය බැව් ඔහුට සිතේ. ඔහුට ඇය මතක තිබුන ද ඇයට ඔහු මතක බැව් පෙනෙන්නට නොවීය. ඇය අද සිවු දරු මවකි. දිළුදුකමේ අඩිය සිඹිනා ඇගේ ගෙපැල සැදෑයාමයේ දී බීමත් සැමියාගේ කඨෝර බසින් ද පොඩි වුන්ගේ අඳෝනා වලින් ද නොපිරී පැවතියේ නම් ඒ හෙමත් දවසක දිය.....

මේ සියල්ලට වඩා ඇය අද ඔහුට හමු වූ අලුත්ම රෝගියාය. මේසය උඩ ඇති අලුත්ම ලිපි ගොනුවේ සහ අලුත්ම වාර්තා වල හිමිකාරිය ඇයයි.

අද ඔහු මේ රෝහලේ සමාජ රෝග අංශයේ අංශ ප්‍රධානියාය.



පලි:- මුළු ජීවිතේටම වඩා එකමෙක මොහොතක් වටිනව කියල ඔබට හිතිලා නැද්ද ?


Friday, February 17, 2012

෴ පාළුව / I Miss You ෴



හිමිදිරියේ හිරු කිරණත් සමඟින්

මට නුඹ සිහිවෙනවා සත්තයි
පාසල් දිවයන ‍පොඩි වුන් අත එවූ
නුඹ පණිවිඩෙ ලැබුනා සත්තයි


කාර්යාලයේ ලිපි ගොනු අතරින්
නුඹ මට හිනහෙනවා සත්තයි
තේ පැන් තොල අග දැවටෙන විට මගෙ
නුඹෙ සුව මට දැනුනා සත්තයි


පපුවට අත තියනා හැම වාරයෙ
නුඹ එහි රැක සිටියා සත්තයි
දහවල කැම පැයේ නුඹ මගෙ ළඟ
මගෙ තනියට සිටියා සත්තයි


හවසට මා නිවසට යන මාවත
නුඹ මට මඟ කීවා සත්තයි
නින්දට යන සුව බර මොහොතෙත් නුඹ
මගෙ සිතුවිලි වූවා සත්තයි


සිහිනෙන් සිහිනෙට මා තනි නොකරම
මා සමඟම වුන්නා සත්තයි
හෙට හිමිදිරියෙත් මගෙ නෙතු පුබුදන
පළමු හැඟුම වනවා සත්තයි


You are always here with me . . . .


එහෙ ගියත් මෙහෙ ගියත් කොහෙ ගියත්
නුඹ සමඟින් සිටින 
මම
෴ වත් ෴

Thursday, February 16, 2012

෴ බොහොම දුර ගමනක් ෴



නුඹට සුබ දින පතා
දෙතොල රහසින් බදා
මම යනව බොහොම දුර ගමනක්


නුඹට නිති ලොබ බැන්ඳ
නෙත් ඇරන් සිත් වහන්
මම යනව බොහොම දුර ගමනක්


නුඹ දුන්න දුක අරන්
නෙත කඳුළු හිර කරන්
මම යනව බොහොම දුර ගමනක්


අඳුර හුරු නෙතු දරන්
ගිනි රස්නෙ උහුලමින්
මම යනව බොහොම දුර ගමනක්


නුඹව අමතක කරන්
බසින හිරු දෙස බලන්
මම යනව බොහොම දුර ගමනක්


ගිනිගන්න පා දවන්
හද ගින්න මඟ දමන්
මම යනව බොහොම දුර ගමනක්


ලොව නිමාවන තැනට
නුඹ ව හමු වුන තැනට
මම යනව බොහොම දුර ගමනක්


නුඹ පතන නුඹ සොයන
සිත ගතම හිර කරන්
මම යනව බොහොම දුර ගමනක්


යදින සැනසුම නොලැබ
නුඹව අසරණ නොකර
මම යනව බොහොම දුර ගමනක්


නුඹට යන්නට නොහැකි
මට ද යළි ඒ නොහැකි
මම යනව බොහොම දුර ගමනක්





Monday, February 13, 2012

෴ වැලන්ටයින් බොත්තම ෴

සුපුරුදු වෙලාවටම ක්ලාස් එක ඇරුනා. වෙනදට එක සීරුවට පාර පේන තෙක් මානයට ඇවිදන් යන, එකම වර්ණ කට්ටලයකින් සැරසුන ගැහැණු පිරිමි ළමයි අද හිටියෙ හරිම අඩුවෙන්.පන්තියෙ උනත් පැමිණීම බොහොම අඩුයි කියලා සම්මානිට හිතුනා.

“ අද පන්තියේ ළමයි අඩුයි නේ ද ? “

හැමදාමත් වගේ ක්ලාස් ඇරුනම ඇයත් එක්ක බස් නැවතුමට යන දිලීපගෙන් එහෙම ඇහුවෙ උත්තරයක් බලාපොරොත්තුවෙන්ම නෙමෙයි.

“ හ්ම් . . . . .  සමරන්න යන්න ඇති. “

“ සමරන්න . . . . “  


උත්තරේ දැන දැන උනත් සම්මානි ඇහුවේ දීලිපගෙන්ම ඒ ගැන අහ ගන්න.

“ ඔවු. . .වැලන්ටයින් සමරන්න “

“ හ්ම්. . .  ඔයා මොකද දිලීප ඒ ගැන හිතන්නේ ? “

“ කවුද වැලන්ටයින් ගැන ද ? “

“ නැහැ ළමයෝ සැමරීම ගැන “

“ අනේ මන්දා වරදක් නම් නැහැ.ඒත් ඒක වෙළඳාමක් , ආදරය විකුණන් කෑමක් “

“ හ්ම් . . . . . .“

“ඒත් එදාට අපිට දුකක් දැනෙනවා. “

“ ඒ මොක ද ඒ ? “

“ මට කෙනෙක් නැහැ නේද කියලා “

“ හ්ම්. . . . “ 

 

සම්මානිගෙ මුහුණ හැකිළුණා.



“ඇයි එහෙම හිතන්නේ , ඔයාට මේ මං ඉන්නේ “ දීලීප කියාවි කියල සම්මානිගේ හිතේ ඇඳුන උත්තරය තමයි ඒ.

“ දිලීප. අපි කෑමෙක කාලා යමු ද? මට බඩගිනි “ නැති බඩගින්නක් මවා පාමින් ඇය කීවා.

“ අද පාර්ක් එකේ ඉඩ නැතිව ඇති “

“ හ්ම් . . . .එහෙනම් ගෙදර ගිහින්ම කනවා “ පිරිමි හරිම මෝඩයි සම්මානිට හිතුනා.

“ නැහැ. අද වේලාසන නෙ. අපි බස් එකට ගිහින් කමු “

කීවත් වගේ බස් එක , බස් නැවතුමෙන් ටිකක් එහා මුහුද අද්දරට වෙන්න නතර කරල තිබ්බෙ බස් එක පිටත් වෙන්න තව වෙලා තිබ්බ නිසා.

පුද්ගලික බස් රථයක් ඒ වෙලාවෙදිත් සම්මානිගේ ගමට යන්න සුදානමින් නතර වෙලා තිබ්බත් මාසෙ ගාස්තුව දීලා සීසන් එකට යන නිසා සම්මානි යන්නේ මුහුද අද්දර තාවකාලිකව නතර කරල තිබ්බ ආණ්ඩුවේ බස් එකේ.

දෙදෙනාම හිටියේ තව මාස දෙක තුනකින් විශ්ව විද්‍යාලයට යන්න තේරිලා. මේ ගිහින් තිබ්බේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට කලින් තිබ්බ ඉංග්‍රීසි භාෂා පන්තියට. දිලීප ඉංජිනේරු අංශයටත් සම්මානි යාන්තමින් විද්‍යා උපාධියකටත් තේරිලා තිබ්බා.

සම්මානිගේ බස් එකටම ගොඩවුනු දිලීප ඇයත් එක්ක වෙනද වගේම එක බත්එක බෙදාන කෑවා. වතුර බීල අත හෝදන්න බිමට බැහැපු දිලීප බස් එකේ පාපුවරුවේ වාඩි වෙලා මුහුද දිහා බලාන ඉන්න ගත්තා. ඔහුව පසුකරන් බසයට ගොඩ වෙන්න උවමනාවක් සම්මානිට තිබ්බෙත් නැහැ. ඔහු වාඩි උනු පඩි පෙළට පහල පඩියෙන් වාඩි උනු සම්මානිත් ඔහුගෙ තනියට වගේ මුහුද දිහා බලාන ඉන්න ගත්තා.

මුහුද අද්දර වෙරළට කිට්ටුවෙන් හයිකරල තිබ්බ හැම සිමෙන්ති බංකුවක්ම පිරිලා තිබ්බ. වෙනදා සම්මානි කෑම ගන්න යන සිමෙන්ති බංකුවටත් අද අයිතිකාරයෙක් ඇවිත් හිටියා.

සුදු පාට බ්ලවුසයත් කළු පාට සායකුත් ඇදන් හිටපු ඇයත් සුදු පාට ෂර්ට් එකතු කළු පාට කලිසමකුත් ඇදන් හිටපු ඔහුත් සීරුවට මුහුද දිහා බලන් ඉද්දි. මේ කිසි දෙයක් නොදන්න ඇගේ සිනිදු කොණ්ඩය දීලිපගේ මුහුණ පුරා විසිරුනේ,  මුහුදු හුළඟට අහුවෙලා ද දිලීපගෙ මුහුණට ලෝබ වෙලා ද මන්දා.

හිමීට සාක්කුවට අත යවපු දිලීප ගොඩාක් කාලෙක ඉදන් ආසාවෙන් ළඟ තියාන හිටපු පුංචි කළුපාට ටයිටැනික් හිසපලදනාවෙන් ඇගේ විසිරුණු කොණ්ඩය එකට එකතු කරා. ඇය එකවරම මවිත වෙලා ඔහු දිහා බැලුවේ හිසේ ගසපු කොණ්ඩ කටුවට ඇගේ අත යවන ගමන්මයි.

" මගෙන් තෑග්ගක් "

" මාත් ගෙනාව තෑග්ගක්"

ඇය තකහනියෙම ඔහුවත් පෙරලාන බස් එකට ගොඩ වෙලා, ඇගේ ගමන් මල්ල අරන් ඇවිත් ඔහු සමීපයෙන්ම වාඩි උනේ මුහුණට මුහුණ ගෑවෙන තරම් ලඟින්. ගමන් මල්ලෙ තිබ්බ පෑන් පැන්සල් රදවනයෙන් ඇය එළියට ගත්තේ පුංචිම පුංචි ෂර්ට් බොත්තමක්. ඒක හරියටම දිලීපගේ ෂර්ට් එකේ බොත්තම් වලට සමාන උනා.

ඔහු හැමදාම ඉංග්‍රීසි පන්තියට ඇදපු සුදු ෂර්ට් එකේ උඩ ඉදල දෙවෙනි බොත්තම කලක ඉදන්ම තිබ්බෙ ලිහිලා. ඔහුට එය පිළිසකර කර ගන්නවත් ඒ ඇදුම විසි කරල අලුත් එකක් ගන්නවත් නොහිතුනේ පන්ති දවසට විතරක් නිල ඇදුම විදිහට මේක අදින නිසාමයි.

" බොත්තමක් " දිලීප සිනා සුනේ පුදුමයෙන්.

" හ්ම් . . .  ! ! ඉන්නකෝ "

ඊළඟට ඇයගේ දෑතේ ඇගිලි වලට මැදි උනේ සුදු නූලක් දාපු ඉදිකට්ටක්.

" ඔයා නම් මාර කෙල්ලෙක් "

දිලීප ගෙනාව හිස් පලදානාවට හසු නොවුනු ඇගේ කෙස් රොදක් මුහුදු හුළඟත් එක්ක ඇවිත් දිලීපගෙ මුහුණෙ වදිද්දි , ඔහුට කිට්ටු උන ඇය වැලන්ටයින් ගෙනත් දීපු පුංචි බොත්තම , ඔහුගෙ හදවතට තියලා නොගැලැවෙන විදිහට මහමින් හිටියා.

" ඇය හරි අපූරු කෙල්ලක් " සුළඟත් එක්ක ආපු කාගෙ දෝ හඬක් හිමීට මිමිණුවා.
වැලන්ටයින් ඉන්නේ හදවතේමයි,
හැමදාමත් ආදරය සපිරි වැලන්ටයින් දිනයක් වේවායි පතන

මම
෴ වත්෴

෴ සමාවෙන්න මට ෴



සමුගෙන ගියත් යළි නෑවිත් ඉන්න සිතා
සමුගෙන ගියේ කොහොම ද සමු නොදී මෙමා
දුර යන නුඹේ පා සලකුණු මැකී නොයා
මා සිත ඔබේ පසුපස්සෙම ඇදී ගියා


සඳ එළි දිගේ ඇවිදින් නුඹ නෙත දුටිමී
ඒ නෙතු අගින් වෑහෙන කඳුළ ද දුටිමී
නෙතු තුල පිපී තිබු මයෙ රුව මම දුටිමී
කඳුළත් සමඟ සේදී යනු නොම දුටිමී


සමුගෙන වෙසෙන හැටි මට නුඹ කියාපන්
පසුපස නොබල ගිය හැටි මට කියාපන්
මා සිත දරන් ඉන්නා හැටි කියාපන්
මේ හැටි ආදරේ ඇයි මට කියාපන්



නුඹ හැර ගිය
මම
෴ සොඳුරු සිත ෴




Saturday, February 11, 2012

෴ පෙර දිනයක ඈ මා ළඟ සිටියාය -අද ළඟ ඉදිදදි දුර මෙන් දැනුනාය ෴


බොහොම කාලයකට පසුව අද ඔහු ගෙදරය.කාර්ය බහුල පරිසරයෙන් මිදී ආදරය පිරුණ තම නිවසේ ඇයත් සමඟ තනිවෙන්නට දවසක්ම ඇත. උදයේම ඇය සාදා දෙන කෑමෙකත් පොදි බැදන් නිවසෙන් බැස යන ඔහු නැවතත් නිවසට පැමිණෙන්නේ හිරුත් බැස ගොස් බොහෝ වේලාවක් ගතවූවාටත් පසුවය.ඇයත් සමඟින් ආදරයෙන් ගත කළ මොහොතක් තනි වූ මොහොතක් මතක් කිරීමට ඔහු ගත් උත්සාහය නිර්තක වී යත්ම නිදිඇදෙන් බැස ගත් ඔහු ඇය සොයා මුළුතැන් ගෙට පියමනින්නට විය.


ඔහු සිතුවා හරිය. ඇය මුළුතැන් ගෙයි බරටම වැඩය.කිසිවකු පෙනෙන්නට ද නැත. කට කොනකට නඟාගත් සිනාවෙන් යුතුව හොර බළලෙකු මෙන් ඇය වෙත ඇඳී ගිය ඔහු ඇගේ බඳ වටා දෑත් යවා ඇය තම සිරුරට කිටි කිටියේ සිරකර ගත්දීම සිදුවූයේ නොසිතූ දෙයකි.


“ මේ මොන කෝලමක් ද මේ ? දැන් පුතත් ඒවි “


“ අද නිවාඩු නෙ මැණික. කෝ පොඩ්ඩක් ළඟට . .“තව


“ පිස්සු ද ඔයාට . ඔයාට නිවාඩු උනාට අද මට දාහක් වැඩ තියෙනවා.එහෙනම් හොඳ මහත්තය වගේ අද පුතාව ක්ලාස් අරන් යන්න ඔයා. පොඩි පුතාට බෙහෙත් විදින්න යන්නත් තියෙනවා. ඔයාගෙත් හෝදන්න තියෙන රෙදි තියෙනම් සාක්කු සුද්ද කරල බාත් රූම් එකේ බේසමට දාන්න. “


“ කිස් එකක් වත් දෙන්න බැරි ද? “


“ ඕනි දෙයක් දෙන්නම්. හැබැයි රෑට. දැන් ඔය කෝලම් නවත්තල ,මුණ හොදන් ඇවිත් මේ තේක බොන්න “


ඇය සිනාසුනාය, ඔහුට අණ කලාය. මැෂිමක් සේ එක සීරුවට වැඩ කළාය. ඇය හොඳ ගෘහණියක බවත් , ඉතාම හොඳ මවක බවත් , තම දුක සැප සොයනා අගනා බිරිඳක බවත් ඔහු සිහි කළේ , දරුවන් හා ඇගේ ලෝකයෙන් තමන් පිටමන් වූයේ කවදාසිටදැයි කල්පනා කරන ගමන්ය.


ප්‍රීතිමත් තරුණයා වෙනුවට , කැඩපතින් දකිනා මේ විවාහකයා කවුදැයි ඔහු සිතන්නට විය. මදක් හිසකේ ගිලිහී ගිය හිසක් , තරමක් තරබාරු දේහයක් , මදක් ඉදිරියට නෙරා ආ කුසක් සහිතව කැඩපත ඉදිරියේ සිටින්නේ ලෝකයා හමුවේ සාර්ථක මිනිසෙකි.හොඳ සැමියෙකි.දයාබර පියෙකි.


සිහින් දැවිල්ලක් සමඟින් පැසුණු මුහුනේ එහා මෙහා ගිය රේසරය මදකට නැවතුන අතර , ඔහු තම හදවත අල්ලා බැලුවේ දැවිල්ල පැන නැගුනේ හදවතින් දැයි බැලීමට මෙනි.


කැඩපතේ වූ මිනිසාගේ මුහුණෙන් ලේ බිදකුත් දෑසින් කඳුලකුත් ගලද්දී ,තමා තනිවී සිටින ප්‍රීතීමත් විවාහයෙකු බවට ඔහුට සිහිවිය.





ප:ලි
අමරදේව මාස්ටර් ගායනා කරන මේ සින්දුවෙනුත් කියන්නේ පෙම්වතිය බිරිඳ උනාට පස්සේ සිද්ධ වෙච්චි මේ වෙනස ගැනම කියලයි මට හිතෙන්නේ.


Monday, February 6, 2012

෴ සංදේශය ෴



ඉරගල වැටෙන අර මහ කන්දෙන් එපිට
සඳ එළි හොරෙන් එඹෙනා මායිමෙන් පිට
හදවත රැදේ ලෙංගතු වෙනෙකෙකුගෙ සිත

යොමු කර සවන් ඒ මාවත ඇසෙනු ඇත

හමුවුන විට දි මගෙ ආදරේ කියාපන්
දකිනට ඇඟිලි ගනිනා බව කියාපන්
සිහිනය පුරා සරනා බව කියාපන්
අද හෙට නාවොතින් තරහයි කියාපන්

වැඩ වැඩි නිසා අමතක වූව ද අසනූ
අකුරක් දෙකක් ලියලා නුඹ අත එවනූ
දුක සැප කෙසේදැයි මා ඇසුවා කියනු
මා මෙහි දුකින් අති බව නම් නොම කියනූ

හදවත පුරා ඇති ආලය දරාගෙන
ඔහු ගැන මිසක වෙනකෙකු නොම සිතා ගෙන
කවදා හරිම එනතුරු මඟ බලාගෙන
ඇති බව කියනු සිත රැදි ඔහු පතාගෙන



විහඟෙකු අතේ සංදේශය යැවූ
මම
෴ සොසී ෴

Thursday, February 2, 2012

෴ සැඳෑවරුවම සිනාසෙයි ෴



අත් දෙක දිගේ ශරීරයේ  බර බංකුවට දීලා , කකුල් දෙක බංකුවේ එහාටයි මෙහාටයි සොලමින් , බොහොම නිස්කලංක විලාශයෙන් හිටපු ඇගේ හැසිරීම එකවරම වෙනස් උනා.

නිතරම බයවෙච්චි වගේ තියෙන ඇගේ ඇස් , දොඹ ගෙඩි වගේ විශාල වෙලා , ඒ මදිවට කටත් අයාන ඇය බලා ඉන්න ගත්තේ , මහ හඩින් හිනාවෙන තමන්ගෙ බංකුවේ එහා පැත්තෙ ඉන්න පිරිමි පරාණය දිහා .

ඇය තමන් දිහා බලාන ඉන්න විදිහ දැක්කම ඔහුගේ හිනාවත් නැවතුනේ හරියට හදිසියේම වාගේ හුළං ගියපු බැලුනයක් ගානට.

“ මේ මොක ද මේ . . . ! ! ! “ ඔහු ඇහුවෙ පුදුමයෙන්.

“ මොකද හිනාවෙන්නේ “ ඇය ඇහුවේ ඊටත් වඩා පුදුමයෙන්.

“ මං විහිලුවක් නෙ කරේ . ඇයි , ඔයාට හිනහ නැද්ද ? “

“ ආහ් . . . . ඒක විහිළුවක් ද ? මං හිතුවේ ඇත්ත කතාවක් කියලා “

“ ඔයානම් හරිම බට ලයිට් එකක් , අම්මප මම ඔයත් එක්ක නම් විහිළු කරන්නෙ නැහැ “

ගෑණු නම් මහ පුදුම ජාතියක් අම්මප. විහිළුවක් වත් තේරේන්නෙ නැති. ඔහු හිතුවෙ  ඔහුගෙ මුහුණ බෙරි වෙලා ගිනි රස්නෙ හොඳට වේලෙමින් තියෙන ගොරක මදයක් සිහිකරමින්.

ඒත් එක්කම වගේ ඇය මහ හඩින් හිනා වෙන්න ගත්ත , කොයි තරම් සද්දෙන් හිනා උනා ද කියනව නම් , ඔවුන් වාඩි වෙලා හිටිය බංකුව වට හෙවන දුන්න ගහේ කොළ සර බර ගාලා බිමට වැටෙන්න ගත්තා.ඒ වැටෙන කොළයක් දෙකක් ඇගේ ළඟ නතර වෙද්දි , ඇගේ හිනාවේ තීව්‍රරතාව තවත් වැඩි වෙන්න ගත්තා.

ලෝකෙ විනාශය හෙටයි කියලා, තැනින් තැන වැටිල තිබ්බ පාං කුඩු බිස්කට් කෑලි වේළුන බත් ඇට හොය හොය තරඟෙට කමින් හිටපු පුංචි කුරුල්ලොත් ඒ වැඩ නවත්තල ඇවිත් ඇගේ හිනාවට එකතු උනා.පර වෙන්න ඔන්න මෙන්න වගේ බිමට නැමිල තිබ්බ මල් හරි පුදුමෙන් වගේ  හරිම උනන්දුවෙන් වගේ ඇගේ දිහා බැලුවා.

අම්මෙක්ගෙ අතේ එල්ලිලා , බලෙන් ඇදගෙන යමින් හිටපු පුංචි කොළු පැටියෙක් අම්මගෙන් අත මුදා ගන්න ගමන්ම බංකුවේ වාඩි වෙලා හයියෙන් හිනාවෙන ඇගේ හිනාවට එකතු උනා.

කවුදෝ දාලා ගිහින් තිබ්බ පුංචි නාටු බලු පැටව් දෙන්නෙකුත් කොහෙදෝ ඉදන් තරඟෙට දුවන් ඇවිත් ඇගේ ළඟ කැරකෙන්න උනේ තව හිනාවෙන්න කියනව වගේ. කොටින්ම ඔහු හැර අනිත් සියළුම දේ ඇයත් එක්ක හිනාවෙන්න ගත්තා.

හිනාවෙවි ඉන්න ඇය දිහා බැලුවම ඔහුටත් හිනහයි. ඒත් ඇයි ඇය හිනා වෙන්නේ. හිනා වෙන ගමන් ඇස් කරකවලා බොහොම හුරතල් විදිහට ඔහු දිහා බලන මිනිත්තුවට ඔහු මෙහෙම ඇහුවා.

“ ඇයි ඔයා හිනා වෙන්නේ “

ඇගේ හිනාව තවත් වැඩි උනා. හිනාව අතරින් විටින් විට පිටවුන වචන අතරින් ඔහුට ඇහුනේ ......

“ අනේ . . . .අනේ . . .ඔයාගේ මූණෙ හැටි. හරියට අම්මත් එක්ක තරහ උන පොඩි බබෙක් වගේ “

ඇය තවත් හයියෙන් හිනා වෙන ගමන් ඔහුගේ පිරුණ කම්මුලක් මොහොතකට ආදරෙන් ඉම්ඹා. ඇගේ හිනාවට එකතු නොවී හිටපු ඔහුත් එදා මුළු සවස් වරුවමත් රෑ නින්දෙන් කිහිපවිටකමත් ඈත් සමඟ හිනා උනා.

“ අම්මප මෙහෙමත් ගැහැණු . . . . ! ! ! “

හිනාවෙන හැම වෙලාවකම ඔහුගෙ හිතට ආවත් , ඒ ඔස්සෙ වැඩි දුර හිතන්න ඔහුට ඕනි උනේ නම් නැහැ.
ඇගේ සිනාවක සොඳුරු කතාවක
ආදරෙ දැනෙන සැටී
ප්‍රෙහ්ලිකාවක පදයක් කරලා
මැවි අරුමයක හැටී

නැතිවත් බැරි ඇය
ඇතිවත් බැරි ඇය
ජීවයෙ සොඳුරු ගතී
සියල්ල කලතා
කුමකට මැවුව ද
තේරුම් ගත නොහැකී

                                        ඇයත් එක්ක සිනා සුන
                                                 මම
                                          ෴සොසී෴

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...