“ මං කීවනේ , ඇයි ආයේ ආයේ එකම අහන්නේ “
“ මට සමාවෙන්න .ආයෙ අහන්නේ නැහැ “
“ ඔහොම තමයි ඉස්සෙල්ලත් කීවේ “
“ මම යනවා “
පුංචි ආදර කතාවක් ඉවර උනේ එහෙමයි. මම පැත්තක ඉදන් බලාන හිටියා.
“ ගියා නේ . . . .යන්නැද්ද නවත්තන්න “
“ ඒකිගෙ හැටි බං .ඔය ගියාට ආපහු එනවා. දැන් කී සැරයක් යන්නම ගියා ද “
ඒකත් හැබෑව. තැනක් නොතැනක් නැතිව , මුං දෙන්න හිටි ගමන් වලි දාගන්නේ හරියට දික්කසාද උසාවියක ගිහින් නතර වෙන ගානට. ඒත් ඊට පස්සෙ දවසෙ ආයෙත් කිරි පැණි වගේ.මෙහෙමත් ආදරයක් . . . .!!!!!
“ මොකක් ද බං බොලයි ප්‍රශ්ණෙ.ඕක විසඳගෙන ඉක්මනට එකතැනකට වෙයල්ල කො. අපිටත් කණක් ඇහිල ඉන්න “
“ ඒක මේ කපේ දී ඉවර වෙනකක් නෙමෙයි බං “
ඒ බොහෝම කාලෙකට කලින් මයෙ හොඳම යාළුවෙක් වෙලා හිටය පෙම්වතුන් දෙන්නෙක්ගෙ දිග ප්‍රේම කතාවක පුංචි කොටසක්.
ආයෙත් ඔවුන්ගෙන් එකෙකු මට මුණ ගැහුනේ මගේ පුංචි එකාව ස්කෝලෙන් ගන්න ගිය වෙලාවක.
“ සඳුන් ........ඔයා මෙහේ ..............!!!!“
“ හලෝ මචන් , මම මෙහේ නැතිව වෙන කොහෙ ඉන්න ද බං , මම මෙහෙ වයිස් , උඹ මොක ද මෙහෙ “
“ පොඩි එකා ව ගන්න ආවා බං “
සුහද සාකච්ඣා ඉවර උනාම. නොඅසාම බැරි ප්‍රශ්ණය මතු උනා.
“ කොහොම ද බන් ජීවිතේ . දැන් පොඩි උන් කීයකගෙ තාත්තෙක් ද ? “
“ හෙහ් හෙහ් . . . .ඒ කරදර නැහැ . මම තවම තනිකඩයි “
“ ආහ් බං . . . . කෙල්ල උඹට බූට් එක තිබ්බ ද ? “
“ නැහ් බං . . . . එකි මාත් එක්ක හැමදාම රන්ඩු වෙනවා. හැමදාම ආපහු මුකුත් නොවුන ගාණට යාළු වෙනවා. ඒත් දවසක් රණ්ඩු වෙලා ගියා ගියාමයි ආපහු ආවෙ නැ බං. මාත් ඒකි ආපහු එයි එයි කිය කිය බලාන හිටියා. දන්නෙම නැතිව කාලයත් ගියා. රණ්ඩු වෙවී හරි ඒකී මාත් එක්ක හිටියනම් . . . . . .!!!!!!“
“ උඹ හෙවුවෙ නැද්ද ? “
“ ගිය අය ගැන මොකට හොයනව ද ? ඒකි බැඳල ළමයිනුත් ඇති දැන් “
එදා කතාව එහෙම ඉවර උනා. මගේ පවුලට නම් තව දුවෙකුත් එකතු උනා. දෝණි හම්බෙලා ඉස්පිරිතාලෙන් එන දවසෙ ,හරිම අහඹු විදිහට අර කිවු ආදර කතාවේ අනිත් චරිතය මුණ ගැහුනෙ ඉස්පිරිතාලෙ ගේට්ටුව ගාවදි.මට ඇගේ රුව මතක තිබුනට ,ඇගේ නම මගේ මතකයෙන් ගිලිහිලා ගිහින් තිබ්බා. ඇයට කතා කරන්නෙ කොහොම ද කියල හිතද්දිම ,හදිසියේම වාගේ ඇගේ නෙත් මගේ නෙත් මුණ ගැහුනා.
“ ඔයා . . . . . අනේ ..............ලස්සන දුවෙක් “
ඇය මගේ අලුත් සිඟිත්තිය දිහා බැලුවේ උතුරා යන සෙනෙහසින් වගේම ඇයට මඟ ඇරුන දෙයක් ගැන පසුතැවීමකින්.
“ මේ කොහෙ ද ? කවුද ලෙඩා “ මම ඇහුවා.
“ අම්මා . . .දැන් මාසෙකටත් වැඩි.සැරින් සැරේ ලෙඩ වෙනවා.මේක තමයි මයෙ රාජකාරිය “
ඇය වැහැරිලා ගිහින් තිබ්බා. ඉස්සර හැමවෙලේම වාගේ මගේ මිතුරාගේ වර්ණනාවට අහුවුන ඇගේ පස්ස , ඉස්සරහ වගේම ඇගේ දිලිසුන ඇස් වල කාන්තියත් නැති වෙලා ගිහින් තිබ්බා.
“ උඹ බැන්දෙ නැද්ද බං “ මං ඇගේ කණට කරල ඇහුවා.
“ මට පරක්කු වෙනවා. මං යනවා . “
ඉස්සර ඇගේ පෙම්වතා එක්ක රණ්ඩු වෙලා ගිය විදිහටම ඇය මගෙන් සමු නොගෙනම ඉස්පිරිතාලේ පටු කොරිඩෝව දිගේ සෙනඟ අතර නොපෙනී ගියා.
ආදරයේ හැඩය සොයන
මම
෴ සොසී ෴















