..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, December 23, 2012

ප්‍රාර්ථනා

ප්‍රාර්ථනා




ප්‍රාර්ථනා .... ලඟම එන 2013 පිළිගන්න හිතාන පරණ මකුළු දැල් ටික කඩන්න ගත්තා..........අප්පා.........දූවිලි තියෙන තරම් ..... 
 

කටත් ඇරන් , කැප්පෙටියා කොළ බැඳපු ලී දණ්ඩ වහලෙ දිගේ ඇද ගෙන ගියපු ප්‍රාර්ථනා ඇඟිලි අග්ගිස්සෙන් ඉස්සි ඉස්සි උත්සාහ කරත් වහලෙ උස් කොනේම තිබ්බ මකුළුවෙක් අතෑරල දාපු කළු ගැහිච්ච දැකුළු මල කැප්පෙටියා කොළ අගිස්සටවත් දවට ගන්න බැරි වුනා.

 

වට පිට බලලා... දැල් ලිහිල නිසා ලී කෑල්ලක් තියල ඇණ පූට්ටු කරපු පුටවක් උඩට ගොඩ වුනු ප්‍රාර්ථනා ආයෙමත් ඉස්සි ඉස්සි හෙවුවෙම ලණු පොටක් තරම් මහත කළු ගැහුණු මකුළු දැල.......... 


වහලෙ මකුළු දැල් සුද්ද කරන්න ගතපු ප්‍රාර්ථනා.... දැන් කරන්නෙ ඒ වැඩේ නම් නෙමෙයි.

අර කළු ගැහිච්ච මකුළු දැල බොහොම අමාරුවෙන් කැප්පෙටියා දළු අග්ගිස්සෙ දැවටුනාට පස්සේ , ප්‍රාර්ථනාට දැනුනෙ මුළු වහලම සුද්ද කරල ඉවර වුනු තරම් සතුටක්...... 

ලෑලි පුටුවට ගොඩ වෙච්චි එකේ ප්‍රාර්ථනා ගෙ රවුම් ඇස් දෙක, බිත්තියටම හයි වෙන්න හදල තිබ්බ , ලී රාක්කේ උඩම තිබිච්ච දූවිලි පිරුණු ගෝනි මල්ලක් ළඟ නතර වුනේ නිකමට වගේ. 

බාගයකටත් අඩුවෙන් ....කාලකට වඩා ටිකක් වැඩියෙන්...පිරිලා තිබ්බ ගෝනු මල්ල.... ලණු පොටකින් ගැට ගහල තිබ්බා.....


ප්‍රාර්ථනාට ඒ මොකක් ද කියල හරියට හාංකවිස්සියක් නැති නිසා දුවිලි පිරිච්චි ගෝනු මල්ල ට අත දික් කරේ , අනිත් අතේ තිබ්බ කැප්පෙටියා කො

ළ බැදපු මකුළත කෝට්ට බිත්තියට හිටවන ගමන්................

ප්‍රාර්ථනා ලී පුටුවෙන් බිමට බැස්සේ , දූවිලි පිරිච්ච ගෝනි මල්ල පපුට තුරුලු කරන්.

මල්ල ලිහල බලනකම් ප්‍රාර්ථනාට ඉස්පාසුවක් නැති වුනා.


මොනා ද ඇතුලෙ ඇත්තෙ ? කවුද මේක මෙතැනට ගෙනාවේ . . . . ගෝනිය ගැට ගහපු ලණු පොට ලිහන ගමන් ප්‍රාර්ථනා කල්පනා කළා.

ගෝනිය තරමටම ලණු පොටත් පරණ වෙලා තිබ්බා . . . .  දූවිලි රැදිලා දිරල ගිහින් තිබ්බත් . . . රැදිච්ච දූවිලි නිසා ලණු පොට තදින් ගෝනියට සවි වෙලා තිබ්බා.

ලණු පොට යන්තමින් ලිහා ගත්තත් . . . .  ගෝනි මල්ල දිගාරින්න ප්‍රාර්ථනා බය වුනා. සර්පයෝ . . . . විෂකුරු සත්තු . . . .  මීයෝ ...කරපොත්තො ...හූනෝ . . . . මොන සත්තු රිංගල ද කියල කවුද දන්නේ. . . . . .

කට බාගෙට ඇරිච්ච ගෝනි මල්ල ලඟින් ටිකක් ඈතට ගියපු ප්‍රාර්ථනා , මකුළු දැල් කඩ කඩ හිටපු මකුළත කෝට්ට අරන් ගෝනි මල්ලෙ කට තව ටිකක් ලිහිල් කළා. . . . . .

ඇරුනු කටින් ඉස්සරෝම එළියට ආවේ . . . . . .  ප්‍රාර්ථනා ටිකක් විතර දැකල පුරුදු කෙනෙක්.

වකුටු වෙච්චි ශරීර කූඩුව දිගෑරගෙන , බය වෙලා බලාන හිටපු ප්‍රාර්ථනා ළඟට කිට්ටු වෙච්චි ඒ කෙනා ප්‍රාර්ථනා ගෙ කණට කරල මෙහෙම කීවා.

“ මම ඔයාගේ තවත් ඉටු නොවුනු ප්‍රාර්ථනාවක් . . . . අපරාදේ මාව මේක ඇතුලෙ අවුරුද්දට දවස් දෙකතුනක් අඩුවෙන් හිරකරල තිබ්බේ. . . . “

ඊට පස්සේ . . . . අර ගෝනි මල්ලෙන් . . . . තවත් ප්‍රාර්ථනා ගොඩාක් එකින් එක එළියට ඇවිත් නොපෙනී ගියා . . . . .

කට ඇරන් ,ඇස් දල්න් ඒ දිහා බලාන හිටපු ප්‍රාර්ථනා . . . .හිස් වෙච්චි ගෝනි මල්ල අරන් හොඳට ගසල අරන් තිබ්බෙ ඇයි කියල නම් මගෙන් අහන්නෙපා ඕං . . ... . .

5 comments:

  1. Itu una dewal walata wada itu nowuna dewal wadi ne..
    Maget prarthana malle okkoma hira wela aththe..

    Makulu dal kadala,ge as pas karanakota ekath balagamukoo.. :D

    Jayama Wewa !!!

    ReplyDelete
  2. අපරාදෙ ඒක නෙව. අහන්න එපා කියලා තියෙන දේ නෙව අහන්න වෙන්නේත මගෙත් ඉටු කරගන්න බැරිවුන ප්‍රාර්ථනා නම් මේ පහුවෙන අවුරැද්දෙදි බොහොමයි. කණගාටුයි මං ගැනම ඒවා මතක් වෙද්දිත්. සමහරක් ඒවා මගේ නොසැලකිලිමත්කම නිසාවෙන්මයි ඉටු නොවුනේ.

    ReplyDelete
  3. ඉටු නොවුන ප්‍රාර්ථනා නිදහස් කිරීමම කොයි තරම් ලොකු ජයග්‍රහණයක්ද? අපි හැමෝම ඔය මල්ල පරිස්සම් කරනවනේ... මල්ලක් නැතුව ජීවත් වෙන්නේ කොහොමෙයි..

    ReplyDelete
  4. හිස් වෙච්චි ගෝනි මල්ල අරන් හොඳට ගසල අරන් තිබ්බෙ අළුත් ප්‍රාර්ථනා වලින් ඒක පුර ව ගන්නනේ....

    මාතර බෝ සමිඳු පිහිටයි!

    ReplyDelete
  5. ලබන අවුරුද්ද ඉවර වෙන්ඩ ඔන්න මෙන්න තියලත් ඔය සිද්දිය ඔහොම්මම වෙයි නේද..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...