..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, December 14, 2012

ඇය හරියටම හයට ගෙදර ගියා ය .

ඇය හරියටම හයට ගෙදර ගියා ය .






දකුණතින් ලයට තුරුළු කර ගත් පොත් මිටිය තව තවත් ලයට තබා තෙරපා ගත් ඇය වමතින් ඔහුගේ ඇඟලි තුඩු මිරිකා තද කර ගත්තී දෑස් වහා බිමට යොමු කළාය.


ඇගේ හදවතේ වැඩි වුනු ගැස්ම ඔහුට ද දැනුන බව ඇය වටහා ගත්ත ද දෙනුවත් ඔසවා ඔහු දෙස බැලීමට තරම් කාරුණික නොවූවාය.


“ අපි ඉක්මනට යමු අනේ “



ඇසෙන නෑසෙන ගාණට ඇය කීවාය.



ඔහුගේ ද සිත තුල වූයේ චකිතයක් වූවත් ඒ බවක් පිටට නොපෙන්වා සිටීමට ඔහු තද බල උත්සාහයක නිරත විය. අනුන්ගේ ගමක ,නම නොදන්නා පාළු පාරක ඇය හා ඇවිදන් යාම මින් හෝරාවකට පමණ පෙර තමන්ට කොතරම් නම් ප්‍රීතියක් අත් කර දුන්නා දැයි සිතෙත් ම ආ ගමන “මෝඩ ගමනකැයි “ ඇය කියූ දේ බැහැර කරන්නට ඔහුට වෙනත් තර්ක උවමනා නොවීය.

නමුත් . . . . . 




හතර වටින් වැටී ගෙන සැදෑ අඳුරේ ඝනකම වැඩි වන්නේත්,ඒ බව දෙදෙනාටම හඳුනා ගත නොහැකි තරමට ප්‍රේම සයුරේ ගිලී සිටියේ ත් දෙදෙනාගේම අවාසනාවට වන්නට ඇත.


සති අන්ත පන්තියේ දී හමුවන ඇය හා පෙම් වදන් හුවමාරු කර ගැනීමට වාසනාවක් ඔහුට ලැබුනේ කෙතරම් නම් පෙරුම් පිරී පසු ද. 


සැමදාම සති අන්තය පැමිණෙන තෙක් ඇයත් ඔහුත් නොසන්සුන්ව සිටියත් . . .සති අන්ත පන්තියේ දී කාටත් හොරා දෑසින් පොවා ගත් පෙම් මදිරා පමණක් නොසෑහෙන බව දෙදෙනාටම වැටහුන ද, දෙදෙනාට නිදහසේ හමුවීමට හැකියාවක් මෙතෙක් කල් නොතිබුණි.


එක් දිනක පන්තියේ විවේක වේලාවේදී ජල කරාමය ළඟ දී හමුවු ඔවුන් දෙදෙනාගේ කෙටි සංවාදය අවසන් වූයේ දෙදෙනාම ඒකමතිකව තීරණයකට එළඹීයයි කිව නොහැක. ඇය අදිමදි කළත් ඇය ද අවසානයේ එකඟ වූවාය.


‘ එහෙනම් ලබන සතියේ උදේම එන්න “


ලබන සතිය එලැඹිනි.ඇය ඔහුටත් කලින් බස් නැවතුමට පැමිණ සිටි වග ඔහු දුර දීම දුටුවේ ය.


“ දැන් කොහෙ ද යන්නේ ? “



“ අපි යමු . . . ම් ම් ම් .. . . . “


“ මොනාද අනේ මෙතැන ඉන්න බැහැ.ඉක්මනට යමු.තව ටිහකින් කට්ටිය පිරුණම අඳුරන අයත් ඒවි 



“ අපි යමු රූම් එහෙකට “



“ රූම් . . . . . . “ අල්ලා ගෙන සිටි ඔහුගේ සුරත අතැහැරි ඇය දෑස් විසල් කර ඔහු දෙස බැලුවාය.


“ ඇයි බැරි ද? “



“ අනේ මට බැහැ.අනික . . .අපි තවමත් හරියට කතා කරළවත් නැහැ. මට ඕනි ඔයාත් එක්ක දවසම කතා කර කර ඉන්න.අත් අල්ලන් ඇවිදින්න “


“ හ්ම් . . .ඉතින් ඒක තමයි. රූම් එහෙකට ගියාට.ඔයාට මගෙන් කරදරයක් වෙන්නෑ ළමයෝ “



“ බැහැ බැහැ . . මට බැහැ. මම යනවා පන්තියට යන්න “



“ එපා එපා යන්නෙපා. . . .එන්න අපි මේ බස් එකේ නගිමු “



හැරී යන්නට ගිය ඇගේ සුරතින් ඇද ගනිමින් , ඔවුන් පසු කර යමින් සිටි බසයට දඩි බිඩියේ නැඟ ගත් ඔහුගේ සිතේ කිසිදු ආකාරයක සැලැස්මක් නොතිබුන ද , ඔහුගේ ක්‍රියාකලාපයට ක්ෂණිකව එකඟ වූ ඇය . . ඒ වන විට ද හිස්ව තිබූ බස් රථයේ පෙම් මුල්ලට ගොස් වාඩි වූයේ ඔහු දෙස අනුරාගය මුසු බැල්මක් ද හෙලමිනි.



ඇය “ අපි කොහෙද යන්නේ අනේ “ යි ඇසු වේ නැත. ඔහු ද තමන් දෙදෙනා කොහේ යනවාදැයි දැන සිටියේ ද නැත. බස් රථය දිගටම ගමන් කරන්නට විය. දන්නා දේස සීමා පසුකරමින් ඉදිරියටම බසය ගමන් කරන්නට විය.



නොදන්නා මිනිසුන් අතර තනිවුනු බව හැඟෙත්ම ඔවුන්ගේ ලෝකයේ මෙතෙක් තිබූ සීමාවන් එකිනෙක ලිහිල් වන්නට විය.



“ ටිකට් ගන්න . . .ටිකට්  . . . .“




“ දෙන්නයි . . . “ සාක්කුවෙන් ඇඳ ගත් රුපියල් සියයේ නෝට්ටුව එළියට ඇඳ ගත් ඔහු කිසිවකු නොවිමසාම දිගු කළේ . . . තරමක කේන්තියක් ද සමඟිනි.



කොන්දොස්තර කිසිවක් නොවිමසු අතර . . .රු.50 ටිකට් පත් දෙකක් ලියා දී බසයේ ඉදිරියට යන්නට විය.



බසය අවසන් නැවතුමේ නතර කරන විට ඔවුන් දෙදෙනාගේ ලෝකයේ මල් පිපී සුවඳ හමමින් තිබුණි.



අවසන් නැවතුමේ අවසානයටම බසයෙන් බැස ගත් ඔවුන් දෙදෙනා තමන් සිටිනා ඉසව්ව ගැන කිසිත් නොදැන නමුදු සිදුවූ දේ ගැන කිසිම විටෙක පශ්චාත්තාප නොවී ය.






නොදන්නා නුවරක වීදි දිගේ අත් පටලන් ඇවිදන් යාම හදිසියේම අහවර වූයේ ඇගේ කටහඬිනි.


“ මට ගෙදර යන්නෝනි “



“ වෙලාව කීය ද? “



“ පහට කාලයි “



“ මොනවා  . . . “



“ ඔවු. .හය වෙන කොට ගෙදර ඉන්නෝනි.නැතිනම් අයියා ඒවි හොයන්න . ඇත්තටම අපි කොහෙද මේ ඉන්නේ “



“ මා ළඟ සල්ලිත් නැහැ. අරූ රූපියල් සීයම අරන් “


“ මා ළඟ තියේ හැටක්  .  . .  අපරාදේ අපි අයිස් ක්‍රීම් කෑවෙන තිබ්බ සල්ලි වලින් “



දෙදෙනා ආපසු බසයකට නැගුන ද නියමිත මුදලින් එහාට යෑමට නොහැකි වූයේ අවාසනාවන්ත ලෙස ටික්කන්ගේ ආගමනයට ඒ බසය ගොදුරු වු නිසාය.


දෙදෙනා එක්ව පයින් යාමට අරන් දැන් බොහෝ වේලාවකි. කොතරම් දුරක් යෑමට ඇත්දැයි දෙදෙනාම නොදැන සිටි නමුදු පාරේ ඉදිරියටම අත්පටලාන ඔවුහු ගමන් කළෝය.


හිටි වනම ගමන බාල වූයේ පාළු පාරේ ඉදිරියෙන් වූ බෝක්කුව මත සිටි අයිආර්සී කොලු රැල නිසාය. නව යොවින් වියේ පෙම්වතුන් යුවලක්..... නොදන්නා දෙදෙනෙක්. දුර සිටම ඔවුන් තමන් දෙදෙනා දෙස බලමින් යමක් කතා කරන අයුරු ද හයියෙන් සිනා සෙන අයුරු ද ඇසේ.


පා පැටලේ. . . “ මෝඩ ගමනක් ආවේ “ දැන් ඔහුට ද එසේ සිතේ.



“ මොනා කීවත් අපි ගණන් නොගෙන යන් හරිද  “ ඔහුගේ අත තදින් මිරිකමින් ඇය කීවාය.


බෝක්කුවට තව අඩි කිහිපයකි. සිතට දිරි ගත් ඔවුන් දෙදෙනා පය ඉක්මන් කරන්නට විය.


“ අඩෝ ව් . . . . . “


ගමන තවත් වේගවත් විය. . .


“ මේ අඩෝ . . . ප්‍රසන්නයා “



කටහඬ පසු පසින්ම ඇසෙන්නට විය.ඔහු නැවතී ආපසු හැරී බලත්ම. ඔහු පසු පසින් පැමිණ සිටියේ ඔහු යන්තමින් හඳුනන  මිතුරෙකි.


“ කොහෙද මචන් මේ . . .  කිරිල්ලියෙකුත් එක්ක “


ඉන් පසු සිදු වූ දෙය විස්තර කිරීම අනුවන ක්‍රියාවෙකයි මට සිතේ. මෙපමණක් පමණක් පැවසිය යුතුමය.


ඇය හරියටම හයට ගෙදර ගියා ය.

18 ප්‍රතිචාර:

මුදියන්සේ said...

ලස්සන්යි,
අවසානේ හිතා ගන්නේ කොහොමද? කිප පැත්තක් තියනවානේ හිතන්න

ටීම් ට්‍රැවලර්ස් said...

පට්ට!
ඒත් අවසානය හිතා ගන්න බැරියෝ...

Chandi said...

මේක ඇරෙන්නට ගොඩාක් වෙලා යනවා සොඳුරු. නංගි, හැමදාම වගේ හරිම ලස්සනයි.

kegalle ruwa said...

සොදුරු සිත, කිලිටි නොකරන්න ඇති නේද අක්කෙ,ආදරයේ "ර" තෙරුම පමනක් නම් ප්‍රමුක,.....
පිලිතුර ඔබට බාරයි....

kegalle ruwa said...
This comment has been removed by the author.
෴සොඳුරු සිත෴ said...

කෙටි කතාවක අවසානය ලේඛකයා ලිවිය යුතු නැතැයි මම සිතමි. අවසානයන් බොහෝමයක් සිතා ගැනීමට ඉතිරි කිරීම සහ කිසිසේත්ම අවසානයක් සිතා ගත නොහැකි කෙටි කතා ද වෙයි....

ඉන් මම ආසා කරනුයේ අවසාන බොහෝමයක් සිතා ගත හැකි ඒවාටයි.
යහළුවා මුදල් දීම හෝ වාහනයක් ලබා දීම (රස්තියාදු බජාර් යාළුවන් තවකෙකුට උදව් කරන්නේ බොක්කෙන්මය) මේ දෙදෙනා මුහුණ පෑ අපහසුතාවයෙන් ඔවුන් මුදා ගත්තා වන්නට බැරිද? ඒ නිසා ඇයට හරියටම 6ට ගෙදර යන්න පුලුවන් වුනා විය නොහැකි ද?

ඔබ සිතනා අවසානයට ද මා කැමැති බව ද පවසමි

අරුණ චමින්ද said...

“ අපි යමු රූම් එහෙකට “


“ රූම් . . . . . . “ අල්ලා ගෙන සිටි උරහිසට බරදී ඇය ප්ලැටීනා පිට නැගත්තාය.

අඳුරන තැන් වෙන්න ඇති. කරේ නගින්න දඟලන කෙල්ලෝ රොත්තක්ම ඉන්නේ..

එය සැබෑවකි.ඒත් ඈ ඒ හැමෝටම වඩා වෙනස් එකියක් බව වචන වලින් කෙසේ කීවත් වැඩක් නැත.ඒ ඈ කොල්ලා නිසා වෙන්ට ඇත.

ඉතිං අතක් වත් නොතියන බවට මම මටම නීති දමාගෙන පුරැෂ ධෛර්ය ටොන් එකහමාරක්ද කරපින්නාගෙන අපි ගියෙමු.

අනික් අය එක්ක ආවමත් ඔහොම කල්පනා කරනවා වෙන්ඩ ඇති?

ඇඳේ සැප පහසුවට ඇලවී කොට්ටයක් බාගෙට කන ගමන් කීවාය.ඒ එක්කම තවත් බොහෝ දේ කීවාය. එකම එක වචනයක් වැරදීම ගැන දුක හිතුණි.අනේ රෑම් එකකට යමු නොකීවානම් කියාය.

කන්නේ මොනාද මං අමාරැවෙන් වචන ගැට හැසීමි.

අර වෙජිටේරියන් ඉන්දියන් රෙස්ටුරන්ි එකෙන් වෙජිටබල් බුරියානි ගේමු !
මම ගිහිං එන්නද?
මමත් එන්නම්.පිස්සුද මෝඩයෝ මාව මෙතන තනියම දාල යන්න?
පිස්සු නැත.කල්පනාව වැඩිය.

කෑම ගෙනත් කවා ගත්තෙමු.හැම දේම ගැන කතා කලෙමුතුරුල් වී නිදා ගත්තෙමු.
පැයකින් ඇහැරුනේ දානේ ගෙදර ගිය යාළුවන් කෝල් කල බැවිනි.

ඇයද හයට ගෙදර ගියාය.ප්ලැටීනා උඩින්ය.

වසර හතරක ඇවෑමෙන් අද අපි දෙමාපියන් වී සිටිමු.එදා ගමන අදත් ඈ විටින් විට මතක් කරයි.මොකක් හෝ දේකට මං නිකමට වත් හරි හරි මං තිතට වැඩේ දෙන්නං යැයි මං කී විට, අනේ මේ.....කියා ඇ නවත්තයි.අතීතයට දුවගෙන ගොස් ඒ පැය හතර වෙනස් කර එන්න මට සිතේ.අපේ දූ ලැබුනට පස්සේ සීරියස්ම සිතෙයි.

kegalle ruwa said...

සොදුරු සිත, කිලිටි නොකරන්න ඇති නේද අක්කෙ,ආදරයේ "ර" තෙරුම පමනක් නම් ප්‍රමුක,.....
පිලිතුර ඔබට බාරයි....

DG said...

ෆට්ට. අන්තිමට මොකද්ද වෙන්නේ කියල මීටර් වෙන්නෑ

Anonymous said...

හරියට 6ට ගෙදර යනවා නම්..ම්ම් මම හිතන්නේ මේ ඉන්න ප්‍රසන්න ඇයගේ සොහොයුරා නම්...එතන නම් ලොකු කලබලයි..

නැත්නම් ඇයගේ පැරණි පෙම්වතෙක්..ඇයගේ ආදරය අපේක්ශා කරන ඇයට සිතෙන් ආදරය කරන ආදරවන්තයෙක්...

එහෙම නැත්නම්ම්ම්...සොසී කියනවා වගේ..මිතුරෙක් පොඩි ගතමනාවක් දිලා තියෙන බස් එකක නග්ගලා හරියටම ගෙදර ඇරියා නම් 6ට..එතන හරි සැහැල්ලුයි..

අකලංක said...

කතාව හොඳා. ඒත් හිතාගන්න බැරි රු සීයක් අතේ තියාගෙන යන රූම් එක කොහේද තියෙන්නෙ කියලා :O

නාඩියා නාඩිරත්න said...

හ්ම්ම්ම්......

දේශකයා said...

ඕක සාමාන්‍ය දෙයක් සොසිග දැනනං ආරදරය කියන්නේ කාමරයේ මුලුලක් තමා

Anonymous said...

YP thats the point

රතී, said...

අවසානෙ පැති කිහිපයක්. කතාව නම් කුතුහලයෙන් කියෙව්වා....

Yasiru Udana Ransara said...

ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
http://sinhapedia.blogspot.com/

දුමී said...

ෂුවර් එකටම යාළුවාගෙන් මෝටර් සයිකලයක් ඉල්ලගෙන කිරිල්ලිව කූඩුවට බස්සවන්න් ඇති :)

සිහින said...

ඔය විදියට යන්න දිහාවක් නැතුව නුවරට ටිකට් අරන් රඹුක්කනින් බැහැල කැන්ටිමෙන් බීම් එකක් බීල ඊගාව කෝච්චියෙ ආපහු ආව හැටි මතක් උනා.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...