..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, November 10, 2012

සැත්කම සහ අතුරු කතා හෙවත් පුන්සඳ වන් දරුවෙක්


බාහිර රෝගී අංශය දෙසින් ඇසෙන්නට වූයේ දැඩි කාලගෝට්ටියකි.ගැහැණියක විලාප තියන හඬත් ,පිරිමියකුගේ නොපැහැදිලි නමුත් උස් හඬින් කෙරෙන බැන වැදිල්ලත් , වඩාත් උස් හඬින් නැගෙන පරුෂ වදන් රැසකුත් ඇසෙන්නට විය.

මාගේ නැඟනිය ට නම් මේවැනි සිදුවීම් සාමාන්‍යකරණය වී ඇති බැව් මට සිතුනේ ඇය කිසිම හැල හොල්මනක් නැතිව ඇය යෙදී සිටි කාර්යයේ දිගටම නිමග්න වී සිටි නිසා ය. ඒ පමණක් නොව ඇය යෙදී සිටියේ ද රෝගියකු වෙනුවෙන් සිදු කළ යුතු බාරදූර රාජකාරි කටයුත්තක නිසා ඒ වෙත තම මුළු සිතම යොමුව තිබීම ද බාහිර පරිසරයෙන් එන වෙනස්කම් කෙරෙහි සංවේදී නොවීමට හේතු වන්නට ඇත.

ඇය දෙසට යොමු වූ  දෑස් මුදා ගත් මම , කාලගෝට්ටිය ඇසෙන දෙසට දිගු පියවර තැබූ වෙමි.බාහිර රෝගී අංශයේ මී වදයක් මෙන් මිනිසුන් රැස් කයි. වැඩිමනක් පිරිස රැසව සිටියේ කාලගෝට්ටිය බැලීමටයි.

ගැහැණිය විලාප දෙයි , පිරිමියෙකු ඇයට පහර දෙන බව දැනේ.පරුෂ වදන් ගලා යයි. එකිනෙකාගේ උපකල්පන මත උපන් කතා කටින් කට පැතිරෙන මුණු මුණූව ද තියුණු වෙයි.කිසිවකුත් නියම කතාව නොදන්නා බව පමණක් එයින් හැඟී යයි.

නගරයෙන් ඉතාම දුර බැහැරින් පිහිටි ග්‍රාමීය රෝහලක් වූ මෙහි සේවයට නැගණියගේ පළමු පත්වීම ලැබී තිබුන නිසාත් , ඇයට නිවසට ඒමට තරම් විවේකයක් නොතිබුන නිසා ත් මම ඇය බැලීමට පැමිණියෙමි. නගරයෙන් බැහැර වූ සුවදායක පරිසරය මා සිත් ගත්තත් එහි සිටිය මිනිසුන් උගත් කමින් අඩුවූත් සරල දිවිපෙවතක් ගෙන ගියවූත් වඩ වඩාත් පරිසරය හා බැඳුනු ජීවිත ගත කරන්නන් පිරිසක් විය.

“ අනේ .............. ! ! ! බුදු දොස්තර මහත්තයෝ . මේ මිනිහ මාව මරන්න හදනවා “

රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරීතුමාගේ පය පාමුල වැටුණු ගැහැණිය මොර දෙන්නට වූවාය. ඇයගේ ලැම වැසී තිබූ හැට්ටය අතරින් ඇගේ ලිහිල් ලැම ඇය හඬන තාලයට  අනු තාල තබන්නට විය.විශාල තෙත පැල්ලමක් දෙකක් පපුවේ ලිහිල් තන අතරේ දකිත්ම ඇය අලුත උපන් බිළිදියකගේ මවක් බැව් අනුමාන කළ හැකි විය.

රෝහලේ , වෛද්‍යවරයා ගේ දෙපතුල ඉදිරියේ වැඳ වැටෙන ගැහැණියගේ කොණ්ඩා කරලින් අල්ලා ගත් පිරිමියා , වඩ වඩාත් තීව්‍රර හඩින් අයට පරුෂ  වචනයෙන් බැන වදින්නට විය.

“ යකෝ , උඹෙ මිනිහා මම. තොට වේසකමේ යන්න වඳ කර ගත්තම ලේසියි නෝ.තෝ හිතුවද ගෑණියේ මම ඒවට ඉඩ දෙයි කියලා. මම අද උඹව මෙතන බාවනවා දැන ගනිය.“

“ බුදු දොස්ත..............ර මහත්ත යෝ................ “

සිදුවන දෙය ගැන යම් තරමකට අවබෝධ කර ගත් දොස්තර මහතා ඇයත් ඔහුත් අතරට පැන රණ්ඩුව සමථයකට පත්කිරීමට වෙහෙස දැරූ වද අවසානයේ දී සිදු වූයේ දොස්තර මහතාට ද ශුද්ධ සිංහලෙන්ම අසා ගැනීමටයි.

“ යකෝ මේ මගෙ ගෑණි............................. “

ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගත් ඔහු ඇයට බනිමින් අතින් පයින් ගහමින් ඇය ඉවතට ඇඳ ගෙන යන්නට වූයේ යක්ෂයෙකු සේය.

“ මනුස්සයගෙ අකැමැත්තෙන් අපිට ඔය සැත්කම කරන්න බැහැනේ අක්කේ “ සියල්ල අසා සිටි නැගණියගේ පිළිතුර එය විය.

“ ඒත් ඇයි මිනිහ අකැමැති.? දැනටම ළමයි පහක් ලු .කරන්නෙත් කූලි වැඩලු. හරි පුදුමයි දුප්පත් මිනිස්සු මේ තරම්ම දරුවන්ට ආදරේ ද ?“

“ අයියෝ නැහැ අක්කේ. . . . . දරුවන්ට ඇති ආදරේකට නෙමෙයි.ගෑනි ගැන තියෙන සැකේට.LRT කරාම ළමයි හම්බෙන්නෙ නැහැ කියල එයාල දන්නවා.එතකොට ගෑණි අයාලෙ යයි කියල ඒ මිනිස්සුන්ට සැකයි “

“ ඒකත් එහෙම ද ? “

මට මේ සිදුවීම සිහි වන්නට වූයේ අද දින ද රෝහලේ දී එල්ආර්ටී සැත්කම සඳහා හාමුදුරුවරු සහ ගිහියන් කිහිපදෙනෙක් විරෝධය පාන්නට එක් වූ බව සිහිවීය.

මේ වගේ සතුටින් ,සැනසීමෙන් ඉන්න තියෙනම් කොච්චර දරුවො හිටියත් කමක් නැහැ තමයි
 

සිංහල ජාතිය වඳ වී යනවායි පවසමින් එල්ආර්ටී සැත්කම සඳහා එරෙහි වීම කෙතරම් ජාතිහිතෛශීයි දැයි මට නම් සිතා ගත නොහැකි පැනයකි.

දරුවන් බිහි වී අයාලයේ යද්දී, කෑමට බත් ඇටයක් නොදෙන මිනිසුන් “ කාලකණ්ණියා “ යැයි දරුවන්ට නම් තබද්දී එල්ආර්ටී සැත්කමට විරෝධය පෑම කොතරම් නම් මානූෂිය වේද ?

මීට වසර ගණනාවකට පෙර දී නම් LRT සැත්කම  සිදු කරන ලද්දේ කිසිම කරුණු විමසීමක් සිදු නොකරය. සැත්කමින් පසු වෙහෙස වී වැඩ කළ නොහැකි නිසා සැත්කමට ලක් වූවනට මුදලින් ආධාරයක් ද සිදු කරන ලදී. එය වරදවා වටහා ගත් ජනයා පෝළිමේ පැමිණ සැත්කම සිදු කරවා ගෙන අතට දෙන මුදල ද රැගෙන ගෙදර ගියේ අනාගතයේ දී සිදුවන ප්‍රතිඵල ගැන කිසිම තේරුමක් නැති කමින් වන්නට ඇත.

එසේම ඇතැමෙකු දරුවන් මිය ගිය විට ද, වෙනත් විවාහ සඳහා යොමු වූ විට ද, සිදු කර ගත්
LRT සැත්කම රිවස් (යථාතත්වයට) පත් කර ගැනීමට ද පැමිණි බැව් නැගණිය කීවා මතකයේ ඇත.

නමුදු දැන් තත්ත්වය එසේ නොවේ.

දරුවන් කී දෙනෙක් සිටී ද?
ඔවුන් නිරෝගී තත්ත්වයේ පසුවන්නේ ද?
මවගේ වයස?
පියාගේ කැමැත්ත

මෙකී නොකී බොහෝමයක් කරුණු අවසානයේ දී පමණක්
LRT සැත්කම සිදු කරයි. බොහෝ සාමාන්‍ය පවුල් වල විවාහක යුවල් නම් දරු උපතින් පසු රෝහලේ දීම මෙම සැත්කම සිදු කර ගන්නේ සිය කැමැත්තෙනි. වැඩි වන ජීවන වියදමත් දැරිය නොහැකි පවුල් බරත් දරුවකු කුසට ආ පසු සිතා පලක් නැති කරුණක් බැව් වටහා ගැනීමට ජාතිහිතෛශීන් වීම අවශ්‍ය නොවේ.එතෙකුඳු නොව එසේ නම් වෙනත් උපත් පාලන ක්‍රම සියල්ල සඳහා ද මෙම විරෝධය නැඟී ආ යුතු නොවේ ද?

සිංහල ජාතිය වැඩි වෙනවාට මා ද කැමැත්තෙමි. නමුත් එය ප්‍රමාණයෙන් පමණක් වැඩිවීම ,හිස් ගෙඩි පමණක් වැඩි වීම පමණක් සෑහේද යනු ගැටළුවකි. ගූණාත්මක සංවර්ධනයක් නොමැති කුමන ජාතියක් වුවද සංඛ්‍යාත්මකව වැඩිවී ඇති පලය කුමක් ද?

දෙමාපියන්ට එකම සම්පත දරුවන්ය. දරුවන් සම්පතකි.ඒ නිසිමඟ යවා නිසිලෙස උවමනාඑපාකම් සොයා බලා සමාජයට දායද කළ හැකි නම් නොවේ ද?

පාරේ අයාලෙ යන දරුවන්,සිඟාකන දරුවන් කාලකණ්ණීන් ලෙස සලකන යුගයක තවත් එක් කාලකණ්ණියෙක් බිහිකිරීමට වෙර දරන්නේ ද ? කාලකණ්ණියෙකුට අත දීමට සූදානම් වන්නේ ද යන්න ආකල්පමය ගැටලුවක් මිසක වෙනත් ජාතියක් අභිබවා අපි එක වීමට ගන්නා තරඟයක් ලෙස මා නොදකිමි.

’පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙයි ලොව ගන අඳුරු
නෙක තුරු රැසින් එලෙසට නොම වේය දුරු’

11 ප්‍රතිචාර:

Dasun Madusanka said...

හිස් වලින් පමණක් ජාතිය වර්ධනය කලාට පලක් නැත මොලය හිස් නම්....
Lrt එකට විරුද්ධ උනා කියලා ජාතිය ගොඩ නැගෙන්නේ නැහැ...

බස්සා said...

ඇත්ත කථාව.. ඔළු ගොඩි විතරක් වැඩි වෙලා වැඩක් නැහැ..
ඒවා ඇතුලේ තියෙන මොළගොඩිත් පුරවන්න ඕනේ...
ඒත් දැන් යන් ක්‍රෙම් අනුව අපේ අනාගතය ගැන දැනෙන්නේ ලොකු බයක්..
දවසින් දවස යන්නේ වලට...
මුක්ධ පාලකයෝ සහ උන්ට ආවඩන වන්දිභට්ටයොත් එහෙයියොත් ගොට්ටොත් ඉන්න ජනතාව ඉලක්කමින් වැඩි උනාට රටට සෙතක් නැහැ තමයි...

හිරු said...

ඔය මේ හාමුදාරුවෝ ටිකක් ටීවී එකේ මූණ දා ගන්න කරපු ස්ටස්ට් එකක්... මට නම් හිතෙන විදියට...

Bindi said...

අසාධාරණයි . ගැහැණියට තමන්ගේ ගර්භාශයට වත් හිමිකමක් නැද්ද . ගබ්සාව එපා කියල කිව්වට තාත්ත නැති ළමයට අවජාතකය කියනව . එල් ආර් ටි එපා කිව්වට වැඩක් නැහැ . බැරි නම් කොහොමද ළමයි ලොකු මහත් කරන්නේ . ආයෙම පුංචි පවුල රත්තරන් කියල පටන් ගත්ත නම් හරි . කොයි ජාතියටත් එක සමාන වෙන්න .

Montero said...

Good post. Thank you.

Podi Kumarihami said...

ඔය වගේ දේවල් පිරිමින්ට කරන්ට ඉඩ දෙන සමාජයක් තියන එකේ වැරැද්ද. කට්ටියම එකතු වෙලා ඒ මිනිහට තඩි බෑවා නම් හරි.

Naleen Dilruksha said...

බොහොම අනුවේදනීය කතාවක්. මේවායේ සමාජ තත්ත්වයන් කවදාක හරියයිද අපේ රටේ. හැමෝම තමන්ගේ ව්‍යපෘතිවල විතරයි.
එන්න සමකය වටේ රවුමක් යන්න

මාතලන් said...

බොහෝම වටිනා ළිපියක්. අර පුරුෂයා එසේ හැසිරෙන්නේ ඇයිදැයි මම කියල දෙන්නම් සොසි. මම කොළඹ ජීවත් උනත් නිවාඩුවක් ලද විගස යන්නේ බද්දේගම කියන සුන්දර ගමට. ඒ ගමේ වටේ පිටේ ඉන්නේ ඔබ කියපු මිනිසුන්. මේ අයට අධ්‍යාපනයක් නෑ. මෙයාලට ඉන්න ලොකුම අය තමයි පන්සලේ හාමුදුරුවොයි. ප්‍රාදේශීය දේශපාලකයයි. හාමුදුරුවන්ට මෙයාලා පට්ට බයයි. හේතුව වෙන මොකුත් නෙමේ තමන්ගේ පාංශූකූලෙට එන එකක් නෑ කියලා. ඒ නිසා කසිප්පු ගහලා හරි පන්සලේ ඕන වැඩක් කරනවා. මේ අය අහන එකම සම්මන්ත්‍රණය, වැඩ මුළුව, පාඩම තමයි ළොකු හාමුදුරුවෝ මළ ගෙවල්වල දානේ ගෙවල්වල බන ගෙවල්වල දෙන දේශනේ. ඒක ඉස් මුදුනින් පිලිගන්නවා. එයා මොනවද කියන්නේ. පරණ බයිලා සැට් එක. ගෑණු කවුරුද වරදෙ නොබැදෙන. දෙමළු මරමු, ගහේ අතු ගහට බර නෑ. කියන ගල් යුගේ බයිලා ටික. ඉතින් සැත්කම් කොරගන්න ගියාම මූ ගෑණී මරන් කනවා. මූ සැත්කම කරන්නෙත් නෑ. කෙලින් වෙන එකක් නෑ කියලා බයට. ඔන්න අපේ ගම.

පූසා said...

දැන් දැන් මේ හාමුදුරු වරුයි බෞද්ධ භක්තිකයොයි එක්කහු රටේ හැම වැඩකටම ආගම ගාවගන්න එක තව ඉස්සරහට මීට වඩා සෑහෙන ප්‍රශ්න ඇති කරයි කියලා මට නිතරම හිතෙනවා. ඊටත් වඩා බොදු බල සංවිධානයක් කියලා එකක් අටවං නීතිය අතට ගන්නට යෑම(රටේ නීතියන් නැති වුණත්) ලොකු අවුලක්! ආගම් තියෙන්නේ ඕවට නෙමෙයි. වෙන වෙන වැඩ වලට!

Chandi said...

ඕක ට ඔය තරම් කෑ ගහන්නට අවශ්‍ය නෑ සෝසී, ඔයා කියනව වගේ පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරූ........
මොකට වදනවද? තමන්ට කන්ට බොන්ට වත් දී ගන්නට බැරි නම්.

තොටියා said...

මේක පෙනවාට වඩා සංකීර්ණ ප්‍රශ්නයක්.දෙපැත්තක් තියනවා.ඇත්ත ගුණාත්මක වර්ධනයක් නොවී හිස් ගෙඩි ගානෙන් විතරක් ජාතියක් වැඩි වෙලා ඒකෙ වැඩක් නෑ. හැබැයි එහෙමය කියලා 70% තිබුන මහා ජාතිය ටික ටික සුළුජාතියක් බවට පත්වෙන්න දීලත් බෑ.
මට හම්බවෙලා තියනවා දරුවන් නමයක් ඉඳලත් බිරිඳගේ LRT සැත්කමට කැමැත්ත නොදුන්න මුස්ලිම් පියෙක්. නමවැනි ප්‍රසූතිය වෙනකොට අම්මට වයස 50 වෙන්න ආසන්නයි. අධිරුධිර පීඩනේ ඇවිල්ලා මාරක සංකූලතාත් ආව. ඒ මොනවා පැහැදිලි කරලත් ඒ මිනිහා නොවේ කැමැත්ත දුන්නේ. ඒවගේ අන්තගාමී වෙන එකනම් වැරදියි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...