..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, November 27, 2012

පාර දිගේ



 
“ ආයෙ කතා කරන්නෙපා මට . . . . . . මම යනවා “

එපා . . . ! ! ! කියන වචනෙ ඇවිත් එයන්නෙ ගැට කෑල්ල  නිසා උගුරෙ හිර වුනා.



තව පාර ඉස්සරහට ඉස්සරහට ඉස්සරහටම තිබ්බා . . . . පේන තෙක් මානෙ කවුරුවත්ම නැහැ. පෙම්වතුන්ට නම් කියාපු පාර , හැබැයි බර වාහන තහනම්.

මම බලාන හිටියා. එයා පාරේ දිගටම ඉස්සරහටම ගියා.

ඉස්සරහටම . . . . ඉස්සරහටම . . . . . .ඉස්සරහටම . . . .ඉස්සරහටම . . . . . . ම්හ්. . . . කාටදෝ බයෙන් වගේ වේගයෙන්ම ගියා . . . .ඉස්සරහටම  . . . .


කවදාවත් අවසානයක් නොපෙනෙන පාරක ඉදිරියටම ඔහු යමින් හිටියා. ගොඩාක් දුර ඈතින් කවුදෝ . . . කාටදෝ අතවනනව වගේ පෙනුනා. ඒ කාට ද? එයාට ද ? මට ද? මම හිතන්නෙ එයාට. ඒ එයාගේ කවුරු හරි වෙන්නැති.


සමහර විට එයත් එක්ක මේ පාරේ මටත් කලින් ආපු කෙනෙක් වෙන්නැති. මාව හමු වෙලා මෙයාගේ ගමන බාල වෙන්නැති. එයාගෙ ගමන දිගටම යන්නැති. මෙයා නැති බව දැන ගෙන එයා නවතින්නැති. මෙයාටත් එයාව මතක් වෙන්නැති. ඒකයි මේ. . .  ඉක්මනටම ඉස්සරහටම යන්නේ.


වෙන කොහේ දෝ යමින් හිටපු මම මෙයත් එක්ක යන්න පටන් ගත්තෙ කවදද කියලා මට මතක නැහැ. කලින් යමින් හිටපු ගමන මොකක් ද කියලත් මට මතක නැහැ.


මම . . . පාර දෙපැත්ත බැලුවා. මහ හද්ද කැලේ. කැලේ පනින්න මම බයයි.


මම . . .  පාර ඉස්සරහ බැලුවා. එයා දැන් ගොඩක් දුර ගිහින්. ඒත් අල්ලගන්න බැරි නැහැ. දුවල ගිහින් අතින් අල්ල ගන්න හිතෙයි කියල මට බය හිතුනා. කී සැරයක් නම් මම එයාව ,එයා මාව එහෙම ලුහු බැඳල අල්ල ගත්ත ද?


ඒත් මේ සැරේ . . . . . අරය තාමත් එයාට අත වනනව. එයා වේගයෙන් ඉස්සරහටම යනවා.


මම . . . . ආපහු හැරුනා.



එයා ඉස්සරහට වේගයෙන් ගියා.


මම ආපහු බොහොම හිමින් ගියා.


බිම බලාන යද්දි . . . . මට බිම වැටිල තිබ්බ අපේ මතක හම්බ වුනා.


පළවෙනි මතකය අහුලා ගන්න නැමෙන්න අමාරු වුනා. මොකද මම එයත් එක්ක යද්දි ගියේ හරි කෙළින්. ගොඩාක් කල් මම නැමෙන්නෙ නැතිවම එයත් එක්ක ගමන් කරල තිබ්බා.


පළවෙනි මතකය අහුල ගද්දි
අත වෙව්ලුවා . . . .ඒත් ඒ මතකය උණුසුම්ව තිබුනා. ආදරය පිරිලා තිබ්බා.

මම දිගටම යමින් හිටියා.ඔහුට විරුද්ධ දිසාවට ආපහු යමින් හිටියා. මතක අහුලමින් , මතක කියවමින් , මතක පරිස්සමින් පිසදාමින් යමින් හිටියා.

සමහර මතක පාදා ගන්න වෙලා ගියා. ගස් කොළන් වලින් වැටිච්ච කොළ වලට යට වෙලා තිබ්බ මතක , අනිත් මත වලට වඩා ගොඩාක් ලස්සන වුනා. .. තව කොයි තරම් මතක ඇද්ද වැටිලා මේ පාර දිගේ. . . . . .

අහසෙ හඳ පායන්න ඇති. කුරුල්ලො සින්දු කියන්න ඇති.සමණල්ලු මල් පැණි බොන්න ඇති. කොටියෙක් මුවෙක්ව මරන් කන්නැති.  මේ සියල්ල සිද්ධ වෙද්දිත්. . . පාර එහෙමම තිබ්බා.

මම දිගටම ආපස්සට යමින් හිටියා.

එයා දිගටම ඉක්මනින් ඉස්සරහට යනව ඇති.
-------------------------------------------------------------

මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ළංව දුක බෙදා ගන්න බැරි කම දුකකී
මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමු වීමත් වාවනු නොහැකී


-------------------------------------------------------------

8 ප්‍රතිචාර:

dreams said...

හරිම ලස්සනට ලියලා තියනවා..මාවම මැවුනා..:)

Naleen Dilruksha said...

හිත බැඳී ගිය නිර්මාණයක් සොයුරිය.
එන්න සමකය වටේ රවුමක් යන්න

sanjeewa gamlath said...

soduru sithaka soduru sithuwili..kenek widinawa anith kena widawanawa.widinneth widawanneth adarema thama..

Bindi said...

කියන්න වචන නැහැ ..සොඳුරු ගීයක් ..සොඳුරු පෙර වදනක් ...

රතී, said...

ගොඩක් ලස්සන පද බැඳුමක්...මතක වලට අලුත් තේරැමක් එනවා මේක කියවද්දී...

කවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

මයියා ( Mayya) said...

පෞද්ගලික අත්දැකීමක් දැයි සිතෙන් තරමට තාත්විකය

ලයාන් said...

ලස්සන නිර්මාණයක්.. :)

දයානන්ද රත්නායක said...

අපූරු සිතුවිල්ලක් නිර්මානාත්මකව ලියා තිබිම සතුටක්.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...