..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, November 24, 2012

අවසාන තුනක කතාවක්

අවසාන තුනක කතාවක්

සුදු පාට වේලයේ පුංචි සිදුරු අතරින් ඇගේ රවුම් ඇස් හිටියේ හරිම විපරමින්, ඒ විපරම් කිරීමට වේලයෙන් ලැබුනෙත් මහඟු පිටු වහලක්. ඇයට ඇගේ ඉදිරියේ ඉන්න සියලු දෙනා පෙනුනත් ,ඇගේ ඇස් වල විපරම අනිත් අයට නොපෙනීම ඇයට ගෙන දුන්නේ සහනයක්.

තවමත් නැහැ . . . . ! ! ! අගේ හිත හීල්ලුවා. හීල්ලිල්ලෙ දිග පළල ළඟම හිටපු මනමාලයට දැනෙයි කියල ඇයට දැනුනේ තමාගෙම හීල්ලුම් හඬින් තමාම ගැස්සිලා යද්දියි.

“ මොකද ළමයො මේ. . . . ඉවසල ඉන්න කෝ . . .  හාද්දක් දෙන්නම් පහළට බැහැපු ගමන් “

කණට ළං වෙලා ඔහු කියද්දි, හිත ගත සලිත වුනත්, ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිචරයක් දක්වපු නෙතින් ගලා ගියපු කඳූලක් කම්මුල් දිගේ රූටල ගිහින් කිටි කිටියෙ හිර වෙච්චි පපුව තුලට කිදා බැස්සා.

“ කෝ . . . ! ! ! දකුණු කකුළ දකූණු කකුළ “

පෝරුවෙන් බහින නැකත ඇවිත්. 

කෝ . . . තවමත් නැහැ. . . . . . .! ! !

එක සීරුවට ඊට පස්සේ , කේක් කැපිලි , කේක් කැවිලි , සවුදිය පිරිලි  , හඳුනා ගැනිලි , අතට අත  , කම්මුලට කම්මුල , බොරු හිනා, සුබ පැතුම්....................


කෝ . . . තවමත් නැහැ. . . . . . .! ! !

“ මේ . . . ඔයාට බඩගිනි ද? “

“ හ්ම් . . . නැහ් . . . . .  “

“ වතුර තිබහ ද ? “

“ නැහ් අනේ නැහ් . . “

“ එහෙනම් චූ බරද ළමයෝ . . .  .? “

“ අයියෝ නැහ් . . . . “

“ එහෙනම් මොකද ඔය මූණෙ හැටි ? හිනා වෙලා ඉන්න කො ළමයෝ. රෑට කරන දේවල් ගැන දැම්ම හිතන්න යන්නෙපා “

“ ඔයැයිට පිස්සු අනේ . . . . එහෙම දෙයක් නැහැ “

“ එහෙනම් කොහොම දෙයක් ද ? කවුරු හරි එනකම් මඟ බලනව ද? “

“ හ්ම් . . . . “

දවල් කෑම මේසය හරිම ජයට තිබ්බත්, කන්න කිසිම පිරියක් ඇයට තිබ්බෙ නැහැ. ඇගේ තෝන්තු ගතිය අනිත් අය දැන ගන්නවට අකැමැති වුනත් , ඇගේ හිතේ පිරිල තිබ්බ නොරිස්සුම , දුක, සංතාපය සහ බලාපොරොත්තු කඩවීම නිසා ඇති වෙච්චි කණගාටුව හංගලා තියා ගන්න පුළුවන් කමකුත් ඇයට තිබ්බෙ නැහැ.

පිඟානට කොහෙන්ද මන්දා එකතු වෙලා තිබ්බ දේ ඔහේ අනලා ඇය ඔහුට කැවුවා. නැහැ .හරියට පින්තූරය ගන්න බැරි වුන නිසා ඇයගෙ බත් පතේ බත් බාගයකටත් වඩා ඔහුට කවන්න ඇයට සිද්ධ වුනා.

ඔහු නම් ඇගේ කටට ළං කරපු බත් කට ඇයට කන්න නොදී හරියට විනෝද වුනා. ඇගේ රිදිච්ච හිත තව තවත් රිදෙද්දි , තරඟය අතහැර දමන්න හදන කොටම , එය තේරුම් ගත්ත මනාලය ඔහුගේ අතේ තිබ්බ සීතල වෙච්චි බත් පිඩ ඇගේ කට ඇතුලටම දැම්මා.

ඇය ආයෙත් , මංගල ශාලාවේහැම මේසයක් ගානෙම ඇගේ ඇස් යොමු කරා. බලාපොරොත්තු සුන්වුනු දෑස් ඊළඟට යොමු වුනේ මංගල ශාලාවේ ඇතුලු වීමේ දොරටුව දිහාට .




කෝ . . . තවමත් නැහැ. . . . . . .! ! !



මෙවර නම් ඇගේ සුසුම් හඬ ඇය පිට කරේ තමාගේ දකුණු පැත්තේ ඉන්න මනාලයටවත් නොදැනෙන්න.
සමුගැනීමේ හෝරාවත එළඹුනා. අම්මාගේ දෑස් වල තිබ්බෙ දුක් කඳුළු නෙමෙයි කියල ඇයට හිතුනා. ඇගේ ඇස් සතුටු කඳුළින් පුරවන්න ඇය ගතපු මේ පියවර ගැන දුක් නොවී ඉන්න ඇය තීරණය කරා.


ඒත් ඇගේ දැසෟ වල විමසිලිමත් බව තාමත් නතර වෙලා තිබ්බෙ නැහැ. මංගල ශාලාවෙන් කවුරුත් එළියට බැහැල කණ ළඟට පළල් කරපු කටවල් හදාගෙන හිටියේ ඇයට සමුදෙන්න.


ඒත් . . . . . .


ජීවිතය තියෙන තාක් කල් කිසිම දවසක සමුගන්න , සමුදෙන්න බැරි කෙනෙක් වෙනුවෙන් ඇගේ විමසිලි නෙත් තාමත් මඟ බලන් හිටියා.

කෝ . . . තවමත් නැහැ. . . . . . .! ! !



“ නඟින්න කා එකට . අඬන්න බැරියෑ පස්සෙ මට තුරුල් වෙලා. නඟින්න කෙල්ලෙ “

කරන්න දෙයක් නැතිකමටම ඔහු ඇරන් හිටපු කාරයේ දොර අතරින් ඇගේ මනාලි සිරුර කාරයට ඇතුළු වුනා.

සියල්ලන්ගේ ජය ඝෝෂා මැද්දේ , කට කැපෙන විහිළුවකුත් කරන්ම ඔහු කාරයට ගොඩ වෙන්න එහා පැත්තෙ දොර ඇරියා විතරයි . . . . .





අවසානය පළමු විදිහ . . . . . .


වේගයෙන් ආපු වාහනයක් මංගල රියට මූණ දාලා , බොහොම භයානක සද්දකින් තිරිංග තද කරලා නතර කරේ මංගල වාහනයේ මූණතේ ගෑවි නොගෑවි.

හදිසියේම දඩ බිඩියෙන් එයින් බැහැපු තරුණයගෙ ඇඟේ ලේ තැවරී තිබුනා. එය දැකපු මනමාලි ත් තමන් වාඩි වෙලා හිටපු අසුනෙන් බහින්න සැර සෙද්දි මනාලයා ඇගේ අත තදින් අල්ලා ගත්තත් , එය ගණනකට නොගත් ඇය , තකහනියක්ම වාහනයේ දොර ඇරගෙන බිමට බැස්සෙත් , ඒ සුනංගුවෙන් ඇය වෙත ආපු තරුණයා ඇගේ කණට කරල මොනවදෝ කලබලයෙන් මිමිණුවෙත් , සිහින් ඉකියක් වත් නැතිව මහා වේදනාවක් උසුලන් හිටපු ඇය ත් ඇගේ විමසිලිමත් බව උසුලාන හිටපු දෑසත් ඒ සියල්ල නිමාවක් බවට පත් කරගෙන මහ පොළව මත ඇඳ වැටුනෙත් එකම වෙලාවක.

“ එයා ආයෙ කවදාවත් එනේකක් නැහැ . . . . . . “ විමසිලිමත් දෑස් වලට අවසාන පණිවිඩය ලැබුනෙ එහෙමයි.

( මට මෙතැනදි ඕනි වුනේ. ඇගේ හිතේ ඔහු වෙනුවෙන් ඉපදිලා තිබ්බ ආදරය, ආයෙ කවදාවත් ඇගේ හිතට එන්නෙ නැති විදිහට මරල දාන්න )



අවසානය දෙවන විදිහ . . . . . .


මනාලිය හිටපු පැත්තට කලබලයෙන් දුවගෙන ආපු ගැහැණු ළමයෙක් ,මනාලිය වාඩි වෙලා හිටපු ආසනය දෙසට පහත් වුනෙත් මනාලිය ඇයට සවන් දෙන්නට වීදුරුව පහත් කරෙත් හරියටම දෙන්නා කතිකා කර ගත්තා වගේ. ගැහැණු ළමයා මනාලියගෙ කණට කරල මොනාද මිමිණුවා. කලබල වුනු මනාලියගෙ විමසිල්ල පිරුණු ඇස් දෙක දිලිහුනා. ඒ එක්කම ඇය කාරයේ දොර අරින්න හදනාවත් එක්කම , මනාලයා ඇගේ අත තද කරලා අල්ලා ගත්තා.

“ ඔයාට පිස්සු ද? කොහෙද බහින්න හදන්නේ. ආහ්. . .ඒක නම් හොඳ වැඩක් නෙමෙයි. ‘

“ විනාඩියක් දෙන්න, මට හරි චූ බරයි “ ඇය කීවේ හරිම සතුටකින්.

කවුරුත් කුතුහලයෙන් බලා ඉද්දි, කාටත් හිනා වෙලා සංග්‍රහ කරපු ඇය , මංගල ශාලාව තුළට දිව ගියේ ඉක්මනින් එන බව හඬ නඟා පවසමින්.

මංගල ශාලාව කොණට වෙන්නම , ඇය බලාපොරොත්තුවන් කෙනෙක් ඇයට පිටුපාලා ඇය එනකම් බලා ඉදලා.

පිටුපෑවත්  ඒ කවුද කියල අඳුනා ගන්න ඇයට අමාරු වුනේ නැහැ. දුවගෙන ගියපු ඇය තමාට පිටුපාලා හිටපු ඔහුගේ උරිස් අතරින් දෑත් යවලා උදේ ඉඳන් ඇස් වලින් පිට වෙච්චි කඳුළු එකතු කරපු පපුව ,ඔහුගේ පිටට හේත්තු කරලා ,ඔහුට තුරුළු වුනේ දෑසින් වැටෙන කඳුළු ඔහුගේ සුදු කමීසයට උරා ගන්න ඉඩ දෙන ගමන්.

“ ඇයි මෙච්චර පරක්කු වුනේ “ ඉකිගැසුම් අතරින් ඇය අහද්දි, උදේ ඉදන් දැනුනු වේදනාව පරයමින් ක්ෂණිකව හට ගත්ත වේදනාවක් ඇගේ හදවතට දැනුනේත් ,ඔහු අත තිබ්බ යම් දෙයක් ඇගේ සිහින් කය පසාරු කරන් ගියෙත් එකම වෙලාවට වගේ.

අයා ගත් ඇස් ඔහු දෙසම බලාන ඉද්දි,අවතැන් වෙච්චි සිරුර ඔහුගෙ ඇඟට බර වෙද්දි , ඇයව තරයේ බදා ගත්ත ඔහු කීවේ
“ ඔයා හැමදාමත් පරක්කුයි . . .  “ කියලා.

( මට මෙතැනදි ඕනි වුනේ. ඔහුගේ හිතේ ඇය වෙනුවෙන් ඉපදිලා තිබ්බ ආදරය, ආයෙ කවදාවත් ඔහුගෙ හිතට එන්නෙ නැති විදිහට මරල දාන්න )


තෙවන අවසානය

මනාලිය හිටපු පැත්තට කලබලයෙන් දුවගෙන ආපු ගැහැණු ළමයෙක් ,මනාලිය වාඩි වෙලා හිටපු ආසනය දෙසට පහත් වුනෙත් මනාලිය ඇයට සවන් දෙන්නට වීදුරුව පහත් කරෙත් හරියටම දෙන්නා කතිකා කර ගත්තා වගේ. ගැහැණු ළමයා මනාලියගෙ කණට කරල මොනාද මිමිණුවා. කලබල වුනු මනාලියගෙ විමසිල්ල පිරුණු ඇස් දෙක දිලිහුනා. ඒ එක්කම ඇය කාරයේ දොර අරින්න හදනාවත් එක්කම , මනාලයා ඇගේ අත තද කරලා අල්ලා ගත්තා.

“ ඔයාට පිස්සු ද? කොහෙද බහින්න හදන්නේ. ආහ්. . .ඒක නම් හොඳ වැඩක් නෙමෙයි. ‘

“ විනාඩියක් දෙන්න, මට හරි චූ බරයි “ ඇය කීවේ හරිම සතුටකින්.

කවුරුත් කුතුහලයෙන් බලා ඉද්දි, කාටත් හිනා වෙලා සංග්‍රහ කරපු ඇය , මංගල ශාලාව තුළට දිව ගියේ ඉක්මනින් එන බව හඬ නඟා පවසමින්.

මංගල ශාලාව කොණට වෙන්නම , ඇය බලාපොරොත්තුවන් කෙනෙක් ඇයට පිටුපාලා ඇය එනකම් බලා ඉදලා.

පිටුපෑවත්  ඒ කවුද කියල අඳුනා ගන්න ඇයට අමාරු වුනේ නැහැ. දුවගෙන ගියපු ඇය තමාට පිටුපාලා හිටපු ඔහුගේ උරිස් අතරින් දෑත් යවලා උදේ ඉඳන් ඇස් වලින් පිට වෙච්චි කඳුළු එකතු කරපු පපුව ,ඔහුගේ පිටට හේත්තු කරලා ,ඔහුට තුරුළු වුනේ දෑසින් වැටෙන කඳුළු ඔහුගේ සුදු කමීසයට උරා ගන්න ඉඩ දෙන ගමන්.

“ අඬන්නෙපා මැණික. . . “


ඇයව තමා වෙතට හරවා ගතපු ඔහු හිමින් මිමිණුවා.


“ නෑවිත් ඉන්නත් හදල  . . . මම ආවේ , ඔයා මම එනකම් බලාන ඉන්න බව දන්න නිසා. ඒත් . . .  ආවට පස්සෙ මට හිතුනා ,මම ආපු එක වැරදියි කියලා. ඒකයි හැංඟිලා බලාන හිටියේ. ඒත් . . . ඔයා යන්න ළං වෙද්දි , ඔයාට යන්න ඉඩ දෙන්න බැරි විදිමෙ මහා ලෝබකමක් හිතට ආවා. ඒකයි මං අර ගෑණු ළමය අතේ පණිවිඩේ එවුවේ. . . . .හ්ම් . . . .“


වෙලාව ගත වුනා. . .ඇගේ ඉකිබිඳුම ටික ටික අඬු වුනා.


“ දැන් අපි යමු කෙල්ලේ, තව වෙලා ගත්තොත් ඔයාව හොයන කට්ටිය ඒවි. යං . . . .  මං ඔයාල දෙන්නව එක්කන් යන්නම් . . . . මං තමයි ඔයාල දෙන්නව හනිමුන් යන වාහනේ ඩ්‍රැයිවර්. . . . . “


( මට මෙතැනදි ඕනි වුනේ. දෙදෙනාගේම හිත් වල ඉපදුනු ආදරය , කිසි දවසක එකිනෙකාට අයිති වුනේ නැතත්, ජීවන ගමනෙ ඉතිරි ටිකේ දිත් ඒ ආදරය ඒ විදිහටම දෙන්නාගෙම හිත් වල පවත් වා ගෙන යන්න )

සැයු,- මේ කතාවේ පුද්ගල ඝාතනයක් හෝ, පුද්ගලයෙකු මරණයට පත් කිරීමක් සිදු කිරීමෙන් මා අදහස් කළේ, හිතක ඇති වෙච්චි ආදරයක් නැති කිරීමට ගත හැකි තීරණයේ දරුණු බව කියා පෑමට විනා. පුද්ගල ඝාතනය හෝ මියයෑම හුවා දැක්වීමට නොවන බැව් කාරුණිකව සලකන්න.

10 ප්‍රතිචාර:

නාට්‍යකාරයා said...

නියමයි අක්කේ...... මමනම් කැමති 3 වෙනි අවසානයට.....

Dasun Madusanka said...

ඇත්තටම අවසාන දෙකක් !

Chandi said...

මෙහෙම උපන්න ආදරයක් මරලදාන්න පුළුවන් නම් මොකද? මම නම් එහෙම හිතන්නෙ නෑ සොඳුරූ.

Ravi said...

අවසාන තුනක කතාවේ සිව්වන නොහොත් විකල්ප අවසානය.

මනාලිය හිටපු පැත්තට කලබලයෙන් දුවගෙන ආපු ගැහැණු ළමයෙක් ,මනාලිය වාඩි වෙලා හිටපු ආසනය දෙසට පහත් වුනෙත් මනාලිය ඇයට සවන් දෙන්නට වීදුරුව පහත් කරෙත් හරියටම දෙන්නා කතිකා කර ගත්තා වගේ. ගැහැණු ළමයා මනාලියගෙ කණට කරල මොනාද මිමිණුවා. කලබල වුනු මනාලියගෙ විමසිල්ල පිරුණු ඇස් දෙක දිලිහුනා. ඒ එක්කම ඇය කාරයේ දොර අරින්න හදනාවත් එක්කම , මනාලයා ඇගේ අත තද කරලා අල්ලා ගත්තා.

“ ඔයාට පිස්සු ද? කොහෙද බහින්න හදන්නේ. ආහ්. . .ඒක නම් හොඳ වැඩක් නෙමෙයි. ‘

“ විනාඩියක් දෙන්න, මට හරි චූ බරයි “ ඇය කීවේ හරිම සතුටකින්.

කවුරුත් කුතුහලයෙන් බලා ඉද්දි, කාටත් හිනා වෙලා සංග්‍රහ කරපු ඇය , මංගල ශාලාව තුළට දිව ගියේ ඉක්මනින් එන බව හඬ නඟා පවසමින්.

මංගල ශාලාව කොණට වෙන්නම , ඇය බලාපොරොත්තුවන් කෙනෙක් ඇයට පිටුපාලා ඇය එනකම් බලා ඉදලා.

පිටුපෑවත්  ඒ කවුද කියල අඳුනා ගන්න ඇයට අමාරු වුනේ නැහැ. දුවගෙන ගියපු ඇය තමාට පිටුපාලා හිටපු ඔහුගේ උරිස් අතරින් දෑත් යවලා උදේ ඉඳන් ඇස් වලින් පිට වෙච්චි කඳුළු එකතු කරපු පපුව ,ඔහුගේ පිටට හේත්තු කරලා ,ඔහුට තුරුළු වුනේ දෑසින් වැටෙන කඳුළු ඔහුගේ සුදු කමීසයට උරා ගන්න ඉඩ දෙන ගමන්.

“ අඬන්නෙපා මැණික. . . “

ඇයව තමා වෙතට හරවා ගතපු ඔහු හිමින් මිමිණුවා.

'' ඔයා කියපු විදිහට, අපි දෙන්න එකඟ වුනු විදිහට මම ඔයාගෙන් දුරින්ම දුරස් වෙලා යන්න තීරණය කරල තමයි තිබ්බෙ....සියල්ල හොඳින්ම විසඳෙන විදිහ ඒකයි කියල මම නොදන්නව නෙවෙයි.හැමෝම සතුටුවෙන හැමෝම කැමතිවෙන විසඳුම තමයි ඒක...ඒත් කතාවෙ ප්‍රධාන භූමිකා දෙක රඟපාන නළුවයි නිලියයි ඇර...ඒ ඔයයි මමයි...ඒත් ඇත්තටම ඒකෙ ප්‍රශ්නයක් තියෙනවද?.... ''

ඔහු ඇසූයේ උත්තරයක් බලාපොරොත්තුවෙන් නොවන බව හොඳින්ම දන්නා ඇය කඳුළු පිරි දෑසින් ඔහු දෙස බලා සිටියා......ඇගේ පපුව පුරවලා නැඟි සුසුමක් පිටවුනෙත් ඔහු ආයෙම කතාව පටන් ගත්තෙත් එකම වෙලාවට....

" කතාවක රඟපාන චරිතවල හැඟීම් ගැන කවුරුවත් කරදර වෙන්නෙ නෑ..වටේට බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ගෙ කැමැත්ත විදිහට එයාල රඟපානව නම් එච්චරයි.විසිල් අත්පොලසන් ඔල්වරසන් ප්‍රීති ඝෝෂා,ගෞරව සහතික, හේතු පාඨ කියවීම්,සම්මාන, කුසලාන ලැබෙන්නෙ එතකොට විතරයි. භූමිකාව රඟපාන නළු නිළියන්ගෙ කැමැත්ත අකමැත්ත ගැන කවුරුවත් වද වෙන්නෙ නෑ. ඒ ගැන හොයන්නෙත් නෑ. එයාලට ඒකෙන් වැඩකුත් නෑ"

හැමදාමත් කරන විදිහට ඔහු කතාකරන දිහාවෙ ඇය බලාහිටියෙ වශී වෙලා වගෙ.ඔහුගේ වදන්, ඒ ස්වරය ඇය තුල හැමදාමත් ඇති කලේ විශ්මය මුසු චමත්කාරයක්..

'' ඒ නිසා මම තීරණය කලා ඇත්තම කිව්වොත් මම ඒ තීරණයක ආවෙ මේ මොහොතකට ඉස්සෙල්ල...මම තීරණය කලා ප්‍රේක්ෂකයන්ට ඕන විදිහට රඟපාන එක නවත්වන්න.අද ඉඳල මේ මොහොතෙ ඉඳල මම රඟ පාන්නෙ මට ඕන විදිහට...මොකද කියන්නෙ?..ඔයාත් ලෑස්තිද මේ භූමිකාව ඔයාට ඕන විදිහට රඟ පාන්න?..මට කියන්න...එච්චරයි මට දැන ගන්ට ඕන...''

ඔහු විමසුවේ හිස පහත් කොට ඇගේ දෑසට එබීගෙනය. ඇසිපිල්ලමක් හෝ නොගැසුණු ඔහුගේ දෑස් තුල ඇය මුළු ජීවිතයම ලියවී තිබෙනු දුටුවාය.

'' ඔව්. මම ලෑස්තියි.....''ස්තිරසාර ස්වරයකින් එසේ පැවසූ ඇය තවත් මොහොතක් ඔහුගේ දෑස දෙස බලා සිටියේ සිනහමුසු මුවින් යුතුව ඔහුගේ පපුවට තුරුළු වූවාය.

( මට මෙතැනදි ඕන උනේ වත් ලියපු අවසාන තුන ඇරෙන්න තවත් විකල්ප අවසානයකුත් තියෙන්න පුළුවන් කියල කියන්නයි )

Naleen Dilruksha said...

හරිම ලස්සන නිර්මාණයක් සොයුරිය අපට හිතාගන්න අවසාන කීපයකුත් එක්කම. ඔබේ නිර්මාණ හැකියාවට මගෙන් මල් මිටක්...ජයම වේවා.
සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

හිරු said...

//( මට මෙතැනදි ඕනි වුනේ. දෙදෙනාගේම හිත් වල ඉපදුනු ආදරය , කිසි දවසක එකිනෙකාට අයිති වුනේ නැතත්, ජීවන ගමනෙ ඉතිරි ටිකේ දිත් ඒ ආදරය ඒ විදිහටම දෙන්නාගෙම හිත් වල පවත් වා ගෙන යන්න )//

මට නම් දරාගන්න අමාරුම අවසානය ... ඒත් ඒක තමයි කරන්න තිබ්බ එකම හරිම දේ...

nil-ahasa said...

මම වැඩියෙන්ම ආස වුනේ අන්තිම අවසානයට.ඒත් ඒ වගේ වේදනාවක් මොනම හේතුවකටවත් උහුලන්න වෙන එකනම් දරාගන්න බැරි දෙයක්

රතී, said...

මම නම් හරිම කැමතියි මේ තුන්වෙනි විදිහට ඉවර වෙනවට...මමත් ගත්තා මෙකෙන් දෙයක්..මම දැන් තෝරා ගන්නේ ඔය කියපු තුන් වෙනි විදිහයි...

කවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

෴සොඳුරු සිත෴ said...

විශේෂ ස්තූතියක් රවි අයියාට.............

ඇත්ත.......සිව්වන අවාසනායක් මයෙ හිතේ තිබ්බට .ඒක මම නොලිය ඉන්න හිතුවේ.මොකද මෙතන ඉන්න මනාලිය මම නම් මම උනත් ගන්නෙ සිවුවන නොහොත් අවසාන තීරණය.

වෙන මොනාද අනේ.........රටේ ලෝකේ මිනිස්සු මක්ක කීවත්...

අවසාන මොහොතෙ දි හරි “පැනල යනවා“

Timal Mohan said...

මුල් අවස්ථා දෙකේදිම මනාලිය වැටෙන්නෙ, ආදරයක අවසානයකදි ගෑණු ළමය වැටෙන බව සංකේතවත් කරන්න වත් ද කියල මට හිතුන. ඇත්තටම නම් දෙන්නම වැටෙනව.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...