..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, November 4, 2012

නිර්මාංශ

බෙදා ගත් මස් කෑල්ල යුහුසුළුව කහ බතට යට කල සුවේන්ද්‍රා , තමාට ඉදිරියෙන් ගමන් කරන සැමියා දෙස බැලුවේ තමා කල දේ ඔහු නොදුටු බවට සැක හැර දැන ගැනීමටයි.

ඔහු සුපුරුදු පරිදි පරීක්ෂාකාරීව ව්‍යංජන පිරි බඳුන් පිරික්සයි.ඉන් බොහෝමයක් ඔහුගේ වමතේ ඇති පිඟානට නොයයි. බොහෝ විට ව්‍යංජනය කුමක් දැයි  අදාල ව්‍යාංජනය බාරව සිටින හෝටල් සේවකයාගෙන් විමසා බැලීමට හේ පසු බට නොවෙයි. උම්බලකඩ කැබැල්ලක් හෝ අහම්බෙන් වැටී ඇති බව සැල වුනත් ඔහු එය බෙදා ගැනීම ප්‍රතික්ෂේප කරයි.

සුවේන්ද්‍රා තම සැමියාගේ අත රැඳි බත් පිඟාන දෙස බලා, ලය පුරා ගත් සුසුම පහළට හෙළුවේ ඔහු ගැන උපන් සංවේගයෙන් ද තමා ගැනම උපන් සංවේගයන් දැයි සිතන්නට ඇය නොවෙහෙසුනාය. සුදු බතේ දෙතුන් පොළක් යන්තමින් වැසී තිබුනේ මැල්ලුම් සහ සලාද වර්ග කිහිපයකිනි.

ඇය වහා තමා අත රැඳි බත් පිඟාන දෙස බලා වැසු මස් කැබැල්ල පෙනේදැයි පිරික්සන්නට වූවාය . පෝළිමේ ඉදිරියට යත්ම විවිධාකාරයෙන් පිසූ මස්,මාළු,ඉස්සෝ, දැල්ලෝ , හැඩවැඩ දමා බාබෙකිව් කර තිබූ මාළු මස් භාජන දෙස නොබලා යාමට සුවේන්ද්‍රා සිත දැඩි කර ගත්තීය.

“ සුවේ ...  සුවේ ........ එන්න මෙතන ට ...!!! “

වටකුරු හැඩති කෑම මේසයක් ලඟ හිටගෙන සිටිමින් තමා අමතන තම ස්වාමියාගේ හඬ ඇසුන ද,එදෙසට යාමට සුවේන්‍ද්‍රාගේ සිත තුල වූයේ චකිතයකි.

සුවේන්ද්‍රා විවාහ වූයේ යෝජනාවකිනි.මහීම ඇගේ සැමියායි.කිව යුතු තරමේ වරදක් නොතිබුන ද, ඇය එම යෝජනාවට අකමැති වූයේ ඔහු නිර්මාංශකයෙකු වූ බැවිනි.

“ මොකක් ද අම්මා, මට නම් බැහැ කැලෑ කොළම කකා ඉන්න “

“ ඕව හරියයි ළමයෝ.විකාර නැතිව මේ මඟුලට කැමැති වෙන්න . අනික .දූත් ඕවට පුරුදු වුනාම මක් වෙනවැයි.“

“ පුංචි කාලේ ඉදල කටට රහට කාපු ළමයා. අකැමැති නම් බල කරන්න එපා හාමිනේ “ පියාගෙන් නම් වූයේ ලිහිල් පිළිවලකි.

කෙසේ හෝ මහීමගේ ඇසුරත් සමඟින් සුවේනද්‍රාට නිර්මාංශකත්වය ද  නොපෙනී ගොස් තිබුනි. ඇගේ හිතේ ප්‍රමාණයට සරිලන නියම අච්චුවට සාදා දෙවියන් දුන් තෑග්ගක් ලෙස මහීමව දුටු සුවේන්ද්‍රා ,නිර්මාංශ බව ද දුටුවේ ඔහු ළඟ රැදි සුන්දර ගතිගුණයක් ලෙසිනි. ආදරයේ ශාංගාර රසය විසින් නිර්මාංශකත්වය සඟවා හකුළුවා දමා තිබුනි. මේ සියල්ල අවසානයේ මහීමගේ අත ගත් සොඳුරු බිරිඳ වූ සුවේන්ද්‍රා නිර්මාංශ සංගමයේ තවත් සාමාජිකාවක් බවටද පත් වූවාය.

නමුත් . . . . .


 කාලය ගතවී යත්ම සුවේන්ද්‍රා මහ ගෙදරට පැමිණියේ ද තනිවමය.ඒ බඩකට පුරා රසට කෑම කෑමට මහීම බාධකයක් වූ නිසාය.

“ උඹ මහ බඩජහරියෙක් නෙ දුවේ.අපේ වරද. පුංචි කාලේ ඉදල කටට රසට හැමවේලම හදල දුන්නා.“

“ මොකක් ද අම්මේ.එයා විතරක් නෙමෙයි , ඒ ගෙදර කවුරුත් එකයි. අඩු ගානේ බිත්තරයක් වත් තම්බන්න නැහැ.පොඩි දරුවෙක් හෙම ඉපදුනාම ඒකා හාමතේ මැරෙයි මල් කොළ කාලම“

සුවේන්ද්‍රා රැකියාවට යද්දී ඉහ හිට තම බත් පත අමතක කර යෑමට පුරුදු වූවාය.එදිනට ආපන ශාලාවෙන් කෑම ගැනීමට එවිට ඇයට හැකිය. බොහෝ විට යෙහෙළින් සමඟින් බෙදා ගෙන කන්නට පුරුදු වූවත් මහීම ළඟ සිටින සෑම අවස්ථාවකම ඇය නිර්මාශ පිළිවෙත රකියි.

මහීමගේ සිත තැලීමටවත් ඔහුට වංචා කිරීමටවත් ඇගේ සිත කැමැති නැත.එනිසාම ඔහු හා එකට සිට ආහාර ගැනීම දැන් කළ නොහැකි දෙයකි. තම පෙරේත සොර සිත විසින් බත් පතට බෙදා ගත් මස් කැබැල්ල ගැන ඇගේ සිත අප්‍රමාණව දුක් වන්නට විය.

“ එන්න සුවේ........ “ සැමියා අඩ ගසයි. එදෙසට යාමට ඇය පය එසවූවා පමණි...... පය පැටලී විසි වී වැටුනු ඇගේ අතේ  වූ බත් පිඟාන අවකාශයේ තරමක් ඉහළට ගොස් ගුරුත්වාකර්ශණයට නතු වූ බැවින් මොහොතින් බිම වැටී සුනි විසුනි විය. බත් ,සලාද , කොළ මැල්ලුම් , බිම පුරාත් ,ඇතැමෙකුගේ හිස සහ ඇඳුම් පුරාත් විසිරී යද්දී , සඟවා ගෙන ආ කුකුල් මස් ගාතය රෝල් වී ගොස් තම සැමියාගේ පය පාමුලම නතර වූයේ ත් ඇගේ බියපත් දෑසත් ඔහුගේ විස්මිත දෑසත් එකට ගැටුනේත් ලෝකයම නතර වූ ඒ තප්පරයක කාලයේ දීය.

37 ප්‍රතිචාර:

Naleen Dilruksha said...

මාරම කතාවක් හිතේ කොනක අමුතුම සංවේගයක් ඇති කළා මේ පෝස්ට් එක. මාත් දන්න බ්ලොග් ලියන කෙනෙක් මට මේ වගේම අනුවේදනිය කතාවක් කිව්වා මේ ළගදි දවසක.ඇත්තටම මට ඒ ගෑනු දරුව ගැනත් ඇති වුනේ පුදුම දුකක්. සමහර විට එයත් ගොඩවෙයි මේ ඉසව්වට.
මම සමකය වටේ (samakaya wate)දුවන එකා

කෝරලේ මහත්තයා said...

එහෙමත් ය ඉන්නවා හැබැයි තමුන් කන්නේ නැහැ කියල අනික් අය කන එක වලක්වන්න කාටවත් අයිතියක් නැහැ මම හිතන්නේ හොඳ නිර්මාණයක් ඔන්න මමත් දැන් මේ පැත්තට එනවා

ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. said...

කතාවක් හැටියට හොඳයි. මම නං හිතන්නෙ වෙජි අය විවාහ වෙන්න ඕනැ වෙජී කෙනෙක් එක්කමයි කියල. එහෙම නැතිනං තමාට කැමති දෙය කන්නට ඉඩ දෙන කෙනෙක් එක්ක කියල. අපෙත් ළමයි දෙන්නම වෙජි ජීවිත.

බස්සා said...

අපුරු ගලායමක්... ජීවිතේ ගලපන්න බැරි දේවල් ගලපන්න ගියමා මුන දෙන්න වෙන සත්‍ය ඔන්න ඕකයි... ඔය හොරෙන් කන වැඩේ හැමදාම කරන්න බැරි වෙනවා.. කාලයක් එක්ක දරුවෙක් ලැබුනාම තත්වේ තවත් දරුණු වෙන්න පුලුවන්..
විවාහයේ දී අත්‍යාවශ්‍ය අවබෝධය වටින්නේ ඔය වගේ වෙලාවට...
සොඳුරුගේ තවත් සොඳුරු නිර්මාණයක්...

හිරු said...

මගේ කතාවම තමා... එකම දේ මගේ මහත්තයා නිර්මාංශ නොවිම සහ මට පුළුවන් හැම වෙලාවෙම කෑම පිටින් අරන් දෙන එක.. ඒත් හැමදාම බොරු කරන්න බෑ වගේම ඔය නිර්මාංශකම මට හිතට එකඟව කරන්නත් බැරි නිසා මම වෙනම ආවා...

මාතලන් said...

තමන් නොකෑවා කියලා කන අයට තහංචි දාන එක වැරදිනේ. මේ කතාවේ හැටියටනම් ඒ ගෑණු ළමයගේ අම්මා. අම්මා කෙනෙක් නෙමෙයි. පේනව නේද තාත්තලා කොච්චර දරුවන්ට ආදරේද කියලා. මට නම් මේ කතාව ගැන කියන්න තියෙන්නේ එච්චරයි. අපේ පවුල් වලත් ඉන්නව තම කැමැත්තෙන් වෙජිටේරියන් උන අය එක වෙනම කතාවක්...

Loku John said...

ඔහොම විඳවන අය අනන්තයි අපේ ගෙදරත් හදන්නෙ නෑ (කුකුලු මස් හැර) ඒත් පිටදි ගෙදර හැමෝම වගේ ඕන මසක් කනවා. ගෙදර හදන්නෙ නැත්තෙ සාම්ප්‍රදාය රකින්න.…..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

nihalw said...

අපිට මස් මාළු කන්නම ඕන නෑ. අපිට තවත් කෙනෙකුගෙ මාංශ කන්න බෑ. එහෙම අයිතියකුත් නෑ.

ඔබේ කතාව තුල අව්‍යාජත්වයක් පෙන්නුම් කරනවා. මේ වගේ දෙයක් මටත් උනා.

මා සේවය කරන තැන ලන්ච් රූම් එකේදී. මම මස් මාංශ වර්ජනය කරන්නෙක් නොවේ. එහෙත් මස් හොය හොයා ගිහින් කන කෙනෙකුත් නෙවෙයි. කාගෙ හරි ගෙදරකට කෑමකට ගියාම එහි ඇත්තේ මස් විතරක්ම නම් , හැමෝම ඉදිරියේ "මම වෙජිටේරියන්" කියා ගන්නා එක මම හිතන විදියට
හරි මදි. ඒ මම හිතන විදිය. අවංකවම කියනව නම් අපි හැමෝම නිර්මාංශ වෙනව නම් හොඳයි.
උන් හිතන්නෙ මම ඉන්දියන් කියල. සමහර දාට කෑම එකේ තියෙන මස් කෑලි ටික අනික් අය එන්න කලින් කාල දානව.
මම දවසක් නිර්මාංශ වීම ගැන විස්තර කළා. අපි පුනරුත්පත්තිය විශ්වාස කරනවා. අපි මේ කන්නේ සමහර විට ඉහත ආත්මයක මගේ අම්මාගේ හෝ තාත්තාගේ මස් විය හැකි කියා.එවිට තව එකෙක් කීවේ " උඹ දැන් බුදියන්නේ ගිය ආත්මෙ උඹේ අම්මා වූ කෙනෙක් සමඟ විය හැකි නේද " කියලා.

බටහිර වාසීන්ට නිර්මාංශ වීම ගැන පහදන්න හරිම අමාරුයි. ඒත් දැන් දැන් නිර්මාංශ වෙන කට්ටිය ක්‍රමයෙන් වැඩිවෙනවා.

මගේ අළුත් බ්ලොග් එක nihalg1958.blogspot.com

nihalw said...

අපිට මස් මාළු කන්නම ඕන නෑ. අපිට තවත් කෙනෙකුගෙ මාංශ කන්න බෑ. එහෙම අයිතියකුත් නෑ.

ඔබේ කතාව තුල අව්‍යාජත්වයක් පෙන්නුම් කරනවා. මේ වගේ දෙයක් මටත් උනා.

මා සේවය කරන තැන ලන්ච් රූම් එකේදී. මම මස් මාංශ වර්ජනය කරන්නෙක් නොවේ. එහෙත් මස් හොය හොයා ගිහින් කන කෙනෙකුත් නෙවෙයි. කාගෙ හරි ගෙදරකට කෑමකට ගියාම එහි ඇත්තේ මස් විතරක්ම නම් , හැමෝම ඉදිරියේ "මම වෙජිටේරියන්" කියා ගන්නා එක මම හිතන විදියට
හරි මදි. ඒ මම හිතන විදිය. අවංකවම කියනව නම් අපි හැමෝම නිර්මාංශ වෙනව නම් හොඳයි.
උන් හිතන්නෙ මම ඉන්දියන් කියල. සමහර දාට කෑම එකේ තියෙන මස් කෑලි ටික අනික් අය එන්න කලින් කාල දානව.
මම දවසක් නිර්මාංශ වීම ගැන විස්තර කළා. අපි පුනරුත්පත්තිය විශ්වාස කරනවා. අපි මේ කන්නේ සමහර විට ඉහත ආත්මයක මගේ අම්මාගේ හෝ තාත්තාගේ මස් විය හැකි කියා.එවිට තව එකෙක් කීවේ " උඹ දැන් බුදියන්නේ ගිය ආත්මෙ උඹේ අම්මා වූ කෙනෙක් සමඟ විය හැකි නේද " කියලා.

බටහිර වාසීන්ට නිර්මාංශ වීම ගැන පහදන්න හරිම අමාරුයි. ඒත් දැන් දැන් නිර්මාංශ වෙන කට්ටිය ක්‍රමයෙන් වැඩිවෙනවා.

දයියා said...

පුංචි අසාධාරණයක් තියෙනව. තමන් නොකෑවට අනෙක් අයට බලපෑම් කරන්න අයිතියක් නෑ. මමත් කොළ විතරයි කන්නෙ හරක වගේ. හැබැයි මගේ දරු පැටවුන්ටයි. මගේ ජීවිතේ වෙච්ච පැටවුන්ගෙ අම්මටයි මම ගෙනල්ලත් දෙනව. ඒක මගේ යුතුකම කියලයි මම හිතන්නෙ. ආදරය කියන්නෙ කැපකිරීමට. තමන්ගෙ අය වෙනුවෙන් කැප කිරීමක් කරන්න බැරිනං ඒක ජීවිතයක් නෙවෙයි.

Nimal (Desertfrog) said...

දෙන්න තියෙන ආදර්ශ කීපයක්ම ලස්සනට කතාව ඇතුලෙ සඟවලා... මාතලන් කිව්ව වගේ දැක්කනෙ තාත්ත හිටියෙ හරි තැන දුවට ආදරේ නිසා..අම්ම හිතුවද දුව ගැන...මොනව වුනත් දැන් ඉතින් ආවනම් කට්ට කන්න එපායෑ...ස්වාමියට බොරුකරන්න හොඳ නෑ කියන එක කුකුල් කෑල්ල කකුල් දෙක ලඟටම දාල පෙන්වල තියෙන්නෙ..පුංචි කාලෙ ඉඳල හොඳට කාපු කෙල්ලෙකුට ඔහොම වද දෙන එක හොඳ පිරිමියෙක් තව හිතන්න ඕනෙ කියලත් ඔය කියන්නෙ...

තරිදු - ඇසූ පිරූ තැන් said...

ලස්සන කතාවක්. මෙහෙම අය ඕන තරම් ඉන්නවා. මෙතෙන්දි දෙන්නම වැරදියි. මහීමට තිබුණ සුවේට කැමති විදියට කන්න ඉඩ දෙන්න. එ වගේම සුවේත් බොරු නොකර කෙළින්ම කිව්වනම් ඉවරනේ මට නිර්මාංෂකයෙක් වෙන්න බෑ කියල.

ඔබට ජය !!!

තිසර said...

මට නම් වැදගත්ම කතාවේ ඊලඟ ජවනිකාවයි. මහීම ඇවිත් සුවේන්ද්‍රාව නැගිටවාවිද? තුවාල උනාදැයි සොයාබලාවිද? කොටින්ම සුවේන්ද්‍රා 100% OK කියලා සහතික කරගන්නකං මස් ප්‍රශ්නය ගැන කතා නොකර ඉඳීවිද? එහෙම කලොත් ඌ තමා මිනිහා. නැත්නම් මහීම ශොක් වෙලා බලාඉන්න අතරෙදි පිට මිනිස්සුන්ට ඇවිත් සුවේන්ද්‍රාව නැගිටුවන්න වෙලා, සුවේන්ද්‍රා ඉඳුල් පිටින්ම, කොරගහගහ ගිහින් අනේ මහීම මට සමාවෙන්න කියල කියනකම් මහීම පිලිමේ වගේ හිටගෙන ඉන්නවා නම්, උගෙන් වැඩක් නෑ. මහීමගෙ ලව් එක මස් කෑල්ලකට වඩා වටිනවද කියලා ඔන්න දැන් සුවේන්ද්‍රාට බලාගන්න පුළුවන්. අපිට නම් දැනගනන් ලැබෙන එකක් නැඇ මගෙ හිතේ.

නාට්‍යකාරයා said...

ඔන්න ඕක මටත් එපා කරපු දෙයක් කාලයක් අපේ ගෙදරත් ඕක තිබුනා. එත ඉතින් කවුරු නොකවත් මමනම් කඩෙන් ගිහින් හොදට කෑව දැන් අපේ අම්මම හදලා දෙනවා මාළු වගේ දේවල් ..... එත් ඒ ගොල්ලොනම් උම්බලකඩයක් වත කටේ තියන්නෑ ..... හික්ස් නියම කතාවක්‌ අක්කේ ......... ගලායාම හොදයි අර බස්සා කිව්වා වගේ ........

අකලංක said...

මමත් දරුවාගෙ ප්‍රශ්නය නිසා නිර්මාංශ වුණා. ඒත් මගේ බිරිදට එහෙමවෙන්න කියලා මම බලකලේ නෑ. මොකද කිරිදෙන මවක් නිසි පෝෂණය ලැබිය යුතුයි.

අකලංක said...

මමත් දරුවාගෙ ප්‍රශ්නය නිසා නිර්මාංශ වුණා. ඒත් මගේ බිරිදට එහෙමවෙන්න කියලා මම බලකලේ නෑ. මොකද කිරිදෙන මවක් නිසි පෝෂණය ලැබිය යුතුයි.

රතී, said...

විවිධ ආකාරයේ මිනිස්සු නොවැ ලෝකෙ ඉන්නේ..

Gimhani said...

තමන් නිර්මාංශ උනා කියල අපිට බල කරන්න අයිතියක් නෑ අනිත් අයට. ඒක තමාගෙ සිතට අවංකවම කරන්න ඕනෙ දෙයක් . අපි බොරුවට පෙන්නත් ඕනෙ නෑ අපි මාංශ වලට ප්‍රියනම් .
…සොසීගේ තවත් ලස්සනම නිර්මාණයක් .

Naleen Dilruksha said...

මහත්තයට පිටිං කෑම පුරුදු කරන්න එපා. හැමදාම පිට කෑමටම පුරුදුවෙයි. මගේ කමෙන්ට් එකත් කියවන්නකෝ.

මුදියන්සේ said...

නියම මාතෘකාවක්,
මාත් වෙජි වුනා කාලයක්, හැබැයි ඒක කට්ටියත් එක්ක උයන් කද්දි රකින්න හරි අමාරුයි. අපේ අම්මලාගේ පවුලෙනම් කවුරුත්ම හාල්මැස්සෙක් තරමවත් කන්නේ නැද්ද කොහෙද. හැබැයි අපිට උයලානම දෙනවා රහට

පරිකල්පන said...

මොනම දේකවත් අන්තෙට යන්න හොඳ නෑ...

Chandi said...

අපිත් කාලයක්ම නිර්මාංශ වෙලා හිටිය. දැන් නම් එහෙමම කරන්නෙ නැහැ. ලැබෙන දේ වැඩි ඇල්මක් නැතිව කනව. ඒකෙ වරදක් නෑ කියල මම හිතන්නෙ. රහතුන් වහන්සේලා වගේ ඇල්මක් නැතිව හිටියම හරි. මොකද ශීලයක් නෑ මස් මාංස අනුභවය තුල. කාටවත් බල කරන්න හොඳ නෑ කෑමකදි. ඇත්තම කියනවා නම් මාත් ඔය වගේ සිද්ධියකට මුහුණ පෑවා අපිත් නොකන කාලෙ. මහත්තයා නොකන කොට කන්න මොකද වගේ නේ. හරිම තාත්වික කතාව හිතට වැදුනේ සමීප නිසාමයි සොඳුරු.

තරුරසී said...

හරිම අපූරු කතාවක්.. පව් කියල තමයි හිතුණෙ සුවේන්ද්රාන ගැන.. මේක සංකේතාත්මකව ගත්තොත් පවුල් ජීවිතේ ඇතුළෙ අකමැත්තෙන් කරන කැපකිරීම් කොයි තරම් තියෙනවද? හදවතින්ම කැපවීමක් නොකරන කොට ඒක වංචාවක්ද? රැවටීමක්ද?

හිරු said...

කියෙව්වා...

නෑ නෑ... එයා මට කඩෙං අරං දෙනවා.. එයා ගෙදර ඇවිත් අම්මා උයලා තියෙන එක කනවා.. මම කන්න බෑ කියලා නිදා ගන්නවා... මට හරි අප්සට් ඒ වැඩේට... බැරිම තැන තමා ගෙදරින් ආවේ...

පස්සෙන් ගිහින් හැම වේලටම මස් මාළු හොයන කෙනෙක් නෙවෙයි මම.. ඒත් පොල් සම්බෝලෙට උම්බලකඩ නැතුව නං මට කන්න බෑ... බොහෝ දුරට මාළු හාල්මැස්සෝ වගේ දෙවල් විතරයි මම කන්නේ... .( ආර්ථිකේටත් අමාරුයි නේ..)

ඒත් හැම එකක්ම එකපාරටම වෙනස් උනාම, හරියට හිතේ හැටියට කන්නවත් නැත්තම් කොහොමද ගෑණියෙක් සතුටින් ජීවත් වෙන්නෙ කසාද බැදලා...

Pramudi said...

තමන් නිර්මාංශ වුනා කියල අනිත් කෙනාටත් එහෙම වෙන්න කියල බල කරන එක වැරදි කියල මට හිතෙන්නේ.
හරියට තමන් කැමති දෙයක් කන්න බොන්නවත් නැත්නම් කොහොමද මනුස්සයෙක් සතුටින් ජීවත් වෙන්නේ..

සමනළී said...

ලස්සන කතාවක්....හැබැයි දුක හිතුනා සුවේ ගැන..... තමන් අකමැති කියලා අනිත් අයත් ඒ දේට අකමැති විය යුතු නෑ මං හිතන්නේ.... හැබැයි සුවේටත් කෙලින්ම කියන්න තිබුන එයා නිර්මාංශ වෙන්න කැමති නෑ කියලා......

තරු said...

කාලෙකින් ආවෙ...
මට නම් කරවල කෑල්ලක් වත් නැතුව කන්න බෑ..
ගිය ආත්මෙ මොකෙක් වෙලා හිටියද මන්දා.

ලස්සන නිර්මාණයක්.
ඒක නෙමේ ඔය පින්තූරෙ ඔයා කථාවටම ඇඳපු එකක්ද?

දයානන්ද රත්නායක said...

නිර්මාංශ ක‍ාලෙකට පස්සෙ ඔබ ලියපු හොඳ කෙටිකතාවක්. හදිස්සියක් නැතුව කරපු අපූරු ගැලපිමක් නිර්මාණයක් කරන්න අවශ්‍ය කාලය සහ පරිසරය තමා විසින්ම හදාගත් රාමුවක කළ හොඳ නිර්මාණයක්.අන්තර්ගතය සරල කරුණක් සේ පෙනුනත් සංකීර්ණ කතාවක්.

රාජ් said...

//අපිට මස් මාළු කන්නම ඕන නෑ. අපිට තවත් කෙනෙකුගෙ මාංශ කන්න බෑ. එහෙම අයිතියකුත් නෑ//

මම නං මස්(සියළු) මාලු බිත්තර කරවල හැම දෙයක්ම කනව. ඒ වගේම මගේ මස්කෑම ගැන තවත් කෙනෙකුට කතා කරන්න අයිතියක් නෑ. ඒක පෞද්ගලික දෙයක්.

රාජ් said...

හොඳ නිර්මාණයක්. ඇත්ත තත්වය තමයි ඔය. තමන්ගෙ සහකරුවා/කාරියත් තමුන් කැමති දේම කන්න ඕන කියල හිතන සමාජයක්නෙ මේක.

මයියා ( Mayya) said...

good one....feel pity about our system

Gayani Wedage said...

අදමයි ආවේ.මට ඩොක්ටර් කිව්වා හරක් පිකදු කන්න කියලා.එත් මට එක කරන්න බැ.ඇත්ටම වෙනස්ම බ්ලොග් එකක්.හිතට සැනසිමක් මෙන්ම සතුටක් ඇති උනා බ්ලොග් එක දැක්ම.
http://manasindiviyata.blogspot.com/

ආරච්චිල said...

ඇයි මේ හැමෝටම නිර්මාංශ අයගෙම වැරදි පේන්නේ? කාටවත් මස් කන පෙරේතයින්ගෙ වැරදි පේන්නේ නැද්ද?

ආරච්චිල said...

//මම නං මස්(සියළු) මාලු බිත්තර කරවල හැම දෙයක්ම කනව. ඒ වගේම මගේ මස්කෑම ගැන තවත් කෙනෙකුට කතා කරන්න අයිතියක් නෑ. ඒක පෞද්ගලික දෙයක්.

නිර්මාංශික බව ගැන කතා කරන්නත් කාටවත් අයිතියක් නෑ. ඒකත් පෞද්ගලික දෙයක්.

Rlafa Aw said...

සැමියා බිරිඳට නිර්මාංශ වෙන්න බල කල බවක් කතාවෙන් ගම්‍ය නොවේ.

අනෙක් කාරණය දුවට සැබවින්ම ආදරේ තාත්තා නොව අම්මා.

අම්මා, මස් කෑල්ලකට වඩා මිනිසකුගේ යහපත් බවට වටිනාකමක් දෙන කෙනෙක්. මොහොතක රසය දෙන මස් කෑල්ලකට වඩා ජීවිත කාලයක් එකට සිටින සැමියා ලෙස හොඳ අයෙක් ලබා දෙන්නට, දුවගේ ඉදිරි ජීවිතය යහපත් කරන්නට උත්සහ කරන, දුර දිග දකින සැබෑ මවක්.

තාත්තා, කිසිම දෙයක් ගණනකට නොගන්නා, බරක් පතලක් ඇඟට නොගන්නා, හැම දෙයම ඉබේ හොඳට සිදුවේ යයි සිතන, ගතානුගතික ග්‍රාම්‍ය පියෙක්. නොවටිනා මස් කෑල්ලක් වෙනුවෙන් මිනිසකුට නිසි වටිනාකම ලබා දීමට පැකිලෙන පහත් පෙලේ අයෙක්.

Rlafa Aw said...

දැන් කාලේ කෙල්ලොන්ට මිනිහගෙ බේබදු කම හොඳයි. නිර්මාංශික කම තමයි නරක. බීල ආපු මිනිහගෙන් තොල් පැලෙන්න ගුටි කන එක ගෑනියෙකුට සැපයි. ගේ හැම තැනම වමනෙ දාපුව සුද්ධ කරල මිනිහව උස්සගෙන ගිහින් ඇඳට දාල ඔලුවෙ දෙහි අතුල්ලන එක කන්කෙඳිරියක් නැතුව කරන්න පුලුවන්. නිර්මාංශික කම තමයි ඉවසන්න බැරි.

යකෝ මුන් ඔක්කොටම ඇඟේ අමාරුව වෙලා තියෙන්න කාගෙවත් නිර්මාංශික කමනෙ.

තමන්ට මස් කන්න ඕන නම් කන එකනෙ තියෙන්නෙ. අපි ඇවිත් කට අල්ලගෙන ඉන්නවයැ. අපිට මොකද මිනී මස් කෑවත්.

හොර මැර මිනිස්සුන්ව දැන් දැනම කසාද බඳින ගෑනු ඉන්නව. සමහර ගෑනුන්ට මිනිහගෙ මැර කම ආඩම්බරයට කාරණයක්. ලැජ්ජාවට කාරණය තමයි මිනිහගෙ ඉවසීම, ගුණයහපත්කම.

අනේ කාලේ වනේ වාසේ

මනුස්සයෙක් හොඳට ඉන්න හැදුවත් කියන කතා.. තුඃ නොදකින් මෙහෙමත් ලෝකයක්.

Anonymous said...

bolanda katha, dan hadena ayage rasa vindanaya penewa liyapu comments valin , kiyawanna parana keti katha ,nawa katha

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...