..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, October 16, 2012

ආදරය ගැන - මට හිතෙන හැටි හෙවත් මගේ ලෝකයේ ඔහු



ආදරය . . . .

ජීවයේ පැවැත්ම කෙසේ වෙතත් මනුස්සයෙක් ජීවත් කරවන්නෙ ආදරයයි. ලෝකයේ කිසිවකුත් නැහැයි කියල හිතලා ,වටේ පිටේ මිනිස්සු මොනා කීවත් එක හිතින් නොවෙනස්ව ආදරය කරන්න පුලුවන් නම් ඒක තමා කෙනෙක්ට ලබන්න පුලුවන් උපරිම ආදරය.( දැන් මට ඔරවනව ද ? සභ්‍යත්වයක් නැහැ නේද ? )


ඇත්තම කියනව නම් ආදරය විඳින්න නම් ඒ ලෝකය තුල ඉන්න ඕනි ආදරය කරන දෙන්නා විතරයි. බයක් සැකක් නැතිව මුළු හිතම හිස්වෙලා ඒ හිස් බවින් හිත පිරිලා ඉතිරිලා යන තරමට ආදරය කරන්න පුලුවන් එතකොටයි.හිස් දේ පුරව ගන්නත් , පිරිච්ච දේ හිස් කරල සැහැල්ලුව විඳින්නත් හොඳම දේ ආදරය කිරීමයි.( ඉතින් වැරදි විදිහට හිතන්නෙපා )


ඒත් ................


සමාජයේ ඉන්න තවත් මනුස්සයෙක් වෙද්දි , ලිංගික ඉරිසියාවෙන් පිරුණු මිනිස්සු න්ගෙ රබර් ඇස් යොමු වෙද්දි , අනුන්ගෙ මඟුල මිසක් තමන්ගෙ ගෙදර ඉන්න ගෑණු මනුස්සය ගැන නොසොයන මිනිස්සු ඉද්දි. වගකීම් පිරුණු තනතුරු හිසට බරක් වෙද්දි හැමදේම අංක පිළිවට හදාන ඇවිත් අපි ආදරයට දෙන්නෙ අන්තිම අංකය.


සමහර ජීවිත වල “ සුන්දර පුංචි ප්‍රේම කතා “ හැමදාමත් මිනිස්සුන්ව ජීවත් කරවන වතුර බින්දුවක් වෙන්නෙ ඒ නිසා වෙන්න ඇති.


ජීවිතය ජීවත් වෙන බව දැනෙන්න නම්, එක් වරක් හරි ආදරයෙන් බැඳෙන්නත්, ඒ මතකය මියෙන තෙක් රදවා ගන්නත් පුළුවන් වෙන්න ඕනි.


ආදරය ගැන කියද්දි ඒ මැද්දට රාගය ඔබ්බල ,රාගය උලුප්පල දක්වන්නෙ ආදරයේ තියෙන සැනසීම දකින්න අකැමැති ජීවිත කියල මට හිතෙනවා. ඒ වගේ අයට ආදරය කියන්නේ පාරේ ඉබාගාතෙ යන බැල්ලියකට වඩා වටින දෙයක් නෙමෙයි.


එහාටත් මෙහාටත් නැති ඔහේ වැනෙන ලෝකෙක හිටපු මට ඔහු හමුවුනේ පුදුම තරම් අහම්ඹයෙන්. කොටින්ම වෙන කෙනෙක් එනතෙක් මඟ බලා හිටපු මට හමුවුනේ ඔහු.


ආදරය දකින්න, එහි නියම අර්ථය තේරුම් ගන්න මට උදව් කරපු ඔහු මට හමුවෙන්න තිබ්බෙ මගෙ හොඳ තරුණ කාලේ දී.එහෙම වුනා නම් මගේ ජිවිතය කොයි තරම් අර්ථවත් වෙන්න තිබ්බ ද. ඒත් පහුගිය අතීතයක් ගැන හිතල පලක් නැහැ. අතීතයේ පිපුන මල් පරවෙද්දි, පිපිලා තිබ්බ මල් වල සුවඳ විතරක් වර්තමානයට අරන් එන්න මට ඉගැන්නුවේ ඔහු.


ආදරය = ඔහු වෙන තරමට ඒ ආදරය සුන්දරයි.අයිතිකර නොගැනීමේ දුකට වඩා අයිතිකර නොගෙනම හිමිකර ගැනීමේ සතුට විඳින්න මට ඉගැන්නුවේ ඔහු.




සුන්දරත්වය විඳින්න,
වෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න,
එනකම් මඟ බලාන ඉන්න,
බොළඳ වදන් පිරිච්ච ලියුම් ලියන්න,
අත් පටලන් ඇවිඳින්න,
ෆලයින් කිස් දෙන්න ,
එකිනෙකාගෙ අවලස්සන දේ උනත් අගය කරන්න ,
ලෝකයෙ ඉන්න ලස්සනම මනුස්සය/ගැහැණිය සමඟ තමන් ආදරයෙන් වෙළිල ඉන්න බව හිතන්න ,

හැමදේටම වඩා ලැබිල තියෙන පුංචි කාලයෙ දි ජීවිතය විඳින්න පුලුවන් වෙන්නෙ ආදරය නිසා.


ආදරය හැමදාමත් බොළඳයි. අධ්‍යාත්මික ආදරයක් උනත් , බොළඳයි මට සිළුටුයි. නැහැයි කියනව නම් ඒ කියන කෙනා ආදරය විඳිල නැහැ.



ඒත්


පුංචි කාලේ ඉදන් නීති-රීති දාලා , වයසින් උස් මහත් වෙද්දි ගහල-බැනල, තව තවත් වයසට යද්දි ,රැවුම්-ගෙරවුම් ,අනවශ්‍ය අත පෙවීම් වලට ලක් වෙලා . . .බයෙන් සැකෙන් ආදරය කරන්න පුරුදු වෙච්චි අයට ආදරය කියන්නේ හොරෙන් හොරෙන් කාපු , නමුත් හිමින් හිමින් රස බලන්න හිතෙන රස කෑමක්.




සමාජයට, රටට ලෝකයට, පවුලට, ආගමට, කුලයට, සහෝදර, සහෝදරියන්ට, දෙමාපියන්ට ,ගමට ,රස්සාවට, දේපලට මෙකී නොකී හැමදේටම ගැලපෙන නමුත් තමුන්ට නොගැලපෙන විවාහයක් කර ගන්න බොහෝ දෙනා ජීවිතය විඳවන්නේ අනුන් බලෙන් තමාගෙ පිට පටවපු මහා අනර්ඝවස්තුවක් කන්දක් උඩට අරන් යන තරමේ වෙහෙසකින්........කන්ද මුදුනට ගිහින් කන්ද වටේ පේන සුන්දරත්ව විඳින්නවත් නොහැකි තරමට කන්ද මුදුනට ගියපු කෙනා හෙම්බත් වෙනවා.


තමන් වගකීම් දරන් උස් මහත් කරපු දරුවො, දරුවොන්ගෙ ලෝකයට යද්දි , ආපහු එක තැනකට එකතු වෙන්න දෙමහල්ලන්ට ජීවිතය විඳින්න ඕනි වුනත්, ලෙඩ දුක් එක්ක හෙම්බත් වෙච්චි ජීවිතයක් විතරක් ඉතිරි වෙනවා.

ආදරය සුන්දර සැහැල්ලු බැඳීම් වලින් නිදහස් දෙයක් වෙද්දි , ඒ සරල සුන්දර දේ නැති පවුලක් වටේ ගොඩනැගෙන වගකීම් වලින් පිරුණු ලෝකයක මුදල්, වගකීම්,කැපකිරීම් වලින් හිර වෙද්දි.සමාජයට වෙන්න තියෙන වගකීම්යුතුකම් වලින් බැදෙද්දි ආදරය කියන්නෙ බොහොම ඈතට පලායන දිව්‍ය ලෝකෙ ඉදල ආපු කඟවේනෙක් වගේ නොදුටු ලස්සන සතෙක් වෙනවා......


ජීවිතයේ බාගයකටත් වඩා ගත කරපු මම , ආදරය හරියට අඳුනා ගන්න පටන් ගනිද්දිම , මගෙ ජීවිතය ඉවර වෙයි ද කියල මහා ලෝබකමක් හිත පුරා දුවනවා.



මට මං වෙන්න පුළුවන් නම්. මේ හැම බැඳීමකින්ම නිදහස් වෙන්න පුළුවන් නම්, ඔහුට වත් බැඳෙන්නෙ නැතිව ආදරය කරන්න මට පුළුවන් වේවි.

ඒත් .....

කවදාවත් මට , මං වෙන්න නම් බැරි වේවි.


“Run your fingers through my soul. For once, just once, feel exactly what I feel, believe what I believe, perceive as I perceive, look, experience, examine, and for once; just once, understand.”


ඔහු හමුවෙද්දි ,අනාදරයත් , ඔහු හැර යද්දි ආදරයේ උපරිමයත් හඳුනා ගනිමින් හිටපු
මම

සොඳුරු

11 ප්‍රතිචාර:

ළහිරු හිමේෂ් said...

මේකට ඇය දාලා සමහර තැන් වෙනස් කරලා ගත්තාම හරි

Indika Rajapaksha said...

මේක කියෙව්වම මගේ පෙම්වති (දැන් wife)
ඉස්කෝලේ යනකාලේ (පොඩිකාලේ)
සමරුපොතේ ලියුව යමක් මතක් උනා.
"විසදුමක් සොයාගත්තට වඩා
විසදුමක් සොයමින් සිටීම
වඩාත් සොදුරු සහ චමත්කාර දනවන,
හෙට දවස ජිවත්කරවන තෘප්තිමත් දෙයක්"

Weni said...

\\ආදරය = ඔහු වෙන තරමට ඒ ආදරය සුන්දරයි.අයිතිකර නොගැනීමේ දුකට වඩා අයිතිකර නොගෙනම හිමිකර ගැනීමේ සතුට විඳින්න මට ඉගැන්නුවේ ඔහු.\\
මටත් "ඇය" ගැන මෙහෙමම කියන්න පුළුවන්..
හැඟීම් වචනවලට පෙරලන්න දස්සයි සොසී හැමදාමත්..

Beetle said...

Be a best friend, tell the truth
And overuse "I love you"
Go to work, do your best
Don't outsmart your common sense
Never let your prayin' knees get lazy
And love like crazy

Love Like Crazy - Lee Brice


Dinesh said...

//කවදාවත් මට , මං වෙන්න නම් බැරි වේවි.// හ්ම්ම්....

Naleen Dilruksha said...

ආදරය කියා දෙයක් ලොව නොපවතී ඇත්තේ ගනුදෙනු පමණකි...මතුපිටින් නොබලන්න ගැඹුරින් හිතන්න

Maal said...

ඔහු හමුවෙද්දි ,අනාදරයත් , ඔහු හැර යද්දි ආදරයේ උපරිමයත් හඳුනා ගනිමින් හිටපු
මම

මුදියන්සේ said...

හ්ම්ම්.............

Shanthi Chandrasekera said...

matath hithenawa jeevithe bageyak gatha karapu mama dan labena adare vindaganna bari wei e tharam kalayak kiya hithata dukak enawa

Madhu said...

ආදරේ ගැන ගොඩාක් දුක දැනිල තියෙන කොට අහම්බෙන් වගේ මේ පෝස්ටුව කියවන්න ලැබුනා..
කියවලා ඇඬුවා...ගොඩක්..
ආදරේ කරාට අම්මලට පිටු පාන්න බැරි නිසා ඒ ආදරේ මට අද අහිමි වෙලා...
ආදරේ කියන්නේ පුදුම දෙයක්...හිමි වීමම නෙවෙයි ආදරය....

"ලඟින් ඉන්නට නැතත් සෙනෙහෙන්...
වෙන්ව යන්නට නොහැක කිසි දින"

ලස්සන අදහසක්‌...

nirosha nilmini said...

සුන්දරයි ඒත් ඒ සුන්දර ආදරය විදගන්න වාසනව පෙර පිං ඕනිමයි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...