..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, October 22, 2012

වසන්තයේ අග හෙවත් බොඳ නොවන අකුරු





අතේ ශතේ නැතිවන කාලයක් පැමිණීමත්, එනිසාම අන්තර්ජාල සබධතා වලින් ඈත්ව සිටීමට සිදු වීමත්, නව රැකියාව නිසා පැය ගණනක් බසයේ කොණකට වී ගමන් කිරීමට සිදුවීමත්,මට මා පිළිබඳව අලුතින් සිතීමටත්, අතීතාවලෝකනයේ යෙදී මේ ලිපිය අකුරු කිරීමටත් යෙදුනු මූලික අඩිතාලම සැපයීය.

ජීවිතයේ බොහෝ කලක් ගෙවී ඇති බවත්, මාහා එදා පැමිණිය වුන් මා පසු කර බොහෝ දුර ගොස් ඇති බවත් එකනෙහිම මට සිහිපත් වීමත්, දෑස් හොඳින් ඇර බලද්දී මා හා පැමිණි නමුත් මා පසු කර බොහෝ දුර ගොස් සිටියවුන් අතර යහළු යෙහෙළියන් හා හිතවතුන් පමණක් ම නොව මා නැගණියත් සිටිනු දුටිමි. ම‘ දෙස බලා අත ඔසවා සන් කිරීමට තරම් වත් ඔවුනට නැවතුමක් නැති බව දුටු මාගේ ගමන තව තවත් අඩාල වූ අතර , රිදුම් දෙන සිත සුවපත් කරනු පිණිස ඔවුන් දෙසට යොමු වු ඉදිරි දෑස් දැක්ම අතැහැර මා හා ගමන් කරනා දෙපස සිටින වුන් දෙස බලන්නට වූව ද , වැඩිකල් නොයා ඔවුන් ද මා පසු කර වේගයෙන් ඉදිරියට ඇඳෙනු ඇති බව හැඟී ගියෙන් , කිසිවකුත් දෙස නොව මා දෙපා දෙස යොමු කර ගත් දෑස් ඇතිව මා මෙතෙක් කල් ගමන් කර ඇත.

ජීවිතයේ බැඳීම් අවශ්‍ය වනුයේ ජීවිතයේ රැඳී සිටීමටයි. මා හා එවැනි බැඳීම් ඇත්තේ එකම එකක් බැව් නොවලහා පැවසිය හැකිය. පෙකණි වැල කෑපුව ද ඒ බැඳීම ගිලිහී නොගොස් පැවතීම, මගේ ජීවිතය රඳන්නට අදද බලපාන එකම රැහැනයි.

උදයේ ඇගේ අතින් පිසෙනා බත් පිනි , මා ගමන් මල්ලට ඔබා මා ගැන උපන් වේදනාවෙන් පිරි දෑස් මා වෙත යොමා “ බුදු සරණයි “ පවසන ඒ ඇත්තිය , මා දෙණ මත වැටී වැලපෙන හැටි දකිනු රිසි නොවන නිසා මිසක , අද මා මෙලොව රඳන්නට වෙනත් හේතුවක් සෙවීම උඟහටයයි මට සිතේ.

විටෙන් විට බොහෝ අය පැමිණ ගිය ද මා හා සිත බැඳී නැවතුන දෙදෙනකු වේ. ඒ දෙදෙනා ද ඔවුනගේ සිඳී ගිය බඳුන් පුරවා ගත්තා විනා සිසිල් දිය සැපයූ උල්පත තමා සතු කර ගන්නට කිසිවිටක නොසිතූ බැව් දැනී යත්ම හැකිලී යන මා ඔවුන් මුණ ගැසීම ගැන දුක් වන්නේ ද නැත.

කිසිවකුටත් පලක් නොවී ඔහේ ගලනා උල්පත් සිඳී සැඟවී යා යුතු යැයි මට සිතෙන්නේ තවත් අයකු බලාපොරොත්තුවෙන් සිටීමද වේදනාවක් පමණක්ම බැව් හැඟෙන නිසාය.

අයෙකු මගේ ජීවිතයම වෙද්දී , ඒ අයට මා මොහොතක් පමණක් වන්නේ නම් , ඒ මොහොත විඳ සැනසීම කළ හැක්කේ වෛකල්පික ලෙස පමණක් යැයි මට සිතේ. ජීවිතයම වූ අය සිටිද්දී ,සැනසීමට මොහොතක් පමණක් සොයන්නා එක්කෝ සැබැවින්ම ජීවිතයේ අරුථ තේරුම් ගත් අයකු විය හැකිය.

මා හා පැමිණ මා පසු කර ගිය වුන් ඇල්ලිය නොහැකි තරමේ දුරකින් ද , මා හා සමව යන්නන් මට කිසි අතකින් නොගැලපෙන්නන් වීම ද නිසා ගමන අතැර දමා නැවැතීමට මට වරක සිතේ.සිසිල් සෙවන දෙන මහා වෘක්ශයක් යට නැවතීමට ඇවැසි වුව ද පෙනෙනා මානයේ එවන් සිසිලක් සොයා ගැනීම උගුහට බැව් පෙනේ.

මා වටා ඇත්තේ මගෙන් සෙවන ඉල්ලනා පුංචි පැළ රාශියකි.

“ ටීචර් , ටොපිය කන්ය දැයි එකකු අසයි. එපා කි විට නැවතත් ඉල්ලීම වෙනස් වේ එහෙනම් ටීචර් හූනු බිත්තරක් කන්න ද ? ඔහුට උවමනා වන්නේ ටීචර්ගේ අවසරය ඇතිව කුමක් හෝ කෑමට මිසක පන්ති වේලාවේදී කෑම ගැනීම අවිනීත බවත් විවේක කාලය සපයා ඇත්තේ ඒ සඳහා බවත් කෙතරම් කීවත් අවබෝධ කර ගන්නට නොවේ.

දරුවන්ගේ කෑගැසීම් අතරින් වරක් දෙවරක් නොව සිය දහස් වතාවක් මැවි මැවී පෙනෙනා අයට ද මගේ ආදරය මිසක කිසිදු විටක මා ළං ගර ගැනීම උවමනා නොවේ.

කිසිදු විටක තනිකම මකා ගැනීමට හෝ ආදර සබධතා සඳහා අන්තර්ජාලය යොදා ගැනීම යනු තනිකම දෙගුණ තෙගුන වී සමාජයෙන් තව තවත් ඉවත් වීම මිසක පතනා සියල්ල ලැබී යාමක් නොවන බැව් මා ආදරණියයන්ට පැවසීමට කැමැත්තෙමි.

වචන සිය දහස් ගාණකින් ආදරෙයි යැයි පැවසූවත් හැඟීම් කලතා හැරි පසු මිනිසෙකුගේ දෑස් දෙස බලා කිසිදා ලිවිය නොහැකි හැඟීම් කියවීමට අපි මිනිසුන් ලෙස ආශා කරන්නේ නැති ද? ආදරණියයාගේ උණුසුම රැකවරණය සොයන්නේ නැති ද?



මේ සියල්ල පසක් කර ගැනීමටත් ජීවිතය දෙස ආපසු බැලීමටත් වැටුප් නොල ද එකම මාසය මෙතරම් උදව්වේ යැයි සිතුනේ ද නැත.



ජීවිතය දැන් හරිම බරය.....



දැඩි වෙහෙසක් දැනේ.............
ඉතා දැඩි ශෝකයක් සිත තුල නලියමින් දෑස් වලින් පිට පනින්නට පොරකන අතරේ....
එය ආයාසයෙන් වලකා ගන්නට මා වෙහෙස දැරුවේ .....
ඩිජිටල් අකුරු බොඳ නොවනා බැව් අමතක වීම නිසා ය.

සිත දැවිඩ ආශා කරනා දෙය සිතට දුක ගෙනේ නම්, ටික කලකට හෝ ඉන් ඈත්ව සිටීම සිතට සතුට ගෙන දේද ?

10 ප්‍රතිචාර:

aaa said...

Bidunu kaleka amathaka kala noheki nam sithin.....
Bidena badun kumakata surakimda adaren.....

Mayya

තිස්ස දොඩන්ගොඩ said...

"ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා...
සිතරුතෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා..."

තිස්ස දොඩන්ගොඩ said...

හම්මේ දැක්ක කල්....!!!

kumaraya said...

'සිත දැවිඩ ආශා කරනා දෙය සිතට දුක ගෙනේ නම්, ටික කලකට හෝ ඉන් ඈත්ව සිටීම සිතට සතුට ගෙන දේද ?'

මමත් මේ දවස්වල හිතන්නෙ ඔය විදිහටමයි ...
''ටික කලකට'' නෙවෙයි ...
හැමදාටම එසේ ඉන්නට තිබේ නම් හොඳයි කියලයි හිතුනේ ...

දයියා said...

ජීවිතය අපි හිතනවට වඩා ගොඩක් වෙනස්. විස්තර කරන්න අමාරුයි. කැප කිරීමයි. උත්සාහයයි. ජීවිතයේ මාවත කියලයි මට හිතෙන්නෙ.

රාජ් said...

මාස දෙකතුනක් පඩි නවත්තන්නයි තිබුනෙ. තවත් ඉගනගන්න පුළුවන්.

දයානන්ද රත්නායක said...

ජීවිතේ හරියටම ගගක්වගේ එක විදියට ගලන්නෙත් නෑ එක විදියට නිසලව තියෙන්නෙත් නෑ. නිසලව තියෙන හැම වෙලාවෙම ඟග පතුල ප්‍රචණ්ඩව හැසිරෙනවා. ගලන හැම වෙලාවෙම තියෙන හැමදේම උදුරාගෙන යනවා. මිනිස් ජීවිත ඒවගේමයි. අපි කොයි කා‍ට වුනත් වැරදුනු තැන් වගේම වරදින තැන්ද, ලැබුන දේ වගේම නොලැබුණ දේද විඳගන්න සිදුවෙනවා.

ඒ හැමදේම මැදහත් සිතින් විඳගැන්මයි යුතුකම.

තිසර said...

බ්ලොග් ලෝකයට අලුතෙන් පැමිණියෙක් වන මම මුලින්ම දුටු බ්ලොග් අතරින් එකකි 'සොඳුරු සිත'. නම දුටු පමණින් ඇති වූයේ නොරිස්සුමකි.. කෙනෙක් තමන්ගේ සිත සොඳුරු බව පැවසීම කොතරම් යුක්ති සහගතද? සොඳුරු සිත තමා පිළිබඳ හැඳින්වීමේදී ද අනුගමනය කරන්නේ තමාව වර්ණනා කරගැනීමේ ප්‍රතිපත්තියකි. මේ පෝස්ට් එකේද එවැනි තැන් ඇත "...ඔවුනගේ සිඳී ගිය බඳුන් පුරවා ගත්තා විනා සිසිල් දිය සැපයූ උල්පත ...". සොඳුරු සිත තමාගේ වරදක් තිබෙන්නට හැකි බව පවා විශ්වාස නොකරනා අයුරකි. ප්‍රේමය බිඳුනු පසු අනෙක් පාර්ශවය තුට්ටු දෙකට දැමීම තමන්ටම කරගන්නා නිගාවකි. ඉතා සීමිත අවස්ථාවල හැර, ප්‍රේමයක් බිඳීම හෝ ප්‍රියයෙකුගේ වෙන්වීම සිදුවන්නේ දෙපාර්ශවයේම යම් යම් ක්‍රියා නිසාවෙනි.

අන් අය යන ගමන දෙස බැලීමෙන් තමන්ව තක්සේරු කරගන්නේ ඇයි? තමාට යම් කිසි ගමනක් ඇත්නම්, අන් අය ඔබ පසුකර යාම ගැටලුවක් වන්නේ ඇයි? කොමෙන්ට් පල කිරීමේ හෝ නොකිරීමේ අයිතිය ඔබ සතු බව දැන දැනත්, ඔබ යම් කිසි චිත්ත පීඩාවකට පත්ව ඇතිබව පෙනෙන්නට තිබියදීත්, ම මෙසේ ලියන්නේ තවෙකෙක්ව විවේචනය කර, බාල ආතල් ගැනීමට නොවේ... ඔබේ සතුට ඇත්තේ ඔබ අතේම බව කියන්නටය. හැම තැනම දකින්නට ලැබෙන උපදේශ වැකියක් මෙලෙස කීමෙන් කිසි ප්‍රයෝජනයක් නැති බව ද සිතේ... එහෙත් තරමක් වෙනස් වැකියක් කියන්නට උවමනාය... වරක් තමන්ව නිර්දය ලෙස විවේචනය කරගන්න, තමන්ට වැරදුනු තැනකට හිනාවෙන්න... හයියෙන් ටොක්කක් ඇනගන්න...

Nimal (Desertfrog) said...

සොඳුරු සිතක් ඇතුලෙ තියෙන්න ඕනෙ යෝධ හදවතක් කියලයි මම තේරුම් අරගෙන තිබුනෙ. සොඳුරු සිත කියන භාජනයට බලාපොරොත්තු කොයිතරම් දැම්මත් කවදාවත් පිරිල ඉතිරී යන එකක් නොවෙයිනෙ....කොයිතරම් දැම්මත් තවත් බලාපොරොත්තු වලට ඉඩ තියෙන විශ්මිත භාජනයක් සිත...
මේ අපේ සොඳුරු සිත් වලින් බලාපොරොත්තු එකින් එක අයින් කර කර ඇයි කඳුලු කැට ඒ වෙනුවට පුරවන්නෙ. එකතු කරගත්තු බලාපොරොත්තු කඳුලුවලින් දිය කරන්නවත්, සුසුම් වලින් ගිනිතියන්නවත්
සොඳුරු සිතකට කවදාවත්ම බෑ.....

Naleen Dilruksha said...

බොහොම අගෙයි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...