..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, October 13, 2012

මතක කළලය

“ සෝමසිරි සර් ගෙ පන්තියට ඊයෙ අලුතින් ළමෙක් ආවා. “

උදෑසන පැමිණිමේ ලේඛනයේ අත්සන සටහන් කර ආපසු හැරෙත්ම නවක තරුණ ගුවරියක වූ සුවේනි පැවසුවා ය.

“ ආහ් , ඇත්තෙයි , ඒත් මේ වාරේ මැද  ? “

“ ඔවු සර්. . .ඒ ළමයගෙ තාත්තා හරි අම්ම හරි වැඩ කරන්නේ පොලිසියෙ ලු. හදිසියෙම මාරුවක් හම්බෙලා. කොහෙදේ ගොඩාක් දුරක ඉදන් ඇවිත් තියෙන්නේ “

“ හැබෑ ද ? ඊයේ මට එන්න බැරි වුනා. පොඩි දුව ලෙඩ වෙලා. නෝනටත් නිවාඩු දාන්න විදිහක් තිබ්බෙ නැහැ.ඉතින් මං ගෙදර නැවතුනා “

“ හරි සෝමසිරි සර්.එහෙනම් මම යනවා. මට උදේ පීරියඩ් එක වැඩ “


සුවේනිගේ වේගයෙන් ඇගේ පන්තිය දෙසට යන ගමනේ පැවතියේ වේගවත් වුවත් අමුතුම ලතාවකි.කිසිදු හැඟීමකින් තොරව එදෙස බලා සිටි  ඔහු තමාගේ පන්තිය දෙසට ඇදෙන්නට වූයේ ප්‍රථම කාල පරිච්ජේදය ගෙවී යන වේලාව ට වත් පන්තියට යා ගත හැකි වන තරමේ හෙමිනි.

උසට සරිලන මහතකින් ද, මදක් ඉදිරියට නෙරා ආ බඩකින් ද, කාල වර්ණ නමුත් නොකැලැල් සමකින් ද හිස ඉදිරි පසින් කෙස් හිඟ වෙමින් යන හිසකින් ද, සෑම විටම සිනාසෙන්නාක් වැනි වූ නමුත් කලකින් සිනා නොවුනු දෑසකින් ද බුලත් කහට යන්තමින් බැදි මනා හැඩති තොල් යුගලකින් ද තරුණයකුගේ වන් සෘජු නාසයකින් ද යුතු වූ හතරස් මුහුණ බිමට හරවා ගනිමින් ද අතටම දිය වූ පොත් මිටියක් තම දකුණතේ රදවා ගනිමින් ද හෙතෙම පුරුද්දට මෙන් පන්තිය දෙසට ඇදෙන්නට විය.

සුදු පැහැතිම කමිසයකින් සහ කලිසමකින් සැමදා සැරසී පාසලට එන සිරිසෝම සර් ඈත තියාම හඳුනා ගැනීමට පාසලේ සෙසු ගුරුවරුන්ට මෙන්ම සිසුන්ට ද අපහසු නොවේ.

පාසල , පන්තිය , පාඩම් පොත් , නාම ලේඛනය , රතු පෑන, සිසුන්ගේ ගැටළු , කෑකොස්සම්  පිරි සිරිසෝමගේ ජීවිතය කිසිදු ආකාරයක ප්‍රබෝධයකින් තොර වූ යාන්ත්‍රික ජීවිතයක් විය.පාසලෙන් නිවසටත් කඩපොළට සහ දරුවන්ගේ ටියුෂන් පන්ති ගාවටත් සීමා වූ ජීවිතය ඉන් පිටත ගිය කාලයක් නැති තරම්ය.

හෙතෙම තරුණ ගුරුවරයෙකුව සිටි කාලයේ මීට හාත්පසින්ම වෙනස් දිවියක් ගෙවූවෙකු වූ බව අදටත් අතැම් විට ඔහු නැති තැන දී ගුරු කාමරයේ දී ගුරුවරු අතර කතාබහට ලක් වේ.

“ කොයි තරම් වටින ගුරුවරයෙක් ද ? නිකම්ම නාස්ති වුනා “ කතාව අවසන් වන්නේ බොහෝ විට එවැනි වැකියකිනි.


“ සිරා එන වෝ “

සිරිසෝම පන්තියට එනු ඈත තියාම දුටු පන්තියේ මුරණ්ඩු කොලුවෙකු කෑගැසුවේ ද, කඩි ගුලක් සේ ඇවිස්සී තිබූ පන්තිය පිළිවෙලවී ඉදිකට්ටක් වැටුන ද ඇසෙන තරමේ නිහඬියාවක් පැතිරීමට ගත වූයේ ද ඉතාම කෙටි කලකි.

සිරිසෝම සර් යක්ෂයෙකු මෙන් නපුරෙක් විය. මුරණ්ඩු වාචාල දරුවන් ද ඔහු ඉදිරියේ කීකරු පූස් පැටව් මෙන් විය. ඔහුගේ ඉගැන්වීම ද මුල් පෙළේ වූයේ ඔහුට ඇති බියට සිසුන් ඔහුගේ විෂය ඇසුරු කළ බැවිනි.

“ ආයුබෝවන් , හා හා වාඩි වෙනවා වාඩි වෙනවා “ ගුරු පුටුවට බර වෙන ගමන් ඔහු අතින් සන් කරන්නට විය.

“ සර්  . . . . පන්තියට අලුතෙන් ළමෙක් ආවා “

“ මං දන්නවා අයිසේ. . .  කෝ කවුද . ..එනව බලන්න මෙහාට “

පැමිණිමේ ලේණය පෙරළමින් සිරිසෝම පැවසුවේ පන්තිය දෙස හිස ඔසවා නොබලමිනි.

“ යනවා . . . යනවා . . .සර්ට තරහ යයි යනව හලෝ “

සැලකිය යුතු වේලාවක් ගත වුවද කිසිවකු ගුරු මේසය අසලට නාවෙන් ද පන්තියේ පැතිරී යමින් තිබූ ගුමුගුමු ව ද නිසා  සිරිසෝම සර් හිස ඔසවා බැලුවේත් , පන්තිය නැවතත් නිහඩතාවයක ගිලී ගියෙත් එකම මොහොතකයි.

“ කෝ . . . .අඳ ගොළු බීරි ස්කොලෙන් ද අලුත් ළමය ආවේ.කියන දේ තෙරෙන්නෙ නැද්ද. එනව මෙහාට “

පන්තියේ ඉදිරිපස ආසන වල සිටි සිසුන් හිස හරවමින් පිටු පස බලද්දී......පන්තියේ පිටුපසම පේළියේ කොණේම පුටුවක් පිටුපසට ඇදෙනවාත් සිසුවකු සිට ගන්නවාත් සිරිසෝම සර්ට පෙනුනි.

ඔහු පන්තියේ අන් සිසුන්ගෙන් පැහැදිලි ලෙසම වෙනස් වූවකු බැව් බැලූ බැල්මට පෙනුනි. සුදෝ සුදු ඇඳුම අලුත් පාසලට ඒමටම මැසූවක් විය යුතුය. ඇතැම් විට සපත්තු යුගලද අලුත්ම ඒවා වන්නට ඇත.

හොඳින් මැද තිබූ සුදු නිල ඇදුම විච්චූරණ නොමැති නියම සිසු නිල ඇඳුමක සිරි ඉසිලීම සිරිසෝම සර්ගේ සිතට ගෙනාවේ නවක සිසුවා ගැන යහපත් ආකල්පයකි. නමුත් ඔහු සිසු මේසයට නැඹුරු කර ගත් හිස එසවූයේ නැත. ඩෙස්කයේ බාගෙට ගැලවී ගිය පතුරු උදුරා දමන්නට වෙර ගත් තම ඇඟිලි වලට යොමා ගත් නෙත් එසවූයේ ද නැත.

“ මොකක් ද ඔය ළමයගෙ නම “

“ මි . . ථි ..ල “

“ මම අහන්නෙ සම්පූර්ණ නම. “

නාම ලේඛනයේ නම් දිගේ පතුලේම නමට නෙත් යැවූ සිරිසෝම. තමා ඇසූ ප්‍රශ්ණය ගැන පසුතැවිල්ලෙන් නැවතත් සිසුවා දෙස දෑස් යොමු කරත්ම මෙතෙක් වෙලා ඩෙස්කයට නැඹුරු කර ගත් නවකයාගේ එසැවුනු හිසත් පැහැදිලි මුහුණත් දැක මවිතයට පත් විය.

“ හරි හරි ඔය ළමය මෙහාට එන්න , අනිත් අය අද තියෙන පාඩම කියව ගන්න. මම ඩික්ටේශන් ගන්නවා.හොඳට බලා ගන්නවල “

“ මෙහෙ එන්න  . . . .“

“ඔය ළමය කොහෙ ද , කලින් ගිය ස්කෝලෙ, ඇයි මෙහෙ ආවේ. අම්ම තාත්ත ඉන්නවද , මොනා ද කරන්නේ , නංගිල මල්ලිල ඉන්නව ද? ඇයි මෙහෙ ආවේ. . . . .ම්හ්. . . . . . .  “

පැනයෙන් පැනය සිරිසෝම සර්ගෙ සිත සලිත වන්නටත්, හීනි ඩාබිඳු නලලේ පිපෙන්නටත් විය. ප්‍රශ්ණ අසන වේගය මදින් මද අඩුවත්ම කල්පනා ලෝකට වන් හෙතෙම තමා ලඟ හිටගෙන සිටිනා සිසුවාගේ මුහුණ දෙස බැලීමට තරම් ධෛර්්‍යක් උපදවා ගත නොහැකිව විපිලිසරව ගියේ ය.

“ සර් දෙවැනි පීරියඩ් එකට බෙල් ගැහුවා.“

“ ආහ් . . . එහෙම ද? අද මට ටිකක් සනීප නැහැ. හෙට ආපු ගමන් ඩික්ටේශන් ගන්නවා. පාඩම බලන් එන්න “

“ ආයුබෝවන් “

“ ආයුබෝවන් සර් “


ඔහුගේ සුපුරුදු බර අඩි සහිත සෙමින් ගමන කලබලකාරී වේගවත් ගමනකට හැරී තිබුනි. තමාගේ පලුවෙන ගුරුපත්වීමත් , මේ සිසුවාගේ ගම් ප්‍ර දේශයත් , සිසුවාගේ හැඩරුවත් , මේ හැමටම වඩා බොහෝ කලකට පසුව මතුව ආ ඈ ගැන මතකයත් ඔහු සිත පාරවන්නටත් කුතුහලයෙන් හා අනියත බියකින් වෙලා ගන්නටත් විය.

මෙය අහමුවක් විය නොහැකිද ? තමා මෙතරම් තැති ගන්නේ කුමකට ද? ඇරත් දැන් ගෙවී ගිය අතීතයේ සැඟවී ගිය සෙවනැලි ගැන සිතා කුමකට ද? තමා සම්බන්ධ කිරිමට යන්නේ කිසිසේත්ම නොගැලපෙන අතීතයක් සහ වර්තමානයක් වීමට නොහැකි ද ?

නමුත් කැලඹුණු සිත සංසුන් කර ගැනීම වටී.

හෙතෙම පාසලේ කාර්යාලයට ආවේ දහඩිය මුඟුරු වගිරමින් සහ හති ලමිනි.

“ සුරංජි මිස් . . . . .  හත බී පන්තියට ආපු අලුත් ළමයගෙ පර්සනල් ෆයිල් එක බලන්න පුලුවන්  ද ? “

තමා කලකට පෙර පෙනී සිටිය නමුදු අද වන තුරු ප්‍රතිඵලයක් නොදන්නා විභාගයක ප්‍රතිඵල ලේඛනය අතට ලැබුන කු සේ  සිසුවාගේ පුද්ගලික ලිපි ගොනුව දෙස බලා සිටි සිරිසෝම සර් , වේගයෙන් ඉහළට ඇඳ ගත් හුස්ම පිට නොකරම සිසුවාගේ ෆයිල් කවරය පිරික්සන්නට විය.

“ සර් හොයන්නේ ඒ ළමයගෙ උප්පැන්නෙ ද ? වාසගමක් නැහැ සර්. අම්මගෙ වාසගම තමයි දාන්න වෙන්නේ “

උප්පැන්නයේ පෙළින් පෙළට ඇඟිලි යැවූ සිරිසෝම සර්ගේ ඇඟිලි තුඩ . . . . .මවගේ නම ළඟින් නැවතුනේ ද , දඩස් හඬ නංවමින් පුටුවකට බර වුනේ  ද , සුංරජි මිස් අයා ගත් දෑසින් සිරිසෝම දෙස බලා සිටිනු ද , කාර්යාල මේසයට හිස ගසා ගත් සිරිසෝමගේ උරහිස් රිද්මයකට මෙන් සැලෙනු ද මා දුටු අවසාන රූප පෙළයි.

ඔහුගේ ජීවිතයේ එක් සුන්දර කාලච්ජේදයක අතීත මතක කළලයක් , මෝරා විත් ජීවියකු වී ඔහුගේ වර්තමානය  ඉදිරියෙන් සිනාසෙමින් ඔහු දෙස බලා සිටින බව  අනාගතයට රහසක් විය හැකි  ද?

19 ප්‍රතිචාර:

ළහිරු හිමේෂ් said...

ලස්සන කථාවක් සොෂී අක්කේ. ඉස්සරහා හිතාගන්න පුළුවන් වුනාද බැරි වුනාද කියලා මම මේ හිතන්නේ

amila chathuranga said...

රැල්ලෙන් පිට යන්නට උත්සාහ ගන්න...කියලා කියන්න කැමතියි....

ලයාන් said...

ලස්සන නිර්මාණයක්.. :)

෴සොඳුරු සිත෴ said...

මොකක් ද ඔයා කියන රැල්ල....

෴සොඳුරු සිත෴ said...

ස්තූතියි ළහිරු...

෴සොඳුරු සිත෴ said...

ස්තූතියි ලයාන්

Nimal (Desertfrog) said...
This comment has been removed by the author.
෴සොඳුරු සිත෴ said...

ස්තූතියි ලයාන්

෴සොඳුරු සිත෴ said...

ස්තූතියි ළහිරු...

මාතලන් said...

මම මේක කියවලා ගොඩක් වෙලා.. කොමෙන්ට් කරන්න පරක්කු උනා සොසිගේ සත්‍ය අත්දැකීමක්ද...?
හිකිස්....
අන්න වෙද මහත්තයා සුදු ළුණූ මී පැනිවල දාලා කන්න කියලා..
උන්නැහෙත් මරු වැඩ කරන්නේ..

Naleen Dilruksha said...

ෂිට් මාර කතාවක්නේ මේ හොඳම කෙටි කතාවක් ආයිත් වචන දෙකක් නෑ
එන්න සමකය වටේ රවුමක් යන්න

වකා - WAKA said...

Nice..

තොටියා said...

කියවන කෙනා තුල ප්‍රශ්න ගොඩාක් ඉතිරි කරමින්ම කතාව අවසාන වෙලා... කෙටි වුනත් ගොඩාක් නිර්මාණයක්...!

Indika Rajapaksha said...

සොසි ඔක්කොම එකතු කරපු පොටක් නැද්ද?
මේක දිග කතාවක් උනානම් හොදයි කියල දාස් වරක් හිතුන...
මං නම් හරිම අසාවෙන් කියෙව්වා...

Indika Rajapaksha said...
This comment has been removed by the author.
Indika Rajapaksha said...
This comment has been removed by the author.
Indika Rajapaksha said...
This comment has been removed by the author.
දයානන්ද රත්නායක said...

ගුරුන්ටත් අකුරු වරදිනවා කියන්නේ මේවට තමයි. කාලෙකට පස්සෙ හිතට දැනෙන හැ‍ඟෙන කතාවක් ලියලා. මේ අලුත් අත්දැකිමක්ද?

ධමිමික ස‍‍දරුවන් said...

හ්ම්.. ෂෝක් කතාව.නියමයි ඈ

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...